logo3.gif (702 bytes)

HOME


ගුවන් සැරියේ නුදුරු අනාගතය

දුම්රිය බිහි වීම, බොහෝ දුර ඈත නගර එකිනෙකට සමීප කරවීමට සමත් වූවා සේ ම ගුවන් යානයේ බිහි වීම දුර ඈත රටවල් එකිනෙකට සමීප කරවීමට උර දෙතැයි ගුවන් ගමන්වල පුරෝගාමීන් අනාවැකි පළ කළා. එය සැබෑවක්‌ බවට පත් කරමින් අද මුළු ලෝකය ම පැය කිහිපයක දුරකට ගෙන ඒමට ගුවන් යානය සමත් වී තිබෙනවා. කෙසේ නමුත් එක්‌ දහස්‌ නව සිය හැට (1960) ගණන්වල සිට ගුවන් ගමන් කෙරෙන ආකාරයෙහි ව්‍යqහාත්මක ව එතරම් සුවිශේෂී වෙනසක්‌ සිදු ව නැහැ. මීට හොඳ උදාහරණයක්‌ ලෙස බොයිං 737 යානය පෙන්වා දිය හැකියි. අදටත් බොහෝ ගුවන් සේවාවන් අතර ජනප්‍රිය මේ යානය විවිධ වෙනස්‌කම්වලට ලක්‌ ව ඇති නමුදු මූලික ව පළමු යානයට වඩා විශාල වෙනසක්‌ දරන්නේ නැහැ. මේ යානය මුල් වරට ගුවන්ගත කර ඇත්තේ 1967 වසර තරම් ඈතක දීයි.

අනෙකුත් ක්‌ෂේත්‍රවලට සාපේක්‌ෂ ව ගුවන් ගමන් ක්‌ෂේත්‍රය එතරම් කැපී පෙනෙන ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමට සමත් ව නැත්තේ මේ ක්‌ෂේත්‍රයේ පර්යේෂණ හා නව වැඩිදියුණු කිරීම් කටයුතුවලට සැලකිය යුතු අවදානමක්‌ දරාගනිමින් දැවැන්ත ආයෝජන සිදු කළ යුතු වීම නිසයි. කෙසේ වෙතත් ඉදිරියේ දී ගුවන් යානා මඟින් කෙරෙන ප්‍රවාහන කටයුතු වඩාත් නවීන මුහුණුවරක්‌ ගනු ඇතැයි අපේක්‌ෂා කරනවා. මෙහි දැක්‌වෙන්නේ ගුවන් යානා මාදිලිවල සිට ගුවන් තොටුපළවල ලැබෙන සේවාවන් දක්‌වා අනාගතයේ දී වෙනස්‌ වීමට ඇති ඉඩ අවකාශයන්. මේවා දැනටමත් තම ඇරඹුම සලකුණු කර ඇති අතර නුදුරු අනාගතයේ බහුල භාවිතයට පැමිණෙනු ඇතැයි අපේක්‌ෂා කරන ඒවායි.

විදුලි ගුවන් යානා

එයාර්බස්‌ A 380 යානා නිෂ්පාදනයෙන් ඉවත් වන බවට එයාර්බස්‌ සමාගම පසුගිය දා නිවේදනය කර තිබුණා. වඩා ඉන්ධන පිරිමැසුම්දායක බොයිං 787 යානයට හා මධ්‍යම පරිමාණයේ ගුවන් යානාවලට ගැනුම්කරුවන්ගේ ඇල්ම බැල්ම යොමු වීම නිසා ඇති වූ ඉල්ලුම අඩු වීම මේ තීරණයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. ඉන්ධන සඳහා යන පිරිවැය ගුවන් යානා සමාගම්වල තීන්දු තීරණවලට මූලික හේතුවක්‌ වන්නේ එමඟින් තරගකාරී අඩු මිලකට සේවාවන් සැපයීමට හැකි වන්නේ ද නො වන්නේ ද යන්න තීරණය වන නිසා. ඉන්ධන පිරිමැසුම ගත් කල විදුලියෙන් ධාවනය වන ගුවන් යානා මුල්තැනට පැමිණෙනවා. එහෙත් එක්‌ ඉන්ධන කිලෝ ග්‍රෑමයකින් යන දුර ගමන් කිරීමට කිලෝ ග්‍රෑම් 70ක පමණ බරැති ලිතියම් අයන බැටරියක්‌ අවශ්‍ය වනවා. මේ නිසා දැනට පවතින බැටරි තාක්‌ෂණය සමඟ විදුලි ගුවන් යානාවලට දිගු දුර ගුවන් යානා ගමන්වල දී තරග කළ නොහැකියි. කෙසේ වෙතත් කෙටි දුර ගමන් සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව ලොව පුරා මේ වන විට කටයුතු කෙරෙනවා.

එයාර් බස්‌ සමාගමේ පූර්ණ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන නියමුවන් රහිත Vahana සහ නාසා ආයතනයේ X-57 Maxwell මෙන් ම ඌබර් සමාගමේ ටැක්‌සි සේවාවන්ට, ලබන වසරේ එක්‌ වෙතැයි සැලකෙන Bell's Nexus දෙමුහුම් යානය වැනි යානා මීට උදාහරණ.

සුපර්සොනික්‌ ගුවන් යානා නැවතත්

ශබ්දයේ වේගය මෙන් දෙගුණයක්‌ තරමේ වේගයකින් ගමන් කළ හැකි කොන්කෝඩ් ගුවන් යානය පිළිබඳ ව ඔබට මතක ඇති. 1976 සිට ගුවන් සේවාවට එක්‌ වූ මේ යානා මොඩලය 2003 වසරේ දී භාවිතයෙන් ඉවත් කෙරුණා. 2000 වසරේ පැරීසියේ දී සිදු වූ අනතුර මෙන් ම අධික ඉන්ධන පිරිවැය හා අධික ශබ්ද දූෂණය මේ විශ්‍රාම ගැන්වීමට ආසන්න හේතූන් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් එතැන් සිට මේ දක්‌වා ම ශබ්දයේ වේගය ඉක්‌මවා යන මඟී ගුවන් යානයක්‌ භාවිතයට ගෙන තිබුණේ නැහැ. එහෙත් කොන්කෝඩ් යානයට විකල්පයක්‌ වශයෙන් ශබ්දයට වඩා වේගයෙන් යා හැකි වඩා නවීන ගුවන් යානා නුදුරු අනාගතයේ දී ම නැවතත් කරළියට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු පළ වී තිබෙනවා.

Boom Supersonic එවැනි ගුවන් යානයක්‌. ජපානයේ ගුවන් සේවා සමාගම හා සිලිකන් නිම්නයේ නව සමාගමක්‌ එක්‌ ව නිපදවමින් සිටින මේ ගුවන් යානයට කොන්කෝඩ් යානයට වඩා ලාභදායී ව ධාවනය කළ හැකි අතර මැක්‌ 2.2ක (2.2 Mach) වේගයක්‌ ලබා දිය හැකි වනු ඇතැයි පැවසෙනවා. පෞද්ගලික ගුවන් යානයක්‌ ලෙස වැඩිදියුණු කෙරෙන Aerion AS2 මෙවැනි තවත් ව්‍යාපෘතියක්‌.

අභ්‍යවකාශය හරහා නගරාන්තර සේවා

වායුගෝලය හරහා ගමන් කරන විට වාතයෙන් විශාල ප්‍රතිරෝධයක්‌ නිර්මාණය වන නිසා යා හැකි උපරිම වේගය සීමාසහිතයි. එහෙත් කිසියම් යානයකට ලෝකයේ එක්‌ තැනකින් අභ්‍යවකාශයට පිවිස අභ්‍යවකාශය ඔස්‌සේ ගමන් කොට නැවතත් අවශ්‍ය තැන දී වායුගෝලයට ඇතුළු වී ගොඩබැසිය හැකි නම් ඉතා අඩු කාලයකින් ගමන සම්පූර්ණ කරගත හැකියි. ලොව පුරා ආයතන කිහිපයක්‌ මෙවැනි ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙනවා. ජර්මානු ගගන පර්යේෂණ ආයතනය විසින් දියත් කරනු ලැබ ඇති Spaceliner ව්‍යාපෘතිය යටතේ නිපදවීමට සැලසුම් කර ඇති යානයට, ශබ්දයේ වේගය මෙන් 25 ගුණයක වේගයකින් ගමන් කළ හැකියි. මෙබඳු යානයකට ලන්ඩනයේ සිට ඕස්‌ටේ්‍රලියාවට පැය එක හමාරක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ ගමන් කළ හැකි බවයි පැවසෙන්නේ. අද මේ සඳහා පැය 17ක්‌ පමණ ගත වනවා. රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ගැලැක්‌ටික්‌ ද අභ්‍යවකාශය හරහා මගීන් ප්‍රවාහනය කිරීමේ ඉලක්‌කය හඹා යන තවත් සමාගමක්‌. 2017 වසරේ දී ඉලොන් මස්‌ක්‌ගේ ස්‌පේස්‌ එක්‌ස්‌ (Space X) සමාගම ද රටවල් අතර මගීන් ප්‍රවාහනය සඳහා තම රොකට්‌ටු යොදාගැනීමේ සැලසුමක්‌ අනාවරණය කළා. ගුවන් යානා වෙනුවට රොකට්‌ යානා යොදාගැනීම මේ ගමන්වල වේගවත් බව තවත් ඉහළ නංවනු ඇති. මේ සියල්ල යථාර්ථයක්‌ වන දින වැඩි ඈතක නො වන බවට විශ්වාස කළ හැකියි.

ජනෙල් රහිත ගුවන් යානා

ගුවන් යානයේ හැඩය පසුගිය කාලය පුරා ම වෙනසකට බඳුන් වී නැහැ. එහෙත් පවතින ගුවන් යානා බඳෙහි හැඩයට වඩා, කාර්යක්‌ෂම හැඩයක්‌ තිබෙනවා. ඒ ගුවන් යානා බඳ හා පියාපත් එකිනෙක මුසු වන හැඩයයි (Blended Wing). වඩා කාර්යක්‌ෂම වායුගතික බලපෑමක්‌, වැඩි ඉන්ධන පිරිමැස්‌මක්‌, අඩු එන්ජින් ශබ්දයක්‌, කෙටි ධාවන පථයකින් ගුවන්ගත කිරීමට හැකි වීම, වැඩි අභ්‍යන්තර ඉඩකඩක්‌ වැනි වාසි ගණනාවක්‌ මේ හැඩයේ තිබෙනවා. දියුණු, යුද ගුවන් යානා බොහොමයක මේ හැඩය දැකිය හැකියි. එහෙත් මගී ගුවන් යානයක්‌ සඳහා මේ හැඩය ප්‍රචලිත නො වීමට හේතුවක්‌ වී ඇත්තේ මේ හැඩය හරහා මගීන්ට අවකාශය බැලිය හැකි කවුළු අහිමි වීමයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී බහුල ව නිර්මාණය වනු ඇතැයි සැලකෙන විදුලි හා දෙමුහුම් ගුවන් යානාවල බැටරි සඳහා වැඩි ඉඩක්‌ වෙන් කළ යුතු බැවින් ඊට වඩා සුදුසු මේ හැඩය නැවතත් කරළියට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එමෙන් ම ජනේල අහිමි වීමේ අඩුපාඩුව මඟහරවාගැනීමට මගී කැබිනයේ දෙපස පුළුල් තිර මඟින් ආවරණය කිරීමට මෙවැනි යානා සැලසුම් කරන්නන් අදහස්‌ කරනවා. එමඟින් යානය වටා සවි කර ඇති කැමරා ආධාරයෙන් අවට පරිසරයේ සජීවී දර්ශන ගුණාත්මක බවින් ඉහළ පුළුල් තිර ඔස්‌සේ දැක බලාගැනීමේ හැකියාව මගීන්ට ලැබෙනවා. සමහර විට දැනට ඇති කුඩා ජනේලවලින් අවට බලනවාට වඩා මෙවැනි තිර ඇති යානාවලට මගීන් කැමැති වීමට තිබෙන්නේ වැඩි ඉඩක්‌.

ස්‌වයං සේවා බෑග් කවුන්ටර් සහ ජෛවමිතික පාස්‌පෝට්‌

ගුවන් ගමන්වල යෙදී ඇත්තකුට එය කෙතරම් කරදරකාරී අත්දැකීමක්‌ දැයි සිතී නැත්නම් එය පුදුමයට කාරණයක්‌. ගුවන් යානය පිටත් වීමට පැය තුනකට වත් පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන්නැයි සැම ගුවන් සේවාවක්‌ ම දැනුම් දෙන අතර බඩු බාහිරාදිය බාර දීමටත්, අනන්‍යතාව තහවුරු කර ආරක්‌ෂක පරීක්‌ෂාවන්ට ලක්‌ වීමටත්, පෝලිමේ සිටීමටත් මගීන්ට සිදු වනවා. එහෙත් තාක්‌ෂණය මෙතරම් දියුණු වර්තමානයේ මෙවැනි අනවශ්‍ය වෙහෙසක්‌ දැරීමට සිදු වීම තරමක්‌ හාස්‍යජනකයි.

කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් දැන් වෙනස්‌ වෙමින් පවතිනවා. බොහෝ ගුවන් යානා සේවා දැන් සේවකයන්ගේ මැදිහත් වීමකින් තොර ව මගීන්ට ම යන්ත්‍රයක්‌ මඟින් ටැග් එකක්‌ ලබාගෙන එය භාණ්‌ඩවල අමුණා ගුවන් යානයට යෑවීමට අවස්‌ථාව ලබා දී තිබෙනවා. මින් ඉදිරියට පියවරක්‌ තබමින් ස්‌විස්‌ හා ඔස්‌ටි්‍රයන් ගුවන් සේවා නැවත භාවිත කළ හැකි ඉලෙක්‌ට්‍රොනික ටැගයක්‌ හඳුන්වා දී තිබෙනවා. මෙමඟින් සාම්ප්‍රදායික කඩදාසි ටැග්, සැම ගමන් වාරයක දී ම ගමන් මලුවලට ඇමිණීමේ කරදරය අවසන් වනවා. සමහර ගුවන් සේවා හෝටලයකින් හෝටලයකට කෙළින් ම බෑග් යෑවිය හැකි පරිදි සේවාවන් සැපයීම අරඹා ඇති අතර තම බෑගය මේ මොහොතේ ඇත්තේ කුමන තැනක දැයි දැනගැනීමට හැකි පද්ධතියක්‌ ද ඉදිරියේ දී ගුවන් සේවා හඳුන්වා දෙනු ඇති බව අපේක්‌ෂා කෙරෙනවා.

ආරක්‌ෂක කටයුතු ද පරිගණකවලට පවරා මගීන්ට පෝලිමේ සිටීමට සිදු වන ඉඩ අවම කිරීමට දැන් කටයුතු කෙරෙමින් පවතිනවා. ඇඟිලි සලකුණු, ඇසේ දෘෂ්ටි විතානය, සහ මුහුණේ හැඩය යොදාගනිමින් අනන්‍යතාව තහවුරු කර ගුවන් යානයට ඇතුළු වීමට අවසර දීමේ පද්ධති දැන් දැන් දියුණු රටවල ගුවන් තොටුපොළවල භාවිත වන අතර ඉක්‌මනින් ම එය සැම ගුවන් තොටුපොළක ම සාමාන්‍ය භාවිතයක්‌ වනු ඇති. මෙමඟින් නුදුරු අනාගතයේ දී ම කිසිවකුගේ මැදිහත් වීමක්‌ නැති ව කෙළින් ම ගුවන් යානයට ඇවිද යා හැකි පරිසරයක්‌ නිර්මාණය වනු ඇති බවයි අපේක්‌ෂා කෙරෙන්නේ.

යථාර්ථයෙන් ඔබ්බට

වර්ධිත යථාර්ථ Augmented Reality (AR) යෙදුම්, අතථ්‍ය යථාර්ථ ඪසරඑම්ක Virtual Reality (VR) යෙදුම් හා මිශ්‍ර යථාර්ථ Mixed Reality (MR) යෙදුම් ගුවන් සේවා කටයුතු සඳහා ඉදිරියේ දී බහුල ව යොදාගනු ඇතැයි අපේක්‌ෂා කෙරෙනවා. මීට උදාහරණයක්‌ ලෙස ලන්ඩනයේ Gatwick ගුවන් තොටුපොළ මෑතක දී හඳුන්වා දුන් වර්ධිත යථාර්ථ, මග සොයාගැනීමේ යෙදුම හඳුන්වා දිය හැකියි. මෙමඟින් තවදුරටත් දැන්වීම් පුවරු කියවීමට වෙහෙස නො වී තමන්ගේ දුරකතනයේ කැමරාව හරහා තමා යා යුතු දිශාව පහසුවෙන් සොයාගැනීමේ හැකියාව මගීන්ට හිමි වනවා. ජපාන ගුවන් සේවය තම ආධුනික කාර්යමණ්‌ඩලයට ජෙට්‌ එන්ජිමක ක්‍රියාකාරීත්වය ඉගෙනගැනීම සඳහා මයික්‍රොසොෆ්ට්‌ හෝලෝලෙන්ස්‌ භාවිතයෙන් මිශ්‍ර යථාර්ථය යොදාගැනීම අරඹා ඇති බවට පුවතක්‌ පසුගිය කාලයේ වාර්තා වුණා. මෙමඟින් අඩු වියදමකින් හා වැඩි කාර්යක්‌ෂමතාවකින් පුහුණුවීම් සිදු කළ හැකියි. එමෙන් ම ගුවන් මගීන් සඳහා ද මෙවැනි උපැස්‌ යුවළ හඳුන්වා දීම කෙරෙහි සමහර ගුවන් සේවා සමාගම්වල අවධානය යොමු ව තිබෙනවා. එමඟින් ගුවන් ගමන ඒකාකාරී හා වෙහෙසකාරී නො වන වඩාත් ප්‍රියජනක අත්දැකීමක්‌ බවට පත් කළ හැකි වනු ඇති බවයි ඔවුන්ගේ විශ්වාසය.

කෘත්‍රිම බුද්ධිය

කෘත්‍රිම බුද්ධිය ලෝකයේ සැම කටයුත්තකට ම අත පොවා ඇති නිසා ගුවන් ගමන් ක්‌ෂේත්‍රයට ඇතුළු නො වනු ඇතැයි කිසිසේත් ම සිතිය නොහැකියි. කෘත්‍රිම බුද්ධිය හරහා ගුවන් සේවා මෙහෙයුම් කටයුතු මිනිසුන් යොදාගන්නවාට වඩා කාර්යක්‌ෂම ව කරගැනීමට නිසැක ව ම හැකියි. ලොව පුරා කෘත්‍රිම බුද්ධි යෙදුම් නිර්මාණය කරන දැවැන්ත සමාගම් දැනටමත් මේ කටයුත්තට අතගසා තිබෙනවා. උදාහරණයක්‌ ලෙස අලිබබා සමාගමේ ET Aviation Brain යෙදුම චීනයේ බෙයිජිං ගුවන් තොටුපොළට සේවා සඳහා යොදාගැනීමට සැලසුම් සකස්‌ කෙරී තිබෙනවා. ගුවන් තොටුපොළවලට සිදු කෙරෙන යානා ගොඩබැස්‌වීම්, මගී තදබදය පාලනය, ගමන් බඩුවල ප්‍රවාහනය, පාලනය වැනි කටයුතු ගණනාවකට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගත හැකියි.

එමෙන් ම මගීන්ගේ කටයුතු වඩා පහසු කරගැනීමට ද කෘත්‍රිම බුද්ධි යෙදුම් යොදාගැනීමට විශාල අවකාශයක්‌ තිබෙනවා. එයාර් නිව්සීලන්ඩ් ගුවන් සේවා කාර්යමණ්‌ඩලය විදේශීය භාෂාවලින් කතා කරන මගීන් හා සන්නිවේදනය කරගැනීමට ගූගල් පික්‌සල් බ්ලුටූත් ඉයර්ෆොaන යොදාගැනීම අත්හදා බලමින් සිටීම මීට උදාහරණයක්‌. භාෂා 40කට වැඩි ප්‍රමාණයකින් සජීවී ව සංවාද පරිවර්තනය කර දීමට එයට හැකියි. එමඟින් ඉංග්‍රීසි නො දන්නා සංචාරකයන්ට විශාල සහනයක්‌ ලැබෙනවා. එමෙන් ම ගුවන් සේවා බොහොමයක්‌ තම ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා චැට්‌බොට්‌ යෙදුම් භාවිත කරනවා. එපමණක්‌ නො ව ගුවන් ටිකට්‌පත් වෙන් කිරීමේ ඒජන්තවරුන් ලෙස ද මේවාට කටයුතු කළ හැකියි. නෙදර්ලන්තයේ ණඛඵ ගුවන් සේවා සමාගමේ ඊකමැ ඊදඑ මීට උදාහරණයක්‌. මෙමඟින් අඩු පිරිවැයකින් වේගවත් සේවාවක්‌ මගීන්ට ලබා දීමේ හැකියාව නිර්මාණය වී තිබෙනවා. මෙවැනි යෙදුම් නිසා අනාගතයේ ගුවන් ගමන් අපේ ජීවිතවල බොහෝ සමීප සාමාන්‍ය අත්දැකීමක්‌ බවට පෙරළෙනවා නිසැකයි.

දමිත නිපුණජිත්