logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආහාර සුරක්‌ෂිතතාවට අතීතයෙන් පාඩමක්‌...



ආහාර සුරක්‌ෂිතතාව යන්නට විවිධ වූ අර්ථ කථන ඇති අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්‌සත් ජනපද ආයතනය (USAID)ට අනුව ආහාර සුරක්‌ෂිතතාව යනු, සැම අවස්‌ථාවක දී ම ඵලදායී හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක්‌ උදෙසා ආහාර සඳහා ප්‍රමාණවත් භෞතික හා ආර්ථික ප්‍රවේශයක්‌ පැවතීමයි. එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ආහාර සුරක්‌ෂිතතාව යන්න ආහාර ලබාගැනීමට ඇති හැකියාව (ස්‌ථාවර පදනමක්‌ මත ප්‍රමාණවත් ආහාර සැපයීම ලබාගැනීමේ හැකියාව), ආහාර ප්‍රවේශය (පෝෂ්‍යදායී ආහාර ලබාගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් තිබීම) හා පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය යන ප්‍රධාන අංග තුනකින් සමන්විත වේ. තව ද, සරල ව ගත් කල ආහාර සුරක්‌ෂිතතාව ආහාර නිපදවීමේ, සකස්‌ කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්‌වා සෞඛ්‍යාරක්‌ෂිතව ලබා දීම ලෙස අර්ථ කථනය කළ හැකි ය. මේ අනුව ආහාර සුරක්‌ෂිතතාව හේතුවෙන් සැම කෙනකුට ම පෝෂ්‍යදායී ආහාර ලබාගත හැකි වේ.

අතීතයේ දී, වර්තමානයේ මෙන් කෘෂි රසායනික කිසිවක්‌ භාවිත නො කළ තරම් ය. කෘෂිකර්මාන්තයට ඔබින සැම පරිසර සාධකයක්‌ ම මැනැවින් තිබුණු මේ ශ්‍රී ලංකා භූමිය සතු ව ඉතා ම සශ්‍රීක පසක්‌ අතීතයේ පැවතිය ද අවාසනාවකට මෙන් එම සශ්‍රීකත්වය අද වන විට අපගේ ම වැරැදි ක්‍රියා කලාප නිසා අහිමි ව ගොස්‌ ඇත. එම නිසා ම එදිනෙදා අපට අවශ්‍ය ආහාර අප විසින් ම සකසා ගන්නා ලද පෝෂ්‍ය ගෙවත්තක්‌ මාර්ගයෙන් ලබාගැනීම කාලීන අවශ්‍යයතාවක්‌ වන අතර එම`ගින් අපට අවශ්‍ය ආහාර වසවිසෙන් තොර ව වගා කරගත හැකි ය.

තව ද, එදා අපගේ මුතුන් මිත්තන් හට වස විසෙන් තොර පෝෂ්‍යදායි ආහාර රිසි සේ ලැබුණු අතර ම එදිනෙදා කර්තව්‍යයන් ම`ගින් ව්‍යායාම් ද නොඅඩුව ලැබුණු බව නොරහසකි. කෙසේ වුව ද, විවිධ වූ මිරි`ගු පසුපස හඹා යැම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අපගේ ආහාර සුරක්‌ෂිතතාව අද වන විට දැඩි අර්බුදයකට මුහුණපා ඇත. මෙයින් ගම්‍ය වනුයේ අපට කොහේ හෝ වැරැදී ඇති බව ය. බොහෝ විට අපගේ ආදරණීයයන් අපට ද, අප අපගේ ආදරණීයන්ට ද රිසි සේ ආහාර පාන ලබා දීම සිදු කරනුයේ එකිනෙකාට ඇති සෙනෙහෙවන්තකම නිසා ම ය. එනමුදු, කරුණු කාරණා හරි හැටි නො දැන ක්‍රියා කිරීම නිසා ම අප නොදැනුවත් ව ම බොහෝ දෙනකුගේ ජීවිත අ`දුරු වීමට පුළුවන.

ලොව පෝෂණ ගුණයෙන් මෙන්ම රසවත් බවින් ඉහළ ම ආහාරය කුමක්‌ ද යන්න ඇසුව හොත් පිළිතුර කුමක්‌ වේ වි ද? පිළිතුර නම් "මවු කිරි" යන්නයි. මවු කිරිවල සැම රසක්‌ ම මෙන්ම සැම පෝෂක කොටසක්‌ ම නියමිත අනුපාතයකින් පවතී. එහෙව් අහරකින් ජීවිතය ආරම්භ කරන අප, කාලයත් සම`ග වැඩිහිටියන් විසින් අපට හුරු කරවනු ලබන ආහාර රටාවකට යොමු වේ. කෙසේ වුව ද, වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු වැරැදි ආහාර පුරුදු රටාවකට හුරු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බෝ නො වන ලෙඩ රෝග අප සමාජයේ සුලබ වීමට පටන්ගෙන ඇත. මේ නිසා ම එදිනෙදා අප ගන්නා ආහාර කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කරමින් නියමිත මාත්‍රාවට ආහාර පිසීම සහ අනුභවය සිදු කළ යුතු ම ය.

ආහාර පිස ගැනීමේ දී මෙන්ම තමන්ගේ සමීපතමයන්ට එම ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍ය ආහාර සපයා දීමේ දී ගෙදරක කාන්තාවක සතු, විශේෂයෙන් අම්මා කෙනකු සතු කාර්යභාරය සුවිශේෂී වේ. ආහාර සුරක්‌ෂිතතාව උදෙසා අප සියලු දෙනා ම එකාවන් ව ක්‍රියාත්මක විය යුතු වුව ද එහි යාන්ත්‍රණය සඳහා සෘජු ව ම දායක වන හා දායක විය යුතු තැනැත්තිය අපගේ අම්මා ය. ඒ මන්ද යත්, අම්මා කෙනෙකුගේ ආදරය නිසා ම මුළු ලොව ම යන ගමන් ම`ග තීරණය වන බැවිනි.

එබැවින් නැවත වතාවක්‌ ශ්‍රී ලාංකීය ජාතියට නිසි කායික පෝෂණයක්‌ ලබා දීමට අම්මා කෙනකු සතු භූමිකාව සුවිශේෂී වේ. එසේ ම දරුවන් ලෙස අප ද වෙනදාට වඩා අප ආහාරයට ගන්නා ආහාර ගැන සැලකිලිමත් විය යුතු ම ය. අපගේ මුතුන් මිත්තන් පරිභෝජනයට ගත් සැම අහරක්‌ ම පෝෂණය, රසවත්භාවය අතින් සේ ම ඖෂධීය ගුණය අතින් අනූන ව පැවැති බව අතීතය විමසන කල මොනවට පැහැදිලි වේ. එහි දී, පරිභෝජනයට ගත් ආහාර නිසා ශරීරයේ සීනි මට්‌ටම හෝ කොලෙස්‌ටරෝල් මට්‌ටම හෝ ලවණ මට්‌ටම හෝ වැඩි නො වුණු අතර ඒවා මනා ලෙස පාලනය කරවිය හැකි සංඝටකවලින් එම අහර පොහොසත් ව පැවතිණි. එබැවින් අද සමාජයේ මෙන් එදා සමාජයේ දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය, විවිධ නාමයන් ගෙන් හ`දුන්වනු ලබන වකුගඩු රෝග, පිළිකා, ලිංගික බෙලහීනතාවන් ඇතුළු බෝ නො වන ලෙඩ රෝග විද්‍යමාන නො වුණු තරම් ය.

අප එකිනෙකා සතු ව එකිනෙකට වෙනස්‌ වූ ජාන සංයුතියක්‌ පවතින බව අසා ඇතිවාට සැක නැත. මේ ජාන සංයුතියේ ප්‍රබලතාව මත බෝ වන ලෙඩ රෝගයනට මෙන්ම බෝ නො වන ලෙඩ රෝගයනට ගොදුරු වීම තීරණය වේ. කෙසේ වුව ද, සලකන ලද එක පවුලක්‌ තුළ වෙනත් පවුලකට සාපේක්‌ෂව ජාන සංයුතියේ සමානකමක්‌ පවතී. ඒ හේතුව නිසා ම පවුලේ සමීපතමයකුට බෝ නො වන ලෙඩ රෝගයක්‌ ඇති විට ආහාර ම`ගින් අප පරෙස්‌සම් විය යුතු ය යන්න ද ඔබ අසා ඇතිවාට සැක නැත. මෙයට ප්‍රධානතම හේතූන් වනුයේ කෙනකු ජානමය වශයෙන් දුර්වල නම් ලෙඩ රෝගයනට ගොදුරු වීමට වැඩි අවදානමක්‌ පැවතීම සේ ම පවුලේ සැවොම බොහෝ විට එක ම ආකාරයේ ආහාර වේලක්‌ එදිනෙදා ජීවිතයේ දී ලබා ගැනීමයි. මෙහි දී ජානමය අතින් හොඳාකාර ව ලෙඩ රෝගයනට මුහුණ දීමට ශක්‌තියක්‌ පැවතිය ද අඛණ්‌ඩ ලෙස මාත්‍රාව ඉක්‌මවා සීනි, පිටි, තෙල්, ලුණු යනාදී කෑම ආහාරයට අප එක්‌ කරගත් කල පවුලේ සමීපතමයන් බෝ නො වන ලෙඩ රෝගයනට ගොදුරු වීම නොවැළක්‌විය හැකි වේ. මෙහි දී, අඛණ්‌ඩ ලෙස මාත්‍රාව ඉක්‌මවමින් අප ආහාරයට එක්‌ කරගන්නා සීනි හා පිටි හේතුවෙන් රුධිරයේ සීනි මට්‌ටම ක්‌ෂණික ව වැඩි වී දියවැඩියා රෝගය හටගනී. මෙවැනි පුද්ගලයකු හට ප්‍රථමයෙන් සෑදෙනුයේ දියවැඩියාව වුව ද දීර්ඝ කාලීනව දියවැඩියාව රෝගයෙන් පෙළුණු කල පසුකාලීන ව අනෙකුත් ඕනෑ ම බෝ නො වන ලෙඩ රෝගයක්‌ වැළඳීමට ඉහළ ප්‍රවණතාවක්‌ පවතී. තව ද, අධික ලෙස කෑමට එක්‌ කරගන්නා කොලෙස්‌ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ හේතුවෙන් රුධිර පීඩනය වැඩි වී හෘදයබාධ මෙන්ම ආඝාතය වැනි තත්ත්වයන් ඇති වේ. එසේ ම ලුණු අධික ආහාර ගැනීම හේතුවෙන් රුධිර පීඩනය වැඩි වී වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයබාධ වැළඳීම වැනි දෑ සිදුවිය හැකි ය.

වර්තමානය වන විට අප සමාජය ම බෝ නො වන ලෙඩ රෝගයනට වැඩි වශයෙන් ගොදුරු වීම නිසා ම වෙළෙඳපළෙන් මිල දී ගනු ලබන ආහාරමය ද්‍රව්‍යයන්හි සලකන ලද ප්‍රමාණයක (100gක හෝ 100mlක) අඩංගු සීනි, පිටි, තෙල්, ලුණු යනාදිය මුද්‍රණය කර තැබිය යුතු බවට ශ්‍රී ලංකා රජය ම`ගින් වැදගත් තීරණයක්‌ ගෙන ඇති අතර සැබැවින් ම එය ඇගයිය යුත්තක්‌ වේ. කෙසේ වුව ද, අතීතයේ බලගතු ආහාර වට්‌ටෝරුවකට උරුමකම් කී අප නැවතත් වහා වහා ඒවාට හුරු විය යුතු කාලය එළඹ ඇත.

බොහෝ විට අප විසින් ගනු ලබන ආහාර ශරීර සෞඛ්‍යයට හානිකර බව අප දන්නා නමුත් ආහාර ඉදිරියේ අප බොහෝ දෙනකු හැ`ගීම් බර වේ. මේ නිසා ම දෙවරක්‌ නො සිතා කෘත්‍රිම රසකාරක බහුල ලෙස අඩංගු එම සියලු ම ආහාර රිසි සේ කුසට දමාගනියිs. ඒ අතර ඇතැම් පිරිස්‌ එය සාධාරණීකරණය කිරීමට පුරසාරම් ද දෙඩවීමට අමතක කරන්නේ නැත. "මට නම් ඔය කියන දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග මොකුත් නැහැ නේ" කියමින් අතට හසු වන සැම ආහාරයකට ම වගකියන පුද්ගලයෝ කොතෙකුත් අප සමාජයේ වෙසෙති. අවාසනාවකට මෙන් ඔවුන් එසේ පවසා ඉතා කෙටි කාලයක්‌ යැමට මත්තෙන් එම ලෙඩ රෝගයනට ගොදුරු වීම අතිශයින් ශෝචනීය ය. එවැනි සිද්ධීන් බහුල ලෙස අපට දැකගත හැකි අතර මෙයට ප්‍රධානතම හේතුව පමණ ඉක්‌මවා ආහාර ගැනීම හේතුවෙන් දිගින් දිගට ම අපගේ ශරීර අභ්‍යන්තරය අසමතුලිත වීමයි. අඛණ්‌ඩව එක්‌ වන අහිතකර සංඝටක ශරීර අභ්‍යන්තරයේ පැවතිය යුතු මට්‌ටමට වඩා ඉහළ ගිය විට පමණක්‌ රෝග ලක්‌ෂණ පෙන්නුම් කිරීමට පටන්ගන්නා අතර එතෙක්‌ රෝග ලක්‌ෂණ කිසිවක්‌ පෙන්නුම් නො කරයි.

