logo3.gif (702 bytes)

HOME


පිදුරංගලින් මතු වන අති පැරැණි වැසිදිය රැස්‌ කිරීමේ තාක්‍ෂණය

සීගිරිය, ආලකමන්දාව, ලංකාපුර, චිත්‍රකූඨ, කවස්‌ථලාබ ආදි වශයෙන් විවිධ යුගවල දී හඳුන්වා ඇති සීගිරි රාජධානියෙහි ඉතිහාසය කාශ්‍යප කුමරුගේ (ක්‍රි.ව. 477 - 495) රාජ්‍ය සමයට පෙර කලකට දිව යන බැව් දැන් පිළිගත් මතයක්‌ බවට පත් වී ඇත. රාවණ යුගයටත් පෙර විසූ සිංහමුඛ නම් කුමාරයකු තම රාජධානිය ගොඩනගාගැනීම සඳහා ඉන්දියාවෙන් විශ්වකර්ම නම් වාස්‌තු විද්‍යා සැලසුම්කරුවකු ගෙන්වාගත් බවටත්, සීගිරියේ මුල් නිර්මාණ ඔහුගේ බවටත් විශ්වාසයක්‌ පවතී. ඉංදියාවේ දේවත්වයෙන් පුදනු ලබන විශ්වකර්ම නම් වූ වාස්‌තු විද්‍යාවේ දෙවියන්ගේ ආරම්භය සිදුවූයේ මොහු ගෙන් විය හැකි ය. මෙසේ සීගිරිය කලින් කලට මිනිස්‌ වාසයට භාවිත වූ බැවින් එහි ඇති විශ්වකර්ම නිර්මාණ එක්‌ රාජ්‍ය සමයකට ලඝූ කොට ගත නොහැකි බැව් නම් පැහැදිලි ය.

කාශ්‍යප කුමරු සීගිරියට පැමිණි කල ආරණ්‍යවාසී භාවනානුයෝගී භික්‌ෂූන් එහි ලෙන් තුළ වැඩ වාසය කළ බවත්, ඔහු තම බළකොටුව ඉදි කිරීම සඳහා අවකාශය ලබාගැනීමට පිදුරංගල භික්‌ෂු ආශ්‍රමය ඉදි කළ බවත් පැවසේ. පංචාවාස සංකල්පයට අනුව ඉදි කරන ලද මේ ශ්‍රමණාශ්‍රමය තුළ භික්‌ෂූන් 500කට අධ්‍යාපනය ලැබිය හැකි පිරිවෙනක්‌ ද තිබී ඇත. පංචාවාස සංකල්පය යනු යම් ආශ්‍රමයක බෝධිගරයක්‌ ද, ප්‍රතිමා ගෘහයක්‌ ද, උපෝසථාගාරයක්‌ ද, දාගැබක්‌ සහ භාවනා කුටි ද අඩංගු ව තිබීමයි. හුණු මැටි සහ ගඩොලින් නිම කළ අඩි 48ක්‌ දිගැති සැතපෙන බුදු පිළිමයක්‌ ද මෙහි වේ. පිදුරංගල ඉතිහාසය දීර්ඝ වූවත් භික්‌ෂු ආශ්‍රමය ඉදි වන්නේ කාශ්‍යප රජ සමයේ දී ය. මෙය අක්‌කර 13ක ප්‍රදේශයක්‌ පුරා විහිද ඇත.

වසර බිලියන දෙකකට වඩා ඉහත යුගයක දී සිදු වූ ලාවා ගැලීමක හේතුවෙන් සීගිරිය සහ පිදුරංගල ඇති වූ බව විශ්වාස කෙරේ. ඝන වූ ලාවා කාලයත් සමග ස්‌වාභාවික ජීර්ණ ක්‍රියාවලියට දිය වී සීගිරිය සහ පිදුරංගල අද ඇති හැඩතල ගන්නට ඇත. සීගිරිය අවට ඇති ග්‍රැනයිට්‌ පාෂාණ මේ ලාවා ගැලීමෙන් ශේෂ වූ කොටස්‌ ලෙස හඳුනාගත හැකි ය. එහෙත් මේ විස්‌තර කිරීමට හසු නො වන සාධක ද පරීක්‍ෂාවෙන් බලන්නකුට සොයාගත හැකි ය.

සීගිරියේ මතුපිට පෙනුම ස්‌වාභාවික ව සිදු වන වැසි සහ සුළං ඛාදන ක්‍රියාවලියට වඩා මානව ක්‍රියාකාරකම් නිසා හැඩගැන්වී ඇති බවක්‌ ශ්‍රී ලංකාවේ වෙනත් පර්වත හා සන්සන්දනය කිරීමේ දී දැකගත හැකි ය. මානව ක්‍රියාකාරකම් සඳහා වඩාත් සාක්‌ෂි සැපයෙන්නේ පිදුරංගලෙනි. අතිවිශාල පිපිරීමකින් පිදුරංගල ගල් තලාව සෑදුණු බවක්‌ කෙනකුට නිගමනය කළ හැක්‌කේ එහි වටා විසිර ඇති පර්වත කැබැලිවල කැඩී බිඳී යැම ස්‌වාභාවික ජීර්ණස්‌ථරවලට ලම්බක ව සිදු ව ඇති බැවිනි. එසේ ම පර්වතය මත්තෙහි පෙනුම ඉතා ම සුවිශේෂ ලෙස නිමවී ඇත.

පිදුරංගල පර්වත මස්‌තකය පුනීලයක හැඩයක්‌ ගෙන ඇත. එය එක්‌තරා පටු ප්‍රදේශයකට බෑවුම්ගත වී ඇත. එහි ඉහත්තා කොටස උත්තල හැඩයකට ද පහත කොටස අවතල හැඩයකට ද නිමවී ඇත. අක්‌කර 5ක පමණ විශාල ගල් තලාව මතට වැටෙන වැසි ජලය පහළට ගලා විත් ගල් තලාවෙන් පිට වන්නේ ඉතා ම සමීප ව පිහිටි ස්‌ථාන දෙකකිනි. මෙසේ වැසි ජලය ගලා යැම පහසු වන සේ පාෂාණ මත කණින ලද ඇළ මාර්ග දක්‌නට ලැබේ. මේ ඇළ මාර්ග සීගිරි පර්වතය මතට වැටෙන වැසි දිය පහළට ගලා යැම සඳහා නිර්මිත දියමංවලට සමාන ය. ගල් තලාව වටා සීමාව අභ්‍යන්තරයට නෙරා යන සේ සකසා ඇත. එමගින් ගල් තලාව මත ඇති ජලය සැම තැනකින් ම පිට ව යැම වැළකී ඇත. පර්වතය මුදුනත ජලය ගල් තලාව දිගේ පහළට යොමු කරන සේ කණින ලද දිය මං පැහැදිලි ව ම දක්‌නට ඇත.

මේ සියලු කරුණු මත යමකුට නිගමනය කළ හැක්‌කේ පිදුරංගල ගල් තලාව වැසි දිය එක්‌රැස්‌ කිරීම සඳහා නිර්මාණය කරන ලද එකක්‌ බව ය. පිදුරංගල පර්වතයේ සීගිරිය දෙසට ඇති කොනේ කුඩා ගලක්‌ පිහිටා ඇත. එය ප්‍රධාන පර්වතය මත තිබුණත් පාෂාණ ඒකාබද්ධ වී නැත. මේ කුඩා ගලේ එක්‌ පැත්තක්‌ පැහැදිලි ව ම පිදුරංගල පර්වතයේ මුහුණතට සමාන ය. වෙනසකට ඇත්තේ පර්වතයේ උත්තල කොටස මෙහි අවතල වීමත්, එසේ ම පහත් කොටසේ ඇති අවතල කොටස උත්තල වීමත් ය. මේ අනුව එය ප්‍රධාන පර්වතයේ අච්චුවක්‌ ලබාගැනීමට භාවිත කළ බවක්‌ පෙනෙන්නට ඇත.

පිදුරංගල පර්වතයේ මුහුණත අච්චුව

පිදුරංගල ගල් තලාව මත ජලය ගලා යන ඇළ මාර්ග සෘජු ව ම සාදා නොමැත. එහි තැනින් තැන අවපාත ඇති අතර එල්ලංගා ආකාරයට ජලය ගලා යන අයුරක්‌ දැකගත හැකි ය. මෙවැනි අවපාතවල ජලයේ ඇති ඝන \්‍රව්‍ය අවසාදනය වන අයුරින් සැලසුම් කරන්නට ඇත. මේ කරුණු වඩාත් පැහැදිලි වන්නේ වැසි ජලය අවසන් ස්‌ථානයෙන් පිට වීමට පෙර තරමක විශාල අවපාතයක්‌ දක්‌නට ලැබීමෙනි.

වැසි ජල අවසාදන උගුල් පොකුණු (අවපාත)

සීගිරිය මතුපිට තලාවේ වැසි දිය විශාල ලෙස එකතු කොට ඇති බවක්‌ නො පෙනේ. සීගිරිය ආසන්නයේ ඇති වැවකින් ජලය සීගිරි උද්‍යානයේ පොකුණුවලට ලබාගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එසේ වුව ද වැවේ ජල මට්‌ටම සහ පොකුණුවල ජල මට්‌ටම අතර විශාල පරතරයක්‌ නැත. එබැවින් අනිවාර්යයෙන් ම සීගිරි වතුර මල් සඳහා අවශ්‍ය ජල පීඩනය ලබාගැනීමට නම් ඉහළ ජලය ගබඩා කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ ජල පීඩනය ලබාගත්තේ සීගිරි පර්වත මස්‌තකයේ ඇති සීමිත ජලයෙන් නම් සීගිරි ජල මල් ක්‍රියාත්මක වන්නේ ඉතා ම කෙටි කාලයක්‌ සඳහා ය. ජල හිගතාවකින් පෙළෙන සීගිරිය වැනි ප්‍රදේශයක එවැන්නක්‌ කිරීමට තරම් එම සැලසුම්කරුවන් අමනෝඥ වන්නට ඇතැයි කිසිසේත් සිතිය නොහැකි ය. දීර්ඝ කාලයක්‌ සීගිරි උද්‍යානවලට හා එහි ජල මල්වලට ජලය ලබාගැනීමට ඔවුනට තිබූ අනෙක්‌ විකල්පය වන්නේ පිදුරංගල ගල්තලාවට වැටෙන වැසි ජලය පීඩනයක්‌ යටතේ සීගිරියට සැපයීමට අවශ්‍ය සැලසුම් කිරීම ය. මේ සඳහා යොදා ගත්තේ යෑයි සැක කළ හැකි මැටි ජල නළ එම ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

සීගිරිය ප්‍රදේශයෙන් හමු වූ මැටි ජල නළ

අප ඉතිහාසය හාරා අවුස්‌සන්නේ ඒ සඳහා ඇති කුතුහලය නිසා ම පමණක්‌ නො වේ. එයින් අප ලබන දැනුම වත්මන සඳහා භාවිත කළ හැකි ද යන්න සොයාබැලීමටත් එහි ගැබ් වී ඇති මූලධර්ම හා සංසිද්ධි වෙනත් දෑ සඳහා උපයෝගී කොටගෙන ඉදිරි නිර්මාණ බිහි කිරීමටත් ය.

ඉතා අවාසනාවන්ත ලෙස අද වියළි කලාපය පුරා පැතිර යන වකුගඩු අකර්මණ්‍ය වන ෙදවාචකය අපේ ග්‍රාමීය ජීවිත බිලිගනිමින් සිටියි. මේ සඳහා හේතු වන කරුණු පිළිබඳ ගවේෂණ කරන මේ රටේ මෙන්ම වෙනත් රටවල විද්වතුන්ගේ කාර්යය අප බෙහෙවින් අගය කළ යුතු ය. හේතු කාරණා කුමක්‌ වුව ද පිරිසුදු ජලය පානය කිරීම මිනිසාට විවිධ රෝගී තත්වයන් ගෙන් වැළකී නිරෝගීව ජීවත් වීමට අත්‍යවශ්‍ය දෙයක්‌ බව නම් අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. වැසි ජලය රැස්‌ කොට භාවිත කිරීම වකුගඩු රෝගයට මෙන්ම වෙනත් රෝගයන් ගෙන් වැළකී සිටීමට ද මහෝපකාරී වන උපායමාර්ගයක්‌ වේ.



පිදුරංගල පර්වතය මතුපිටට වැටෙන ජලය එක්‌රැස්‌ කොට ගබඩා කොටගෙන පානීය ජලය ලෙස භාවිත කළ හැකි ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්නේ නම් අද අපේ ලෝක උරුමය නැරඹීමට එන සංචාරකයන්ට ද අවට ප්‍රදේශවාසීන්ට ද යහපතක්‌ ම වන්නේ ය. පහතින් සඳහන් කරන ගණනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ එවන් ජල සම්පාදන ව්‍යාපෘතියකින් වසරක්‌ පුරා පුද්ගලයන් 9,000ක ගේ දෛනික පානීය ජල අවශ්‍යතාව එයින් පිරිමැහෙන බවයි.

පිදුරංගල ගල් තලාව අක්‌කර 5කට මදක්‌ වැඩි ය. මාසික සාමාන්‍ය වර්ෂාපතනයෙන් සියයට අසූවක්‌ එකතු කරගත හැකි නම් මාසික ව ගබඩා කරගත හැකි ජල පරිමාවන් පහත වගුවෙහි දක්‌වා ඇත.

එම ගණනයට අනුව ඝන මීටර් 10,000ක්‌ මේ පද්ධතියෙන් වාරෂික ව එක්‌රැස්‌ කළ හැකි ය. එහි තේරුම කුමක්‌ ද? මේ ඓතිහාසික අනුබෝධය මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළේ යෑයි සිතමු. එහෙත් මේ පද්ධතිය පුනරුත්ථාපනය කළොත්, දෛනික පානීය ජල අවශ්‍යතාව ලීටර 3ක්‌ පමණ වේ නම් මේ යෝජනා ක්‍රමය මගින් වසර පුරා පුද්ගලයන් 9,000කගේ දෛනික පානීය ජල අවශ්‍යතාව පහසුවෙන් විසඳාගත හැකි ය. ඒ හඳුනාගත නොහැකි වකුගඩු රෝගයේ අවදානමට ගොදුරු ව ඇති මේ ප්‍රදේශයේ ජනතාව ය.

පිදුරංගල ද සීගිරිය ලෝක උරුමයේ ම වෙන් නො කළ හැකි කොටසකි. එහි වැදගත්කම ඉතිහාසයට පමණක්‌ නො ව වත්මනට ද හුවාදැක්‌වීමට මේ තොරතුරු පිළිබඳ විස්‌තරාත්මක ගවේෂණයකින් හැකි වේ යෑයි දැඩි ලෙස විශ්වාස කරමු.

කෘෂිකර්ම සහ ජල කළමනාකරණ ජාතික උපදේශක, රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය

ආචාර්ය පී. බී. ධර්මසේන