logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ පළමුවරට ජංගම දුරකතන හරහා දීප ව්‍යාප්ත සමීක්‌ෂණයක්‌

1995 අංකය ඔස්‌සේ මෙරට වැසියන් සහභාගි කරගෙන බෝ නො වන රෝග සම්බන්ධ දීප ව්‍යාප්ත සමීක්‌ෂණයක්‌ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වේ.

මෙය දුරකථන ඇසුරින් සෞඛ්‍ය අංශයෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන පළමු සමීක්‌ෂණය බව ද මාර්තු මස අවසානයේ දී මේ සමීක්‌ෂණය ඇරඹෙන බව ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් බෝ නො වන රෝග කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පැවසී ය.

බෝ නො වන රෝග වැළැක්‌වීම සම්බන්ධයෙන් අවශ්‍ය කාලීන පියවර ගැනීම සඳහා මේ සමීක්‌ෂණයේ දී විමසනු ලබන ප්‍රශ්නවලට මහජනතාව දක්‌වන ප්‍රතිචාර පාදක කරගන්නා බැවින් 1995 දුරකතන අංකයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන මේ දුරකතන ප්‍රශ්නාවලිය මඟ නොහැර ඊට ප්‍රතිචාර දැක්‌වීමෙන් මේ වැඩසටහනට සහයෝගය දක්‌වන ලෙස ඒ මහතා ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රශ්නාවලිය ප්‍රශ්න 20කින් සමන්විත වන අතර පටිගත කළ හඩකින් ප්‍රශ්න විමසීම සිදු කෙරෙයි. ප්‍රතිචාර දැක්‌විය යුත්තේ එහි දී උපදෙස්‌ දෙනු ලබන අංක ඇතුළත් කිරීමෙනි. උදාහරණයක්‌ ලෙස මේ ප්‍රශ්නාවලියට පිළිතුරු දීමට කැමැති නම් 1 අංකය ද අකැමැති නම් 3 අංකය ද ඇතුළත් කරන ලෙස ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරීමට පෙර දුරකතනයෙන් විමසා සිටියි.

ප්‍රශ්නාවලියට පිළිතුරු ඇතුළත් කරන අතරතුර දුරකතනය යම් හේතුවකින් විසන්ධි වී ගිය හොත් නැවත පැය 50කට පසු 1995 අංකයෙන් ඇමතුමක්‌ පැමිණ සමීක්‌ෂණය පෙර නැවතුණු තැන සිට යළි ඇරඹෙයි. ප්‍රශ්නාවලිය විමසීමට විනාඩි 5-7 වැනි කාලයක්‌ ගත වනු ඇත.

මෙහි දී පුද්ගලයන්ගේ ආහාර රටා, දියවැඩියාව අධි රුධිර වැනි රෝග කිහිපයක ඉතිහාසය, දුම්වැටි හා මත්පැන් පානය වැනි කරුණු 20ක්‌ විමසීමට බඳුන් කෙරෙයි. සියලු තොරතුරු රහසිගත ව තබාගැනෙන බව අවධාරණය කළ වෛද්‍ය පියසේන සති 2ක්‌ වැනි කාලයක්‌ තුළ සමීක්‌ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි බව විදුසර කළ විමසීමකට පිළිතුරු ලෙස පැවසී ය. මෙතෙක්‌ පැවැති ගෙන් ගෙට ගොස්‌ සෞඛ්‍ය සමීක්‌ෂණ පැවැත්වීමේ ක්‍රමයේ දී ප්‍රතිඵල ලබාගැනීමට වසර 2ක වැනි කාලයක්‌ ගත වූ බව ද ඒ මහතා පෙන්වා දුනි.

මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජයෙන් මුදල් වැය නො වන අතර බරපැන දරනු ලබන්නේ ඇමෙරිකාවේ රෝග පාලන මධ්‍යස්‌ථානය (CDC) ඇතුළු එරට ආයතන කිහිපයකි.