logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඒජන්ට්‌ ඔරේන්ඡ්වල දිගුකාලීන බලපෑම

ඒජන්ට්‌ ඔරේන්ඡ් (Agent Orange) යනු වියට්‌නාම් යුද්ධය නිසා වඩාත් ප්‍රකට වූ රසායනික සංයෝගයකි. 1965 සිට 1972 දක්‌වා වූ කාලයේ දී පැවැති දෙවැනි ඉන්දු-චීන යුද්ධය හෙවත් වියට්‌නාම් යුද්ධයේ දී මේ රසායන ද්‍රව්‍යයෙන් ලීටර් මිලියන අසූවක්‌ පමණ දකුණු වියට්‌නාමයේ දී භාවිත කර ඇත. එම ප්‍රදේශයේ මීකොං ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ව පිහිටා තිබූ වර්ෂා වනාන්තර, තෙත්බිම් හා වගා බිම්වලට මේ රසායන ද්‍රව්‍යය ඉසීමට ඇමෙරිකානු හමුදාව පියවර ගත්තේ එහි පිහිටා තිබූ වනවැස්‌ම විනාශ කිරීම සඳහා ය. එහි අරමුණ වූයේ එම වනාන්තරවල සතුරන් සැඟවී සිටි ස්‌ථාන හෙළි කරගැනීම, හමුදා කඳවුරු ආශ්‍රිත වනාන්තර හෙළිපෙහෙළි කර තබාගැනීම හා එසේ ම සතුරාගේ ආහාර සැපයුම අඩාළ කිරීම වැනි කරුණු ය.

එහෙත් ඩයොක්‌සින කාණ්‌ඩයේ නම් රසායන ද්‍රව්‍යයක්‌ මඟින් දූෂිත වූ ඒජන්ට්‌ ඔරේන්ඡ් රසායන ද්‍රව්‍යය නිසා වියට්‌නාම ජාතිකයන්ට මෙන් ම ඇමෙරිකානු ජාතිකයන්ට ද හානි පැමිණි බව මේ වන විට ප්‍රකට කරුණකි. එය ලෝකයේ බරපතළ රසායනික විපතක්‌ ලෙස ද සැලකිය හැකි ය.

ඒජන්ට්‌ ඔරේන්ඡ්වල බලපෑම පිළිබඳ ව පසුගිය කාලයේ දී විවිධ අධ්‍යයන සිදු කර තිබෙයි. එවැනි අධ්‍යයන අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඒවායේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද ඒවා ය. විශේෂයෙන් සම හරහා ඒජන්ට්‌ ඔරේන්ඡ් ශරීරගත වීම තුළ ඇති වන දිගුකාලීන බලපෑම් පිළිබඳ ව ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධ ව මූලික වශයෙන් ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකි ය. එමඟින් හෙළි වන කරුණු අනුව ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු බරපතළ බලපෑමක්‌ සිදු කළ හැකි රසායන ද්‍රව්‍යයක්‌ බව මේ අනුව පැහැදිලි ය.

මේ අතර ඒජන්ට්‌ ඔරේන්ඡ් නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධ ව කලක්‌ තිස්‌සේ යම් යම් අධ්‍යයන සිදු කරන ලදි. එරට තුළ වර්ග කිලෝ මීටර 31,000ක පමණ වනාන්තර ප්‍රමාණයක්‌ මේ රසායන ද්‍රව්‍යය නිසා කොළ හැළී බෙහෙවින් හායනයට ලක්‌ ව ඇත. ඒවා නැවත වන වගා කිරීම ද ගැටලුසහගත වී තිබෙයි.

පාරිසරික බලපෑම් ගැන අධ්‍යයනයක්‌

ඒජන්ට්‌ ඔරේන්ඡ් රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇත. එහි දී වියට්‌නාමයේ ආහාර සැපයීමට අද දක්‌වා ම ඩයොක්‌සින ඇතුළු වන ස්‌ථාන හෙවත් උණුසුම් ස්‌ථාන පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇත.

ඒ අනුව අවධානය යොමු කර ඇත්තේ ඒජන්ට්‌ ඔරේන්ඡ් ඇතුළත් රසායනික සංයෝගවල කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් වියට්‌නාමයේ ස්‌වාභාවික සම්පත් සඳහා බලපාන අන්දමයි. එහි දී පස, ජලය, අවසාදිත තැන්පතු, මසුන්, ජලජ ජීවීන් ආහාර සැපයුම හා වියට්‌නාම් ජාතිකයන්ගේ සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කර තිබේ.

ඒජන්ට්‌ ඔරේන්ඡ් යනු මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකක සංයුක්‌තයකි. ඒ 2, 4, D හා 2, 4, 5, ඔ යනුවෙන් හඳුන්වන ඒවා ය. මේ රසායනික සංයෝග සූර්යාලෝකයට නිරාවරණය වූ විට දින කිහිපයක්‌ හෝ සති කිහිපයක්‌ පමණ කාලයකින් විනාශ වී යන ඒවා ය. එහෙත් ඒජන්ට්‌ ඔරේන්ඡ් නිසා ඇති වන පාරිසරික ගැටලුව ඇති වන්නේ මේවා නිසා නො වේ. එම බලපෑම ඇති වන්නේ ඒජන්ට්‌ ඔරේන්ඡ් නිෂ්පාදනයේ දී ඇති වන අතුරුඵලයක්‌ නිසා ය. ඒ ඩයොක්‌සින TCDD යනුවෙන් හඳුන්වනු ලබන රසායනික සංයෝගයයි. මෙය ඩයොක්‌සින රසායනික සංයෝග පවුලේ වඩාත් ම විෂ සහිත රසායනික සංයෝගය ලෙස හැඳින්වෙයි. මේ රසායන ද්‍රව්‍යය පරිසරයට එක්‌ වූ විට ඒවා දශක ගණනක්‌ හෝ ශතවර්ෂ ගණනාවක්‌ හෝ පරිසරයේ පැවතීමට හැකියාව ඇත. මේ වියට්‌නාමයේ සිදු ව ඇති දෙයයි. මේ රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ව පැහැදිලි කිරීම සඳහා විවිධ වාර්තා උපයෝගී කරගෙන ඇත (මේ රසායන ද්‍රව්‍ය පිළිබඳ විස්‌තරයක්‌ සටහන යටතේ එයි).

ඩයොක්‌සින සාන්ද්‍රණය වන ආකාරය

වියට්‌නාමයේ ඒජන්ට්‌ ඔරේන්ඡ් පිළිබඳ කතාව ආරම්භ වන්නේ 1960 දශකයේ දී මුලින් ම ඉසීම ආරම්භ වීමෙන් පසු ව ය. එම රසායනිකය ශාකවලට හා පත්‍රවලට පතිත වී ඒවා පසට එකතු වෙයි. එමෙන් ම එම රසායන ද්‍රව්‍ය කෙළිsන් ම පසට එකතු වීම ද සිදු වෙයි. ඩයොක්‌සින TCDD ඉන් පසු ව පසේ කාබනික ද්‍රව්‍ය හා එකතු වීම හා පසේ ඇති මැටි අංශු හා බැඳීම ද සිදු විය හැකි ය. එතැන් සිට මේ රසායනික සංයෝගය තැනින් තැනට ගමන් කළ හැකි ය. ජලයේ අපද්‍රව්‍ය සමඟ තෙත්බිම්, වගුරු බිම්, ගංගා, විල් හා පොකුණු ආදියේ මේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වෙයි. ඩයොක්‌සින TCDD මඟින් දූෂිත වී ඇති අවසාදිත තැන්පතු පත්ලේ බුදින්නන් වන මසුන් හා ඉස්‌සන් වැනි ජීවීන් විසින් ආහාරයට ගනු ලැබෙයි. එම රසායනික ද්‍රව්‍ය එමඟින් ආහාර දාමය ඔස්‌සේ ජෛව සාන්ද්‍රණය වෙමින් වියට්‌නාම ජාතිකයන්ගේ ආහාර දාමයට ද එක්‌ වෙයි. මේ ආකාරයෙන් දූෂිත බවට ලක්‌ ව ඇති ජලාශවල මසුන් ඇල්ලීම තහනම් කර ඇති නමුත්, එවැනි තහනම් නීති ක්‍රියාත්මක කිරීම එරට තුළ අකුරට ම සිදු වන්නක්‌ නො වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ වසර 50කට පමණ පසුව පවා ඩයොක්‌සින මිනිසුන්ගේ ආහාර සැපයුමට එකතුවීම ය.

මේ අධ්‍යයනයේ දී ඉහළ ඩයොක්‌සින TCDD මට්‌ටමක්‌ ඇති පැරැණි ඇමෙරිකානු ගුවන් කඳවුරු බිම් දහයක්‌ පමණ හඳුනාගැනීමට ද හැකියාව ලැබී ඇත. ඒවා පිහිටා ඇත්තේ අද වන විට මිලියන ගණනාවක්‌ වියට්‌නාම ජාතිකයන් පිරිසක්‌ වාසය කරන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට ආසන්න ව ය. මේ නිසා ඇති විය හැකි අවදානම ගැන ද යම් අදහසක්‌ ලබාගත හැකි ය. මේ අතරින් වඩාත් අනතුරුදායක ස්‌ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ බියෙන් හොආ (Bien Hoa) නම් ගුවන් කඳවුර ය. එම කඳවුර වනාහි 1970 වර්ෂයේ දී ඒජන්ට්‌ ඔරේන්ඡ් ඉසීම නවත්වා දැමීමට ඇමෙරිකාව තීරණය කළ පසු වියට්‌නාමයේ ඒ වන විට ඉතිරි ව තිබූ ඒජන්ට්‌ ඔරේන්ඡ් බැරල් එකතු කර රඳවාගැනීමට පියවර ගත් ස්‌ථානයයි. ඒවා පෙර සැකසුමකින් පසුව පැසිෆික්‌ සාගරයේ පිහිටා තිබූ ජොන්ස්‌ටන් දූපතට ප්‍රවාහනය කරන ලද අතර, ඒවා 1977 දී මුහුදේ දී පුළුස්‌සා විනාශ කරන ලදි.

මේ පර්යේෂකයන් ස්‌වකීය අධ්‍යයනය මත පදනම් ව පෙන්වා දෙන පරිදි මේ ඩයොක්‌සින මඟින් දූෂිත වී ඇති පස්‌ සහ අවසාදිත තැන්පතු විනාශ කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ඒවා පුළුස්‌සා දැමීම ය. ඒ වියට්‌නාමයේ දූෂිත වී ඇති ගුවන් තොටුපොළ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශවල ය. එය මේ සඳහා ගත හැකි වඩාත් වියදම් අධික ම පියවර විය හැකි වුවත්, එය බිම් පිරවුමක හෝ තාවකාලික තැන්පත් කිරීමට වඩා ස්‌ථිර විසඳුමක්‌ වෙයි.

ඒජන්ට්‌ ඔරේන්ඡ්

මේ රසායනික ද්‍රව්‍යය සමන්විත වන්නේ මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකකිනි. ඒ 2, 4 -D ලෙස ප්‍රකට 2, 4 - ඩය්ක්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4 - dichloro phenoxyacetic acid) 2, 4, 5 -T ලෙසින් දන්නා 2, 4, 5 - ට්‍රයික්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4, 5 - trichloro phenoxyacetic acid) යන වල්පැළෑටිනාශක දෙකයි. මේ රසායනික දියුණු කරන ලද්දේ 1940 දශකයේ මැද භාගයේ දී පමණ ය.

එසේ ම 2, 4, 5 -T නිෂ්පාදන ක්‍රියාවලියේ දී යොදාගන්නා අධිවේගී දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ජනනය වන අතුරුඵලයක්‌ වන්නේ 2, 3, 7, 8 -ටෙට්‍රාක්‌ලෝරොඩයිබෙන්සොඩයොක්‌සින් (2, 3, 7, 8 - tetrachlorodibenzodioxin) හෙවත් TCDD ලෙස හඳුන්වනු ලබන අතිශය විෂ සහිත ද්‍රව්‍යයයි. මෙය මේදයෙහි දිය වන බැවින් ශරීරගත වූ පසුව ආහාර දාමය ඔස්‌සේ සාන්ද්‍රණය වීම සිදු වෙයි.

මේ තත්ත්වය නිසා 2, 4, 5 -T නිෂ්පාදනය කිරීම 1980 දශකයේ පටන් ලෝකයේ බොහෝ රටවල නවතා දමා ඇත. එහෙත් 2, 4 -D නිෂ්පාදනය හා භාවිතය තවමත් සිදු කරනු ලැබෙයි.

මූලාශ්‍රය ( Open Journal of Soil Science, DOI: 10.4236/ojss.2019.91001

ධනේෂ් විසුම්පෙරුම