logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ඉදි වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක පළමු රෝගී සහන සත්කාර මධ්‍යස්‌ථානයයි...
 


ශ්‍රී ලංකාවේ රෝගී සහන සත්කාර සේවාව (Palliative care) හෙවත්, ප්‍රතිකාර කළ ද මරණය වළක්‌වාගත නොහැකි රෝගීන් උදෙසා පවතින වෘත්තීයමය මට්‌ටමේ රැකබලාගැනීමේ සේවා සතුටුදායක මට්‌ටමක නො පවතින පසුබිමක කරාපිටිය රෝහලේ එවැනි රෝගීන්

රැකබලාගැනීම සඳහා ම වෙන් වූ මධ්‍යස්‌ථානයක ඉදි කිරීම් කටයුතු ඉකුත් වසර අග දී ආරම්භ කළ බවත්, මේ වන විට එහි ඉදි කිරීම් කටයුතු සැලකිය යුතු දුරකට සිදු වී ඇති බවත් ඒ සඳහා පුරෝගාමී වූ එම රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා මහතා පැවසී ය.

ඒ මහතා ඒ බැව් පැවසුවේ ඉකුත් දා ලෝක සහන සත්කාර දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී ය. ලෝක සහන සත්කාර දිනය සැම වසරක ම ඔක්‌තෝබර් මස දෙවැනි සෙනසුරාදා සමරනු ලැබේ. මෙවර එහි තේමාව වූයේ 'මගේ සත්කාරය-මගේ අයිතිය' යන්න ය.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සඳහන් කළ ආකාරයට මෙරට තවමත් සහන සත්කාර සේවාවන් නිසි ආකාරව ස්‌ථාපිත වී නොමැත. එවැනි පහසුකම් රට තුළ සමාන ව ව්‍යාප්ත වී ද නොමැත.

මරණය නියත රෝගියකුට දිවියට සමු දීමට සුදුසු ම, සාමකාමී ම ස්‌ථානය තමන් ගේ ම ගෘහය වන නමුත් පහසුවෙන් ලබාගත හැකි සහන සත්කාර සේවාවක සහාය නොමැතිකම හේතුවෙන් ඔවුනට සහනදායක මරණයක්‌ අත්විඳීම අභියෝගයක්‌ ව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

අභියෝග මධ්‍යයේ වුව ද කරාපිටිය රෝහල මේ වන විට සැම සෙනසුරාදාවක ම පෙරවරු 8.00ට සහන සත්කාර සේවා සායනයක්‌ ක්‍රියාත්මක කරන අතර සේවාව අවශ්‍ය ඕනෑ ම රෝගියකුට එමඟින් අවශ්‍ය මඟපෙන්වීම් සහ සේවා ලබාගත හැකි බව වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පැවසී ය.

මේ සම්මන්ත්‍රණයේ දී අදහස්‌ දැක්‌වූ ජාතික පිළිකා පාලන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාඡ් පෙරේරා මහතා සහන සත්කාර සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර සිටියේ මේ අයුරිනි.

"මෙය ජීවිත තර්ජනයක්‌ ඇති විය හැකි බව වෛද්‍ය විදයාත්මක ව තහවුරු කරන ලද රෝගවලට අදාළව ලබා දෙන සත්කාරයක්‌. ඒ වගේ ම රෝගීන් පමණක්‌ නො වෙයි, ඔවුන්ගේ පවුලේ උදවිය, සමීපතමයන් ආදීන් පවා මෙවැනි රෝගියකු සමඟ කටයුතු කිරීම තුළ මුහුණ දෙන ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික ගැටලුවලට පිළීයම් යෙදීම මේ සත්කාරයේ දී අවධානයට ලක්‌ වනවා. රෝගියා මිය ගිය පසු ඇති වන වියෝ දුක සමනය කරගැනීමට ද මේ හරහා සහාය ලබා දෙනවා. මෙය වයස්‌ගත වූවන්ට සීමා වන්නකුත් නො වෙයි. ජීවිතයේ ඕනෑ ම අවධියක පසු වන්නකුට මේ සේවාව අවශ්‍ය අවස්‌ථාවක්‌ උදා විය හැකියි.

සහන සත්කාරයේ අරමුණ රෝගියකුගේ ජීවිතය දිගු කිරීම නො වන නමුත් මනා සහන සත්කාරක සේවයක්‌ ක්‍රියාත්මක වන විට රෝගියා වැඩි කලක්‌ ජීවත් වන අවස්‌ථා ද වාර්තා වී තිබෙනවා."

රෝගය හඳුනාගත් මොහොතේ සිට සහන සත්කාරය ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා පුහුණූ කාර්ය මණ්‌ඩලයක්‌ කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මේ වන විට සහන සත්කාර සේවාව සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල පුහුණු කිරීමේ කටයුතු අප රටේ ආරම්භ කර ඇති බව පැවසූ වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා, කෙටිකාලීන පියවරක්‌ ලෙස පසුගිය වසරේ මාස 6ක පුහුණුවකින් පසු මහජන සෞඛ්‍යය පිළිබඳ හෙද නිලධාරීන් 70ක්‌ පමණ මේ සඳහා සුදුසුකම් ලබා සිටින බවත් ඔවුන් නිවෙස්‌වලට ගොස්‌ රෝගීන් රැකබලාගැනීම සම්බන්ධ කටයුතු සොයා බැලීමෙහි මේ වන විට නිරත වන බවත් සඳහන් කළේ ය.

මේ අවස්‌ථාවට එක්‌ වූ ජාතික පිළිකා පාලන වැඩසටහනේ නව අධ්‍යක්‌ෂ විශේෂඳ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ද සිය අදහස්‌ දැක්‌වී ය.