logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කෘෂිකර්මාන්තයට පණ දිය හැක්‌කේ කෙසේ ද?


ශ්‍රී ලංකාව වූ කලි සොබා සෞන්දර්යෙන් හා මානුෂීය ගුණධර්මයන් ගෙන් පොහොසත් රටක්‌ වූ අතර එහි ජාතික දේහය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ නිසා ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය යන නාමයන් ගෙන් විවිධ වූ ජාතීන් අප අමතා ඇති අතර ම සිංගප්පූරුවෙහි නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්‌වාන් යූ මහතා එවකට නොදියුණු තත්ත්වයක පැවැති තම රට එයින් මුදවාගැන්මට ආදර්ශය කරගත්තේ ද උතුම් වූ අපගේ මේ ලක්‌ දෙරණයි. එනමුදු අවාසනාවකට මෙන් දැන් දැන් එම සශ්‍රීකත්වය සේ ම මානුෂීය ගුණධර්ම අපෙන් ඈත් ව යමින් ඇති බව කණගාටුවෙන් වුව ද අපට පිළිගැනීමට සිදු ව ඇත. නිදහසෙන් පසු මෙරට පාලනය හෙබවූ රජයන් මාතෘ භූමියෙහි හෙට දවස උදෙසා විවිධ වූ ප්‍රතිපත්තීන් රැසක්‌ කලින් කලට ගෙනහැර දැක්‌වුව ද ඇතැම් විට ඒවායේ තිරසරභාවයක්‌ නොමැති වීම ඉහත කී සශ්‍රීකත්වය සහ මානුෂීය ගුණධර්මයන් අපෙන් ගිලිහී යැමට සෘජු ව ම හේතු වී ඇති බව මෙහි ලා අවිවාදයෙන් සඳහන් කළ හැකි ය.

රටක සංවර්ධනයෙහි ලා එම රටෙහි වෙසෙන සියලු ම පුරවැසියනට මෙන්ම රට කරවන්නන් හට මහත් වූ වගකීමක්‌ පවතී. මන්ද යත් අපට ජීවත් වීම සඳහා සියලු ම දෑ ලබා දෙන ජීවනාලිය මේ මාතෘ භුමිය බැවිනි. මෙතෙක්‌ කාලයක්‌ අපෙන් විවිධ වූ වැරැදීම්, අතපසු වීම් සිදු වන්නට ඇත. දේශපාලනමය වශයෙන් බෙදී තම තමන්ගේ බලය තහවුරු කරගැන්මට කුළල් කා ගන්නට ද ඇත. එනමුදු අප කවුරුත් අමතක නො කොට වහා සිහි එලවාගත යුතු කාරණයක්‌ පවතී. එනම් සුන්දර වූ මේ සිරිලක අප මේ මොහොතේ හෝ රැක නො ගත හොත් වැඩි කලක්‌ යැමට මත්තෙන් අපට අප ද නැති වන බව ය.

අප සැමට අනන්‍ය වූ දේශපාලන මත තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වූ රටක ලක්‌ෂණයකි. අප සැවොම එම මතයන්ට ගරු කළ යුතු ය. එනමුදු සැබෑ දේශපාලනයකින් රටකට විය යුත්තේ එම රටෙහි හෙට දවස සුරක්‌ෂිත කිරීම මිස අනෙකක්‌ නො වන බව අප සැවොම කල්පනාවට ගත යුතු ය. එනයින් පක්‍ෂ දේශපාලනයක්‌ ගැන නො සිතා කුමන පක්‍ෂයක්‌ විසින් ආණ්‌ඩුව කෙරවුව ද එම පක්‍ෂ හොබවන දේශපාලන නායකයන් රටෙහි හෙට දවස වෙනුවෙන් ගන්නා වූ යහපත් තීන්දු තීරණ හා අනුකුලව කටයුතු කිරීමට අප අවංක ව බැඳී සිටිය යුතු ය.

රටක සංවර්ධනය උදෙසා කටයුතු කරන රජයක්‌ හමුවේ විශාල අභියෝග රැසක්‌ පවතී. මේ අතර රටවැසියන් සඳහා විවිධ වූ සම්පත් වෙන් කිරීම, ආදායම් විෂමතාව අඩු කිරීම ම`ගින් ජනතාවගේ ක්‍රය ශක්‌තිය වැඩි කිරීම, සාර්ව ආර්ථීකය ස්‌ථායී කිරීම සේ ම තිරසර සංවර්ධනය මුලික වේ. මෙහි දී ජාතික නිෂ්පාදනය වැඩි කිරීම, සේවා වියුක්‌තිය අඩු කිරීම හා උද්ධමනය පාලනය කිරීම සාර්ව ආර්ථීකය ස්‌ථායී කිරීම යටතේ සිදු කරනු ලබයි. ජාතික නිෂ්පාදන ගත් කල කෘෂි නිෂ්පාදන එහි වැදගත් ම අංගයක්‌ වේ. මෙරට ජනතාව ගෙන් 74%ක්‌ පමණ සෘජු ව හෝ වක්‍ර ව හෝ කෘෂිකර්මාන්තය තම ජීවිකාව කරගනිමින් ජීවත් වන අතර ඒ වෙනුවෙන් ගෙවුණු දශක කිහිපයන්හි දී ම රට කරවූ රජයයන් විසින් වියදම් කරන ලද මුදල් සුළුපටු නො වේ. එසේ වුව ද වියදමට සාපේක්‍ෂව ලැබූ අදායම ඉතා අඩු මට්‌ටමක පැවැති බව ද්විතීයික දත්ත පැහැදිලි කරයි.

අප සිරිලක තරම් කෘෂිකර්මාන්තයට ඔබින රටක්‌ ලොව තවත් නැති තරම් ය. ඒ තරමට ම සැම සාධකයකින් ම අප මාතෘ භූමිය පොහොසත් ය. කෙසේ වෙතත් ලොව ඇතැම් රටවල් ගත් කල ඔවුනට එම වරම් අහිමි ව ඇත. උදාහරණයක්‌ ලෙස ගත් කල මුළු ලොවට ම චොකලට්‌ නිෂ්පාදනය කර බෙදා හරින ස්‌විට්‌සර්ලන්තය කොකෝවා වගා නො කරන බව අපි හොඳින් දනිමු. අප මාතෘ භූමියේ සාරවත්භාවය මොන තරම් ද කියතොත් අහක දමන දඬුවක්‌ පවා දලු ලා වැඩීමට සමත් ය. මහත් පරිශ්‍රමයක්‌ නො යොදා හොඳ අස්‌වැන්නක්‌ ලෙහෙසියෙන් ම ලබාගත හැකි ය. එනමුදු විවිධ වූ හේතුන් නිසා කලක පටන් සහල් ඇතුළු මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි භාණ්‌ඩ පවා අසීමාන්තික ව අප රටට ආනයනය කෙරෙමින් පවතී. උදාහරන ලෙස ගම්මිරිස්‌, කරාබු නැටි වැනි කුළු බඩු හැදින්විය හැකිය. මෙයින් ගම්‍ය වනුයේ අපට කොහේ හෝ වැරැදී ඇති බව ය.

වර්තමානය වන විට මුළු ලොව ම දේශගුණ විපර්යාසයනට ලක්‌ ව ඇති බව සැබෑ ය. මේ නිසා ම පාරිසරික තිරසරභාවය ගැන වෙනදාටත් වඩා මුළු ලොව ම අවදියෙන් සිට කටයුතු කිරීමට පටන්ගෙන ඇති අතර අප රට කරවන පාලකයන්ගේ ද වගකීම විය යුත්තේ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් ම කැප වී වැඩ කිරීම ය. අප මාතෘ භුමිය යනු වැව් 35,000කට අධික ව පැවැති රටක්‌ සේ ම විශාල වූ වන ගහණයකින් හෙබි රටකි. කෙසේ වුව ද තිරසර සංකල්ප ගැන නො සිතා වැඩ කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට එම වැව් බොහොමයක්‌ අපට අහිමි ව ගොස්‌ ඇති අතර ම ඉවක්‌ බවක්‌ නැති ව වනාන්තර හා තෙත් බිම් විනාශ කිරීමේ ආදීනව හේතුවෙන් නොයෙක්‌ වූ පාරිසරික හා කෘෂිකාර්මික ගැටලු රැසක්‌ පැනනැ`ගී ඇත. මේ අතර වන සත්ත්ව උවදුරු අධික වීම, නියං තත්ත්වයන් අධික වීම, නාය යැම් අධික වීම, පස නිසරු වීම් හේතුවෙන් අධික ලෙස කෘත්‍රිම පොහොර භාවිතයට හුරු වීමට සිදු වීම, එහි ප්‍රතිඵලයක්‌ ලෙස විශාල වූ ධනස්‌කන්ධයක්‌ විදෙස්‌ රටවලට ඇදී යැම, මානව සෞඛ්‍යයට අහිතකර විවිධාකාරයේ රෝගී තත්ත්වයන් ඇති වීම යනාදී දෑ සුලබව දක්‌නට ලැබේ. අප මාතෘ භූමියේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පවත්නා වූ බොහෝ නීති මෙතෙක්‌ කලක්‌ හරියාකාර ව ක්‍රියාත්මක විණි නම් අද මෙවන් තත්ත්වයක්‌ ඇති වන්නේ නැත.

