logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදයට හොඳ ම පිළිතුර ගල් අඟුරු ලෙස සැලකිය නොහැකියි

(තරුෂි කෞෂානි)

"සාගරයෙන් වට වූ නිවර්තන කලාපීය දිවයිනක්‌ වන ශ්‍රී ලංකාවට වසර පුරා නොඅඩු ව හිරු එළිය හා සුළඟ ලැබේ. එබැවින් අවශ්‍ය බලාගාර පහසුකම් රජය විසින් සැපයෙන්නේ නම් කිසිදු අපහසුතාවකින් තොර ව සුළං බලය හා සූර්යාලෝකය භාවිත කරමින් රටට අවශ්‍ය බලශක්‌තිය උත්පාදනය කළ හැකි ය. එසේ ම සාගර රළ තරංගවල ගැබ් වී ඇති ශක්‌තිය යොදාගනිමින් ද විදුලි බලය නිපදවීම පිළිබඳව මේ වන විට පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. තවත් ඉතා වැදගත් කරුණක්‌ නම් ශ්‍රී ලාංකික පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ කෙසෙල් ශාකයේ මැද කොටස (කෙසෙල් බඩය) යොදාගනිමින් විදුලි බලය උත්පාදනය කළ හැකි කෝෂයක්‌ නිර්මාණය කර තිබීම ය. සුනිත්‍ය බලශක්‌ති ප්‍රභව රාශියක්‌ අප වටා පවතින පසුබිමක්‌ තුළ දී ශ්‍රී ලංකාවේ තිබෙන බලශක්‌ති අර්බුදයට ඇති එක ම පිළිතුර ලෙස ගල් අඟුරු සැලකිය නොහැකි ය."

ජීව බලශක්‌ති සංසදයේ හිටපු සභාපති පරාක්‍රම ජයසිංහ මහතා මෙසේ සිය අදහස්‌ පළ කර සිටියේ ඉකුත් දෙසැම්බර් 30 වැනි දා කොළඹ හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී 'බලශක්‌ති අර්බුදයට විසඳුම ගල් අඟුරු ද?' යන මැයෙන් පැවැති වැඩමුළුවේ දී ය.

මේ වැඩමුළුවේ දී ප්‍රධාන වශයෙන් ම සාකච්ඡාවට බඳුන් වූයේ නුදුරේ දී නොරොච්චෝලේ පිහිටි ගල් අඟුරු බලාගාරයෙහි ධාරිතාව තවත් මෙගා වොට්‌ 600කින් ඉහළ නැංවීම සඳහා ඊට අමතර ට'බයින සහිත නව කොටසක්‌ එක්‌ කිරීම මඟින් ඇති වන පරිසර හානිය පිළිබඳව ය. මීට අමතර ව එහි දී බලශක්‌ති අර්බුදයට පිළියම් ලෙස ගල් අඟුරු වෙනුවට භාවිත කළ හැකි විකල්ප බලශක්‌ති ප්‍රභවයන් සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි.

