logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පුරාණ අනුරාධපුර නගරය හා තදාශ්‍රිත ප්‍රදේශයේ ජල කළමනාකරණය

නූතන දියුණු ශිෂ්ටාචාරය ඉදිරියේ පැරැණි වාපි කර්මාන්තයේ උත්තරීතර බවත් ඒවා කළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයත් නො සැලී තිබේ. ඒ ක්‍රම සහ විධි යල්පැන ගිය ඒවා බවට පත් නො වේ. ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්තය එහි තාක්‌ෂණයේ ඇති හසළ බව බ්‍රොaහියර් දුටුවේ එසේ ය. ජලය මිනිසා මෙන් ම මිහිපිට වාසය කරන සියලු ම ජීවී කොටස්‌ හා අත්‍යයන්තයෙන් බැඳී පවතින සම්පතකි. එම අතිශය වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ම ජලය, කළමනාකරණය කර ආරක්‍ෂා කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ අනාදිමත් කාලයක සිට ය. ශ්‍රී ලාංකේය සංස්‌කෘතියේ පදනම ජලය මුල් කරගනිමින් ආරම්භ වන්නේ ප්‍රාථමික ජන සමාජ මට්‌ටමේ දී බව මේ පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී හඳුනාගත හැකි ය. ශ්‍රී ලාංකේය සංස්‌කෘතියේ තිඹිරිගෙය ලෙස සැලකෙන අනුරාධපුරය තුළ අතීත ජල පරිභෝජනය හා කළමනාකරණය පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී එහි සමාරම්භය ප්‍රාථමික ජනසමාජ මට්‌ටමින් ආරම්භ ව දියුණු ජනසමාජ මට්‌ටමක්‌ දක්‌වා වර්ධනය වූ ආකාරය අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ තාක්‍ෂණික සංස්‌කෘතික අවධි තුළින් හඳුනාගැනීමට අවකාශ සැලසේ. එබැවින් මෙහි දී සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ ප්‍රාග් ඓතිහාසික මධ්‍යශිලා අවධියේ සිට මධ්‍ය ඵෙතිහාසික අවධිය දක්‌වා කාලය තුළ පුරාණ අනුරාධපුර නගරය හා තදාශ්‍රිත ප්‍රදේශයේ ජල පරිභෝජනය හා කළමනාකරණ කටයුතු සිදු වූ ආකාරය පිළිබද තොරතුරු ආශ්‍රිත සංක්‌ෂිප්තයකි.

අනුරාධපුර මුල් මානව ජනාවාස වීම් සදහා ජලයේ උපයෝගීතාව

පුරාණ අනුරාධපුරය ඇසුරින් ජලයේ උපයෝගීතාව හා කළමනාකරණ කටයුතු පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී අනුරාධපුර මානව ජනාවාස වීම් සම්බන්ධ ව දැක්‌වෙන තාක්‍ෂණික සංස්‌කෘතික අවධි හඳුනාගෙන ඒ ඔස්‌සේ සාකච්ඡා කිරීම වැදගත් වේ. දැනට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව පුරාණ අනුරාධපුරය ඇසුරින් ක්‍රියාත්මක වූ තාක්‍ෂණික සංස්‌කෘතික අවධි විද්‍යාත්මක දින නියම කිරීම් ඔස්‌සේ හඳුනාගෙන ඇත්තේ පහත සදහන් ලෙස ය. මධ්‍යශිලා සංස්‌කෘතික අවධිය (Mesolithic culture) ක්‍රි. පූ. 3,900 - 1,000, පූර්ව ඓතිහාසික යකඩ අවධිය (Proto Historic Iron Period) ක්‍රි. පූ. 1,000 - 250, මුල් ඵෙතිහාසික අවධිය (Early Historic Period) ක්‍රි. පූ. 250 - ක්‍රි. ව. 100, මධ්‍ය ඵෙතිහාසික අවධිය (Middle Historic Period) ක්‍රි. ව. 100 - 400. මේ තාක්‍ෂණික සංස්‌කෘතික අවධි වෙන් වෙන් ලෙස වර්ග කර ඇත්තේ එම සංස්‌කෘතීන්ට අදාළ තාක්‍ෂණයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ස්‌වරූපය අනුව ය. එම නිසා අනුරාධපුර ජල කළමනාකරණ කටයුතු පිළිබඳ ව සාකච්ඡා කළ යුත්තේ ද ඒ ඒ සංස්‌කෘතික අවධි තුළ ක්‍රියාත්මක වූ තාක්‍ෂණය අනුව සමාජය ලබා තිබූ තාක්‍ෂණයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය සමඟ ය.

අනුරාධපුර නගරය හා තදාශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වූ මානවයා ජලය හා ගනුදෙනු කිරීම ආරම්භ කරන්නේ ප්‍රාග් ඵෙතිහාසික මධ්‍යශිලා අවධියේ අදින් අවුරුදු 5,900 (ක්‍රි. පූ. 3,900) දී ය. මේ තාක්‍ෂණික සංස්‌කෘතික පිරිස අනුරාධපුරයේ පුළුල් පාරිසරික කලාපයක ජීවත් වූ බව පෙනේ. පුරාණ අනුරාධපුර නගරය හරහා උතුරු දකුණු දෙසට දිවෙන පාෂාණ උද්ගතය (පොළොවෙන් ඉහළට ඉලිප්පී පවත්නා) මූලාශ්‍රවල දිගු පහණ හෝ දීඝ පාෂාණය ලෙස හදුන්වා ඇත. මේ දීඝ පාෂාණය නිසා අනුරාධපුර පැරැණි නගරයේ නිර්මාණය වී තිබූ ස්‌වාභාවික භූ පතන (Hollow) ඇසුරින් ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ජලය සපයාගත් බව වර්තමාන පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ.

පූර්ව ඓතිහාසික අවධියේ අනුරාධපුර ජල කළමනාකරණය

අනුරාධපුරයේ පූර්ව ඵෙතිහාසික සංස්‌කෘතියේ මුල්බැසගැනීම ක්‍රි. පූ. 1,000න් පසුව සිදු වන බව හඳුනාගෙන තිබේ. යකඩ තාක්‍ෂණය භාවිත කළ මේ මිනිසුන් ප්‍රථම වරට අනුරාධපුරයේ ජනාවාස පිහිටුවා ගන්නේ ද ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසින් ජනාවාස පිහිටුවා ගනු ලැබූ මල්වතු ඔය නිම්නයේ ය. පූර්ව ඓතිහාසික අවධියේ අනුරාධපුරයේ ජීවත් වූ මේ ජන කණ්‌ඩායම මල්වතු ඔය නිම්නයේ ජනාවාස පිහිටුවාගැනීමෙන් අනතුරු ව ජල පරිභෝජනය හා ජල කළමනාකරණය සඳහා ප්‍රධාන කාරණා කිහිපයක්‌ මුල් කරගෙන ඇති බව පෙනේ. එනම් වී ගොවිතැන, ශිල්ප කර්මාන්ත, එෙර කටයුතු මෙන් ම පරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය ජලය රඳවා තබාගැනීමට තාවකාලික ව වැටි, වේලි ඉදි කර අවශ්‍යතා සපුරාගැනීම සිදු කර තිබේ. අනුරාධපුරය ඇසුරින්, ජලය ගබඩා කිරීම සඳහා වැවක්‌ ඉදි කළ බව සදහන් වන්නේ ක්‍රි. පූ. 5 වැනි සියවසේ දී ය. එහි විස්‌තර වන ආකාරයට විජය සමග ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අනුරාධ නම් ඇමති වැවක්‌ ඉදි කළ බව සදහන් වන්නේ 'ඒ ආර්ය තොමෝ දකුණු දිගින් වැවක්‌ කරවී ය' යනුවෙනි. අනුරාධපුරයේ වැව් ඉදි කිරීම පිළිබද ව මින් පසු සඳහන් වන්නේ පණ්‌ඩුකාභය රාජ සමයේ දී ය. එම රජු විසින්, ජය වැව හා අභය වැව ඉදි කරන ලද බව වංශකතාවේ සදහන් වේ.

