logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


මෙරට වායු දූෂණය අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක්‌

පසුගිය වසරේ අගෝස්‌තු මාසයේ දී නිකුත් කරන ලද ගැසට්‌ නිවේදනයකට අනුව පසුගිය ජූලි මාසයෙන් පසු මෙරටට ගෙන්විය හැක්‌කේ යුරෝ 4 ප්‍රමිතියෙන් යුත් රථ වාහන පමණක්‌ බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන ඒකකයේ අධ්‍යක්‌ෂ සුගත් ධර්මකීර්ති මහතා පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රචාරයක්‌ මාධ්‍ය මඟින් සිදු වී නැති බව සඳහන් කරන ඒ මහතා රථවාහන මඟින් විමෝචනය වන වායු දූෂක අඩු කිරීම මෙකී ප්‍රමිතිය මඟින් සපුරාගැනීමට අපේක්‌ෂිත ප්‍රධාන පරමාර්ථයක්‌ වන බව සඳහන් කරයි.

ඒ මහතා මේ කරුණ සිහිපත් කර සිටියේ ඉකුත් දා වායු දූෂණය සහ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන ඒකකය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක දී ය.

වැඩමුළුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ධර්මකීර්ති මහතා ගෘහස්‌ථ වායු දූෂණය වැළැක්‌වීම සඳහා වන මාර්ගෝපදේශන සංග්‍රහයක්‌ මේ දිනවල පිළියෙල කරමින් පවතින බව ද අනාවරණය කළේ ය. රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජිත් මහානාම මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්‌ විසින් මෙය සකස්‌ කෙරෙයි.

මේ වැඩමුළුවේ දී දේශනයක්‌ කළ කාර්මික තාක්‌ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ

රසායනාගාර තාක්‌ෂණඥ ආර්. එන්. ආර්. ජයරත්න මහතා පවසා සිටියේ මෙරට කර්මාන්ත ඇතුළු ස්‌ථානීය වායු දූෂක ප්‍රභව පාලනය කිරීම සඳහා විමෝචන ප්‍රමිති මාලාවක්‌ මේ වන විට කෙටුම්පත් කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි. ඒ අනුව ඉදිරියේ දී එකී ප්‍රමිති පිළිබඳ ගැසට්‌ නිවේදනයක්‌ ද නිකුත් වනු ඇතැයි අපේක්‌ෂිත ය.

කලක පටන් මෙරටට අඩුපාඩුවක්‌ ව පැවැති වායු තත්ත්ව මැනීමේ මිනුම් උපකරණ 2ක්‌ මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද බව මේ වැඩමුළුවේ දී අනාවරණය කෙරිණි. ඉන් එකක්‌ කොළඹ ද, අනෙක මහනුවර ද සවි කෙරෙනු ඇත.

වැඩමුළුවේ දී අදහස්‌ දැක්‌වූ පරිසර අමාත්‍යංශයේ හිටපු ලේකම්, ප්‍රවාහන, ආර්ථික හා මූල්‍ය විශේෂඥ ආචාර්ය ඩී. එස්‌. ජයවීර මහතා වායු දූෂණය අඩු කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු වුවත් අප රටේ පොදු ප්‍රවාහන සේවය මේ වන විට සියයට 44ක්‌ දක්‌වා පහත බැස ඇතැයි පෙන්වා දුනි. 2008 වසරේ පොදු ප්‍රවාහනය පෞද්ගලික වාහනවලට සාපේක්‌ෂ ව සියයට 67ක මට්‌ටමක පැවතිණි. මින් සියයට 63ක්‌ ම බස්‌ රථ විය. මේ වන විට බස්‌ රථ සියයට 38.6ක්‌ දක්‌වා පහළ බැස ඇත.

ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට ළගා වූ 2014 වසරේ දී මෙරට කාර්, මෝටර් සයිකල් ආදි සැහැල්ලු පෞද්ගලික වාහන සඳහා වන ඉල්ලුමෙහි වර්ධනයක්‌ සිදු වන ආකාරය නිරීක්‌ෂණය කළ හැකි ය.

වැඩමුළුවට එක්‌ වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්. ඩී. එස්‌. ප්‍රේමසිරි මහතා සිය දේශනයේ දී සඳහන් කළේ වර්තමානයේ මෙරට නගර 11ක පමණ අඩු වියදම් රසායනික ක්‍රම අනුසාරයෙන් වායු දූෂණය මිනුම් කෙරෙන බවයි. මේවායින් ලබා දෙන්නේ මාසික සාමාන්‍ය අගයක්‌ පමණක්‌ වන නමුත් මිනුම් කරන මොහොතේ ම වායු තත්ත්ව අගයයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු යොදමින් සිටින බව ද ඒ මහතා පවසා සිටියේ ය.

2017 වර්ෂයේ දත්තවලට අනුව කොළඹ නගරයේ හා අවට ඇතැම් ස්‌ථානවල වායු දූෂණ අගයයන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති සීමාව ඉක්‌ම ගොස්‌ ඇති බව ද ඒ මහතා අනාවරණය කළේ ය. මරදාන එවැනි එක්‌ ස්‌ථානයකි. නගරයේ අංශුමය ද්‍රව්‍ය මට්‌ටම ඉහළ යැමෙන් ඇති වන දෘෂ්‍ය බාධාව බොහෝ විට මීදුම ලෙස වරදවා හඳුනාගැනෙන බව ද ඒ මහතා පෙන්වා දුනි. කොළඹ නගරයේ මිනුම් කර ඇති ස්‌ථානවල රාත්‍රී කාලයේ පවා අංශුමය ද්‍රව්‍ය රැඳී පවතින බවත් එයට හේතුව ඉහළ වායුගෝලය සිසිල් වීම පොළොව සිසිල් වීම තරම් වේගයෙන් සිදු නො වීම බවත් ඒ මහතා සඳහන් කළේ ය.

ඒ මහතාට අනුව අනාගතයේ ශ්‍රී ලංකාවේ ද ඉන්දියාවේ හා චීනයේ වැනි වායු දූෂණ තත්ත්වයන් වාර්තා වීමේ අවදානමක්‌ පවතියි.

මේ වැඩමුළුවේ දී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්‌ෂ ආචාර්ය සුනිමල් ජයතුංග, සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ වෛද්‍ය ඉනෝකා සුරවීර සහ පරිසර අමාත්‍යංශයේ පරිසර දූෂණ පාලන හා රසායන ද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්‌ෂ සුජීවා ප්‍රනාන්දු මහත්මිය ද දේශන පැවැත්වූ හ.