logo3.gif (702 bytes)

HOME


'සොබාදහම සමඟ සම්බන්ධ වෙමු'...


දෙවසරක්‌ සපුරන 'ගෙවත්තේ ජෛවවිවිධත්වය' ලිපි මාලාව
 

අද ජූනි 05 ලෝක පරිසර දිනයයි. ගෙවත්තේ ජෛවවිවිධත්වය ලිපි මාලාව ආරම්භ කිරීමට අඩිතාලම දැමුණේ 'සොබාදහම සමඟ සම්බන්ධ වෙමු' (connecting people to nature) තේමාව යටතේ සැමරූ 2017 ලෝක පරිසර දිනයට සමගාමී ව විදුසර පුවත්පතේ පළ වූ ලිපියකිනි. කාර්යබහුලත්වය නිසා සමහර කාලවල දී ලිපි පළ කිරීමට නො හැකි වුවත්, මේ වන විට ගෙවත්තේ ජෛවවිවධත්වය ලිපි මාලාව දෙවසරක්‌ සපුරයි. මේ ලිපි මාලාවේ මූලික ම අරමුණ වූයේ අපගේ 'සොබාදහම සමඟ සම්බන්ධ වීමට අපට ඇති පළමු සහ ප්‍රමුඛතම අවස්‌ථාව අපගේ ගෙවත්ත' බව ඉස්‌මතු කිරීමයි. හොඳින් නිරීණය කළ හොත්, කෙතරම් කුඩා වුවත් අපගේ ගෙවතු හා ඒ අවට තවමත් විවිධාකාරයේ ජීවීන් සිටින බවත්, ඒ අතරින් කුරුල්ලන්, සමනළයන් වැනි සතුන් සැබැවින් ම පරිසරයේ අලංකාරත්වයත් අපූර්වත්වයත් අපගේ ගේ එළිපත්තට ම ගෙන එන බවත් පසක්‌ කිරීම මෙහි ප්‍රධානතම අරමුණ විය.

'ගෙවත්තේ ජෛවවිවිධත්වය' තුළින් බොහෝ විට මාගේ පෞද්ගලික අත්දැකීම් ඔබ සමඟ බෙදා හදාගත්තේ ප්‍රයෝගිකව ම ඔබටත් එවැනි ම ආකාරයේ නිරීණයන් සිදු කළ හැකි බව පසක්‌ කිරීමට ය. රූපවාහිනියේ නාටක, චිත්‍රපට, කාටූන් වැනි වැඩසටහන්වලට ඇබ්බැහි වී ගත කරන කාලයෙන් බිඳක්‌ තම ගෙවත්තට පිවිස පරිසරය සමඟ ගැවසීමෙන් පරිසරයේ අපූර්වත්වය තම ගෙවත්තෙන් පවා විඳගත හැකි බව මේ වන විට ඔබටත් තහවුරු වී ඇතැයි සිතමි. බොහෝ විට මාගේ දියණියත් මේ 'ගෙවතු ගවේෂණයන්' සඳහා සහභාගී කරවාගෙන, ඒ අත්දැකීම් ද ඔබ හා බෙදාගත්තේ, අද කාලයේ පරිසරයෙන් ඈත් වෙමින් සිටින කුඩා දරුවන්ට පවා තම 'ගෙවත්ත' පරිසරය පිළිබඳ පළමු අත්පොත ලෙස ගත හැකි බව පසක්‌ කිරීම පිණිස ම ය.

අපගේ ගෙවත්ත ඉතා කුඩා ගෙවත්තකි. එහෙත් මේ වන විට ගෙවත්ත සහ ඒ අවට සමනළ විශේෂ 15කට වැඩි ප්‍රමාණයක්‌ ද, කුරුල්ලන් 30කට වැඩි ප්‍රමාණයක්‌ ද වාර්තා වී තිබේ. මේ වන විට සමහර කුරුල්ලෝ සහ සමනළයෝ නිතර ම අප ගෙවත්තේ ගැවසෙන සාමාජිකයෝ වී සිටිති. මේ වන විටත් සූටික්‌කකු එහි කැදැල්ලක්‌ තැනූ අතර සැම දා ම රාත්‍රියේ නිදාගන්නා බට්‌ටිච්චකු මේ වන විටත් නිරීණය කර තිබේ. තරමක්‌ ජනාකීර්ණ ප්‍රදේශයක තිබුණත් - කුඩා ගෙවත්තක්‌ වුවත්, මෙසේ කුරුල්ලන්/සමනළයන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඒමට හේතු මොනවා දැයි, අප ගෙවත්තේ දී ගත් ඡායාරූප සහ නිරීණ දකින සමහරු අසති. එහි රහස නම්, අප ප්‍රදේශය අවට සිටින කුරුල්ලන්ට, සමනළයන්ට ප්‍රයෝජනවත් ගහකොළ වැවීමයි. 'ගෙවත්තේ ජෛවවිවිධත්වය'ට දෙවසරක්‌ සපිරෙන දා ජීවීන්ට හිතකර ගෙවත්තක්‌ කිරීමට මා ගත් උත්සාහයත්, සමහර ජීවීන් එයට දැක්‌වූ ප්‍රතිචාරත් බෙදාගැනීමට සිතුවේ ඔබටත් එය ප්‍රයෝජනවත් වෙතැයි සිතන නිසා ය.

කුරුල්ලන් ගෙන්වාගැනීමට ලේසි ම ක්‍රමය ඔවුන් ආහාරයට ගන්නා දේ හැදෙන ගස්‌ සිටුවීමයි. අප ගෙවත්ත අවට සිටි කුරුල්ලන් අතර මල් පැණි බී ජීවත් වන සූටික්‌කන් ගෙන්වාගැනීමට මල් පැණි සහිත පුෂ්ප හට ගන්නා ගස්‌ කිහිපයක්‌ ම ගෙන්වා සිටුවීමි. මේ අතරින් සමහර ශාකවලට ඔවුන් ආකර්ෂණය නො වුණු නමුත්, ටැකොමා නම් වූ මල් වර්ගය ඔවුන් ගෙවත්ත වෙත දිනකට කිහිප වතාවක්‌ ම ගෙන ඒමට සමත් විය.

ගෙවත්ත වෙත ආකර්ෂණය කරගැනීමට ගත් උත්සාහයන් ගෙන් වඩාත් ම සාර්ථක වූයේ සමනළයන් ගෙන්වා ගැනීමට ගත් උත්සාහයයි. රාජ පොහොට්‌ටු, සීනියා මෙන් ම දුරන්ත මල් වර්ග මේ සඳහා ප්‍රධාන කොට ම උපකාරී විය.

අප ගෙවත්තේ තිබෙන ගස්‌ අතරින් වඩා වටිනා ම ශාකය තෝරාගැනීමට වුව හොත්, මා ඊට තෝරාගන්නේ දුරන්ත (Durantha) නම් වූ දම් පැහැති කුඩා මල් පිපෙන ශාකයයි. 'දූරෙන්ද' ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වූ වැටවල සිටුවන ශාකයක දෙමුහුන් කිරීමකින් වැඩිපුර මල් සෑදෙන සේ වැඩිදියුණු කළ මේ ශාකය සමහරු කිසිදු වැඩකට නැති ගසක්‌ ලෙස සැලකුවත්, මෙහි මල් පිපෙන්නට පටන්ගත් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වන විට මින් පෙර අපගේ ගෙවත්තේ නො දුටු සමනළයන් වර්ග 4ක්‌ ආකර්ෂණය කරගැනීමට සමත් විය. වැඩි සැලකිල්ලක්‌ ද අනවශ්‍ය මේ දුරන්ත ශාකය සමනළයන් ආකර්ෂණය කරගැනීමට ඔබටත් සිටුවිය හැකි ශාකයකි.

සමනළයන් ආකර්ෂණය කරගැනීමට සමත් ශාක අතරින් මා ප්‍රිය කරන අනෙකුත් ශාකය වූයේ අක්‌කපාන ශාකයයි. පොත් අස්‌සේ දැමූ විට මුල් අදින පත්‍ර සහිත අක්‌කපාන ශාකයක්‌ මුලින් ම ගෙනාවේ අප නිවසේ අත්වැඩ කර දීමට පැමිණි කාන්තාවයි. ලස්‌සන රතු පැහැති මලක්‌ පිපෙන නිසා අලංකාර ශාකයක්‌ ලෙස ගෙනා මේ ගස අසල ලස්‌සන කුඩා සමනළයකු ගැවසෙනවා කිහිප දිනක ම නිරීණය කළ මම ඒ සමනළයා හඳුනාගැනීමට අත්පොතක්‌ පරීd කරන්නට පටන් ගතිමි. ඒ Red Pierrot (රතු කොනන්ගියා) නම් සමනළයා ලෙස හඳුනාගත් මා වඩා පුදුම වූයේ ඒ සමනළයා බිත්තර දමන ධාරක ශාකය අක්‌කපාන බවත් යන විස්‌තරය කියවීමෙනි. ඉන් පසු දින ම විසිතුරු පැළ විකුණන ස්‌ථානයකින් අක්‌කපාන පැළ කිහිපයක්‌ ම ගෙනවිත් සියල්ල ආසන්නයේ තිබෙන්නට හරින ලදි. පුදුමයකට මෙන් දින කිහිපයකට පසු මේ Red Pierrot සමනළයන් 5 දෙනකු ම අපගේ ගෙවත්තේ දක්‌නට ලැබුණේ මා සහ මාගේ දියණිය ඉතා ම සතුටට පත් කරමිනි. මේ අතරින් සමනළයකු අක්‌කපාන කොළයක බිත්තර දමනවා පවා නිරීණය කිරීමට හැකි විය.

සමනළයන්ගේ දළඹුවන් නිසා අනෙකුත් බෝගවලට හානි සිදු වන අවස්‌ථා ද නැත්තේ ම නො වේ. හැබැයි, අපේ ගෙවත්තේ එවැනි අවස්‌ථාවන් එකක්‌ පමණි - ඒ Common Cerulean නම් වූ සමනළයාගේ දළඹුවන් අපගේ ගෙවත්තේ මෑකරල් විනාශ කර දැමීමයි. කෙසේ වෙතත් දැන් වන විට නාගරික සහ ගම්බද ඉතිරි වී සිටින ජීවීන් සංරණය සඳහා අපගේ ගෙවතු මෙවැනි ජීවීන්ට හිතකර ලෙස සකස්‌ කොටගැනීම ඉතා ම වැදගත් වේ.

ඔබ තවත් මතකයේ තබාගත යුතු කරුණක්‌ වනුයේ කුරුල්ලන් සහ සමනළයන් ආකර්ෂණය කරගැනීමට ගන්නා සමහර උත්සාහයන් සාර්ථක නො වීමට ද ඉඩ තිබෙන බවයි. විශේෂයෙන් ම තෝරාගත් සමනළයන් ඉතා ප්‍රිය කරන මල් වර්ගයක්‌ ලෙස බලුනගුට ශාකයත්, සමනළයන්ගේ ප්‍රියතම ධාරක ශාකයක්‌ වූ සප්සඳ වැලත් වගා කළත් අප ගෙවත්තේ දී මේ දෙකට ම සමනළයන් ආකර්ෂණය නො වී ය. සමනළයන් බිත්තර දමනුයේ, එම සමනළයාට ම විශේෂිත වූ ධාරක ශාකයක ම වන අතර දෙහි කුලයේ ශාක, අනෝදාවලත් සමහර සමනළයන් බිත්තර දමන බව සඳහන් වන නිසා, මේ ශාක වගා කළත් - ඒවා ද තවමත් සාර්ථක නො විණි.

පලතුරු බුදින කුරුල්ලන් අතරින් ගිරවු, පොළොස්‌ කොට්‌ටෝරුවෝ අප ගෙවත්ත අවට නිතර ගැවසෙති. පේර, කාමරන්කා මෙන් ම පැපොල් ද වගා කළේ විශේෂයෙන් ම මේ පලතුරු බුදින්නන් ගෙන්වා ගැනීමට වුව ද, එය සාර්ථක නො වී ය. පේර ගසේ පිටි මකුණන් නිසා ගෙඩි නො සෑදුණ අතර, කාමරන්කා සහ පැපොල් ගස්‌වල ගෙඩි කෑමට කිසි ම කුරුල්ලකු හෝ ලේනකු පැමිණි සලකුණක්‌ හෝ දැකගත නො හැකි විය.

මෙයින් පෙනී යනුයේ අපගේ සියලු ම උත්සාහයන් සාර්ථක නො විය හැකි බවත්, එනමුත් උත්සාහය අත නො හැර, පරීණ කිරීම මඟින්, ඔබ ගෙවත්තේ තිබෙන ප්‍රදේශයේ ජීවීන්ට අනුකූල වන ලෙස ගෙවත්ත සකස්‌ කරගැනීම මඟින් ඔබ ගෙවත්තේ සහ අවට ජෛවවිවිධත්වය වැඩි කරගත හැකි බවත් ය. මදුරුවන් වැනි අහිතකර ජීවීන් බෝ නො වන ලෙස අපගේ ගෙවතු පරිසර පද්ධතීන් නඩත්තු කරගැනීම පිළිබඳ වත් සැලකිල්ල යොමු කරගත යුතු වේ.

ඔබත් මෙසේ සමනළයන්ට කුරුල්ලන්ට හිතකර ගෙවත්තක්‌ සකසා ගැනීමට ලෝක පරිසර දිනය සමරන අද දින අදිටන් කරගන්න. එසේ කිරීම තුළින් අපිටත් 'සොබාදහම සමඟ සම්බන්ධ වීමට' අපගේ ගෙවත්තේ සිට ම හැකි වනු ඇත.

ඔබගේ අත්දැකීම් ද 'ගෙවත්තේ ජෛවවිවිධත්වය' තුළින් බෙදා හදාගන්නට කැමැති නම් අප වෙත ලියා එවන්න.

(සමනළයන්ගේ සිංහල නම් 2012 රතු දත්ත පොතෙන් උපුටා ගන්නා ලදි.)