logo3.gif (702 bytes)

HOME


ජ'පුර සිසු පිරිසක්‌ 'හැරී පොටර්' ප්‍රබන්ධයේ Sorting hat එක යථාර්ථයක්‌ කරති...


ලොකු කුඩා අපි සැවොම කෙදිනක හෝ හැරී පොටර් චිත්‍රපට මාලාව නරඹා හෝ පොත්පෙළ කියවා හෝ ඇති බව නොඅනුමානයි. එසේ නම් එහි පළමු කතාවේ දැක්‌වෙන, හැරී ප්‍රථම වරට හොග්වාට්‌ස්‌ මායා පාසලට ඇතුළත් වන දිනයේ ඔවුන් නිවාසවලට තෝරනු ලැබූ Sorting Hat එක ඔබ සැමගේ මතකයේ හොඳින් රැඳී ඇති. එවන් hat එකක්‌ රොබෝ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යා අංශයෙන් විශේෂ උපාධිය හදාරන සිසුන් පිරිසක්‌ සමත් ව තිබෙනවා. ඒ පිළිබඳ ව විදුසරට කියන්න Sorting Hat එක නිර්මාණය කළ කණ්‌ඩායමේ සාමාජිකයකු වන අදීෂ ගම්මන්පිල අප අද සම්බන්ධ කරගනු ලබනවා.



* Sorting Hat එක වැනි වෙනස්‌ මුහුණුවරක social රොබෝවක්‌ නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

මුලින් ම ව්‍යාපෘතිය සඳහා විවිධ අදහස්‌ සොයා බලන කොට අපි සිතුවා වෙනස්‌ ආකාරයක, මානවරූපී බවින් අඩු (Less Humanoid), මායාමය (Magical) හැඟීමක්‌ දැන්විය හැකි යමක්‌ නිර්මාණය කරන්න. උදාහරණයක්‌ විදියට ඩිස්‌නි Snow White කතාවේ එන කතා කරන මැජික්‌ කැඩපත, හැරී පොටර් කතාවේ Sorting Hat වගේ අපට කුඩා කල දැක පුරුදු වස්‌තුවක්‌ සැබෑ ලෝකයට ගෙන එන්න ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ තමයි අද මේ ආකාරයට දක්‌නට ලැබෙන්නේ.


* කතාවේ දී මේ hat එකේ ප්‍රධාන කාර්යය ඔබ සැබෑ ලෝකයට ආදේශ කළේ කොහොම ද?

කතාවේ දී hat එක පැළඳගන්න සැම නවක සිසුවකුට ම අවස්‌ථාවක්‌ ලැබෙනවා. එවිට hat එක සිහින් හඬින් කතා කරමින් සිසුවාගේ සිතේ ගැඹුරින් තැන්පත් වී ඇති තොරතුරු පවසමින් ඔහුව වඩාත් ම ගැළපෙන නිවාසයට තෝරනවා. එය හිත කියවීමකට සමාන සිදුවීමක්‌. එනමුත් අපට නිවාසවලට තේරීමක්‌ අවශ්‍ය නො වන නිසා කතාවේ එන hat එකේ තිබෙන විශේෂාංග සියල්ල එලෙස ම පවත්වාගනිමින් මිනිස්‌ මොළය ක්‍රියා කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම වඩාත් සුදුසු වේ වි කියලා අපි තීරණය කළා. කතාවේ දී එය මැජික්‌ එකකින් සිදු වන දෙයක්‌. නමුත් අපේ නිර්මාණයේ දී hat එක හිසේ පැළඳගත් පසුව මොළයෙන් පිට වන තරංග (brain waves) වෙන් කරගත හැකි sensor එකක්‌ ඇසුරු කරගෙන තමයි එම කාර්යය සිදු කරන්නේ.


* මේ hat එක කුමන පිරිසක්‌ ඉලක්‌ක කරගෙන ද නිර්මාණය කර තිබෙන්නේ?

