logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


උත්තර අර්ධගෝලයට නව වසරක උදාව අත ළග

2018 දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රිය පසු වීමත් සමග ම නව වසරක්‌ උදා වූ බවට සුබපැතුම් පතමින් රට පුරා විවිධ ප්‍රසංග පැවැත්විණි. දේශපාලන නායකයන් ද සහභාගී වූ නව වසරක උදාව සැමරුම්වල දර්ශනවලින් රූපවාහිනි ප්‍රවෘත්ති පිරී ගිය අතර 2019 ජනවාරි ප්‍රථම දිනයේ පමණක්‌ නො ව දින ගණනාවක්‌ තුළ ම නිවාස තුළ මෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය නො වන කාර්යාල සේවකයන් ද දුම්රිය මගීන් ද නව අවුරුදු උදාව සැමරූ රූපරාමු ජනමාධ්‍ය තුළින් දුටිමු.

ඒ උණුසුම මැකී යන්නටත් පෙර ජනවාරි 15 දින තවත් අවුරුදු උදාවක්‌ ලෙස එක්‌ ජන කොට්‌ඨාසයක්‌ විසින් පිළිගනු ලබන තෛපොංගල් උත්සවය ද රාජ්‍ය පාලකයන්ගේ ද සහභාගිත්වය සමගින් සමරනු දුටුවෙමු. ජනවාරි පළමු දා පන්සල වෙත ගොස්‌ නව අවුරුදු උදාව සැමරූ අය ම දේවාල සහ කෝවිල් වෙතට සැපත් වී තෛපොංගල් අවුරුදු උදාවත් ඉහළින් ම සැමරූ අයුරු අප කාටත් මතක තිබේ.

තවත් අවුරුදු උදාව වැනි ම වූ මංගල්‍යයක්‌ මාර්තු මස 4 වැනි දා (මහා සිව රාත්‍රි දිනය) දිවයිනේ බොහෝ ප්‍රදේශවල දී සැමරූ අයුරු ද දුටිමු.

එවන් සැමරුම් අභිබවා යන තවත් විශේෂ වූ නව අවුරුදු උදාවක්‌ ලබන අප්‍රේල් (බක්‌) මාසයේ 14 වැනි දා (සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද) උදා වන බවට හඩනැගීම මේ වන විටත් ආරම්භ වී ඇත. විශේෂයෙන් ම වෙළෝද ව්‍යාපාරිකයන් එහි පෙරමුණ ගෙන සිටින අතර අවුරුදු කුමර කුමරියන් තෝරන තරග පිළිබදව ජනමාධ්‍ය කිහිපයක්‌ ම ඝෝෂා කරයි.

නව අවුරුදු උන්මාදයෙන් පෙළෙන්නේ ශ්‍රී ලංකාවාසී අප පමණක්‌ නො වේ. ලොව මේ වන විට ආගම් 42000ක්‌ අදහන ජාතීන් 193ක්‌ පමණ (එක්‌සත් ජාතීන් පමණක්‌ සැලකූ විට) මිහිකත මත වසන අතර යම්කිසි සංකල්පයක්‌ පදනම් කරගෙන නව අවුරුදු උදාවක්‌ සැමරීමට ඔවුහු සැදී පැහැදී සිටිති. සමාජීය වශයෙන් එහි වරදක්‌ නො දකින්නේ එතුළින් විවිධ සමාජ හිතකාමී කටයුතු රැසක්‌ සංවිධානය වීම සහ හිත මිතුරුකම් ගොඩනැගීම යන කෝණයන් ගෙන් බලන විට ය. එහෙත් ලොව පවත්වන අවුරුදු උදා සැමරුම් උත්සව අතිශයින් ම කාලය සහ ධනය විනාශ වන කර්තව්‍යක්‌ බවට පත් වී තිබීම සැමගේ අවධානයට යොමු විය යුතු කාරණාවක්‌ යෑයි සිතමි. එය එසේ තිබිය දී මෙහි මා දකින ඉතා ම අහිතකර, අවිද්‍යාත්මක පැත්තක්‌ කෙරේ ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

