logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ළමා අපයෝජන සම්බන්ධව කටයුතු කිරීමේ දී පවතින නීතිමය බාධක සැලකිය යුතු ගැටලුවක්‌

පසුගිය වසරේ (2017) මෙරට වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි 9014න් සියයට 13ක්‌ ලිංගික අපයෝජන වන අතර ඒ අතරින් 340ක්‌ බරපතළ ලිංගික අපයෝජන (දූෂණ) බව ඉකුත් සතියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අනාවරණය කෙරිණි.

මෙහි දී අදහස්‌ දැක්‌වූ දේශකයන් කිහිප දෙනකු ම පෙන්වා දුන් වැදගත් කරුණක්‌ වූයේ ළමා අපයෝජන සම්බන්ධ නඩු විභාගවල තීන්දුව ලැබීමට වසර ගණනාවක්‌ ගත වීම ගැටලුකාරී බවයි. ඇතැම් අවස්‌ථාවල වින්දිතයා විවාහ වී දරුවන් ලැබීම දක්‌වා ද නඩු ඇසෙමින් පවතියි. මේ හේතුව මුල් කරගෙන දරුවාගේ අනාගත දිවියට කැළලක්‌ වේ යෑයි සිතා මාපියන් ළමා අපචාර සිද්ධීන් හෙළි කිරීමෙන් වැළකී සිටින අවස්‌ථා දක්‌නට ලැබේ. අනෙක්‌ අතට දීර්ඝ කාලයක්‌ නඩු කටයුතුවලට සහභාගි වීමට සිදු වීම වින්දිතයාට ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද පීඩනයකි. එමගින්, සිද්ධියෙන් කඩාවැටුණු ඔවුන්ගේ මනස්‌ යථා තත්ත්වයට පත් වීම තවදුරටත් පමා වෙයි. සිදුවීමට අදාළ පළමු අවස්‌ථාවේ දී ම ළමා ආරක්‌ෂක අධිකාරිය වින්දිතයා වෙතින් ලබාගත් විඩියෝ සාක්‌ෂි මේ ආකාරයේ නඩුවක දී (විත්තිය විසින් හරස්‌ ප්‍රශ්න අසනු ලබන විට) පිළිගැනීමට නීති ප්‍රතිපාදන සම්පාදනය වී නොමැති වීම නිසා වින්දිතයාට ම නැවත නැවත ඉදිරිපත් වී සාක්‌ෂි ලබා දීමට සිදු වීම ද මීට නොදෙවැනි මානසික බලපෑමක්‌ ඔවුනට ඇති කරයි. එයින් ඔවුහු ද්විතීයික ව ද වින්දිත අවස්‌ථාවකට පත් වෙති.

මෙවැනි දෑ නිසා සිදු වන්නේ අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වීමේ උනන්දුව හීන වීම ය.

ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිමය ව කටයුතු කිරීමේ දී බාධකයක්‌ ව පවතින ශ්‍රී ලංකාවේ 'ළමයා' යන්නට දී ඇති අර්ථ නිරූපණයෙහි වියවුල් තත්ත්වයක්‌ පිළිබඳව ද මේ මාධ්‍ය හමුවේ දී අවධානය යොමු කෙරිණි.

ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ නීති බලගැන්වීමේ සහකාර අධ්‍යක්‌ෂ යසාලි අබේසුන්දර මහත්මිය පෙන්වා දුන්නේ මෙරට විවිධ නීති පුස්‌තකවල ළමයා යන්නට විවිධ අර්ථ නිරූපණ දක්‌නට ඇති බවයි.

ජාතික ළමා ආරක්‌ෂක අධිකාරී පනතින් ළමයකු ලෙස පිළිගැනෙන්නේ වයස 18ට අඩු තැනැත්තෙකි. දණ්‌ඩ නීති සංග්‍රයේ 1995ට පසු ගෙන ආ සංශෝධනවලින් ද මේ වයස්‌ සීමාව පිළිගැනෙයි. එහෙත් ස්‌ත්‍රී දූෂණ සම්බන්ධ ව අධිකරණයේ කටයුතු කිරීමේ දී තවමත් බලාත්මක වන්නේ 1995 සංශෝධනයයි.

එහි සඳහන් වන්නේ ළමයා යනු වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු බවයි. එනිසා 16ත් 18ත් අතර වයසක පසු වන දරුවන් දූෂණයට ලක්‌ වූ විට ඔවුන් ළමයින් ලෙස පිළිගැනෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ පැනනගියි.

මෙහි දී අදහස්‌ දැක්‌වූ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශ්විනී ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නේ ළමයකු අපයෝජනයට ලක්‌ වන වයස පිළිබඳව සැලකිලිමත් වීමේ දී වයස බිංදුවේ දී එනම් කලල අවස්‌ථාවේ දී සිට ම (වයස 18 දක්‌වා) අවධානය යොමු කිරීම සුදුසු ය යන්න වර්තමාන පිළිගැනීම බවයි.

කලල අවධියේ දරුවන්ට වන හිංසනය තවදුරටත් පැහැදිලි කළ මහාචාර්ය ප්‍රනාන්දු මහත්මිය, "අම්මට තාත්තා ගහනව නම් කුසේ ඉන්න දරුවාගේ මොළයේ සෛලවල වර්ධනයට ඒක අහිතකර ලෙස බලපානව කියල දැන් සොයාගෙන තියෙනව. ඒ නිසා දරුවෙක්‌ හදනව නම් ඒ ගෙදර ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය තියෙන්න බැහැ" යනුවෙන් පැවසුවා ය.

ළමා අපයෝජන ලිංගික අපචාරවලට සීමා නො වන බවත් ශාරීරික, චිත්තවේගී, නො සලකා හැරීම්, ශ්‍රමය සූරාකෑම් යන බලපෑම් ද ළමා අපයෝජන ගණයේ ලා සැලකෙන බවත් ඇය සිහිපත් කර දුන්නා ය.

ඒ අනුව ළමයින් යුද කටයුතු සඳහා යොදාගැනීම, සිතාමතා වස දී මරන්නට තැත් කිරීම වැනි දෑ ද ළමා අපයෝජන ලෙස සැලකිය හැකි වේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන තමන් වෙත ප්‍රතිකාර පතා එන දරුවන් සම්බන්ධව එක්‌රැස්‌ කරගෙන ඇති දත්ත සමුදායට අනුව අපයෝජනයට ලක්‌ වූ දරුවන් ගෙන් සියයට 72ක්‌ ම ලිංගික අපයෝජනයට ලක්‌ වූවන් බව ද මහාචාර්යවරිය පැවසුවා ය.

මේ අවස්‌ථාවට එක්‌ වූ ග්‍රාස්‌රූටඩ් ට්‍රස්‌ට්‌ ආයතනයේ අධ්‍යක්‌ෂ හාන්ස්‌ බිලිමෝරියා මහතා අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනයට ලක්‌ වීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක්‌ ඉදිරිපත් කර සිටියේ ය.

ළමා අපයෝජන ගැන කතා කිරීමේ දී බොහෝ විට අප අදහස්‌ කරන්නේ වැඩිහිටියකු හා දරුවකු අතර සිදුවීමක්‌ වුවත් අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනය වීම සම වයස්‌වල හෝ ආසන්න වයස්‌වල ළමයින් අතින් ද සිදු වන අයුරු ඔහු පෙන්වා දුනි. නිදසුනක්‌ ලෙස ඔහු ගෙනහැර දැක්‌වූයේ යහළුවන් වෙතින් ලැබුණු පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමයි. වින්දිතයා ද චූදිතයා ද ළමා වියේ පසු වන්නන් වන එවැනි සිදුවීම් ගැන කටයුතු කිරීමට සිදු වන්නේ ඉතා කල්පනාකාරී ව බව ඔහු සඳහන් කර සිටියේ ය.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට අනුව 2017 අන්තර්ජාලය හරහා ළමා අපයෝජන සිදුවීම් 3685ක්‌ වාර්තා වී ඇති බව පෙන්වා දුන් ඔහු මේ ප්‍රවණතාව පාලනය කිරීම සඳහා පාසල හා ගුරුවරුන්ගේ භූමිකාව ඉතා තීරණාත්මක බව අවධාරණය කර සිටියේ ය.

මේ මාධ්‍ය හමුවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධක්‌ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියන් වන ජානකී විදානපතිරණ හා නිමාලි විඡේගුණවර්ධන මහත්මීන් ඇතුළු පිරිසක්‌ ද එක්‌ ව සිටිය හ. මෙහි දී සැම දරුවෙක්‌ ම වටින්නේ ය යන තේමාවෙන් සමාජ ක්‍රියාකාරීන් සඳහා අත්පොතක්‌ ද එළිදක්‌වන ලද අතර එම අත්පොතෙන් උපුටාගත් 'සයිබර් තාක්‌ෂණයෙන් සිදු වන ලිංගික උවදුරුවලින් දරුවන් ආරක්‌ෂා කරගැනීම' නම් වන පරිච්ඡේදය අද අප පුවත්පතේ මැද පිටුවේ විශේෂාංගය ලෙස පළ කර ඇත.