logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අපරාධකරුවන් හඳුනාගැනීමෙහි ලා සුනඛයන් ඇතුළු සතුන් සතු සුවිශේෂ හැකියාව

අපරාධ මර්දනයට සුනඛයන් සතු හැකියාව විශිෂ්ටයි

සුනඛයන්ට ලබා දෙන පුහුණුවේ තීව්‍රතාව මත ඔවුන් රැස්‌ කර දෙන සාක්‌ෂ්‍යවල නිරවද්‍යතාව රදා පවතින බව Rigorous Training of Dogs Leads to High Accuracy in Scent Matching මැයෙන් වූ අධ්‍යයනය පෙන්වා දෙයි. සුනඛයන් අපරාධකරුවන් ඇල්ලීම කරන්නේ මනුෂ්‍ය ගන්ධය ඔස්‌සේ ය. එනම් ගන්ධ සාම්පල සැසදීමෙනි. මනුෂ්‍යයන්ට සාපේක්‌ෂ ව සුනඛයන්ගේ ගන්ධ සංවේදන අවයව ඉතා තියුණු ය. එහෙත් ඒවා සුනඛයා ගෙන් සුනඛයාට වෙනස්‌ වේ. එසේ ම එම පුහුණු කරවීම් මගින් සංවේදන උත්තේජනය (තියුණු) කළ හැකි ය. ප්‍රංශයේ Compiegne විශ්වවිද්‍යාලයයේ Charistopher Egles විසින් සිදු කරන ලද මේ අධ්‍යනය මගින් පෙන්වා දුන් තවත් වැදගත් කරුණක්‌ වන්නේ වෝහාරික සාක්‌ෂ්‍ය ලෙස පොලිස්‌ සුනඛයන්ගේ නිරීක්‌ෂණ ඉතා ඵලදායි බවයි. එසේ ම ඒ ඵලදායි බව ඉහළ යැමට නිරන්තර පුහුණුව වැදගත් වන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනයට අදාළ තොරතුරු PLOS One ජර්නලයේ පළ වී තිබේ.

Mass Spectrometry නමැති විශ්ලේෂණ තාක්‌ෂණය යොදාගෙන සිදු කරනු ලැබූ අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත්තේ සම මගින් නිපදවන වාෂ්පශීලී ගන්ධ ද්‍රව්‍යවල පවත්නා ඇතැම් සංයෝග පුද්ගල අනන්‍ය බවයි. එනම් කෙනකු තව කෙනකු ගෙන් වෙන් කර හදුනාගැනීමට මේ ගන්ධය යොදාගත හැකි බවයි. මේ ගන්ධ ද්‍රව්‍ය බහුලව වාෂ්පශිලී වුව ද ඒවායේ අංශු කොටස්‌ අදාළ පුද්ගලයා පරිහරණය කළ දේවල (උදා :- ඇදුම්, සෙරෙප්පු) රැදී පවතියි. මේ සුවදට සමාන පුද්ගලයකු අල්ලාගැනීම සුනඛයාගේ කාර්යයභාරයයි. මෙය සැබැවින් ම සම්පාල ගැළපීමේ ක්‍රියාවකි. තම අධ්‍යයනයේ දී Egles උපයෝගි කරගන්නේ ෂෙපර්ඩ් සුනඛයන් 13කි. ඔවුන් ගෙන් 9ක්‌ ජර්මන් ද, 4ක්‌ බෙල්ජියන් ද විය.

මෙහි දී මේ සුනඛයන්ට ඉව අල්ලන්නට සාම්පල ලබා දෙන ලදි. එනම් අපරාධ ස්‌ථානයකින් ලබාගත් සුවද සහිත සාම්පලයක්‌ පළමුqව ද, සැක සහිත සාම්පල කීපයක්‌ පසුව ද ලබා දෙන ලදි. ඔවුන්ට පසුව මේවා ගළපන සේ උපදෙස්‌ දෙන ලදි. මුල් අවස්‌ථාවේ දී ඔවුන් පෙන්වූ සාර්ථකත්ව ඉතා සුළු මට්‌ටමක විය. එහෙත් ඔවුන්ට අවුරුදු 10ක්‌ තිස්‌සේ ලබා දුන් පුහුණුවෙන් පසු ඔවුන්ට 90%ක ප්‍රතිශතයක නිරවද්‍යතාවකින් එම සාම්පල ගැළපීමට හැකි විය. මේ අධ්‍යයනය මගින් තහවුරු වන්නේ දීර්ඝකාලීන එමෙන් ම ප්‍රබල පුහුණුවක්‌ මගින් මේ නිරවද්‍යතාව ඉහළ නැංවිය හැකි බවයි.

ගන්ධ සංවේදනය හා අපරාධ ඇල්ලීම

බල්ලකුගේ ගන්ධ සංවේදනය මිනිසකුගේ මෙන් 1000 ගුණයක්‌ වන බව කියවේ. අපේ නහයේ ඇත්තේ ගන්ධ ප්‍රතිග්‍රාහක (scent receptors) මිලියන 5ක්‌ පමණි. ජර්මන් ෂෙපර්ඩ් සුනඛයකු සතු ව ගන්ධ ප්‍රතිග්‍රාහක මිලියන 220ක්‌ පමණ පවතියි. හාවකු සතු ගන්ධ ප්‍රතිග්‍රාහක ප්‍රමාණය මිලියන 100කි.

කුඩා අවධියේ දී බොහෝ ක්‌ෂීරපායි සතුන් මවගේ තනපුඩු හදුනාගන්නේ දෘෂ්‍ය සංවේදන මගින් නො ව කිරි සුවෙදන් යෑයි කියවේ. එසේ වුවත් ක්‌ෂීරපායියකුගේ මේ ඉහළ ගන්ධ සංවේදනය වැඩිහිටි වියේ දී වර්ධනය නො වේ.

නුපුහුණු බල්ලන් පවා අපරාධකරුවන් තැතිගන්වනවා

අපරාධකරුවන් ඇල්ලීමේ හැකියාව ඇති බල්ලන් පමණක්‌ නො ව නුපුහුණු බල්ලන් පවා අපරාධකරුවන් අධෛර්ය කිරීමට සමත් බව නවතම අධ්‍යයනයක්‌ පෙන්වා දෙයි. එම අධ්‍යයනය සිදු කරන ලද්දේ Kyle Iboshi විසිනි. Iboshi ඇමෙරිකාවේ KGW රූපවාහිනි නාලිකාවේ පර්යේෂණ නිලධාරියකු සේ කටයුතු කරන අතර ස්‌වෙච්ඡා පර්යේෂකයකු ලෙස ද ක්‍රියා කරයි. Iboshi තම අධ්‍යයනයේ දී කළේ ගෙවල් බිදීමේ වරදට සිරගත ව සිටින පුද්ගලයන් 84 දෙනකු සමග සාකච්ඡා පැවැත්වීමයි. සිරගෙදර නේවාසික ව සිටි මේ අයට දුන් මූලික ප්‍රශ්නයක්‌ වූයේ ගෙදරකට සොරකම් සදහා ඇතුළු වීම වළක්‌වන ප්‍රධානතම කරුණු මොනවා ද යන්නයි. ඔවුන් දුන් උත්තර අනුපිළිවෙළින් සැකසූ විට පළමු තැන ලැබී තිබුණේ බුරන තඩි බල්ලකු ගෙදර සිටීම යන්න ය.

මීට අමතර ව නැෙගනහිර කෙන්ටකි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Kristie Blevins හා Joseph Kuhuns විසින් කරන ලද අධ්‍යයනයකින් ද තහවුරු වූයේ බල්ලකු ගෙදර හිදීම ගෙවල් බිදින්නන් අධෛර්ය කරවන ප්‍රබල සාධකයක්‌ බවයි. මේ නිගමනයට එළැඹියේ ඇමෙරිකාවේ ගෙවල් බිදින්නන් හා බිදින්නියන් 422ක්‌ සමග කරන ලද සම්මුඛ සාකච්ඡා හරහා ය.

බලු තීරණ සියයට අනූ අටක්‌ නිවැරැදියි

සුප්‍රකට වෝහාරික ව්‍යාධිවේදියකු වන ස්‌විට්‌සර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයයේ Lass Oesterhelweg විසින් බල්ලන්ගේ දක්‌ෂතා නිරීක්‌ෂණයට පරීක්‌ෂණයක්‌ සිදු කරන ලදි. එහි දී ඔහු කළේ වෝහාරික කටයුතු සදහා බල්ලන් යොදවාගැනීමේ හැකියාව පිළිබදව සොයා බැලීමයි. ඔහු මෙහි දී කළේ පොලිස්‌ සුනඛයන් 10 දෙනකුට, මෘත ශරීරයක්‌ තබා ඉවත් කළ කාපට්‌ එකක්‌ හදුනාගන්නට හැකි දැයි පිරික්‌සීමයි. කාපට්‌ එක මත එම මාත ශරීරය පැවතියේ මනිත්තු 10ක්‌ වැනි කෙටි කාලයක්‌ පමණි. එසේ ම කාපට්‌ විශාල සංඛ්‍යාවක්‌ ඉව කරන්නට බල්ලන්ට ඉඩ ලබා දුනි. බල්ලන් සියයට 98ක නිරවද්‍යතාවක්‌ පෙන්වූ බව එහි දී පෙනී ගියේ ය. බල්ලන් වෝහාරික කටයුතු සදහා යොදාගැනීමේ හැකියාව ගැන අධ්‍යයන කළ ඇලබාමා විශ්වවිද්‍යාලයයේ මානව විද්‍යාඥ Keith Jacobi අපූර්ව පරීක්‌ෂණයක්‌ කළේ ය. එනම් පොළොවෙහි වළලන ලද මිනිස්‌ ඇට සැකිල්ලක කොටසක්‌ සහිත ස්‌ථානයක්‌ නිරවද්‍යව ම සොයාගන්නට බල්ලකුට හැකි දැයි බැලීමයි. ඔහු ඒ සදහා පොලිස්‌ පුහුණුව ලද Cadaver බල්ලකු යොදාගත්තේ ය. ඒ සුනඛයා ඉතා නිවැරැදි ව වළලන ලද තැන පොළොව හාරන්නට පටන්ගත්තේ ය.

පොලිස්‌ සුනඛයන් ගෙන් සිදු වන මෙහෙය සුවිශාලයි

කැනඩාවේ Regina පොලිසියෙන් ලැබෙන දත්ත අනුව අපරාධකරුවන් ඇල්ලීමේ දී පොලිස්‌ සුනඛයන් වෙතින් සිදු වන මෙහෙය ඉමහත් ය. 2017 වසරේ දී එහි K-9 සුනඛ සාමාජිකයෝ වැටලීම් 190කට සහභාගි වී ඇත්තා හ. එසේ ම එහි දී සපාකැම් 24ක්‌ කොට ඇත. වැරැදි සපාකෑම් සිදු ව ඇත්තේ 2කි. එනම් ඔවුන්ගේ නිරවද්‍යතාව සියයට අනූවක පමණ ඉහළ අගයක පවතී. එසේ ම Regina පොලිසිය කළ මෙහෙයුම්වලින් සැලකිය යුතු සංඛ්‍යාවක්‌ සාර්ථක වූයේ සුනඛ සහභාගිත්ව නිසා ම ය. ඒ අවස්‌ථාවල සුනඛයන් නො සිටියා නම් ඒ වැටලීම් අසාර්ථක වන්නට තිබිණි.

සුනඛයන්ට වරදින බව මහාචාර්ය Regina ගේ මතයයි

කෙසේ වෙතත් පොලිස්‌ පුහුණු සුනඛයන්ගේ නිරවද්‍යතාව ඉතා ඉහළ බව පෙන්වා දෙන නිදසුන් මෙන්ම අධ්‍යයන ද පැවතිය ද එය එසේ නො වන බව පැවසෙන අධ්‍යයන ද පවතී.

කැලිෆොaනියා ඩේවිස්‌ විශ්වවිද්‍යාලයයේ ස්‌නායුක විද්‍යාව පිළිබද මහාචාර්ය Lis Lit හා Anita Oberbauer යන අය විසින් සිදු කරන ලද අධ්‍යයනය එවැන්නකි. Handlers Beliefs Affect Scent Detection Dog Outcomes මැයෙන් වූ මේ අධ්‍යයනය ගැන තොරතුරු Animal Cognition ජර්නලයේ පළ ව තිබිණි. එහි දී පර්යේෂකයෝ පුහුණු කරන ලද ඉහළ මට්‌ටමේ සුනඛයන් 18 තෝරාගත් හ. ඊට බෙල්ජියානු මැලිනොයිස්‌, ලැබ්රඩෝර්, ජර්මන් ෂෙපර්ඩ්, ඩච් ෂෙපර්ඩ් ප්‍රවර්ගවල සුනඛයෝ ඇතුළත් වූ හ. කාමර හතරක්‌ පිරික්‌සීමට ඔවුන්ට භාර විය. එහි දී ඉලක්‌ක සුවදක්‌ සෙවීමට ඔවුන්ට සිදු විය. ඉලක්‌ක සුවදක්‌ සෙවීමට ඔවුන්ට උපදෙස්‌ දුන්න ද එවැනි සුවදක්‌ කාමරවල නො වී ය. එහෙත් සුනඛයන් ගෙන් බහුතරය වැරැදි සහගත ලෙස දත්ත ලබා දුන් බව, එනම් සුවදක්‌ ඇති බවට දත්ත ලබා දුන් බව පර්යේෂකයන්ගේ නිගමනය විය.

මීට යම්තාක්‌ දුරකට සමාන අධ්‍යHනයක්‌ ගැන Scientific Reports ජර්නලයේ නවතම කලාපයේ (2018 නොවැම්බර්) පළ වී තිබේ. එය පොලිස්‌ සුනඛයන් ගැන නො ව විද්‍යාත්මක කටයුතු සදහා පුහුණු කළ බල්ලන් පිළිබද පර්යේෂණයකි. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ ඇමෙරිකාවේ ශාන්ත ලුවිස්‌හි පිහිටි වොෂින්ටන් විශ්වවිද්‍යාලයයේ ජීවවිද්‍යාඥ Karen DeMalteo විසිනි. මෙහි දී ඇය උපයෝගි කරගත්තේ Chesapeake Bay Retriever බල්ලෙකි. මේ සතා ආජන්ටිනාවේ දී ගද සුවද පිළිබද තියුණු පුහුණුවක්‌ ලද්දෙකි. ලබා දෙන ඉලක්‌ක නිවැරැදිව සැපිරූ විට (එනම් නිශ්චිත සාම්පලය සොයාගත් විට) පුහුණුකරුගේ ඇස්‌ දෙස එක එල්ලේ බලමින් වේගවත් ව වලිගය වනන්නට ඌ පුහුණු කර තිබිණි. ඔහුට සොයන්නට දුන්නේ Cougar වර්ගයේ සතුන්ගේ මලපහ හා මුත්‍ර ය. එහෙත් ඒ පරිශ්‍රයේ Bush Dogs, Coyote, Ocelot, Jaguar විශේෂවල සතුන්ගේ මලපහ හා මුත්‍ර ද විය. මේ බල්ලාගේ සාම්පල ගැළපීම නිවැරැදි වූයේ සියයට 55 දක්‌වා පමණි. එනම් සැලකිය යුතු ප්‍රමාණයක දොaෂ පැවතිණි. එහෙත් මේ යොදාගත් සතුන් පොලිස්‌ පුහුණුව ලද සුනඛයන් නො වූ බව කිව යුතු ය.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයන්ට ප්‍රබල චෝදනා එල්ල විය. මහාචාර්ය Lass වෙත එල්ල වූ චෝදනාව නම් නියෑදිය ඉතා ම පහළ අගයක්‌ ගැනීමයි. එනම් මෙහි සිටියේ එක්‌ බල්ලෙකි. මෙවැනි අතිශයින් කුඩා නියෑදියක්‌ පර්යේෂණයකට නො ගැළපෙන බව කියෑවිණි.

