logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අහසින් වැටෙන වලාකුළු ලෙස වරදවාගත හැකි ධූමිකා සහ පෙණ

පසුගිය දිනක (නොවැම්බර් 29 වැනි දා) කුරුණෑගල - මහනුවර මාර්ගය අසල ගැට්‌ටුවාන ගම්මානයේ කුඹුරු යායක ගොයමේ එක්‌ ස්‌ථානයක ඝන වලාකුළක්‌ වන් දෙයක්‌ දක්‌නට ලැබුණ බව ජනමාධ්‍යවලින් ඔබ කියවන්නට, දකින්නට ඇති. රූපවාහිනි නාළිකාවක ප්‍රවෘත්ති විකාශයකින් එය නැරඹූ අයෙක්‌ දුරකතනයෙන් මේ ලේඛකයා හා පවසා සිටියේ බිමට පාත් වූ වලාකුළක්‌ නැරඹූ බව ය. මීට මාස කිහිපයකට පෙර හිරු රූපවාහිනි නාළිකාවේ 'මේක පුදුම ලෝකයක්‌' වැඩසටහන තුළින් කමත් පෙදෙසක දිය පාරක්‌ අවට දක්‌නට ලැබුණ මෙවැනි ම සංසිද්ධියක්‌ දුටුවෙමි.

මේ කිසිවක්‌ ආශ්චර්යයන් නො ව විවිධ සාධකවල බලපෑම් නිසා සිදු වන පාරිසරික සිද්ධීන් ය. බිම් මට්‌ටමේ දී දැකගත හැකි සේ වර්ධනය වන මෙවන් දැ එක්‌කෝ ධූමිකා (Fog) ලෙස හඳුන්වනු ලබන ඝන මීදුම වන්නේ ය. නැතිනම් ඒ පෙණ (Foam) ගොඩගැසීමකි.

පෘථිවි මට්‌ටමේ සිට කිලෝ මීටර් 12ක්‌ තරම් ඉහළ මට්‌ටම් දක්‌වා විහිදෙන වායුගෝලීය කොටස වන පරිවර්තී ගෝලය (Troposphere) තුළ ජල වාෂ්පවල හැසිරීම, එහි සාන්ද්‍රණය සහ පරිසර උෂ්ණත්වය මෙන් ම ජලවාෂ්ප සිරස්‌ සහ තිරස්‌ දිශාවල විස්‌ථාපනය කිරීමට බලපාන යාන්ත්‍රණ මත රදා පවතී. ඒ අනුව මීදුම (Mist), ධූමිකා හෙවත් ඝන මීදුම (Fog), ජල බිංදු (Water Drops), වැසි බිඳු (Rain Drops), හිම (Snow), අයිස්‌ (Ice) සහ ජල බිඳු සමූහ ලෙස වලාකුළු (Cloud) යන විවිධ අවස්‌ථා ලෙස ජලය පැවතිය හැකි ය.

වායුගෝලීය ජලවාෂ්ප සාන්ද්‍රණය, සාපේක්‌ෂ ආර්ද්‍රතාව සියයට ආසන්න වන පරිදි ඉහළ අගයක්‌ ගන්නා පරිසරයක වායුගෝලීය සිසිල් වීමක්‌ සිදු වන අවස්‌ථාවල නිසසල වාතාවරණයක පහළ වායුගෝලයේ මීදුම වර්ධනය වේ. විවිධ සාධකවල බලපෑම් යටතේ පරිසරය තව තවත් සිසිල් වුව හොත් මීදුමේ ජල බිඳු මත ජලවාෂ්ප ඝනීභවනය වී තරමක්‌ විශාල ජල බිඳු වර්ධනය වී, වලාකුළක්‌ සේ ම දර්ශනය වන ඝන මීදුම හෙවත් ධූමිකා වර්ධනය වේ. විද්‍යාවේ දී හිමාංකය (Dew point) ලෙස නම් කරනු ලබන උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර පරතරය සෙල්සියස්‌ අංශක 2.5ට වඩා අඩු වීම ධූමිකා සෑදීමට අවශ්‍ය සාධකයක්‌ වන්නේ ය.

දෙවැනි අන්තර් මෝසම් සමයේ දී ධූමිකා වර්ධනය වන පාරිසරික සාධක පරිපූර්ණ වීම විරල සිදු වීමක්‌ නිසා ද, ධූමිකා සාමාන්‍යයෙන් කිලෝමීටර වලින් මැනිය යුතු වපසරියක වර්ධනය වන දෙයක්‌ නිසා ද, ගැට්‌ටුවාන දී නිරීක්‌ෂණය වූයේ ධූමිකා විය නොහැකි ය.

පෘථිවි මට්‌ටමේ විවිධ පරිසරවල පෙණ (Foam) වර්ධනය වීම තවත් සාමාන්‍ය සංසිද්ධියකි. තාක්‌ෂණික දියුණුවත් සමඟ රසායනික ද්‍රව්‍ය (ඝන, ද්‍රව හෝ වායු) නිෂ්පාදනය වීමට පෙර සිට ම ජලාශ ආශ්‍රයෙහි, විශේෂයෙන් ම ගලා යන ජලය ආශ්‍රිත ව, පෙණ නැඟීම සිදු විය.

ජලයේ හෝ වෙනත් ද්‍රවයක්‌ තුළ (සමහර විට ඝන ද්‍රව්‍යයක්‌ තුළ) සිර වී ඇති වායු කොටස්‌ විවිධ හේතු නිසා නිදහස ලැබීම හේතුවෙන් පෙණ ඇති වේ. කිහිප දෙනෙක්‌ එක්‌ වර ළිඳකින් ස්‌නානය කරන විට ගලා යන ජලයේ හෝ, ක්‌ෂණික ව විවෘත කරන ලද බියර් වීදුරුවක්‌ හෝ වෙනත් දියරයක්‌ බඳුනකට වත් කරන අවස්‌ථාවල හෝ, වාහන හෝ රෙදි සේදීමට අද භාවිත වන සබන් දියර සහිත බඳුනකට සැර ජල පහරක්‌ එල්ල කරන විට හෝ පෙණ කැටිති හෝ පෙණ ගොඩවල් දක්‌නට ලැබීම උදාහරණ වේ. මෙවන් අවස්‌ථාවල නිදහස්‌ වන වායු බුබුළු වටා සියුම් ද්‍රව පටලයක්‌ සැදීම නිසා පෙණවලට වර්ණයක්‌ ද ලැබිය හැකි ය. ගිනි නිවන උපකරණයක්‌ ක්‍රියාත්මක කිරීමේ දී මීට වඩා වෙනස්‌ ආකාරයේ පෙණ දකින්නට ලැබෙන බව ඔබ දන්නවා ඇතැයි සිතමි. මෙහි දී වායු බුබුළු සහ යම් කිසි ද්‍රවයක බින්දු මිශ්‍රණයක්‌ ගිනිගත් ද්‍රව්‍ය වටා එක්‌රැස්‌ වේ. එය ද පෙණ විශේෂයකි.



රසායනික ද්‍රව්‍ය (ද්‍රව හෝ වායු හෝ ඝන) නිෂ්පාදනයේ ඉහළ යැමත් සමඟ එම රසායනික ද්‍රව්‍ය ජලය හා මුසු වීම ද ඉහළ ගොස්‌ ඇති බව පැහැදිලි සත්‍යයකි. කර්මාන්තශාලා අපද්‍රව්‍ය ඇළ, දොළ, ගංගාවලට මිශ්‍ර වීමෙන් පෙණ කඳු ඇති වූ බව අප දිවයිනෙන් ම වාර්තා වූ අවස්‌ථා කිහිපයක්‌ ම ඔබ ජනමාධ්‍ය තුළින් දැක ඇති.

කුරුණෑගල අවට සිද්ධියට හේතු විය හැකි ප්‍රධානතම සාධකය රසායනික ද්‍රව්‍යයක්‌ (පොහොර හෝ කෘමිනාශක දියර වුව) විය හැකි ය. රසායනික ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර වීමේ දී සිර වී ඇති වායු කොටස්‌ නිදහස්‌ වීම මෙන් ම ජලය හා මිශ්‍ර වීමේ දී සිදු වන විපර්යාස නිසා බිහි වන වායු කොටස්‌ නිසා පෙණ ගොඩනැඟීම ඇති වූ බවට සැක පහළ කළ හැකි ය. එම සිදු වීම පිළිබඳව කවුරුන් හෝ විමර්ශනය කර ඇති නම් සිද්ධියේ යථාර්ථය මේ වන විටත් පැහැදිලි වී ඇතිවාට සැක නැත.

කේ. ආර්. අභයසිංහ