logo3.gif (702 bytes)

HOME


රටට සැබෑ ප්‍රතිලාභ අත් කර දීමට නම් පර්යේෂකයන් ව්‍යවසායකයන් විය යුතුයි...
- ඇමෙරිකානු හමුදාවටත් උසස්‌ තාක්‌ෂණික මෙවලම් නිෂ්පාදනය කරන ආචාර්ය ශිවා ශිවනාදන්

 

ශ්‍රී ලංකාව බුද්ධිමතුන්ගේ නිජබිමක්‌. සදාචාර සම්පන්න සංස්‌කෘතියක, මෛත්‍රී සහගත ආගමික වටපිටාවක සරු පසක්‌ ඇති මේ පොළොවේ බොහෝ බුද්ධිමතුන් බිහි වනවා. එනමුත් ඔවුන්ගේ හැකියාවන් බොහෝ විට අපට මෙරට දී ම දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන්ගේ බුද්ධි කෞශල්‍යය විදහා දක්‌වන්නට තරම් පුළුල් පරිසරයක්‌ මෙරට නොමැති නිසා වන්නට පුළුවන්. එහෙත් විදේශයන්හි දී ඔවුන් තම හැකියාවන් පෙන්වමින් ලෝකය, ඉදිරියට තල්ලු කරන්නට සුවිශේෂී දායකත්වයක්‌ සපයන අයුරු අපට දැකගත හැකියි.

ශ්‍රී ලංකාවේ අක්‌මුල් ඇති, ලෝකය දිග්විජය කළ මෙවැනි සුවිශේෂී ප්‍රාඥයකු අපට පසුගිය දා මුණගැසුණා. ඒ පසුගිය ඔක්‌තෝබර් 25 වැනි දා කැලණිය සරසවියේ විද්‍යා පීඨය මඟින් සංවිධානය කර තිබුණු IRSPAS 2019 ජාත්‍යන්තර පර්යේෂණ සැසිවාරයේ දීයි. එහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා ලැබ තිබුණේ ආචාර්ය ශිවලිංගම් ශිවනාදන් මහතාටයි. ඇමෙරිකාවේ ඉලිනොයි සරසවියේ මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇති ආචාර්ය ශිවනාදන් ඇමෙරිකාවේ අධෝරක්‌ත සංවේදක නිපදවනු ලබන ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක හා පර්යේෂණාගාරයක ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඇමෙරිකානු හමුදාව, NASA ආයතනය ඇතුළු ආයතන හා සමාගම් ගණනාවක්‌ ඔහුගේ ගනුදෙනුකරුවන් ලෙස කටයුතු කරනවා. ඔහු විසින් ඇමෙරිකාවේ තාක්ෂණික හා ආර්ථික දියුණුවට දක්‌වන ලද දායකත්වය වෙනුවෙන් Champion of Change සම්මානයෙන් ඔහු පිදීමට 2013 වසරේ දී ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා කටයුතු කළ අතර උපතින් ඇමෙරිකානුවකු නො වුණු එහෙත් ඇමෙරිකානු පුරවැසියන් බවට පත් ව රට වෙනුවෙන් ඉමහත් සේවයක්‌ කළ පුද්ගලයන් වෙනුවෙන් පිරිනැමෙන ඉහළ ම සම්මානයක්‌ වන (Outstanding American by Choice) සම්මානය ඔහු වෙත පිරිනැමීමට ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පුරවැසි හා සංක්‍රමණ සේවාව කටයුතු කර තිබෙනවා.

උපන් රටට දක්‌වන ප්‍රතිඋපකාරයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රය ශක්‌තිමත් කිරීමට ඔහු පෞද්ගලික ව මැදිහත් වූ අතර දැන් එහි කටයුතු සාර්ථක ව ඉදිරියට සිදු වනවා. මේ විදුසර ඔහු සමඟ කළ සංවාදයක්‌.

ජාත්‍යන්තර තලයේ පර්යේෂකයකු සහ ව්‍යාපාරිකයකු බවට පත් වීමට ඔබට පසුබිම සැකසුණේ කොහොම ද?

මා කුඩා කාලය ගත කළේ යාපනයේ චාවකච්ෙච්රිවල. මම දරුවන් නව දෙනකු ගෙන් යුක්‌ත පවුලක හය වැනියා. මගේ මවුපියන් ගුරුවරුන් වූ නිසා කුඩා කල සිට මට තිබුණේ අධ්‍යාපනයට උනන්දු කරවන පරිසරයක්‌. ආර්ථික ගැටලු තිබුණ නිසා මගේ පොඩි පොඩි අවශ්‍යතා පියවගන්න පුංචි පුංචි වෙළෙඳාම්වල නිරත වෙන්න මම ඒ කාලෙ ම පුරුදු වෙලා හිටියා. අපේ අම්මා නිතර ම මට කියලා දීපු දෙයක්‌ වුණේ යමක්‌ කරද්දී ඒක කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමන් ගෙන් ම අහන්න කියලයි. ඉලක්‌කයකින් යුතු ව ඉදිරියට යන්න මගේ මුළු ජීවිත කාලය පුරා ම ඒගොල්ලන්ගේ ඉගැන්වීම් මට උදව් වුණා. මම ඉගෙනගත්තේ යාපනය හින්දු විද්‍යාලයයෙන්. එහි ගුරුවරුන් ඉතා ම කැප වීමෙන් අපට ඉගැන්වීම් කළා. උසස්‌ පෙළ සමත් වෙලා මට පේරාදෙණිය සරසවියට යන්න අවස්‌ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයය තුළ මට ඉතා ම විශිෂ්ට අධ්‍යාපනයක්‌ හා ජීවන වටිනාකම් ලැබුණා. මගේ ගුරුවරයා වුණේ මහාචාර්ය ලක්ෂමන් දිසානායක. ඉන් පස්‌සේ මා පශ්චාත් උපාධිය හදාරන්න තෝරගත්තේ ඇමෙරිකාවේ චිකාගෝහි ඉලිනොයි විශ්වවිද්‍යාලයයි.


එහි දී ඔබ සුවිශේෂී සොයාගැනීමක්‌ කරනවා?

ඔව්. ඉලිනොයි විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අංශය එතරම් ශක්‌තිමත් එකක්‌ නො වන බව මට තේරුණේ එතනට ගියාට පසුවයි. නමුත් එය අභියෝගයක්‌ විදිහට භාර අරගෙන මම වැඩ කරගෙන ගියා. වාසනාවකට වගේ ඒ අවුරුද්දේ ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂාව පිළිබඳ දියුණු පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය වන DARPA ආයතනය අපේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයට රාත්‍රී දර්ශක (Night Vision) වැඩිදියුණු කරන්න ඩොලර් මිලියන පනහක ප්‍රදානයක්‌ සිදු කළා. මටත් ඒ අංශයෙන් මගේ පශ්චාත් උපාධිය කරන්න අවස්‌ථාව ලැබුණා.

රාත්‍රී දර්ශකවල සංවේදක නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වුණේ මර්කරි කැඩිමියම් ටෙල්‍යqරයිඩ් (HgCdTe) කියන අර්ධසන්නායක සංයෝගය. මම මගේ පර්යේෂණ හරහා මේ සංයෝගය රික්‌ත නළ තාක්ෂණය ඔස්‌සේ ස්‌ඵටිකයක්‌ ලෙස නිපදවීමට හැකි ක්‍රමයක්‌ (Molecular BeamEpitaxial (MBE) growth) සොයාගත්තා. මේ නව ක්‍රමය හරහා ප්‍රමාණයෙන් ඉතා කුඩා, විශාල පරාසයක්‌ සහ ඉහළ සංවේදීතාවක්‌ සහිත අධෝරක්‌ත අනාවරක නිර්මාණය කරන්නට හැකි වුණා. මෙය එම ක්ෂේත්‍රයේ විශාල පෙරළියක්‌ ඇති කළ සොයාගැනීමක්‌.


පර්යේෂණයෙන් නවතින්නේ නැති ව ඔබ එය ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් ගෙන එනවා.

 

ඕනෑ ම සොයාගැනීමක්‌ මිනිසාගේ ප්‍රයෝජනයට ප්‍රායෝගික ව යොදාගන්න බැරි නම් ඒක නිෂ්ඵලයි කියන එකයි හැම දා ම මගේ අදහස වුණේ. ඒත් එක්‌ක ම ඇමෙරිකාව තුළ ම මේ සංවේදක නිපදවිය හැකි නම් ඒ සඳහා විශාල ඉල්ලුමක්‌ තිබෙන බවත් එය සාර්ථක ව්‍යාපාරයක්‌ බවට පෙරළිය හැකි බවත් මට පෙනුණා. මම 1997 දී EPIR Technologies නමින් නව සමාගමක්‌ අරඹන්නේ ඒ නිසයි. ඒක ඉතා ම සාර්ථක වුණා. 2009 දී මම පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට වැඩි අවධානයක්‌ යොමු කරන්න Sivananthan Laboratories නමින් අලුත් පර්යේෂණාගාරයක්‌ පිහිටෙව්වා. EPIR සහ මම ආරම්භ කළ අනෙකුත් උප සමාගම් දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒ යටතේයි.



ඔබේ සමාගම් හරහා නිෂ්පාදනය කෙරෙන සංවේදක භාවිත වන යෙදුම් මොනවා ද?

ඇමෙරිකානු හමුදා භාවිත කරන රාත්‍රී දර්ශක උපැස්‌ යුවළවල් වගේ ම හෙලිකොප්ටර් යානා, යුද ටැංකි සහ දුරස්‌ථ පාලක ප්‍රහාරක ෙඩ්‍රාaනවල ඇති රාත්‍රී දර්ශක කැමරා සඳහා අපේ සංවේදක භාවිත වනවා. ඒ වගේ ම විවිධ රසායනික සංයෝග අනාවරකවල සහ මිසයිල ආරක්ෂණ පද්ධතිවලත් මේවා දකින්න පුළුවන්. අභ්‍යවකාශය ගත්තොත් පොළොව නිරීක්ෂණය කරන චන්ද්‍රිකා වගේ ම විශ්වයේ ඈත නිරීක්ෂණය කරන අභ්‍යවකාශගත දුරේක්ෂවලටත් අපේ සංවේදක යොදාගෙන තිබෙනවා. අඟහරු වෙත යවන ලද යානාවල පවා අපේ සංවේදක තිබෙනවා. වෙනත් වාණිජ යෙදුම් ගත්තොත් නිෂ්පාදන ක්‍රියාවල දී දොaෂ සහගත නිපැයුම් හඳුනගන්න, දොaෂ සහගත උපකරණ ආදිය කල්තබා හඳුනගන්න වගේ යෙදීම්වලට අවශ්‍ය අනාවරක නිෂ්පාදනයට මේවා යොදාගැනෙනවා.



මේ වන විට ඔබ ශ්‍රී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රයට අදාළ ව පුහුණු කිරීම් කටයුතුවලට මැදිහත් ව සිටිනවා.

ඔව්. 2009 අවුරුද්දේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ගෙන් මට ආරාධනාවක්‌ ලැබෙනවා යුද්ධය අවසන් වූ ශ්‍රී ලංකාව ගොඩනඟන්න හැකි නම් යමක්‌ කරන්න කියලා. ඒ අනුව මම රටේ ආර්ථික දියුණුවට උපකාරී විය හැකි යමක්‌ කරන්න කල්පනා කරනවා. මොකද ලංකාව පමණක්‌ නෙවෙයි ඕනෑ ම රටක ආර්ථික අතින් ඉදිරියට එන්න පුළුවන් නම් අනෙක්‌ ගැටලු ඉබේ ම විසඳෙනවා. ඒ අනුව තමයි මම ලංකාවේ සූර්ය කෝෂ නිෂ්පාදනයට අදාළ ව පුහුණු මානව සම්පතක්‌ නිර්මාණය කිරීමේ අදහසින් පුද්ගලයන් පුහුණු කිරීම අරඹන්නේ. පසුකාලීන ව මට රජයේ සහායත් මීට ලැබුණා. අපි පේරාදෙණිය, යාපනය, රුහුණ හා කැලණිය යන විශ්වවිද්‍යාල හතර මුල් කරගනිමින් මේ ව්‍යාපෘතිය දියත් කරනවා. ඒවායේ පර්යේෂකයන් විදේශගත කර පුහුණු කිරීම හා ඔවුන් හරහා වැඩමුළු සංවිධානය කර ලංකාව පුරා පාසල් හා වෘත්තීය පුහුණු ආයතනවල ගුරුවරුන් හා සිසුන් පුහුණු කිරීම අප කරගෙන යනවා.



මේ ක්ෂේත්‍රය හරහා අපට ආර්ථික දියුණුවක්‌ අත්පත් කරගැනීමට පුළුවන් කියා ඔබ විශ්වාස කරනවා ද?

ඇත්තට ම ලංකාවේ භෞතික පිහිටීම ගත්තහම තියෙන්නේ ඉතා වැදගත් තැනක. අපි ඉන්නේ ඉන්දියාව, චීනය, මැදපෙරදිග වගේ රටවල මැද. මේවායේ සූර්ය බලශක්‌ති ක්ෂේත්‍රයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අපට සැපයුම් දෙන්න පුළුවන් නම් ඒවාට විශාල ඉල්ලුමක්‌ නිර්මාණය වේ වි. අපට ලංකාව තුළ මේ අවශ්‍යතාව සපිරිය හැකි ගුණාත්මක මානව සම්පත් නිර්මාණය කළ හැකි නම් සූර්යකෝෂ නිෂ්පාදනය කරන ආයෝජකයන් ලංකාවට ආකර්ෂණය කරගැනීම කිසි සේත් ම අපහසු වෙන්නේ නැහැ. අද ඇඟලුම් නිෂ්පාදනය වගේ විශාල ආදායමක්‌ උපදවන ක්ෂේත්‍රයක්‌ බවට මේ ක්ෂේත්‍රය පත් කිරීමට හැකි විභවයක්‌ තිබෙනවා. නමුත් මේ මම යෝජනා කරන එක්‌ ක්‍රමයක්‌ පමණයි. ලංකාවේ අපට හොඳ ගණිතමය ඥනයක්‌ තියෙනවා. ඒ නිසා අපට ඉදිරියට යා හැකි හොඳ ක්ෂේත්‍රයක්‌ තමයි තොරතුරු තාක්ෂණය. අපිට තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලියන්ට කෙළින් ම ප්‍රවේශ වීමට නො හැකි වුණත් ඒවාට අවශ්‍ය මෘදුකාංග පහසුවෙන් නිර්මාණය කළ හැකියි. මේ වගේ විවිධ ක්ෂේත්‍රවලින් ලංකාවට ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකියි. ඇත්තට ම ලංකාවට සිංගප්පූරුවක්‌ වීමට බැරි වෙන්න කිසිම හේතුවක්‌ නැහැ.


සාමාන්‍යයෙන් අපේ රටේ පර්යේෂකයන් ව්‍යාපාරිකයන් බවට පෙරළීම පිළිබඳ ව වැඩිපුර ඇසෙන්නේ නැහැ. නමුත් ඔබ සාර්ථක ව මේ දේ සිදු කරලා තියෙනවා. ඒ කොහොම ද?

 

මම හිතන්නේ මේ අඩුපාඩුවට හේතුව පරිසරය. අපේ සංස්‌කෘතියෙන් ආපු අදහසක්‌ තියෙනවා අපි යම් හොඳ දෙයක්‌ කළොත් ඒකෙන් මුදල් ඉපැයීම සුදුසු නෑ කියලා. නමුත් ඇත්තට ම යම් කිසි තාක්ෂණයක්‌ නිෂ්පාදනයක්‌ බවට පෙරළීමට සුදුසු ම පුද්ගලයා ඒ තාක්ෂණයේ තොරතුරු සවිස්‌තර ව දන්න පර්යේෂකයා නෙමෙයි නම් වෙන කවුද? මේකෙන් කියවෙන්නේ නැහැ එයා ඒ දේ දිගට ම කරගෙන යන්න අවශ්‍යයි කියලා. ව්‍යාපාරය කරගෙන යන්න අපිට වෙනත් පුද්ගලයන් බඳවාගත හැකියි. නමුත් පර්යේෂකයන් නිෂ්පාදන ක්ෂේත්‍රය සමඟ වැඩ කරමින් තම පර්යේෂණය ආර්ථික වශයෙන් ලාභදායී නිෂ්පාදනයක්‌ බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. පර්යේෂණ පත්‍රිකා හොඳයි. හැබැයි නිෂ්පාදන වඩා හොඳයි. මමත් ලංකාව තුළ මේ තත්ත්වය වෙනස්‌ කරන්න උත්සාහ කරන කෙනෙක්‌. මම හැම තිස්‌සෙ ම පර්යේෂකයන් ව දිරිගන්වනවා ව්‍යාපාර අරඹන විදිහට. ඒකට උදව් දෙන්න මම හොඳට ම කැමතියි. නමුත් මට තවම සාර්ථක කරගන්න බැරි වුණ දෙයක්‌ ඒක.

මම කියන්නේ අඩු ම ගණනේ ව්‍යාපාර ආරම්භ කරන්න බැරි නම් උපදේශකයන් විදිහට වත් සේවය කරන්න කියන එක. අපේ පර්යේෂකයන් තුළ අදහසක්‌ තියෙනවා ඉගැන්වීම පාරිශුද්ධ දෙයක්‌, අපි උගන්වනවා නම් කළ යුත්තේ ඒක විතරයි කියලා. මේක සංස්‌කෘතික ගැටලුවක්‌ වගේ ම නීතිරීතිවල ගැටලුවක්‌ වෙන්නත් පුළුවන්. ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට අපට අවසර තියෙනවා සතියට දවසක්‌ පෞද්ගලික ව උපදේශන කටයුතුවල නිරත වෙලා මුදල් උපයන්න. ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ නො වන විදිහට අපට ඒ සඳහා ව්‍යqහයක්‌ සකසාගත හැකියි.

අනෙක්‌ එක තමයි ඇමෙරිකාව තුළ රජයේ ආධාර යටතේ පර්යේෂණ කටයුතු කෙරුණත් ඒ සොයාගැනීම්වල බුද්ධිමය අයිතිය පර්යේෂකයාට ලැබෙන පරිදියි නීති සකසලා තියෙන්නේ. රජයට අවශ්‍ය නම් ඒ සොයාගැනීම් භාවිත කරන්න අවසර තිබුණත් පර්යේෂකයාට එය නිෂ්පාදනයක්‌ බවට පත් කරලා වැඩි වශයෙන් ලාභ උපයන්න බාධාවක්‌ නැහැ. මේ වගේ පර්යේෂකයන් ආර්ථික නිෂ්පාදන බිහි කරන්න උනන්දු කරවන ක්‍රමවේදයක්‌ එහි විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන තුළ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ පර්යේෂකයන් තුළ තියෙන මේ මානසික බාධකය බිඳ දමලා ඔවුන් ව ව්‍යාපාර අරඹන්න උනන්දු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. සල්ලි හම්බ කරන එක හොඳයි. කරුණාකරලා සල්ලි හම්බ කරන්න. පර්යේෂකයන් මුදල් සොයන විට රටට ඒ පර්යේෂකයාගේ අධ්‍යාපනය හා පුහුණුව වෙනුවෙන් ආයෝජනය කළ මුදල්වල ප්‍රතිලාභය නැවත ලැබෙනවා. ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙනගත් පර්යේෂකයන් පර්යේෂණ පත්‍රිකාවක්‌ පළ කළ පමණින් ඉන් ජනතාවට ප්‍රයෝජනයක්‌ නැහැ. විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා ආධාර දෙද්දී එම පර්යේෂණ ප්‍රතිඵල ආර්ථික නිෂ්පාදනයක්‌ බවට එය පෙරළීමට ඇති විභවය ද සැලකිල්ලට ගෙන එය සිදු කළ යුතු බවයි මගේ අදහස.

මේත් එක්‌ක ම ගැට ගැහිලා තියෙන තවත් සංස්‌කෘතික දුර්වලතාවක්‌ තමයි අපේ පර්යේෂකයන්ගේ තියෙන අනවශ්‍ය නිහතමානීකම හෝ ලැඡ්ජාව. මට මේ දේ කරන්න පුළුවන් කියලා ප්‍රසිද්ධියේ තමාගේ අගය පැහැදිලි කරන්න ඔවුන් කැමති නැහැ. මටත් මේ ගැටලුව මුලින් තිබුණා. නමුත් තමන්ගේ සුදුසුකම් ගැන තමන්ට වඩා දන්නේ කවුද? ඒ නිසා තමන්ට කළ හැකි දේ ගැන අනෙක්‌ අයට පැහැදිලි කිරීම කළ යුත්තක්‌ බව පර්යේෂකයන්ට ඒත්තු ගැන්විය යුතුයි. එය පුරාඡේරු කීමක්‌ වන්නේ නැහැ.



ඔබේ පර්යේෂණ ක්ෂේත්‍රය ගැන කතා කළොත්, අධෝරක්‌ත කිරණවල ඇති සුවිශේෂී වැදගත්කම කුමක්‌ ද?

අප අවට ලෝකය විවිධාකාරයේ විද්යුත් චුම්බක තරංගවල ගිලී පවතිනවා. නමුත් අපේ පියවි ඇසට හසු වන්නේ දෘෂ්‍ය වර්ණාවලී කලාපයේ පිහිටි සීමිත තරංග පරාසයක්‌ පමණයි. අඳුර එළැඹි විට අපේ ඇස්‌වල ඇති ප්‍රයෝජනවත්භාවය ගිලිහී යනවා. නමුත් අධෝරක්‌ත කිරණ යොදාගත හැකි නම් අඳුරේ පවා අවට ඇති දේ හඳුනාගන්න පුළුවන් වගේ ම සමහර විට දහවල් කාලයේ පවා පියවි ඇසට නො පෙනෙන දේ හඳුනාගත හැකියි. සැම රසායනික අණුවක්‌ ම ඊට සුවිශේෂී අධෝරක්‌ත සංඥවක්‌ නිකුත් කරනවා. මේ අධෝරක්‌ත සංඥ එකිනෙකට වෙනස්‌ නිසා DNA පරීක්ෂා කරනවා වගේ මේ අධෝරක්‌ත කිරණ හඳුනාගැනීම හරහා විශාල තොරතුරු ප්‍රමාණයක්‌ ලබාගත හැකියි. එබැවින් එහි යෙදීම් ද ඉතා විශාල පරාසයකයට විහිදෙනවා.


ඔබේ උපාංග ආරක්ෂක අංශවල විවිධ ආකාරයේ රාත්‍රී දර්ශක හා අභ්‍යවකාශගත කළ කැමරාවල දැකිය හැකි බව ප්‍රකට කරුණක්‌. මේ හැර වාණිජ යෙදීම්වල දී අධෝරක්‌ත කිරණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් මොන විදිහට ද?

එබඳු යෙදීම් ගණනාවක්‌ තිබෙනවා. උදාහරණයක්‌ විදිහට ගිනිගන්නා ගොඩනැඟිල්ලක්‌ ගන්න. එය දුමෙන් වැසී ගොස්‌ තිබෙන නිසා ගිනි නිවීමේ නිලධාරීන්ට ජීවිත බේරාගැනීම ඉතා අපහසුයි. නමුත් අධෝරක්‌ත සංවේදක හරහා ගින්න ඇවිලෙමින් ඇත්තේ කොතන ද කියන එකත්, මිනිසුන් රැඳී සිටින්නේ කොතන ද කියන එකත් පහසුවෙන් හඳුනාගත හැකියි. මේ හරහා පහසුවෙන් ඔවුන් බේරාගත හැකියි.

එමෙන් ම වඩා අඩු මිලට නිෂ්පාදනය කළ හැකි පහසුවෙන් භාවිත කළ හැකි අධෝරක්‌ත සංවේදක උපකරණ මේ වන විට නිපදවා තිබෙනවා. මේවා හරහා ඇන්ත්‍රැක්‌ස්‌ වැනි රෝගකාරක පහසුවෙන් හඳුනාගත හැකියි. එමෙන් ම ඖෂධ නිෂ්පාදනය වැනි නිෂ්පාදන ක්ෂේත්‍ර ගත හොත් අධෝරක්‌ත සංවේදක සහිත කැමරා භාවිත කිරීමෙන් එම නිෂ්පාදනවල ගුණාත්මක බව අඩු නිෂ්පාදන තෝරා ඉවත් කිරීම (quality control) සිදු කළ හැකියි. හිතන්න ඔබට තිබෙනවා විදුලි නිෂ්පාදන බලාගාරයක්‌. එහි අධෝරක්‌ත කිරණ ඡායාරූප ගැනීමෙන් අධික ලෙස රත් වූ ස්‌ථාන හඳුනාගත හැකියි. ඒ හරහා යම් බිඳ වැටීමක්‌ සිදු වීමට පෙර එයට විසඳුම් සොයාගැනීමේ අවස්‌ථාව හිමි වනවා. ගැටලුවක්‌ හඳුනාගත් විට අනතුරු හැඟවිය හැකි පරිදි සැකසූ කෘත්‍රිම බුද්ධි යෙදුමක්‌ සමඟ පැය විසි හතරේ ම ක්‍රියාත්මක වන මෙවැනි කැමරා යෙදූ විට ඒ පිළිබඳ ව තවදුරටත් වෙහෙසීමට අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ ම අද වන විට තාක්ෂණය ගලාගෙන යන්නේ අනාගතයේ දී ලෝකයේ සියල්ල ස්‌වයංක්‍රීයකරණය වන ප්‍රවණතාවකටයි. ස්‌වයංධාවන මෝටර් රථ, ස්‌වයංක්‍රීයකෘත කර්මාන්තශාලා ආදිය ඉදිරියේ දී විශාල ලෙස බිහි වනු ඇති අතර ඒ සඳහා අධෝරක්‌ත සංවේදක අත්‍යවශ්‍යයි. අප මේ වන විට වැඩකටයුතු කරමින් සිටින්නේ මේ දිශාවටයි. පසුගිය වසර පහ පුරා අපි කෘත්‍රිම බුද්ධි යෙදුම් සමඟ මෙයට අදාළ වැඩසටහන් දියුණු කිරීමෙහි යෙදෙමින් සිටිනවා.


මේ වන විට ඔබේ සමාගම් හරහා කරමින් පවතින නව ව්‍යාපෘති ගැන කිව්වොත්?

ඔව් මම ඉස්‌සෙල්ලා කිව්වා වගේ මේ වන විට අපි අපේ අධෝරක්‌ත උපාංග කෘත්‍රිම බුද්ධි යෙදුම් සමඟ එකතු කරමින් වාණිජ ප්‍රයෝජනයට යොදාගත හැකි අයුරු පිළිබඳ ව කටයුතු කරමින් ඉන්නවා.

මේ අතරින් එක ව්‍යාපෘතියක්‌ ගැන කිව්වොත් අපි මේ වන විට විශාල ඌරු ගොවිපළක්‌ සමඟ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරලා තියෙනවා. මේ ගොවිපළ මුහුණ දීලා තියෙන ප්‍රධාන ගැටලුවක්‌ තමයි ඌරු පැටවුන් සියයට 25ක්‌ වැනි විශාල ප්‍රමාණයක්‌ මිය යැම. මේ ව්‍යාපෘතිය හරහා අපි යහපත් සෞඛ්‍යයකින් යුත් ඌරු පැටවුන් බිහි කරන්න ඌරන් සංවාසයේ යෙදිය යුතු කාලය, ගැබ් බර ව ඉන්න කාලයේ දී ලැබිය යුතු පහසුකම් ආදිය කලින් පුරෝකථනය කරන්න උත්සාහ කරනවා. ඌරු පැටවුන්ගේ ශරීර උෂ්ණත්වය හානිකර ලෙස අඩු වන විට ගොවිපොළේ විදුලි පහන් ස්‌වයංක්‍රීය ව දැල්වී උෂ්ණත්වය වැඩි කිරීමට කටයුතු කිරීම වැනි කටයුතු ද මීට අයත්. මෙවැනි පර්යේෂණ හරහා හෙළිදරව් වන කරුණු අනුව අනාගතයේ දී මිනිස්‌ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් විශාල ප්‍රතිලාභ ලැබේ වි.

මේ වගේ තවත් ව්‍යාපෘතියක්‌ තමයි මිදි ගොවිපළක්‌ එක්‌ක අපි කරන ව්‍යාපෘතිය. මිදි ගොවිපළේ මිදි පැළ අධෝරක්‌ත කැමරා හරහා නිරීක්ෂණය කරන විට ලැබෙන දත්ත පරිගණක වැඩසටහනක්‌ හරහා විශ්ලේෂණය කිරීමෙන් අපට ඒ පඳුර තුළ තියෙන මිදි ගෙඩි ගණන කියන්න පුළුවන් වගේ ම මිදි ගෙඩි ප්‍රශස්‌ත මට්‌ටමට ඉදිල ද නැද්ද කියන එකත් බලාගන්න පුළුවන්. ඒ වගේ ම මේ මිදි පැළවලට යම් කිසි රෝගයක්‌ වැළඳිලා ද ඒක මිය යමින් පවතිනවා ද වගේ කරුණුත් මේ හරහා බලාගෙන ඊට ප්‍රතිකර්ම යොදන්නට පුළුවන්.


ශ්‍රී ලාංකිකයන්ට ඔබ නිර්මාණය කළ මේ අධෝරක්‌ත තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් වෙළෙඳපොළට පිවිසීමට අවස්‌ථාව තිබෙනවා ද?

අනිවාර්යයෙන් ඔව්. මේ අධෝරක්‌ත ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධි යෙදීම් යොදාගැනීම හරහා මේ වගේ ඉතා විශාල යෙදීම් ප්‍රමාණයකට ප්‍රවේශ වීමේ විභවය තිබෙනවා. මේ වගේ උපාංග ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආර්ථික වශයෙන් ලාභදායී ව අපට කරන්න බැහැ. නමුත් මෙවැනි සංවේදක හරහා විශාල දත්ත ප්‍රමාණයක්‌ ලැබෙනවා. මේ දත්තවලින් ප්‍රයෝජනයක්‌ ලබාගත හැක්‌කේ ඒවා පරිගණක වැඩසටහනක්‌ හරහා විශ්ලේෂණය කර අවශ්‍ය තොරතුරු මතු කරගැනීමට හැකි වූ විටයි. මෙවැනි සංවේදක මිල දී ගෙන ඒවාට අවශ්‍ය පරිගණක වැඩසටහන් අපට නිර්මාණය කළ හැකියි.

උදාහරණයක්‌ විදිහට අද චන්ද්‍රිකා මාර්ගයෙන් මුළු ලෝකයේ ම ඡායාරූප ගැනෙනවා. මේ දත්ත බොහෝ විට නොමිලේ ම ලබාගත හැකියි. මේ ඡායාරූප දත්තවල සැඟව ඇති ඇසට නො පෙනෙන රහස්‌ හඳුනාගන්න බුද්ධිමත් රූප වර්ධක වැඩසටහන් (Intelligent imageenhancement)වලට හැකියි. අද කෘෂිකර්මයේ වල්නාශක භාවිතය ගන්න. ඒක හරියට ඇමෙරිකාව වියට්‌නාම යුද්ධ කාලෙ දී බෝම්බ දානවා වගේ. සතුරා ඉන්න තැන හරියට දන්නේ නැති නිසා මුළු පැත්ත පළාත ම වැහෙන්න බෝම්බ දානවා. ඒ වගේ මුළු වගාබිම ම වැහෙන්න අපි පළිබෝධනාශක යොදනවා. නමුත් දැන් සතුරා ඉන්න තැන හරියට ම දැනගෙන එතනට විතරක්‌ බෝම්බ දාන්න පුළුවන්. කුඹුරක වුණත් චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීම හරහා අපිට පුළුවන් නම් හරියට ම පළිබෝධ වැඩීගෙන එන්නේ කොතන ද කියලා හඳුනගන්න, අපිට පුළුවන් එතනට විතරක්‌ කෘමිනාශක යොදලා ඒ තත්ත්වය නැති කරන්න. මේකෙන් ගොවියාට වැය කිරීමට සිදු වන වියදම අඩු වනවා වගේ ම සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක්‌ බිහි කිරීමටත් හැකි වනවා.

මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් පරිගණක වැඩසටහන් වැඩිදියුණු කරන්න පුළුවන් නම් ඒ හරහා අපට ඉතා ම ලාභදායී ව්‍යාපාර බිහි කරන්න පුළුවන්. මේ මඟින් විශාල ආදායමක්‌ උපයමින් ම ලෝකයට විශාල සේවයක්‌ කරන්නත් පුළුවන්කම තිබෙනවා. මානව සම්පත බිහි කළ හැකි නම් ශ්‍රී ලංකාවේ තිබෙන සංචාරක ක්ෂේත්‍රයත් එක්‌ක ආයෝජකයන් මෙහි ගෙන්වා ගැනීම කිසි සේත් ම අපහසු කාරණාවක්‌ නෙවෙයි.

දමිත නිපුණජිත්
විශේෂ ස්‌තුතිය
( කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ මහාචාර්ය ජයන්ත මුණසිංහ සහ ආචාර්ය සුජීවා ඩි සිල්වා දෙපළට.