විවිධ සංකල්ප මත පදනම් ව නව වසරක උදාව සනිටුහන් කිරීමෙන් ජනතාව, විශේෂයෙන් ම අධ්‍යාපනය ලබන දූ පුතුන්, යථාර්ථවාදී අවබෝධයෙන් බැහැරට තල්ලු වීම එක්‌තරා ලෙසක අධ්‍යාපනික අපරාධයකි. දින දර්ශනයක්‌ (Calendar) ලොවට හදුන්වා දීමේ දීර්ඝ ඉතිහාසය පිළිබදව විදුසර පත්‍රයේ විවිධ වකවානුවල ප්‍රකාශිත ලිපි ගණනාවක්‌ තුළින් ඔබ දැනුවත් වී ඇති බව සහතික ය. ලෝකයේ ජනතාව ගෙන් බහුතරයක්‌ විසින් භාවිත කරනු ලබන ජනවාරි පළමු දා සිට දෙසැම්බර් මස 31 වැනි දා දක්‌වා දින ගණින ග්‍රෙගරියානු දින දර්ශනය (Gregorian Calendear) දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියෙන් පසුව නව වසරකට අපි පාතබන බවට පණිවිඩයක්‌ ලබා දෙන අතර විවිධ දේව ඇදහිලි සහ නක්‍ෂත්‍ර සාධක මත පදනම් වූ නව වසරක ආරම්භය පහදා දෙන පුවත් ජනමාධ්‍ය පුරා ප්‍රචාරය වීම සත්‍ය වශයෙන් ම දූදරු මනස මිථ්‍යාවට යොමු කිරීමට දායක වන්නේ නව වසර සම්බන්ධ සංකල්ප සියල්ල ම පාහේ මිථ්‍යා විශ්වාස මත ම පදනම් වී ඇති නිසා ය.

ලොව ජනතාව ගෙන් බහුතරයක්‌ පෙළෙන නව අවුරුදු උන්මාදය පිළිබද සාකච්ඡාව මතුවට කල් තබා ළග ළග ම උදා වන, තාරකා විද්‍යාත්මක ව යථා පදනමක්‌ සහිත, නව අවුරුදු උදාව පිළිබදව අවධානය යොමු කරමු.

අප සෞරග්‍රහ මණ්‌ඩලයේ සූර්යයාගේ සිට කිලෝ මීටර් කෝටි 15ක සාමාන්‍ය දුරකින් වූ ඉලිප්සාකාර පෙතක්‌ ඔස්‌සේ දින 365.24ක කාලයක්‌ (වසරක්‌ ලෙස හදුන්වනු ලබන කාලය) තුළ වටයක්‌ ගෙවන අපේ ලෝකය පැය 23 මිනිත්තු 56 තත්පර 4.1ක කාලයක දී (දිනයක්‌) සිය අක්‍ෂය වටා එක්‌ වරක්‌ කරකැවෙන්නේ සිය අක්‍ෂය අංශක 23.5ක කෝණයකින් ඇල ව තබාගනිමින් බව පාසල් යන අප දූදරුවන් පවා දන්නා යථාර්ථයයි. මහා අපභ්‍රංශයක්‌ ලෙස මේ යථාර්ථය සමහරුනට පෙනී ගියත් මේ ස්‌වාභාවික චලිතය නිසා සූර්යයා මුදුන් වී පායා ඇති ලෝක ගෝලයේ ස්‌ථානය සැම මොහොතක ම වෙනස්‌ වන බව ද අප දන්නා යථාර්ථයයි. අක්‍ෂාංශ 23.5 උතුර සහ 23.5 දකුණ අතර මේ වෙනස සිදු වන බව ද නොරහසකි.

මේ සූර්ය සංක්‍රාන්තියේ ඉතා වැදගත් අවස්‌ථා සතරෙන් වසරේ ප්‍රථමයෙන් ම සිදු වන සංක්‍රාන්තියේ දිනය සහ වේලාව ඉතා ආසන්න වන්නා සේ ම ලොව ප්‍රදේශ රැසකට ම, විශේෂයෙන් ම ශ්‍රී ලංකාව පිහිටි උත්තර අර්ධගෝලයේ ප්‍රදේශවලට, එම සංක්‍රාන්තිය ඉතා ම වැදගත් සිදුවීමකි.

සූර්යයා මුදුන් වී පිහිටීම දක්‍ෂිණ අර්ධ ගෝලයේ අක්‍ෂාංශ 123.5 දකුණේ සිට උතුර දෙසට සංක්‍රාන්ති වීමේ දී ලෝක ගෝලයේ නිරක්‍ෂයට (හෙවත් සමකයට) මුදුන් වී, උත්තර අර්ධගෝලයට ප්‍රවිෂ්ඨ වීම සිදු වන්නේ 2019 මාර්තු මස 20 වැනි දිනයේ දී, ග්‍රිනිච් වේලාවෙන් පැය 21 විනාඩි 58 යන වේලාවට ය. ශ්‍රී ලංකාවේ කොළඹ දේශාංශ අගයට සාපේක්‍ෂ ව ගණනය කළ හොත් එම නැකත උදා වන්නේ 2019 මාර්තු මස 21 වැනි දින පැය 3 පසු වී විනාඩි 28ට වන්නේ ය. එනම් ලබන මාර්තු 21 වැනි දා පෙ.ව. 3 පසු වී විනාඩි 28ට ය.

