logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වටිනා අකුණු සන්නායක පිළිබඳ ව්‍යාපාරික වංචා...
 

පැරැණි අකුණු සන්නායක, රුපියල් මිලියන ගණන්වලට මිල දී ගැනීමට සූදානම් යෑයි පවසමින් වසර ගණනාවක සිට අප දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුළා කරමින් ඉතා ප්‍රෝඩාකාරී ව්‍යාපාරයක්‌ දියත් වී තිබෙන බව අවබෝධ කරගැනීම ඉතා වැදගත් යෑයි සිතමි. මේ ප්‍රෝඩාකාරී ව්‍යාපාරය හා සම්බන්ධ අය හෝ ඔවුන්ගේ ඔත්තුකරුවෝ අදාළ ජනතාව දැනුවත් කරමින් වසර ගණනාවකට පෙර, ගොඩනැඟිලිවලට සවි කර ඇති අකුණු සන්නායක අලෙවි කිරීමට අභිමත නම්, ඒ සඳහා රුපියල් මිලියන ගණන්වලට තකේස්‌රු කෙරෙන මිලට ඒවා ගැනීමට හැකි බව ප්‍රචාරය කරති. එවන් ඉහළ මිලක්‌ ගෙවීමට හේතුව වශයෙන් ඔවුන් පවසා ඇත්තේ එම අකුණු සන්නායක පද්ධතිවල තඹ තහඩු තුළ යම් කිසි ශක්‌තියක්‌ (විදුලි ශක්‌තිය වැනි) ගැබ් වී තිබෙනවා ය යන්න සහ පැරැණි තඹ තහඩුවල තඹ, අකුණු ධාරාවන් නිසා වෙනත්, තරමක්‌ වටිනා ලෝහ බවට පරිවර්තනය වී තිබෙන නිසා ය යන මිථ්‍යාවන් ය.

මා මේ විස්‌තර පිළිබඳ දැනුවත් වූයේ මේ සම්බන්ධ ව දුරකථන මඟින් කිහිප දෙනකු කළ විමසුම් හරහා ය. අකුණු සන්නායක සහිත ගොඩනැඟිලි මගේ ගම්මානයේ හෝ අවට ගම්මානවල හෝ නොමැති නිසා දොa, ව්‍යාපාරික ඔත්තුකරුවන් මේ පළාතට පැමිණි බවට සාක්ෂි නොමැත.

අකුණු සන්නායක ඉහළ මිලට ගන්නා බවට මිථ්‍යාවන් ප්‍රචාරය වී දැනට වසර ගණනාවක්‌ පසු වී ඇතත්, රුපියල් මිලියන ගණන්වලට අකුණු සන්නායකයක්‌ අලෙවි කළ අයකු පිළිබඳව ආරංචි නො ලැබුණත්, පසුගිය කාලය තුළ පැරැණි අකුණු සන්නායක රැසක්‌ ම සොරකම් කිරීමට බඳුන් වූ බව නම් ජනමාධ්‍යවලින් මා මෙන් ම ඔබ ද දැනුවත් වී ඇති. ඉදිරි කාලයේත් වටිනා අකුණු සන්නායක පද්ධති රැසක්‌ සොරකම් කෙරෙනු ඇති.

තාක්ෂණික දියුණුව සැම ක්ෂේත්‍රයක ම දකින්නට ලැබෙන අතර අකුණු සන්නායක සවි කිරීමේ තාක්ෂණය ද විවිධ අයුරින් දියුණු වී ඇත. මීට වසර 15කට පමණ පෙර අවධිවල අකුණු සන්නායක සවි කිරීමේ දී භාවිත වූයේ (අද වන විට මිලෙන් අධික) තඹ තහඩු සහ තඹ පටි ය. අද ඒ සඳහා ඉතා ලාභදායි ඇලුමිනියම් පටි සහ සන්නායක දඬු භාවිත වේ. තරමක්‌ ඈත කාලයේ දී අකුණු සන්නායක පද්ධතියේ වැදගත් ම කොටස වන පෘථිවිගත කිරීමේ පරිපථය (Earth circuit) සඳහා (සාමාන්‍යයෙන් වර්ග අඩි 4ක්‌ වන) තඹ තහඩු සහ තඹ පටි යොදාගත් අතර වසර තිහකට, හතළිහකට පමණ පෙර භාවිත කොට ඇත්තේ පිරිසිදු තඹ තහඩු ය. ඒ පැරැණි තඹ තහඩුවක අද වටිනාකම රුපියල් ලක්ෂ ගණනට තකේස්‌රු වන්නේ පිරිසිදු තඹවල ඉහළ මිල නිසා ය.

තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට අකුණු සන්නායකවල භූගත කිරීමේ පරිපථය තඹ ආලේපිත ලෝහ දඬු භාවිතයෙන් කාර්යක්ෂම ලෙස සිදු කළ හැකි නමුත් ඈත කාලයේ භූගත කිරීම සඳහා තඹ තහඩු කිහිපයක්‌ සහ ඒ හා සම්බන්ධ කරන තඹ පටි විශාල ප්‍රමාණයක්‌ අඩි 10ක්‌ පමණ ගැඹුරු ස්‌ථානවල වළලා දැමීම සිදු විය. එම භූගත තඹ ප්‍රමාණය අද පවතින මිල ගණන් අනුව රුපියල් මිලියන ගණන් වනු නොඅනුමානයි.