වර්තමානය වන විට බෝ නො වන ලෙඩ රෝග මුළු සමාජය ම වෙළාගෙන යමින් පවතින හෙයින් ඒවායෙන් ආරක්‌ෂා වනු වස්‌ අප එදිනෙදා ලබාගත යුතු නිර්දේශිත සීනි, පොල්තෙල්, ලුණු ප්‍රමාණයක්‌ පවතී. වෛද්‍ය මතය අනුව දියවැඩියාවෙන් තොර ජීවිතයක්‌ ගත කිරීමට පුද්ගලයකු දෛනිකව ලබාගත යුතු සීනි මට්‌ටම 30gකට අඩු ප්‍රමාණයක්‌ වුව ද වර්තමාන සමාජයේ අප බොහෝ දෙනකු සීනි අධික ප්‍රමාණයක්‌ කෑමට එක්‌ කරගැනීමට හුරු ව ඇත. එනමුදු එයින් සිදු වන බලපෑම අවම කිරීමට අවශ්‍ය සංඝටකයන් ගෙන් යුත් ආහාර කෑමට එකතු කරගන්නේ නැති ම තරම් ය. එදවස අපගේ මුතුන් මිත්තන් කෝවක්‌කා කොළකැඳ, රණවරා කොළකැඳ, නීරමුල්ලිය කොළකැඳ, බෙලි කොළකැඳ යනාදියෙන් එක වර්ගයක්‌ හෝ සතියකට එක්‌ වතාවක්‌ හෝ පානය කිරීමට මෙන්ම රණවරා ගසේ පස්‌පංගුව තම්බා උදේ සවස බීමට ද පුරුදු ව සිට ඇත. එසේ ම ඉදුණු වරකා හෝ කොස්‌කොළ තම්බා බීම, මාදම් පොතු තම්බා බීම, කුඹුක්‌ පොතු තම්බා බීම, අට්‌ටික්‌කා පොතු තම්බා බීම, බෙලිමුල් තම්බා බීම, මුකුණුවැන්න කොටා වන්ඩුවේ තම්බා මිරිකා බීම, මාදම් ඇට කොටා කුඩු කර වත් කර බීම, කොටදිබුලා ගෙඩි මාලුව උයා කෑම, අට්‌ටික්‌කා ගෙඩි මාලුව උයා කෑම, කුරු`දු පොතු කුඩු කර කෑමට එක්‌ කර ගැනීම, මුරුංගා කොළ හෝ කුඩු දිනපතා පානය කිරීම හෝ ආහාරයට එක්‌ කර ගැනීම, කරවිල යුෂ මේස හැඳි 2ක්‌ දිනපතා උදේ සවස පානය කිරීම, අඹරැල්ලා අමුවෙන් හෝ සීනි නොදැමූ ව්‍යංජනයක්‌ ලෙස ආහාරයට ගැනීම, වෙනිවැල් ගැට තම්බා බීම, කෝවක්‌කා කොළ හා තෙබු කොළ සම්බෝලයක්‌ ලෙසින් ආහාරයට එක්‌ කර ගැනීම, කටු අනෝදා, ඉදුණු වෙරළු, බෙලි, නාරං, නෙල්ලි යනාදිය ආහාරයට එක්‌ කර ගැනීමට පුරුදු ව සිට ඇත. මේ හේතුවෙන් අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරගත සීනි මට්‌ටම ඉක්‌මනින් පහත වැටී ඇති බවත් දිය වැඩියාවෙන් තොර නීරෝගී ජීවිත ගත කිරීමට හැකි වී ඇති බවත් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

අදාළ වාර්තා අනුව, එක ම ප්‍රමාණයක බත් සහ පාන් අතරින් ශරීර සෞඛ්‍යයට කුමක්‌ යෝග්‍ය දැයි වර්තමාන සමාජයෙන් විමසූ විට බොහෝ දෙනකු දී ඇති පිළිතුර "බත්" ය. තව ද "සුදු බත්" හා "රතු බත්" අතරින් ශරීර සෞඛ්‍යයට යෝග්‍ය "රතු බත් ද?" නැත්නම් "සුදු බත් ද?" ලෙස විමසූ විට බොහෝ දෙනකු පැවසු පිළිතුර "රතු බත්" යන්න ය. එසේ නම් කෑමට වැඩිපුර ම එක්‌ කරගන්නේ "රතු බත් නේ ද?" යනුවෙන් ඇසූ විට පිළිතුර "නැහැ, සුදු බත්" යනුවෙන් බොහෝ දෙනකු පවසා ඇත. එය එසේ වීමට හේතුව ඇයි දැයි ඇසූ විට බොහෝ දෙනකු පැවසූයේ "රතු බත්" රස නැති ය යන්න ය. මේ අනුව අපට හොඳට ම වැරදී ඇති බව පෙනෙයි. "රතු බත්" රස නැතැයි අප දන්නේ කෙසේ ද? නිවසක බොහෝ විට ආහාර සකසනුයේ අම්මා ය. කිසියම් මවකගේ මවක්‌, එම මවට "රතු බත්" කෑමට හුරු කර නැත්නම් කෙදිනක වත් ඒ මව, ඇයගේ දරුවන්ට එවැනි කෑම හුරු කරවන්නේ ද නැත. අද අපට සිදු ව ඇත්තේ එයයි.

හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ නිලධාරී
සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු