logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ ආවේණික මිරිදිය මත්ස්‍ය ලයිස්‌තුවට අලුතින් ම එකතු වූ සාමාජිකයෝ

ජෛව විවිධත්වය පිළිබඳව සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වේ. ශ්‍රී ලංකාව සාගරයෙන් වට වූ දිවයිනක්‌ වීමත්, සමකාසන්න ව පිහිටා තිබීමත්, තෙත්, වියළි, අතරමැදි හා අර්ධ ශුෂ්ක යනුවෙන් ප්‍රධාන කාලගුණික කලාප 4ක්‌ දක්‌නට ලැබීමත්, මුහුදු මට්‌ටමේ සිට මීටර 2,500කට වැඩි උසක්‌ දක්‌වා වෙනස්‌ වන උන්නතාංශයක්‌ තිබීමත් යන සාධක මෙයට ප්‍රධාන වශයෙන් උපකාරී වී තිබේ. ඉහත දැක්‌වූ සාධක නිසා ශ්‍රී ලංකාව තුළ විවිධාකාර, එකිනෙකින් වෙනස්‌ වූ පරිසරයන් නිර්මාණය වී තිබේ. මේ වෙනස්‌ පරිසර තත්ත්ව ජෛව විවිධත්වයේ පෝෂණය කෙරෙහි ප්‍රධාන දායකත්වය සපයා තිබේ. අවාසනාවන්ත ලෙස, අප රට සතු මේ පොහොසත් ජෛව විවිධත්වයට බලපාන තර්ජන ද අනේක වේ. මේ නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ බටහිර ඝාට්‌ස්‌ කඳුවැටිය (Western Ghats) හා එක්‌ ව සැලකීමේ දී ජෛව විවිධත්වය අතින් ලොව උණුසුම් කලාපයක්‌ (Biodiversity Hotspot) බවට අන්තර්ජාතික ව ප්‍රකාශයට පත් කර ඇත.

තඹලයාගේ අනන්‍යතාව හෙළි වෙයි, හිරිකනයා ආවේණික ලැයිස්‌තුවට...



ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සැලකීමේ දී මිරිදිය මත්ස්‍යයන්ට විශේෂ ස්‌ථානයක්‌ හිමි වේ. මේ සඳහා රට පුරා ව්‍යාප්ත වී ඇති ඇළ, දොළ, ගංගා, වැව් ඇතුළු ජල මූලාශ්‍රයන් දායක වී තිබේ. ශ්‍රී ලංකාව තුළ දැනට ආසන්න වශයෙන් මිරිදිය මසුන් විශේෂ 90කට වැඩි සංඛ්‍යාවක්‌ වාර්තා වන අතර මොවුන් ගෙන් විශේෂ 50කට වැඩි සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වේ. මේ මත්ස්‍ය විශේෂ අතරින් පෙතියන් සහ දණ්‌ඩියන් අයත් වන Cyprinidae කුලයට (family) විශේෂ වැදගත්කමක්‌ හිමි වේ. මෙයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ වැඩි ම සංඛ්‍යාවක්‌ මේ කුලයට අයත් වීමයි.

මේ කුලයට අයත් වන ගණයන් සැලකීමේ දී Labeo ගණයට (genus) සැලකිය යුතු ස්‌ථානයක්‌ හිමි වේ. ශ්‍රී ලංකාව තුළ මේ ගණය නියෝජනය කරමින් හිරිකනයා (Labeo dussumieri), ගඩයා (Labeo fisheri) හා තඹලයා (Labeo porcellus lankae) යනුවෙන් ස්‌වාභාවික ව විශේෂ 3ක්‌ වාර්තා වන අතර, එයට අමතර ව මිරිදිය ධීවර කර්මාන්තය ඉලක්‌ක කරගනිමින් ලංකාවට හඳුන්වා දෙනු ලැබූ රෝහු (Labeo rohita) නමැති මත්ස්‍යයා ද මෙයට අයත් වෙයි.

