logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පුරාණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ විකාශනය

"අපපකංපී'දිසෙ දෙසෙ සලිලං වුටඨි සමභවං

විනා ලොකොපකාරෙන ජාතු මා ගඤජි සාගරං"

"අහසින් වැටෙන එක දිය බිඳක්‌ පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට නො ගෙන මුහුදට ගලා නො යා යුතු ය." (මහාවංසය)

ජලයේ පවතින සමාජ, දේශපාලනික හා ආර්ථික වටිනාකම මැනැවින් හඳුනාගත් පළමුවැනි පරාක්‍රමබාහු රජු ජලය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම මේ පාඨය මඟින් ඉස්‌මතු කොට දක්‌වා තිබෙන බව පැහැදිලි ය. විධිමත් ජල කළමනාකරණය පිළිබඳ අදහසක්‌ මෙමඟින් ඉදිරිපත් වන බව හඳුනාගැනීමට පුළුවන. මේ ක්‍රියාවලිය මෙරට වාරි කර්මාන්තය බිහි වීම සමඟ ආරම්භ වූවකි.

පුරාණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ ප්‍රභවය කෙරෙහි බලපෑ සමාජ පුරාවිද්‍යා අවකාශය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී එය පුළුල් ක්‌ෂේත්‍රයක්‌ ඔස්‌සේ විමර්ශනය කළ යුතු බව පෙනේ. වාරි කර්මාන්තය යනු හුදෙකලාව බිහි වූවක්‌ නො ව ජනතාවගේ අවශ්‍යතාවන් මත බිහි වී ඔවුන් නිසා ම ක්‍රමයෙන් වර්ධනය වූ ක්‍රියාවලියක්‌ ලෙස හඳුනාගැනීමට පුළුවන. ඒ අනුව පුරාතන සමාජය තුළ වාරි කර්මාන්තය බිහි වීමට මූලික වූ හේතු සාධකත් එය ක්‍රමයෙන් වර්ධනය වීම සඳහා සහ වාරි කර්මාන්තයේ විවිධ අංශ ගොඩනැඟීම කෙරෙහි බලපෑ සමාජීය ක්‍රියාකාරීත්වයත් හඳුනාගැනීම වැදගත් වේ. අභිලේඛනමය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් මේ සඳහා උපයෝගී කරගැනීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ පුරාතන අවධීන් සම්බන්ධයෙන් සමාජ පුරාවිද්‍යාත්මක අධ්‍යයන සිදු කිරීමේ දී ප්‍රධාන වශයෙන් එම අවධීන්හි පැවැති ජන කණ්‌ඩායම්හි විවිධත්වය, පරිපාලන සංවිධාන, සමාජ නායකත්වය, සම්පත් පරිහරණය, ආර්ථික ක්‍රියාවලිය, විශේෂ ප්‍රාගුණ්‍යතාව ආදි වශයෙන් හඳුනාගත හැකි නොයෙකුත් ක්‌ෂේත්‍රයන් ඔස්‌සේ ජන සමාජයේ විහිදීම විමර්ශනය කිරීමට සිදු වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ ජන සමාජයක්‌ යනු විවිධ පරාසයන් ගෙන් යුතු මානව ක්‍රියාවලීන්හි එකතුවක්‌ ලෙස හඳුනාගත හැකි වීම ය.

