logo3.gif (702 bytes)

HOME


මීළඟ වසංගතයට එරෙහි ව සිදු විය යුතු ගෝලීය වයිරස දඩයම...



2015 වසරේ දී TED කතාවක්‌ කරමින් බිල් ගේට්‌ස්‌ මීළඟ වසංගතයට අප සූදානම් විය යුතු බව කියා සිටියේ ය. ඔහු ඒ කතාව කළේ බටහිර අප්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ජීවිත දස දහසක්‌ බිලි ගැනීමෙන් අනතුරු ව යාන්තමින් මර්දනය කරගැනීමට හැකි ව තිබූ පසුබිමක ය. ඉබෝලා වසංගතය මීට වඩා අතිශය දරුණු ස්‌වරූපයක්‌ ගැනීමට හැකි ව තිබූ බවත්, එසේ නො වූයේ එය එතරම් ජනාකීර්ණ නො වන පරිසරයක පැතිර ගිය නිසාත්, වාතයෙන් බෝ වීම සිදු නො වූ නිසාත් බව පැවසූ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය හුදු වාසනාව නිසා සිදු වූවක්‌ බවයි. එබැවින් තවත් මහා ජන සංහාරයක්‌ නො වීමට නම් කවදා හෝ කොතැන දී හෝ මීළඟ වසංගතය හිස ඔසවන විට එයට අප සූදානම් ව සිටිය යුතු බව අවධාරණය කළේ ය.

ඒ කතාවට වගකිව යුතු කිසිවකු වත් කන් දුන්නා ද යන්න ගැන අපට නැවත විමසා බැලීමට සිදු ව ඇත්තේ ඉන් වසර 4කට පසුව ලෝකය තවත් දරුණු ගණයේ වසංගතයක ගිලී යැමෙන් අනතුරු ව ය. මේ වන විට ජීවිත තුන් දහසකට වැඩි ප්‍රමාණයක්‌ බිලිගෙන ලොව පුරා පැතිර යන කොවිඩ් 19 (COVID-19) වයිරසයේ ව්‍යාප්තියේ අවසානයක්‌ ගැන තවමත් සලකුණක්‌ නැත.

නොදියුණු රටවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල වශයෙන් දායක වන බිල් ගේට්‌ස්‌ තම කතාවේ දී රටවල් මේ පිළිබඳ ව දක්‌වන අඩු උනන්දුව ගැන විවේචනය කිරීමට අමතක නො කළේ ය. ලොව දියුණු රටවල් ඕනෑ ම මොහොතක දී පැනනැඟිය හැකි යුද්ධයකට මුහුණ දීම සඳහා විශාල මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක්‌ කැප කරමින් සූදානමින් සිටින බවත්, දැන් ලෝකයට ඇති සැබෑ අර්බුදය යුද්ධ නො ව වසංගත බැවින් ඒ කැප වීම හා සූදානම ඉලක්‌කගත විය යුත්තේ වසංගත කෙරෙහි බවත් ඔහුගේ අදහස විය. ඒ පෙර සූදානමෙහි අවශ්‍යතාව දැන් ලෝකයාට වැඩිපුර දැනී තිබේ. ඒ මෙවර වසංගතය මාධ්‍යවල අවධානයට එතරම් හසු නො වන අප්‍රිකානු මහාද්වීපයේ සිට තම දොරකඩවලට පැමිණ ඇති බැවිනි.


මිනිසා හැර නො යන වසංගත

බැක්‌ටීරියා හා වයිරසවල සරදමට කලින් කල මිනිසා ලක්‌ වන්නේ අද ඊයේ සිට නො වේ. දහ හතර වැනි සියවසේ යුරෝපය ප්‍රමුඛ ලෝකය පුරා පැතිර ගිය 'කළු මරණය' නිසා මිය ගිය පුද්ගලයන් ගණන මිලියන 50කට අධික යෑයි සැලකේ. මෑතකාලීන ඉතිහාසයේ කැපී පෙනෙන ව්‍යසනය සිදු වූයේ මීට ශතවර්ෂයකට පෙර ය. ඒ 1918 දී ලෝකය පුරා පැතිර ගිය ස්‌පාඤ්ඤ උණයි. එමඟින් අහිමි වූ ජීවිත ප්‍රමාණය මිලියන 30කට අධික ය. එතැන් පටන් ගත වූ ශතවර්ෂය පුරා ම විටින් විට කොලරාව, වසූරිය, සරම්ප, මැලේරියාව හා විවිධ ඉන්ෆ්ලුවන්සා වර්ග ලෝකය පුරා තැනින් තැන හිස එසවූවත් ඒවා සාපේක්ෂ ව එතරම් හානියක්‌ කිරීමට අපොහොසත් විය. ලෝකය වෛද්‍ය විද්‍යාත්මක අතින් ලබා ඇති දියුණුව මීට හේතුව යෑයි පැවසීම නිවැරැදි ය.

එහෙත් ලෝකයේ තාක්ෂණික දියුණුවට සාපේක්ෂ ව දියුණු වී ඇති තවත් ක්ෂේත්‍රයක්‌ මේ සමඟ ම වසංගත පැතිර යැමේ අවදානම විශාල ලෙස ඉහළ දමා තිබේ. ඒ මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවයි. ලොව පුරා දිනකට ජාත්‍යන්තර ගුවන් ගමන් වාර ලක්ෂයක්‌ පමණ සිදු වන අතර ලොව සතර දිග්භාගයේ ජනයා ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් හරහා හුවමාරු වෙමින් ගමන් කරති. මේ අතර එක්‌ ආසාදිතයකු සිටිය හොත් පැය කිහිපයක්‌ ඇතුළත මුළු ලොව පුරා රටවල් ගණනාවක ම වසංගතයක්‌ පැතිර යා හැකි ය. 2003 දී සාර්ස්‌ වයිරසයේ පැතිර යැම මීට උදාහරණයකි. එහි මූල ලක්ෂHය සොයා යන විට පෙනී ගොස්‌ තිබුණේ හොංකොංහි හෝටලයක නතර වී සිටි චීන ජාතිකයකු ගෙන් එම හෝටලයේ තාවකාලික ව නතර ව සිටි තවත් ගුවන් මඟීන් ගණනාවකට එම රෝගය බෝ වී ඔවුන් ගෙන් ලොව පුරා පැතිර ගොස්‌ තිබූ බවයි.


මුහුණ දීමට පෙර සූදානම

කොවිඩ් 19 වයිරසය කෙබඳු අවසානයක්‌ කරා යයි ද යන්න ගැන කල් තබා පැවසීමට නො හැකි ය. එය සෘජු ව මැඬපැවැත්විය හැකි එන්නතක්‌ තවමත් නිපදවා නො තිබුණත් වයිරසය වැළඳුණු පනස්‌ දහසකට වැඩි පිරිසක්‌ සුවපත් වී රෝහල්වලින් පිට ව යැම නිසා එය එතරම් දරුණු අර්බුදයක්‌ බවට පත් නො වනු ඇතැයි අපට බලාපෙරොත්තු තබාගත හැකි ය. එහෙත් කොවිඩ් වයිරසයෙන් වත් පාඩමක්‌ ඉගෙන අනාගතයේ දී මුහුණ දීමට සිදු විය හැකි මෙවැනි වසංගත ව්‍යසනයකට මුහුණ දීමට ගෝලීය වශයෙන් පෙර සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණකි.

අනාගතයේ දී මෙවැනි වසංගතයක්‌ ඇති වුව හොත් එයට මුහුණ දීමට පෙර සූදානමක්‌ ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක්‌ ගැන බිල් ගේට්‌ස්‌ පෙන්වා දෙයි. ඉන් එකක්‌ වන්නේ දුර්වල සෞඛ්‍ය පද්ධතියක්‌ ඇති රටවල සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ නැංවීම ය. එවැනි රටකට කොවිඩ් 19 වැනි වයිරසයක්‌ පැතිර ගිය හොත් එමඟින් ඇති කළ හැකි හානිය අති විශාල ය. අනෙක්‌ කරුණ මෙවැනි සිදුවීමක දී කඩිනමින් ක්‍රියාත්මක විය හැකි ජාත්‍යන්තර වෛද්‍ය බලකායක්‌ නිර්මාණය කිරීමයි. වසංගත මැඬලීමෙහි ලා විශේෂයෙන් පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ගෙන් සමන්විත මෙවැනි බලකායක ක්ෂණික මැදිහත් වීම හරහා ලොව ඕනෑ ම තැනක වසංගතවල ව්‍යාප්තිය අවප්‍රමාණය කරගැනීමට හැකියාව ලැබේ. සීමා මායිම් නැති වෛද්‍යවරුන් ලෙස හැඳින්වෙන Medecins Sans Frontieres ලාභ නො ලබන ආයතනය දැනටමත් මෙවැනි ක්‍රියාදාමයන්හි දී විශාල කාර්යභාරයක්‌ ඉටු කරන අතර එම සේවා මොඩලය රාජ්‍ය අනුග්‍රහයෙන් ඉතා පුළුල් මට්‌ටමකට ගෙන ආ යුතු ය.

මේ සම්බන්ධ ව ඇති ගේට්‌ස්‌ගේ තවත් යෝජනාවක්‌ වන්නේ වසංගත මර්දන ක්‍රියාදාමය හමුදා යාන්ත්‍රණය සමඟ ඒකාබද්ධ කිරීමයි. ඉතා ඉක්‌මනින් හා සංවිධානාත්මක ව හදිසි හා අවදානම් සහගත තත්ත්වවලට ප්‍රතිචාර දැක්‌වීමේ හැකියාව ඕනෑ ම රටක යුද හමුදාව සතු බැවින් එම හැකියාව වසංගත මර්දන වෛද්‍ය ක්‍රියාදාමය වෙත සම්බන්ධ කරගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි ය. චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය තුළත් මේ කාර්යක්ෂමභාවය අපට දැකිය හැකි විය. එමෙන් ම මෙහි දී සිදු විය යුතු තවත් කරුණක්‌ වන්නේ මෙවැනි වසංගතවල දී රෝගීන් ගෙන් ජෛව සාම්පල ලබාගෙන එය විශ්ලේෂණය කොට පර්යේෂණ පවත්වා එය මැඬපැවැත්විය හැකි ඖෂධයක්‌ නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් ව සිදු කිරීමට හැකි මධ්‍ය යාන්ත්‍රණයක්‌ බිහි කිරීමයි. මේ ක්‍රියාදාමයේ විවිධ පියවර සාර්ථක ව සිදු කිරීමට හැකි මානව ශක්‌තිය, තාක්ෂණය හා උපාංග ලොව පුරා විවිධ රටවල්වල විවිධ ආයතන සතු ව තිබුණත් ඒවා ඒකාබද්ධ ව ක්‍රියාත්මක නො වීම නිසා වේගවත් ප්‍රතිඵල ලබාගත නො හැකි ය. මෙමඟින් වසංගතයක්‌ මැඬපැවැත්වීමට එන්නතක්‌ නිපදවීම විශාල කාලයක්‌ ගත වන කටයුත්තක්‌ බවට පත් වී තිබේ. එබැවින් ජාත්‍යන්තර වශයෙන් කෙරෙන සංවාදයක්‌ හරහා මේ ආයතන එකිනෙක සෘජු ව සම්බන්ධ කර ප්‍රබල හා කාර්යක්ෂම පර්යේෂණ යාන්ත්‍රණයක්‌ ඇති කිරීම ද අත්‍යවශ්‍යයෙන් කළ යුත්තකි.



වළක්‌වාගැනීමෙන් ආරක්‌ෂා වීම

වසංගතයක්‌ පැමිණි විට ඉන් ආරක්ෂා වීමට ශක්‌තිමත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ බිහි කරගැනීම අනාගතයේ දිනක සිදු වන මීළඟ වසංගත උවදුරට මුහුණ දීමට පෙර සිදු කළ යුතු අත්‍යවශ්‍ය දෙයක්‌ බවට සැකයක්‌ නැත. එහෙත් ඒවායින් ආරක්ෂා වීම සඳහා එයටත් වඩා වැදගත් තවත් පැතිකඩක්‌ තිබේ. ඒ යම් කිසි වසංගතයක්‌ මිනිස්‌ වර්ගයාට බෝ වීමට පෙර ම එය හඳුනාගැනීමට හා එය වළක්‌වාගැනීමට කටයුතු කිරීමයි. මෙතෙක්‌ වසංගත සම්බන්ධ ව අනුගමනය කෙරුණු ප්‍රතිකර්ම කිරීමේ ක්‍රමවේදය වෙනුවට වසංගතය වළක්‌වා ගැනීමට ක්‍රියාත්මක විය හැකි නම් එය අන් සියල්ලට වඩා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත් මේ සඳහා ඇති බාධකය නම් ඊළඟ වසංගතය පැනනඟින්නේ කොතැනින් ද, කවර මූලාශ්‍රයකින් ද යන්න පුරෝකථනය කිරීම දුෂ්කර කාර්යයක්‌ වීමයි. එනමුත් සමහර ආයතන දැනටමත් එම කටයුත්තට අත ගසා තිබේ. එක්‌සත් ජනපද ආධාර යටතේ ක්‍රියාත්මක වන USAID PREDICT එම කටයුත්තෙහි නිරත වන ප්‍රධාන ව්‍යාපෘතියකි. California - Davis විශ්වවිද්‍යාලයය, EcoHealth Alliance"Metabiota හා Smithsonian Institution වැනි ආයතන සහ Columbia සහ Harvard විශ්වවිද්‍යාලවල සහය ලබන Wildlife Conserva-tion Society වැනි ලාභ නො ලබන ආයතන ගණනාවක්‌ එම ව්‍යාපෘතියට සම්බන්ධ ව කටයුතු කරයි.


වයිරස දඩයම



ඉතිහාසය පුරා මිනිසාට මුහුණ දීමට සිදු වූ මාරක වසංගත රෝග සියල්ලට ම පාහේ ඇත්තේ සත්ත්ව මූලාශ්‍රයකි (Zoonotic). 1940 සිට මේ දක්‌වා බෝ වන රෝග 400ක්‌ පමණ හඳුනාගෙන ඇති අතර ඉන් සියයට 60කට වැඩි ප්‍රමාණයක්‌ සතුන් ගෙන් මිනිසාට බෝ වන්නට ඇතැයි සැලකේ. ඉතිහාසය දෙස බැලූ කල මහාමාරිය රෝගය බෝ වන්නට ඇතැයි සැලකෙන්නේ මීයන් ගෙනි. තවමත් ප්‍රතිකර්මයක්‌ නැති ඒඩ්ස්‌ රෝගය මිනිසාට සම්ප්‍රේෂණය වී ඇත්තේ වඳුරන් ගෙනි. බටහිර අප්‍රිකාවට වින කළ ඉබෝලා රෝගය ගැන ඇඟිල්ල දිගු වන්නේ වවුලන්ට ය. අධ්‍යයනයන් හරහා පෙනී ගොස්‌ ඇත්තේ 1918 දී ලෝකය සලිත කළ ස්‌පාඤ්ඤ උණ කුරුල්ලන් ගෙන් ඇති වන්නට ඇති බවයි. කොවිඩ් 19 වයිරසය ද වවුලන් ගෙන් හා කබල්ලෑවන් ගෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය වන්නට ඇතැයි සැලකෙයි. ඌරන්, කුකුළන්, ඇන්ටිලෝපයන් වැනි දිගු සත්ත්ව ලැයිස්‌තුවක්‌ මේ විත්තිකරුවන්ගේ ගොන්නට අයත් වෙයි.

මිනිසා ඇතුළු සතුන්ගේ ශරීර තුළ සාමාන්‍යයෙන් විවිධ වයිරස මිලියන ගණනක්‌ ජීවත් වන අතර අඛණ්‌ඩ ව ජනනය වන මේ වයිරස තුළ විකෘතිතා ඇති වී නව වයිරස ප්‍රභේද නිපදවේ. මේවා බොහොමයක්‌ හානිකර නො වන අතර අහම්බෙන් ඉතා හානිකර වයිරස නිර්මාණය වීමට ඉඩ ඇත. විශේෂයෙන් සතුන් විශේෂ දෙකක්‌ අතර සිදු වන වයිරස හුවමාරුවක දී මෙවැනි, මිනිසාට අහිතකර නව වයිරස නිර්මාණය වන බව පෙනී ගොස්‌ ඇත. මෙවැනි අහිතකර ලක්ෂණ ඇති වයිරසයක්‌ සතුන් ගෙන් මිනිසා තුළට ඇතුළු වුව හොත් එය මිනිසා ගෙන් මිනිසාට බෝ වී යමින් දරුණු වසංගත තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය හැකි ය.

වනාන්තර එළි පෙහෙළි කිරීම, ගෘහාශ්‍රිත ව සතුන් ඇති කිරීම, වනසතුන් වෙළෙඳාම හා පරිභෝජනයට ගැනීම, ජනගහණය වර්ධනය වැනි විවිධ හේතු නිසා සතුන් ගෙන් මිනිසුන් වෙත මේ රෝගකාරක වයිරස සම්ප්‍රේෂණයට ඇති ඉඩ වර්ධනය වී තිබේ. සමහර විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. එනිසා මෙවැනි තර්ජන මතු වීමට පෙර ඒවා කල්තබා හඳුනාගැනීම අතිශය වැදගත් ය. ඒ සඳහා තැබීමට අවශ්‍ය ප්‍රධාන පියවරක්‌ වනුයේ ලොව පුරා තිබෙන මිනිසා තුළට සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇති වයිරස පිළිබඳ දත්ත ගබඩාවක්‌ සකසාගැනීමයි. PREDICT ව්‍යාපෘතියට සම්බන්ධ ආයතනවල පරිසර හා ජෛවවිද්‍යාඥයන් නිරත වී සිටින්නේ මේ කටයුත්තෙහි ය.

ඉන්දුනීසියාව, චීනය, තායිලන්තය ආදි රටවල සමහර ප්‍රදේශ ආශ්‍රිත ව වවුලන් වැනි වනසතුන් දඩයම, ප්‍රවාහනය හා විකිණීම සිදු වේ. මේ ක්‍රියාදාමය තුළ සත්ත්ව තරල මිනිස්‌ තරල හා මුසු වීමේ විශාල අවදානමක්‌ ඇත. එබැවින් උන් හරහා රෝග සම්ප්‍රේෂණයට ඇති ඉඩ ඉතා ඉහළ ය. එබැවින් මේ ජෛව විද්‍යාඥයෝ දඩයම්කරුවන් සමඟ එවැනි ප්‍රදේශවල වනය තුළට වැදී එහි ජීවත් වන වවුලන් අල්ලාගෙන උන්ගේ ලේ, මුත්‍රා හා ඛේටය ආදි ජෛව සාම්පල ලබාගැනීමට කටයුතු කරති. පසුව මේ සාම්පල විද්‍යාගාර වෙත යවා විශ්ලේෂණය සිදු කෙරේ. මේ හරහා පරිසරය තුළ පැතිර පවතින වයිරස පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීමට මෙන් ම නව වයිරස ප්‍රභේද හඳුනාගැනීමට ද අවකාශය නිර්මාණය වේ.

PREDICT ව්‍යාපෘතිය මඟින් 2014 වසරේ සිට මේ වන විට සතුන් තිස්‌ දහසකට අධික ප්‍රමාණයක ජෛව සාම්පල ලබාගෙන ඇති අතර ලොව පුරා රටවල් 26කට වැඩි ප්‍රමාණයක්‌ ආවරණය කර ඇත. මේවා බොහොමයක්‌ අප්‍රිකානු හා ආසියානු රටවල් ය. එමෙන් ම ඔවුන් මේ වන විට සොයාගෙන ඇති නව වයිරස ප්‍රමාණය දහසකට අධික ය. මේ වයිරසවල ජාන කිටු වැඩිදුර අධ්‍යයනය මඟින් මිනිසාට වැළඳීමට වැඩි අවදානමක්‌ ඇති වයිරස හඳුනාගැනීමට හැකියාව ඇත.

වයිරස ගවේෂණය කිරීමේ පළමු ව්‍යාපෘතිය PREDICT නො වේ. 1915 දී ඇමෙරිකාවේ Rockefeller පදනම දියුණු වෙමින් පවතින රටවලින් කහ උණ රෝගය මුලිනුපුටා දැමීම සඳහා ව්‍යාපෘතියක්‌ දියත් කළ අතර එහි දී සිදු වූ පර්යේෂණ කටයුතුවල දී නව වයිරස ගණනාවක්‌ හෙළිදරව් කරගත හැකි විය. මෙහි එක්‌ අදියරක 1947 දී උගන්ඩාවෙන් සිකා (Zika) වයිරසය සොයාගන්නා ලදී. එය මිනිසා වෙත සම්ප්‍රේෂණය වී ජීවිත විශාල ප්‍රමාණයක්‌ බිලිගත්තේ ඊට දශක හයකට පසු ය. එය මෙවැනි පෙර සූදානමක ප්‍රයෝජනවත්භාවය ගැන නිසැක සිහිකැඳවීමකි.

PREDICT ව්‍යාපෘතියෙන් ලැබූ අත්දැකීම් හා දැනුම පාදක කරගනිමින් මේ වන විට මේ සඳහා Global Virome Project නමින් වඩාත් පුළුල් ව්‍යාපෘතියක්‌ දියත් ව තිබේ. මෙහි ඉලක්‌කය සතුන් ගෙන් මිනිසාට හුවමාරු වීමේ අවදානමක්‌ ඇති වයිරස ලක්ෂ පහක පමණ ප්‍රමාණයක්‌ හඳුනාගෙන ඒවා ජානමය වශයෙන් විශ්ලේෂණයට ලක්‌ කිරීමයි. භූගෝලීය ව වයිරස ප්‍රභේද පැතිර ඇති අන්දම සිතියම්ගත කර එම තොරතුරු අන්තර්ගත, සියලු දෙනාට ප්‍රවේශ විය හැකි දත්ත ගබඩාවක්‌ ඇති කිරීම, අවදානම් සහගත වයිරස කාලයත් සමඟ විවිධ වාහකයන් හා ප්‍රදේශ හරහා පැතිර යැම පිළිබඳව විමසිලිමත් වීම, මිනිසා වෙත වයිරසය සම්ප්‍රේෂණය විය හැකි වැඩි අවදානම් සහිත මූල ප්‍රදේශ හඳුනාගැනීම හා තොරතුරු එක්‌රැස්‌ කිරීමට ප්‍රාදේශීය මට්‌ටමින් යාන්ත්‍රණයන් හඳුන්වා දීම ආදිය මේ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ඉලක්‌ක වේ. එහි වැදගත් ම කොටසක්‌ වනුයේ එම දැනුම පාදක කරගනිමින් එවැනි අවදානම් සහගත වයිරස මිනිසාට සම්ප්‍රේෂණය වීමට පෙර ම ඊට අවශ්‍ය එන්නත් හා ප්‍රතිකර්ම විධි කල් තබා සැකසීමට ගෝලීය ප්‍රජාව උනන්දු කරවීමයි.



මහජනතාවගේ දැනුවත් බව



මේ වැඩසටහන මඟින් සිදු වන වැදගත් ප්‍රතිඵලයක්‌ වන්නේ සත්ත්ව විශේෂවල වයිරස හඳුනාගැනීමට අමතර ව මේ ප්‍රාදේශීය ව ජීවත් වන ජනතාව තුළ මේ අවදානම වළක්‌වාගැනීමට හැකි වන පරිදි අවබෝධය ලබා දීමට හැකි වීමයි. වයිරසවල අවදානම හා ඒවායෙන් වැළකීම පිළිබඳව බොහෝ විට ජනතාව තුළ ඇත්තේ අඩු දැනුමකි. ලොව පුරා මෙවැනි රෝගකාරක පැතිර යැමට ප්‍රධානතම හේතුව මෙය බව පැවසීම නිවැරැදි ය. මීට මනා නිදසුනක්‌ PREDICT කණ්‌ඩායමේ අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දිය හැකි ය. බංග්ලාදේශයේ 2001 වසරේ සිට Nipah නම් වයිරසය කලින් කලට පැතිර යමින් තිබූ අතර වසරකට 50ක්‌ වැනි ප්‍රමාණයක්‌ එමඟින් මිය ගිය හ. එහෙත් 2016 වසරේ සිට එම පැතිර යැම සහමුලින් ම නතර කළ හැකි විය. ඊට හේතුව වූයේ පර්යේෂකයන් කළ එක්‌තරා නිරීක්ෂණයකි. බංග්ලාදේශයේ ගම්බද ව රටඉඳි ගස්‌වලින් රා විශේෂයක්‌ නිෂ්පාදනය කෙරෙන අතර පර්යේෂකයන්ට තම පර්යේෂණ අතරවාරයේ රාත්‍රි කාලයේ අධෝරක්‌ත කැමරා මඟින් සිදු කරන ලද නිරීක්ෂණවල දී පෙනී ගොස්‌ තිබුණේ වවුලන් ගස්‌වල එහි ස්‍රාවය එකතු කිරීමට සවි කර ඇති මුට්‌ටිවලින් එම රා පානය කරන බවයි. මෙහි දී ඒවාට වවුලන්ගේ කෙළ මෙන් ම මුත්‍රා ද එක්‌ වන අයුරු ඔවුන් නිරීක්ෂණය කර තිබිණි. ඉන් පසු ඔවුන් සිදු කර තිබුණේ ප්‍රාදේශීය පරිපාලනයන් හා එක්‌ ව එම රා නිෂ්පාදකයන්ට තම මුට්‌ටි උණ බට පියනකින් ආවරණය කිරීමට උපදෙස්‌ ලබා දීමයි. 2016 දී එම ක්‍රියාමාර්ගය ගැනීමත් සමඟ එම රෝගය පැතිර යැම සහමුලින් ම නතර විය. මෙලෙස ඉතා විශාල මුදලක්‌ වැය වන ප්‍රතිකාර දාමයක්‌ හා මරණ වැළැක්‌වීමට උණ බට පියනකින් ඔවුන්ට හැකි වීම වසංගත අභියෝගය ජයගැනීම පිණිස දරන උත්සාහයන් ඉලක්‌කගත විය යුත්තේ ප්‍රතිකර්ම වෙත නො ව වළක්‌වාගැනීම වෙත බවට වන හොඳ උදාහරණයකි.

දැවැන්ත වැය

ගෝලීය මට්‌ටමෙන් සිදු වන මෙවැනි දැවැන්ත වයිරස දත්ත එකතු කිරීමේ ව්‍යායාමයන් සඳහා අධික මුදලක්‌ වැය වේ. එහෙත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උත්සාහය හරහා එක්‌ වසංගතයක්‌ හෝ වළක්‌වාගත හැකි නම් එම ආයෝජනය සම්පූර්ණයෙන් ම පියවී යන බවයි. කොවිඩ් 19 වසංගතය මේ වන විට ගෝලීය ආර්ථිකයට කර ඇති පාඩුව අති විශාල ය. පෙබරවාරි මාසයේ දී පමණක්‌ ගෝලීය ආනයන අපනයන ආර්ථිsකයට එම`ගින් සිදු වූ පාඩුව ඩොලර් බිලියන 50ක්‌ බව සැලකෙයි. ශ්‍රී ලංකාව පමණක්‌ සැලකුව ද මේ සිදු වීම හරහා සංචාරකයන් නො පැමිණීමෙන් සංචාරක ක්ෂේත්‍රය ද අමුද්‍රව්‍ය සපයාගැනීමට නො හැකි වීමෙන් නිෂ්පාදන ක්ෂේත්‍රයට ද ඇති ව ඇති බලපෑම අති විශාල ය. එබැවින් මෙවැනි උත්සාහයන් මීට වඩා බලසම්පන්න ව ඉදිරියට ගෙන යැම පිණිස ලෝක බලවතුන් ඇතුළු සියලු දෙනාගේ ම අවධානය වහා යොමු විය යුතු ය.



මීළඟ වසංගතයේ අනාවැකිය

මේ වයිරස දඩයමෙන් අපේක්ෂිත අවසන් ඉලක්‌කය වනුයේ මීළඟ වසංගතය පැනනඟින්නේ කොතැනින් ද, කුමන සත්ත්ව විශේෂයෙන් ද යන්න කල් තබා පුරෝකථනය කර ඊට මුහුණ දීමට මිනිසා සූදානම් කරවීමයි. වයිරසවල විවිධත්වය හා ඒවායේ හැසිරීමේ අවිනිශ්චිත බව ගත් කල එය අතිශය අපහසු කරුණක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය කිසි ලෙසකත් කළ නො හැක්‌කක්‌ බවයි. කෙසේ නමුත් PREDICTහි ජෛව විද්‍යාඥයන් මේ දෙස බලන්නේ ඊට වඩා ධනාත්මක ව ය. ඔවුන් පවසන්නේ වසංගතවල පැනනැඟීම පුරෝකථනය තවමත් තිබෙන්නේ එහි ළදරු අවධියේ බවටයි. කාලගුණ විද්‍යාව ද වරක්‌ එලෙස ම තිබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙත් ඉතා දිගු කාලයක කාලගුණ දත්ත සටහන් කර තැබීම නිසා එම දත්ත පාදක කරගනිමින් මොඩල සකසා නිවැරැදි ව කාලගුණ අනාවැකි පැවසීමට කාලගුණ විද්‍යාවට අද වන විට හැකි ව තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස ම අද සිදු වන මේ දත්ත එකතු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය හරහා අනාගතයේ දිනක මීළඟ වසංගතය පිළිබඳ ව නිවැරැදි අනාවැකි පළ කිරීමට හැකි වනු ඇති බවයි. මිලියන ගණනක ජීවිත තවත් වරක්‌ මිහිතලයෙන් තුරන් වී නො යැමට වග බලාගැනීමට නම් මේ ව්‍යායාමය අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුත්තක්‌ බව නිසැක ව ම පැවසිය හැකි ය.

දමිත නිපුණජිත්