වැඩමුළුව තුළ දී නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය තුළ සිදු කෙරෙන කටයුතු නිසා දැනට මුහුණ දීමට සිදු වී ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ හලාවත නෙල්සන් පියතුමා ප්‍රකාශ කළේ බලාගාරය ස්‌ථාපිත කිරීමට පෙර බලාගාරය මඟින් සිදු වන පරිසර හානිය අවම වන පරිදි කටයුතු කිරීමට අදාළ බලධරයන් එකඟ වුව ද මේ වන විට එවැනි කිසිදු පරිසර හිතකාමී ක්‍රියාමාර්ගයක්‌ ඔවුන් විසින් ක්‍රියාත්මක නො කෙරෙන බව ය. ඊට නිදසුන් ලෙස බලාගාරය තුළ භාවිත කෙරෙන ජලය සාගරයට මුදා හැරීමේ දී එහි වැඩි වී ඇති උෂ්ණත්වය යම් තාක්‌ දුරකට අඩු කරන බව වගකිව යුත්තන් පැවසුව ද අද වන විට එම ජලය මුදා හැරෙන්නේ කිසිදු ආකාරයක උෂ්ණත්ව පාලනය කිරීමකින් තොර ව ය. එසේ ම අදාළ අංගනයන් තුළට විශාල ගල් අඟුරු ප්‍රමාණයන් ඇතුළු කිරීමේ දී මුහුදට පතිත වන ගල් අඟුරු නිසා මුහුදු පතුලේ කුඩා ගල් අඟුරු කඳු ගොඩගැසීමෙන් ප්‍රදේශයේ මහජනතාවට තම ජීවිකාව වන ධීවර කර්මාන්තය ද සිදු කරගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඇති වී තිබේ. ගල් අඟුරු බලාගාරය තුළ එකතු වන අළු ක්‍රමානුකුල ව වෙන් කර සිමෙන්ති කම්හලට භාර දීමට මුලින් සැලසුම් කොට තිබුණ ද අද වන විට එවැන්නක්‌ සිදු නො වන අතර සුළඟ හේතුවෙන් අවට පරිසරයේ පැතිරෙන එම අළු නිවාසවල බිත්ති මත තැන්පත් වී ඇත. මෙහි දී ඇති වී තිබෙන වඩාත් ගැටලුසහගත තත්ත්වය නම් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට ප්‍රදේශයේ බොහොමයක්‌ දරුවන් විවිධ ශ්වසන රෝගවලින් පීඩා විඳීම ය.

මීට අමතර ව වැඩමුළුව තුළ දී වැඩි අවධානයක් යොමු වූයේ බලශක්‌ති උත්පාදනය සඳහා Clean Coal හෙවත් පිරිසිදු ගල් අඟුරු යොදාගැනීමට විදුලිබල මණ්‌ඩලයේ ඇති සූදානම පිළිබඳව ය. ඒ පිළිබඳ ව සිය අදහස්‌ පළ කළ පරිසර යුක්‌ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‌ෂ හේමන්ත විතානගේ මහතා පැවසුෙච් Clean Coal යනු තවත් එක්‌ මිථ්‍යාවක්‌ පමණක්‌ වන බවත් පිරිසිදු ගල් අඟුරු ලෙස හැඳින්විය හැකි කිසිවක්‌ ලොව තුළ මෙතෙක්‌ සොයාගෙන නොමැති බවත් ය.

සාමාන්‍යයෙන් මෙගා වොට්‌ 300ක ධාරිතාවක්‌ සහිත බලාගාරයක්‌ තුළ වසරකට ගල් අඟුරු ටොන් ලක්‌ෂ හතක්‌ පමණ දහනය වන අතර එමඟින් අළු ටොන් ලක්‌ෂයක්‌ පමණ පරිසරයට මුදාහරිනු ලැබේ. මේ වන විටත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට අඟුරු ටොන් දස ලක්‌ෂ ගණනක්‌ ගොඩගැසී ඉන් බලවත් පරිසර හානියක්‌ සිදු වෙමින් පවතී. එපමණක්‌ නො ව, මෙවැනි ගල් අඟුරු බලාගාරවලින් වාර්ෂික ව රසදිය, ආසනික්‌ වැනි බැර ලෝහ විශාල වශයෙන් පරිසරයට මුදා හැරීම නිසා මහජන සෞඛ්‍යය කෙරෙහි ද ඉන් අහිතකර බලපෑම් එල්ල වේ. නිදසුනක්‌ ලෙස දැනටමත් පුත්තලම කලපුවේ මත්ස්‍යයන් ආහාරයට ගන්නා කාන්තාවන්ගේ කෙස්‌වල අධික ලෙස ආසනික්‌ අඩංගු වන බව සොයාගෙන ඇත.

පරිසර යුක්‌ති කේන්ද්‍රයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මේ විශේෂ වැඩමුළුවෙහි සෙසු සම්පත් දායකයන් ලෙස අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්‌ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ආචාර්ය ජනක රත්නසිරි මහතා සහ පරිසරවේදී සජීව චාමිකර මහතා ඇතුළු පිරිසක්‌ සහභාගී වූ හ.