මහාවංශය ඇතුළු මූලාශ්‍ර විස්‌තර කරන මේ කාල පරාසය අයත් වන්නේ පූර්ව ඵෙතිහාසික සංස්‌කෘතික අවධියට ය. විශේෂයෙන් ජය වැව, තිසා වැව හෝ අභය වැව එම ස්‌ථානවල ස්‌ථාපිත කිරීමට නම් පූර්ව ඵෙතිහාසික අවධියේ ජීවත් වූ මිනිසුන් ස්‌වාභාවික භූ ලක්‌ෂණ මධ්‍යයේ වූ පතහ උපයෝගී කරගෙන අතින් තැනූ වේලි බැඳ වැව් සකස්‌ කළ යුතු ය. පූර්ව ඓතිහාසික සමයේ අවසාන භාගය වන විට අනුරාධපුරය ඇසුරින් වැව් ඉදි කිරීම විධිමත් ආකාරයට සිදු ව තිබුණ බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ රෝලන්ඩ් සිල්වා විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අනුරාධපුර නගරය ආරම්භයේ අභය වාපි, ගාමණි වාපි, තිස්‌ස වාපි, හා ජය වාපි යනුවෙන් වැව් වූ බවත් මේ වැව් මගින් ජලය ගබඩා කර තිබීම හා කෘෂිකාර්මික ජාලයේ ප්‍රධාන අංගෝපාංග ලෙස ක්‍රියාත්මක වී ඇති බව ය.

මුල් හා මධ්‍ය ඓතිහාසික අවධියේ අනුරාධපුර ජල කළමනාකරණ කටයුතු

අනුරාධපුරය තුළින් මුල් ඵෙතිහාසික අවධිය ක්‍රියාත්මක වූයේ ක්‍රි. පූ. 250 - ක්‍රි. ව. 100 අතර කාලයේ ය. මේ සමය වන විට අනුරාධපුරය ලොව පැවති විශාලතම නගර පහෙන් එකක්‌ වූ බව පුරාවිද්‍යාඥ ඕල්චින් පෙන්වා දී ඇත. මූලාශ්‍රගත තොරතුරු අනුව මේ කාල වකවානුව බෞද්ධාගම අනුරාධපුරයේ මුල් බැසගනු ලබන වකවානුව බව මහාවංශය සඳහන් කර ඇත. ශිලා ලේඛන තොරතුරු අනුව මේ සමය වන විට හොදින් සංවිධානය වූ විශේෂඥ නිෂ්පාදන ඒකක ද කෘෂි සමාජ සංවර්ධනය පෝෂණය කළ ආර්ථික යටිතල ව්‍යqහයන් ද අනුරාධපුරය ඇසුරින් සැකසී තිබිණ. නගුල් කෘෂිකර්මාන්තය සඳහා අනුරාධපුර ජන සමාජය මේ කාලය වන විට සැකසී තිබූ අන්දම හඳුනාගත හැකි ය. පුරාවිද්‍යාඥ සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත්තේ කෘෂිකර්මාන්තය කරණ කොටගෙන ඉස්‌මතු වූ ජන කණ්‌ඩායම් මෙකල ආර්ථිකයේ පුනරුදයක්‌ ඇති කළ බව ය.

ක්‍රි. ව. පළමු වැනි සියවසින් (ක්‍රි. ව. 100) පසු වඩා සංවිධානාත්මක වූ වාරි කටයුතු හා ජල කළමනාකරණ ක්‍රමවේදයක්‌ ආරම්භ වේ. විශේෂයෙන් පූර්ව ඵෙතිහාසික අවධියේ දී භූ පතන ආශ්‍රිත ව කෙටි වේලි බැඳ ඉදි කරනු ලැබූ කුඩා වැව්, මහ වැව් බවට පත් වේ. මේ සමය වන විට නගරයේ හා නගරය වටා කෘෂි ජනපද පිහිටුවූ බව රෝලන්ඩ් සිල්වා පෙන්වා දී ඇත. කෘෂිකාර්මික ජනාවාසවල ගතිලක්‍ෂණ හඳුනාගැනීමේ දී නුවර වැව, තිසා වැව, අභය වැව හා ජය වැව ආදි වැව්වලින් සිදු වූ කාර්යභාරය පිළිබඳ ව ඔහු පැහැදිලි කර ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ ඉහත සඳහන් වැව් අතරින් නුවර වැව අක්‌කර අඩි 31,250ක ධාරිතාවක්‌ ඇති අතර එම වැවට අමතර ව අනෙක්‌ වැව්වල එකතු වන ජල ධාරිතාව ගණනය කළ හොත් එම ජලාශ හතරින් වගා කළ හැකි කුඹුරු අක්‌කර ප්‍රමාණය අනුව ලැබෙන වී අස්‌වැන්නෙන් මිනිසුන් 125,000කට ආහාර සැපයිය හැකි බව ය. මුල් ඵෙතිහාසික සමය වන විට අනුරාධපුර නාගරික අවශ්‍යතා සඳහා සේන සහ ගුත්තික යන වෙළෙඳුන් දෙදෙනා මල්වතු ඔය හරස්‌ කර නගරය දෙසට ජලය රැගෙන ආ බව මහාවංශයේ මෙසේ සඳහන් වේ.

සෙනිනදගුතත රජජ මහි දමිළා දකසුදධිතා

නදිං දුරනති බනධිතවා නගරාසනාමකංසු ත තං

පුරාණ ශ්‍රී ලාංකිකයන් විසින් ගංගා හා ඔය මාර්ග හරස්‌ කර ජලය ලබාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ම භාවිත කරනු ලැබූ තාක්‍ෂණය වූයේ ජල මාර්ගය හරස්‌ කර බදින ලද අමුණ නමැති සුවිශේෂී තාක්‍ෂණික අංගයයි. මෙමගින් ඇළ මාර්ග ඔස්‌සේ ජලය වෙනත් දිශාවකට රැගෙන යැම සිදු කර ඇත. ක්‍රි. පූ. පළමු වැනි ශතවර්ෂයේ දී සේන හා ගුත්තික මෙලෙස මල්වතු ඔය හරහා අමුණක්‌ බැඳීම තුළින් නාගරික අවශ්‍යතා සඳහා ජලය කළමනාකරණය කිරීමට උත්සාහ ගත් බව පෙනේ. මේ පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී අනුරාධපුර නගරයට ජලය ලබාගැනීමට මල්වතු ඔය හරහා බැදි

පැරැණි අමුණක්‌ හදුනාගැනීමට හැකි වේ. අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ ඉසුරුමුණියට ආසන්නයේ පාලමට වම්පස මාර්ගයේ ගමන් ගන්නා විට මේ අමුණට ළඟා විය හැකි ය. වර්තමානයේ දැඩි ව විනාශ වී ඇති මේ අමුණ මඟින් ජලය ලබාගෙන ඇත්තේ හාල්පානු ඇළ ලෙස වර්තමානයේ ව්‍යවහාර කරන ඇළ ඔස්‌සේ නගරය දෙසට ජලය රැගෙන යැමට ය. එසේ ම හාල්පානු ඇළ ජල මාර්ගයක්‌ ලෙස ඉදි කිරීමෙන් අනතුරු ව මල්වතු ඔය හරහා ගලා එන ජලය පමණක්‌ නො ව ඒ ආශ්‍රිත ව තිබූ භූමිවලට අධික වර්ෂාවෙන් ලැබෙන අතිරික්‌ත ජලය ද එයට එකතු වීමට සලස්‌වා ඇති බව පැහැදිලි වේ. එය පැහැදිලි වන්නේ රුවන්වැලි සෑයට නැඟෙනහිරින් ඉදි කර ඇති භික්‍ෂු විශ්වවිද්‍යාලයයේ උතුරු ප්‍රාකාරය ආසන්නයේ දක්‌නට ලැබෙන පැරැණි මහාවිහාර ප්‍රාකාරය යටින් වන ජල මාතිකාව අනුව ය. වර්ෂා සමයේ දී මේ ජල මාතිකාව නම් ව්‍යqහ සැකැස්‌ම හරහා පැමිණෙන ජලය හාල්පානු ඇළට එකතු වේ. ඒ අනුව මේ ඇළෙහි උපයෝගීතාව පුරාණයේ දී ජල කළමනාකරණයේ දී අතිශයින් ම වැදගත් වී තිබූ බව පෙනේ.

හාල්පානු ඇළ හරස්‌ කර ඉදි කර ඇති අමුණට අමතර ව අනුරාධපුර නගරයේ උතුරු දෙසින් තවත් අමුණක්‌ මල්වතු ඔය හරස්‌ කර ගල්කඩවල ඉදි කර ඇත. මීටර් 30 x 30 පමණ මේ වන විට ඉතිරි ව පවතින මේ අමුණ ඉදි කිරීමේ කාලය පැහැදිලි නැත. එහෙත් මුල් අමුණ ඉදි වූ කාලයට සමකාලීන ව හෝ මද කලකට පසුව හෝ මෙය සංවර්ධනය වී ඇත්තේ ජල කළමනාකරණය සඳහා බව මැනැවින් පැහැදිලි වේ. මුල් ඓතිහාසික සමයේ අවසාන භාගය වන ක්‍රිස්‌තු වර්ෂ පළමු වැනි සියවස වන විට පුරාණ අනුරාධපුර නගරය වටා ජල අවශ්‍යතා සපුරාගැනීම උදෙසා තිසාවාපි, අභයවාපි, ගාමණිවාපි, ජයවාපි හා නකරවාපි යන වැව් ඉදි කර නගරයේ ජල පරිභොජන අවශ්‍යතා හා කෘෂි අවශ්‍යතා මෙන් ම සිසිල් පරිසරයක්‌ ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාදාමය ආරම්භ කර තිබූ බව පෙනේ. එසේ ම අනුරාධපුර නගරය ඒ වන විට අන්තර්ජාතික වාණිජ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ඉස්‌මතු වී තිබූ බැවින් නගුල් කෘෂි කර්මාන්තයේ දියුණුව ඉහළ තලයකට පත් වී තිබූ බව ද භූදර්ශනයට එකතු වී ඇති වාරි පද්ධතිය තුළින් හදුනාගත හැකි වේ.

අනුරාධපුර නගරාශ්‍රිත ප්‍රදේශයේ ජල කළමනාකරණ කටයුතු

අනුරාධපුර ඇතුළු පුරයේ ජලය කළමනාකරණ කටයුතු පිළිබදව මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ වසභ රජුගේ රාජ්‍ය කාලපරිච්ඡෙදයට අදාළව ය. එම කාලය මුල් ඓතිහාසික අවධියට පසු කාලයකට අයත් වන බව රාජ්‍ය පාලන වර්ෂ විමසීමේ දී පෙනේ. දීපවංශය සදහන් කරන ආකාරයට වසභ රජු ක්‍රි.ව. 124-168 වර්ෂවල රාජ්‍ය පාලනය කළ බව මහාවංශයේ පළමු ඉංග්‍රීසි පරිවර්තක විල්හෙල්ම් ගයිගර් දක්‌වා ඇත. එරජු නගරයට අදාළව සිදු කළ ජල කළමනාකරණ කටයුතු අතර නගරය ඇතුළත පොකුණු තනවා උමං ඇළ මගක්‌ ඔස්‌සේ එම පොකුණුවලට ජලය සැපයීම ද වූ බව මහාවංසයේ සදහන් වේ.

(පුරෙ බහු පොකඛරණි කාරපෙතවා නහිං නහිං උමගෙගන ජලං නතථ පංවසෙසි මහීපතී)

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළුපුරය තුළ සිදු කළ කැණීමක දී උමං නළ මාර්ග කිහිපයක්‌ ම ඇතුළුපුරයෙන් හදුනාගත හැකි වී තිබේ. ගඩොලින් තනා සකස්‌ කර තිබූ කාණුවක්‌ මතුපිටින් පියන්ගලකින් වසා සකස්‌ කර තිබූ මේ ජලපවාහන පද්ධතිය උතුරු දකුණු දිශානුගත ව දිවෙන බව පෙනේ. මෙවැනි ජලනළ පද්ධතියක්‌ අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ වැවකින් ජලය සපයාගැනීම සඳහා ය. ඒ අනුව මූලාශ්‍රය සඳහන් කරන වසභ රජුගේ කාලයේ උමං නළ මගින් ජලය නගරයේ පොකුණු තුළට රැගෙන ආ බව විස්‌තර කරන ප්‍රවෘත්තිය පුරාවිද්‍යා සාධක අනුව ද යම්තාක්‌ දුරකට තහවුරු කරගත හැකි අතර ම දියුණු ජල කළමනාකරණ ක්‍රමයක්‌ නගරයේ එවක ක්‍රියාත්මක වූ බව ද ඉන් සනාථ වේ. ඇතුළුපුරය සඳහා උමං මගින් ජලය රැගෙන විත් පොකුණු හා ළිං ආශ්‍රිත ව ගබඩා කර තැබීම මෙන් ම රාජකීය අවශ්‍යතා සදහා භාවිත කිරීමෙන් පසු අතිරික්‌ත ජලය පිටතට යෑවිය යුතු ය. මේ සඳහා ඇළ මාර්ග හෝ දිය අගල් හෝ පුරාණයේ දී උපයෝගී කරගන්නට ඇති බව පැහැදිලි වන්නේ ඇතුළුපුරය දිය අගලකින් වට වී පැවැති භූමියක්‌ බව පැහැදිලි වන බැවිනි. මහාවංශයේ සඳහන් පුවත් සැලකිල්ලට ගන්නා ඉතිහාස ගවේෂක හෙන්රි පාකර් නගරය දිය අගලකින් වට වූ බව පෙන්වා දී ඇත. මේ අනුව ඇතුළුපුරයේ ප්‍රභූවරුන් හා පාලකයන් ජීවත් වූ කොටස තුළ විධිමත් ජල කළමනාකරණ ක්‍රමවේදයක්‌ පැවැති බව, නගරය වටා දිය අගල්, උමං ජල මාර්ග, පොකුණු මෙන්ම ළිං තිබූ බව මූලාශ්‍ර හා පුරාවිද්‍යා කරුණු මගින් තහවුරු වේ.

විහාරාරාම ආශ්‍රිත ජල කළමනාකරණ කටයුතු

ක්‍රි.පූ. තෙවැනි සියවසේ දී විහාරාම ආරම්භ වූවායින් පසුව ප්‍රධාන විහාරාරාම වළල්ලක්‌ නගරය වටා ගොඩනැගිණි. මේ විහාරාරාම දියුණු වන්නට ශතවර්ෂ කිහිපයක්‌ ගත වූ නමුත් අවසාන අදියර වන විට නගරයේ දකුණු දෙසින් මහාවිහාරය ද, උතුරින් අභයගිරිය ද, නැෙගනහිරින් ඡේතවනාරාමය ද, බටහිරින් මිරිසවැටිය ද, නිරිතදිගින් දක්‍ෂිණ විහාරය ද ගොඩනැගී තිබිණ. dහියන් දේශාටන වාර්තාවේ සඳහන් වන ආකාරයට අභයගිරියේ භික්‍ෂූන් 5000ක්‌ ද, මහාවිහාරයේ 3000ක්‌ ද, අගනුවර තවත් භික්‍ෂූන් 5000-6000ක්‌ ද වෙසෙන බව දක්‌වා ඇත. මේ අනුව පැහැදිලි වන්නේ විශාල භික්‍ෂූ ගහණයක්‌ ක්‍රි.ව. පස්‌ වැනි ශතවර්ෂය වන විට අනුරාධපුරයේ විහාරාරාමවල වැඩවාසය කර ඇති බව ය. ඒ අනුව එතරම් භික්‍ෂු සංඛ්‍යාවක්‌ මහාවිහාර ආශ්‍රිත ව ජීවත් වීමේ දී හොදින් ජල පහසුකම් තිබිය යුතු අතර ඒවා මනා කළමනාකාරිත්වයකින් යොදාගැනීම ද සිදු කළ යුතු ය.

මහාවිහාර ආශ්‍රිත ව බහුල වශයෙන් පොකුණු හා ළිං නිර්මාණය කර තිබීම හදුනාගත හැකි වේ. අභයගිරි විහාරයේ පොකුණු හා ළිං 62ක්‌ මතුපිට දෂ්‍යමාන වන බව ක්‌ෂේත්‍ර නිරීක්‍ෂණ තුළින් පැහැදිලි වේ. එසේ ම ඡේතවන විහාරයේ පොකුණු 09ක්‌ හා ළිං 05ක්‌, මහාවිහාරයේ පොකුණු 05ක්‌ හදුනාගත හැකි වේ. ඉහතින් විස්‌තර කළ පොකුණු හා ළිං සඳහා ජලය ලබාගැනීමේ දී භූගත ජලය රැස්‌ කිරීම හා වැව්වල සිට උමං මාර්ග ඔස්‌සේ ජලය පරිවහනය කිරීම සිදු කර තිබේ. ජලය ගබඩා කරගැනීමට තැනූ පොකුණු බොහොමයක්‌ හදුනාගත හැක්‌කේ ඡේතවන හා අභයගිරි යන ආරාම තුළ ය. මේ පොකුණු හා ළිං සඳහා නළමාර්ග ඔස්‌සේ ජලය සපයාගෙන ඇති බව පුරාවිද්‍යා කැණීම්වල දී පැහැදිලි වී තිබේ. ඡේතවනාරාමයේ ජල කළමනාකරණ කටයුතු සදහා ජල මූලාශ්‍රවලින් ජලය රැගෙන ආ බවට නිශ්චය කළ හැකි නළ පද්ධති කිහිපයක්‌ ම හමු වී ඇත. ඉන් එක්‌ නළ පද්ධතියක්‌ දාන ශාලාව අසලින් ද, තවත් එක විශාල නළ පද්ධතියක්‌ වර්තමාන මහින්ද පිරිවෙන විහාරය තුළ ඇති කැසිකිළි වැසිකිළි සංකීර්ණය අසලින් ද අනාවරණය කරගෙන ඇත. මෙයට අමතර ව ස්‌ථූපයේ නැෙගනහිර දොරටුවට ආසන්නයේ කළ කැණීමකින් වර්තමානයේ නගරයට ජලය සපයන ජල නළයක ප්‍රමාණයේ විශාල මැටි නළයක්‌ හදුනාගැනීම මඟින් මේ විහාරස්‌ථානය සඳහා විශාල ජල ප්‍රමාණයක්‌ උමං මාර්ග ඔස්‌සේ පරිවහනය කර ඇති අයුරු හදුනාගත හැකි වේ. එම නළ මාර්ග අනිවාර්යයෙන් ම වැවකට සම්බන්ධ විය යුතු ය. විහාරාරාම ආශ්‍රිත ව හදුනාගත හැකි විස්‌මයජනක ජල කළමනාකරණය හදුනාගත හැක්‌කේ අභයගිරි විහාරය තුළිනි. අභයගිරි විහාරය තුළින් ළිං පොකුණු 62ක්‌ වාර්තා වී ඇත.

අභයගිරි විහාරයේ ජල කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීමේ දී වැව්වලට සම්බන්ධ උමං මාර්ග ඔස්‌සේ ප්‍රධාන පොකුණුවලට ජලය රැගෙන ආ බව හදුනාගෙන තිබේ. එම විහාරයේ දානශාලාව අසල ඇති මීටර් 150ක්‌ දිග, මීටර් 45ක්‌ පළල වන දැවැන්ත පොකුණ (වර්තමාන ව්‍යවහාරයේ ඇත් පොකුණ ලෙස හදුන්වයි) සදහා වැව් දෙකකින් ජලය රැගෙන විත් තිබේ. ඉන් එක්‌ උමං මාර්ගයක්‌ අභයගිරි විහාරය ආසන්නයේ ඇති බුලංකුලම වැව (ගාමණිවාපි) සම්බන්ධ වී ඇති අතර අනෙක්‌ උමං නළ මාර්ගය වර්තමාන පෙරුමියන්කුලම වැවට (ජයවාපි) සම්බන්ධ වීමට ඇතැයි එම නළවල පිහිටීම අනුව උපකල්පනය කළ හැකි ය. විශේෂයෙන් ම මේ පොකුණේ දකුණු දිගින් දැකිය හැකි ජල පිරිපහදුව මගින් වැව්වලට සම්බන්ධ ව පැමිණෙන ජලය තුළ වන රොන්මඩ පෙරී පොකුණ තුළට ගමන් කිරීමට සලස්‌වා ඇති ආකාරය විශිෂ්ට ය. මෙසේ ගබඩා කරන ලද ජලය එම විශාල පොකුණින් පිටතට ගැනීමට භාවිත කර ඇති ක්‍රමවේද ඇත් පොකුණේ නැෙගනහිර බැම්මේ වේ. පොකුණ ඇතුළේ නිර්මාණය කර ඇති කට්‌ටයක්‌ සහිත තිරස්‌ ශිලාකණු දෙක මත රැදවූ උපකරණයක්‌ මගින් ඉහළට ජලය ගෙන ශිලාමය උමං නළ ඔස්‌සේ අභයගිරියේ දානශාලව දක්‌වා රැගෙන විත් ඇති බව හදුනාගත හැකි ය. මේ ආකාරයට මේ දැවැන්ත පොකුණේ ජලය අභයගිරි විහාරයේ භික්‍ෂූන්ගේ ජල පරිභෝජන අවශ්‍යතා සඳහා යොදාගන්නට ඇති බව පෙන්වා දිය හැකි ය. අභයගිරි විහාරයේ දැකිය හැකි පොකුණු අතර කුට්‌ට්‌ම් පොකුණ ද සුවිශේෂී වේ. එම පොකුණට ද ජලය වැවකින් රැගෙන විත් පිරිපහදුවක්‌ මගින් පිරිපහදු කර පොකුණ තුළට ගලා යැමට සලස්‌වා ඇත්තේ ශ්‍රී ලාංකේය ජල කළමනාකරුවන්ගේ හසළ දක්‍ෂතාව මැනැවින් විදහා දක්‌වමිනි. එසේ ම පොකුණ පිරිසුදු කිරීමේ දී අතිරික්‌ත ජලය පිට කිරීමට ද උමං මාර්ග එහි වන බව සෙනරත් පරණවිතාන පෙන්වා දී ඇත.

අනුරාධපුර රාජකීය උයන ආශ්‍රිත ජල කළමනාකරණය

පුරාණ අනුරාධපුර නගරයේ රාජකීය අවශ්‍යතා සදහා ඉදි කරන ලද ප්‍රධානතම උයන වන්නේ රන්මසු උයන ය. තිසාවැව් කණ්‌ඩියට නැෙගනහිර දෙසින් අක්‌කර 35ක පමණ භූමියක මේ උයන පිහිටා තිබේ. අනුරාධපුර රන්මසු උයනේ ජල කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එහි ඇති පොකුණු හා ජල මාර්ග පද්ධතිය අතිශයින් ම වැදගත් වේ. රන්මසු උයනේ නැෙගනහිරින් පිහිටන පොකුණ තට්‌ටු තුනකින් නිර්මාණය කර තිබෙන අතර එය දිගින් අඩි 24ක්‌ හා පළලින් අඩි 12ක්‌ පමණ වේ. එහි බටහිර පසින් ස්‌වාභාවික ව පිහිටි ගලේ හාරන ලද ගුහාවක්‌ දැකගත හැකි අතර ගුහාව දෙපස ගලෙහි නෙළුම් විලක දිය කෙළින ඇත් රංචුවක්‌ කැටයම් කර ඇත. පොකුණට දකුණුපසින් ගලින් ඉදි කරන ලද බේසමක්‌ දැකිය හැකි අතර පරණවිතාන පෙන්වා දී ඇත්තේ එම ගල් බේසම තුළ රන්වන් පැහැ මසුන් ඇති කරන්නට ඇති බැවින් මේ උයන රන්මසු උයන වූ බව ය. එම ගල් බේසම වටා ගලේ හාරා ඇති කණු වළවල් දක්‌නට ලැබෙන අතර එමගින් එයට ආවරණයක්‌ සකසා තිබූ බව ද පැහැදිලි වේ. මෙහි ඇති විශාලතම පොකුණ සමචතුරස්‍රාකාර වන අතර එහි එක්‌ පැත්තක දිග අඩි 20ක්‌ වේ. මේ ආසන්නයේ ම තවත් කුඩා පොකුණක්‌ දක්‌නට ලැබේ.

රන්මසු උයනේ ජල තාක්‍ෂණය ක්‍රි.ව. 9-10 සියවස්‌වලට අයත් වන බව විද්වත් මතය වේ. තිසාවැවේ සිට ගලා එන ජලය අඩි 70ක්‌ පමණ දිග වූ කාණුවක්‌ දිගේ ගලාවිත් නැෙගනහිර පිහිටි චතුරස්‍රාකාර විල්වලට එකතු වේ. මෙහි ජල මාර්ග සංකීර්ණ ස්‌වරූපයක්‌ ගන්නා අතර එය මිනිස්‌ සිරුරේ ස්‌නායු පද්ධතියට සමාන බව සෙනරත් පරණවිතාන පෙන්වා දී තිබේ. අනුරාධපුර රාජධානි අවධියේ ඉදි වූ සුවිශේෂ ජල කළමනාකරණ ක්‍රමවේද සහිත ස්‌ථානයක්‌ ලෙස රන්මසු උයන පෙන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනංශයේ

පුරාවිද්‍යා මහාචාර්ය

මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්‌