ලෝකයේ බොහෝ පැරැණි සමාජ බිහි වී ඇත්තේ ගංගා නිම්න ශිෂ්ටාචාර (River Basin Civilizations) වශයෙනි. මේ ශිෂ්ටාචාරවල පවතින මූලික ලක්‌ෂණයක්‌ වන්නේ ගංගාව හේතුවෙන් පෝෂණය වන කිසියම් භූමි ප්‍රදේශයක්‌ සීමා කොටගනිමින් ජනාවාස ගොඩනඟාගැනීමයි. ගංගාව සමීපයේ වඩාත් සරුසාර භූමි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ නයිල්, යුප්‍රට්‍රීස්‌ ටයිග්‍රීස්‌, හොවැංහෝ, ඉන්දු වැනි පුරාණ ගංගා නිම්න ශිෂ්ටාචාර මෙයට නිදසුන් වේ. එසේ වුව ද ලංකාවේ පුරාතන සමාජය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන කාරණයක්‌ වන්නේ එය ගංගාව හෝ ඔය හෝ ලෙසින් හඳුන්වන ස්‌වාභාවික ජල මාර්ගයේ කිසියම් සීමිත කොටසක්‌ කේන්ද්‍ර කරගනිමින් බිහි වුණු ශිෂ්ටාචාරයක්‌ නො වන බවකි. ඔවුන් ජල මාර්ගය සමීපයේ මෙන් ම නිම්නයෙන් වඩාත් දුරස්‌ථ ප්‍රදේශවල ද ජනාවාස බිහි කරගත් බවට මෙරට පූර්ව හා අපර බ්‍රාහ්මී ශිලා ලේඛනවල පැතිර යැම අනුව පැහැදිලි වේ. එහි දී නිම්නයෙන් දුරස්‌ථ භූමිය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැව හා අමුණ මුල් කරගත් වාරි ක්‍රම පදනම් කරගනිමින් සිදු කළ බව හඳුනාගත හැකි ය. (අමුණ පිළිබඳ තොරතුරු සඳහා මේ අතිරේකයේ 6-7 පිටු බලන්න). ඒ අනුව පුරාතන ශ්‍රී ලාංකේය සමාජය තුළ හඳුනාගත හැක්‌කේ වාරි මූලික වූ ශිෂ්ටාචාරයක්‌ බව පැහැදිලි ය. මේ වාරි ශිෂ්ටාචාරය නියෝජනය කරන සමාජය තුළ වාරි කර්මාන්තය මූලික ආයෝජනයක්‌ ලෙස සලකා තිබෙන බව පැහැදිලි ය. එය රටේ ප්‍රධාන ධනයක්‌ ද විය. කලා වැව තමාගේ ධනය ලෙස ධාතුසේන රජු කළ ප්‍රකාශය මෙයට එක්‌ නිදසුනකි. මෙරට වාරි මූලික ශිෂ්ටාචාරය තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ ප්‍රධාන හෝ උප නිම්නවල පිහිටි ස්‌වාභාවික ජල මාර්ගවල ජලය, වාරි ක්‍රමෝපායන් භාවිතයෙන් ප්‍රයෝජනයට ගැනීම ය. මීට අමතර ව වැසි ජල කළමනාකරණයක්‌ ද වාරි මූලික ශිෂ්ටාචාරය තුළ හඳුනාගත හැකි ය. ලංකාවේ වියළි කලාපය හා අන්තර් කලාපය ආශ්‍රිත ව දක්‌නට ලැබෙන කුඩා වැව් විශාල ප්‍රමාණයක්‌ වැසි ජලය මත පෝෂණය වන වැව් ලෙසින් හඳුනාගත හැකි බැවින් පැහැදිලි වන කාරණයක්‌ වනුයේ වැසි ජලය එක්‌රැස්‌ කොට ගබඩා කරගෙන කෘෂිකාර්මික හා අනෙකුත් සාමාජීය අවශ්‍යතා සඳහා විධිමත් ආකාරයෙන් ප්‍රයෝජනයට ගත් බවයි. ඒ අනුව ලෝකයේ වැසි ජල කළමනාකරණය සම්බන්ධයෙන් වන පැරැණි ම නිදසුන් හමු වන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වාරි මූලික ශිෂ්ටාචාරයෙන් බව හදුනාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ ප්‍රවේශය

වාරි කර්මාන්තයේ ප්‍රගමනයට බලපෑ සමාජ පුරාවිද්‍යාත්මක අවකාශය හඳුනාගැනීමේ දී පූර්ව ඓතිහාසික අවධියේ (Proto Historic Period) මෙරට ජනාවාසකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ වඩාත් සංවිධානාත්මක පැරැණි ම ජනාවාස හමු වන පූර්ව ඓතිහාසික අවධිය වන විට ජනතාව තම අවශ්‍යතාවන් ඉටු කරගත හැකි ප්‍රදේශ කෙරෙහි යොමු වුණ බව පැහැදිලි ය. දඩයම හා ආහාර රැස්‌ කිරීම පමණක්‌ තම ජීවනෝපායේ මූලිකාංග සේ නො සලකා සත්ත්ව පාලනය හා සීමිත කෘෂිකර්මාන්තය මත පදනම් වූ යෑපුම් ආර්ථික රටාවක්‌ ආරම්භ වීම පූර්ව ඓතිහාසික අවධියේ දක්‌නට ලැබෙන ප්‍රධානතම ලක්‌ෂණය වේ. එතෙක්‌ පැවැති ඒකාකාරී යෑපුම් ක්‍රමය වෙනුවට පරිසරය මත පදනම් වූ විවිධත්වයෙන් යුතු අර්ථ ක්‍රමයකට යොමු වීම මේ අවධියේ දී සිදු වී ඇත. ඒ අනුව මෙරට පූර්ව ඓතිහාසික ජනතාව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට යෝග්‍ය වූත් අවශ්‍යතාවන් පහසුවෙන් සපුරාගත හැකි වූත් ප්‍රදේශවල ස්‌ථාවර ජනාවාස බිහි කරගැනීම කෙරෙහි යොමු වී ඇති බව පෙනේ. මේ අවධියේ ජනාවාස ආශ්‍රිත ව හඳුනාගත හැකි විශේෂ ලක්‌ෂණ ලෙස මෙගලිතික සුසාන භූමි (Megalitic Burials) හා කාල රක්‌ත මෙවලම් (Black and Red Wear) අවශේෂ දැක්‌විය හැකි ය. මේ ලක්‌ෂණ පදනම් කරගනිමින් බිහි වූ පූර්ව ඓතිහාසික අවධියේ සංස්‌කෘතිය, මෙගලිතික කාල රක්‌ත මෙවලම් සංස්‌කෘතිය (Megalitic Black and Red Wear Culture) ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික, මුල් යකඩ යුගයේ සංස්‌කෘතිය ආසන්න වශයෙන් ක්‍රිස්‌තු පූර්ව 1,000 - ක්‍රිස්‌තු පූර්ව 300 අතර කාලය තුළ ක්‍රියාත්මක වී ඇත. මහාවංශය ප්‍රධාන මූලාශ්‍රවල සඳහන් තොරතුරු අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවස වන විට ලංකාවේ යක්‌ෂ, නාග, දේව යන කණ්‌ඩායම් තුනක්‌ සිටි බවත්, ඔවුන් සංවිධානාත්මක සමාජ රටාවක්‌ තුළ කටයුතු කළ පිරිසක්‌ වන බවත් ය. වංශකථාවේ සඳහන් තොරතුරු සමඟ මේ පුරාවිද්‍යාත්මක සාක්‌ෂි සසඳන විට සිතිය හැකි වන්නේ යක්‌ෂ, නාග, දේව ගෝත්‍ර යනු මෙරට පූර්ව ඓතිහාසික අවධිය නියෝජනය කළ ශිෂ්ටාචාරාත්මක සමාජයක ජීවත් වූ ස්‌වදේශික ජනතාව විය හැකි බවයි. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික ජනාවාස ප්‍රධාන වශයෙන් වියළි කලාපීය ගංගා නිම්නාශ්‍රිත ව ස්‌ථානගත වී තිබේ. ඒ බව සුසාන භූමිවල ව්‍යාප්තිය අනුව පැහැදිලි වේ. ගොවිතැනට යෝග්‍ය වියළි දේශගුණයක්‌ හා පසකින් යුතු මේ ප්‍රදේශයේ තිබෙන දීර්ඝ කාලීන වියළි කාලගුණය මත කෘත්‍රිම ජල සම්පාදනයෙන් ඵලදායී ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට හැකි වීම මේ කලාපයේ ජනාවාස ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකි වේ. ඒ අනුව පූර්ව ඓතිහාසික අවධියේ දී මේ කලාපයේ ජීවත් වූ ජනතාව මෙරට වාරි කර්මාන්තයේ ආරම්භකයන් බව පෙනේ. වියළි කලාපයට අයත් පුරාණ වාරි නිර්මාණ පිළිබඳ සාක්‌ෂි සහිත ගංගා නිම්නාශ්‍රිත ව තිබෙන සමහර පූර්ව ඓතිහාසික ජනාවාස සමහරක්‌ පිළිබඳ ව මෙලෙස දැක්‌වීමට පුළුවන.

I. යාන් ඔය නිම්නය

ගුරුගල්හින්න, තම්මැන්නාගොඩැල්ල, වඩිග වැව, රඹෑව, කොක්‌එබේ, දිවුල් වැව, සියඹලා වැව, සීගිරිය.

II. මල්වතු ඔය නිම්නය

අනුරාධපුර, තෙක්‌කම්, අලුත්බෝමුව, සියඹලාගස්‌ වැව, ඒරු වැව, සන්දනම්කුලම, මන්තායි, නෙළුබෑව

III. කලා ඔය නිම්නය

කරම්බන්කුලම, රාජාංගනය, පොම්පරිප්පු, යටිගල්පොත්තල ඉබ්බන්කට්‌ටුව, කණ්‌ඩලම, ආනකටාව, කැලේගම

IV. දැදුරු ඔය නිම්නය

පින් වැව, පොල්පිතිගම

V. මී ඔය නිම්නය

අන්දර වැව

පූර්ව ඓතිහාසික අවධියේ (Early Historic Period) වියළි කලාපයට වැව් හඳුන්වා දෙනු ලබන්නේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය පරිදි ජල සම්පාදනය කිරීමේ අපහසුතාවට විසඳුමක්‌ වශයෙනි. ගංගා නිම්නවල ජනාවාස පිහිටුවාගත් පූර්ව ඓතිහාසික ජනතාව අතර ආදිතමයන් තාවකාලික වැටි වේලි ආදිය යොදාගනිමින් ජල මාර්ග හරස්‌ කර කෘෂි බිම් සඳහා ජලය ලබා ගන්නට ඇති බව සිතිය හැකි වේ. එහෙත් ක්‍රමයෙන් ජනගහනය අධික වීම තුළ එම ජල සම්පාදන ක්‍රම ප්‍රමාණවත් නො වූ හෙයින් තැනිතලා භූමියේ තිබෙන තිරස්‌ වැටි හා උස්‌ බිම් උපයෝගී කරගනිමින් කුඩා වැව් තනාගෙන අහස්‌ දිය රැස්‌ කරගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නට ඇත.

පූර්ව ඓතිහාසික අවධිය වන විට වියළි කලාපය තුළ පැවතියේ විස්‌තෘත ජනාවාස රටාවකි. ඒ බව එම යුගය නියෝජනය කරන සුසාන භූමිවල විසිරුම් රටාව අනුව තීරණය කිරීමට පුළුවන. මෙයින් පැහැදිලි වන්නේ මෙකී ජනාවාස ක්‌ෂුද්‍ර ජනාවාස ලෙසින් පවතින්නට ඇත යන්න ය. මෙකී ක්‌ෂුද්‍ර ග්‍රාමීය ජනාවාස ස්‌ථානගත වීමේ දී භූමියේ ස්‌වභාවය පිළිබඳව සැලකිලිමත් වන්නට ඇති බව සිතිය හැකි වේ. එහි දී වැඩි වශයෙන් කෘෂි කර්මාන්තය සඳහා යෝග්‍ය පාංශු රටාවක්‌ තිබීම කෙරෙහිත්, කෘෂිකර්මාන්තය හා අනෙකුත් අවශ්‍යතාවන් සඳහා ජල සම්පාදන ක්‍රමවේදයන් සකසාගැනීමේ ඇති හැකියාවන් පිළිබඳ වත් අවධානය යොමු කරන්නට ඇත. පූර්ව ඓතිහාසික, මුල් යකඩ යුගයේ දී ජනතාව සිදු කොට ඇත්තේ භූ පිහිටීම උපයෝගී කරගනිමින් ස්‌වාභාවික පතස්‌ හා පහත් භූමි ආවරණය වන පරිදි වඩා උස්‌ නො වූ වේලි බැඳ කුඩා ප්‍රමාණයේ වැව් සකස්‌ කරගැනීමයි. වියළි කලාපය තුළ පිහිටි සුසාන සහිත ස්‌ථාන රැසකින් හඳුනාගත හැකි කුඩා ප්‍රමාණයේ වැව් පිළිබඳ සාක්‌ෂි මෙයට නිදසුනකි. ඉබ්බන්කට්‌ටුව ආශ්‍රිත ඉදමොරළුව වැව, යාපහුව කොණ්‌ඩදෙනිය සුසාන භූමිය අවට පිහිටි කුඩා වැව්, ගුරුගල්හින්න, සන්දනම්කුලම, සියඹලාගස්‌ වැව වැනි සුසාන භූමි ආශ්‍රයෙන් හඳුනාගත හැකි වැව්, පොම්පරිප්පු සුසාන භූමිය ආසන්නයේ දක්‌නට ලැබෙන වැව්, කොක්‌එබේ සුසාන භූමියට සමීපයෙන් දක්‌නට ලැබෙන වැව හා එබ, තම්මැන්නාගොඩැල්ල සුසාන භූමියට සමීපයෙන් පිහිටි කුඩා වැව, වඩිග වැව සුසාන භූමියට ආසන්නයේ පිහිටි වැව මෙයට නිදසුනකි. පොම්පරිප්පු මෙගලිතික සුසාන භූමිය හා ඒ අසල වූ වැව අතර පැවැති සම්බන්ධතාව පරීක්‌ෂා කිරීමට ද එක්‌ අවස්‌ථාවක උත්සාහ ගෙන තිබේ. වංශකථා මූලාශ්‍රවල දැක්‌වෙන පුරාවෘතගත තොරතුරු අනුව ද එකල මෙරට ජලය රැස්‌ කිරීමේ ක්‍රමවේද පැවැති බව තහවුරු වේ. විජය කුමරු හා කුවේණිය පිළිබඳ දැක්‌වෙන කථා පුවතේ සඳහන් පොකුණු, පණ්‌ඩුකාභය පුවතේ සඳහන් තිඹිරි යහන විල මෙයට නිදසුන් ලෙස දැක්‌විය හැකි ය.

මීට අමතර ව ජල මාර්ග හරස්‌ කරමින් ප්‍රාථමික ගල් වැටි තනමින් ජලය හරවා ලබාගැනීමේ ක්‍රමවේදයන් ද අනුගමනය කරන්නට ඇත. වියළි කලාපය ආශ්‍රිත කලා ඔය හා යාන් ඔයේ සමහරක්‌ අමුණුවලින් හඳුනාගත හැකි ඇතැම් ශිලා ඛණ්‌ඩවල පිහිටීමේ ස්‌වභාවය හා විභේදන රටාවන් නිරීක්‌ෂණය කිරීමේ දී පෙනී යන කාරණයක්‌ වනුයේ ඒවා අමුණක ප්‍රාථමික ඉදි කිරීම් අවධිය නියෝජනය කරන බවයි.

පූර්ව ඓතිහාසික අවධියේ මෙවැනි කුඩා ප්‍රමාණයේ වාරි මාර්ග ක්‍රම ආරම්භ වීම සඳහා ඒ වන විට එම ජනතාව සතු ව පැවැති මුල් යකඩ යුගයේ තාක්‌ෂණය පිළිබඳ දැනුම හා ලෝහ මෙවලම් උපයෝගී කරගන්නට ඇත. මෙකල සුසාන නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන ශිලා විභේදනය පිණිස මෙන් ම කෘෂිකාර්මික හා අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නිපදවාගැනීම පිණිස වානේ භාවිතය සාර්ථක ව සිදු කරන්නට ඇති බව පෙනේ. ඒ අනුව වැව් ඉදි කිරීම සඳහා ද ලෝහ උපකරණ භාවිතය ඉවහල් වන්නට ඇති බව සිතිය හැකි වේ.

ආරම්භක අවධිය

පූර්ව ඓතිහාසික අවධියේ අවසානය මුල් ඓතිහාසික අවධියේ ආරම්භය ලෙස සලකනු ලැබේ. මේ කාල පරිච්ඡේදය පොදුවේ ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක සමාජයේ ආරම්භක අවධිය ලෙස සලකනු ලබයි. මුල් ඓතිහාසික අවධිය සම්බන්ධයෙන් තොරතුරු හඳුනාගත හැකි පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන ඇසුරින් එකල සමාජයේ ජන ප්‍රසාරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක්‌ අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. එමඟින් එවකට පැවැති සමාජ සැකැස්‌ම හා ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් හෙළි වන තොරතුරු ප්‍රමාණය අතිමහත් ය. විශේෂත්වයක්‌ වන්නේ මේ ශිලා ලේඛන ඇසුරින් මෙරට ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි නො වන ජන කණ්‌ඩායම් පිළිබඳ වත්, ඔවුන්ගේ තනතුරු නාම සහ කාර්යභාරයන් සම්බන්ධයෙනුත් බොහෝ කරුණු අනාවරණය කරගත හැකි වීම ය.

වියළි කලාපය තුළ මේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනවල වැඩි ව්‍යාප්තියක්‌ පෙන්නුම් කරන බව හඳුනාගත හැකි වේ. මේ සෙල් ලිපිවල ව්‍යාප්තිය අනුව පැහැදිලි වන්නේ මුල් ඓතිහාසික සමය වන විට වියළි කලාපය නියෝජනය කරන වයඹ, උතුරුමැද හා තදාශ්‍රිත කලාපය තුළ ජන ප්‍රසාරණය වඩාත් විධිමත් ව සිදු වී තිබෙන බවකි. සමාජ ස්‌ථරගත වීම හා ශ්‍රේණිගත වීම ක්‍රමික ව සිදු වී තිබෙන බව එම සෙල් ලිපි ආශ්‍රයෙන් හඳුනාගත හැකි පදවි නාමයන් ගෙන් පැහැදිලි වේ.

මෙරට වියළි කලාපයේ ජනාවාස වීම කෙරෙහි කෘෂිකර්මාන්තයට අමතර ව ඇතැම් ස්‌ථානවලින් හඳුනාගත හැකි ඛනිජ වර්ග කෙරෙහි ආකර්ෂණය වීම ද හේතු වන්නට ඇත. වියළි කලාපයට අයත් වන උතුරු මැද, වයඹ හා තදාශ්‍රිත ප්‍රදේශය ඇසුරින් ලෝහ කර්මාන්තය හා සම්බන්ධ විවිධ ශිල්පීය අංශයන්ගේ වර්ධනය සිදු වී තිබෙන බව සෙල් ලිපි ඇසුරින් අනාවරණය කරගත හැකි ය. මෙකී තත්ත්වය තුළ කලාපයේ ජල අවශ්‍යතාව කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගිය විවිධ ක්‌ෂේත්‍ර ඔස්‌සේ ව්‍යාප්ත වීම වාරි කර්මාන්තයේ ප්‍රගතිය කෙරෙහි හේතු වන්නට ඇත.

ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසින් පසු මෙරට ඇති වූ වැදගත් ම සිදු වීම වන්නේ මෙරට සම්පත් පැවැති ප්‍රදේශ කරා සිදු වූ ඉන්දීය ජන සංක්‍රමණයන් ය. මේ නිසා මෙරට පූර්ව ඓතිහාසික ස්‌වදේශික ගෝත්‍රවල අනන්‍යතාව සුරැකුණු බවක්‌ සිතීමට නුපුළුවන. මේ නිසා සිදු වූ ජන මිශ්‍රවීම් හේතු කොටගෙන වඩාත් සංකීර්ණ සමාජයක්‌ ලංකාවේ බිහි වූ අතර කෘෂික සමාජ, ශිල්ප සමාජ හා වාණිජ සමාජ වශයෙන් ශේ්‍රණිගත වූ සමාජ ක්‍රමයක ලක්‌ෂණ පෙන්නුම් කිරීම ආරම්භ විය. මේ වෙනස්‌ වීම ස්‌ථාවර රාජ්‍යයක්‌ කරා යොමු වීමට ප්‍රබල හේතුවක්‌ වූ අතර ම එම තත්ත්වය මෙරට වාරි කර්මාන්තයේ ප්‍රගතිය කෙරෙහි ද ඝෘජු ව ම බලපාන කාරණයක්‌ විය.

ශ්‍රී ලංකාවේ වාසය කළ ස්‌වදේශික ජනතාව සහ උතුරු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාව හා සාගර කලාපය ඔස්‌සේ මෙරටට සංක්‍රමණය වූ ජන කණ්‌ඩායම් වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂි අර්ථ ක්‍රමයක්‌ කෙරෙහි නැඹුරු වූ පිරිසක්‌ විය. ඒ අනුව ඔවුන් මෙරට වියළි තැනිතලා ප්‍රදේශවල පිහිටීම මත පදනම් ව සුළු වාරි කර්මාන්ත සඳහා යොමු වූ බව පැහැදිලි ය. ඉන්දීය ජන සංක්‍රමණිකයන්ට ඒ සඳහා ඉන්දියාව තුළ දී ලද අත්දැකීම් ද ප්‍රයෝජනවත් වන්නට ඇත. මුල් කාලීන වියළි කලාපීය ජනාවාස බිහි වීම කෙරෙහි බලපෑ ප්‍රධාන වාරි සාධක දෙකක්‌ බ්‍රොaහියර් පෙන්වා දී ඇත.

1. ඉතා සරල ලෙස නිර්මාණය කරන ලද තඩාගයක වැසි ජලය රඳවාගෙන එම ජලය ප්‍රාථමික ඇළ මාර්ග ඔස්‌සේ අවශ්‍යතාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීම.

2. වසර පුරා ජලය රැගෙන යන ජල මාර්ග ප්‍රාථමික අයුරින් ගල් පර්වත දැව ආදිය දමා හරස්‌ කොට එම ජලය කුඩා ඇළ මාර්ග ඔස්‌සේ අවශ්‍යතාවන් සඳහා ලබාගැනීම.

ස්‌වදේශික ජනතාව හා ඉන්දීය ජන සංක්‍රමණිකයන් තම ජනාවාස නිර්මාණය කරගෙන ඇත්තේ සාමූහික රටාවක්‌ තුළ බව පැහැදිලි ය. මෙවැනි නිවාස සමූහයක්‌ ආවරණය වන පරිදි වඩා උස්‌ නො වූ බැම්මකින් යුතු අක්‌කර කිහිපයකට පමණක්‌ සීමා වූ කුඩා ප්‍රමාණයේ වැවක්‌ ඔවුන් විසින් ශ්‍රම දායකත්වයෙන් යුතු ව ඉදි කර ඊට පහළින් තම ගොවිබිම් පිහිටුවා ගන්නට ඇත. ඒ අනුව මුල් කාලීන වියළි කලාපීය 'ගම' වැව කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙන්නට ඇති බව උපකල්පනය කිරීමට පුළුවන. මේ හේතුව මත මේ කුඩා වැව් ග්‍රාමීය වැව් ලෙස අර්ථ දැක්‌වීමේ හැකියාව පවතී.

මුල් කාලීන ජනාවාසකරණයෙහි ලා මෙවැනි ග්‍රාමීය වැව්වල දායකත්වය ඉතා ඉහළ මට්‌ටමක පැවැති බව හඳුනාගැනීමට පුළුවන. එවැනි ග්‍රාමීය වැව් ආශ්‍රිත ව ජනාවාස බිහි වූ බවට පැහැදිලි සාක්‌ෂි පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනවලින් ද අනාවරණය කරගත හැකි ය. නැට්‌ටුක්‌කන්ද ලිපියේ සඳහන් 'එරකපි' නම් ගම බිහි වීමට එරිකවාපි නම් වැවක්‌ මුල් වී තිබීම, මිහින්තලේ ලිපියක දැක්‌වෙන 'ලොණ වාපි' යන්න එකතු වී 'ලොණපි' යනුවෙන් සඳහන් ස්‌ථාන නාමය සකස්‌ වීම, හඳගල ලිපියේ 'අනුලපිවපි' යනුවෙන් සඳහන් වීම, මිහින්තලේ රාජගිරි කන්ද ලිපියක 'උපලවි' (උපලිවවි) යනුවෙන් ග්‍රාම නාමයන් සඳහන් වීම මෙයට නිදසුන් ලෙස දැක්‌විය හැකි ය. පුරාතනයේ සිට ම ග්‍රාමීය වැව් ජන ජීවිතයට වඩාත් සමීප සාධකයක්‌ වූ බව ක්‍රිස්‌තු පූර්ව සමයේ සිට ම ස්‌ථාන නාම සකස්‌ වීම කෙරෙහි එය බලපා තිබීමෙන් තහවුරු වේ.

දිවයිනේ වියළි කලාපය පුරා ව්‍යාප්ත ව තිබෙන පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන අනුව එම ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබඳ අදහසක්‌ ඇති කරගත හැකි වුව ද එම ජනාවාස පවතින්නට ඇත්තේ තුනී ජන විසිරීමක්‌ සහිත ව බව සිතිය හැකි වේ. මේ හේතුවෙන් ග්‍රාමීය වැව් උපයෝගී කරගෙන සිදු කරන ලද කෘෂිකර්මාන්තය ඔවුන්ට ප්‍රමාණවත් වන්නට ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හා උතුරු පළාතේ පමණක්‌ මෙවන් කුඩා ග්‍රාමීය වැව් 11,200ක්‌ තිබූ බව 1904 දී කරන ලද සමීක්‌ෂණයකින් හෙළි වී තිබේ. මීට අමතර ව එක්‌ භූමි ප්‍රදේශයක්‌ තුළ වැඩි ඝනත්වයකින් යුතු කුඩා ග්‍රාමීය වැව් පිහිටීම සම්බන්ධයෙන් සාක්‌ෂි වයඹ පළාතේ දැදුරු ඔය නිම්නයේ වාරියපොල ප්‍රදේශයේ හා රුහුණු ප්‍රදේශයේ තිඹොල්කැටිය ප්‍රදේශයෙන් හමු වේ.

මිහින්තලේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණ අධ්‍යයනංශයේ පුරාවිද්‍යාඥ

මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි