logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අඳුරෙහි සැඟවුණු විස්‌මයජනක වනජීවිත ලොවෙන් සැඟව ජීවත් වන සිරිලක කඳුකර කළු කොටි...


වනසත්ත්ව චර්යා රටාවන් අධ්‍යයනය කිරීම යනු විධිමත් අයුරින් සිදු කළ යුතු පර්යේෂණාත්මක කාර්යයකි. මෙබඳු පර්යේෂණාත්මක කාර්යයක නියෑළුණු වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් කණ්‌ඩායමකට සොබාදහමේ වැදගත් වූ සිදු වීමක්‌ අනාවරණය කරගැනීමට ඉකුත් දා අවස්‌ථාව උදා විය.

මෙතුවක්‌ අප රට තුළ ජීවත් වන බළල් පවුලේ විශාල ම සාමාජිකයා ලෙස අවිවාදිත ව පිළිගැනුණු කොටියාගේ ම කළු පැහැති සත්ත්වයකු (ප්‍රභේදයක්‌) පිළිබඳව අනාවරණය කරගැනීමට අදාළ වනජීවී පර්යේෂකයෝ සමත් වූ හ.

ශාරීරික පැහැයෙන් කහ පැහැති වර්ණයේ දිව යන කළු පැහැ පුල්ලි රටාව කොටියාගේ නම ඇසු පමණින් අප මනසේ ඇඳී යන්නේ නිතැතින් ය. ඒ, කොටියාගේ පැහැය අප නිරන්තර ව ම දකිනුයේ ඒ ආකාරයෙන් වන නිසාවෙනි. එහෙත් මේ කියන කොටියාගේ වර්ණය වන්නේ කළු පැහැයයි. එනිසාවෙන් මේ පුවත කන වැකුණු ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ ම පාහේ අවධානය දිනාගැනීමට සත්ත්වයා සමත් ව ඇත.

මිනිසුන් වන අපට යම් නුහුරු බවක්‌ මේ සත්ත්වයා දුටු කල දැනුණ ද, සොබාදහමේ තවත් අපූර්ව නිමැවුමක්‌ බඳු කළු කොටින් පිළිබඳව මැලේසියාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකින් ද අප්‍රිකාවෙන් ද වාර්තා වේ. එසේ ම මේ ලෝ ප්‍රකට කළු කොටින් හැඳින්වීමට සුලබ ව භාවිත වන්නේ ද Black panther/Black leopard නම් වූ යෙදුමයි.

ඉතින් අපට යම් නුහුරු බවක්‌ දැනෙන නමුදු සොබාදහමට සුපුරුදු මේ කළු කොටින් පිළිබඳව අප රට සතු ව ඇති තොරතුරු පිළිබඳව මඳක්‌ විපරම් කර බලමු.

අප රටේ විසිරී ඇති වනපෙත් තුළ වාසය කරන මාංශ භක්‌ෂක පවුලට අයත් විසල් වූ සාමාජිකයා වන්නේ කොටියා ද? දිවියා ද? පැනයකි. බොහෝ දෙනකු පෙර සඳහන් කළ සත්ත්වයා 'කළු දිවියා' ලෙස ද, 'කළු කොටියා' ලෙස ද හඳුන්වන්නේ මේ පද දෙකේ පැටලීමක්‌ ඇති කරගෙන තිබෙන නිසාවෙනි. එබැවින් ඉංග්‍රීසී නමින් Leopard ලෙස ව්‍යවහාර වන කොටියා අප රට තුළ නිවැසි ව වාසය කරන්නේ ද යන්න පැහැදිලි ව හඳුනාගත යුතු ය.

සිරුරේ ප්‍රමාණයෙන් වඩාත් කුඩා සත්ත්වයන් 'දිවියා' ලෙසත්, විසල් සිරුරක්‌ ඇති සත්ත්වයන් 'කොටියා' ලෙසත් ව්‍යවහාර කිරීම නිවැරැදි වූ සිංහල භාවිතය වේ. අප රට තුළ වාසය කරන කොටියාට වඩා සිරුරින් කුඩා බළල් පවුලට අයත් සාමාජිකයන් දෙදෙනකු හමු වේ. ඒ, කොළ දිවියා (Rusty Spotted Cat) සහ හඳුන් දිවියා (Fishing Cat) ය. මේ දෙදෙනාට අමතර ව අප රට තුළ වාසය කරන බළල් පවුලේ අනෙක්‌ සාමාජිකයා වන්නේ වල් බළලා (Jungle Cat) ය.

ලොව පුරා වාසය කරන බිළාල පවුලට අයත් සාමාජිකයන් අතරේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන බිළාල පවුලට අයත් ලොකු ම සාමාජිකයා හඳුන්වන විද්‍යාත්මක කියෑවීම වන්නේ පැන්තරා පාඩුස්‌ කොටියා Panthera parduskotiya යන ලතින් වහරයි. එනම් එහි දී අපේ රට තුළ වාසය කරන 'කොටියා'ට හිමි ස්‌ථානය නිවැරැදි ව ලබා දී ඇත. මේ ලිපිය සඳහා පාදක වන කළු කොටියාගේ විද්‍යාත්මක නම වන්නේ ද පෙර සඳහන් කළ යෙදුම ම වේ. එනම් අප රට තුළ ව්‍යාප්ත සැම භූගෝලීය කලාපයක ම ව්‍යාප්ත ව ඇති කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ට හැඩගැසී තම පැවැත්ම තහවුරු කරගැනීමේ හැකියාව සහිත කොටියාගේ තවත් සාමාජිකයකු ලෙස කළු කොටියා නම් කළ හැකි ය.

කළු කොටියා බැලූ බැල්මට ඔවුනට ඥාති වන සෙසු කොටින්ගේ පැහැයෙන් වෙනස්‌ ව කැපී පෙනෙයි. එසේ ම කහ පැහැති පසුබිමේ කළු පුල්ලි රටාව දරන කොටින් අතරේත් සියුම් වූ පැහැ වෙනසක්‌ මේ සත්ත්වයින් විසිර සිටින පාරිසරික හා දේශගුණික තත්ත්වයන් අනුව දැකගත හැකි ය. එක හා සමාන සත්ත්වයන් සේ කොටින් දිස්‌ වුව ද ඒ අයගේ සමේ පැහැය ශුෂ්ක - වියළි කලාපය, තෙත් අතරමැදි කලාපය, මධ්‍යම හා ඉහළ කඳුකරය දක්‌වා ව්‍යාප්ත වීමේ දී වෙනස්‌ වන ආකාරය හොඳින් අවබෝධ කරගත හැකි ය.

වියළි දේශගුණික තත්ත්වයන් තුළ ජීවත් වන කොටින් කහ පැහැති ය. තෙත්-වියළි අතරමැදි දේශගුණික පාරිසරික තත්ත්වයන් තුළ ජීවත් වන කොටින් අඳුරු පැහැයට හුරු ය. ඉහළ කඳුකරයේ සීතල දේශගුණික පාරිසරික තත්වයන් තුළ ජීවත් වන සතුන් රත්රන් පැහැයට හුරු ය.

ඒ කෙසේ වෙතුදු මේ සත්ත්වයන් සියල්ලගේ ම කළු පැහැති පුල්ලි රටාව හොඳින් සිරුර පුරා දිව යන ආකාරය නිරීක්‌ෂණය කළ හැකි ය. එසේ තිබිය දී අපට හුරු පුරුදු පැහැයෙන් දිස්‌ වන කොටි අතරේ එක්‌ වර ම කළු පැහැ සත්ත්වයකු වාර්තා වූ කල මුළු රටක්‌ ම ඒ ගැන අවධානය යොමු කිරීම සාධාරණ වේ.

කළු කොටි පිළිබඳ පුවත වර්තමාන සමාජයට අලුත් පුවතක්‌ වුවත්, මේ හා සම්බන්ධයෙන් අතීතයේ ජන සමාජයේ යම් යම් අවස්‌ථාවල දී කතා බහට ලක්‌ ව තිබූ බවත්, එදා සිට අද දක්‌වා ම මෙබඳු සත්ත්වයන් අපේ කොටි පරපුරේ සාමාජිකයන් ලෙස ජන්මය ලබමින් තමන්ගේ සුපුරුදු පැවැත්ම සහතික කරගෙන ඇති බවත් පෙනෙයි.

ආර්. එල්. ස්‌පිට්‌ල් ශූරීන්ගේ 'සුදු ගෝනා' යනු ලක්‌දිව වනකථා සාහිත්‍ය පෝෂණය කළ අනගි කෘතියකි. සිරිලක වනපෙත් ඇසුරේ ඇවිද යමින්, ආදිවාසී ජනතාව පිළිබඳව ගවේෂණය කරමින් උගත් බොහෝ කරුණු කාරණා අනුසාරයෙන් රචිත මෙබඳු කෘති කිහිපයක්‌ ම අපේ වන කථා සාහිත්‍යයට දායාද කිරීමට ඒ මහතා ගත් උත්සාහය නිසාවෙන් අදටත් අමරණීය චරිතයක්‌ බවට පත් ව සිටියි. 'සුදු ගෝනා' කෘතියේ එක්‌ පරිච්ඡේදයක්‌ ස්‌පිට්‌ල් මහතා වෙන් කරන්නේ කළු කොටියකු වෙනුවෙනි. ඒ සෙසු කොටින් ගෙන් වෙන් ව පහසුවෙන් හඳුනාගත හැකි දැලි වන් කළු පැහැති කළු කොටියකු පිළිබඳව සඳහන් කිරීමට ය. වනපෙතේ ඇවිද යමින් ආදිවාසීන්ගේ අතීතය ගවේෂණය කරමින් යන අතරේ තමන් උගත් කරුණු තම නිර්මාණයන් සඳහා ඔහු යොදාගත්තේ ය.

මෙබඳු සත්ත්වයකු පෙර ආදිවාසීන් වනයේ ඇවිද යන අතර ද දුටුවාට සැක නැත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස එතුමන්ගේ රාජ ප්‍රසාදයේ පසෙකින් සුවිශේෂී සත්ත්වයන් සඳහා වෙන් වූ සත්ත්ව ගාලක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එහි සුදු පැහැ සත්ත්වයන් (ඇලි තත්ත්වයට පත් වූ සතුන්) සේ ම කළු පැහැ කොටින් ද සිටි බව සඳහන් වේ. ඉංග්‍රීසි ජාතික ටෙනන්ට්‌ තම ක්‌ෂේත්‍ර සටහන්වලත්, මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල ශූරීන් වැන්නවුන් තම නිර්මාණ (පර්යේෂණ පත්‍රිකා) ඔස්‌සේත් මෙබඳු සත්ත්වයන් පිළිබඳව සඳහන් කර ඇත. එනම් කළු කොටි වැනි සතුන් මින් පෙර අප රට තුළ ජීවත් වීම යනු හිතළුවකැයි සිතා බැහැර කළ නොහැකි ය.

කළු කොටියාට උපතින් ම හිමි වී ඇති වර්ණ ගැන්වුම නිසාවෙන් එබඳු සත්ත්වයකු අප රට තුළ නිදහස්‌ සොබාවික තත්ත්වයන් මත දුටු කල සිතේ හටගන්නේ අපූර්වත්වයක්‌ සේ ම සුවිශේෂී බවකි. සැබැවින් ම මේ සත්ත්වයා තමන් අයත් වන සත්ත්ව විශේෂයේ සෙසු සාමාජිකයන්ට අයත් ශාරීරික වර්ණ රටාවෙන් පැහැදිලි වෙනස්‌කම් සහිත ව වෙන් කර හඳුනාගත හැකි ය. මේ සත්ත්වයන් දිවි ගෙවන්නේ නිදහස්‌ පාරිසරික තත්ත්ව යටතේ වන බැවින් ඔවුන් ගේ සුවිශේෂී වූ වර්ණ හැඩහුරුතාව හේතුවෙන් දුර්ලභ වන බව සැබෑ නමුදු මේ සත්ත්වයා නියෝජනය කරන්නේ ඔවුන් අයත් වන සත්ත්ව විශේෂය ම ය. වෙනත් උප විශේෂයක්‌ ලෙස වරදවා අර්ථ ගන්වා නො ගත යුතු ම ය. එසේ ම දුලබ සහ සුවිශේෂී වූ ශාරීරික හැඩහුරුකම් සහ කැපී පෙනෙන තත්ත්වය හේතුවෙන් මෙබඳු සත්ත්වයන්ගේ ජීවිතය තොර කරමින් ඔවුන්ගේ විවිධ ශාරීරික කොටස්‌ යොදාගෙන කළ නිමැවුම්, ආලේපන සඳහා හෝ මාංශ අනුභවයෙන් අමරණීයත්වයක්‌ ලබාගත හැකි ය යන මිථ්‍යාවෙන් මේ සත්ත්වයන්ගේ ජීවිත තොර කිරීමට ද කිසිසේත් ම නො සිතිය යුතු ය. එබඳු මිථ්‍යා විශ්වාසවලින් අන්ධ නො විය යුතු ය.

අපට හුරු පුරුදු ශ්‍රී ලාංකිකයන් අතරේ ඉඳහිට අපේ සුපුරුදු පැහැයට හාත්පසින් ම වෙනස්‌ සුදු පැහැයෙන් මිනිසුන් හමු වනවා ඔබට මතක ඇති. එසේ වුවත් එබඳු පුද්ගලයන් ද අයත් වන්නේ අප නියෝජනය කරන මිනිස්‌ පරපුරට ම ය. මේ සිදු ව ඇත්තේ ද කොටින් අතරේත් එබඳු ම සිදු වීමකට යම් සමානකමක්‌ ඇති තත්ත්වයකි. එනම් සාමාන්‍යයෙන් අපට දැකගැනීමට ලැබෙන කහ වර්ණයෙන් යුතු කොටින්ට හාත්පසින් ම වෙනස්‌ වූ ඊට සමීපයෙන් හෝ නො යන කළු වර්ණ සංකලනයක්‌ සහිත වීම ය.

අවධානයට ලක්‌ වූ කළු කොටියා එසේ වීමට බලපා ඇති විද්‍යාත්මක පසුබිම කුමක්‌ විය හැකි ද?

ජීව විද්‍යාත්මක හේතු කාරණාවන් මුල් වී සුපුරුදු ශාරීරික හැඩගැසීම් හෝ පැහැ වෙනසක්‌ සහිත ව මෙබඳු අවස්‌ථාවන්ට මුහුණ දීමට මිනිසාටත් - සතුන්ටත් පොදුවේ සිදු විය හැකි ය. මෙය තමන්ගේ සනුහරේ සෙසු සත්ත්වයන්ට හිමි වූ වර්ණයෙන් නො පිහිටන වර්ණ විකෘතිතාවක්‌ ලෙසටත් හැඳින්විය හැකි ය. සිරුරේ එක්‌ වර්ණයක්‌ මුල් වී මුළු සිරුර පුරා ම පැතිර යැමක්‌ මෙහි දී නිරීක්‌ෂණය කළ හැකි ය. එනම් සිරුරේ කළු පැහැයට මුල් වන වර්ණකය වන මෙලනින් නිෂ්පාදනය වැඩි වූ විට කළු පැහැය වැඩියෙනුත්, මෙලනින් නිෂ්පාදනය අඩු වූ විට සුදු පැහැය වැඩියෙනුත් අන්තර්ගත වූ සතුන් උපදියි.

