logo3.gif (702 bytes)

HOME


සාම්ප්‍රදායික වැව් ගම්මානවල ජෛව විවිධත්වය

වියළි කලාපයේ කුඩා වැව් ගම්මාන පද්ධතියේ තිරසාර පැවැත්ම හේතුවෙන් කලින් කලට සිදු වූ පරිසර ව්‍යසනයන් ගෙන් ඔවුන් ආරක්‍ෂා වී ඇත. කෙටිකාලීන නියගයන්ට ඔරොත්තු දීමේ හැකියාව එම සාම්ප්‍රදායික ජන සමාජය තුළ වර්ධනය වී තිබිණි. එපමණක්‌ නො ව සාමාන්‍ය වසරක සිදු වන වැහි පල රටාවට ද ඔවුන්ගේ ගොවිතැන් ක්‍රම අවදානම අවම වන සේ අනුගත කොට තිබිණි.

ඔවුන්ගේ ගොවිතැන් රටාව ආහාර සුරක්‌ෂිතතාවට ම කැප වූවකි. මූලික ව වැවේ ජලයෙන් වී ගොවිතැන ද අහස්‌ දියෙන් හේන් ගොවිතැන ද ගංගොඩ වටා කෙරෙන එළවළු හා පලතුරු වගාව ද වශයෙන් තුන්පත් ගොවිතැන් රටාවකට ඔවුහු හුරු වී සිටිති. සැප්තැම්බරයේ අතුරු මෝසමෙන් වැඩි වැසි ලැබුණ හොත් අගෝස්‌තුවේ ගිනි ලා තිබූ හේනේ ධාන්‍ය භෝග වපුරන්නේ දැඩි අධිෂ්ඨානශීලී ව ය. දෙසැම්බර් මාසයෙන් පසු එතරම් වැසි නො ලැබෙතැයි ඉවක්‌ ඔවුන්ට ඇති වේ. මේ අනුව වෙලෙහි වී ගොවිතැනට එතරම් ජලය නො ලැබෙන බැවින් අගල් පෙළ පමණක්‌ වගා කරන්නට ඔවුනට සිදු විය හැකි ය. වැසි වැටීමේ අඩුවැඩිකම් නිසා ඇති වන ගොවිතැනේ අවදානම ඔවුන් අවම කරගත්තේ කලට වගා කිරීමත්, කරන වගාව පිළිබඳ ගත් බුද්ධිමත් තීරණත් නිසා ය. කැකුලම, බෙත්ම, තාවුළු ගොවිතැන මේවාට හොඳ නිදසුන් ය. ගොවිතැනටත් තම අවට පරිසරයේ සහ ජීවිතයේ පැවැත්මටත් උර දෙන ස්‌වාභාවික සම්පත්වල භාවිතය ඔවුන් සිදු කළේ සැම විට ම සංරක්‍ෂණශීලී ප්‍රවේශයකිනි. එමගින් එහි තිරසාරත්වය ද නිරායාසයෙන් ම ගැබ් වී තිබිණි. ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳව ද ඔවුන්ගේ දැඩි අවධානයක්‌ තිබූ බැව් ප්‍රකට කරුණකි. භූගත ජලය ඔවුන්ගේ ජල සුරක්‍ෂිතතාව තහවුරු කළේ ය. නියං සමයට ගැමි ජනතාවටත්, වල් සතුන්ටත්, හරකුන්ටත් අවශ්‍ය ජලය වැවේ ඉතිරි විය. සත්ත්ව මෙන් ශාකවල ද පුළුල් විවිධත්වයක්‌ පැතිරී තිබිණි. බොහෝ දේශගුණික පරිසරවල වැඩෙන ශාක ප්‍රජාවන්, සත්ත්ව ප්‍රජාවන් මෙහි පැවතිණි. පරිසරයේ දූෂණය වීමක්‌ ග්‍රාමීය ජීවන රටාව තුළ තිබුණේ ම නැති තරම් ය. වැව් ගම්මාන පද්ධතියට අද සිදු ව ඇති පරිහානියට මුල් ව ඇත්තේ ද ඉහත සඳහන් කළ සුවිශේෂී ලක්‍ෂණ කිසිවක්‌ අද එහි නොමැති වීම ය.



හේන් ගොවිතැන

හේන් ගොවිතැන මිශ්‍ර ගොවිතැනකි. එක්‌ බෝගයකට යම් ව්‍යසනයක්‌ වුව හොත් අනෙක්‌ බෝගවලින් එම පාඩුව පිරිමැසේ. නිසරු වන හේන් දෙස අවධානයෙන් සිට ඔවුහු සුදුසු බෝගවලට මාරු වීමට පුරුදු වී සිටිති. ඒ හේන නිසරු වන විට එය අත්හැර දමා වෙනත් තැනක කැළෑ එළි කොට හේන් වැපිරීමෙනි.

වැව

වැව ගමේ හදවත බදු ය. වැව අබල දුබල වුව හොත් ඔවුන්ගේ ජීවිත අනතුරේ ය. එබැවින් වැව නිරන්තරයෙන් අඩු ලුහුඩු මකා පිරියම් කෙරිණි. වැව වටා ඇති පරිසර කොටස්‌ විනාශ නො කොට රැක බලාගැනිණි. මෙසේ හෙයින් වැවට පිරිසිදු ජලය ගලා එන අතර ජලයේ වාෂ්පීකරණය හා ජල කාන්දුව අඩු ය. වැවේ විවිධ මත්ස්‍ය ප්‍රජාවන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරය ඇති වේ. ඔවුන් ආහාරය සඳහා වැවෙන් ලබාගන්නේ මත්ස්‍යයන් පමණක්‌ නො වේ. විවිධ පැළෑටිවල විවිධ කොටස්‌ ආහාරයට ගැනිණි. මේ නිසා ගමේ වැවක කාර්යභාරය අති මහත් ය. වැව අතහැර දැමීම නියගයට අත වැනීමකි. අද මේ පුවත්පතේ මුල් පිටුවේ දක්‌වා ඇත්තේ වැව් ගම්මාන පරිසර පද්ධතියයි. එහි සංරචක කිහිපයක්‌ ද ඒවායේ කාර්යයභාරයන් ද පහතින් දක්‌වමු.

ගස්‌ ගොම්මන

අධික වැසි වැටෙන මහ කන්නයේ අවසානයේ විටෙක වැව ජලයෙන් පිරී වැවේ වාන් උඩින් ඉතිරී යන විට තාවකාලික ජල ගිල්මට හසු වන වැව් පිටියේ උඩ වන තීරුවක්‌ වෙයි. මෙහි පා වී යන බීජ රැඳී තිබී කලක්‌ යන විට ගස්‌ තීරුවක්‌ ඇති වේ. මේ ගස්‌ ගොම්මනේ කුඹුක්‌, නබඩ, මයිල, දඹ වැනි විශාල ගස්‌ ද කයිල, එළිපත්තා, කටු කෑලිය, කල බොකල වැනි වැල් ගොමු ද දක්‌නට හැකි ය. මේ කිසිවක්‌ ගැමියන් රෝපණය කළ ඒවා නො වන අතර මේ ශාක විශේෂවල බීජ සියල්ල ජලයේ පා වන ඒවා වේ. ගස්‌ ගොම්මන සුළං බාධකයක්‌ ලෙස ක්‍රියා කරමින් ද සෙවනෙහි ජල උෂ්ණත්වය අඩු කරමින් ද වැවේ ජලස්‌කන්ධයේ වාෂ්පීකරණය අවම කරයි. එසේ ම මේ ගස්‌වල බෙන තුළ අදුරු සිසිල් පරිසරය සමහර මත්ස්‍යයන්ගේ ලැගුම්පළවල් ද අභිජනන ස්‌ථාන ද වේ. මිනිසා සහ වන සතුන් අතර සීමාවන් ලෙස දැක්‌වෙන්නේ ද මේ ගස්‌ ගොම්මන ලෙස සැලකේ.



පෙරහණ

ගස්‌ ගොම්මනට යටින් ඇති තණ පිටිය වැදගත් මෙහෙවරක්‌ ඉටු කරයි. ඒ ඉහළ බිම්වල වගා කෙරෙන හේන්වලින් ගලා එන රොන් මඩ මේ තණ තීරුවේ දී පෙරී ජලය තරමකට පිරිසිදු ව වැව් පිටියට ගලා එයි. මේ නිසා වැවක රොන් මඩ තැන්පත් වීම අවම කිරීමට මේ පෙරහණ ඉතා වැදගත් වේ.

ඉස්‌වැටිය

තැනෙක වැව් පිටියට ඉහළින් ඇති භූමිභාගය තරමක බෑවුම් සහිත වීමෙන් මේ ප්‍රදේශයේ ඇති වන සෝදාපාලුව නිසා වැවට රොන් මඩ එකතු වීමක්‌ සිදු විය හැකි ය. එවන් තැන්වල පස්‌ වැටියක්‌ ඉදි කොට රොන් මඩ වැවට ගලා ඒම නවතා ලයි. මේ වැටිය ඉස්‌ වැටිය හෝ පෝටා වැටිය ලෙස පැරැන්නන් හදුන්වා ඇත.

ගොඩ වළ

ගොඩ වළ යනු වැවට ඉහළින් වැවට ජලය ගලා එන ප්‍රධාන ජල මග අවුරා සිටින පරිද්දෙන් හාරා ඉදි කරන කුඩා භූමි අවපාතයකි. රොන් මඩ සහිත වැසි ජලය වැවට ගලා ඒමට පෙර මේ ගොඩ වළ මගින් රොන් මඩ තැන්පත් කරගනු ලබයි. එසේ ම වල් සතුන්ට බීමට ජලය ද මේ ගොඩ වළ මගින් සැපයෙන බැවින් වැව් පිටියට පැමිණීමෙන් ඔවුන්ට ඇති වන අනතුරු ද වැළකී යයි. ඉතා කුඩා වැව්වලට ඉස්‌ වැටිය මගින් ද තරමක වැව්වලට ගොඩ වළ මගින් ද රොන් මඩ ගලා ඒම නතර කීරීමට පැරැණි ජන සමාජය උත්සුක වීම එම ජන සමාජයේ පැවැති තිරසාරත්වය මැනැවින් පිළිබිඹු කරයි.

කුලු වැව

විශාල වැව්වලට ඉහළින් වනය තුළ ඉදි කරන කුඩා පරිමාණයේ වැව් විශේෂයකි. මේ යටතේ කිසිදු වාරි ජල සම්පාදනයක්‌ සිදු ව නොමැත. මෙය ගොඩ වළට වඩා වෙනස්‌ වන්නේ ප්‍රමාණයෙන් පමණක්‌ නො වේ. සාමාන්‍යයෙන් වැවක මෙන් බැම්මක්‌ ද වැඩි ජලය පහතට ගලා යැමට එහි තැනක පහත් ස්‌ථානයක්‌ ද සාදා ඇත.

රැළපනාව

විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල බැමි දිය රැළිවලින් සෝදා යැම නතර කිරීමට විශාල ප්‍රමාණයේ ගල්වලින් වැව් බැම්මේ ඇතුළු පැත්තේ ගල් වැටියක්‌ සාදා ඇත. මේ වැනි දිය රැළි කඩනයක්‌ කුඩා වැව්වලට අවශ්‍ය නො වේ.

කට්‌ටකාඩුව

වැව් බැම්මටත් වෙල් යායටත් මැදි ව ඇති බිම් තීරුව කට්‌ටකාඩුව ලෙස හැඳින්වේ. මෙහි මධ්‍යයේ වගුරු බිමක්‌ ද, ඒ දෙපස තෙත් බිමක්‌ ද, කෙළවර වියළි ගොඩ බිමක්‌ ද පවතින නිසා ශාක ප්‍රජාවගේ පුළුල් විවිධත්වයක්‌ පවතී. වැවෙන් කාන්දු වන ජලය කට්‌ටකාඩුවේ යතුරු වළ ලෙස හැඳින්වෙන වගුරු බිමෙහි එක්‌ රැස්‌ වන බැවින් ලවණ සහ යකඩ අඩංගු ජලය කුඹුරු යායට ඇතුළු වීම මෙයින් වළකී. එපමණක්‌ නො වේ. වැවේ ජලස්‌කන්ධයට යාබද ව පහළින් මෙසේ ජල වගුරක්‌ පිහිටීමෙන් බැම්මේ ජල කාන්දුව අවම මට්‌ටමක පවතී. එනිසා ම බැම්මේ ස්‌ථාවරත්වය ද වැඩි වී බැම්ම කැඩී යැමේ අවදානම ද අඩු වේ.

කට්‌ටකාඩුව බිම් තීරුව පොදු වත්තකි. එහි ඵල නෙළාගැනීමට කිසිවකුට තහනම් නැත. ගැමියෝ කට්‌ටකාඩුවෙන් බොහෝ ප්‍රයෝජන ලබාගනිති. දැව, දර, ඖෂධ, වැට ඉනි, ගොවි සහ ගෘහ ආම්පන්න සඳහා ශාක කොටස්‌, ආහාර පලතුරු එළවළු ආදි බොහෝ දේ මේ කුඩා බිම් පෙදෙසේ ඇත. විශේෂයෙන් ම ගෘහ කර්මාන්ත සඳහා බොහෝ අමුද්‍රව්‍ය ලබාගන්නේ කට්‌ටකාඩුවෙනි. ඉන් සමහරක්‌ පහත වගුවෙන් දැක්‌වේ.

ගංගොඩ

ගොඩ යනු එකට තිබීම ය. ගංගොඩ ඉතා පැරැණිතම අවධියේ දී පැවැතියේ එකට ය. ගෙවල් එකිනෙකට මුහුණ ලා මණ්‌ඩියක ආකාරයෙන් සාදාගත්තේ ද ගෙවතු සීමා වැට කඩොලු කිසිවක්‌ නොමැති වූයේ ද ඔවුන් සියල්ල එකට එක්‌ වී ඔවුන්ගේ ආරක්‍ෂාව සලසාගත යුතු ය යන විශ්වාසයෙන් විය යුතු ය. මෙහි සම ව බෙදී යැමේ සංකල්පයට වඩා වර්ධිත අවස්‌ථාවක්‌ වන බෙදීමත් නොමැති ව ම කරන ලද ඉඩම් පරිහරණ රටාවක්‌ යොදාගෙන ඇති බැව් පෙනේ. ගංගොඩ තුළ පදිංචිය සදහා ගෙවල් ද, ධාන්‍ය ගබඩා කළ හැකි අටුව, බිස්‌ස වැනි දෑ ද ධාන්‍ය සකස්‌ කරගත හැකි පොදු මිදුල් හෝ මඩු ද විය. අඔ, කොස්‌, පොල්, මුරුංගා, මී වැනි ශාක කාටත් ප්‍රයෝජන ගත හැකි අයුරින් තිබිණි. භූගත ජලය ආසන්නයේ පැවතීමත්, වැවට නුදුරින් පිහිටීමත්, රූස්‌ස ගස්‌වලින් ආවරණය වීමත් නිසා ගංගොඩ වාසයට සුවදායි පරිසරයක්‌ විය.

තිස්‌බඹේ

ගංගොඩ වටා පොදු ඉඩම් තීරුවක්‌ පවත්වන ලද්දේ කරුණු කිහිපයක්‌ සදහා ය. මී ගවයන් ලැගුම්ගත්තේ මෙහි ය. වල් සතුන් ගෙන් ගංගොඩ ආරක්‍ෂා කරගැනීමට තිබූ විවෘත බිම් තීරය ද මෙයයි. ගංගොඩ ඇතුළත අපවිත්‍ර වීම වළකාලනු වස්‌ විශාල ගස්‌ සහිත එහෙත් එළිමහන් භූමිය ඔවුන්ගේ සිරුර කිස කරගැනීම සදහා යොදාගැනිණි. පොල්, පුවක්‌, මීණී අඹ ආදි රූස්‌ස ගස්‌ සේ ම ඇත්තෝර, නාගදරණ, අත්තන, පිල ආදි කුඩා ශාක ද මෙහි දක්‌නට ලැබේ. මී ගවයන්ට මදුරුවන් වඩා ඇලුම් කරන බැවින් මැලේරියා මදුරුවා ගෙන් ආරක්‍ෂා වීමට ද තිස්‌බඹේ යොදාගත්තා විය හැකි ය. මෙසේ කුඩා පොදු තීරුවක්‌ විවිධ පරිහරණ සදහා යොදාගැනීම තුළින් ඔවුන්ගේ පරිහරණ සැලසුම්වල පරිණතභාවය මැනැවින් පිළිබිඹු කරයි.

කුඹුරු යාය

වැවෙන් ජලය ලබාගෙන වී ගොවිතැන් කළ හැකි වූ ප්‍රදේශය කුඹුරු යාය හෙවත් වෙල් යාය විය. වී ගොවිතැන සදහා සුදුසු දුර්වල ජල වහනයෙන් හෙබි මේ පහත් බිම් ප්‍රදේශය වාරි ජලය නිසි අයුරින් සම්පාදනය කළ හැකි සේ කුඩා තීරු (පංගු)වලට වෙන් කොටගෙන තිබූ අතර ඒවායේ ජලය රදවාගත හැකි වන සේ නියර දමා ලියදි සකස්‌ කරගන්නා ලදි. ප්‍රධාන වශයෙන් කුඹුරු යාය එහි ජලය ලබාගැනීමේ හැකියාව හා පසේ සරු බව අනුව සැම ගොවියකුට ම සාධාරණයක්‌ ඉටු කරගැනීම සදහා කොටස්‌ තුනකට බෙදනු ලැබී ය. පළමුවැන්න එසේ ම යායේ හොද ම කොටස ලෙස හැදින්වූ මුල් පොත පිහිටියේ වැවට ආසන්නව ම ය. දෙවැන්න වූ පෙර පොත ඉක්‌බිති ව ද, පහතින් ම අස්‌වැද්දුම හෙවත් කොටු වළ පිහිටියේ ය. මේ කොටස්‌ දෙපසින්a පටු ලියදි තීරුවක්‌ කුරුලු පාළුව ලෙස නම් කොට පොදුවේ වගා කළ බවක්‌ දක්‌නට ඇත. ඉඩම් පරිහරණයේ දී භෝගයන්හි ආරක්‍ෂාව පිළිබඳව දක්‌වා ඇති අවධානය අපූරු ය. වැවට ලැබෙන ජල ප්‍රමාණයට අනුව එක්‌ කන්නයක දී ගොවිතැන් කරන ප්‍රමාණය තීරණය කරන ලද අතර, ගමේ කාටත් සමසේ පංගු තිබූ බැවින් කිසිවකුට අසාධාරණයක්‌ නො වන අන්දමින් එම තීරණ ගත හැකි විය. මෙසේ සම ව බෙදී යැම වැව් ගම්මාන පද්ධතියේ ඉඩම් පරිහරණ රටාවේ සැම අවස්‌ථාවක ම දැකිය හැකි මූලික සංකල්පයක්‌ වුව ද දැන් එම තත්ත්වයන් මුළුමනින් ම වෙනස්‌ ව ගොස්‌ ඇත. එදා ගමේ පැවැති සමගිය, සහයෝගය හා බෙදා හදාගැනීම වැනි මානව ගුණාංගවල මූලික පසුබිම සකස්‌ වන්නට ඇත්තේ මේ ඉඩම් පරිහරණ සංකල්පය මගින් යෑයි කීම වඩා නිවැරැදි ය.

කෘෂිකර්ම සහ ජල කළමනාකරණ ජාතික උපදේශක, රජරට විශ්වවිද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය

ආචාර්ය පී. බී. ධර්මසේන