වර්තමානය වන විට විවිධ සංවේදක යොදාගනිමින් මොළයෙන් පිට වන තරංග පිළිබඳ ව පර්යේෂණ කිරීමට නිපදවනු ලැබූ යෙදුම් විශාල ප්‍රමාණයක්‌ පවතිනවා. ඒවායෙන් බොහොමයක්‌ ම භාවිත කරන්නේ වැඩිහිටි අයගේ මොළයෙන් පිට වන තරංග හඳුනාගැනීමට. ඒ අතරින් අප හඳුනාගත් අභියෝගයක්‌ තමයි කුඩා දරුවන් සමඟ සහයෝගයෙන් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්නේ කෙසේ ද කියන දෙය. මොකද සංවේදකයක්‌ සහිත අමුතු ආකාරයේ හිසේ පළඳවන සංකීර්ණ උපකරණයක්‌ භාවිත කරන්නට උත්සාහ කරන විට ඔවුන්ගේ සිතේ ස්‌වභාවයෙන් ම චකිතයක්‌ ඇති වනවා. නමුත් සැම කුඩා දරුවෙක්‌ ම වගේ නරඹන හෝ කියවන හෝ කතාවක එන වඩාත් හුරුපුරුදු විස්‌මයජනක චරිතයක පෙනුම යොදාගනිමින් උපකරණයේ සංකීර්ණ බව අවම කිරීම තුළින් ඔවුන් ව බියපත් නො කර අවශ්‍ය කියවීම් පහසුවෙන් ලබාගන්න අපට හැකියාව ලැබෙනවා. මෙහි දී අපේ මූලික ම අරමුණ වුණේ විශේෂ අවශ්‍යතා සහිත කුඩා දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමට මේ hat එක යොදාගැනීමයි.


* මේ නිර්මාණය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් යොදාගන්නට තීරණය කළ හේතුව කුමක්‌ ද?

ඇත්තට ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බිහි වන්නේ මොළයේ උපතේ දී ම ඇති වන ස්‌නායු හා සම්බන්ධ (neurological) ගැටලුවක්‌ නිසාවෙන්. ඔවුන් තරමක්‌ අනෙක්‌ අය එක්‌ක මුසු වෙන්න (interact) අකැමැති පිරිසක්‌. ඉන් ඉතා ම සුළුතරයක්‌ දැඩි වෙහෙසක්‌ ගෙන පුහුණුව තුළින් අන් අය සමඟ එක්‌ ව ක්‍රියා කිරීමේ හැකියාව යම් ධනාත්මක මට්‌ටමකට රැගෙන ආවත් එය එතරම් පහසු කාර්යයක්‌ වන්නේ නැහැ.

එනමුත් මේ වන විට පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මිනිස්‌ ස්‌වරූපය අඩු (less humanoid) වස්‌තූන් සමඟ වඩාත් සාර්ථක ව මුසු වන බව. මානවරූපී බව අවම වන, ළමා මනසට ආදරයෙන් වැළඳගත හැකි ආකාරයේ පෙනුමකින් යුත් සමාජශීලී රොබෝවකු ලෙසින් මේ Sorting Hat එක නිර්මාණය කරන්න අප තීරණය කළේ ඒ නිසාවෙන්.


* Sorting Hat එක සැබෑ ලෝකයේ දී යොදාගන්නා විට කුඩා දරුවන් බියට පත් නො වී එයට ආකර්ෂණය වීම සිදු වන්නේ කෙසේ ද?

ලොකු කුඩා අප සියලු ම දෙනා ස්‌පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ සුපිරි බලයක්‌ තිබෙන චරිතවලට වැඩිපුර ආශාවක්‌ දක්‌වනවා. ඔවුන් කිසිවකු සැබෑ ලෝකයේ අපට දක්‌නට ලැබෙන පුද්ගලයන් නො වෙයි. නමුත් ඒ වගේ අප දැඩි ලෙස ආශාවක්‌ දක්‌වන කතාන්දරවල පමණක්‌ සිටින චරිතයක්‌ සැබෑ ලෝකයේ දී මුණ ගැසුණොත් අපේ මනස දැඩි සතුටකට පත් වනවා. අපේ මනස ඒ සුවිශේෂී දේවලට ආකර්ෂණය වෙන්න හේතුව වන්නේ මිනිස්‌ මනසේ තිබෙන සහකම්පනය (empathy) කියන සාධකය. මේ සහකම්පනය නිසා තමයි කුඩා දරුවන් මිනිස්‌ ස්‌වරූපයක්‌ නොමැති වුවත් කතාවක දී පමණක්‌ හමු වුණ මේ hat එකට ආකර්ෂණය වෙන්නේ.


* Hat එක නිර්මාණය කිරීමේ දී විශේෂයෙන් සලකා බැලූ කරුණු මොනවා ද?

මේ hat එක අපි විශේෂ අවශ්‍යතා සහිත කුඩා දරුවන් සමඟ භාවිත කරන එකක්‌ නිසා එහි බර ප්‍රමාණය සහ මානවරූපී පෙනුම හැකි තරම් අවම කළ යුතු වීම ඉතා ම අභියෝගාත්මක සාධක දෙකක්‌ වුණා. ආර්ඩුයිනෝ පුවරු (Arduino boards) කිහිපයක්‌ අඩංගු වන මේ hat එකේ සැකිල්ල අපගේ RIS රොබෝ විද්‍යාගාරයට අයත් ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයෙන් (3D printer) මුද්‍රණය කර ඉතිරි සියල්ල ම රෙදි යොදාගෙන නිම කරන්න අප උත්සාහ කළා.


* මේ වගේ සුවිශේෂී නිර්මාණයක්‌ සිදු කිරීමේ දී බාහිර සහයෝගය ඉතා ම වැදගත්. ඒ පිළිබඳ ව මොනව ද ඔබට කියන්න තිබෙන්නේ?

මා (අදීෂ ගම්මන්පිල) සමඟ අසේල විඡේසිංහ, ටෙහානි වන්නිආරච්චි, විරාඡ් අමරජීව සහ දොaවිණී ජයසිංහ යන සිසු සිසුවියන් තමයි මේ නිර්මාණය සැබෑවක්‌ කරන්නට දිවා, රෑ නො බලා වෙහෙස මහන්සි වූයේ.

එමෙන් ම නිරන්තරයෙන් අපට මඟ පෙන්වමින් මේ නිර්මාණය පිටුපස සිටි දැවැන්ත ම සෙවණැල්ල වන අප විශ්වවිද්‍යාලයයේa, ව්‍යවහාරික විද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා අධ්‍යයනංශයට අයත් RIS රොබෝ විද්‍යාගාරයේ අධ්‍යක්ෂ ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමාට සහ හැකි සැම අයුරකින් ම අපට සහාය වූ විද්‍යාගාරයේ පර්යේෂණ සහකාර උදක මානවඩු මහතාට විශේෂයෙන් ම ස්‌තූති කළ යුතුයි.

ඒ වගේ ම විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මෙන් ම පරිගණක විද්‍යා අධ්‍යයනංශයේ අංශාධිපති ආචාර්ය ආනන්ද ගාමිණී යන මහත්වරුන් මෙන් ම පරිගණක විද්‍යා අධ්‍යයනංශයේ අනෙක්‌ සියලු ම ආචාර්යවරුන් ගෙන් ද ලැබුණ සහයෝගය ඉතා විශාලයි.

තව ද hat එක නිර්මාණය කළ මුළු කාලය තුළ ම අප කණ්‌ඩායමට උපරිමයෙන් සහයෝගය දැක්‌වූ අපේ මිතුරු මිතුරියන් සියලු දෙනා වත් මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි.

එසේ ම බාහිර බාධාවන් ගෙන් තොර ව රොබෝ පර්යේෂණ වෙනුවෙන් ම වෙන් වූ RIS විද්‍යාගාරයේ සිට Sorting Hat එක නිර්මාණය කිරීමට අවස්‌ථාව ලැබීම පිළිබඳ වත් අප බෙහෙවින් ම ස්‌තූතිවන්ත වෙනවා.


* මෑතක දී මේ නිර්මාණය ජාත්‍යන්තර තරගාවලියකටත් තේරුණා. ඒ පිළිබඳ යමක්‌ පැවසුවොත්?

පසුගිය සතියක දී අපේ Sorting hat එක ජ'පුර සරසවියේ ජාත්‍යන්තර ජයග්‍රහණයක්‌ ලැබූ පළමු රොබෝ නිර්මාණය ලෙසින් ICSR Interna-tional Conference on Social Robotics 2019(Springer) තරගාවලියේ අවසන් වටයට තෝරාගනු ලැබුවා. අප මේ ජයග්‍රහණය ලබාගත්තේ ඇමෙරිකාවේ MIT, Stanford,Harvard විශ්වවිද්‍යාලයය වැනි ලොව පුරා ඇති ඉහළ ම මට්‌ටමේ විශ්වවිද්‍යාල රාශියකින් ඉදිරිපත් කළ රොබෝ නිර්මාණ සමඟ තරග කිරීමෙනුයි. ඇත්ත වශයෙන් ම ඒ පිළිබඳ ව අපට ඇත්තේ විශාල ආඩම්බරයක්‌. ඉදිරියේ දී අපේ Sorting Hat එක සහ අපේ කණ්‌ඩායම ස්‌පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන එහි අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි.


* ඉදිරියේ දී Sorting Hat එකේ කොයි ආකාරයේ වැඩිදියුණු කිරීම් සිදු කිරීමට ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?

තොප්පිය තුළ අපි දැනට භාවිත කර තිබෙන්නේ NeuroSky brain wave sensor එක. නමුත් අප ළඟ දී ම ඒ වෙනුවට Emotiv senso එක භාවිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Emotiv senso එක කියන්නේ මේ වන විට තිබෙන හොඳ ම brain wave sensor එක. එමඟින් වඩාත් නිරවද්‍ය ප්‍රතිඵල ලබාගන්නට අපිට හැකි වේ වි.


* ඔබ සහ ඔබගේ කණ්‌ඩායමේ මේ නිපැයුම, අනාගත ලෝකයේ සුබසිද්ධිය වෙනුවෙන් යොදාගන්නට සැලසුම් කර තිබෙන්නේ කුමන ආකාරයෙන් ද?

කුඩා දරුවන්ට සෙල්ලම් කළ හැකි යමක්‌ ලැබුණ ම ඔවුන් ස්‌වභාවයෙන් ම දැඩි උෙද්‍යාaගයෙන් එය සමඟ කාලය ගෙවන්න පෙලඹෙනවා. ඔවුන්ගේ එම ස්‌වාභාවික හැඟීම්වලට කිසිදු බාධාවක්‌ නො කර දත්ත ලබාගන්න අපිට අවශ්‍ය වුණා. මොකද ඒ දත්ත සාර්ථක ව ලබාගන්න හැකියාව ලැබුණොත් විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ මොළය ක්‍රියා කරන ආකාරය සොයාගන්න හැකි වන නිසාවෙන්. වැඩිදුර පර්යේෂණ කිරීම් සලකා බැලුවොත් අපට මේ hat එකේ වෙනත් සුළු වෙනස්‌කම් සිදු කරමින් එය දරුවාගේ හැකියාවන් වර්ධනයට බලපාන ආකාරය නිරීක්ෂණය කරන්නත් හැකියාව ලැබෙනවා. එසේ ම විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ සහ සාමාන්‍ය දරුවකුගේa මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් අධ්‍යයනය කිරීමටත් අප බලාපොරොත්තු වනවා.

අපට මේ දත්ත සාර්ථක ලෙස එක්‌රැස්‌ කරගත හැකි වුව හොත් එය ලොව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මෙන් ම ඒ සම්බන්ධ ව පර්යේෂණ සිදු කරන සියලු ම දෙනාට ඉතා ම වටිනා තොරතුරු බවට පත් වේ වි. මොකද මේ දත්ත විශ්ලේෂණය කර ලබාගන්නා තොරතුරු එම දරුවන් කුඩා අවධියේ පටන් ම සාමාන්‍ය සාමාජය සමඟ මුසු කිරීමට හැකියාව ලබා දෙන සාර්ථක පිළියමක්‌ සොයාගැනීමට දොරටුවක්‌ විවර කරන නිසාවෙන්. එනිසයි අපි Natural emotions extraction of children byusing brain waves යන සංකල්පය කරා අපේ පර්යේෂණය යොමු කළේ.

චමත්කා කෞෂානි
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය)