logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මෙතෙක්‌ සිදු වූ බරපතළ ම මහා වඳ වීම සඳහා මිහිතලය උණුසුම් වීම මූලික හේතුවක්‌

ලෝකයේ සිදු ව ඇති මහා වඳ වීම් පහ අතරින් වඩාත් බරපතළ ම හෙවත් වැඩි ම ජීවී විශේෂ ප්‍රමාණයක්‌ වඳ වී ගිය සිදුවීම 'මහා මිය යැම' (Great Dying) ලෙස හඳුන්වනු ලැබෙයි. අදින් වර්ෂ මිලියන 252ක්‌ පමණ කාලයකට පෙර පර්මියානු යුගය නමින් හඳුන්වනු ලබන භූ විද්‍යාත්මක යුගයේ අවසානයේ දී පමණ මේ මහා වඳ වීම සිදු විය. ඒ පිළිබඳ ව අවසාදිත තැන්පතු හා ෆොසිලගත ජීවීන් යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනවලට අනුව මෙය මිහි මත ජීවය හා සම්බන්ධ ව ඇති වූ බරපතළ ම අහිතකර සිදුවීම ලෙස සැලකිය හැකි ය.

එම මහා වඳ වීමේ දී සාගරයේ ජීවත් වූ ජීවීන් අතරින් 96%ක්‌ පමණ තරම් ප්‍රමාණයක්‌ සහ භෞමික ව ජීවත් වූ පෘෂ්ඨවංශී ජීවී විශේෂ අතරින් 70%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ද වඳ වී ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ දී ඇති වූ විනාශය කෙතරම් බරපතළ වූයේ ද යත් වෘක්‌ෂ, කෘමීන්, පැළෑටි, කටුස්‌සන් හා ක්‌ෂqද්‍ර ජීවීන් වැනි ඇතැම් කාණ්‌ඩවල ජීවීන් සහමුලින් ම පාහේ වඳ වී යැමට තරම් ආසන්න වී තිබෙයි. එසේ ම ඉන් පසුව පෘථිවිය මත ජීවය යළිත් වර්ධනය වී, ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති වීමට තවත් වර්ෂ මිලියන ගණනක්‌ ගත විය.

මේ මහා වඳ වීම ඇති වීමට හේතුව හෝ හේතු කුමක්‌ වී ද යන්න ගැන විවිධ විද්‍යාත්මක මත ඉදිරිපත් වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, මෙයට හේතු වූයේ මහා උල්කාවක්‌ පෘථිවිය මතට පතිත වීම බවට වූ මතය දැක්‌විය හැකි ය. එහෙත් එම මහා වඳ වීම පිළිබඳ ව සිදු කර ඇති නවතම අධ්‍යයනයකට අනුව එම කාලයේ දී වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගොස්‌ මිහිතලය ඉතා වේගයෙන් උණුසුම් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය පහළ ගොස්‌ ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සාගර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් ප්‍රමාණයක්‌ නො ලැබීම මේ තත්ත්වයට හේතු වී තිබෙයි.

උෂ්ණත්වය ඉහළ යැම තීරණාත්මක වීම

මෙසේ කෙටි කාලයක්‌ ඇතුළත හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගියේ කෙසේ ද යන්න මීළඟට ඇති වන ගැටලුව වෙයි. ඒ කාලයේ දී ඇති වූ ගිනිකඳු පිපිරීම් මාලාවක්‌ නිසා මෙසේ හරිතාගාර වායු විශාල ලෙසින් වායුගෝලයට නිකුත් වූ බව මේ වන විට පැහැදිලි කර ඇත. මේ මහා ගිනිකඳු විදාරණය වීම් සිදු වූයේ සයිබීරියාව ප්‍රදේශයේ බව ද පර්යේෂණවලින් පෙන්වා දී තිබෙයි. මේ යමහල් විදාරණ වීම් අදාළ මහා වඳ වීම ඇති වීමට වසර 300,000ක පමණ කාලයකට පෙර පමණ සිට ආරම්භ වූ ඒවා වෙයි. මේවා නිසා ඇති වූ හරිතාගාර වායු විමෝචන අතර කාබන්ඩයෝක්‌සයිඩ් හා මීතේන් මූලික වෙයි.

මේ හරිතාගාර වායු අධික ලෙස සාන්ද්‍රණය වීම නිසා ගොඩබිම සහ මුහුදේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇත. එකල ලෝකයේ සාගර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක දහයකින් පමණ ඉහළ ගිය බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙයි. ඉහළ උෂ්ණත්වයක දී සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම සිදු වන්නකි. එය ජීවීන් සඳහා තීරණාත්මක වූ සාධකය වී ඇති බව මේ පර්යේෂකයන් පැහැදිලි කර ඇත. මෙසේ සාගර ජලයේ අඩු ඔක්‌සිජන් සාන්ද්‍රණයක්‌ තිබීම නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව (hypoxia‌) සාගර ජීවීන්ට ගැටලු ඇති කර තිබෙයි. ජීවියකුගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් නො ලැබීම නිසා ඇති වන තත්ත්වය බරපතළ ය.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමඟ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ද ඉහළ යයි. ඊට ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් සැපයීමට නොහැකි වීමෙන් එම ජීවීන් මිය යන්නට ඇති බව මේ අධ්‍යයනයෙන් සිදු කර ඇති පැහැදිලි කිරීමෙන් පෙනෙයි. එසේ ජීවීන් මිය ගොස්‌ ඇත්තේ මහා පරිමාණයෙනි.

පර්යේෂණය හා ප්‍රතිඵල

මේ අධ්‍යයනයේ දී ආකෘතිකමය පරීක්‌ෂණයක්‌ ද සිදු කර ඇත. එවකට පැවැති භූගෝලීය ඒකකයේ මහාද්වීප එක්‌ ව තිබූ ඒකකයක්‌ විය. එසේ ම එවකට සාගරයේ පැවැති උෂ්ණත්වය ද වර්තමාන උෂ්ණත්වයට සමාන බවත් ඔක්‌සිජන් මට්‌ටම වර්තමානයේ පවත්නා ඔක්‌සිජන් මට්‌ටමට සමාන බවත් දක්‌වා තිබෙයි. එසේ තිබිය දී අදාළ ආකෘතියේ හරිතාගාර වායු මට්‌ටම එහි උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 10කින් ඉහළ යන තරමට ඉහළ නංවා ඇත. එය එකල පැවැති තත්ත්වයට සමාන ය. එම ආකෘතිය හමුවේ සාගරයේ විස්‌මයජනක වෙනස්‌ වීම් සිදු ව ඇත. නිදසුනක්‌ ලෙස එහි පැවැති ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 80%ක්‌ පමණ ඊට අහිමි වී ඇත. සාගර පත්ලේ අඩක්‌ පමණ ප්‍රදේශයක්‌ - විශේෂයෙන් වඩා ගැඹුරු ස්‌ථාන - ඔක්‌සිජන් රහිත කලාප බවට පත් විය.

ඉන් පසුව මෙසේ ඔක්‌සිජන් හා උෂ්ණත්වය විචල්‍ය වීම සාගර ජීවීන්ට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා වර්තමානයේ ජීවත් වන විශේෂ 61ක එවැනි තත්ත්වවලට ලක්‌ කළ අවස්‌ථා පිළිබඳ ව සිදු කර ඇති විද්‍යාගාර අධ්‍යයන යොදාගෙන ඇත. ඊට මසුන්, ක්‍රස්‌ටේෂියාවන්, බෙල්ලන්, කොරල් හා මෝරුන් පිළිබඳ ව සිදු කළ අධ්‍යයන ඇතුළත් වෙයි. එම දත්ත සමඟ හා පුරාදේශගුණ දත්ත යොදාගනිමින් ජීවීන් වඳ වී ගිය ආකාරය ලේඛනගත කිරීමට උත්සාහ කර ඇත.

එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට, ඉහළ ගිය උෂ්ණත්වය නිසා තමන් කලින් වාසය කළ වාසස්‌ථානයේ ම අඛණ්‌ඩ ව පැවැත්මට හැකියාව ලැබී ඇත්තේ ඉතා අඩු ජීවීන් ප්‍රමාණයකට පමණකි. සෙසු විශේෂ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී ඇත. නැත හොත් වඳ වී ගොස්‌ ඇත.

මෙසේ ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම ජීවී විශේෂ විශාල වශයෙන් වඳ වී යැම වඩාත් බරපතළ වන්නට ඇත්තේ ලෝකයේ ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව බව ද මේ පර්යේෂකයන් පෙන්වා දී ඇත. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ එම ප්‍රදේශවල විසූ ජීවීන්ට ඉහළ යන උෂ්ණත්වයට හා අඩු වන ඔක්‌සිජන් ප්‍රමාණයට හැඩගැසීම සඳහා ප්‍රමාණවත් අනුහුරු වීම් නො තිබීම ය. ශීතල අධික හා ඔක්‌සිජන් ඉහළ සාගර ජීවිතයකට අනුවර්තනය වී සිටි ජීවීන්ට, නව තත්ත්ව යටතේ ගැළපෙන වෙනත් ප්‍රදේශයක්‌ සොයාගැනීමට නොමැත. ඒ නිසා වැඩි වශයෙන් හෝ මුළුමනින් ම පාහේ වඳ වී ගොස්‌ ඇත්තේ වැඩි ඔක්‌සිජන් අවශ්‍යතාවක්‌ සහිත වූ ශීත ප්‍රදේශවල විසූ ජීවීන් ය. නිවර්තන කලාපයේ විසූ ජීවීන්ට ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපෑ නමුත් ඉහළ යන උෂ්ණත්වයට මෙන් ම අඩු ඔක්‌සිජන් තත්ත්වවලට ද අනුහුරු වීමට හැකියාවක්‌ ඇති එම ජීවීන්ට වඩා අඩු උෂ්ණත්වයක්‌ ඇති හා ඔක්‌සිජන් සාන්ද්‍රණය ඉහළ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය හැකි විය. එසේ ම තමන්ට ගැළපෙන ප්‍රදේශ ද එම ජීවීන්ට සොයාගැනීමට අවස්‌ථාවක්‌ තිබිණි.

එසේ ම මේ කාලය හෙවත් අපර පර්මියානු (late Permian) යුගයට අදාළ වූ ෆොසිල සාධක පිළිබඳ දත්ත පාදක යොදාගෙන ඒ පිළිබඳ ව විමසීමේ දී පෙනී ගොස්‌ ඇත්තේ ද නිවර්තන කලාපයෙන් ඈත පිහිටා ඇති ප්‍රදේශවල හෙවත් ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව ජීවත් වූ ජීවීන් වඳ වී ගිය අවස්‌ථා අධික බවයි.

වෙනත් සාධකවල බලපෑම

මේ කරුණු අනුව මුහුදේ උෂ්ණත්වය ඉහළ යැම හා ඒ නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව මඟින් උක්‌ත මහා වඳ වීම නිසා වඳ ව ගිය සාගර ජීවීන් අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයකගේ වඳ වී යැමට හේතු සාධක සපයයි. ඉතිරි ජීවී විශේෂවල වඳ වී යැම සඳහා හේතු වන්නට ඇත්තේ සාගර ජලය ආම්ලිකකරණය වීම හා ප්‍රභාසංශ්ලේෂණය කරන ජීවීන්ගේ නිෂ්පාද්‍යතාවේ ඇති වූ වෙනස්‌ වීම් විය හැකි බව උක්‌ත පර්යේෂකයන්ගේ මතය වෙයි. ගිනිකඳු පිපිරීම් නිසා ඕසෝන් ස්‌තරයේ ඇති වූ සිදුරු හරහා පෙළොවට පතිත වූ පාරජම්බුල කිරණ හේතුවෙන් ලෝකයේ ශාකවල වඳ භාවයක්‌ හටගන්නට ඇති බව ද දක්‌වා තිබෙයි. එසේ ම සාගරය ආම්ලිකකරණය වීම වඩාත් බලපාන්නට ඇත්තේ නිවර්තන කලාපීය ජීවීන්ට බව ද පෙන්වා දී ඇත.

උෂ්ණත්වය ඉහළ ගිය අවස්‌ථාවල දී ඇති වන ඔක්‌සිජන් ඌනතාව, සාගර ජීවී විශේෂ මිය යැමට හා වඳ වී යැමට හේතු වූ බවට ඇති සාධක කලක පටන් ඇති අතර විවිධ පරිසර නිකේත අනුව එහි බලපෑම වෙනස්‌ වන ආකාරය මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති නව අංශයකි.

මේ පර්යේෂණයෙන් මතු කරනු ලබන තවත් වැදගත් කරුණක්‌ තිබෙයි. එනම් එදා පැවැති තත්ත්වය හෙවත් හරිතාගාර වායු විමෝචනය වර්ධනය වීම හා ඒ නිසා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම යනු අද ලෝකයේ ඇති වෙමින් පවත්නා තත්ත්වය හා සමාන තත්ත්වයක්‌ බවයි. අද පවත්නා තත්ත්වයෙන් ම කටයුතු සිදු වුව හොත්, 2100 වර්ෂය පමණ වන විට ලෝකයේ සාගරවල උෂ්ණත්වය අපර පර්මියානු යුගයේ පැවැති උෂ්ණත්වය මෙන් 20%ක්‌ පමණ අගයකට ළඟා විය හැකි ය. තවදුරටත් කටයුතු ඒ ආකාරයෙන් ම සිදු වුව හොත් 2300 වර්ෂය පමණ වන විට සාගර උෂ්ණත්වය එම මහා වඳ වීම පැවැති අවධියේ තිබූ උෂ්ණත්වය මෙන් 35% - 50% අතර අගයකට ළඟා විය හැකි ය. ඒ අනුව මේ අධ්‍යයනය තුළින් පෙන්වා දෙන එක්‌ කරුණක්‌ වන්නේ මානව මූලික දේශගුණ වෙනස්‌ වීමක්‌ මඟින් වුව ද ඇති විය හැකි මහා වඳ වීමක්‌ ඇති වීමේ ඇති හැකියාව පිළිබඳ ව ය.

මූලාශ්‍රය : Science, DOI:10.1126/aat1327

ධනේෂ් විසුම්පෙරුම