logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන ලිංගික හිංසනයෙන් දරුවන් ආරක්‌ෂා කරගනිමු

මේ ලිපිය ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය හා Save the Children සංවිධානය එක්‌ ව ප්‍රකාශයට පත් කරන ලද Every Child is Precious..Let's Protect Them (හැම දරුවකු ම වටියි. අපි ඔවුන් සුරකිමු) නම් කෘතියෙන් උපුටා ගැනුණු පරිච්ඡේදයකි. මේ කෘතියේ කර්තෘවරුන් වන්නේ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමාලි විඡේගුණවර්ධන යන මහත්මීන් ය.

සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන හිංසනය යනු කුමක්‌ ද?

අතීතයේ දී මෙන් නො ව, වර්තමානයේ දරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා විවිධාකාරයේ තාක්‌ෂණික උපාංග සහ සමාජ මාධ්‍යජාල පවතී. අන්තර්ජාලය හරහා විවිධාකාරයෙන් ඉගෙනීමට හැකි නිසා, මේ තොරතුරු ලබාගැනීමේ හැකියාව ඔවුන්ගේ දැනුම වර්ධනයට නිසැක ව ම බලපායි. එහෙත් දරුවන් මේ ක්‍රියාවලියේ දී හිංසනයට ලක්‌ නො වන බවට තහවුරු කරගැනීම මාපියන් සහ වගකිව යුතු වැඩිහිටියන් ලෙස අපගේ වගකීමයි.

සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන හිංසනය යනු අන්තර්ජාලය ඔස්‌සේ අරියාදුවට, බිය ගැන්වීමට, තර්ජනයට, කොන් කිරීමට හා/හෝ බලහත්කාරයට ලක්‌ වීමයි. අදාළ පුද්ගලයාගේ අනුදැනුමකින් තොර ව ඡායාරූප හෝ වීඩියෝ බෙදාහැරීම හෝ ප්‍රකාශනය සහ යමකුගේ පින්තූර වෙනස්‌ කොට ප්‍රකාශයට පත් කිරීම ආදිය මේ අතරට වැටේ. මේ අතරින් සමහර ක්‍රියාවන් ළමා ලිංගික හිංසනය යටතට වැටේ.

සමාජ මාධ්‍ය ජාලවල යම් පුද්ගලයකුට හානිදායක හෝ එම පුද්ගලයා අපහසුතාවට පත් කරන පෞද්ගලික දේ වුවමනාවෙන් ම පළ කිරීම හා හුවමාරු කරගැනීම, සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන අරියාදුවට ලක්‌ කිරීම ලෙස ගත හැකි ය. එසේ ම මෙය අදාළ පුද්ගලයා කෙළින් ම ඉලක්‌ක කරගනිමින් ක්‌ෂණික පණිවිඩ හුවමාරු ජාල හරහා ද සිදු විය හැකි ය. සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන අරියාදු කිරීම විවිධාකාර විය හැකි ය. එනම්, දිගින් දිගට ම යම් පුද්ගලයකුට අපහාසාත්මක පණිවිඩ යවමින් කරදර කිරීම, යම් පුද්ගලයකුගේ කීර්ති නාමයට හානි කරන කටකතා සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම, වෙනත් පුද්ගලයකු ලෙස සමාජ මාධ්‍ය ජාලවල පෙනී සිටිමින් එම පුද්ගලයකුගේ කීර්ති නාමයට හානිකර විය හැකි දේ පළ කිරීම, සමාජ මාධ්‍ය ජාල හරහා හෝ පණිවිඩ හුවමාරු ජාල හරහා යම් පුද්ගලයකුට තර්ජනය කිරීම හෝ අපහාස කිරීම සහ යම් පුද්ගලයකුගේ අවසරයකින් තොර ව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයේ පළ කිරීම ආදියයි.

මේ සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන හිංසනය සමහර අවස්‌ථාවල ලිංගික හිංසනයක්‌ දක්‌වා දිවෙන්නේ, හිංසනයට ලක්‌ වූ පුද්ගලයාට එම අනිසි අන්තර්ජාල පළ කිරීම් (පෝස්‌ට්‌) ඉවත් කිරීම සඳහා ලිංගික අල්ලස්‌ ඉල්ලා තර්ජනය කිරීම නිසා ය.

සයිබර් තාක්‌ෂණය හරහා සිදු වන ළමා ලිංගික හිංසනය විවිධාකාරයෙන් සිදු විය හැකි අතර ඉන් සමහරක්‌ වන්නේ,

දරුවාගේ අතිශය පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ බෙදාහැරීම

මතු දිනක දරුවා ලිංගික හිංසනයක්‌ සඳහා භාවිත කිරීමේ අරමුණින් දරුවා සමඟ හිතවත් වී විශ්වාසය දිනාගැනීම

මතු දිනක තමන් විසින් හෝ වෙනත් හිංසකයන් විසින් දරුවා ලිංගික හිංසනයට ලක්‌ කිරීමේ අරමුණින් දරුවාගේ තොරතුරු හා පින්තූර හුවමාර කරගැනීම

දරුවන් සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ ලිංගික ක්‍රියාවන්හි යෙදවීම

දරුවන් අන්තර්ජාලය ඔස්‌සේ සජීවී ලිංගික ක්‍රියාවන්හි යොදවා විකුණමින් හිංසනයට ලක්‌ කිරීම

දරුවා ගෙන් ලිංගික අල්ලස්‌ ඉල්ලීම සඳහා ඔහුගේ/ඇයගේ ලිංගික සේයා රූ අන්තර්ජාලයේ පළ කරන බවට තර්ජනය කරමින් බිය වැද්දීම

හිංසකයා විසින් දරුවාගේ පෞද්ගලික තොරතුරු, එනම් ලිපිනය, දුරකථන අංකය හෝ ඡායාරූපයක්‌ ඉල්ලා සිටිය හැකි ය. එසේ ම ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය ඔස්‌සේ හමු වීමෙන් පසු ඇත්තට ම මුණගැසීමට අවශ්‍ය බව ඔවුන් දරුවාට පැවසිය හැකි ය. එවන් ඉල්ලීමකට අවනත වීම නො නවතින ලිංගික හිංසන ක්‍රියාවලියක ආරම්භය විය හැකි ය.

දරුවන් සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වන ලිංගික හිංසනයේ ගොදුරු වනවා සේ ම සමහර අවස්‌ථාවල දී විවිධ හේතූන් මත ඔවුන් අතින් ද එවැනි වැරැදි සිදු විය හැකි බව අප මතකයේ තබාගත යුතු ය.

බොහෝ දරුවෝ, තමන්ට අත්විඳින්නට සිදු වන ප්‍රතිචාර හා විපාකවලට ඇති බිය හෝ ලැඡ්ජාව හෝ නිසා තමන් අත්විඳි සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වූ ලිංගික හිංසන අත්දැකීම් පිළිබඳ ව මාපියන්ට, ගුරුවරුන්ට හෝ වැඩිහිටියන්ට හෙළි නො කරති. ඒ පිළිබඳ ව වාර්තා නො කරති. මෙය එම ලිංගික හිංසනය දිගට ම සිදු වීමට හේතුවක්‌ වේ.

දරුවා එක්‌ වරක්‌ හෝ සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වන කවර ආකාරයක හෝ ලිංගික හිංසනයකට ලක්‌ වුව හොත් එය ඔබ සමඟ පැවසීමට දරුවා දිරි ගැන්වීම මාපියන් හා වැඩිහිටියන්ගේ වගකීමක්‌ වේ. ඒ සඳහා ඉක්‌මනින් මැදිහත් වීමක්‌ නො කළ හොත් එය දරුවාට මානසික ව ඉතා නරක අයුරින් බලපාන, දිගට ම සිදු වන හිංසනයක්‌ බවට පත් වීමට ඉඩ ඇත.

සයිබර් තාක්‌ෂණය හරහා ලිංගික හිංසනය සිදු වීමට හේතු වන නවීන තාක්‌ෂණයන් කවරේ ද?

නවීන තාක්‌ෂණය මඟින් පුද්ගලයන්ට එකිනෙකා සමඟ අන්තර්ජාලය ඔස්‌සේ සන්නිවේදනය කළ හැකි ක්‍රම සහ විධි හඳුන්වා දී ඇත. මේ තාක්‌ෂණයන් ඉගෙනීම සහ සන්නිවේදනය පහසු කරන අතර ම, අප අවධානයෙන් පසු නො වුණ හොත් එම තාක්‌ෂණයන් විවිධ ආකාරයේ ලිංගික හිංසනයන් සිදු වීමට ද මඟපාදයි.

පහත සඳහන් තාක්‌ෂණ ක්‍රමවේදයන් ජාලකරණය (Networking) සඳහා සුලබ ව භාවිත වේ.

* සමාජ ජාල (Social Networking)

උදා (- ෆේස්‌බුක්‌, ට්‌විටර්, ඉන්ස්‌ටග්‍රෑම්, Tumblr, Linkedin, යූ ටියුබ් (වීඩියෝ හුවමාරු කරගන්නා සමාජ ජාල)

* ක්‌ෂණික පණිවිඩ හුවමාරු ඇප්ස්‌ (Apps)

උදා (- WhatsApp, Viber, Snapchat, Telegram

* 'ක්‌ලවුඩ්' අන්තර්ජාල තාක්‌ෂණය

(දත්ත සහ වැඩසටහන් අන්තර්ජාලය හරහා ගබඩා කිරීම හා නැවත ලබාගැනීමේ ක්‍රමයකි)

* යෙදුම් (ඇප්ස්‌)

මේ යෙදුම්වලට ඔබේ පෞද්ගලික තොරතුරු මෙන් ම ඔබ සිටින ස්‌ථානය පිළිබඳ තොරතුරු ද ගබඩා කළ හැකි ය.

* අන්තර්ජාල ක්‍රීඩා

අන්තර්ජාලය ඔස්‌සේ වීඩියෝ ක්‍රීඩා කිරීම (සම්පූර්ණයෙන් ම හෝ අර්ධ වශයෙන්)

* පොදුවේ භාවිත කළ හැකි වයි-ෆයි

(Wi-Fi)

මෙය පොදු ස්‌ථානවල දී භාවිතයට ගත හැකි පහසුකමක්‌ වන අතර ඔබේ උපාංගය අනවසර දත්ත සොරා ගැනීමකට ලක්‌ කරගැනීමකට හේතු විය හැකි ය.

නවීන සයිබර් තාක්‌ෂණයන් සන්නිවේදනයට භාවිත කෙරෙන මෙවලම් කවරේ ද?

නිවසේ භාවිත කරන ලැප්ටොප් පරිගණක, ඩෙස්‌ක්‌ටොප් පරිගණක හා ජංගම දුරකථන වැනි උපාංග සැලකූ විට, ඒවායේ භාවිතය පිළිබඳ ව දරුවන් සමඟ සාකච්ඡා කොට සාධාරණ එකඟතාවකට පැමිණීම වැදගත් වන අතර දරුවන් සහ වැඩිහිටියන් දෙපිරිස ම එකඟතාවට අනුකූල ව කටයුතු කිරීම වැදගත් වේ. උපාංග භාවිත කරන වේලාව, ඒවා තැන්පත් කර තබන ස්‌ථානය හා ඒවා භාවිත කිරීමේ දී කුමන මට්‌ටමක පෞද්ගලිකත්වයකට ඉඩ දෙන්නේ දැයි සාකච්ඡා කළ යුතු ය. දරුවන් උපාංග භාවිත කරන විට, ඒවා දරුවාගේ නිදන කාමරයේ තබනවාට වඩා, දරුවා අන්තර්ජාලයේ කුමක්‌ නරඹන්නේ දැයි වැඩිහිටියන්ට අධීක්‌ෂණය කළ හැකි ස්‌ථානයක ඒවා තැබීම වඩාත් සුදුසු වේ. උපාංග භාවිත නො කරන බවට එකඟතාවකට පැමිණ ඇති වේලාවන්හි දී දරුවන් හා වැඩිහිටියන් දෙපිරිස ම ඊට අනුකූල ව කටයුතු කිරීම වැදගත් වේ.

වර්තමානයේ නිරතුරු ව භාවිත වන උපාංග වන්නේ (

ලැප්ටොප් පරිගණක

ඩෙස්‌ක්‌ටොප් පරිගණක

ජංගම දුරකථන

ස්‌මාට්‌ ෆොaන් වර්ගයේ දුරකථන

ටැබ්ලට්‌

අයි පොඩ් (i--pods)

ඉලෙක්‌ට්‍රොනික්‌ උපාංග, මෘදුකාංග, සංවේදක හා ජල සම්බන්ධතා අන්තර්ගත වූ අනෙකුත් උපකරණ

සයිබර් තාක්‌ෂණය හරහා ලිංගික හිංසනය සිදු විය හැකි විවිධ ක්‍රම මොනවා ද?

ලිංගික කරුණු සහිත පණිවිඩ යෑවීම (Sexting)

මින් අදහස්‌ කරන්නේ ලිංගික කරුණු පදනම් කරගත් ඡායාරූප, වීඩියෝ සහ පණිවිඩ අවසරයකින් යුතු ව හෝ අවසරයකින් තොර ව පණිවිඩ හුවමාරු ජාල, කෙටි පණිවිඩ හෝ ඊ-මේල් හරහා යෑවීම හෝ ලැබීමයි.

නග්න ඡායාරූප හුවමාරු කරගැනීම

මේ ඡායාරූප හුවමාරු කරගැනීම යුවළක්‌ අතර අෙන්‍යාන්‍ය විශ්වාසය මත සිදු විය හැකි නමුත්, ඒවා පුද්ගලයකු බිය වැද්දීම සඳහා භාවිත කළ හොත් හෝ තුන් වැනි පුද්ගලයකුගේ අතට පත් වුව හොත්, එවිට මෙය ලිංගික හිංසන ක්‍රියාවන් දක්‌වා යා හැකි ය.

පළිගැනීම සඳහා අසැබි සේයා රූ ප්‍රචාරය කිරීම (Revenge Porn)

මෙහි දී යම් ගැහැනු ළමයකු විසින් තමන්ගේ සහකරුවා සමඟ කැමැත්තෙන් හුවමාරු කරගන්නා ලද ලිංගික ඡායාරූප, සහකරුවා විසින් ඇගෙන් පළිගැනීමේ අරමුණ ඇති ව ඇගේ අවසරයකින් තොර ව බොහෝ දෙනා නරඹන වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීම සිදු වේ.

අන්තර්ජාලය හරහා විශ්වාසය ගොඩනඟාගෙන ලිංගික හිංසනයට ලක්‌ කිරීම (Online Grooming)

මෙහි දී, ලිංගික ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර හිංසකයා, හිංසනයට ලක්‌ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා සමඟ හොඳ සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගනී. තමන්ගේ නග්න ඡායාරූප හුවමාරු කරගැනීම දක්‌වා හිංසාවට ලක්‌ වන්නාගේ විශ්වාසය ගොඩනඟාගන්නා හිංසකයා, ඉන් පසු එම ඡායාරූප පළ කරන බවට බිය වද්දමින් තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගනී.

දරුවන්ට, වගකිව යුතු ලෙස සයිබර් තාක්‌ෂණය භාවිත කිරීමට හුරු කරමු

අන්තර්ජාලය, තොරතුරු එක්‌රැස්‌ කිරීමට සහ ඉගෙනීමේ කටයුතු සඳහා ඉතා වැඩදායක මාධ්‍යයක්‌ බවත්, එසේ වුවත් වගකිව යුතු ලෙස එය භාවිත නො කළ හොත් තර්ජනාත්මක තත්ත්වයන් ඇති විය හැකි බවත්, වැඩිහිටියන් ලෙස අප, දරුවන්ට පහදා දිය යුතු ය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යජාල ආරක්‌ෂාකාරී සහ වගකිව යුතු ලෙස භාවිත කිරීමට දරුවන්ට කියා දෙන්න. මේ පිළිබඳ ව ඔබේ දරුවාට පහදා දෙන විට, අනිසි හා වගකීමෙන් තොර අන්තර්ජාල භාවිතය නිසා කරදරයට පත් කෙනකු ඔබට උදාහරණ ලෙස ගත හැකි ය. එමඟින් දරුවාට තත්ත්වයේ බරපතළකම වටහා දිය හැකි අතර සයිබර් තාක්‌ෂණය භාවිතයේ දී යම් යම් නීති හා මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ද අවබෝධ වනු ඇත.

* අන්තර්ජාලය තුළින් හමු වන පුද්ගලයන්, ඔවුන් තමන් හඳුන්වා දෙන ආකාරයට වඩා වෙනස්‌ පුද්ගලයන් විය හැකි බව දරුවන්ට පැහැදිලි කරන්න. එවන් පුද්ගලයන් ලිංගික හිංසනයකට අර අදින්නන් විය හැකි බව පහදන්න. එබැවින්, නාඳුනන පුද්ගලයන් සමඟ සමාජ මාධ්‍ය හෝ වෙනත් අන්තර්ජාල මාධ්‍ය ඔස්‌සේ සම්බන්ධ නො වන ලෙස දරුවන්ට පවසන්න.

* අන්තර්ජාලය ඔස්‌සේ මුණ ගැසෙන නාඳුනන පුද්ගලයන් සමඟ කිසි විටෙකත් තමන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ පාසලේ නම වැනි පෞද්ගලික තොරතුරු බෙදා හදා නො ගන්නා ලෙස දරුවන්ට පවසන්න.

* නාඳුනන පුද්ගලයකු සමඟ කිසි විටකත් තමන්ගේ ඡායාරූප, සමාජ මාධ්‍ය, පණිවිඩ හුවමාරු ඇප්ස්‌ හෝ ඊ-මේල් හරහා හුවමාරු කර නො ගන්නා ලෙස දරුවන්ට තරයේ ඒත්තු ගන්වන්න. මේ කොටසේ කලින් සඳහන් කර ඇති ආකාරයට අන්තර්ජාලය හරහා විශ්වාසය ගොඩනඟාගෙන ලිංගික හිංසනයට ලක්‌ කිරීම ලිංගික හිංසකයන් විසින් භාවිත කරනු ලබන එක්‌ උපක්‍රමයකි. ඔවුන් තමන්ගේ ගොදුරු බවට පත් කරගන්නා පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගන්නේ ඔවුන් ඉතා හිතවත් හා උපකාර කරන පුද්ගලයන් බව හඟවමිනි. එවිට, අගතියට පත් වන්නෝ තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම පසුකාලීන ව අතිශය පෞද්ගලික ලිංගික සේයා රූ ආදිය ද මෙබඳු පුද්ගලයන් සමඟ හුවමාරු කරගැනීමට පෙලඹෙති. අන්තර්ජාලය ඔස්‌සේ උදව් කිරීමට පෙලඹෙන පුද්ගලයන් පිළිබඳ ව කල්පනාකාරී වන ලෙස දරුවන්ට පවසන්න.

* කවරකු, කවර ආකාරයෙන් පෙලඹුව ද පරිගණකයේ වෙබ් කැම් උපාංගය ඉදිරියේ කිසි විටකත් නිරුවත් නො විය යුතු බව ද, එවන් පෙලඹවීමක දී ඒ බව මාපියන්ට වාර්තා කළ යුතු බව ද දරුවන්ට පහදා දෙන්න. එම පෙලඹවීම තමන්ගේ පෙම්වතා/පෙම්වතිය අතින් සිදු වුව ද ඉහත කරුණු එසේ ම විය යුතු බව ද පහදන්න.

* නාඳුනන පුද්ගලයන් ගෙන් ලැබෙන පණිවිඩ හෝ පින්තූර හෝ විවෘත නො කරන ලෙසත්, ඒ බව ඔබට දැනුම් දෙන ලෙසත් දැනුවත් කරන්න.

දරුවා සමාජ මාධ්‍යජාල හා වෙනත් සමාජ මාධ්‍යජාල භාවිත කරන්නේ නම් (ෆේස්‌බුක්‌, ට්‌විටර්, Instagram වැනි), ඔහුට/ඇයට පහත දැනුවත් කිරීම් සිදු කළ හැකි ය. ඔබටත් යම් මට්‌ටමකට හෝ මේ නවීන තාක්‌ෂණයන් පිළිබඳ ව දැනුමක්‌ ඇත්නම් දරුවන් ආරක්‌ෂිත බව කරා මෙහෙයවීම පහසු විය හැකි ය. ෆේස්‌බුක්‌ නිමැවුම්කරුවන් ඇත්ත වශයෙන් ම එහි භාවිතය වයස අවුරුදු දහ තුනට වැඩි අය සඳහා සීමා කර ඇත. මෙවන් නීතිවලට අනුකූල ව කටයුතු කරමින්, වගකිව යුතු ෆේස්‌බුක්‌ භාවිතය සඳහා පරිණත වනතුරු ඉන් වැළකී සිටීම වඩාත් සුදුසු වේ.

තමන්ගේ තොරතුරු නැරඹිය හැකි සහ තමන්ට 'මිතුරු ඉල්ලීම්' (Friend Request) එවිය හැකි පුද්ගලයන් සීමා කිරීම සඳහා සමාජ මාධ්‍යජාලවල 'පෞද්ගලිකත්ව සැකසුම්' (Privacy Settings) යෙදීමට දරුවන්ට උදව් වන්න. 'මට පමණක්‌ නැරඹිය හැකි', 'මිතුරන්ට පමණක්‌ නැරඹිය හැකි', 'සැමට නැරඹිය හැකි' වැනි විවිධ පෞද්ගලිකත්ව සැකසුම් පිළිබඳ ව දරුවාට කියා දෙන්න. කිසි විටෙකත් 'සැමට නැරඹිය හැකි' සැකසුම ඔස්‌සේ ඡායාරූප හෝ තොරතුරු හෝ පළ නො කරන ලෙස දරුවන්ට කියා දෙන්න. එසේ කිරීමෙන්, නො දන්නා පුද්ගලයන් තමන්ගේ තොරතුරු නරඹා සමහර විට ඒවා ඉදිරියේ දී ලිංගික හිංසනය සඳහා යොදාගත හැකි බව පහදා දෙන්න.

