logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පොදු ජනයා විද්‍යාව ප්‍රතික්‌ෂේප කරන්නේ ඇයි?

පහුගිය අවුරුදු කීපය තුළ සංස්‌කෘතික වශයෙන් සිදු වූ සුවිශාල පෙරළි අතර ප්‍රබල ම එකක්‌ වන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති හතු පිපෙන්නා සේ පැතිර යැමයි. මෙය හුදු මාධ්‍ය ක්‍රියාදාමයක්‌ පමණක්‌ ලෙස පෙනී ගිය ද එතුළ සුවිශාල සංස්‌කෘතික හා සමාජීය බලපෑමක්‌ පවතී.

මේ ව්‍යාජ ප්‍රවෘත්ති සමාජගත වීම නිසා සමාජයේ යහපැවැත්මට බාධා වන්නා සේ ම විද්‍යාවේ පැවත්මටත් අභියෝග එල්ල වේ. විද්‍යාඥයන් මේ ප්‍රවණතාව හඳුන්වන්නේ ප්‍රතිපුනරුද ව්‍යාපාරය (Anti Enlhightment Movement) ලෙස ය.

2017 දී මනෝවිද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ මිනිසුන්ගේ මේ ව්‍යාජ ප්‍රවෘත්තිවලට පවතින ලැදියාව ගැනත් ඒ හේතුවෙන් ඔවුන් විසින් විද්‍යාව ප්‍රතික්‌ෂේප කරනු ලැබීම ගැනත් අධ්‍යයනයක්‌ සිදු කරන ලදි. එහි දී ඔවුන් සොයාගත් අපූර්ව කරුණක්‌ වූයේ ඉතා බුද්ධිමත් යෑයි සැලකෙන එසේ ම අධ්‍යාපනික වශයෙන් ඉහළ තැන්වල සිටින අය ද විද්‍යාව ප්‍රතික්‌ෂේප කිරීමට හවුල් ව සිටින බවයි.

"මිනිසුන් බොහෝ විට ඔවුන්ගේ ආගමික විශ්වාස ආරක්‌ෂා කිරීමට පෙලඹෙනවා. 'විද්‍යාව' කියන දේ ඇතැම් විට ඔවුන් පිළිගන්නවා. හැබැයි මෙහෙමයි. දත්ත ඔවුන්ගේ අදහස්‌වලට ගැළපෙනවා නම් ඒවා පිළිගන්නවා. විද්‍යාව මඟින් ලබා දෙන දත්ත ඔවුන්ගේ අදහස්‌වලට හා විශ්වාසවලට පටහැනි නම් ඒවා ප්‍රතික්‌ෂේප කරනවා".

එසේ කියන්නේ මේ අධ්‍යයනය මෙහෙයවූවන් ගෙන් කෙනකු වන ඔරිගන් විශ්වවිද්‍යාලයයේ ට්‍රොaයි කැම්බල් ය.

මේ විස්‌තර සඳහන් වන්නේ Fiona MacDonald විසින් ලියන ලද Researchers say they have figured out why people reject Science, ලිපියේ ය. මේ ලිපියෙහි ට්‍රොaයි කැම්බල්ගේ අධ්‍යයනයට අමතර ව යේල් විශ්වවිද්‍යාලයයෙහි Dan Khan විසින් කරන ලද අධ්‍යයනයක විස්‌තර ද ඇතුළත් ය. Dan Khan මේ ගැන ඉදිරිපත් කරන අදහස මෙබඳු ය.

"විද්‍යාව සම්බන්ධ දේ මිනිසුන් නො පිළිගැනීම වර්තමානයේ විශාල ගැටලුවක්‌ වෙලා. ඉස්‌සර මේ ගැටලුව එතරම් තදට බලපෑවේ නැහැ. ඉස්‌සර විද්‍යාත්මක නිගමන ඉදිරිපත් වූයේ සමාජයට පිළිගත හැකි වාතාවරණ එක්‌ක. එලෙස පැමිණි නිගමන තහවුරු වූයේ දේශපාලන නායකයන්ගේ හා සංස්‌කෘතික බලධාරීන්ගේ එකඟතාව මත".