මේ අතරින් Labeo dussumieri යන විශේෂය (species) වසර 1842 දී දකුණු ඉන්දියාවෙන් මුල් වරට විද්‍යාත්මක ව විස්‌තර කර තිබේ. ඉන් පසුව මේ විශේෂය ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වූ අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හිරිකනයා යන නමින් හැඳින්විණි. 1917 දී නුවර ප්‍රදේශයෙන් මුල් වරට සොයාගන්නා ලද Labeo fisheri නමැති විශේෂය පොදුවේ ගඩයා යන නමින් හැඳින්වේ. Labeo porcellus යන නමින් හැඳින්වෙන තඹලයා ද පළමුවෙන් ම දකුණු ඉන්දියාවෙන් විද්‍යාත්මක ව විස්‌තර කර පසුව ශ්‍රී ලංකාවෙන් 1889 දී මුල් වරට වාර්තා විය. ඉන් පසුව 1952 දී ලොව පිළිගත් විද්‍යාඥයකු වන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ලංකාවේ හමු වන මේ මත්ස්‍යයා Labeo porcellus lankae නමින් ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක්‌ (sub species) යනුවෙන් නම් කරන ලදි. 1990ට පෙර වියළි කලාපයේ වැව්වලින්, බහුල වශයෙන් වාර්තා වූ මේ මත්ස්‍යයා ඉන් පසුව වාර්තා වීම ඉතා ම විරල වූ අතර මේ හේතුවෙන් ම මේ මත්ස්‍යයා බොහෝ දුරට වඳ වී ගිය මත්ස්‍යයකු ලෙස ද සැක කරන ලදි. එහෙත් මේ මත්ස්‍යයන් විශේෂ ඉන්දියානු විශේෂයන් ගෙන් හරියාකාර ව වෙන් කරගැනීම සඳහා දශක ගණනාවකින් කිසිදු පරීක්‌ෂණයක්‌ සිදු කෙරී නො තිබිණි. මේ අඩුව පිරවීම සඳහා පේරාදෙණිය සරසවියේ හිරණ්‍ය සුදසිංහ, නාවල විවෘත විශ්වවිද්‍යාලයයේ තරිඳු රණසිංහ, IUCN ආයතනයේ සම්පත් ගුණතිලක සහ පේරාදෙණිය සරසවියේ මහාචාර්ය මාධව මීගස්‌කුඹුර යන පර්යේෂණ කණ්‌ඩායම විසින් බාහිර ලක්‌ෂණ, ව්‍යqහ විද්‍යාත්මක ලක්‌ෂණ, අණුක ජීව ලක්‌ෂණ සියල්ල සැලකිල්ලට ගනිමින් පරීක්‌ෂණයක්‌ සිදු කරන ලදි. මේ පර්යේෂණ පත්‍රිකාව Zootaxa නම් අන්තර්ජාතික විද්‍යාත්මක සඟරාවෙහි ප්‍රකාශයට පත් විය.

මේ පර්යේෂණය මඟින් Labeo dussumieri යනුවෙන් ශ්‍රී ලංකාවේ හඳුනාගෙන තිබූ හිරිකනයා නම් විශේෂය සත්‍ය වශයෙන් ම ඉන්දියාවේ හමු වන Labeo dussumieri ගෙන් අංශ රේඛාවේ කොරළ සංඛ්‍යාවෙන්, අණුක ජීව ලක්‌ෂණ සහ තවත් ලක්‌ෂණ මඟින් වෙනස්‌ වන බව තහවුරු විය. මේ අනුව එම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂයක්‌ වශයෙන්, ලංකාව හැඳින්වීමට භාවිත කරන තවත් නාමයක්‌ වන හෙළදිව සිහි කිරීමේ අරමුණින් Labeo heladiva යනුවෙන් විද්‍යාත්මක ව නම් කරන ලදි. හිරිකනයා ශ්‍රී ලංකාවේ සැම ගංගා නිම්නයක ම වාගේ දැකගත හැකි මත්ස්‍ය විශේෂයකි.

ගඩයා ද (Labeo fisheri) ප්‍රධාන වශයෙන් අංශ රේඛාවේ කොරළ සංඛ්‍යාවෙන්, අණුක ජීව ලක්‌ෂණ සහ තවත් ලක්‌ෂණ ගණනාවකින් අනෙකුත් Labeo විශේෂයන් ගෙන් පැහැදිලි ව වෙන් වන බව තහවුරු විය. ගඩයා මහවැලි ගංගා නිම්නයෙහි පමණක්‌ දක්‌නට ලැබෙන විශේෂයක්‌ සේ සැලකේ. මේ පර්යේෂණයට අනුව ගඩයා මහවැලි ගංගා ඉහළ පෝෂක ප්‍රදේශයෙන් මෙන් ම සැලකිය යුතු මට්‌ටමකින් පහළින් පිහිටා ඇති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට ආසන්න අංගමැඬිල්ල ප්‍රදේශයේ අඹන්ගඟෙන් ද වාර්තා විය.