සමාජ මාධ්‍යජාල තුළ මිතුරන් එකතු කරගැනීමේ දී වගකිව යුතු ලෙස කටයුතු කරමින්, තමා හොඳින් දන්නා අය පමණක්‌ මිතුරන් වශයෙන් එකතු කරගන්නා ලෙස කියා දෙන්න. ඡායාරූප පළ කිරීමේ දී 'මිතුරන්ට පමණක්‌ නැරඹිය හැකි' සැකසුම ඔස්‌සේ එසේ කරන ලෙසත්, එයින් ද අපහසුතාවක්‌ දැනේ නම්, 'මට පමණක්‌ නැරඹිය හැකි' සැකසුම ඔස්‌සේ තමන්ට පමණක්‌ නරඹා ඒවා සුරක්‌ෂිත ව තැන්පත් කර තැබිය හැකි බවත් පවසන්න.

තමන්ගේ මිතුරන්ට පමණක්‌ දැකිය හැකි සැකසුමක්‌ ඔස්‌සේ වුව ද, සමාජ මාධ්‍යජාල තුළ යමක්‌ පළ කිරීමට පෙර දෙවරක්‌ සිතන ලෙස දරුවන්ට කියා දෙන්න.

ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය හැකි බැවින්, තමන් ඒ මොහොතේ සිටින ස්‌ථානය පිළිබඳ තොරතුරු වෙබ් අඩවියට ලබාගැනීමට ඉඩ දීමෙන් වළකින ලෙස පවසන්න.

සමාජ මාධ්‍යජාල භාවිතයේ දී හැකි තරම් පොදු වයි-ෆයි භාවිතයෙන් වැළකී පෞද්ගලික වයි-ෆයි භාවිත කරන ලෙස පවසන්න.

සමාජ මාධ්‍යජාල තුළ තමන්ගේ ඡායාරූප හා සිටින ස්‌ථානය පිළිබඳ ව තොරතුරු අන් අය සමඟ හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් තමන් දරන මතය පිළිබඳ ව මිතුරන් දැනුවත් කර තබන ලෙස පවසන්න. එම සීමාවන් මිතුරන් විසින් ඉක්‌මවා නො යා යුතු බව ද අවධාරණය කරන්න.

මිතුරන් විසින් පළ කරන ලද තමන් සිටින ඡායාරූපයක්‌ සම්බන්ධයෙන් තමන්ට අපහසුතාවක්‌ දැනේ නම්, එය ඉවත් කරන/මකා දමන ලෙස ඕනෑ ම වේලාවක ඉල්ලා සිටිය හැකි බවත්, එසේ ඉල්ලා සිටීමට දරුවාට අයිතියක්‌ ඇති බවත් පහදා දෙන්න.

එසේ ම, තමන්ගේ මිතුරන් පෙනී සිටින ඡායාරූප පළ කිරීමේ දී ද සැම විට ම අවසර ලබාගන්නටත්, ඔවුන්ගේ සීමාවලට ගරු කරන්නටත් උනන්දු කරවන්න.

යම් පුද්ගලයකු අන්තර්ජාලයේ තමන් අපහසුතාවට පත් කරන්නේ නම්, එනම් තමන් අපහසුතාවට පත් කරන ඡායාරූප හෝ පණිවිඩ හෝ පළ කරන්නේ නම්, හෝ තමන් අපහසුතාවට පත් කරන ආකාරයේ වචනවලින් පළ කිරීම්/ප්‍රතිචාර දැක්‌වීම් සිදු කරන්නේ නම් හා එම පළ කිරීම් ඉවත් කිරීම් සඳහා කරන ලද ඉල්ලීම්වලට එකඟ නො වන්නේ නම්, ඔබට ඒ පිළිබඳ ව දැනුම් දීමට අමතර ව දරුවාට ඒ බව අදාළ වෙබ් අඩවියට ද දැනුම් දීම සඳහා 'වාර්තා කිරීම' (Report) බොත්තම එබීම හෝ 'අනිසි පළ කිරීමක්‌' (Inappropriate) ලෙස සලකුණු කිරීම සිදු කළ හැකි ය.

සමහර පුද්ගලයන් අසත්‍ය විස්‌තර ගොනු පවත්වාගෙන යන බව දරුවන් දැනුවත් කරන්න. තමන් අවුරුදු පහළොවක ගැහැනු ළමයකු යෑයි පවසමින් ඔවුන් සමඟ අන්තර්ජාලයේ මුණ ගැසෙන පුද්ගලයා, ඇත්තට ම ලිංගික හිංසනයකට සැරසෙන අවුරුදු හතළිස්‌ පහක පිරිමියකු විය හැකි බව ද කියා දෙන්න.

එසේ ම, කිසි ම අවස්‌ථාවක කිසි ම හේතුවක්‌ නිසා අසත්‍ය විස්‌තර ගොනු පවත්වාගෙන යැමෙන් වැළකී සිටින ලෙස ඔවුන්ට පවසන්න. යමක්‌ වැරැදී ගොස්‌ ඔවුන් කළ දෙය පිළිබඳ ව අදාළ බලධාරීන් දැනගත හොත් ඔවුන් කරදරයට පත් වන බව පහදා දෙන්න.

තමන් නො දන්නා පුද්ගලයන් සමඟ කිසි විටෙක අන්තර්ජාලය ඔස්‌සේ තොරතුරු හුවමාරු කරගැනීමට (චැට්‌ කිරීමට) යැමෙන් වළකින ලෙස දරුවන්ට ඒත්තු ගන්වන්න. අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍යජාල යනු නව සම්බන්ධතා ගොඩනඟාගැනීමට හෝ තමන්ගේ අනාගත සහකරුවා සොයාගැනීමට හෝ සුදුසු ස්‌ථානයක්‌ නො වන බවත්, කිසි විටෙකත් තමන්ට ආදරය කරන හෝ තමන් ගැන සොයා බලන බවක්‌ පෙන්වන නාඳුනන පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර නො දක්‌වන ලෙසත් දරුවන්ට පවසන්න.

එසේ ම, තමන්ගේ ඡායාරූප කිසි විටෙකත් සමාජ මාධ්‍යජාල හෝ ඊ-මේල් හරහා නාඳුනන පුද්ගලයන් සමඟ හුවමාරු කර නො ගන්නා ලෙස දරුවන්ට පවසන්න.

අන්තර්ජාලය (ඊ-මේල්, සමාජ මාධ්‍යජාල වැනි) භාවිත කර අවසන් වූ පසු, සැම විට ම ඉන් ඉවත් වීමට (ලොග් අවුට්‌ වීමට) වගබලා ගන්නා ලෙසත්, විශේෂයෙන් ම පොදු වයි-ෆයි සම්බන්ධතා ඔස්‌සේ අන්තර්ජාලයට සම්බන්ධ වූ විට තමන්ගේ මුරපදය (Password) කිසි විටෙක දත්ත ගබඩාවේ තැන්පත් නො කරන ලෙසත් දැනුවත් කරන්න.

දරුවාට ඉතා ඕනෑකමින් ඒත්තු ගැන්විය යුතු කාරණයක්‌ වන්නේ, යම් පුද්ගලයකු ඡායාරූප පළ කරන බවට තර්ජනය කරමින් ඔහුව/ඇයව බිය ගැන්වීමට උත්සාහ කළ හොත්, එසේ බිය වීමට අවශ්‍ය නො වන බවයි. එම පුද්ගලයාගේ ඉල්ලීම් කිසිවකට අවනත නො වන ලෙසත්, වහා ම එම සිදු වීම මාපියන්ගේ හෝ වගකිව යුතු වැඩිහිටියකුගේ අවධානයට යොමු කරන ලෙසත් දරුවා දැනුවත් කරන්න. තත්ත්වය කෙතරම් බරපතළ වුවත් මාපියන් ඔහු/ඇය සමඟ සැම විට ම සිටින බවත්, අවශ්‍ය කටයුතු කරනු ඇති බවත්, එම නිසා කිසි විටෙකත් ඡායාරූප නැවත ලබා දීමේ පොරොන්දුව පිට හිංසකයාගේ විවිධ ඉල්ලීම්වලට අවනත නො වන ලෙසත්, එසේ කළ හොත් සිදු වන්නේ තත්ත්වය තවත් බරපතළ වීම බවත් දරුවාට පැහැදිලි කරන්න. දරුවා යම් හෙයකින් මෙවන් සිදු වීමක්‌ පිළිබඳ ව ඔබට පැවසුව හොත්, අන්තර්ජාල තාක්‌ෂණයන් පිළිබඳ ව ඔබේ දැනුම ප්‍රමාණවත් නො වේ යෑයි හැඟෙන්නේ නම් දරුවාට සහාය වීම සඳහා විශ්වාසවන්ත වැඩිහිටියකුගේ උදව් ලබාගන්න.

දරුවන්ට නවීන තාක්‌ෂණික උපාංගයන් භාවිතයට දීමේ දී මාපිය පාලකයන් (Parental Controls) යොදාගැනීම

මාපිය පාලකයන් සකසා ඇත්තේ දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීමේ දී දරුවන්ට සුදුසු නො වන දේ නැරඹීමේ අවදානම අඩු කිරීම සඳහා ය. ඒවා බොහෝ පරිගණක, ස්‌මාට්‌ ෆොaන් වර්ගයේ ජංගම දුරකථන, ටැබ්ලට්‌ උපාංග සහ අන්තර්ජාල ක්‍රීඩා උපාංගවල අන්තර්ගත ව ඇත. මාපිය පාලකයන් භාවිතය තුළින්, වයසට ගැළපෙන සැකසුම් (Settings) යොදා දරුවා අන්තර්ජාලයේ නරඹන දේ තේරීමට, අධීක්‌ෂණය කිරීමට සහ නැරඹීමෙන් වැළැක්‌වීමට (Block) හැකියාව ඇත. කෙසේ වුව ද, මේ මාපිය පාලකයන් සියයට සියයක්‌ ම නිරවද්‍ය නො විය හැකි බැවින්, මාපියන්ගේ සුපරීක්‌ෂාකාරී නිරීක්‌ෂණය සහ දරුවන් සමඟ අන්තර්ජාල භාවිතය පිළිබඳ ව සාකච්ඡා කිරීම ද අත්‍යවශ්‍ය වේ.

අන්තර්ජාල සේවා සපයන්නන්, පරිගණක ක්‍රියාකාරී පද්ධති, සමාජ ජාල, සෙවුම් යාන්ත්‍රණ හා අන්තර්ජාල ක්‍රීඩා උපාංග විසින් මේ මාපිය පාලකයන් සපයා ඇත. මේ මඟින් දරුවන්ගේ, අන්තර්ජාලය භාවිත කරන කාලය සීමා කිරීම සහ අන්තර්ජාලය මඟින් දරුවාට සෙවිය හැකි, ලබාගත හැකි සහ භාවිතයට ගත හැකි සමහර දේ නැවැත්වීම හා පාලනය කිරීම සිදු වේ.

අන්තර්ජාල සේවා සපයන්නන් මඟින් මාපිය පාලකයන් සකස්‌ කරගැනීම හරහා නිවසේ ඇති සියලු උපාංගවලින් තොරතුරු ලබාගැනීම නියාමනය කළ හැකි ය. මේ පහසුකම සාමාන්‍යයෙන් නොමිලයේ ලබා දෙන අතර අන්තර්ජාල සේවා සපයන්නා ඇමතීමෙන් පහසුවෙන් ලබාගත හැකි ය.

වින්ඩෝස්‌ හා ඇපල් වැනි පරිගණක ක්‍රියාකාරී පද්ධති සඳහා ඔවුන් පහසු පියවර කිහිපයකින් සකස්‌ කරගත හැකි මාපිය පාලකයන් ලබා දෙන අතර ඒවා ද නොමිලයේ සැපයේ. ස්‌මාට්‌ ෆොaන් වර්ගයේ දුරකථන සහ ටැබ්ලට්‌ උපාංගවලට ද මාපිය පාලකයන් සපයන අතර එමඟින් සමාජ මාධ්‍යජාල භාවිතය, ඇප්ස්‌ මඟින් සිදු කරන මිල දී ගැනීම් සිදු කිරීම, ඇප්ස්‌ ගබඩාවට ඇතුළු වීම, කැමරාව භාවිතය ආදිය නැවැත්විය හැකි ය.

දරුවා අන්තර්ජාලය භාවිත කරන විට, ගූගල් ක්‍රෝම්, ෆයර්ෆොක්‌ස්‌, ඉන්ටනෙට්‌ එක්‌ස්‌ප්ලෝරර් වැනි බොහෝ අන්තර්ජාල සෙවුම් යාන්ත්‍රණ විසින්, දරුවා විසින් නරඹන දේ පාලනය කිරීම සඳහා නොමිලයේ පාලකයන් සපයනු ලැබේ. මේවා සකස්‌ කරගැනීම සඳහා මාපිය පාලකයන් සක්‍රිය කළ යුතු වේ. එපමණක්‌ නො ව, දරුවා අන්තර්ජාලයේ යමක්‌ සොයන විට තිරයේ මතු වන විවිධ සෙවුම් ප්‍රතිඵල ද නියාමනය කළ යුතු වන්නේ අනිසි දෙයක්‌ තිරයේ පෙනුණ හොත් දරුවා ඒ ඔස්‌සේ දිගට ම සෙවීම් කළ හැකි නිසා ය. එබැවින්, ගූගල්, යාහූ සහ Bing වැනි සෙවුම් යාන්ත්‍රණ මඟින් ද මෙය නියාමනය කිරීම සඳහා නොමිලයේ මාපිය යාන්ත්‍රණ සපයයි.

වීඩියෝ/චිත්‍රපට වෙබ් අඩවියක්‌ වන Netflix මඟින් මාපිය පාලකයන් සක්‍රිය කළ විට විවිධ පරිණත මට්‌ටම්, එනම් ඉතා කුඩා දරුවන්, තරමක්‌ වැඩිමහලු දරුවන්, නව යොවුන් දරුවන් හා වැඩිහිටියන් සඳහා එකිනෙකට වෙනස්‌ චිත්‍රපට ලබා දෙයි. යූ ටියුබ් යනු දරුවන් විසින් නැරඹිය හැකි තවත් වෙබ් අඩවියකි. මෑතක සිට, දරුවන්ට නැරඹීමට වඩාත් සුදුසු 'යූ ටියුබ් කිඩ්ස්‌' නම් නව යෙදුමක්‌ (ඇප් එකක්‌) හඳුන්වා දී ඇත.

අන්තර්ජාලයේ සැරිසරන විට පමණක්‌ නො ව, අන්තර්ජාල ක්‍රීඩාවේ දී පවා දරුවන් තමන්ගේ වයසට හා පරිණත මට්‌ටමට ගැළපෙන හා ආරක්‌ෂාකාරී දේ පමණක්‌ භාවිත කිරීම වැදගත් වේ. එබැවින් Xbox, Playstation සහ Ninetendo වැනි ක්‍රීඩා උපාංග ද, පහසුවෙන් සක්‍රිය කරගත හැකි මාපිය පාලකයන් නොමිලයේ ලබා දෙයි.

මාපියන් හා වැඩිහිටියන් ලෙස ඔබට යම් මට්‌ටමක හෝ පරිගණක සාක්‌ෂරතාවක්‌ ඇත්නම්, මේ මාපිය පාලකයන් සක්‍රිය කොට, දරුවන් අන්තර්ජාලය ඔස්‌සේ අනිසි දේ නැරඹීම වැළැක්‌වීම ඔබට පහසු වනු ඇත.

දරුවකු සයිබර් තාක්‌ෂණය හරහා ලිංගික හිංසනයට ලක්‌ වන බව දැනගත හොත් කළ හැක්‌කේ කුමක්‌ ද?

බිය හෝ ලැඡ්ජාව නිසාත්, සිද්ධිය හෙළි කිරීමෙන් පසු ඇති විය හැකි අනිසි ප්‍රතිඵල පිළිබඳ ව සිතීම නිසාත්, සාමාන්‍යයෙන් දරුවන් තමන් අත්විඳි සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වන ලිංගික හිංසනය පිළිබඳ ව මාපියන්ට හෝ භාරකරුවන්ට හෝ හෙළි කිරීමට මැළි වෙති.

මාපියන් තමන් සමඟ සැම විට ම සිටින බව දරුවන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් ය. මාපියන් සැම විට ම තමන්ට සහාය හා ආරක්‌ෂාව සපයන බවත්, තමන් කෙරෙහි ඇති ආදරය හා දයාව මේ සිදුවීම නිසා කිසි සේත් ම වෙනස්‌ නො වන බවත් දරුවාට වටහා දිය යුතු ය. මෙය දරුවාට සේ ම මාපියන්ටත් අපහසු කාල සීමාවක්‌ විය හැකි නමුත් සැම විට ම සන්සුන් ව හා සංයමයෙන් යුතු ව, දරුවාට සවන් දෙමින් හා දරුවා කෙරෙහි විශ්වාසය තබමින්, බිය නො වී කරුණු අනාවරණය කිරීමට දරුවාට දිරි දෙමින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

සයිබර් තාක්‌ෂණය හරහා සිදු වූ ලිංගික හිංසන සිදු වීමක කවර හෝ සාක්‌ෂි ඇත්නම් ඒවා සුරක්‌ෂිත ව තබාගැනීම නුවණට හුරු ය. ෆේස්‌බුක්‌ මෙනුවෙහි 'Snipping tool' භාවිතයෙන් වෙබ් ලිපිනය ද සහිත ව එම පළ කිරීම දත්ත ගබඩාවේ තැන්පත් කළ හැකි ය. එසේ නැත්නම්, ස්‌මාට්‌ වර්ගයේ ජංගම දුරකථනයක්‌ භාවිතයෙන් ෆේස්‌බුක්‌ වෙත ගොස්‌ එම සාක්‌ෂිවල Screenshot එකක්‌ ලබාගත හැකි ය. මේ පිළිබඳ ව ඔබට ඇති දැනුම මදි යෑයි සිතේ නම් ඒ ගැන හොඳින් දන්නා කෙනකුගේ සහය ඒ සඳහා ලබාගන්න. තමාගේ අවසරයකින් තොර ව සිදු කරන ලද පළ කිරීමක්‌ හෝ එසේත් නැත්නම් බිය වැද්දීමක්‌ නම් කරුණු මකා දැමීමෙන් වළකින්න. පවතින ඕනෑ ම සාක්‌ෂියක්‌ ආරක්‌ෂා කර තබාගන්න. උදා: ගන්නා ලද ඇමතුම්වල ලැයිස්‌තු, කෙටි පණිවිඩ ආදිය. සාක්‌ෂි සමඟ තමන්ගේ දුරකථනය පොලිසියට භාර දෙන විට එම සාක්‌ෂි ලැයිස්‌තුව සිදුවීම් අනුපිළිවෙළට සකස්‌ කොට ඇත්නම් එය උදව් ලබාගැනීමේ දී පහසුවක්‌ වනු ඇත.

සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වූ ලිංගික හිංසනයට ගොදුරු වූයේ අවුරුදු 18ට අඩු දරුවකු නම්, හදිසි ඇමතුම් අංක 1929 අමතා ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියට ඒ බව දැනුම් දිය හැකි ය. එසේ ම, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයට Rජු අංක 011 232 6979 හෝ සාමාන්‍ය අංක 011 232 0141 ඔස්‌සේ ඇමතීමෙන් වයස්‌ භේදයකින් තොර ව උදව් ලබාගත හැකි ය. එසේ ම dir.cid@police.lk සහ telligp@police.lk ඊ-මේල් ලිපින හරහා තොරතුරු ඊ-මේල් පණිවඩ ඔස්‌සේ ද යෑවිය හැකි ය.

මාපියන්ගේ හෝ භාරකරුවන්ගේ හෝ අවසරයකින් තොර ව දරුවකුගේ ඡායාරූප යම් වෙබ් අඩවියක පළ වී ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස එම වෙබ් අඩවියෙන් ඉල්ලා සිටීමට ඔබට ඕනෑ ම අවස්‌ථාවක හැකි අතර, ඒ සඳහා වෙබ් අඩවියේ ඇති 'අප අමතන්න' යොමුව භාවිත කළ හැකි ය.

යම් දරුවකුට අන්තර්ජාලය ඔස්‌සේ හිංසාකාරී ලිංගික පණිවිඩ ලැබුණ හොත් ඒ බව පොලිසියට හෝ එසේ නැතිනම් ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියට හෝ දැනුම් දිය හැකි අතර ඒ සඳහා පැය 24 ම විවෘත ව පවතින භාෂා 3න් ම නොමිලයේ ඇමතිය හැකි 1929 හදිසි ඇමතුම් අංකය භාවිත කළ හැකි ය. එසේ ම ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකයට ද පැමිණිලි කළ හැකි ය. එසේ ම ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය මඟින්, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා දරුවන් හිංසනයට ලක්‌ කරන්නන් හඳුනාගැනීම සඳහා විශේෂ අන්තර්ජාල ආවේක්‌ෂණ ඒකකයක්‌ ද පිහිටුවා ඇත.

සයිබර් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වන ලිංගික හිංසන සිදු වීමක දී උදව් ලබාගැනීම සඳහා මාර්ග බොහෝ ඇත. දරුවාගේ ඡායාරූප අනවසරයෙන් පළ කොට ඇති වෙබ් අඩවිය නැවැත්වීමට (බ්ලොක්‌ කිරීමට) ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අංක 011 269 1692 ඔස්‌සේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ඇමතිය හැකි ය. එම සිදු වීම තවදුරටත් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය නම්, අංක 011 4 71 85 85 අමතා Women in Need ආයතනයෙන් උදව් ලබාගත හැකි ය. ඔවුන් ඔබට දිගට ම උදව් කරනු ඇති අතර ඨGrassrooted Trust Organization හි සහාය ද ලබාගනු ඇත.

දරුවන් ලිංගික පණිවිඩ/ඡායාරූපවලට නිරාවරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව අප මතක තබාගත යුතු ය. දරුවකු ලිංගික ක්‍රියාවක්‌ සඳහා පෙලඹවීමට උත්සාහ කරන පුද්ගලයකු වසර 10ක්‌ දක්‌වා සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දෙකට ම හෝ යටත් කළ හැකි ය. (2006 අංක 16 දණ්‌ඩ නීති සංග්‍රහය (සංශෝධන) 360 (e) කොටස). ලිංගික දේ පළ කරන හෝ ප්‍රදර්ශනය කරන පුද්ගලයකු වසර දෙකකට නො අඩු, හා වසර 10කට නො වැඩි සිර දඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි ය. (1995 අංක 22 දණ්‌ඩ නීති සංග්‍රහය (සංශෝධන) 286 (a) කොටස). දරුවන් අන්තර්ජාලය ඔස්‌සේ ලිංගික හිංසනයට ලක්‌ කරන්නන් මේ වගන්ති දෙක යටතේ ම දඬුවමට ලක්‌ කළ හැකි ය.