logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


සේනා දළඹු හානිය සොයාගැනීමට චන්ද්‍රිකා තාක්‌ෂණයේ සහාය

චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගෙන සේනා දළඹුවා ගෙන් හානි සිදු වූ වගා බිම් ප්‍රදේශ හඳුනාගැනීමේ හැකියාව සම්බන්ධව නවීන තාක්‌ෂණය පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයන් දෙපළක්‌ වන සම්පත් මාරසිංහ හා මහේෂ් චතුරංග යන මහත්වරුන් විසින් ක්‌ෂේත්‍ර පරීක්‌ෂාවක්‌ සිදු කර ඇති බව වාර්තා වෙයි. දැනටමත් හොරිවිල ප්‍රදේශයේ තෝරාගත් වගා බිම් සමූහයක මේ තාක්‌ෂණය අත්හදා බලා ඇති බව විදුසර කළ විමසීමක දී ඔවුහු පැවසූ හ.

මෙහි දී මූලික වශයෙන් යොදාගනු ලබන්නේ දෘෂ්‍ය හා දෘෂ්‍ය පරාසයෙන් ඔබ්බෙහි පිහිටි විද්යුත් චුම්බක වර්ණාවලී සංඛ්‍යාත කිහිපයකට අයත් චන්ද්‍රිකා ඡායාරූපයන් ය. දළඹු හානියට ලක්‌ වීමේ අවදානම ඇති ප්‍රදේශවලට අයත් වගා බිම්වල චන්ද්‍රිකා ඡායාරූප, NDVI (Normalized Difference Vegetation Index), SAVI (Soil Adjusted Vegetation Index) ආදී දර්ශකයන්ට අනුව විශ්ලේෂණය කිරීමෙන් හානි සිදු වී ඇති භූමි ප්‍රමාණය නිර්ණය කළ හැකි බව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහේෂ් මහතා පවසා සිටියේ ය.

හරිත ශාකවල ඇති හරිතප්‍රද, ආහාර නිපදවීමේ දී එනම් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ දී සූර්යාලෝකයේ ඇති නිල් (Blue) හා රතු (Red) ආලෝක තරංග සෙසු වර්ණවලට වඩා අවශෝෂණය කර 'ආසන්න අධෝරක්‌ත' (Near Infra Red) හා කොළ (Green) තරංග වැඩියෙන් පරාවර්තනය කරයි.

ඉහත දර්ශක අතරින්, NDVI අගය ගණනය කරනු ලබන්නේ 'ආසන්න අධෝරක්‌ත' ආලෝක තරංග සහ රතු ආලෝක තරංග යන දෙවර්ගයේ පරාවර්තන හා අවශෝෂණ අතර වෙනස සැලකිල්ලට ගැනීමෙනි.

මෙහි දී, සෛද්ධාන්තික ව NDVI අගය සෘණ 1ත් ධන 1ත් අතර අගයක්‌ ගනු ලබන අතර සාමාන්‍යයෙන් ප්‍රායෝගික ව එම අගයන් සෘණ 0.1 සිට ධන 0.9 දක්‌වා පරාසයක පවතී. සාමාන්‍යයෙන් මුඩු පර්වත, වැලි හෝ හිම, සෘණ 0.1 සිට ධන 0.1 දක්‌වාත්, ශාක ධන 0.2 සිට ධන 0.9 දක්‌වාත් පරාසයක අගයක්‌ ගනු ලබන අතර ගැඹුරු ජලය සෘණ 1ට ආසන්න වේ. ශාකයක්‌ දැඩි කෘමි උවදුරකට හෝ නියඟයකට හෝ මුහුණ දුන් විට විශාල ආතතියකට ලක්‌ වී කෙටි කාලයක දී NDVI අගය සැලකිය යුතු මට්‌ටමකින් පහළ යයි. ඉහළ ධන NDVI අගයන් මඟින් ශාකය නිරෝගී ව ප්‍රභාසංශ්ලේෂණයේ යෙදෙන බව නිරූපණය වේ.

දළඹු හානියට පෙර හා පසු චන්ද්‍රිකා ඡායාරූප සලකා බැලීමෙන් පසුව ඉහත දර්ශකයන්හි සැලකිය යුතු අඩු වීමක්‌ පෙන්වන වගාවන් දළඹු හානිය වැඩි වගාවන් ලෙස අනුමාන කරනු ලැබේ.

කෙසේ වෙතත් අවසන් නිගමනයකට එළඹිය යුත්තේ මෙසේ චන්ද්‍රිකා තාක්‌ෂණය ඇසුරින් ලබාගන්නා ප්‍රතිඵල ක්‌ෂේත්‍රයෙන් ලබාගන්නා දත්ත සමඟ සංසන්දනය කර නිරවද්‍යතා තක්‌සේරුවකින් පසුව බව සම්පත් මහතා පැවසී ය.

දැනට මේ පර්යේෂණය හොරිවිල ප්‍රදේශයට පමණක්‌ අත්හදා බැලීමක්‌ වශයෙන් ක්‍රියාත්මක වන අතර, අදාළ ආයතනයන් මඟින් නිල වශයෙන් ඉල්ලීමක්‌ කළ හොත් දීප ව්‍යාප්ත ව මෙය සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය කැමැත්ත පළ කර සිටියි.