මේ යථාර්ථය වටහාගත් ඉතා කපටි ව්‍යාපාරිකයන් කණ්‌ඩායමක්‌ හෝ කණ්‌ඩායම් කිහිපයක්‌ ජනතාව මුළා කිරීම සඳහා ප්‍රචාරය කර ඇති කතාව, පැරැණි අකුණු සන්නායක රුපියල් මිලියන ගණන්වලට මිල දී ගැනීමට සූදානම් බවයි. එම ප්‍රචාරවලින් මුළා වූ අය අර ව්‍යාපාරිකයන්ට හෝ ඔවුන්ගේ ඔත්තුකරුවන් හෝ සිය ගොඩනැඟිලිවල තිබෙන අකුණු සන්නායක සවි කර ඇති ස්‌ථාන, පෘථිවි පද්ධතියේ තඹ තහඩු වළ දමා ඇති ස්‌ථාන ආදිය පිළිබඳව දැනුවත් කර සියලු විස්‌තර ලබා දුන් පසු මුදල් ද රැගෙන, ගනුදෙනුව සඳහා පසු දිනක එන බව පවසා පිටත් වුව ද සිදු වන්නේ වෙනස්‌ ම දෙයකි.

අකුණු සන්නායකය පිළිබඳ විස්‌තර ලබාගත් දින ම රාත්‍රියේ අදාළ අකුණු සන්නායක පද්ධතිය සොරකම් කිරීමට ලක්‌ වේ. මේ වන විට ඉතා වටිනා පැරැණි අකුණු සන්නායක කිහිපයක්‌ ම සොරකම් කිරීමට ලක්‌ වූ බව ජනමාධ්‍ය තුළින් දැනගතිමි. එවන් එක්‌ සොරකමකට සම්බන්ධ වූ හොරුන් කණ්‌ඩායමක පොලිස්‌ නිලධාරියකු පවා සිටි බව ඒ සම්බන්ධ ව පැවැති නඩු විභාගයක දී හෙළිදරව් වී ඇත.

රසායන විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස්‌ අනුව, කාලයක්‌ තුළ අධි විදුලි ධාරා සහිත අකුණු ධාරා ගමන් කිරීම නිසා ඉහළ උෂ්ණත්වවලට උණුසුම් වීමෙන් තඹ තහඩුවල අඩංගු තඹ කොපර් ඔක්‌සයිඩ් සහ කොපර් කාබනේට්‌ සංයෝග බවට පත් වීම හැරෙන්නට ඒවා වටිනා ලෝහ බවට පරිවර්තනය වීමක්‌ සිදු නො වේ.

අකුණු සන්නායක පිළිබඳ භෞතික විද්‍යාත්මක විග්‍රහයට අනුව අකුණු පහරක්‌ යම් කිසි සන්නායකයක්‌ හරහා භූගත වීමේ දී එම සන්නායක සමඟ ස්‌ථිති විද්යුත් ආරෝපණ බෙදාගැනීමක්‌ සිදු වන්නේ නැත. එහි දී සිදු වන ප්‍රධාන ක්‍රියාවලිය වනුයේ, අකුණු පහරක්‌ සතු විදුලි ධාරාව හෙවත් විද්යුත් ශක්‌තිය භූගත කිරීමට උපකාර කිරීම පමණි.

අකුණු සන්නායකයක්‌ මඟින් අකුණු හා සම්බන්ධ ස්‌වාභාවික විපත් අවම කිරීම උදෙසා සිදු වන මෙහෙය විශාල ය. අකුණු සන්නායක පද්ධතියක වැදගත් ම කොටස වන භූගත පරිපථය ඉවත් කිරීම අකුණු සන්නායක පද්ධතියක කාර්යක්ෂමතාව සම්පූර්ණයෙන් ම බිඳ වැටීමට හේතු වී එම අකුණු සන්නායකය සවි කර ඇති ගොඩනැඟිල්ලේ ආපදා ආරක්ෂාව අහිමි කිරීමට හේතු වන බව අවබෝධ කරගනිමු. එය කෙතරම් බරපතළ වරදක්‌ දැයි අවබෝධ කරගැනීම අපහසු කාර්යයක්‌ නො වේ. ජීවිත සහ දේපළ ආරක්ෂා කරමින් විශාල සේවයක්‌ කරන, වටිනා අකුණු සන්නායක පද්ධති, සොරුන්ගේ අතට පත් වීමට ආධාර කිරීම කෙතරම් අනුවණ ක්‍රියාවක්‌ ද යන්න අවබෝධ කරගනිමු. අකුණු මඟින් සිදු වන ජීවිත සහ දේපළ හානි අවම කිරීම යන මහඟු සේවාව සැලකීමේ දී අකුණු සන්නායකයක්‌ රුපියල් මිලියන ගණනින් තකේස්‌රු කිරීම මහා අනුවණකමක්‌ වන්නේ ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්ය
කේ. ආර්. අභයසිංහ
(විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ)