logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
වැලි පර, වැලි කඳු නිර්මාණය පිටුපස තිබෙන භූවිද්‍යාත්මක ක්‍රියාවලිය...


භූ විද්‍යාව හරි ම කදිම විෂය ක්‌ෂේත්‍රයක්‌. ලෝකේ තියෙන සුන්දර ම, ඒ වාගේ ම විස්‌මයජනක දේවල් ගැන ඉගෙනගන්න, දැක බලාගන්න මේ හින්දා අවස්‌ථාව ලැබෙනවා. පසුගිය දශක දෙකක පමණ කාලය තුළ බොහොම අපූරු අත්දැකීම් ඒ හින්දා මට ලැබුණා. මේ වතාවේ ඉදිරිපත් කරන ලිපි මාලාවෙන් මම ඔයාලට කියන්න හදන්නේ ශ්‍රී ලංකාවේ එවැනි භූ විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති තැන් පිළිබඳව. ඒ ගොඩක්‌ තැන් මම ගිහින් තියෙන තැන්. මගේ ඒ සංචාරවල දී ලත් අත්දැකීම් පමණක්‌ නො වෙයි, ඒ හා බැඳුණ අපුරු භූ විද්‍යාත්මක රහස්‌ මේ ලිපිවලින් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. ඔයාලත් ඒ තැන් බලන්න යනවා නම් ඒ තැන්වල භූ විද්‍යාත්මක පසුබිම ගැන දැනගෙන ම යන එකේ යම් වටිනාකමක්‌ තියේ වි. භූ විද්‍යාත්මක ව වැදගත් වන ස්‌ථාන නැරඹීමට මේ වෙන කොට ලෝකේ සංචාරක ක්‌ෂේත්‍රයේ නව ප්‍රවණතාවක්‌ ඇති වෙලා තියෙනවා. ඒක 'භූ සංචාරිතය' (Geo Tourism) කියලා හඳුන්වන්නත් පුළුවන්.

කුඩා දිවයිනක්‌ වෙන ශ්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර 65610ක්‌ පමණ වෙනවා නෙ. සමහරු කියනවා 2004 ආපු සුනාමියට පස්‌සේ ශ්‍රී ලංකවේ හැඩය වගේ ම වර්ගඵලයත් වෙනස්‌ වෙලා කියලා. ඒ කොහොම උනත් හැඩය වෙනස්‌ වෙන්නත් ඒ හින්දා ම වර්ගඵලය වෙනස්‌ වෙන්නත් තව කරුණු බලපානවා. නිරන්තරයෙන් ම සිදු වන මුහුදු රළවල බලපෑම ඒ අතුරින් විශේෂයි. මෝසම් සුළං නිසා ඇති වන මුහුදු රළ ම`ගින් සිදු වන වෙරළ ඛාදනය, දකුණු සහ නිරිතදිගින් වූ ගොඩබිම අපට අහිමි කරනවා. ඒ වාගේ ම ඊසානදිගින් පිහිටි යාපන අර්ධද්වීපයේ වෙරළත් මෙලෙස ම ඛාදනය වෙනවා. ඒ ඊසානදිග මෝසම් සුළං නිසා.

නිරිත සහ ඊසානදිග මෝසම් සුළං නිසා ඇති වන 'දිගු දුර දියවැල්' (longshore currents) නිසා අලුතින් වෙරළ නිර්මාණය සිදු වනවා. අපේ රටේ බටහිර වෙරළ ඔස්‌සේ දකුණේ සිට උතුරට ඇදී යන මේ දිගු දුර දියවැල් එකතු කරගෙන යන මුහුදු වැලි, බාධකයක්‌ හමුවේ ගොඩගැහෙන්නට පටන්ගන්නවා. එහෙම ගොඩගැහුණ වැලි නිසා තමයි අද වෙනකොට කල්පිටිය වැලි පරය නිර්මාණය වෙලා විශාල ගොඩබිම් කලාපයක්‌ බවට පත් වෙලා තියෙන්න. හලාවත සහ මීගමුව කලපුව පමණක්‌ නො වෙයි, කොළඹ ප්‍රදේශය ගොඩනැ`ගිලා තියෙන්නෙත් මේ ආකාරයේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ විදියට. ඒ විතරක්‌ නෙවෙයි, ඒ කාලයේ රට අභ්‍යන්තරයේ තිබුණ ගංගාවල දායකත්වයත් ලැබිලා තියෙනවා. ගංගාවලින් ගෙනාපු වැලි සහ මැටි (අවසාදිත)වලින් තමයි වැලිපරවලින් වට කෙරුණ කලපු පිරවිලා තියෙන්නේ. මුහුදු වෙරළේ ගතික බවත් මෙහි දී යම් දායකත්වයක්‌ ලබලා දීලා තියෙනවා.

ඔබ බූන්දල ජාතික වනෝද්‍යානය බලන්නට ගිහින් ඇති. මුහුද ආසන්නයට ම ගියා නම් වෙරළ ආසන්නයේ පිහිටි විසල් වැලි කඳු දැක ඇතුවා නිසැකයි. ශ්‍රී ලංකාවේ වෙරළෙහි යම් යම් ස්‌ථානවල ඇති මෙවැනි වැලි කඳු භූ විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ලෝකයේ ප්‍රමුඛ කාලගුණික විපර්යාසයක්‌ පිළිබිඹු කරනවා. භූ කාලවකවානු අනුව අප මේ ගත කරන්නේ චාතුර්ථ අවධියේ. එය වසර මිලියන 2.5කට පමණ පෙර ආරම්භ වූ බව භූ විද්‍යාඥයන් ගණනය කරලයි තියෙන්නේ. මේ කාලය තුළ විවිධ අවස්‌ථාවන්වල දී ලෝක කාලගුණයේ පෙරළි සිදු වී ඇති බව පෙනී යන දෙයක්‌. එක්‌ කාලයක දී අධික ශීත සමයයන් හමු වන අතර තවත් කලක දී උණුසුම් සමයයන් ද ඒ අතර හමු වනවා. ශීත සමයයන් හැම විට ම ඇති කරනුයේ වියළි තත්ත්වයන්. උණුසුම් සමයයන්වල දී අධික වර්ෂාපතනය සම`ග තෙතබරිත පරිසරයක්‌ නිර්මාණය කරනවා.

මෑතකාලීන ව ඇති වූ ශීත සමය ආරම්භ වන්නේ වසර 115,000කට පමණ පෙර. ඒ ශීත සමය අවසන් වන්නේ මින් වසර 11,700කට පමණ පෙර බව පර්යේෂණ සොයාගැනීම්වල සඳහන් වනවා. ශීත සමය අවසන් වන්නට හේතුව වන්නේ ලෝකය උණුසුම් වීම. ඒ පිළිබඳව අපි වෙන ම දවසක කතා කරමු. ශීත සමයේ දී මුහුදු මට්‌ටම පහළ යන්නට හේතු වන්නේ සාගර ජලය බොහොමයක්‌ අයිස්‌ බවට පත් වී ග්ලැසියර නිර්මාණය වීමයි. ඒ කොහොම වුනත්, අයිස්‌ යුගයේ දරුණුතම කාලය සටහන් වන්නේ වසර මිලියන 26,500කට පමණ පෙරයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට එකල ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්ව පැවතිලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 9ක පමණ. ගොඩබිම් කලාපවලින් හතරෙන් එකක්‌ පමණ ම අයිස්‌වලින් යට වෙලා තමයි තිබිලා තියෙන්නේ. එකල මුහුදු මට්‌ටම අදට වඩා මීටර 125ක්‌ පමණ පහළින් තමයි පිහිටන්නේ. ඒ කියන්නේ අපේ රට ජුරාසික කාලයේ දී ඉන්දියාවෙන් වෙන් වුණත් නැවත එක්‌ ගොඩබිමක්‌ බවට පත් වන්නට ඇති. මේ සම්බන්ධය දෙරටේ ජීවී විශේෂවල ව්‍යාප්තියට, ඒ කියන්නේ ජාන මුසුවට බොහොම වැදගත්.

ශීත බවේ දරුණු බව ලෝකය වියළි තත්ත්වයෙන් අසීරු කරන්නට ඇති. ඒ නිසා ම අධික සුළං නිර්මාණය වීමත් එම කාලයේ කැපී පෙනෙන ලක්‌ෂණයක්‌. නිරිතදිගින් හැමූ ඒ සීතල වියළි සුළං වෙරළබඩ නිර්මාණය කරන්නේ වැලි කඳු. ඒ ඔබ අද දකින බූන්දල වැලි කඳු. සුළ`ගින් ගසාගෙන යන්නට තරම් වූ සැහැල්ලු සියුම් වැල්ලකින් තමයි මේ වැලි කඳු නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට සිදු කර ඇති කාල නිර්ණයන් අනුව මේ වැලි කඳු ගොඩනැ`ගී ඇත්තේ වසර 80,000කට පමණ පෙර. මෙවැනි වැලි කඳු ඊසානදිග වෙරළෙත් හමු වනවා. එනමුත්, කල්පිටිය මුහුදු තීරයේත්, මන්නාරම් දූපතෙත් වැලි කඳු දැකගන්නට පුළුවන්. කොපමණ කාලයකට පෙර මේ වැලි කඳු නිර්මාණය වූවා දැයි තවම නිශ්චිත ව ප්‍රකාශයට පත් වෙලා නැති වුණත් ඒවා බොහෝ විට මේ අවසන් ශීත සමයේ ඇති වන්නට ඇතැයි විශ්වාස කළ හැකියි. ඔන්න මේ ගමන ඔබත් බූන්දල යනව නං වැලිකඳු බලන්න යන්න අමතක කරන්න එපා. වෙරළබඩ නිර්මිත තවත් බොහෝ භූ නිර්මාණ ගැන අපට කතා කරන්න පුළුවන්. ඉදිරියේ දී ඒ ගැනත් වරින් වර ඔබට කරුණු ඉදිරිපත් කරන්න තමයි මගේ අදහස.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