බල්ලන්ගේ සුවදට ඉව ඇල්ලීමේ හැකියාව ඉහළයි

මහාචාර්ය Lass වැනි අයගේ අධ්‍යයන මගින් බල්ලන්ගේ සුවද කෙරෙහි ඉව ඇල්ලීමේ හැකියාව අභියෝගයට ලක්‌ කළ ද ඔවුන්ගේ ඉව ඇල්ලීම් ඉහළ මට්‌ටමක පවතින බව Durham විශ්වවිද්‍යාලයයේ ජීව විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී තිබේ. මේ අධ්‍යයනයට අදාළ නිබන්ධය පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති American Society of Tropical Medicine and Hygiene වාර්ෂික සම්මේලනයේ දී ඉදිරිපත් කෙරිණි. මෙහි දී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබුණේ බල්ලන් යොදාගෙන මැලේරියා වැළදුණු දරුවන් නිරෝගි දරුවන් ගෙන් වෙන් කරගන්නා ආකාරය ගැනයි. බල්ලන්ට එය පුරුදු කරන ලද්දේ දරුවන්ගේ මේස්‌ ඉව කිරීමෙනි. මෙහි දී බල්ලෝ 90%කට ආසන්න නිරවද්‍යතාවක්‌ පෙන්නුම් කළ හ. මේ නිරීක්‌ෂණ පාදක කරගෙන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වෙනත් විද්‍යාත්මක කටයුතුවලට හා වෝහාරික හෝ අපරාධ පරීක්‌ෂණ කටයුතුවලට බල්ලන් යොදාගැනීම ඵලදායි බවයි.

මේ විෂයය සම්බන්ධයෙන් අප හා අදහස්‌ පළ කර සිටි පොලිස්‌ සුනඛයන් පුහුණු කිරීම සම්බන්ධයෙන් අවුරුදු 28ක අත්දැකීම් හා පළපුරුද්දක්‌ ඇති පෑලියගොඩ පොලීසියේ උපපොලිස්‌ පරීක්‌ෂක සුනිල් විදානපතිරණ මහතා පවසා සිටියේ මෙවැනි අදහසකි.

"පොලිස්‌ සුනඛයන් පුහුණු කිරීම සම්බන්ධයෙන් මා සතු අවුරුදු 28ක අත්දැකීම්වලින් හා පළපුරුද්දෙන් මට කිව හැක්‌කේ ලංකාවේ අපරාධ මර්දනය සඳහා පොලිස්‌ සුනඛයන් විශාල මෙහෙවරක්‌ ඉටු කරන බවයි. ඔබට ඇතැම් විට මතක ඇති රට ම කැළඹූ රීටා ජෝන් මිනීමැරුම. නරුම මිනීමරුවන් රැළක්‌ ඒ අහිංසක තරුණියට හිරිහැර කොට මරා දැම්මා. මේ අපරාධය ගැන සෙවීමට මාත් සම්බන්ධ වූවා. එහි දී අපේ පොලිස්‌ සුනඛයා ඉතා නිරවද්‍ය ව අපරාධකරුවන්ගේ ගමන් මග ගැන ඉඟි ලබා දුන්නා. එය පොලිස්‌ සුනඛයන්ගේ දක්‌ෂතාව පිළිබඳ හොඳ ම නිදර්ශනයක්‌. මගේ අත්දැකීම් හා පළපුරුද්ද අනුව මට කිව හැක්‌කේ පොලිස්‌ සුනඛයන්ගේ ඉව ඉතා ම ඉහළ මට්‌ටමක පවතින බවයි. මගේ සේවා කාලය තුළ පොලිස්‌ සුනඛයන් 6 දෙනකු පුහුණු කොට තිබෙනවා. ඔවුන් අපරාධ රැසක්‌ ඇල්ලීමට සහාය දුන්නා. ඔවුන් කරන මේ දේ විද්‍යාත්මක සිද්ධාන්ත මඟින් පැහැදිලි කළ හැකියි. එනම්, ඔවුන් යන්නේ ගන්ධ සංවේදන ඔස්‌සේයි. මෙහෙම හිතන්න, යම් අපරාධකාරයෙක්‌ පොල්ලකින් ගසා මිනිසකු මරනවා. පොල්ලේ මිනීමරුවාගේ අත ස්‌පර්ශ වුව හොත් ඊට අදාළ ගන්ධ සලකුණු පවතිනවා. අපේ සුනඛයන් යන්නේ ඒ සලකුණු ඔස්‌සේයි. සුනඛයන් අපරාධකරුවන් අල්ලනවා කිව්වාට ඇත්තෙන් ම ඔවුන් කරන්නේ අපට සාක්‌ෂි ලබා දීමට සහාය වීමයි. හැබැයි ඔවුන්ටත් සීමා තිබෙනවා. ලොකු වැස්‌සක්‌ වගේ දෙයක්‌ වැටුණොත් මේ දත්ත විනාශ විය හැකියි. එවිට ඔවුන් ගෙන් ලබාගත හැකි ප්‍රයෝජන සීමා සහිත විය හැකියි. සමහරු කියනවා, අපරාධකරුවකු දිය පහරකින් එගොඩ වුව හොත් බල්ලාට ඉව නැති වනවා කියා. එහෙත් අප අපරාධකරුවන්ට එහෙම ලේසියෙන් ගැලවෙන්නට ඉඩ තබන්නේ නෑ. ඔරුවකින් එහා ඉවුරට සුනඛයා

රැගෙන ගොස්‌ හෝ සාක්‌ෂි සෙවීමට යොදාගන්නවා. සමහර අපරාධකරුවෝ පොලිස්‌ සුනඛයන්ගේ ඉව රැවටීමට සිතා යම් යම් කපටිකම් කරනවා. එහෙත් දක්‌ෂ පොලිස්‌ නිලධාරියකුට ඒවා හඳුනාගත හැකියි. නිදසුනක්‌ දැක්‌ වුව හොත්, මා යාපනයේ කයිට්‌ස්‌හි සිද්ධියක්‌ විමර්ශනය කළා, ගෙවල් බිඳුමක්‌ සම්බන්ධයෙන්. අපරාධ ස්‌ථානයෙහි ඉතුරු ව තිබුණේ හොරා මුහුණ ඔතාගෙන ආ සාරි රෙදි කැබැල්ලක්‌ පමණයි. මේ රෙදි කැබැල්ල ඔස්‌සේ අපේ සුනඛයා ගමන් කළා. සුනඛයා නතර වුණේ ආච්චි අම්මා කෙනකුගේ ගෙයක්‌ ළඟයි. අපි සාරි කොටස ඇයට පෙන්වූ විට එය තමාගේ සාරියේ කොටසක්‌ බව ඇය පිළිගත්තා. එසේ ම ඇය කිවුවා තම සාරියෙන් කොටසක්‌ පුතා ඉරාගත් බව. අපට සැබෑ අපරාධකාරයා සොයාගත හැකි වූවා. පොදු ජනතාව ගෙන් මට යමක්‌ ඉල්ලීමට තිබෙනවා. එය නම්, කුමන වර්ගයේ අපරාධයක දී හෝ ඊට අදාළ සාක්‌ෂි පාරිසරික හෝ වෙනත් හේතු මඟින් හෝ විනාශ වීමට ඇති ඉඩ අහුරන ලෙසයි. එළිමහනේ සිදු වූ අපරාධයක සාක්‌ෂි දූවිලි සුළඟකින් හෝ ලොකු වැස්‌සකින් අහෝසි විය හැකියි. එය අපේ සුනඛයන්ගේ ඉව කිරීම් ක්‍රමයට බාධාවක්‌. පොදු ජනතාව අතර අපේ සේවාව පිළිබඳ ලොකු ප්‍රසාදයක්‌ හා පිළිගැනීමක්‌ පවතිනවා. සුනඛයකු පර්යේෂණ සඳහා යොදවන විට ඒ පර්යේෂණය සාර්ථක වෙයි කියන විශ්වාසය මහජනතාව තුළ පවතිනවා. ඒ විශ්වාසය රැකගන්න මේ අංශයේ සේවය කරන අප, ඇප කැප වී සිටිනවා. අනෙක්‌ කරුණ නම් අපේ සුනඛයන්ගේ ඉව ගැන ලොකු විශ්වාසයක්‌ අප තුළත් පවතිනවා. අපගේ පොලිස්‌ සුනඛ සේවාවේ මූලස්‌ථානය පවතින්නේ මහනුවරයි. අපගේ අධ්‍යක්‌ෂතුමා පොලිස්‌ සුනඛ සේවාව ඉතා ඉහළ මට්‌ටමක පවත්වාගන්නට හැම පියවරක්‌ ම ගන්නවා. පෑලියගොඩ පවතින්නේ ඒ ප්‍රධාන මූලස්‌ථානයේ ශාඛාවක්‌. මේ වගේ පොලිස්‌ සුනඛ සේවා පවතින ශාඛා රැසක්‌ පවතිනවා"

චාලිගේ ඝාතනය සෙවීමටත් සුනඛයන් යොදාගත්තා

ඉකුත් දිනවල වාර්තා වූ මීගමුවේ දී යම් නරුමයන් පිරිසක්‌ විසින් ගිනි තබා හිරිහැර කරන ලද බල්ලකු පිළිබඳ පුවත මෙරට බොහෝ දෙනා ගේ සිත් කම්පා කළ සිදුවීමක්‌ විය. Labrador වර්ගයට අයත් චාලී නැමැති මේ සුනඛයා කිසියම් පිරිසක්‌ විසින් භූමිතෙල් දමා ගිනි තබා ඇත්තේ ඌ වැඩි ශබ්දයෙන් බුරන නිසා යෑයි පැවසෙයි.

මේ බල්ලා මහ හඩින් බුරනවා නම් බුරන්නට ඇත්තේ ගෙදර ආරක්‌ෂාව වෙනුවෙනි. අපේ ආරක්‌ෂාව වෙනුවෙන් නැගූ හඩ ම ඌට මරණය ගෙන දී ඇත. අපරාධ ඇල්ලීමට උදව් වන මේ සතුන්ට වන අපරාධ ගැන නීතිය මිට වඩා දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු ය.

සුනඛ ඝාතකයා සෙවීමට පොලිස්‌ සුනඛයකු ගේ සහාය ලබාගත්තේ ද යන පැනය අපි මීගමුව පොලිසියෙන් විමසා සිටියෙමු. එවිට දැනගන්නට ලැබුණේ පොලිස්‌ සුනඛ සේවාවේ සහාය ද මේ අපරාධකරු ඇල්ලීමට යොදාගත් බවයි.

පොලිස්‌ සුනඛයන් භාවිතයේ දී මතු වන ගැටලු

ජාත්‍යන්තර අධ්‍යයන අනුව පෙන්වා දී ඇති මූලික කරුණක්‌ වන්නේ සුනඛයන් අපරාධ මර්දනයට යොදාගැනීම ඉතා ඵලදායි වුවත් එහි දී ද ගැටලු මතු වන බවයි. ප්‍රධාන ම ගැටලු වන්නේ මූල්‍යමය ප්‍රතිපාදන නොමැති වීම හා සුනඛ සපාකෑම් ය. මූල්‍යමය ප්‍රතිපාදන නොමැති විට සුනඛයාගේ ආරක්‌ෂාවට තර්ජන එල්ල වේ.

ආචාර්ය Peter C. Meade විසින් කරන ලද Police and Domestic Dog Bite Injuries මැයෙන් වූ අධ්‍යයනය එවැනි ගැටලු ගැන පුළුල් පැහැදිලි කිරීමක්‌ ඉදිරිපත් කරයි. 1988 සිට 1990 කාලය තුළ ලොස්‌ ඇන්ජලීස්‌ K-9 පොලිස්‌ ඒකකයෙන් ලද දත්ත අනුව ඔහු මේ අධ්‍යයනය මෙහෙයවා ඇත. එහි දී සුනඛ සපා කෑම් 957ක්‌ ගැන තොරතුරු එක්‌රැස්‌ කර ඇත. ඒ සමග ම පර්යේෂකයා King Drew රෝහලෙන් ලබාගත් ගෘහස්‌ථ සුනඛ සපාකෑම් ගැන තොරතුරුද ලබාගෙන ඇත. එම සපාකෑම් සංඛ්‍යාව 1109කි. මෙහි දී ඔහු ඒ සපාකෑම් දෙවර්ගය සසදමින් පෙන්වා දෙන්නේ පොලිස්‌ සුනඛ සපාකෑම් අදාළ පුද්ගලයන්ගේ ජීවිතවලට විශාල අවදානමක්‌ එක්‌ කළ බවයි. එනම් එම සපාකෑම් ගෘහස්‌ථ සපාකෑම්වලට වඩා ඉතා තියුණු බවයි. උතුරු මිචිගන් විශ්වවිද්‍යාලයයේ අපරාධ යුක්‌තිය (Criminal Justice) පිළිබද මහාචාර්යවරයා වන Charles Mesloh පවසන්නේ පුහුණු කරන ලද සුනඛයා විදුලි ස්‌විචයක්‌ බදු බවයි. On පිහිටුමේ දී උගේ ක්‍රියාත්මක වීම වැළැක්‌වීම අසීරු ය. එසේ නම් Off පිහිටුමට ගත යුතු බව ඔහු කියයි. පුහුණු සුනඛයන්ට වැරැදීම් සිදු වන බවත් එනිසා සාමාන්‍ය මිනිසුන් සපාකෑමට යොමු විය හැකි බවත් ඔහු කියයි.

පොලිස්‌ සුනඛයන්ට සිදු වූ වැරැදි නිසා මිනිසුන්ට සිදු වූ සෞඛ්‍ය හානි ගැන සදහන් කරමින් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ පුහුණු කරන්නාගේ වැරැදි සංඥවක්‌ නිසා අහිංසකයකු පවා අවදානමට ලක්‌ විය හැකි බවයි.

ඇමෙරිකාවේ St. Paul නගරයේ නිවැසියකු වූ Frank Baker එවැනි පුද්ගලයෙකි. 2016 දී St. Paul නගරයේ K-9 ඒකකයේ සුනඛයකු පාරේ යමින් සිටි අහිංසකයකු වූ Frank ගේ කකුල සපා කෑ අතර පසුව ඔහු ඩොලර් මිලියන දෙකක්‌ වන්දි ඉල්ලා නඩු පැවරුවේ ය. වන්දිය ලැබිණි.

2018 සැප්තැම්බර් මස දී මේ නගරයේ ම K-9 සාමාජිකයකු පාරේ සිටි අහිංසක කතක වූ Desiree Collins ව හපා කෑ අතර ඇය ද නඩු දැම්මා ය. ඒ මොහොතේ K-9 සාමාජිකයන් සිටියේ ගෙවල් බිදින්නකු පන්නා යමිනි.

Glen Slaughter නැමැත්තා ද මෙවැනි අනතුරකට මුහුණ දුන්නේ ය. K-9 සාමාජිකයෝ සොරකු පසුපස එළවමින් සිටිය හ. ඒ සමග ආ පොලිස්‌ නිලධාරීන් Glenn දිගා වන ලෙස විධාන කර තිබිණි. ඔහු එසේ කළ ද පොලිස්‌ සුනඛයෝ ඔහු සපා කෑ හ.

මනෝඡ් ප්‍රසන්න රත්නායක