අප රටෙහි කෘෂිකර්මාන්තය සහ ජන ජීවිතය පොහොසත් කරමින් මේ මාතෘ භුමිය සංවර්ධනය කර ඔසවා තැබීමට නම්, තිරසර සංවර්ධනය යන්න කිසි විටෙකත් අමතක නො කළ යුතු ය. තව ද විවිධ වූ පාරිසරික සම්පත් මතු පරම්පරාවට දායාද කරනු වස්‌ පවතින නීති ඉතා දැඩි ව ක්‍රියාත්මක කිරීමෙන් ම පමණක්‌ වුව මෙරටට සැබැවින් ම ආදරය කරන්නන්ට මේ මාතෘ භූමිය මතු පරම්පරාව වෙනුවෙන් දායාද කරවිය හැකි බව මෙහි ලා සඳහන් කළ යුතු ය.

එසේ ම මුළු මිනිස්‌ සංහතියට ම ජීවය දෙනු ලබන ගොවියා යනු සැබැවින් ම දෙවියකු බව අප දන්නා නමුත් බොහෝ දෙනකුට අද ඔහු අමතක ව ගොසිනි. ඔහුට අතීතයේ දී ලැබුණු වටිනාකම අද ඔහු ගෙන් උදුරාගෙන ගොස්‌ ඇති බව හොඳින් සිහි එලවා ගත් කල අප කා හටත් මනාව වැටහේ. මේ මොහොත වන විටත් ගොවිතැන හා සම්බන්ධයෙන් ගොවියාට අනේක වූ පාරිසරික අභියෝග රැසකට මුහුණ දීමට සිදු ව ඇත. එම අභියෝග තමන්ට හැකි අයුරින් ජයගැනීමට වෙර දරන ගොවියාට අවසානයේ දී තමන්ගේ අස්‌වැන්නට සාධාරණ මිලක්‌ ද ලැබෙන්නේ කලාතුරකිනි.

එනයින් අහිතකර වූ ඉහත කී පාරිසරික සාධක අසීරුවෙන් මැ`ඩ ජයගැනීමට වෙර දරන, අප සැමගේ කුසගිනි නිවන ගොවියාට අවසානයේ දී සිදු ව ඇත්තේ අසරණ ව සුසුම් හෙළන්නට ය. මන්ද යත් බොහෝ විට තමන් ගොවිතැන වෙනුවෙන් වියදම් කළ මුදල වත් පියවාගැනීමට ඔවුනට නොහැකි වන බැවිනි. ඕනෑ ම පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවන් අතර ආහාර, ඇ`දුම් පැළ`දුම්, වාසස්‌ථාන, පිරිසිදු වාතය, ජලය යනාදිය පවතින බව ඉතා ම සරල එසේ ම අප හොඳින් දන්නා කාරණයකි. එනමුදු සංවර්ධනය යන්න හරියාකාර ව අපගේ ජීවිතවලට බද්ධ කර නො ගත් විට අපට සිදු වනුයේ මිරි`ගුවක්‌ පසුපස හඹා යැමට ය. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ මූලික අවශ්‍යතාවන් වත් ඉෂ්ට සිද්ධ කරගත නොහැකි ව අප සැමගේ සතුට අහිමි වී යැම ය.

අද වන විට අපගේ කෘෂිකර්මාන්තය යම් කඩා වැටීමකට ලක්‌ ව ඇති බව කණගාටුවෙන් වුව ද පිළිගැනීමට සිදු ව ඇත. බොහොමයක්‌ ගොවීන් ගොවිතැන ගැන කලකිරී ඇත. රටක සංවර්ධනයෙහි ලා ගොවීන්, ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන් මෙන්ම අතරමැදියන් සිටිය යුතු ම ය. එනමුදු ඒ සියලු ම දෙනා අධීක්‌ෂණය කරමින් නිසි පාලනයක්‌ යටතේ තබා ගැන්ම පාලකයන් සතු සදාතනික වගකීමක්‌ වේ. උදාහරණයක්‌ ලෙස ගොවීන් විසින් වගා කරනු ලබන බෝගයන්හි අස්‌වැන්න බොහෝ විට අතරමැදි වෙළෙන්දන්/ව්‍යාපාරිකයන් හරහා ජනතාව අතරට පත් වීම සිදුවේ. මෙසේ ගොවීන් ගෙන් ලබාගන්නා කෘෂි නිෂ්පාදන අතරමැදියන් අතළොස්‌සක්‌ ම`ගින් පමණක්‌ පාලනය කරනා විට හා ඔවුන් රජයේ අධීක්‌ෂණයෙන් තොර වූ විට නිතැතින් ම ඇතැම් විට ඔවුහු ඒකාධිකාරියක්‌ ඇති කරගනිති. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අස්‌වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක්‌ නො ලැබෙනවා සේ ම ජනතාවට ද එම නිෂ්පාදන වෙනුවෙන් ඉතා අධික මුදලක්‌ ගෙවීමට සිදු වේ. මේ තත්ත්වය තුළ ගොවීන් වගාවෙන් ක්‍රමික ව ඈත් වෙමින් පවතින අතර එම නිෂ්පාදන සඳහා ඉල්ලුමට සාපේක්‍ෂ ව සැපයුමක්‌ නොමැති වීම තුළ අධික ලෙස මිල ඉහළ යැමත් එතෙකින් නො නැවතී අවසානයේ දී අධික මිල පාලනය කිරීම සඳහා එම නිෂ්පාදන ආනයනය කරන තත්ත්වයට පත් වීමටත් රජයනට සිදු වේ. මෙය දිගින් දිගට ම සිදු වූ විට ගොවියා සදහට ම ගොවිතැනින් සමු ගැනීමට වුව ද බැරි නැත.

එම නිසා රටට සැබැවින් ම ආදරය කරන්නවුන් ලෙස මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අප කටයුතු කළ යුතු ම ය. කෘෂිකර්මාන්තය වෙනුවෙන් පවත්නා වූ සියලු ම රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන මෙහි ඇති වැදගත්කම වහා තේරුම්ගෙන නො පසුබට ව රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ යුතු ය. විශේෂයෙන් රාජ්‍ය සේවය තුළ දැන් පවතින තත්ත්වයට වඩා පැහැදිලි පරිවර්තනයක්‌ සිදු විය යුතු ය. මහජන මුදලින් වැටුප් ලබන පුද්ගලයන් ලෙස අපෙන් මේ මාතෘ භූමියට ඉටු විය යුතු වගකීම් කිසි ම විටෙකත් අප අතපසු නො කළ යුතු ය.

ඉහත සඳහන් කළ නොයෙකුත් ගැටලු හේතුවෙන් නිසා දෝ වගා කිරීමට විභවයක්‌ පවතින කෘෂිකාර්මික ඉඩම් සියල්ලක්‌ ම පවා වර්තමානය වන විට වගාවට යොදාගන්නේ නැත. කුඹුරු ඉඩම් මේ සඳහා හොඳ ම උදාහරණයකි. කුඹුරු ඉඩමක්‌ යනු එක්‌ අතකින් ගත් කළල බත සපයන කෙත් භූමියක්‌ සේ ම අනෙක්‌ අතින් එය පාරිසරික සමතුලිතභාවය රකින තෙත් බිමකි.

කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් විසින් එක්‌ එක්‌ අදහස්‌ ඉදිරිපත් කෙරෙන අතර ම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ සඳහා පූර්ණ අයිතියක්‌ ඇත. සැම බෝගයකින් ම අපට ස්‌වයංපෝෂිත වීමට තරමක්‌ අපහසු වීමට පුළුවන. එනමුදු අපේ මට්‌ටමෙන් අපට හැකි අයුරින් සැම කෘෂිකාර්මික භූමියක්‌ම වගා කළ හැකි නම් එම`ගින් ආහාර සුරක්‌ෂිතතාව මෙන්ම රටේ සංවර්ධනය ද ළ`ගා කරගත හැකි වනවා නොඅනුමාන ය. එසේ වුව ද දැන් දැන් අපේ ගොවියා ම`දක්‌ අධෛර්යවත් වී ඇති අතර නැවත වතාවක්‌ ඔවුනට ජීවය දිය යුතු තත්ත්වයක්‌ එළඹ ඇත. කෘෂි නිෂ්පාදන වැඩි වැඩියෙන් නිපදවීමට ඔවුනට රාජ්‍ය අංශයේ වැඩි දායකත්වයක්‌ වහා ම ලබා දිය හැකි නම් නැවත වතාවක්‌ අපගේ ගොවීනට අපට පණ පෙවිය හැකි ය. තව ද අපනයන වෙළෙඳපොළ දියුණු කිරීම ම`ගින් විදේශ විනිමය ඉහළ නැංවිය හැකි ය. එසේ නොමැති ව කුඹුරු ඉඩම් යනාදිය සංවර්ධන කටයුතු සඳහා යෑයි පවසමින් විනාශකාරී දෙයකට යොදාගන්නේ නම් විනාශ වන්නේ අප ම ය. කුඹුරු ඉඩමක්‌ බොහෝ විට වගා කිරීමට නොහැකි තත්ත්වයට පත් වන්නේ අපේ ම වරදින් මිස වෙන හේතුවක්‌ නිසා නො වන බව ද අප අමතක නො කළ යුතු ය. එබැවින් වගා කළ හැකි සියලු ම කුඹුරු ඉඩම් වී ගොවිතැන සඳහා ම පමණක්‌ යොදාගැනීම තිරසර තීරණයක්‌ වන අතර ම එසේ අපහසු ම කුඹුරු ඉඩම් පමණක්‌ වෙනත් බෝග සඳහා යොදාගැනීම කළ හැකි ය. කෙසේ නමුදු අත්‍යවශ්‍ය ම හේතුවකට හැරුණු කොට එම ඉඩම් වෙනත් සංවර්ධන වැඩසටහන් සඳහා යොදා නො ගත යුතු වන්නේ කුඹුරු ඉඩම් යනු තෙත් භූමි වන බැවිනි.

කෙසේ වුව ද ගොවීනට යළිත් කෘෂිකර්මාන්තය ගැන සුබවාදී බලාපොරොත්තු ලබා දිය හැක්‌කේ ද බලධරයන්ට ම පමණක්‌ හෙයින් මේ සඳහා ඉතා ම හොඳ ආරම්භයක්‌ ලබා දිය යුතු ය. විකල්පයක්‌ ලෙස, වගා නො කර පවත්නා වූ සියලු ම කෘෂිකාර්මික ඉඩම් රාජ්‍ය අංශයේ අධීක්‌ෂණය යටතේ විධිමත් ලෙස පවරාගෙන වගා කිරීමට ඉඩ සැලැස්‌විය යුතු ය. මේ සඳහා රාජ්‍ය සේවාවට කම්කරුවන් බඳවා ගැනීමේ දී ගොවිතැන වෙනුවෙන් ම බඳවා ගැනීම් කළ හැකි ය. එනම් 'ගොවිතැන' රාජ්‍ය අංශයේ

රැකියාවක්‌ කරමින් රාජ්‍යය සේවයට 'ගොවි ව්‍යවසායකයන් බඳවාගැනීම කළ හැකි නම් එය ඉතා ම අගනේ ය. එම`ගින් ගොවියාට තමන්ගේ අස්‌වැන්නට ලැබෙන මිල ගැන අනියත බියක්‌ ඇති කරගත යුතු නොමැති අතර මාස්‌ පතා වැටුපක්‌ ලබාගත හැකි ය. එම`ගින් තරුණ ව්‍යවසායකයන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගත හැකි ය. තව ද අනෙක්‌ ගොවීන්ගේ අස්‌වැන්න ද රජයේ මැදිහත් වීමෙන් මිල දී ගෙන රාජ්‍ය අංශය කෙරෙහි ගොවීන් තුළ විශ්වාසයක්‌ ඇති කරවිය හැකි ය. මේ හේතුවෙන් අසාධාරණ ලෙස මුදල් උපයන අතරමැදි ව්‍යාපාරිකයන් ගෙන් ද ගොවීන් ආරක්‌ෂා කරගත හැකිය. එම නිසා මේ මාතෘ භූමියට ආදරය කරන්නවුන්ට කළ යුතු වගකීම් සමුදායක්‌ පවතී. තවදුරටත් එම වගකීම් පැහැර නො හැර අපගේ මේ ධරණී තලය වෙනුවෙන් 2020 වසරේ ආරම්භයේ පටන් හෝ අපගේ ජීවිත පරිවර්තනය කරගනිමු.

සංගීත් ප්‍රසාද් ප්‍රනාන්දු