logo3.gif (702 bytes)

HOME


ශ්‍රී ලංකාවේ වන වී ප්‍රභේද හඳුනාගනිමු

ශීඝ්‍ර ජනගහන වර්ධනයත් ඊට සාපේක්‌ෂ වූ ගෝලීය ආහාර ඉල්ලුම වර්ධනය වීමත් හේතු කොටගෙන තිරසාර ඵලදායී භෝග නිර්මාණයක අවශ්‍යතාව වර්තමානය වන විට පැනනැඟී ඇති ප්‍රධාන අභියෝගයන් ගෙන් එකකි. මෙහි ලා ඉහළ ඵලදායීතාවකින් යුත් භෝග නිෂ්පාදනයත්, අභිජනන වැඩසටහන් නිර්මාණයත් ප්‍රමුඛස්‌ථානයක්‌ උසුලනු ලැබේ. වැඩි වන ඉල්ලුමට සමගාමී ව දේශගුණික හැඩගැස්‌වීම්වලට අනුගත වන පරිදි සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම හුදෙක්‌ අභියෝගාත්මක මෙන් ම අවදානම් සහිත ක්‍රියාදාමයකි. මේ සඳහා එක්‌ ප්‍රධාන විකල්ප ක්‍රමවේදයක්‌ වශයෙන් ජානමය සම්පත් වැඩිදියුණු කිරීම තුළින් අස්‌වැන්න වැඩිදියුණු කිරීම කෙරෙහි තත් විෂයෙහි විද්‍යාඥයෝ පෙලඹ සිටිති. මන්ද යත් වැඩිදියුණු කරන ලද නව වී ප්‍රභේද දීර්ඝකාලීන ව වගා කිරීම තුළින් එම ප්‍රභේදයට අයත් ශාක අතර පමණක්‌ මුහුම් ක්‍රියාවලිය සිදු වීමෙන් නව ජාන සුසංයෝජනයක්‌ සිදු නො වේ. මේ හේතුවෙන් වගාවට පැමිණෙන රෝග, පළිබෝධ හා අහිතකර දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව ක්‍රමයෙන් හීන වේ. මේ හේතුවෙන් සමහර අවස්‌ථාවල දී විවිධ වූ රෝග හා පළිබෝධ, පාරිසරික බලපෑම් ආදිය මඟින් අස්‌වැන්න කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කිරීම මඟින් මුළු අස්‌වැන්න ම විනාශ කිරීමේ හැකියාවක්‌ පවතී. මෑත කාලීන ව විවිධ ප්‍රදේශවලින් වාර්තා වන දුඹුරු පැළ කීඩෑ උවදුර මඟින් කුඹුරු අක්‌කර දහස්‌ ගණනින් විනාශ වීම කදිම නිදසුනකි. එබැවින් ඉහළ අස්‌වැන්නකට අමතර ව, පුළුල් පාරිසරික විපර්යාසවලට අනුවර්තිත, රෝග හා පළිබෝධ ප්‍රතිරෝධී, පෝෂණ ගුණයෙන් උසස්‌ යන අනෙකුත් සාධක සලකමින් අඛණ්‌ඩ ව අභිජනන කාර්යාවලිය ශක්‌තිමත් කිරීම කාලීන අවශ්‍යතාවකි.



ස්‌වාභාවික පරිසරයේ දී Oryza විශේෂය අනෙකුත් වල් ප්‍රභේද, පැළෑටිවලින් වර්ධක අවධියේ දී පැහැදිලි ව හඳුනාගැනීම අපහසු කාර්යයකි. Oryza විශේෂයන් හඳුනාගැනීමේ දී එම විශේෂයට ආවේණික රූපීය ලක්‌ෂණයන් වන ජිහ්වලය (Ligule), ඡත්‍රය (Auricle) පරීක්‌ෂා කිරීමෙන් එම විශේෂය Oryza ගණයට අයත් විශේෂයක්‌ බවට තහවුරු කරගැනීම සිදු කරනු ලැබේ.

බාහිර රූප විද්‍යාත්මක ලක්‌ෂණ පිළිබඳ ව ඉතා තීව්‍ර අධ්‍යයනයකින් ඒවා විවිධ විශේෂවලට වෙන් කරගැනීම සිදු කරයි. මීට අමතර ව නවෝත්පාදන ක්‍රමවේදයන් ලෙස වර්තමානයේ දී ජාන පර්යේෂණ මඟින් ද විශේෂ හඳුනාගැනීම වඩාත් ප්‍රත්‍යක්‌ෂ ක්‍රමවේදයක්‌ බවට පත් ව ඇත. එමෙන් ම එම ශාකවල ජීවන චක්‍රය පිළිබඳ ඇති දැනුම ඉතා අල්ප වන අතර නිදර්ශක එකතුවේ දී උචිත කාල හඳුනාගැනීම ඉතා අසීරු ය. මන්ද යත් මේ වන වී දර්ශ ඒවා පවතින පරිසරයේ පරිසර සාධකවලට අනුව අනුවර්තනය වෙමින් ජීවන චක්‍රයේ මල් හටගැනීම, බීජ පරිණතිය ආදි කායික විද්‍යාත්මක ක්‍රියාවලි එක ම විශේෂයේ වුව ද ඒවා පවතින විවිධ ස්‌වාභාවික වාසස්‌ථානවල දී විවිධ කාලවල දී ජීවන චක්‍රයේ විවිධ අවස්‌ථා නිරූපණය කරයි.

ලෝකයේ දැනට සොයාගෙන ඇති 22ක්‌ පමණ වූ 'වන වී' දර්ශවලින් 5ක්‌ ශ්‍රී ලංකාව තුළ ස්‌වාභාවික පරිසරයේ දැකිය හැකි වන්නේ ජානමය සම්පත් අතින් පොහොසත් ද්විතීයික ජාන විවිධත්ව මධ්‍යස්‌ථානය යන විරුදාවලිය ද ලබමිනි. මේවා අතරින් AA ගෙනෝමයට අයත් Oryza rufipogon සහ Oryza nivara විශේෂ ද, CC ගෙනෝමයට අයත් Oryza eichingeri සහ Oryza rhizomatis විශේෂ ද, GG ගෙනෝමයට අයත් Oryza granulata විශේෂය ද වේ. ඉහත වන වී අතරින් Oryza rhizomatis ලංකාවට ඒකදේශික විශේෂයක්‌ වේ.

Oryza nivara

ශ්‍රී ලංකාවේ බහුල ව ව්‍යාප්ත වී ඇති වාර්ෂික ශාකයක්‌ වන අතර පහතරට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ වැව් ඉවුරුවල, දොළ පාරවල් දෙපස නොගැඹුරු ජලය රැඳී පවතින ස්‌ථාවල බහුල ව දැකිය හැකි ය. මල් හටගැනීම දෙසැම්බර් මාසයත් සමඟ ආරම්භ වී මැයි මාසය අවසානය තෙක්‌ වී කරල් වශයෙන් දැකිය හැකි ය. මේ වී කරල් සෙන්ටිමීටර 6 සිට 11 දිගින් යුත් එකට එකතු වූ ස්‌වභාවයක්‌ ගන්නා අතර වී බීජයේ නන්ඩු රන්වන් රතු, කහ හෝ දුඹුරු වර්ණයන් ගෙන් යුක්‌ත වේ. බීජවල පැහැය ළා දුඹුරු සිට දුඹුරු දක්‌වා පරාසයේ විහිදේ. බූව සහිත පටු පත්‍ර දැකිය හැකි අතර පත්‍ර කොපුවේ කොළ සහ දම් පැහැති රේඛා දැකිය හැකි ය. පරාග කහ පැහැයක්‌ ගනී. මෙහි ප්‍රධාන ලිංගික ප්‍රජනන ක්‍රමවේදය වශයෙන් ස්‌වපරාගණය සිදු වන නමුත් ප්‍රභාසංවේදීතාව නො පෙන්වීම හෙවත් දවසේ ආලෝක සහ අඳුරු කාලවල සාපේක්‌ෂ දිග අනුව ශාකයේ වර්ධනය හා විකසනය යන ක්‍රියාවලින් වෙනස්‌ වීමක්‌ සිදු නො වේ. ශාකය උසින් සෙන්ටිමීටර 60 සිට 120 අතර පරාසයක විහිදේ. කලංකය දම් පැහැති වන අතර කලාතුරකින් සුදු පැහැති කලංක ද දැකිය හැකි ය. අප වගා කරන වී ප්‍රභේදවලට සමාන බවක්‌ පෙන්වයි.

Oryza rufipogon

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වෙරළබඩ ප්‍රදේශයන්හි පුළුල් ව්‍යාප්තියක්‌ සහිත බහුවාර්ෂික ශාකයකි. ගැඹුරු වැව්වල, වැව් තාවුල්, වගුරු සහිත භූමිවල, ගංගා ඇළ වේලිවල, ගැඹුරු හෝ නොගැඹුරු පොකුණුවල බහුල ව දැකිය හැකි ය.

ප්‍රභාසංවේදීතාවක්‌ සහිත මේ ශාකයේ මල් හටගැනීම ඔක්‌තෝබර් මාසයේ මුල් කාලයෙන් ආරම්භ වී අප්‍රේල් - මැයි මාසය දක්‌වා විහිදේ. මෙහි ප්‍රධාන වී කරලින් ශාඛා ලෙස විහිදුණු අනු වී කරල් දැකිය හැකි අතර පරපරාගණය සඳහා අනුවර්තනය වී ඇත. ශාකය වැල් ස්‌වරූපයක්‌ ගනී. ජල පෘෂ්ඨය මත වියනක්‌ සාදමින් පැතිරේ. වී ඇට රන්වන් පැහැති වන අතර දුඹුරු හෝ රන්වන් පැහැති ඇලි දැකිය හැකි ය. දිගු බූව රහිත පත්‍ර කොපුව කොළ දම් පැහැති වේ. බීජය දුඹුරු හෝ ළා දුඹුරු පැහැයෙන් යුක්‌ත වන අතර Oryza nivara බීජවලට සාපේක්‌ෂ ව කුඩා බීජ දරයි. මේ ශාක උසින් මීටර් 1ත් 2ත් පමණ වන අතර, ව්‍යාප්ත වී ඇති ජල පෘෂ්ඨයේ ගැඹුර වැඩි වත් ම ශාකයේ උස මීටර් 5ක්‌ පමණ දක්‌වා වැඩි වේ. තද දම් පැහැති කලංක දැකිය හැකි ය. වී බීජයේ දිගු නන්ඩු දැකිය හැකි ය.



Oryza granulata

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයේ සුවිශේෂී වූ ස්‌ථාන වන සමනළ වැව, නිල්ගල, වවුල්පනේ, සීගිරිය සහ ඌරුබොක්‌ක යන ප්‍රදේශවල සෙවණ සහිත හා බෑවුම් සහිත ස්‌ථානවල ද්විතීයික වනාන්තරවල භූමියෙහි දැකිය හැකි ය. බූව රහිත පත්‍ර තද කොළ පැහැයෙන් යුක්‌ත වන අතර සාපේක්‌ෂ ව පළල් පත්‍රයන් ගෙන් යුක්‌ත ය. මැද නාරටිය සාපේක්‌ෂ ව අපැහැදිලි ය. අවුරුද්ද මුළුල්ලේ ම මල් සහ වී කරල් දැකිය හැකි ය. ශාක උසින් සෙන්ටිමීටර 30 සිට 70 පමණ වේ. පරාග සහ කලංක දීප්තිමත් සුදු පැහැයෙන් යුක්‌ත වේ. පිදුරු පැහැති නන්ඩු රහිත වී ඇට දැකිය හැකි අතර බීජ දුඹුරු පැහැති ය. නො මේරූ වී ඇට තද කොළ පැහැති ය.

Oryza eichingeri

ශ්‍රී ලංකාවේ මැදරට හා පහතරට ප්‍රදේශය්නහි සහ වියළි නිවර්තන වනාන්තරවල ව්‍යාප්ත ව පවතින අතර තෙත් සදාහරිත වනාන්තරවල දැකිය නොහැකි ය. සෙවණ සහිත ස්‌ථානවල ද, වනාන්තර මායිම්වල ද, ඇළ දොළ ඉවුරුවල ජලය හොඳින් බැස යන ස්‌ථානවල ද දැකිය හැකි ය. ශාක උසින් සෙන්ටිමීටර 60 සිට 100 පරාසයක විහිදේ. පත්‍ර කොපුව බූව රහිත වන අතර කොළ පැහැති ය. වර්ෂය පුරාවට ම මල් හටගැනීම සිදු වන අතර කලංකය සුදු කහ පැහැයෙන් යුක්‌ත වේ. පරාග සුදු පැහැති ය. මෙහි වී ඇට පිදුරු පැහැයක්‌ ගන්නා අතර බීජ දුඹුරු පැහැයක්‌ ගනී.

පහතරට වියළි කලාපයේ මඩ කඩිති හෝ නිරන්තර ව වැසි කාලයේ දී ගංවතුරට ගොදුරු වන සහ වියළි කාලයේ දී වියළි පරිසරයක්‌ සහිත හා මඳ වශයෙන් සෙවණ සහිත ප්‍රාථමික හෝ ද්විතීයික වනාන්තරවල, ශුෂ්ක ප්‍රදේශ හා තෘණ භූමිවල දැකිය හැකි ය. පත්‍ර කොපුවේ කොළ, දම් පැහැති රේඛා දක්‌නට ලැබෙන අතර බූව රහිත ය. වී කරල් විහිදුණු ස්‌වභාවයක්‌ ගන්නා අතර කරල් පාදස්‌ථයේ රෝම බහුල ය. එහෙත් වී කරලේ ද්විතියීක ශාඛාවල රෝම ඉතා අඩු හෝ දක්‌නට ඇත්තේ ම නැත. ළපටි කරල් තද දම් පැහැයෙන් යුක්‌ත ය. පරිණතියත් සමඟ වර්ණය ක්‍රමයෙන් අඩු වී යයි. වී බීජයේ දම් පැහැති වර්ණක දැකිය හැකි ය. ශාක උසින් මීටර් 1 සිට 3 මීටර් අතර පරාසයක විහිදේ. දෙසැම්බර් මාසය ආරම්භයත් සමඟ මල් හටගැනීම සිදු වන අතර මැයි මාසය වන විට පරිණතිය අවසන් වී, වී කරල් ද දක්‌නට නො ලැබේ. බීජ දුඹුරු පැහැයක්‌ ගනී. රයිසෝමයක්‌ දක්‌නට ලැබේ. පරාග සුදු පැහැයක්‌ ගන්නා අතර කලංක දම් පැහැති ය.

ඉතා ඉහළ ජානමය වටිනාකමකින් අනූන වූ මේ වන වී ප්‍රභේද වර්තමානය වන විට ශ්‍රී ලංකාවෙන් ක්‍රමයෙන් වඳ වී යන ශාක කාණ්‌ඩයට අන්තර්ගත කොට ඇත. මේ තත්ත්වය මැඬපැවැත්වීම සඳහා මෙයට පූර්වෝපායක්‌ ලෙස ස්‌ථානීය සංරක්‌ෂණය හා පරිබාහිර සංරක්‌ෂණ ක්‍රියාවලින්වලට බඳුන් කර ඇත.

ශ්‍රී ලංකාවේ බතලේගොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනය සහ ගන්නෝරුව පෑළැටි ජාන සම්පත් මධ්‍යස්‌ථානයන් පරිබාහිර සංරක්‌ෂණය සිදු කරනු ලබන ආයතනයන් සඳහා නිදසුන් ලෙස දැක්‌විය හැකි ය. ස්‌ථානීය සංරක්‌ෂණ්‍ය යටතේ O. nivara විශේෂය රුහුණ ජාතික වනෝද්‍යානයේ, විල්පත්තු හා වස්‌ගමුව ජාතික වනෝද්‍යානවල ද, ලාහුගල හා සීගිරි වනයේ ද, O. rufipogon විශේෂය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වටා දිවෙන දියවන්නා ඔයෙහි ඉවුරු ආශ්‍රිත ව ද, O. granulata විශේෂය ගල්ඔය ජාතික වනෝද්‍යානයේ හා සීගිරි වනාන්තරයේ ද, O. eichingeri රිටිගල හා ගල්ඔය ජාතික වනෝද්‍යාන යන සංරක්‌ෂsත වනාන්තරවල ද, O. rhizomatis විශේෂය යාල, විල්පත්තු හා ලාහුගල ජාතික වනෝද්‍යානවල ද සංරක්‌ෂණය කොට ඇත.

දුඹුරු පැළ කීඩෑවා, කොළ පත්‍ර කීඩෑවා, අක්‌වක්‌ පත්‍ර කීඩෑවා, පිට සුදු පැළ කීඩෑවා, තෘණාකාර කුරු වීම, කොළ පාළුව, කඳ කුණු වීම, බැක්‌ටීරියා අංගමාරය යන පළිබෝධ හා රෝගවලට ප්‍රතිරෝධී ප්‍රභේද නිපදවීමේ දී සහ ගංවතුරට, නියඟයට වැනි කාලගුණික තත්ත්වවලට, පසෙහි ලවණතාවට, ආම්ලිකතාවට ඔරොත්තු දෙන ප්‍රභේද වැඩිදියුණු කිරීමේ දී මේ ශාකවල ජාන උපයෝගී කරගෙන ඇත. මෙහි ලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර භෝගය වන වී භෝගයේ ගුණාත්මක තිරසාර සංවර්ධනයට අවැසි ඉතා වැදගත් වූ ස්‌වාභාවික ජාන සම්පතක්‌ වන 'වන වී' විශේෂ වඳ වී යැමට නො දී සංරක්‌ෂණය කිරීම විද්‍යාර්ථීන් වන අප උර මත වූ ප්‍රධාන වගකීමක්‌ වන්නේ ය.

රුහුණ විශ්වවිද්‍යාලයයේ
කෘෂිකර්ම පීඨයේ, කෘෂි ජීවවිද්‍යා අධ්‍යයනංශයේ
මහාචාර්ය දිස්‌නා රත්නසේකර

රුහුණ විශ්වවිද්‍යාලයයේ
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ
පශ්චාත් උපාධි අපේක්‌ෂක
අසංක තෙන්නකෝන්

රුහුණ විශ්වවිද්‍යාලයයේ
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ
පශ්චාත් උපාධි අපේක්‌ෂක
සාලින්ද සඳමාල්