logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ තිස්‌ හය වැනි වාර්ෂික මහ සභා රැස්‌වීම හා තාක්‌ෂණික සැසිවාරය...

(තරුෂි කෞෂානි)
 

"භූ විද්‍යාව අද වන විට ලෝකය තුළ වඩාත් වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරනු ලබන පුළුල් පරාසයක විහිදී ගිය විෂය ක්‌ෂේත්‍රයක්‌ වශයෙන් සැලකිය හැකියි. එබැවින් කිසිදු අවස්‌ථාවක දී භූ විද්‍යාඥයන් හා පතල් කැණීම් ඉංජිනේරුවන්ට බාහිර ලෝකයෙන් හුදෙකලා වී කටයුතු කළ නොහැකියි. ඔවුන් නිරන්තරයෙන් සිය විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ යාවත්කාලීන වීම ඉතා වැදගත්." මොරටුව විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ජී. ආර්. ධර්මරත්න මහතා මේ අදහස්‌ පළ කර සිටියේ පෙබරවාරි 28 වැනි දා පිටකෝට්‌ටේ සෝලිස්‌ හෝටල් පරිශ්‍රයේ දී 'ගෝලීය අභියෝග හා භූ විද්‍යාඥයන්ගේ භූමිකාව' තේමාව යටතේ පැවැති ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ තිස්‌ හය වැනි වාර්ෂික මහ සභා රැස්‌වීම හා තාක්‌ෂණික සැසිවාරයේ සම්භාවනීය අමුත්තකු ලෙස සහභාගී වෙමිනි.

මේ තාක්‌ෂණික සැසිවාරයේ දී ආචාර්ය මහාචාර්යවරුන් හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් විවිධ මට්‌ටමින් සිදු කරන ලද භූ විද්‍යාව හා පතල් කැණීම් ක්‌ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ පිළිබඳ ව ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සාමාජිකයන් දැනුම්වත් කරන ලද අතර විශිෂ්ට දක්‌ෂතා දක්‌වන ලද භූ විද්‍යා පර්යේෂකයන් හා පාසල් සිසුන් ඇගයීමට ලක්‌ කරන ලදි. එහි දී වසරේ විශිෂ්ටතම පශ්චාත් උපාධි පර්යේෂණයට හිමි ඇගයීම හිමි වූයේ සිසාරා සමරදිවාකර මෙනෙවියට ය. මීට අමතර ව රටවල් දහ තුනක සහභාගීත්වයෙන් කොරියාවේ දී පැවැත්වුණු දහ තුන් වැනි ජාත්‍යන්තර භූ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී විශිෂ්ට ලෙස දස්‌කම් දක්‌වන ලද තීක්‌ෂණ මාපාරත්න, සිළුනි වික්‍රමතිලක, කජිනි දිසානායක, රුවින් මාපා හා කවීෂා ශරින්දි යන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීම ද මේ අවස්‌ථාවේ දී සිදු කෙරිණි.

සමුළුවෙහි ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා විසිනි. එහි දී සාගර භූ විද්‍යාඥයකුගේ භූමිකාව හා ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව මහාචාර්ය රත්නායක විසින් පැහැදිලි කර දෙනු ලැබූ අතර සාගර භූ විද්‍යාවේ නව ප්‍රවණතා පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි.

තාක්‌ණික සැසිවාරය තුළ දී භූ විද්‍යාව හා පතල් කැණීම් ක්‌ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ ප්‍රතිඵල තිස්‌ එකක්‌ එළිදැක්‌විණි. ඛනිජ, පාෂාණ හා කබොල ඇශ්‍රිත සැකසුම් ක්‍රියාවලි, ඛනිජ සම්පත් ගවේෂණය, සූරා කෑම හා ආර්ථික විභවය, භු විද්‍යාත්මක ද්‍රව්‍යවල ආර්ථිකමය යෙදීම් හා අගය එකතු කිරීම සහ පස, පොළොව මතුපිට ක්‍රියාවලීන් හා පරිසරය වශයෙන් ප්‍රධාන කාණ්‌ඩ හතරක්‌ යටතේ ඉදිරිපත් කරන ලද මේ පර්යේෂණ ප්‍රතිඵල එළිදැක්‌වීම් අධීක්‌ෂණය කරන ලද්දේ එච්. එම්. ටී. ජී. ඒ. පිටවල, එන්. ඩී. සුබසිංහ, එල්. ආර්. කේ. පෙරේරා හා රොහාන් ප්‍රනාන්දු යන මහාචාර්වරුන් විසිනි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සභාපති ආචාර්ය රංජිත් ප්‍රේමසිරි, ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ ලේකම් ආචාර්ය පත්මකුමාර ජයසිංහ හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල ඇතුළු විද්වත්හු පිරිසක්‌ මෙහි දී දේශන පැවැත්වූ හ.