logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බලශක්‌තියේ කිරුළ අහිමි කුමරා ගිනිගන්නා අයිස්‌

පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මානවයා දියුණුවේ හිනිපෙතට ම ගෙන ඒමට මඟපෑදුවේ බලශක්‌තියයි. බලශක්‌තිය නො වන්නට මෙතරම් විප්ලවයක්‌ කරන්නට මානවයාට හැකියාවක්‌ නැහැ. වසර බිලියන ගණනක්‌ පුරා මිහිතලය තුළ සැඟවී තිබුණු හයිෙඩ්‍රාකාබන එළියට ගෙන ඒවා දහනය කර බලශක්‌තිය නිපදවාගන්නට මිනිසා සමත්කම් දැක්‌වූවා. ෆොසිල ඉන්ධන, ගල් අඟුරු, ස්‌වාභාවික වායු ආදිය මේ හයිෙඩ්‍රාකාබන ගොන්නට අයත්. එහෙත් මේ සියලු ඉන්ධන ප්‍රභව සමඟ කරට කර සිටිය හැකි තරම් ශක්‌ති විභවයක්‌ හිමි තවත් ඉන්ධන ප්‍රභවයක්‌ මිහිතලය මත ඇති බව ඔබ දැන සිටියා ද?

බලශක්‌ති ක්‌ෂේත්‍රයේ නමක්‌ දිනාගෙන නැති නිසා ම මෙය බලශක්‌තියේ කිරුළ අහිමි කුමරකු යෑයි කීම වැරැදි නැහැ. 'ගිනිගන්නා අයිස්‌' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මේ බලශක්‌ති ප්‍රභවය මීතේන් හයිඩේ්‍රට්‌.

මීතේන් හයිඩේ්‍රට්‌ යනුවෙන් හැඳින්වෙන්නේ ජල අණුවලින් සැදුණු අයිස්‌ දැළිසක්‌ තුළ සිර වූ මීතේන් අණු. පොළොව තුළින් නිකුත් වන මීතේන් අධික පීඩන හා අධීක ශීතල තත්ත්ව යටතේ ජලය හා මුණගැසී මෙලෙස අයිස්‌ තුළ සිර වීම සිදු වනවා. මේවා බැලූ බැල්මට පෙනෙන්නේ අයිස්‌ ලෙසයි. එහෙත් ඒ අයිස්‌ කුට්‌ටියක්‌ තුළ විශාල මීතේන් ප්‍රමාණයක්‌ සිර වී පවතිනවා. මෙවැනි මීතේන් හයිඩේ්‍රට්‌ කුට්‌ටියකට ගිනිකූරක්‌ ළං කළ හොත් එම අයිස්‌ කුට්‌ටිය දිය වෙමින් දැල්වෙන අන්දම ඔබට දැකගත හැකියි. පීඩනය අඩු වූ විට හා උෂ්ණත්වය වැඩි වූ විට මේ මීතේන් හයිඩේ්‍රට්‌ බිඳ වැටී මීතේන් වායුව පිට වනවා. දැල්ලක්‌ සේ දැවෙන්නේ මේ මීතේනුයි. ගිනිගන්නා අයිස්‌වල ඡායාරූපයක්‌ ඔබ කොහේ දී හෝ දැක ඇත්නම් බොහෝ විට ඒ මීතේන් හයිඩේ්‍රට්‌ විය හැකියි.

ස්‌වාභාවික ව නිර්මාණය වුණු මීතේන් හයිඩේ්‍රට්‌ තැන්පතු ඉතා විශාල ප්‍රමාණයක්‌ ලොව පුරා දැකිය හැකියි. මේවා ප්‍රධාන වශයෙන් භූ තල මායිම් ආශ්‍රිත ව සාගර පතුලේ හා ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ තට්‌ටුවට යටින් ද පිහිටා තිබෙනවා. නවතම භූගෝලීය සමීක්‌ෂණවලින් පෙනී ගොස්‌ ඇත්තේ ලෝකයේ ඇති සියලු ම ෆොසිල ඉන්ධන, ගල් අඟුරු හා අනෙකුත් ඉන්ධන ප්‍රභවවලට ඇති හයිෙඩ්‍රාකාබන ප්‍රමාණයෙන් තුනෙන් එකක්‌ තරම් විශාල හයිෙඩ්‍රාකාබන ප්‍රමාණයක්‌ මීතේන් හයිඩේ්‍රට ලෙස පවතින බවයි. එමෙන් ම මීතේන් හයිඩේ්‍රටවල තවත් විශාල වාසියක්‌ තිබෙනවා. ඒ ඒවායේ ඇති මීතේන් ඝනත්වය ඉතා විශාල වීමයි. මීතේන් හයිඩේ්‍රට්‌ ඝන මීටරයක්‌ මඟින් මීතේන් ඝන මීටර් 160කට අධික ප්‍රමාණයක්‌ ලබාගත හැකියි. අනෙක්‌ අතට මීතේන් හයිඩේ්‍රටවලින් මීතේන් වෙන් කරගැනීමේ ක්‍රියාවලිය ද දුෂ්කර එකක්‌ වන්නේ නැහැ. පීඩනය අඩු වී උෂ්ණත්වය වැඩි වූ වහා ම එහි ඇති මීතේන් වායුව ලබාගත හැකියි. එබැවින් බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස මීතේන් හයිඩේ්‍රටවල ඇති විභවය ඉතා විශාලයි. එමෙන් ම ජපානය, ඉන්දියාව වැනි තෙල් නිධි අහිමි රටවල ආසන්නයේ පවා මෙවැනි මීතේන් හයිඩේ්‍රට නිධි පවතින නිසා එමඟින් ප්‍රයෝජන ලබාගත හැකියි.

එය එසේ නම් මෙතරම් වාසි සහගත ලක්‌ෂණ ඇති මේ ඉන්ධන ප්‍රභවය අප භාවිතයට නො ගන්නේ ඇයි? මේ පිළිබඳ ව අප අසා නැතිකම ම එය බහුල ව භාවිතයට නො ගැනෙන බවට වන සාක්‌ෂsයක්‌. මීතේන් හයිඩේ්‍රටවලට බලශක්‌තියේ කිරුළු පළඳවන්නට මෙතෙක්‌ හැකි වී නැත්තේ එය සිදු කිරීමට පවතින ආර්ථික හා පාරිසරික බාධාවන් නිසයි.

සාගර පත්ලේ ඇති මීතේන් හයිඩේ්‍රට්‌ ගත් කල ඒවා සාමාන්‍යයෙන් ඇත්තේ මීටර පන් සියයක්‌ (500 m) පමණ ගැඹුරෙන් විශාල පීඩනයක්‌ යටතේයි. එමෙන් ම එහි උෂ්ණත්වය සෙල්සියස්‌ බිංදුව හෝ ඊට වඩා අඩු වනවා. මේ තත්ත්ව යටතේ මුහුදු පත්ලේ ඇති මීතේන් හයිඩේ්‍රට්‌ කැණ ඒවා භාවිත කිරීම සඳහා මතුපිටට ගෙනඑනු ලැබුව හොත් සිදු වන්නේ එහි ව්‍යqහය බිඳ වැටී භාවිතයට ගැනීමට පෙර ම මීතේන් වායුව බාහිර පරිසරයට නිකුත් වී යැමයි. එම නිසා මේවා පොළොව මතුපිටට ගෙනැවිත් මීතේන් ලබාගැනීම කළ නොහැක්‌කක්‌. මෙනිසා යොදාගත හැකි එක ම ක්‍රමය වන්නේ මුහුද පතුලේ දී ම මීතේන් නිපදවා ඒවා ගොඩබිමට ගෙන ඒමයි. මුහුදු පතුලේ මීතේන් හයිඩේට්‌ නිධියක තෝරාගත් සංවෘත්ත කොටසක පීඩනය අඩු කිරීමෙන් හෝ උෂ්ණත්වය වැඩි කිරීමෙන් හෝ මෙය කළ හැකියි. එහෙත් මීතේන් වායුව පිට වීමත් සමඟ එම අයිස්‌ ව්‍යqහය අස්‌ථාවර වන අතර ඒවා කඩා වැටී සාගර පත්ල මත නාය යැම් ඇති විය හැකියි. එවැනි සිදුවීමක දී සුනාමි පවා ඇති විය හැකි බවට සමහර පරිසරවේදීන් බිය පළ කරනවා.

මීතේන් හයිඩේ්‍රට්‌වල පැවැත්ම පිළිබඳ ව හෙළිදරව් වී තිබුණේ 1960 ගණන්වල වුවත් ඒවා ප්‍රයෝජනයට ගැනීම මෙතෙක්‌ කල් සිදු නො වුණේ ඒවා ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා පවතින මෙවැනි දුෂ්කරතාවන් නිසයි. මීට අමතර ව මේ නිධිවලට අත නො ගැසීමට තවත් හේතුවක්‌ තිබෙනවා. ඒ මීතේන් විශාල වශයෙන් නිදහස්‌ වී වායුගෝලයට එක්‌ වීමට ඇති අවදානමයි. මීතේන් යනු හරිතාගාර ආචරණයට විශාල වශයෙන් තුඩු දෙන වායුවක්‌ වන අතර එහි බලපෑම කාබන්ඩයොක්‌සයිඩ්වලට වඩා තිස්‌ ගුණයකින් පමණ වැඩි බවයි හෙළිදරව් වී තිබෙන්නේ. මෙවැනි කැණීම් ක්‍රියාවලියක දී විශාල මීතේන් ප්‍රමාණයක්‌ වායුගෝලයට එක්‌ වීමේ අවදානමක්‌ පවතින අතර එය ගෝලීය උණුසුම ඉහළ යැමට බරපතළ සේ බලපෑ හැකියි. මෙලෙස මීතේන් පරිසරයට එක්‌ වීම වළක්‌වා ලමින් ඒවා ලබාගැනීමට ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ සෙවිය යුතු වීම එය ඉදිරියට පැමිණීම වළක්‌වා ලීමට පවතින අනෙක්‌ හේතුවයි.



මෙවැනි බාධාවන් කෙතරම් තිබුණත් ගිනිගන්නා අයිස්‌වල ඇති මේ දැවැන්ත විභවතාව නිසා ම එය බලශක්‌ති විසඳුම් සෙවීමේ මේසයෙන් සම්පූර්ණයෙන් ම බැහැර කර දැමීමට බොහෝ රටවල් සූදානම් නැහැ. එක්‌සත් ජනපදය, කැනඩාව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල් දිගු කාලයක්‌ තිස්‌සේ මේ බලශක්‌ති මූලයට ප්‍රවේශ වීම සඳහා තිරසර ක්‍රමවේදයක්‌ සෙවීමට උත්සාහ දරමින් සිටිනවා. මෙයින් ඉදිරියෙන් සිටින්නේ ජපානයයි. ජපානය වැනි රටකට තම බලශක්‌ති අවශ්‍යතා සපුරාගැනීම සඳහා කිසිදු තෙල් හෝ වායු නිධි නොමැති බැවින් තම බලශක්‌ති ස්‌වාධීනත්වය පවත්වාගැනීම සඳහා මෙවැනි බලශක්‌ති ප්‍රභවයක්‌ ඉතා වැදගත්. අනෙකුත් බලශක්‌ති ක්‌ෂේත්‍රවලට තරම් විශාල අවධානයක්‌ යොමු නො කළත්, රටවල් බොහොමයක්‌ එබඳු ක්‍රමවේදයක්‌ සෙවීම සඳහා වන පර්යේෂණ ව්‍යාපෘතිවලට අඛණ්‌ඩ ව ආධාර සපයනවා.

1985 පමණ ඈතක දී එක්‌සත් ජනපදය මීතේන් හයිඩේ්‍රට්‌ නිධි පවතින තැන් සෙවීම පිළිබඳ සමීක්‌ෂණයක්‌ ආරම්භ කළ අතර එය සම්පූර්ණ වී තිබුණේ 1995 දීයි. ඇමෙරිකාව වටා මේ වන විටත් මේ පිළිබඳ ව පුරෝගාමී ව්‍යාපෘති පහක්‌ පමණ දියත් කර තිබෙනවා. 2013 වසරේ දී ජපානය මුල් වරට සාර්ථක ව සාගර පත්ලෙන් මීතේන් උකහාගැනීම සිදු කළ අතර දින හයක්‌ වැනි කාලයක්‌ ඇතුළත එම පර්යේෂණය අවසන් වී තිබුණේ මීතේන් ලබාගැනීම සඳහා කළ විදුම් සිදුරු වැලිවලින් අවහිර වී යැමෙන්. 2017 වසරේ දී ද ජපානය නැවත වරක්‌ මෙවැනි පරීක්‌ෂණයක්‌ පැවැත්වූ අතර දින 24ක්‌ ගත වන තුරු ගැටලුවකින් තොර ව ඒ හරහා මීතේන් ලබා ගැනීමට හැකි වූ බවයි ප්‍රකාශ වී තිබුණේ. එමෙන් ම චීනය ද පසුගිය වසරේ සාර්ථක ව මීතේන් උකහාගැනීමට සමත් වූ බවත් එය ක්‌ෂේත්‍රයේ විප්ලවීය සන්ධිස්‌ථානයක්‌ බවත් ප්‍රකාශ කර තිබුණා. මීට අමතර ව ජපානය ඇමෙරිකාව හා එක්‌ ව ඇලෙස්‌කාවේ මෙලෙස මීතේන් හයිඩේ්‍රට්‌වලින් මීතේන් ලබාගැනීමේ ව්‍යාපෘතියකට මැදිහත් වී සිටිනවා.

තාක්‌ෂණයේ දියුණුවත් සමඟ ඉදිරියේ දී මේ දැවැන්ත මීතේන් හයිඩේ්‍රට්‌ නිධිවලින් මීතේන් ලබාගැනීම සඳහා ආර්ථික වශයෙන් ලාභදායී හා පාරිසරික වශයෙන් සුබදායී විසඳුමක්‌ සොයාගැනීමට ඉඩ ලැබෙනු ඇති. මේ පිළිබඳ විශේෂඥයන් පවසන අන්දමට නම් වාණිජ වශයෙන් මීතේන් නිපදවාගැනීමට වසර 2030 පමණ වත් වන තරම් කාලයක්‌ ගත වනවා. කෙසේ වෙතත් ඊට පෙර ජයගැනීමට බොහෝ අභියෝග තිබෙනවා. අනෙක්‌ අතට අප අමතක නො කළ යුතු කාරණය නම් බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස මීතේන් දහනයෙන් ද අවසානයේ පරිසරයට කාබන්ඩයොක්‌සයිඩ් එකතු වන බවයි. එනිසා යම් දිනෙක කරළියට පැමිණිය ද පුනර්ජනනීය බලශක්‌ති තරම් සම්මානනීය බවක්‌ එයට හිමි කර දීමට හැකියාවක්‌ නැහැ.

එමෙන් ම මීතේන් හයිඩේ්‍රට්‌ සමඟ ගැටගැසුණු තවත් කතාවක්‌ තිබෙනවා. ඒ ගෝලීය උණුසුම සමඟ යම් දිනෙක ආක්‌ටික්‌ ධ්‍රැවයේ අයිස්‌ තට්‌ටු දිය වී යැමෙන් එහි සැඟවී ඇති මීතේන් හයිඩේ්‍රට්‌ තැන්පතු නිරාවරණය වීමේ අවදානමයි. යම් හෙයකින් මෙසේ වුව හොත් විශාල ලෙස මීතේන් වායුගෝලයට එක්‌ වීම තුළ අධික ශීඝ්‍රතාවකින් යුතු ව ගෝලීය උණුසුම ඉහළ යනු ඇති බවට පරිසර විද්‍යාඥයන් බිය පළ කරනවා. එම නිසා බලශක්‌තියේ වීරයකු ලෙස බැරි නම් ගොලීය උණුසුමේ දුෂ්ටයකු ලෙස හෝ මේ ගිනිගන්නා අයිස්‌ යම් දිනෙක මෙතෙක්‌ තමාට අහිමි අවධානය දිනාගනු ඇති බවට සැකයක්‌ නැහැ.

දමිත නිපුණජිත්