අතීත රජවරුන් මීට හොඳයි

අතීතයේ සිටි රජවරුන්ට වඩා දැන් සිටින ජනාධිපතිවරුන්, අගමැතිවරුන් චාන්ස්‌ලර්වරුන් විද්‍යාවට තැනක්‌ දෙන, විද්‍යාව තම නියමුවා යෑයි කල්පනා කරන අය යෑයි ඔබ විශ්වාස කරන්නට ඉඩ තිබේ. එසේ නම් ඔබට වැරැදී ගොසිනි. අපට බැල්මට ම සිතෙන්නේ එදා සිටි රජවරුන්ට විද්‍යාවේ වටිනාකම ගැන අවබෝධයක්‌ නො තිබූ නිසා ඔවුන් අද සිටින නායකයන් තරම් විද්‍යාවට තැනක්‌ නො දුන් බව ය. එහෙත් ඇත්ත එය නො වේ. එය එක්‌තරා ආකාරයකට විරුද්ධාභාෂී තත්ත්වයකි. අද ලෝක බලවතා ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති ඇමෙරිකා ජනාධිතිවරයා දෙස බැලුවත්, ලොව දෙවැනි විශාලතම ජනගහනය සිටින ආසියාවේ බලවතා ද වන ඉන්දියාවේ මෝදි දෙස බැලුවත් පෙනෙන්නේ එක ම දෙයකි. එනම් දෙදෙනා ම විද්‍යාව තබා ඇති තැනයි.

ට්‍රම්ප් සැලකුව හොත් ඔහුට නම් විද්‍යා සිද්ධාන්ත හා විද්‍යාඥයන් යනු නයාට අඳුකොළ වගේ ය. ඇමෙරිකාවේ විද්‍යාඥ ප්‍රජාවටත් ට්‍රම්ප් යනු ඇමෙරිකානු ඉතිහාසය තුළ බිහි වූ අවිද්‍යාත්මක ම නායකයා ය. ඔහු බලයට ආ විගස විද්‍යාත්මක ක්‌ෂේත්‍රවලට වැය කළ විශාල මුදල් කන්දරාව කපා දැම්මේ ය.

විද්‍යාවට මුදල් වැය කිරීම නාස්‌තියකැයි කී පළමු ඇමෙරිකානු ජනාධිපති ඔහු ය. නාසා ආයතනයට පවා මුදල් කප්පාදු කළේ ය. පෘථිවිය මත සිටින විද්‍යාඥයන්ට නම් තම ව්‍යාපෘති නතර වී ඇති නිසා ගෙදර ගොස්‌ නිදාගන්නට හැකි වී තිබිණි. එහෙත් අභ්‍යවකාශයට ගොස්‌ සිටි අයට මුදල් කැපූ විට සිදු වන්නේ කුමක්‌ ද?

ට්‍රම්ප්, විද්‍යාඥයන්, විද්‍යාත්මක සිද්ධාන්ත, විද්‍යාත්මක ජර්නල, ජර්නලවල පළ වන නිබන්ධ ගැන තබා විද්‍යා උපදේශකයන් වත් තුට්‌ටුවකට මායිම් කරන්නේ නැත.

ඇමෙරිකාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ විද්‍යා උපදේශකයකු පත් කළේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ය. මන්ද යත් ඒ යුද්ධයට මුහුණ දෙන්නට දේශපාලන ඥනය පමණක්‌ ප්‍රමාණවත් නැති බව එවකට රට කළ බුද්ධිමත් දේශපාලකයන් අවබෝධ කරගෙන සිටි බැවිනි.

ඉන්පසු පසුගිය දශක අටකට ආසන්න කාලය තුළ ම බලයට ආ ඇමෙරිකානු නායකයෝ හැම වැදගත් අවස්‌ථාවක ම තම විද්‍යා උපදේශක (සමහර විට මේ තනතුර ධවල මන්දිර විද්‍යා තාක්‌ෂණ අධ්‍යක්‌ෂ ලෙස ද විය) වෙතින් උපදෙස්‌ ගත් හ.

"විද්‍යා උපදේශකයොත් එපා, ජර්නලුත් එපා, අධ්‍යයනත් එපා !"

ඇමෙරිකානු ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මේ මැට්‌ටා විද්‍යා උපදේශකයකු ප්‍රතික්‌ෂේප කළේ ය. එක්‌ පැත්තකින් ඔහුට ගල් පහර වැදුණ ද ඔහුට ප්‍රශංසා කළ අය ද වූ හ. විද්‍යා උපදේශකයකුට හා ඔහුගේ දෙපාර්තමේන්තුවට ගෙවන අති විශාල වැටුප් ඉතිරි වන බව කියා ට්‍රම්ප්ට ප්‍රශංසා කී අය ද සිටිය හ. "මට උපදේශකයන් වුවමනා නැහැ. ජර්නලවල පළ වන අධ්‍යයන මඟින් නෙවෙයි මගේ ගමන යන්නේ. මගේ සහජ ඥනය මට ප්‍රමාණවත්" යෑයි ඔහු කියා සිටියේ ය. කලින් සිටි ජනාධිපතිවරයා වූ ඔබාමා තමාගේ විද්‍යාත්මක උපදේශකවරයාව, ප්‍රශ්නයක්‌ තිබුණත් නැතත් අනිවාර්යයෙන් ම සතියකට වරක්‌ ධවල මන්දිරයේ දී මුණගැසී සාකච්ඡා කළේ ය. එහෙත් ට්‍රම්ප් කළේ මේ උපදේශකවරයා ගෙදර යෑවීමයි. ට්‍රම්ප්ගේ මේ මැටි වැඩේට හා විද්‍යාවට කරන කෙනෙහිළිකම්වලට එරෙහි ව රට පුරා විද්‍යාඥයෝ උද්ඝෝෂණ කළ හ. කෙසේ හෝ 2019 ජනවාරි 03 වැනි දා ට්‍රම්ප් අලුත් උපදේශකයකු පත් කරගත්තේ ය. ඒ කාලගුණ විද්‍යාඥයකු වූ මහාචාර්ය Kelvin Droegemeier ය.

ට්‍රම්ප් පසුගිය දා තවත් තකතීරුකමක්‌ කළේ ය. එය නම් ඔහුට පොඩි ගල් කැටවලින් දමා ගසන උතුරු කොරියාවේ නායකයා වන කිම් ජොන්ග් සමඟ කළ සාකච්ඡාවට පවා විද්‍යාත්මක උපදේශකයකු සම්බන්ධ කරගත්තේ නැත. මේ සාකච්ඡාව න්‍යෂ්ටික අවි යනාදිය ගැන වුව ද ට්‍රම්ප් න්‍යෂ්ටික අවි ගැන තබා වායු තුවක්‌කු ගැන දන්නා කෙනකු වත් මේ සාකච්ඡාවලට කැඳවාගෙන ගියේ නැත. ඉන්දියාවේ මෝදිට නම් විද්‍යා උපදේශකයකු සිටී. එහෙත් ඔහු ද විද්‍යාත්මක ඥනය හෑල්ලු කරමින් පසුගිය දිනවල බයිලා දෙඩෙව්වේ ය. ඔහු කී දේ ගැන විද්‍යාඥයන් වෙතින් සුළු සුළු විරෝධතා ආව ද කවුරුත් ට්‍රම්ප්ට එරෙහි ව කළාක්‌ සේ පාරට බැස උද්ඝෝෂණය කළේ නැත.

'කාලගුණ විද්‍යා පර්යේෂණ' බොරු ගොඩක්‌

ඉහළ ම පෙළේ විද්‍යාඥයන් 300ක්‌ හා ඔහුගේ ම ඉහළ පරිපාලන නිලධාරීන් එක්‌ ව පිළියෙල කළ කාලගුණ විපර්යාස වාර්තාව මහා බොරුවක්‌ යෑයි කියමින් ඔහු එය ප්‍රතික්‌ෂේප කළේa ය. ඔහු කියා සිටින්නේ මේ කාලගුණ විපර්යාස බොරුව චීන වෙළෙන්දන් හා ඇමෙරිකාවේ ම සිටින හතුරන් විසින් ගොතන ලද මහා බොරුවක්‌ බවයි. ගෝලීය උණුසුම් වීම ආදි දේ කියමින් ඇමෙරිකානු ජනතාව බියපත් කරන විද්‍යාඥයන් පන්නා දැමිය යුතු යෑයි ට්‍රම්ප් කීවේ ය.

දේශපාලකයන් හා සංස්‌කෘතික බලධාරීන් විද්‍යාවට ගරු කරන විට සාමාන්‍ය ජනතාව තුළ ද ඒ ගැන ගරුත්වයක්‌ විශ්වාසයක්‌ ගොඩනැඟේ. මන්ද යත් දෘෂ්ටිවාදය (Ideology) ගොඩනැඟෙන්නේ ඉහළ සිට පහළට බැවිනි.

1519 තරම් ඈත අතීතයේ දී මැගලන් සිය ගවේෂණ සිදු කරද්දී ස්‌පාඤ්ඤ රජු ඔහුට උදව් කළේ ය. එසේ ම පෘතුගාල රැජන ද උදව් කළා ය. මේ අයගේ උදව් නො තිබිණි නම් ඔහුට තම ගවේෂණ කළ නො හැකි ව තිබිණි. නිව්ටන් සැලකුව හොත් ඔහුට ඈන් රැජන ගෙන් සුවිශාල ලෙස අනුග්‍රහ ලැබිණි. රැජන නිව්ටන්ට කෙතරම් හිතවත් වී ද යත් ඔහුට 1705 දී නයිට්‌ පදවිය ද දුන්නා ය. විද්‍යාඥයන්ට දේශපාලකයන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ.

විද්‍යාත්මක ඥනය අත්පත් කරගන්නට යම් රටක්‌ සමත් වූයේ නම් ඒ හුදු විද්‍යාඥයන්ගේ දක්‌ෂතාවන් නිසා පමණක්‌ නො ව එරට තුළ සිටි දේශපාලකයන්ගේ ක්‍රියා ඇතුළු සමස්‌ත දෘෂ්ටිවාදය හේතු කොටගෙන ය. ඇමෙරිකාව, රුසියාව, ඊශ්‍රායලය අතීතයේ දී විද්‍යා ඥානයෙන් දියුණු වූවේ මේ දෘෂ්ටිවාදය විද්‍යාත්මක චින්තනයට හිතකර එකක්‌ වූ බැවිනි. ඊශ්‍රායලය, මැද පෙරදිගින් මුදාගත් ඊශ්‍රායලයේ වීරයා වූ ආරක්‌ෂක ඇමැති මෝෂේ දයාන් යුද්ධය ජයගත්තේ සිය පෞරුෂය හා යුදෙව් විද්‍යාඥයන්ගේ ඥනය උදව් කරගත් හෙයිනි. මෝෂේට තිබුණේ එක්‌ ඇසකි. එහෙත් ඔහු පසුපස මහා බුද්ධිමත් විද්‍යාඥයෝ රැසක්‌ හා විද්‍යා උපදේශකයෝ සිටිය හ.

Hafia විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Oz Almorg මොෂේ දයාන් ගැන මෙසේ කියයි.

"ඔහු පෙනුමෙනුත් Bionic කෙනෙක්‌ වගෙයි. කටහඬෙත් තිබුණේ යාන්ත්‍රික ශබ්දයක්‌. ඔහුගේ ඇඟේ ම විද්‍යාව තිබුණා. සටන්වල දී ඔහු විද්‍යාත්මක අංශවල බුද්ධිමතුන්ගේ උපදෙස්‌ ගත්තා".

ඇත්තෙන් ම, විද්‍යාව ප්‍රතික්‌ෂේප කරන්නට සාමාන්‍ය ජනතාව පෙලඹී ඇත්තේ එය රටේ නායකයන්ගේ හා පොදුවේ දෘෂ්ටිවාදයේ වරදක්‌ නිසා මිස විද්‍යාවේ වරදක්‌ නිසා නො වන බව වටහාගත යුතු ය.

කාලගුණ විපර්යාස ගැන විද්‍යාත්මක අධ්‍යයන බොරු යෑයි ඇමෙරිකානු නායකයා කියද්දී ඔහුට ඡන්දය දුන් අය ගෙන් බාගයක්‌ වත් ඔහු කියන දේ අනුමත කරනු ඇත. එය දෘෂ්ටිවාදයේ ස්‌වභාවයයි.

මනෝඡ් රත්නායක