logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අපරාධ මර්දනය සඳහා විද්‍යාත්මක ඥනය භාවිතයේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පසුගිය දා ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙලේ දී කියා සිටියේ අධි තාක්‌ෂණික උපකරණ නොමැති වීම ලංකාවේ අපරාධ මර්දනයට ප්‍රබලතම බාධාවක්‌ බවයි. ඒ කතාවෙහි හරය වන්නේ විද්‍යාත්මක උපකරණ ද ඇතුළත් ව සමස්‌ත විද්‍යාත්මක ඥනයෙහි ඌනතාව අපරාධ මර්දනයට බාධා පමුණුවන බවයි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කළේ ජනවාරි 28 වැනි දා වුව ද මීට පෙර විවිධ පර්යේෂකයන් මේ කරුණ අවධාරණය කළ අවස්‌ථා ඇත. වසර 13කට පෙර එනම් 2006 දී ස්‌වීඩන පර්යේෂකයෙක්‌ සිය අධ්‍යයනයක්‌ හරහා මේ කරුණ පෙන්වා දුන්නේ ය. එහි දී එම පර්යේෂකයාගේ අවධානය ලක්‌ වූයේ පොලිසිය විසින් අල්ලාගන්නා සැකකරුවන් ප්‍රමාණය හා නිශ්චිත ව වරදකරුවන් බවට පත් කොට දණ්‌ඩනයට යටත් කරනු ලබන ප්‍රමාණය අතර පවතින වෙනස ගැනයි. 2006ට පෙර එම ප්‍රතිශතය 04%ක්‌ තරම් අඩු අගයක පැවැති බව එම ස්‌වීඩන අධ්‍යයනය මඟින් තහවුරු වූ අතර එවැනි අඩු මට්‌ටමක පැවතීමට හේතුව ද පැහැදිලි කරන ලදි. එම හේතුව නම් අපරාධ යුක්‌ති පසිඳලීමේ ක්‍රමවේදය තුළ විද්‍යාත්මක සාක්‌ෂ්‍ය හා ඥනයේ අඩු වීමයි.

විද්‍යාත්මක සාක්‌ෂ්‍ය භාවිතය අවම මට්‌ටමක පැවතීමට විවිධ හේතු පවතියි. මූලික ව ම ඒ සඳහා උචිත ප්‍රතිපත්තියක්‌ නොමැතිකමත් දෙවනුව විශේෂඥ ඥනයේ හා තෙවනුව අධි තාක්‌ෂණික උපකරණවල හිඟකමත් හේතු වශයෙන් දැක්‌විණි.

කෙසේ නමුත් මේ තත්ත්වය මැඬලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වරින් වර විවිධ පියවර ගෙන ඇති අතර එහි එයට අදාළ නවතම පියවර වන්නේ පෙබරවාරි හය වැනි දා (අද) අපරාධ බුද්ධි විශ්ලේෂක කාර්යංශය (Crime Intelligence Analysis Bureau) විවෘත කිරීමයි.

කොළඹ 07 මේට්‌ලන්ඩ් පෙදෙසේ පිහිටි අපරාධ වාර්තා කොට්‌ඨාස පරිශ්‍රයෙහි මේ නව කාර්යංශය ක්‍රියාත්මක වන අතර එය විවෘත කරනු ලබන්නේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා අතිනි.

මේ නව ඒකකය භාර ව තිබෙනුයේ දැනටත් පොලිස්‌ සේවාවේ පවතින විශේෂඥ විද්‍යාත්මක ඒකකයක්‌ වන අපරාධ කොට්‌ඨාසයේ අධක්‌ෂවරයා ද වන පොලිස්‌ අධිකාරි ජගත් සේරම් මහතාට ය. එහෙයින් අපරාධ මර්දනයට පොලිසිය විද්‍යාත්මක ඥනය උපයෝගී කරගන්නට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයට ද යන්න ගැන දැනගැනීමට විදුසර අපි ජගත් සේරම් මහතා මුණගැසුණෙමු.

පසුගිය දා ඇමෙරිකානු පොලිසිය මිඩ්ලන්ඩ්හි අපරාධකරුවකු මර්දනයට ෙඩ්‍රාaන තාක්‌ෂණය යොදාගෙන තිබිණි. කුඩා දැරියක පැහැරගෙන භූගත බංගරයකට රිංගූ අපරාධකරු මර්දනයට පොලිසිය ෙඩ්‍රාaන යානා උපයෝගි කරගත්තේ ය.

ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලිස්‌ පොලිසිය විද්‍යාත්මක පර්යේෂණ උපයෝගි කරගෙන අපරාධයක්‌ සිදු වන්නට පෙර අපරාධය වැළැක්‌වීමේ ක්‍රම ගැන අවධානය යොමු කරමින් සිටී. ජාත්‍යන්තර ව මෙවැනි තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින විට ලංකාව සිටින්නේ තවමත් පසුගාමී තත්ත්වයක නො වේ ද යන පැනය අපි පොලිස්‌ අධිකාරි ජගත් සේරම් මහතා වෙතින් විමසීමු.

"අපරාධ මර්දනය සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයෙහි ඇති වැදගත්කම කිසිසේත් ම සුළුවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක ඥනය ක්‍රම කීපයකට අපරාධ මර්දනයට අදාළ වනවා. මුලින් ම විද්‍යාත්මක අධ්‍යයන මඟින්. දෙවනුව ඉහළ මට්‌ටමේ තාක්‌ෂණික උපකරණ හා විශේෂඥ සහාය මඟින්. මා අධ්‍යක්‌ෂ ධුරය දරන අපරාධ වාර්තා කොට්‌ඨාසයේ දැක්‌ම (Vision) වන්නේත් විද්‍යාත්මක ඇසකින් අපරාධ නිවාරණයයි.

අපරාධයක්‌ කියන්නේ මුළුමහත් සමාජ තලය ම භීතිදායක කම්පනයකට ගොදුරු කරගන්නා වූ, එමෙන් ම රටක සංවර්ධනයට හා ඵලදායිතාවට දැඩි බලපෑමක්‌ ඇති කරන සමාජ ව්‍යසනයක්‌. අපරාධ මර්දනය සඳහා විද්‍යාත්මක සාක්‌ෂ්‍ය අතිශයෙන් වැදගත් වනවා. එම විද්‍යාත්මක සාක්‌ෂ්‍ය එක්‌ කරගන්නට හැකි වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයෙන්. විද්‍යාත්මක ඥනය බැහැර කොට අපරාධ මර්දනයේ සාර්ථකත්වය අත්පත් කරගත නො හැකි ය යන්න මුසාවක්‌ නො වෙයි. විද්‍යාත්මක සාක්‌ෂ්‍ය වැඩිපුර භාවිත නො වූ නිසා පොලිසිය අල්ලාගත් සැකකරුවන් ගෙන් සියයට හතරක්‌ (04%) තරම් සුළු ප්‍රතිශතයක්‌ පමණක්‌ වරදකරුවන් බවට පත් වූ කාලයක්‌ තිබුණා. දැන් තත්ත්වය වෙනස්‌ වෙමින් පවතිනවා. අපි විද්‍යාත්මක ඥනය ගැන විශ්වාසය තබමින් ඉදිරියට යනවා. දැන් තත්ත්වය ඔබට මා කියන්නම්. දැන් අපේ පොලිසියට හැකියි, අත්අඩංගුවට ගැනුණ සැකකරුවකුගේ දත්ත තත්පර 30ක්‌ ඇතුළත විශ්ලේෂණය කොට ඔහුගේ පෙර වැරැදි ගැන වාර්තා සස අවශ්‍ය ස්‌ථානවලට ඒ දත්ත සම්ප්‍රේෂණය කරන්නට. ඒ හරහා යුක්‌තිය පසිඳලීම ඉතා වේගවත් වනවා.

මේ වේගවත් බවට, නිරවද්‍යතාව ඉහළ යැමට මූලික හේතුව විද්‍යාත්මක අංශවලින් ලද නව ජයග්‍රහණයි. ඊට හොඳ ම උදාහරණයක්‌ තමයි මගේ කොට්‌ඨාසය යටතේ පවතින ඇඟිලි සලකුණු කාර්යංශය. අතීතයේ දී මේ ඇඟිලි සලකුණු හඳුනාගෙන පෙර වැරැදි හා සස වාර්තා ලබා දීමට දීර්ඝ කාලයක්‌ ගත වුණා. එහෙත් දැන් නව තාක්‌ෂණයේ උදව්වෙන් මේ දේවල් ඉතා සුළු මොහොතකින් කළ හැකියි. ඉස්‌සර මේ වාර්තා යෑව්වේ තැපෑලෙන්. ඉතිං ඔබට හිතාගත හැකියි මොන තරම් කාල නාස්‌තියක්‌ ඒ කාලේ සිදු වූවා ද කියා"

තත්පර තිහෙන් අපරාධය විශ්ලේෂණය

තත්පර තිහක්‌ ඇතුළත අපරාධකරුවකු පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කොට එම දත්ත රට පුරා ඕනෑ ම පොලිසියකට සන්නිවේදනය කොට ඒ හරහා අපරාධකරුවන් හඹා යැමේ හැකියාව ලැබී ඇත්තේ නව තාක්‌ෂණයට ස්‌තූතිවන්ත වන්නට ය.

ශ්‍රී ලංකාව තුළ ඇඟිලි සලකුණු මඟින් අපරාධකරුවන් හඳුනාගැනීමේ ක්‍රමවේදයට දීර්ඝ ඉතිහාසයක්‌ ඇතත් ඒ සඳහා නව තාක්‌ෂණය යොදාගත්තේ ඉතා මෑත දී ය. 1908 වර්ෂයේ දී නිලධාරීන් අට දෙනකු ගෙන් ඇරඹි ඇඟිලි සටහන් කාර්යංශය 1948 දී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ කාර්මික අංශය ලෙස නම් කරන ලදි.

දිවයිනේ අධිකරණ මඟින් අපරාධවලට වරදකරුවන් කරන ලද අයට දඬුවම් දීමෙන් පසු ඇඟිලි සටහන් කාර්යංශය මඟින් එම දඬුවම් විස්‌තර සහිත අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් පත් ගබඩා කර තබයි. 2012 දී ස්‌වයංක්‍රීයකෘත ඇඟිලි සටහන් හඳුනාගැනීමේ දත්ත පද්ධතිය (Automated Fingerprint Identification System) ස්‌ථාපිත කරනු ලැබූ අතර උක්‌ත දත්ත දැන් තැන්පත් කර ඇත්තේ එහි ය. මෙමඟින් දිවයිනේ සැම අධිකරණයක්‌ වෙත ම පෙර වැරැදි වාර්තා ලබා දීම මෙන් ම සියලු ම පොලිස්‌ ස්‌ථාන වෙත හා ත්‍රිවිධ හමුදා ආදි රාජ්‍ය ආයතන වෙත බඳවාගැනීමේ දී අවශ්‍ය නිෂ්කාශන වාර්තා ලබා දීම ද කෙරේ. නව විද්‍යාත්මක ක්‍රමවල උපකාරයෙන් මේ දේවල් ක්‌ෂණික ව ලබා දීමේ හැකියාව ඇත. මේ හැකියාව ලැබී ඇත්තේ මේ පද්ධතිය දිවයිනේ ඇති අපරාධ කොට්‌ඨාස විමර්ශන ඒකක සමඟ ජාලගත කර ඇති හෙයිනි.

සැකකරුවන් ලක්‌ෂ 19ක්‌ වැනි විශාල සංඛ්‍යාවකගේ තොරතුරු වාර්තා කොට්‌ඨාසය තුළ පවතින අතර මේ අයගේ දත්ත සසඳන ඉතා ඉක්‌මනින් ක්‍රියාකාරී වීමට හැකි ය.

සැකකරුවන් ලක්‌ෂ 19කගේ දත්ත

අප පොලිස්‌ අධිකාරී ජගත් සේරම් මහතා වෙතින් විමසූ අනෙක්‌ ප්‍රශ්නය වූයේ වෙනත් බොහෝ බටහිර රටවල හා ඇතැම් ආසියානු රටවල ෙඩ්‍රාaන තාක්‌ෂණය, ජාන තාක්‌ෂණය, නැනෝ තාක්‌ෂණය වැනි තාක්‌ෂණයන් අපරාධ මර්දනයට යොදාගත්ත ද අපේ රටේ එවැනි තත්ත්වයක්‌ තවම බිහි ව නැත්තේ ඇයි ද යන්නයි.

දැනටත් ෙඩ්‍රාaන භාවිත වනවා

"ශ්‍රී ලංකා පොලිසිය දැනටත් අවශ්‍ය අවස්‌ථාවල දී ෙඩ්‍රාaන තාක්‌ෂණය භාවිත කරනවා. ඒවා බටහිර රටවල වගේ ඉතා ම ඉහළ ම තාක්‌ෂණයෙන් යුතු ඒවා නො වීමට යම් ඉඩක්‌ තියෙනවා. මෙය දිනෙන් දින දියුණු වන අලුත් වන තාක්‌ෂණයක්‌ නෙ. ඉතිං අද තියෙන දේ නො වෙයි හෙට, වඩාත් දියුණු දෙයක්‌ බිහි වනවා. කොහොම වෙතත් අපි බලාපොරොත්තු වනවා ඉතා ම දියුණු අධි තාක්‌ෂණික ෙඩ්‍රාaන ලබාගන්න. මූලස්‌ථානය හා එක්‌ ව ඒ පිළිබඳ කටයුතු සම්පාදනය කරනවා.

ඉදිරියේ දී අපරාධ ස්‌ථාන පර්යේෂණාගාරවල (Crime Lab) ප්‍රධාන පර්යේෂණාගාරය මගේ කාර්යාලයේ ඉදි වනවා. එවිට ඒ හරහා දියුණු DNA තාක්‌ෂණ ක්‍රමවේද ද ප්‍රවර්ධනය කරන්න හැකි වෙයි කියා අපේක්‌ෂා කරනවා"

විද්‍යාව හැදැරූ අයට විශේෂ තැනක්‌

විද්‍යාව හැදැරූ අයට පොලිසිය තුළ අනාගතයේ දී විශේෂ රැකියා අවස්‌ථා බිහි වන බව ද ඒවා බොහෝ විට ඉහළ වැටුප් තල සහිත ඒවා බව ද ජගත් සේරම් මහතා පැවසී ය.

"අපි උත්සාහ කරනවා ඉදිරියේ දී විද්‍යා උපාධිධාරීන් වගේ ම ජීව විද්‍යා, ගණිත හා තාක්‌ෂණ විද්‍යා අංශවලින් උසස්‌ පෙළ සමත් අයව වැඩි වැඩියෙන් පොලිසියට බඳවගන්න. මොකද මේ විශේෂ සේවාවලට අවශ්‍ය වන්නේ විද්‍යාත්මක දැනුම සහිත අය. මා කලින් ද සඳහන් කළා පිහිටුවන අපරාධ පර්යේෂණාගාර ගැන.

ඒ වගේ ස්‌ථානවලට අවශ්‍ය වන්නේ ක්‍රමික විද්‍යා අධ්‍යාපනයක්‌ ලද අය. ඉතිං විද්‍යා හැදැරූ අයට එවැනි රැකියාවලට ගනිද්දී අනිවාර්ය ප්‍රමුඛතාවක්‌ දෙන්න වෙනවා.

විද්‍යාත්මක ඥනයෙන් ලබාගත හැකි සේවය ඉදිරියේ දී තවත් පුළුල් ලෙස ලබාගැනීම අපගේ අරමුණයි. ඒ අරමුණෙන් තමයි CIAB (Crime Intelligence Analyses Bereau) පිහිටෙව්වෙත්"

දිනපතා සිදු වන අපරාධ පිළිබඳ ක්‍රමික වාර්තා පවත්වාගෙන යැම හා ඒවා විද්‍යාත්මක ව විශ්ලේෂණය කිරීම මේ නව ඒකකයෙන් සිදු වන එක්‌ මෙහෙයකි. මේ අපරාධ වාර්තා අධ්‍යයනය හා විශ්ලේෂණය මඟින් අපරාධ රටා හඳුනාගන්නට හැකියාව ලැබේ. අපරාධ රටා හඳුනාගැනීමෙන්, ඉදිරියට සිදු වන්නට යන අපරාධ ගැන යම් අවබෝධයන් ලබන්නට පවා පුළුවන. මෙලෙස පූර්ව අපරාධ හඳුනාගැනීම් හා අනුමාන කිරීම් මඟින් අපරාධ මර්දනය බටහිර රටවල අවධානයට ලක්‌ වූ ක්‍රියාදාමයකි. Predictive Policing යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රියාදාමය ඇමෙරිකාව ඇරඹුවේ මීට වසර කීපයකට පෙර ය. එවැනි ආරම්භ සඳහා පාදකස්‌ථම්භ සැපයුවේ ද විද්‍යාත්මක අධ්‍යයනයන් ය.

සැන්ටා ක්‌ලාරා විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය G. O. Mohler ඇතුළු පිරිස විසින් සිදු කරන ලද හා Journal of American Statistical Asso - 2015 කලාපයේ පළ වූ Randomized Controlled Field Trials of Predictive Policing නම් අධ්‍යයනය පෙන්වා දෙන්නේ සංඛ්‍යාතමය ක්‍රමවේද භාවිත කරමින් ඉදිරියේ දී සිදු වන්නට ඉඩ ඇති අපරාධ ගැන පෙරැයීම් කරන්නට හැකි බව ය.

International Journal of Research and Policy ජර්නලයට Algorythmic Prediction in Policing යන අධ්‍යයනය සපයන Lyria Benner Moses පෙන්වා දෙන්නේ Predictive Policing මඟින් අපරාධ මර්දනයට මහඟු මෙහෙයක්‌ වන බව ය. Andrew G. Ferguson විසින් සිදු කරන ලද හා Washington University Law Review ජර්නලයේ පළ වූ Policing Predictive Policing මැයෙන් වූ අධ්‍යයනය ද මේ ක්‌ෂේත්‍රය අරබයා විශාල ආලෝකයන් සපයයි. (මේ අධ්‍යයනයේ කතුවරයා Clarke නීති විද්‍යාලයයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි.) ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකාව තුළ අපරාධ කලින් හඳුනාගැනීමට, ඇත්තෙන් ම මර්දනයට මේ Predictive Policing ක්‍රමවේදය ඉතා ඵලදායී බවයි. ඔහුට අනුව Predictive Policing යනු කාලගුණ අනාවැකි කියනවා වැනි දෙයකි. එනම් හෙට මෙහාට වහී වි යෑයි කී විට ඊට සූදානම් වන්නට කල් තබා හැකි ය. අපරාධකරුවන්ගේ චර්යා හා අපරාධ ස්‌ථානවල දත්ත ආදිය හරහා සංඛ්‍යානමය ක්‍රමවේද හා වෙනත් නව තාක්‌ෂණ ක්‍රම උපයෝගී කරගෙන සියයට අසූවක්‌ (80%) තරම් දුරකට සාර්ථක ව පෙරැයීම් කළ හැකි ය. මේ ක්‍රමවේදයේ උදව්වෙන් ලොස්‌ ඇන්ජලීස්‌ පොලිසිය ගෙවල් බිඳුම් සියයට විසි පහකින් (25%) පහත හෙළන්නටත් කැලිෆොaනියා පොලිසිය වාහන හොරකම් සියයට විසි එකකින් (21%) පහත හෙළන්නටත් සමත් වූ බව මහාචාර්ය Moses පෙන්වා දෙයි.

නිදසුනක්‌ දක්‌වතොත් පොලිසියේ අපරාධ විද්‍යාඥයන් ලබා දෙන දත්ත හා මෘදුකාංග උදව් කරගෙන අපරාධයක්‌ වන්නට ඉඩ ඇතැයි අනුමාන කරන තැනකට ගොස්‌ අපරාධය සිදු වන්නට පෙර අපරාධකරුඅ ත්අඩංගුවට ගනු ලැබේ. මේ චිත්‍රපටයක්‌ නො ව තථ්‍ය ලෝකයේ සිදු වන දේවල් ය.

අපේ විශ්ලේෂණ බුද්ධි කාර්යංශයත් එවැනි තත්ත්වයකට වර්ධනය වනු ඇතැයි යන්න අපේ අපේක්‌ෂාවයි.

ජගත් සේරම් මහතාගේ අධීක්‌ෂණයෙන් යුතු මේ කාර්යංශය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අපරාධ විද්‍යාඥයන්ගේ සහාය ද ලැබේ. ඔවුන් දැනටමත් අපරාධ මර්දනය සඳහා සුවිශේෂ මෘදුකාංගයක්‌ ද නිර්මාණය කොට ඇත.

විදුර විඡේරත්න