මාර්තු 21 වැනි දා ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3 විනාඩි 28ට සිදු වන සූර්ය සංක්‍රාන්තිය නව වසරක්‌ උදා වන නැකත ලෙස සැලකීමට තරම් වැදගත්කමක්‌ උසුලන බවට බොහෝ දෙනකු දැනුවත් වුවත්, මිථ්‍යා සංකල්ප අනුව අලුත් අවුරුදු උදාව සැමරීමේ පදනම් රහිත විලාසිතාවක්‌ පවතී.

මාර්තු 21 වැනි දා සිදු වන සූර්ය සංක්‍රාන්තිය හෙවත් හිරු මුදුන් වීම උත්තර අර්ධගෝලයට සේන්දු වීම උත්තර අර්ධගෝලීය රාජ්‍යයන් ගණනාවකට මෙන්ම අපේ දිවයිනටත් ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට අවශ්‍ය වැසි ලබා දෙන ප්‍රථම අන්තර් මෝසම් කාලගුණ ඝෘතුවට මෙන්ම මධ්‍යම කදුකරයේ සියලු ජලාශ පුරවා, ගංගා පෝෂණය කරන වැසි ලබා දෙන නිරිතදිග මෝසම් ඝෘතුවට ආවේනික කාලගුණ සාධක ස්‌ථාපිත වීම සාර්ථක වන්නේ හිරුගේ මේ සංක්‍රාන්තිය නිසා බැවින් ය. මේ ඝෘතු දෙක තුළ කඩාහැළෙන සංවහන වර්ෂාව මෙන්ම මෝසම් වර්ෂාව දායක වී අප දිවයිනේ ජල විදුලි බලය නිපදවීමට, පානීය ජලය සැපයීමට සහ කෘෂිකර්මාන්තයට ජලය සැපයීමට වෙන් වූ ජලාශ පුරවාලන බව ඔබ දන්නා සත්‍යයක්‌ වන්නේ ය.

ඒ හා සමාන ම වැදගත්කමක්‌ උසුලන තවත් තේමාවක්‌ සම්බන්ධව, මාර්තු 21 දින පෙ.ව. 3යි විනාඩි 28 නැකතට සිදු වන සූර්ය සංක්‍රාන්තිය වුදගත්කමක්‌ උසුලයි. එනම් ශ්‍රී ලංකාවේ අපට මුහුණ දෙන්නට සිදු වන ස්‌වාභාවික ආපදා සටහන්වලට අනුව ස්‌වාභාවික ආපදාවල ප්‍රථම උපරිමය නිරීක්‍ෂණය කළ හැකි වකවානුව ද මාර්තු මස 21 දිනට පසුව එළැඹෙනවා ය යන්න පිළිබද පණිවිඩයයි.

මාර්තු - අප්‍රේල් කාලය තුළ අප දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන සංවහන වර්ෂාවල ආපදාකාරීභාවයට හේතු වන ප්‍රධාන සාධක අකුණු පහර සහ ටෝනේඩෝ ආශ්‍රිsත ඉතා ප්‍රචණ්‌ඩ සුළං ධාරා බව සැමගේ අවධානය යොමු විය යුතු සාධකයන් ය. මාර්තු 21 දිනට සිදු වන සූර්ය සංක්‍රාන්තියෙන් පසුව අප්‍රේල් මස 5 වැනි දා පමණ සිට 15 වැනි දා පමණ දක්‌වා වන කාලය තුළ සූර්යයා අප දිවයිනේ විවිධ ප්‍රදේශවලට මුදුන් වීමේ ප්‍රතිඵලය ලෙස දැඩි සංවහනය හේතුවෙන් වැඩෙන කැටි වැහි වලාවන් ඉතා ආපදාකාරී අකුණු සහ ටෝනේඩෝ පද්ධති උපද්දවාලීම ආපදා කළමනාකරණය හා සම්බන්ධ සෑම ආයතනයක ම රාජකාරි කටයුතුවල වැදගත්කම පිළිබදව සිහි කැදවීමකි.

එසේම මැයි මස ස්‌ථාපිත වන නිරිතදිග මෝසම් සමයේ පීඩන අවපාතවල බලපැම් මත කඩාහැළෙන ධාරානිපාත වර්ෂාව ද විවිධ ආපදාවලට හේතු වේ.

ස්‌වාභාවික සංසිද්ධිවල යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල පිළිබදව සිත් යොමු කිරීමේ දී මාර්තු මස 21 දින පෙ.ව. 3 පසු වී විනාඩි 28ක්‌ වන නැකතට සිදු වන අවුරුදු උදාව ඉතා වැදගත් වන්නකි. එහෙත් මෙහි දී නව අවුරුදු උන්මාදයක්‌ ආරූඪ කරගන්නවාට වඩා එම සූර්ය සංක්‍රාන්තියේ ඇති වැදගත්කමේ යථාර්ථය අවබෝධ කරගැනීම වඩාත් උචිත වන්නේ ය.

කේ. ආර්. අභයසිංහ