මින් පෙරත් අවස්‌ථා කිහිපයක දී ම මෙබඳු කළු පැහැ කොටින් හමු වුවත් ඒ සියලු ම සත්ත්වයන් හමු වන විටත් සිටියේ තේ වතු මායිමේ අටවා තිබූ මදුවලට හසු වී ප්‍රාණය නිරුද්ධ වූ තත්ත්වයේ ය. කළු කොටින්ගේ සිරුරු හමු වන අවස්‌ථාවල දී එම මළ සිරුරු කුණු වූ තත්ත්වයෙන් හමු වූ බැවින් එබඳු සතුන් ගැන පැහැදිලි අවබෝධයක්‌ හෝ ලබාගැනීමට අපහසු විය. එහෙත් මාතර දිස්‌ත්‍රික්‌කයේ දෙණියාය - මාඋල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසු වී මිය ගොස්‌ සිටිය දී හමු වූ කළු කොටියාගේ සිරුර සංරක්‌ෂණය කර ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මෙතෙක්‌ කළු කොටින් ගැන කථා කිරීමේ දී අපට තිබූ හොඳ ම නිදර්ශකය වූයේ එම සංරක්‌ෂණය කළ (චර්ම පරිචර්ම - Taxidermy) සත්ත්ව පිළිරුව ය.

මේ සත්ත්වයා දුරට කළු පැහැයෙන් දිස්‌ වුවත් සමීප වී පරීක්‌ෂා කිරීමේ දී කළු පැහැ පසුබිමේ කහ පැහැ කළු පුල්ලි රටාවක්‌ දිව යන සැටි හොඳින් නිරීක්‌ෂණය කළ හැකි ය.

ඇලි තත්ත්වය, සුදු පැහැ තත්ත්වය යනු ඊට ඉඳුරා ම වෙනස්‌ වූ තත්ත්වයකි. එනම් තමන්ගේ මා පිය පාර්ශ්වයෙන් උරුම විය යුතු ජානමය උරුමයන් වෙනුවට නිලීන ජාන සත්ත්වයා හරහා ඉස්‌මතු වීම තුළින් පරපුරට අයත් ස්‌වාභාවික වර්ණය සුදු පැහැ වීමෙන් ඇලි තත්ත්වයට පත් වන අතර ම එවැනි වූ සත්වයන්ගේ ඇස්‌ රතු පාටින් යුතු බව නිරීක්‌ෂණය කළ හැකි ය. බොහෝ ඇලි සතුන් ශාරීරිකව ද දුර්වල ය.

තමන්ගේ සනුහරේට අයත් වුණු වර්ණ සංකලනයට හාත්පසින් ම වෙනස්‌ කළු පැහැයෙන් යුක්‌ත කළු කොටියා විශේෂ වන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර ඇසුරේ වාසය කරන කොටින් අතරේ මෙවැනි වූ තත්ත්වයකට පත් වූ කොටින් ලෙසින් වාර්තා වන්නේ ඉතා ම සීමිත ගණනක්‌ වන බැවින් ය. එයිනුත් සජීවී සත්ත්වයකු ලෙස දුරස්‌ථ චලන කැමරාවක (Trap camera) සටහන් වූ කළු කොටියා සුවිශේෂී වන්නේ මේ වන විටත් තමන්ගේ සුපුරුදු වනබිමේ කඳු හෙල් අතරේ නිදහසේ කාලය ගත කරන නිසාවෙන් ය. සිරුරේ පැහැයෙන් තම සනුහරේ සෙසු සාමාජිකයන් ගෙන් වෙන් ව කැපී පෙනුණත් 'පැන්තරා පාඩුස්‌ කොටියා'ගේ ම වර්ණ ප්‍රභේදයක්‌ ලෙස මේ සත්ත්වයා පත් ව ඇති තත්ත්වය හැඳින්විය හැකි ය.

අපට අමුතු ලෙස නිරීක්‌ෂණය වුවත් මොහු අයත් කොටි පවුලේ සෙසු සාමාජිකයන් ගෙන් මොනයම් ම හෝ වෙනස්‌ වූ (ශාරීරික හිංසනයක්‌) හැසිරීමක්‌ මේ සත්ත්වයා වෙත යොමු ව නොමැති බව නිරෝගීමත් පුෂ්ටිමත් දේහයෙන් වටහාගත හැකි ය. කොටින්ගේ චර්යා රටාවන් ගත් කල පිරිමි සත්ත්වයකු තමන්ට ම වෙන් වූ විසුම් පරාසයක්‌ පවත්වාගනිමින් එය ආරක්‌ෂා කරගනිමින් ජීවත් වන අතරේ එවැනි වැඩුණු පිරිමි සත්ත්වයකුගේ විසුම් පරාසය තුළ ගැහැනු සත්ත්වයන් කිහිප දෙනකුගේ වසම් තිබිය හැකි ය. නිරීක්‌ෂණය වී ඇති කළු කොටියා ද වැඩුණු පිරිමි සතෙකි. එබැවින් මේ සත්ත්වයාගේ විසුම් පරාසය තුළ තවත් කොටි ගැහැනු සත්ත්වයන්ගේ වසම් සටහන් ව තිබිය හැකි ය. එබැවින් මොහු පීතෘත්ත්වය දරන පැටවුන් අපට හුරු පුරුදු කොටින්ගේ පැහැයෙන් උපත ලබන අතරේ කලාතුරකින් පියාගේ පැහැයෙන් දිස්‌ වන පැටවකු උපත ලැබීමේ සම්භාවිතාවක්‌ ද තිබිය හැකි ය. එහි තීරකයා වන්නේ සියලු නිමැවුම්වල හිමිකරු වන සොබාදහමයි.

කොටින් යනු දැඩි ලෙස ආරක්‌ෂිත සත්ත්ව කාණ්‌ඩයට අයත් සත්ත්වයෙකි. වනසත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ ෂෂ උප ලේඛනයට අනුව දැඩි ලෙස ආරක්‌ෂිත ක්‌ෂීරපායි සතුන් හා උරගයන්ගේ නාම ලේඛනයට කොටියා ද ඇතුළත් කර ඇත. මෙසේ ආරක්‌ෂිත ක්‌ෂීරපායින් ලෙස ලැයිස්‌තුගත කර ඇත්තේ විවිධ මානව බලපෑම් හේතුවෙන් මෙබඳු සත්ත්වයන්ගේ ජීවිතයට තර්ජන එල්ල වීම වළක්‌වා ලමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරනු පිණිස ය. එබැවින් මෙවැනි ජීවී සතකු තබා අජීවී, මිය ගිය සතකුගේ කොටසක්‌ හෝ ළඟ තබාගැනීම (සම්, දත්, නිය), සොබාවික වාසස්‌ථානයන්ට හානි පැමිණවීම ද`ඩුවම් ලැබිය හැකි වරදක්‌ බව ද සහිපත් කළ යුතු ම ය. වනජීවී රක්‌ෂිත ඇසුරේ සුරක්‌ෂිත ව නිදහසේ දිවි ගෙවන සත්ත්වයන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් වනසත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනත බලාත්මක වන බවත් සිහි කටයුතු ය.

එනම් සියලු වනසතුන් ආරක්‌ෂා කරමින් අනාගතයට දායාද කිරීම සඳහා පුරවැසියකු ලෙස ස්‌වකීය දායකත්වය ලබා දීම ඔබ සතු යුතුකමක්‌ සේ ම වගකීමක්‌ බවත් සිහි කටයුතු ය.

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික