logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධයේ හා ෆැන්ටසියේ මායිම් බොද කරන Fantastic Beasts 2

යම් චිත්‍රපටයක්‌ කිසියම් නිශ්චිත ෂොනරයක්‌ යටතට වර්ග කිරීම ප්‍රායෝගික ව අනුචිත බව පශ්චාත්නූතන සිනමා විචාරකයන්ගේ මතයයි. එයට හේතුව වන්නේ බොහෝ විට චිත්‍රපටයක්‌ එක්‌ ෂොනරයක්‌ තුළ සිරගත කිරීම අපහසු වීමයි. නොවැම්බර් 16 වැනි දා ලොව පුරා සාමූහික තිරගත වීම් ඇරඹු Fantastic Beast - The Crimes Of Grindelwald චිත්‍රපටය සුප්‍රකට රොටන් ටොමැටෝස්‌ සිනමා ප්‍රභේදකරණ සේවාව මගින් වර්ගීකරණය කර ඇත්තේ Science Fiction and Fantacy යටතට ය. එනම් විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ෂොනරයට ය. එහෙත් සුප්‍රකට සිනමා ඉතිහාසඥයකු වන ආචාර්ය ඡේ. රොසන්බවුම් පවසන්නේ මෙවැනි (හැරී පොටර් ආකාරයේ) චිත්‍රපට මගින් විද්‍යා ප්‍රබන්ධ ෂොනරයේ මෙන්ම ෆැන්ටසි ෂොනරයේ ද සීමා මායිම් බොද වන බවයි.

සුප්‍රකට සිනමා විචාරක හා ලේඛක රාජන් ඛන්නාට අනුව විද්‍යා ප්‍රබන්ධයේ හා ෆැන්ටසි ෂොනරයේ සීමා මායිම් බොද කළ පළමු චිත්‍රපටය මෙය නො වේ. සෙලනිගේ This Immortal හා සෙලනිගේ ම Creatures of Light and Darkness හැරී හැරිසන්ගේ Captive Universe වැනි සුපිරි විද්‍යා ප්‍රබන්ධ සේ සැලකෙන කෘතීන් ද පූර්ණ ලෙස ම විද්‍යා ප්‍රබන්ධ නො වන බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් රොටන් ටොමැටොස්‌ සිනමා ප්‍රභේදකරණ සේවාව මේ ගැටලුවට කදිම විසදුමක්‌ දෙයි. එය නම් 'විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි' යනුවෙන් නව ෂොනරයක්‌ නම් කිරීමයි. ස්‌වාධීනව විද්‍ය ප්‍රබන්ධ හෝ ෆැන්ටසි ලෙස ෂොනර දෙකක්‌ නම් කරනවා වෙනුවට මෙවැනි පොදු නාමයක්‌ අවශ්‍ය බව රොටන් ටොමැටෝස්‌හි අදහසයි. රොටන් ටොමැටොස්‌ ලොව ලොව විශිෂ්ටතම විද්‍ය ප්‍රබන්ධ හා ෆැන්ටසි චිත්‍රපට ලෙස නම් කර ඇත්තේ Wizard (2017), Mad Max (2015) Wonder Woman (2017) E.T. (1982) හා Metropolis (1927) ය. මේ අතරෙන් පළමුවැන්න (හැරී පොටර් ආකාරයේ) මැජික්‌ චිත්‍රපටයකි. මේ පහෙන් ෆැන්ටසි කෙරෙන් ඈත් ව විද්‍යා ප්‍රබන්ධ කෙරෙහි වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේ E.T. හා Metropolis පමණි.

සත්ත්ව විද්‍යාඥයකු මැජික්‌කරුවකු වීම

ඩේවිඩ් යේට්‌ස්‌ විසින් අධ්‍යක්‌ෂණය කරන ලද වෝර්නර් බ්‍රදර්ස්‌ නිෂ්පාදනයක්‌ වන Fantastic Beasts - The Crimes of Grindelwald යනු

ඡේ. කේ. රෝලින්ගේ පිටපතකට අනුව නිර්මාණය කරන ලද (හැරී පොටර් ආකාරයේ) මැජික්‌ චිත්‍රපටයක්‌ බව සැබෑවකි. එහෙත් අන් බොහෝ මැජික්‌ චිත්‍රපට හා සසදන කල මෙහි විද්‍යාත්මක සිද්ධාන්ත හා සිද්ධි බහුල ව ගැබ් වේ.

මේ කෘතියේ ප්‍රධාන චරිතය වන්නේ නිවුට්‌ (Newt) යන තරුණ සත්ත්ව විද්‍යාඥයා ය. මේ චිත්‍රපටය තුළ සිටින මැජික්‌ සතුන්ගේ භාරකරුවා වන්නේ ඔහු ය. ඔහු සතුන් පිළිබද විශේෂ දැනුමක්‌ ඇති ජීව විද්‍යාඥයකු වනවාට අමතරව සතුන් ගැන විශාල කරුණාවක්‌ ඇති පුද්ගලයෙක්‌ ද වේ. ඔහු ජෛව විවිධත්වය, ජෛව සංරක්‌ෂණය, නව විශේෂකරණය වැනි දේ ගැන උනන්දුවක්‌ දක්‌වන හා ඒ ගැන අවබෝධයක්‌ ඇත්තෙකි.

නිවුට්‌ හට මේ සතුන් ගැන දැනුම හා ලැදියාව කුඩා කල සිට ම උරුම වූවකි. ඔහුගේ මව Hippogriff නම් සතුන් වර්ගය ඇති කරන කාන්තාවකි. Hippogriff යනු ගිජුලිහිණියකුගේ හැඩයෙන් ශරීරයේ උඩ කොටසත්, අශ්වයකුගේ හැඩයෙන් ශරීරයේ යට කොටසත් සැකසුණු සතෙකි. කුඩා කල සිට ම සතුන් දෙමුහුන් කිරීම, විකෘති ආදිය ගැන මෙන්ම ජෛව විවිධත්වය ගැන දැනුම ද ඔහුට මව ගෙන් ලැබේ. නිව්ට්‌ සතු ව අපූර්ව සත්ත්ව එකතුවක්‌ ඇත. ඔවුහු හැම දෙන ම ඉතා ආකර්ෂණීය අය වෙති. එයින් ජෛව විද්‍යාත්මකව ඉතා ම වැදගත් වන සතා Bowtruckle බව ආචාර්ය රොසන්බවුම්ගේ මතය යි. මන්ද යත් ඒ සතා ශාක හා සත්ත්ව මිශ්‍රණයක්‌ බදු ජීවියෙකි. Bowtruckle ගේ හැඩය ගසක්‌ බදු ය. එහෙත් සතකු සේ එහා මෙහා ඇවිදින්නට, සතුරන්ට පහර දෙන්නට ඔහුට පුළුවන. මොවුන්ට ඇස්‌ ඇත. මේ අය බොහෝ විට පෙනුමෙන් වන්දාට සමාන ය. එහෙත් වන්දාට දෙපයින් නැගී සිට ඇවිද යැමට හැකියාව නැති මුත් මොවුන්ට ඒ හැකියාව ඇත. මොවුහු ගස්‌ ආරක්‌ෂා කිරීමට බැදී සිටිති. වන්දාට ඇත්තේ ගසක/ පැළෑටියක හැඩයක්‌ පමණක්‌ වුව ද මේ සතාගේ දේහයේ සැබැවින් ම ශාක කොටස්‌ ඇත. මීට අමතර ව ඔහුගේ පාලනයට යටත් ව සිටින සතුන් රැසක්‌ වේ. Matagot නැමති බළලකුගේ හැඩයෙන් යුත් සතා ද, Chupacabra පියාඹන බළලකු බදු සතා ද, Niffler නැමති ඌරු මීයකුගේ හැඩය සහිත සතා ද ඒ අතර වෙති.

Fantastic Beast -II The Crimes Of Grindelwald හි කතාව වන්නේ ග්‍රින්ඩල්වෝල්ඩ් (Johnny Depp) නම් මන්ත්‍රකරුවා නිව්යෝක්‌ නුවර විනාශ කර දමන්නට දරන උත්සාහයත්, සත්ත්ව විද්‍යාඥ නිව්ට්‌ හා ඔහුගේ ගුරු ඩම්බල්ඩෝ එය වළක්‌වන ආකාරයත් ය. ග්‍රින්ඩල්වෝල්ඩ් මන්ත්‍රකරුවකු වන අතර මන්ත්‍ර ක්‍රම පිළිබද පර්යේෂණ ද පවත්වන්නෙකි. Grindelwald විසින් අනාගත ලෝකයේ යුද්ධ ගැන කරනු ලබන

පෙරැයීම් මේ චිත්‍රපටයට විද්‍යා ප්‍රබන්ධ ලක්‌ෂණ ලැබීමට යම් හේතුවක්‌ වී ඇතැයි විචාරකයෝ කියති. ඔහු ඒ පෙරයීම් කරන්නේ මන්ත්‍ර බලය පමණක්‌ නො ව විද්‍යාත්මක ක්‍රමයද පාදක කර ගනිමිනි.

දෘෂ්‍ය ප්‍රයෝගයන්හි වෙසෙසියාව

IGN සගරාවට විචාරයක්‌ ලියමින් සුප්‍රකට විචාරක David Griffin පවසන්නේ මෑත කාලයේ දී ඉතා ම විශිෂ්ට ලෙස දෘෂ්‍ය ප්‍රයෝගවල ශක්‍යතා භාවිත කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය මෙය බවයි. ඔහු එහි දී Stunning visual effects යන යෙදුම භාවිත කරයි. එසේ ම මේ චිත්‍රපටයේ දී ඉතා ම අනර්ඝ මට්‌ටමේ නව ජීවීන් හදුන්වා දී ඇති බවත් එමගින් චිත්‍රපටයට විශාල ආලෝකයක්‌ ලැබී ඇති බවත් පෙන්වා දෙයි.

මේ චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග මෙහෙයවන ලද්දේ Oliver Adranghi විසිනි. Adranghi යනු Thor, Teenage Mutant, Jupiter Accending මවුග්ලි ඇතුළු චිත්‍රපට 30ක පමණ දෘෂ්‍ය ප්‍රයෝග මෙහෙයවූ පුද්ගලයා ය. එසේ ම දෘශ්‍ය ප්‍රයෝග ක්‍ෂේත්‍රයේ නියුතු ප්‍රවිනයන් 250ක ගේ පමණ වූ විශාල පිරිසකගේ දායකත්වය මේ චිත්‍රපටයට ලැබී ඇත.

එසේ ම මෙහි ප්‍රයෝග අධ්‍යක්‌ෂ ලෙස ක්‍රියා කළ Ben Alepko, එම අංශයෙන් ලොව සිටින සුවිශිෂ්ටයකු සේ සැලකේ.

මේ චිත්‍රපටය දෘෂ්‍ය ප්‍රයෝගයන්හි අග්‍රගණ්‍ය ඵලයකැයි Independent සගරාවට විචාරයක්‌ ලියමින් Geoffrey Macnab නම් විචාරකයා පවසයි. ඔහු මේ කෘතියට තරු පහෙන් හතරක්‌ ම ලබා දෙයි. මේ චිත්‍රපටය සාර්ථක වී ඇත්තේ තනිකර ම දෘෂ්‍ය ප්‍රයෝග නිසා යෑයි Bill Mazzola‌ නම් විචාරකයා ද නොවැම්බර් 22, Clture සගරාවට ලිපියක්‌ ලියමින් පෙන්වා දෙයි. විශේෂයෙන් ම නිව්ට්‌ගේ සුරතල් සතුන් අතර සිටින Zouwu,(අලියකුගේ ප්‍රමාණය ගත් නපුරු බළලකු බදු සතෙකි), Niffler (ඌරු මීයකුගේ හැඩය ගත් සතෙකි), Kelpie (අශ්වයකුගේ හැඩය සහිත සතෙකි) හා Bowtruckle (ගසක්‌ බඳු හැඩය ඇති), Creepy crawly ආදීන් මේ දෘෂ්‍ය ප්‍රයෝග සදහා කදිම දෘෂ්ඨාන්ත වන බව Bill Mazzola කියයි. Nagini ගේ සර්පයකු බවට පරිවර්තනය වීම හා මානව රූපකර ගැනීම ආදිය දෘෂ්‍ය ප්‍රයෝගයන්හි ශක්‍යතා පෙන්වන අවස්‌ථා බව Carina Nilma නම් විචාරිකාව පෙන්වා දෙයි. Claudia Kim නිළිය Nagini ලෙස ඉතා විශිෂ්ට රංගනයක යෙදේ. මේ චිත්‍රපටයේ පැනෙන නාගිනී යනු නැයින්නක වීමට සමත් කාන්තාවකි. ඇය නාග කන්‍යාවක සේ ශාපයට ලක්‌ වූ තැනැත්තියකි. ශ්‍රී ලංකාවේ ද දැනට පෙන්වන ඉන්දියානු ටෙලිනාට්‍යවල ද මෙවැනි මනුෂ්‍ය රූපයට පරිවර්තනය විය හැකි නාග කන්‍යාවෝ සිටිති. එහෙත් මේ චිත්‍රපටයේ නාගිනිගේ පරිවර්තනයන් ඉතා ම සුන්දර ලෙස දෘෂ්‍ය ප්‍රයෝගයන්හි ශක්‍යතා මැනැවින් ප්‍රයෝජනයට ගනිමින් සිදු කොට ඇත. ඉන්දියානු ටෙලි නාට්‍යවල මේ රූප විපර්යාස දකින විට කුතුහලයක්‌ නො ව ඇති වන්නේ දුකකි. මන්ද යත් ඒවා ඒ තරමට ම ප්‍රාථමික මට්‌ටමෙන් සිදු කොට ඇති බැවිනි.

මනෝඡ් ප්‍රසන්න රත්නායක