1990ට පෙර වියළි කලාපයේ වැව්වල බහුල ව වාර්තා වූ තඹලයා (Labeo porcellus lankae) නම් විශේෂය ඉන් පසුව නියත වශයෙන් වාර්තා වීම ඉතා ම විරල මට්‌ටමක විය. 2012 දී මේ මත්ස්‍යයා මහවැලි ගංගාවේ දුම්බර ප්‍රදේශයෙන් නැවත වාර්තා වූ බවට සඳහන් විය. එහෙත් මේ පර්යේෂණයට අනුව එම වාර්තාවන්, ගඩයා මත්ස්‍ය පැටවුන් වැරැදියට හඳුනාගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පෙනී යන ලදි. මේ පර්යේෂණය මඟින් තඹලයා මැදවච්චිය ප්‍රදේශයෙන් ගලා යන මල්වතු ඔයේ අතු ගංගාවක්‌ වන කනදරා ඔයෙන් වාර්තා කරන ලදි. එමෙන් ම මල්වතු ඔයට යාබද ගංගා නිම්න වන පරංගිs ආරු සහ කලාඔය නිම්නයන් ගෙන් ද මේ විශේෂය වාර්තා කරන ලදි. 1990ට පෙර තඹලයාගේ බොහෝ වාර්තා ද මල්වතු ඔය ආශ්‍රිත ව විය. අංශ රේඛාවේ තිබෙන කොරළ සංඛ්‍යාවෙන්, අංශ රේඛාවේ සිට පෘෂ්ඨය වරලට තිබෙන කොරළ සංඛ්‍යාවෙන් මෙන් ම තවත් ලක්‌ෂණ මඟින් තඹලයා අනෙකුත් විශේෂයන් ගෙන් වෙනස්‌ වන බව තහවුරු විය. මේ අනුව බාහිර ලක්‌ෂණ, ව්‍යQහ විද්‍යාත්මක ලක්‌ෂණ හා අණුක ජීව ලක්‌ෂණ සැලකිල්ලට ගනිමින් තඹලයා, Labeo lankae යනු ඉන්දියාවේ වාර්තා වන, Labeo porcellus සහෝදර විශේෂයෙන් (sister species) වෙනස්‌ වූ විද්‍යාත්මක ව පිළිගත හැකි විශේෂයක්‌ බවට තහවුරු කරන ලදි.

මෙහි දී මේ විශේෂ තුන ම විද්‍යාත්මක ව නැවත විස්‌තර කරන ලද අතර මොවුන් සහ ඉන්දීය විශේෂයන් අතර දක්‌නට ලැබෙන අණුක ජීව වංශප්‍රවේණි බන්ධුතාව (molecular phylogenetic relationship) පිළිබඳව ද සොයා බලන ලදි. මේ අනුව මේ පර්යේෂණය මඟින් Labeo ගණයේ ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික ව වර්තා වන විශේෂ තුන ම ලංකාවට ආවේණික බව තහවුරු විය. Labeo ගණයට අයත් හිරිකනයා, ගඩයා, තඹලයා යන විශේෂ තුන ම විශාල වශයෙන් වාර්තා වන්නේ ගංගාවන්හි ගල් සහිත පත්ලක්‌, සාමාන්‍ය ගැල්මක්‌ සහ ගැඹුරක්‌ සහිත ස්‌ථානවල ය. මේ නිසා මොවුන්ගේ පැවැත්ම කෙරෙහි මෙවන් ස්‌ථාන රැකගැනීම ඉතා ම වැදගත් වේ. විශේෂයෙන් ම ගඩයා සහ තඹලයා මත්ස්‍යයන් ප්‍රධාන වශයෙන් එක්‌ ගංගා නිම්නයකට සීමා වී තිබීම නිසා ඔවුන්

රැකගැනීම පිළිබඳ ව විශේෂ පියවර ගත යුතු ය.

මේ පර්යේෂණ ප්‍රතිඵලයත් සමඟින් ලංකාවේ වාර්තා වන ආවේණික මිරිදිය මත්ස්‍ය සංඛ්‍යාව 53ක්‌ දක්‌වා ඉහළ යන ලදි. මේ විශේෂයන්හි ඉදිරි පැවැත්ම සඳහා ඔවුන්ගේ පරිසර විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක කරුණු තවදුරටත් අධ්‍යයනය කිරීම ඉතා ම වැදගත් වේ.

මූලාශ්‍රය : (Sudasinghe, H. Ranasinghe, R.H.T. Goonatilake, S.D.A. and Meegaskumbura, M. (2018) A review of the genus Labeo (Teleostei : Cyprinidae) in Sri Lanka. Zootaxa, 4486 (3) : 201 - 235.

https://doi.org/10.11646/Zootaxa.4486.3.1

තරිඳු රණසිංහ