logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
අසාධ්‍ය පිළිකා රෝගීන්ට බලපෑ මෝර්ෆීන් නිකුත් කිරීමේ සීමාව දැන් බොහෝ දුරට ඉවත් කරලා

පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රබල වේදනානාශකයක්‌ වන මෝර්ෆීන් සැපයුම පසුගිය වසර කිහිපය තුළ ක්‍රමානුකූලව ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ මරණාසන්න පිළිකා රෝගීන්ගේ ශාරීරික වේදනා සමනය කිරීමට ඔපිඔයිඩ්ස්‌ කාණ්‌ඩයේ ඖෂධ ප්‍රමාණවත් ව නිකුත් කිරීමට අපේ සෞඛ්‍ය සේවය අසමත් ව ඇතැයි නැෙගන මැසිවිලි සම්බන්ධයෙන් විදුසර කළ විමසීමක දී ය. ඔපිඔයිඩ්ස්‌ කාණ්‌ඩයට අයත් මත්ද්‍රව්‍ය යටතේ ගැනෙන ප්‍රබල වේදනානාශකයක්‌ වන මෝර්ෆීන් මෙරට පිළිකා රෝගීන්ගේ ශාරීරික වේදනා සමනය කිරීමට ලබා දෙන ප්‍රමුඛතම ඔසුවකි.

එහෙත් අන්තරායකර ඖෂධ පාලන පනතෙහි ඇති රෙගුලාසි අනුවත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයෙන් මෙරටට ආනයනය කිරීම සඳහා අනුමැතිය හිමි වී ඇති සීමාවන් අනුවත් මෙකී වේදනානාශකය ප්‍රමාණවත් අන්දමින් රෝගීන් වෙත නිකුත් කිරීමේ අපහසුතා පැනනගියි.අන්තරායකර ඖෂධ පාලන පනතට අනුව රෝගියකු සඳහා වෛද්‍යවරයකු විසින් වරකට නිකුත් කළ හැක්‌කේ දින 3කට සෑහෙන මෝර්ෆීන් ප්‍රමාණයක්‌ පමණි. ඒ අනුව රෝගියකු වෙනුවෙන් මෙකී වේදනානාශකය ලබාගැනීම පිණිස දින 3කට වරක්‌ නැවත නැවත වෛද්‍ය නිර්දේශ ලබාගත යුතු වන අතර එය පිළිකා රෝගීන් මුහුණ දෙන දැඩි අපහසුවක්‌ වේ.

වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසුවේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන අන්තරායකර ඖෂධ පාලන පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරගෙන යන බවත් එතෙක්‌ රෝගීන්ට මසකට ප්‍රමාණවත් මෝර්ෆීන් නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව වෛද්‍ය අංශවලට විශේෂ ප්‍රතිපාදන සලසා දී ඇති බවත් ය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයෙන් මෙරටට ආනයනය කිරීමට අනුමැතිය හිමි ව තිබූ මෝර්ෆීන් කෝටාව ද මේ අනුව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් සමය තුළ පියවර ගෙන ඇත.

මෝර්ෆීන් වැඩි ප්‍රමාණයක්‌ එක වර නිකුත් කිරීමේ දී සදු විය හැකි අවභාවිතයන් වළක්‌වාලීම සඳහා මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් ගෙන් ගෙට ගොස්‌ රෝගීන්ගේ මෝර්ෆීන් භාවිතය අධීක්‌ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ ඉදිරි මාස කිහිපය ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ද ඒ මහතා අනාවරණය කළේ ය.

මහරගම අපේක්‌ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පවසුවේ පසුගිය වසරේ පිළිකා රෝගීන්ට නිකුත් කළ මෝර්ෆීන් ඖෂධයේ හිගයක්‌ නො පැවැති බව ය.

පෙබරවාරි 4 වැනි දිනට යෙදී තිබූ ලෝක පිළිකා දිනය නිමිත්තෙන් පසුගිය සතියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ තොරතුරු අනාවරණය විය. මෙවර පිළිකා දිනයේ තේමාව වූයේ 'මම අද මෙන්ම හෙටත් ක්‍රියාත්මක වෙමි' යන්න වන අතර මේ තේමාව 2021 වසර දක්‌වා ක්‍රියාත්මක වන්නකි.

ශ්‍රී ලංකාවේ අලුතින් ලියාපදිංචි කෙරෙන පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉකුත් වසර 10 ඇතුළත දස දහසකින් වැඩි වී ඇති බව ද වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුනි. එනම් 2008 දී 19309ක්‌ වූ මේ සංඛ්‍යාව 2018 දෙසැම්බර් 31 වන විට 29843ක්‌ විය. වයස්‌ගත ජනගහනය ඉහළ යැම, පිළිකා කල් තබා හඳුනාගත හැකි පරීක්‌ෂණ පහසුකම් වෙත ජනතාව වැඩියෙන් යොමු වීම සහ පෙරට වඩා වැඩි රෝහල් ප්‍රමාණයකින් රෝගීන් පිළිබඳ දත්ත ලැබීම වැනි සාධක රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉහළ යැමට බලපා ඇත. ශ්‍රී ලංකාවේ පිරිමින් අතර සුලබතම පිළිකා වර්ගය මුඛ පිළිකා වන අතර ගැහැනුන් අතර ප්‍රමුඛ වන්නේ පියයුරු පිළිකාවයි. මෙරට සිදු වන වාර්ෂික මරණවලින් සියයට 10ක්‌ පිළිකා හේතුවෙන් ඇති වන මරණ වේ. කාන්තාවන්ට වැළඳෙන පිළිකා හඳුනාගැනීම සඳහා මෙරට සුව නාරි සායන 1000කට වඩා ක්‍රියාත්මක ව ඇතත් ඒවාට පැමිණෙන කාන්තාවන් සංඛ්‍යාව අසතුටුදායක බව ද වෛද්‍ය සුරාඡ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.

මෙහි දී කතා කළ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා මේ වන විට ලෝකයේ සිදු වන මරණවලට හේතු අතරින් පිළිකා දැනට පවතින්නේ දෙවැනි තැන වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2020 වසර වන විට එය පළමු තැනට පැමිණෙනු ඇති බව සඳහන් කළේ ය. ඒ මහතා පෙන්වා දුන්නේ මෙරට පිළිකා පිළිබඳ වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු හිඟයක්‌ නැති මුත් පිළිකා ඒකක, උපකරණ හා ශල්‍යාගාර ප්‍රමාණවත් නො වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් සහ පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කර සිටියේ පිළිකාවලින් තුනෙන් එකක්‌ ම වළක්‌වාගත හැකි බවත් තවත් තුනෙන් එකක්‌ මුල් අවධියේ දී හඳුනාගත හොත් සුව කළ හැකි බවත් ගැටලුකාරී වන්නේ ඉතිරි තුනෙන් එක පමණක්‌ බවත් ය. දුම් කොළ හා දුම්වැටි, මත්පැන්, අයහපත් ආහාර රටා සහ ශාරීරික ක්‍රියාකාරිත්වය අඩුකම පිළිකා සඳහා ප්‍රධාන හේතු වශයෙන් හඳුනාගෙන ඇත. මෙරට මරණාසන්න රෝගීන් සඳහා වන සහන සත්කාර සේවය තවමත් පවතින්නේ ළදරු අවධියක බවත් මේ සඳහා සුදුසුකම් ලත් පිරිස්‌ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ඩිප්ලෝමා උපාධිධාරීන් ලෙස පුහුණු කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා පවසා සිටියේ ය.

වසර 71ක්‌ පැරැණි පුණ්‍යායතනයක්‌ වන ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ප්‍රචාරක නිලධාරී ඩී. ඩබ්ලිව්. එස්‌. ජයරත්න මහතා කියා සිටියේ සැම මසක ම දෙවැනි ඉරිදා කොළඹ 07 බුලර්ස්‌ පටුමෙගහි පිහිටි තම සංගමයේ දී නොමිලේ පිළිකා සායනයක්‌ පැවැත්වෙන අතර මහරගම අපේක්‌ෂා රෝහලේ සතියේ දින 5 තුළ ම පිළිකා සායන පැවැත්වෙන බවත් ය. එහෙත් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් නොදැනුවත් බව ඒ මහතා කියා සිටියේ ය. සුව කළ නොහැකි පිළිකා රෝගීන් දිවි ඇති තුරු නොමිලේ රැක බලාගන්නා මහරගම ශාන්ත සෙවණ ආයතනය සහ දුර බැහැරින් ප්‍රතිකාර උදෙසා අපේක්‌ෂා රෝහලට එන රෝගීන්ට නොමිලේ නේවාසික පහසුකම් සපයන ස්‌ථානයක්‌ ද පිළිකා සංගමයේ පුරෝගාමිත්වයෙන් ක්‍රියාත්මක බව ඒ මහතා සඳහන් කළේ ය.