logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඔබත් පරිසරයට ආදරය කරන්නෙක්‌ ද...?
එසේ නම් ඔබ මේ ගැන දැනුවත් ද...?


ඔබගේ 'අංගාර පා සටහන'
 


අංගාර පා සටහන (Carbon Foot Print) යනු අපගේ ක්‍රියාකාරකම් නිසා කොපමණ ප්‍රමාණයක්‌ කාබන්ඩයොක්‌සයිඩ් වායුගෝලයට මුදාහරින්නේ ද යන්න පිළිබඳ මිනුමකි. උදාහරණයක්‌ ලෙස දර කිලෝ එකක්‌ දැවීමේ දී කොපමණ ප්‍රමාණයක්‌ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ පිට වන්නේ ද යන්න දැක්‌විය හැකි ය. එමඟින් අප විසින් පිට කරනු ලබන හරිතාගාර ආචරණය ඇති කරන ප්‍රධාන වායුව වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය පිළිබඳ ව යම් අවබෝධයක්‌ ලබාගත හැකි වේ. එමඟින් පාරිසරික ව බලපෑම් අවම කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳ ව තීන්දු තීරණ ලබාගැනීමට අපට හැකි වේ.

හරිතාගාර ආචරණය නිසා මේ වන විට දේශගුණික විපර්යාසයන් මෙන් ම මුහුදු මට්‌ටම ඉහළ යැම, එනිසා දූපත් යට වීම, ග්ලැසියර දිය වීම, ජෛවවිවිධත්වයට තර්ජන ඇති වීම මඟින් ජීවීන් වඳ වී යැම වැනි තත්ත්වයන් නිර්මාණය වී ඇත.

මෙහි දී වඩා වැදගත් වන්නේ ඒක පුද්ගල අංගාර පා සටහන අවම කරගැනීමයි. එය සමස්‌ත ලෝකයෙන් ම මුදාහරින කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අවම කරගැනීමට පිටිවහලක්‌ වේ. මේ හරිතාගාර වායුන් මුදාහැරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ෆොසිල ඉන්ධන දහනයයි. කලෙක භූ අභ්‍යන්තරයේ ගබඩා වූ කාබන්, මිනිසා සුඛ විහරණය සඳහා ඉවක්‌ බවක්‌ නොමැති ව යොදාගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මේ තත්ත්වය උද්ගත වී ඇති බව සැලකිය හැකි ය.

අප, කෙතරම් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ වායුගෝලයට මුදාහරන්නේ ද යන්න දැනගැනීම සඳහා හොඳ ම උදාහරණය වන්නේ විදුලි නිෂ්පාදනය වෙත අවධානය යොමු කිරීමයි. අප රටේ විදුලි නිෂ්පාදනයේ හතරෙන් තුනක්‌ ම ලබාගනුයේ ෆොසිල ඉන්ධන දහනයෙනි. ඒ ගල් අඟුරු සහ ඩීසල් වැනි ඉන්ධන දහනයෙනි. අප පාවිච්චි කරන සැම විදුලි ඒකක හතරෙන් තුනක්‌ ම නිපදවනුයේ ෆොසිල ඉන්ධන දහනයෙනි. වැඩි වැඩියෙන් විදුලි පරිභෝජනය තුළින් සිදු වනුයේ වැඩිපුර ෆොසිල ඉන්ධන දහනය සිදු වීමයි. එමඟින් සිදු වනුයේ වැඩි වැඩියෙන් වායුගෝලයට කාබන්ඩයොක්‌යිඩ් එකතු වීමයි. 2018 වසරේ දී අප භාවිත කළ සමස්‌ත විදුලිය ප්‍රමාණය කිලෝ වොට්‌ පැය බිලියන 12.67කි. 2016 වර්ෂයේ දී ගෘහාශ්‍රිත ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට්‌ පැය 250කට ආසන්න ය. මේ වන විට එය තවත් වැඩි වී ඇතිවාට කිසි ම සැකයක්‌ නැත.

කිලෝ වොට්‌ පැයක්‌ නිපදවීම සඳහා ගල් අඟුරු ආසන්න වශයෙන් ග්‍රෑම් 500ක්‌ පමණ වැය වනු ඇතැයෑ සැලකෙයි. එනම් ගල් අඟුරු කිලෝ එකකින් නිපදවිය හැක්‌කේ කිලෝ වොට්‌ පැය දෙකක්‌ පමණි. ශ්‍රී ලංකාවේ නිපදවන විදුලියෙන් 40%ක්‌ නිපදවන්නේ ගල් අඟුරුවලිනි. සමස්‌ත වාර්ෂික නිෂ්පාදනයෙන් 40% වනුයේ කිලෝ වොට්‌ පැය බිලියන 5.068කි. ඒ සඳහා වැය වන ගල් අඟුරු ප්‍රමාණය ගණනය කළ හොත් එය ගල් අඟුරු කිලෝ බිලියන 2.534කි. එනම් ගල් අඟුරු මෙටි්‍රක්‌ ටොන් මිලියන 2,534ක්‌ මෙරටට ආනයනය කළ යුතු ය. ඒ අනුව ඒක පුද්ගල පරිභෝජනය සැලකූ විට අයකු පරිභෝජනය කරන කිලෝ වොට්‌ පැය 250න් 40% නිපදවන්නේ ගල් අඟුරුවලින් නිසා එක පුද්ගලයකු සඳහා වැය වන ගල් අඟුරු ප්‍රමාණය වන්නේ කිලෝ 50කි. ගල් අඟුරු දහනයෙන් විදුලිය කිලෝ වොට්‌ පැය එකක්‌ නිපදවීමේ දී කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ 0.34ක්‌ නිපදවෙනු ඇත. එනම් ගල් අඟුරු කිලෝ එකක්‌ දහනය වන විට ආසන්න වශයෙන් විදුලිය කිලෝ වොට්‌ පැය දෙකක්‌ ලබාගත හැකි අතර එනිසා වායුගෝලයට කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ 0.68ක්‌ නිදහස්‌ වනු ඇත. ඒ අනුව ගල් අඟුරු දහනයෙන් විදුලි උත්පාදනය කිරීමේ දී වාර්ෂික ව, ශ්‍රී ලංකාව වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කිලෝ මිලියන (2,534 දූ 0.68), 1,723.12ක්‌ පමණ වනු ඇත. එක පුද්ගලයකු වෙනුවෙන් ගල් අඟුරු කිලෝ 50ක්‌ දහනයෙන් කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ 34ක්‌ නිපදවෙනු ඇත.

සමස්‌ත විදුලි නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 75%කට වැඩි ප්‍රමාණයක්‌ නිපදවන්නේ ෆොසිල ඉන්ධන දහනයෙන් බව අපි හොඳින් ම දනිමු. ගල් අඟුරු භාවිතයෙන් 40%ක්‌ ලබාගන්නා අතර ඉතිරි 35% ලබාගනුයේ බොහෝ විට ඩීසල් බලාගාර ඇසුරෙන් විය යුතු ය. එනම් කිලෝ වොට්‌ බිලියන 4.43 විදුලිය ප්‍රමාණයක්‌ නිෂ්පාදනය සඳහා ඩීසල් භාවිත කරනු ඇත. ඩීසල් ලීටරයකින් විදුලිය කිලෝ වොට්‌ පැය 11.1 නිපදවිය හැකි ය. ඩීසල් මඟින් කිලෝ වොට්‌ පැයක්‌ විදුලිය නිපදවීමේ දී කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ ග්‍රෑම් 0.27ක්‌ වායුගෝලයට නිදහස්‌ වෙයි. ඒ අනුව ඩීසල් ලීටරයක්‌ දහනය කිරීමේ දී ආසන්න වශයෙන් කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ 3ක්‌ පමණ වායුගෝලයට මුදාහැරෙයි. සමස්‌ත විදුලි පාරිභෝජනය සැලකීමේ දී කිලෝ වොට්‌ බිලියන 4.43ක්‌ නිපදවීම සඳහා ඩීසල් ලීටර මිලියන 400ක්‌ පමණ වාර්ෂික ව අවශ්‍ය වේ. මේ සියල්ල දහනයෙන් ඒ අනුව වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 1,212 ක්‌ පමණ ප්‍රමාණයකි. ඒ අනුව සැලකීමේ දී ෆොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ දී වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 2,035.12ක්‌ පමණ වනු ඇත.

2018 වසරේ දී මෙරටට ගෙන්වන ලද බොරතෙල් ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් මිලියන 1.5ක්‌ පමණ විය. බොරතෙල් මඟින් විදුලිය කිලෝ වොට්‌ එකක්‌ නිපදවීමේ දී කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ ග්‍රෑම් 0.27ක්‌ වායුගෝලයට නිදහස්‌ කරයි. බොරතෙල් ටොන් එකක්‌ දහනය කිරීමෙන් කාබන්ඩයොක්‌සයිඩ් කිලෝ ග්‍රෑම් 2,869ක්‌ පමණ වායුගෝලයට නිදහස්‌ වෙයි. ඒ අනුව, මෙරටට ගෙන්වන ලද බොරතෙල් සියල්ල ම 100%ක්‌ දහනය කළේ යෑයි උපකල්පනය කළ හොත් 2018 වසරේ දී වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වන්නේ කිලෝ බිලියන 4.2ක්‌ පමණ අගයකි.

අපගේ දෛනික ක්‍රියාකාරකම්වල දී බොහොමයක්‌ අවස්‌ථාවල විදුලිය භාවිත කිරීමට අවශ්‍ය වෙයි. එනිසා ඒ ක්‍රියාකාරකම් පිළිබඳ ව යම් විමසිලිමත්භාවයකින් ක්‍රියා කරන්නට හැකි නම් අපගේ අංගාර පා සටහන අවම කරගැනීමට හැකි වනු ඇත. එනිසා හැකි පමණ විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා අනවශ්‍ය ලෙස විදුලිය භාවිත කිරීම නවතා දමා විදුලි සංරණ ක්‍රම අනුගමනය කළ යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