logo3.gif (702 bytes)

HOME


කිවුල ඇති වීම වැළැක්‌වීම සඳහා පුරාණ වැවක නිර්මාණය වුණු කට්‌ටකාඩුව හා කිවුල් ඇළ

අතීතයේ පැවැති සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම තිරසාරත්වයෙන් අනූන ව පැවැති බැව් ඉතා පැහැදිලි ය. වියළි කලාපය පුරා විහිද පැතිර තිබූ වැව් ගම්මාන පද්ධති මෙයට කදිම නිදසුනකි. වැව් ගම්මානවල සමස්‌ත ඉඩම් පරිහරණ රටාව විමසිල්ලෙන් අධ්‍යයනය කරන්නකුට එයින් උගත හැකි වැදගත් කරුණු කිහිපයක්‌ හමු වේ. ඉන් ප්‍රධානතම කරුණ වනුයේ සමගිය සහ සහජීවනය මූලික පදනම ලෙස සැලකූ ගැමි සමාජයක තිරසාරත්වය පවතින අයුරින් ඉඩම් පරිහරණ උපායමාර්ග යොදා තිබීම ය. භූමිය සහ ජලය යන මූලික කෘෂිකාර්මික භෞතික සම්පත් සම අයුරින් හා සංරක්‍ෂණය වන අයුරින් පරිහරණය කෙරෙන පරිදි වැව් ගම්මාන සැකසී තිබීම දෙවැනි කාරණයයි. තෙවැනි කරුණ වන්නේ එම ඉඩම් පරිහරණ රටාවෙන් මතු වූ ඉඩම් පරිහරණ පිළිවෙත තුළ ගැමියන්ගේ සියලු ම අවශ්‍යතාවන් සපුරාලිය හැකි ස්‌වයංජීවන රටාවක්‌ සහ නිවහල් බවක්‌ ගැබ් ව තිබීම ය.

අතීතයේ සැම ගම්මානයක්‌ ම වැවක්‌ ආශ්‍රිත ව ම බිහි විය. නොඑසේ නම් එක්‌ ගම්මානයක්‌ සතු ව වැවක්‌ හෝ වැව් කිහිපයක්‌ හෝ පැවතිණි. සැම ගම්මානයක ම පස සහ ජලය ඇතුළුව සමස්‌ත පරිසරය ම සංරක්‍ෂණය වන අයුරින් ඉඩම් පරිහරණය සංවිධානාත්මක ලෙස පිළියෙල වී තිබිණි.

ජීවත් වීමට මූලික අවශ්‍යතාවක්‌ වන ජලය රැස්‌ කර තබාගැනීමට ස්‌වාභාවික ජල මං සුදුසු තැන්වලින් අවුරා වැව් සහ අමුණු සාදා ගන්නාල ලදි. වැවක්‌ ස්‌ථානගත කොට ඇත්තේ බොහෝ විට උස්‌ පිහිටීම් (මුදුන්) දෙකක්‌ aඅතර අවම දිගක්‌ සහිත ව කණ්‌ඩියක්‌ ඉදි කිරීමට සිදු වන තැනකි. මෙවැනි ස්‌ථාන (confluence)වල ජලය එක්‌රැස්‌ වන විට සෑදෙන්නේ ගැඹුරු ජලය සහිත හැඩතල ඇති ජලාශයකි. එවැනි ජලස්‌කන්ධවලින් සිදු වන ජල හානිය ඉතා ම අඩු ය. ඒ වාෂ්පීකරණයට හෝ කාන්දු වීමට හෝ විශාල ජල පැතුරුම් ප්‍රදේශයක්‌ නොමැති බැවිනි. මෙසේ අවම භූමිභාගයක ජලය සංරක්‍ෂණය වන අයුරින් වැව ස්‌ථානගත කිරීමට ඔවුහු වග බලාගත් හ.

වැවෙන් ජලය ලබාගත හැකි පහත්බිම් අස්‌වද්දා වී ගොවිතැන කිරීමට අවශ්‍ය කුඹුරු සකස්‌ කරගන්නා ලදි. වැවේ ජලය විසිරෙන මුළු ප්‍ර්‍රදේශය වැව් පිටිය ලෙසට ද, මාස්‌කන්නයේ වැසි අවසන වැව් වතුර ගිලුම් ලන ඉහත්තාව වැව් තාවුල ලෙසට ද හැඳින්විණි. ජල හිග කාලවල මේ වැව් තාවුල ලැබෙන වැසි ඵල ප්‍ර්‍රයෝජනයට ගෙන වැව මැදින් බැම්මක්‌ දමා වෙන් කොට වී ගොවිතැන් කෙරිණි. වැව් තාවුල සරු පසක්‌ බැවින් ද සුළු වැසි එහි රඳවාගත හැකි බැවින් ද ගැමියෝ හොඳ වී අස්‌වනු ලැබීමට වාසනාවන්ත වූ හ. තාවුල සීමාවේ ඉදි කෙරෙන මහ නියර නිසාවෙන් රොන්මඩ වැව තුළට ගලා ඒම සිදු නො වී ය. එහෙත් පසු කලෙක සිදු වූ අවිධිමත් තාවුලු ගොවිතැන වැවේ රොන්මඩ පිරීමට තර්ජනයක්‌ වූ බැවින් තහනම් කරන ලදි.

කෘෂිකාර්මික ජල කළමනාකරණයේ දී ජල සම්පාදනය සේ ම ජලාපවහනය ද එක සේ වැදගත් බැව් අපේ පැරැන්නෝ දැන සිටිය හ. එයට කදිම උදාහරණයක්‌ ලෙස කිවුල් ඇළ සඳහන් කළ හැකි ය. වැවක්‌ නිර්මාණය වන්නේ ස්‌වාභාවික ජල මඟක්‌ හරස්‌ කොටගෙන ය. බැස යන ජලය අවහිර කිරීමෙන් ලවණතාවට මගපෑදේ. ලෝකයේ සමහර ශිෂ්ටාචාර කඩා වැටීම්වලට ද ලවණතාව හේතු වූ බව වාර්තා වී ඇත. වැව් බැම්මෙන් කාන්දු වන ජලයට ලවණ මිශ්‍ර වන බැවින් එම ජලය කුඹුරෙහි ගොයමට අහිතකර බලපෑම් එල්ල කරයි. වැව සහ කුඹුර අතර රක්‌ෂිත භුමි තීරුවක්‌ ඉතිරි කිරීමට එක හේතුවක්‌ වන්නේ ද මේ ලවණ මිශ්‍ර ජලය එහි රඳවාගැනීම ය. එනිසා ම මේ බිම් තීරුවට කට්‌ටකාඩුව යන නම පටබැඳෙන්නට ඇත. එසේ ම වී ගොවිතැනෙහි ජලය රඳවා තබාගන්නා බැවින් කාලයත් සමග කුඹුරේ පස ලවණතාවයට ගොදු රුවිය හැකි ය. එබැවින් කුඹුරේ වැඩි ජලය ඉවත් කිරීම සඳහා ජලාපවහන මගක්‌ තිබිය යුතු ය. මේ සඳහා වැව බැඳීමට පෙර තිබූ ස්‌වාභාවික ජල මග ඉතිරි කොට තබා එය වරින් වර පාදා කුඹුරේ වැඩි ජලය ඒ තුළින් ඉවත් කිරීම සිදු කොට ඇත. මේ ජලාපවහන ඇළ ගම්මුන් හඳුන්වන්නේ කිවුල් ඇළ ලෙස ය. කට්‌ටකාඩුව සහ කිවුල් ඇළ තව දුරටත් පැහැදිලි කරගනිමු.

කට්‌ටකාඩුව

වැවට පහළින් වෑකණ්‌ඩියේ අලුත්වැඩියාවන් සඳහා පස්‌ ගැනීමට ඉතිරි කොටගත් බිම් තීරය කට්‌ටකඩqව ලෙස හැඳින්විණි. වෑකණ්‌ඩිය අලුත්වැඩියා කරගැනීම නඩත්තු කරගැනීම කුඹුරු අයිතිකරුවන් සතු යුqතුකමක්‌ සේ ම වගකීමකි. ගොවිතැන් කටයුතු සඳහා විවිධ අවස්‌ථාවන්වල දී විධාන නිකුත් කරන්නා වෙල්විදානේ නම් විය. ඔහු වැව් බැම්ම පිළිසකර කිරීමට කට්‌ටකාඩුවේ බිම් කට්‌ටි බෙදා වෙන් කොට කට්‌ටි කැපීමට කුඹුරු අයිතිකරුවන්ට විධානය කරයි. එම කට්‌ටි කැඩූ ප්‍රදේශය පසු කලෙක කට්‌ටකාඩුව වන්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය.

කට්‌ටකාඩුවේ ද වැව් බැම්මේ ද රූස්‌ස ගස්‌ සෑදී වැවේ ඉහත්තාවේ මෙන්ම පහළ ද සුළං බාධකයක්‌ නිර්මාණය විය. මෙසේ දෙපසින් සුළං බාධක ඇති වීමෙන් සුළං දිශාව කුමක්‌ වුවත් වැව් ජලය සුළඟින් ආරක්‍ෂා කරගැනීමට හැකි විය.

කට්‌ටකාඩුවේ භූමි කලාප 4ක්‌ වේ. ස්‌වාභාවික ජල මග ඇවුරූ ස්‌ථානය වැව් බැම්මක වැඩි ම අවදානම් ස්‌ථානය වේ. අධික වර්ෂා කාලයක වැව් බැම්ම කැඩී ගිය හොත් කට්‌ටකඩුවේ කඩවළක්‌ ඇති වේ. වැව් බැම්ම පිළිසකර කළ ද මේ කඩවළ ඉතිරි වී ජලයෙන් පිරී පවතී. මෙය ගැමියෝ යතුරු වළ ලෙස හඳුන්වති. එයට දෙපසින් වගුරු බිමක්‌ සහ තෙත් බිමක්‌ ද වැව් කණ්‌ඩියේ දෙකෙළවර වියළි ගොඩබිම් ද වශයෙන් භූමි කලාප 4ක්‌ පිහිටන බැවින් කට්‌ටකාඩුවේ පුළුල් ජෛවවිවිධත්වයක්‌ පවතී. ශාක විශේෂ සියයකට වඩා මෙහි දී හමු වන අතර ඉන් සමහරක්‌ කට්‌ටකාඩුව පරිසරයට ම ආවේණික ඒවා වේ. වැවෙන් කාන්දු වන ජලය කට්‌ටකාඩුවේ යතුරු වළට

එක්‌රැස්‌ වන බැවින් යකඩ (Fe+++), සෝඩියම් (Na+), පොටෑසියම් (K+), කැල්සියම් (Ca++), මැග්නීසියම් (Mg++) වැනි අයන සහිත ජලය කුඹුරු යායට ඇතුළු වීම වළකී. මේ අයන සහිත ජලය ගොයමට අහිතකර ය. ඒවා ලියදිවලට ඇතුළු වූ තැන්හි ගොයම පිළිස්‌සී ගොස්‌ ඇති සේ පෙනේ. යතුරු වළේ ජලය ඇති බැවින් වැවේ ජල මට්‌ටම ද පහත ජල මට්‌ටම ද අතර වෙනස අඩු වන බැවින් ජල කාන්දුව අවම වේ. නොඑසේ නම් වැව තුළ උස්‌ ජල ශීර්ෂයක්‌ ඇති විට පහත භූගත ජල මට්‌ටම සමඟ විශාල ශීර්ෂ අන්තරයක්‌ ඇති වී අධික ජල කාන්දුවක්‌ සිදු වීමට ඉඩ තිබිණි. මෙසේ ජල කාන්දුව අධික වීම වැව් බැම්මේ ස්‌ථාවර බවට ද තර්ජනයකි.

කට්‌ටකාඩුවේ බිම් අයිතිය බෙදා වෙන් කොට නැත. එහි ප්‍රයෝජන ගැමියෝ පොදුවේ භුක්‌ති විඳිති. දැව, දර, ඖෂධ, වැටඉනි, ගොවි හා ගෘහ ආම්පන්න සඳහා ශාක කොටස්‌, ආහාර, පලතුරු, එළවළු ආදි බොහෝ දේ මේ කුඩා කොටසේ ඇත. විශේෂයෙන් ම ගෘහස්‌ථ කර්මාන්ත (පැදුරු, වට්‌ටි, පෙට්‌ටි, කූඩා ආදිය විවීම) සඳහා අමුqද්‍රව්‍ය ලබාගන්නේ ද කට්‌ටකාඩුවෙනි. වැව් බැම්ම දිගේ තල් ගස්‌ පේළියට සිටුවා ඇති බැව් දැනුදු දැකිය හැකි ය. වැව් බැම්මේ පහළ දිය කාන්දු වන පෙදෙස ස්‌ථාවර කිරීමට වැටකෙයා වැවීමට ද ගැමියෝ වග බලාගත් හ. යතුරු වළේ පන්, කොහිල, වදකහ වැනි දෑ වගා කළ හ.

කිවුල් ඇළ

පැරැනි ස්‌වාභාවික දිය මග වන මෙය පොදු ජලවහනය සඳහා භාවිත කරයි. කරඳ, මී, පන්, ඉකිරි, වැටකෙයියා ආදි ශාක විශේෂ ද, දුර්ලභ මත්ස්‍ය විශේෂ කිහිපයක්‌ ද කිවුල් ඇළ ඔස්‌සේ තිබෙන ජලවගුරු තුළ හමු වේ. දූෂිත ජලයේ තිබෙන ලවණ සහ යකඩ ඉවත් කිරීම සහ කුඹුරු යායේ ජලවහන තත්ත්වය වැඩිදියුණු කිරීමේ හැකියාව මෙහි ඇති වඩාත් වැදගත් ලක්‍ෂණය වේ.

කෘෂිකර්ම සහ ජල කළමනාකරණ ජාතික උපදේශක, රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය

ආචාර්ය පී. බී. ධර්මසේන