logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ දිශානතිය

මානව ජන ජීවිතයට, වඩාත් යහපත් වටපිටාවක්‌ නිර්මාණය කිරීම සියලු සංවර්ධන උපාය මාර්ගයන්හි අරමුණ වේ. නාගරීකරණ සංකල්පය ද එම අරමුණ උදෙසා නිර්මිත ජනාවාසවල කාලීන අවකාශීය වෙනස්‌කමක්‌ වේ. එහෙත් අද වන විට ලෝකයේ ජනාවාස ධූරාවලියේ නාගරික ජනාවාස වඩාත් ගතික මෙන් ම ආර්ථික සහ සාමාජීය මර්මස්‌ථානයක්‌ බවට ද පත් වෙමින් තිබේ. සංවර්ධනය සම්බන්ධයෙන් හඳුනාගන්නා නිර්ණායකයන් තුළ නාගරීකරණය සුවිශේෂී ස්‌ථානයක්‌ ගනී. සැලසුම් සහගත නාගරීකරණය රටක සමාජ, ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපාන අතර වඩා සංවිධානාත්මක ජනාවාසකරණය හා පශ්චාද් ප්‍රාථමික ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි, විශේෂයෙන් සේවා ආර්ථිකය පවත්වාගෙන යැමට, පසුබිම නිර්මාණය වීමට ආදි වශයෙන් වර්තමානයට මෙන් ම අනාගතයට නාගරීකරණය අවශ්‍ය ම ක්‍රියාවලියක්‌ වේ.

මේ ලිපියෙන් විශේෂ අවධානයක්‌ යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ දිශානතිය පිළිබඳව විවරණයක්‌ සඳහා වන අතර නාගරීකරණය සම්බන්ධයෙන් මූලික මට්‌ටමේ කරුණුවලට වඩා මෙහි දී අවධානය යොමු කරනුයේ එහි ප්‍රායෝගික කාරණා කෙරෙහි ය.

විධිමත් අර්ථකථනයක්‌ ඔස්‌සේ හඳුනාගත් විට නාගරීකරණය යනු යම් රටක හෝ ප්‍රදේශයක හෝ ජීවත් වන ජනයා ගෙන් නගර ලෙස අර්ථ දක්‌වන ප්‍රදේශවල කොපමණ ජනගහනයක්‌ ජීවත් වේ ද යන්නයි. ඒ සමඟ ම පැහැදිලි කරගත යුතු කරුණ වනුයේ ලොව සැම රටක ම නාගරීකරණය හඳුනාගනු ලබන්නේ එක ම නිර්ණායකයක්‌ පදනම් කරගෙන නො වන බව ය. ලෝකයේ ඇතැම් රටවල් යම් ජනාවාසයක ජනසංඛ්‍යාව පදනම් කරගෙන නාගරික ජනාවාස අර්ථකථනය කරයි (උදා (- ඇමෙරිකා එක්‌සත් ජනපදය, ආජන්ටිනාව). තවත් රටවල් යම් ජනාවාසයක ජනගහනය සමඟ එම ජනකායෙන් කොපමණ ප්‍රතිශතයක්‌ කෘෂි නො වන ආර්ථික ක්‍රියාවල නිරත වනවා ද යන්න සලකයි (ඉන්දියාව). ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට මෙරට නාගරීකරණය තීරණය කරනුයේ පරිපාලන කාර්ය පදනම් කරගනිමිනි. ඒ අනුව නගර සභා හෝ මහනගර සභා යටතේ පාලනය වන ප්‍රදේශවල කොපමණ ජනසංඛ්‍යාවක්‌ වාසය කරයි ද යන්න මත නාගරීකරණය තීරණය කෙරෙයි. විස්‌තෘථාර්ථයෙන් මේ සම්බන්ධයෙන් හඳුන්වන ලද්දේ, මේ විග්‍රහය තුළ ශ්‍රී ලංකාවේ මේ පරිපාලනමය නාගරීකරණ අර්ථකථනය පදනම් වූ නාගරීකරණය පිළිබඳ ව සුවිශේෂී ව විස්‌තර කෙරෙන බැවිනි.

2012 ජන හා නිවාස සංගණනය ආශ්‍රයෙන් නිර්මිත ජනසංඛ්‍යා වාර්තාවට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය හෙවත් නාගරීකරණය මුළු ජනගහනයෙන් 18.2%කි. එය අසල්වැසි ඉන්දියාව තුළ එය 34%ක්‌ වන අතර ඉරානයේ එය 74.9%කි. කෙසේ වුව ද එකිනෙකට වෙනස්‌ අර්ථ දැක්‌වීම් අනුව මෙරට නාගරීකරණය පිළිබඳ සාපේක්‌ෂ අදහසක්‌ දීම අපහසු වන අතර නමුත් ශ්‍රී ලංකාවේ නාගරීකරණය පවතිනුයේ පහළ අගයක බව හා එය වෙනස්‌ විය යුතු බව පර්යේෂණාත්මක දෘෂ්ටිකෝණයක්‌ තුළින් පැවසිය හැකි ය.

1981 සංගණනයේ දී මෙරට නාගරීකරණය 21.5%ක්‌ ව පැවතිණි. එවක තිබූ සුළු නගර සභා පසුව අහෝසි කිරීම තුළ නාගරික යෑයි පරිපාලනමය ලෙසින් අරුත්ගැන්වූ ප්‍රදේශයන් අහිමි වූ අතර 2012 සංගණනයේ දී මෙරට නාගරීකරණය ද අවම මට්‌ටමකට පත් විය. පළාත් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ නාගරීකරණය ඉහළින් ම ඇත්තේ බස්‌නාහිර පළාත තුළ වන අතර එහි කොළඹ දිස්‌ත්‍රික්‌කය ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ විෂම බව පෙන්වමින් 77% ඉහළ ම නාගරීකරණය දක්‌වයි. එම පළාතේ ම ගම්පහ හා කළුතර දිස්‌ත්‍රික්‌කවල නාගරීකරණය පිළිවෙළින් 15.6%ක්‌ හා 8.9%ක්‌ වේ. යටත්විජිත පාලන සමයේ අගනුවර ලෙස වර්ධනය වූ කොළඹ නගරය නාගරික අධ්‍යයනයන්හි හඳුනාගැනෙන අගේ්‍රශ නාගරීකරණයෙන් (Urban Primacy) යුක්‌ත වන අතර, අනෙක්‌ ප්‍රදේශ අභිබවමින් ඇදගැනීමේ සාධක (Pull factors) රාශියක්‌ (රැකියා අවස්‌ථා, යටිතල පහසුකම්) සහිත ව විශාල නාගරික ජනාවාසයක්‌ බවට පත් විය. මෙරට මුළු නාගරික ජන සංඛ්‍යාවෙන් 50%ක්‌ ජීවත් වනුයේ බස්‌නාහිර පළාතට අයත් නගර 08ක වන අතර ඉන් මීගමුව මහනගර සභා බල ප්‍රදේශය හැර සියල්ල කොළඹ දිස්‌ත්‍රික්‌කයට අයත් නගර වේ. මෙලෙස එක ප්‍රදේශයකට වැඩි බර තැබීමක්‌ සහිත ව මෙරට නාගරීකරණය ව්‍යාප්ත වීම වඩා සමබර සංවර්ධනයක්‌ කෙරෙහි බලපෑම් ඇති කොට තිබේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී "කොළඹට කිරි ගමට කැකිරි යන්න" තුළ අන්තර්ගත වනුයේ ද මේ කරුණ සම්බන්ධයෙනි. විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධන විෂමතා උදෙසා මෙවැනි අගේ්‍රශ නාගරීකරණයක්‌ යන්න සැලකිය යුතු අභියෝගයකි.

දැනට පවත්නා මේ නාගරීකරණ සන්දර්භ තුළ ශ්‍රී ලංකාවේ නාගරීකරණය වඩා තාර්කික ව දැක්‌වේ ද යන්න කෙනකුට මූලික ව ම නැඟිය හැකි ප්‍රශ්නයකි. එය වැඩිදුරටත් දැක්‌වූ විට නාගරික ප්‍රදේශ කෙතරම් යටිතල වශයෙන් දියුණු වුව ද සැලකිය යුතු තරමේ නාගරීකරණයක්‌ ඇතැම් ප්‍රදේශයන්හි ආරෝපණය නො වන බව මෙන් ම නගර ලෙස අර්ථකථනය නො වන ප්‍රදේශවල නාගරික ලක්‌ෂණ දැරීම එම මූලික ප්‍රශ්නයේ විස්‌තරාත්මක ස්‌වරූපය වේ.

ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතකු ගෙන් වියුක්‌ත ව මේ සම්බන්ධයෙන් හඳුනාගත් විට ද සාමාන්‍යයෙන් නාගරික ලක්‌ෂණ ඇති ප්‍රදේශයක සේවා මධ්‍යස්‌ථාන, වෙළෙඳපොළ ප්‍රදේශ යනාදිය සංවිධානාත්මක ව විහිදී ඇත. ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රදේශ බස්‌නාහිර පළාතේ තදාශ්‍රිත ප්‍රදේශයන්හි ද දැකිය හැකි අතර මේ ලේඛකයාගේ පර්ය්ෂණ අත්දැකීම් ද පදනම් කරගනිමින් කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශයන් ද ඊට නිදසුනක්‌ ලෙස දැක්‌විය හැකි ය. ප්‍රධාන මාර්ගයක දෙපස ( A2 - කොළඹ-මහනුවර මාර්ගය) පිහිටි සේවා මධ්‍යස්‌ථාන රැසක්‌ සහිත ව, අගනුවරට සමීප ව පිහිටිය ද ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ අර්ථ දැකීම අනුව ඉහතින් දක්‌වන ලද ප්‍රදේශයන් අයත් වනුයේ ග්‍රාමීය ජනාවාස වර්ගීකරණය යටතට ය.

මේ ඔස්‌සේ සිදු කෙරෙන විග්‍රහයක දී කෙනකුට ප්‍රශ්නයක්‌ නැඟිය හැකි ය. එනම් මෙහි නාගරික ලක්‌ෂණ පවතිනුයේ නගර මධ්‍යයේ සිට යම් දුරක්‌ දක්‌වා පමණක්‌ බවත් ඉන් පසු ඒවාහි ද පවතිනුයේ ග්‍රාමීය ලක්‌ෂණ පමණක්‌ බවත් ය. එහෙත් එවැනි ලක්‌ෂණ සහිත ව මෙන් ම සාමාන්‍ය මට්‌ටමක ව්‍යාපාර සේවා ප්‍රදේශයක්‌ සහිත නාගරික ප්‍රදේශ ශ්‍රී ලංකාවේ පවතී. ඒ වෙනුවෙන් ලබා දිය හැකි නිදසුන වනුයේ කඩුගන්නාව නගරයයි. මීට කලකට පෙර නගර සභාවක්‌ බවට පත් වූ කඩුගන්නාව නගරය හා පෙර දැක්‌වූ නගරවල ඔබ යම් දිනක විමසිල්ලෙන් සංචාරය කළ හොත් ශ්‍රී ලංකාවේ නාගරීකරණය මීට වඩා වෙනස්‌ විය යුතු බව පැහැදිලි වේ (මින් කවර අයුරකින් වත් කඩුගන්නාව නගරය කෙදිනක වත් නගරයකට සුදුසු නො වේ යෑයි ගම්‍ය නො වන බව සැලකිය යුතු ය). සේවා මධ්‍යස්‌ථාන රාශියකින් හා ශීඝ්‍රයෙන් වර්ධනය වන නේවාසික කලාපයකින් යුක්‌ත නගර නො වන ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ පවතින බව මේ අනුව පෙනී යයි. 2012 ජන සංගණන වාර්තාවේ නාගරීකරණය යටතේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත්වල නාගරීකරණය දක්‌වා තිබේ. ඉන් දිස්‌ත්‍රික්‌ක කිහිපයක්‌ සැලකූ විට යාපනය දිස්‌ත්‍රික්‌කය - 20.1%, මන්නාරම 24.5% හා මඩකලපුව - 28.7% වැනි සාපේක්‌ෂ ව ඉහළ අගයක නාගරික මට්‌ටමක්‌ දක්‌වයි. ඒ අනුව ජනගහනයෙන් පහෙන් එකක්‌ (1/5) පමණ නාගරික ප්‍රදේශවල වාසය කරන තත්ත්වයක්‌ දැකිය හැකි වුවත් මෙවැනි ප්‍රදේශවල පර්යන්තයේ පවතින සංවර්ධන විෂමතා නිසා ප්‍රදේශයේ ප්‍රධාන නගරවලට ජනතාව ඒකරාශි වීම මෙහි පවතින සත්‍ය පසුබිමයි. ඒ බව මන්නාරම දිස්‌ත්‍රික්‌කය ආශ්‍රයෙන් මෙහි දක්‌වා ඇති සිතියමෙන් ද පැහැදිලි වන අතර එහි මන්නාරම නගරය ඇතුළත් වන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ජනගහනය අනෙක්‌ ප්‍රදේශවලට වඩා අසාමාන්‍ය ලෙස වැඩි බව පෙනේ. සාමාන්‍යයෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ නාගරික බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ සිටින ජනගහනයෙන් 65%කට වඩා ඊළඟ මට්‌ටමේ ජනගහනය ඇති කොට්‌ඨාසය තුළ ඇතුළත් වේ. එහෙත් මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ එම අගය 35%ක්‌ පමණ වේ. අගනගරයෙන් ඈත පිහිටි බොහෝ නගරවල ද තත්ත්වය මේ හා සමාන මට්‌ටමක වන අතර ප්‍රදේශයේ නාගරික කේන්ද්‍ර අවට පමණක්‌ නේවාසිකයන්ට අවශ්‍ය පහසුකම්වලින් පමණක්‌ යුක්‌ත වේ.

මෙරට නගර යෑයි නම් කරන ලද ප්‍රදේශවල පවතින නාගරික පහසුකම්, පරිසරය හා සමාජ ගැටලු එම ප්‍රදේශ වඩා සංවිධානාත්මක නගර ලෙස හඳුනාගැනීමට බාධාවක්‌ ඇති කරයි. ඇතැම් නගර ආශ්‍රිත ව නිසි ලෙස ප්‍රවාහන පහසුකම් ලබාගැනීම අපහසු වන අතර රාත්‍රී 7.30න් පමණ පසු බස්‌රථ ගමනාගමනය අඩු වන ප්‍රධාන නගර ද ශ්‍රී ලංකාවේ පවතී. තව ද, කසළ කළමනාකරණයේ දුර්වලතා පසුගිය සමයේ සිදු වූ කසළ කඳු නාය යැමෙන් ද හඳුනාගත හැකි වූ අතර අවිධිමත් රැකියා බහුලත්වය හා ඒ ඔස්‌සේ නිර්මාණය වන සමාජ ගැටලු පොදුවේ නාගරීකරණය තුළ හඳුනාගත හැකි ය. අද වන විට ග්‍රාමීය ප්‍රදේශවල පහසුකම් දියුණු කිරීම ඔස්‌සේ නාගරික-ග්‍රාමීය විෂමතා අවම කිරීමට උත්සුක වන අතර කලකට ඉහත දී වෙනස්‌ කළ ශ්‍රී ලංකාවේ අගනුවර හා ඒ මෙන් ම කොළඹ අග නගරය හා සම්බන්ධ නේවාසික හා පරිපාලන කෘත්‍ය අවම මට්‌ටමකට ගෙන ගොස්‌ ඒ සඳහා විකල්ප ඉදිරිපත් කිරීම නාගරික තදබදය අවම කිරීමේ උත්සාහයකි. බත්තරමුල්ල පරිපාලන නගරය නිර්මාණය වනුයේ ඒ වෙනුවෙනි.

මේ අනුව පැහැදිලි වනුයේ ශ්‍රී ලංකාවේ නාගරීකරණය හඳුනාගැනීම යන පළමු පියවරේ සිට පවතින ගැටලුකාරී තත්ත්වයන් දක්‌වා මෙරට සැබෑ නාගරීකරණය වසාගෙන ඇති බව ය. ක්‌ෂේත්‍රයේ විද්වතුන් මේ ආශ්‍රිත යම් යම් පර්යේෂණ හරහා ද ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සැබෑ නාගරීකරණය යථාර්ථයක්‌ කරමින් එය මෙරට සංවර්ධනය කෙරෙහි සාධනීය ව භාවිත කිරීම කාලීන අවශ්‍යතාවක්‌ බව ය.

මේ අනුව ශ්‍රී ලංකාවේ නාගරීකරණය දක්‌වන මිනුම් දඬුවල යාවත්කාලීන වීමේ අවශ්‍යතාව පෙන්නුම් කෙරෙන අතර නාගරික හා තදාශ්‍රිත ප්‍රදේශයන්හි සැලසුම් සහගත බව තීරණය කරන ප්‍රයෝගික මිනුම් දණ්‌ඩක්‌ බවට මෙරට නාගරීකරණය පත් කිරීම කාලීන අවශ්‍යතාවක්‌ බව ද දැක්‌විය යුතු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයයේ,

සමාජ විද්‍යා පීඨයේ,

භූගෝල විද්‍යා අධ්‍යයනංශයේ

සහකාර කථිකාචාර්ය

තනුර මධුශංක සිල්වා

මූලාශ්‍ර

ජන සංගණන වාර්තාව - 2012 - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පළාත් වාර්තා - 2012 - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව