logo3.gif (702 bytes)

HOME


කෘෂිකර්මය නඟාලීමට තිරසර ප්‍රවේශයන්

අටවැනි ලිපිය

3. 0 පලතුරු වගාව :

දිවයින පුරා ම පාහේ ගෙවතු ආශ්‍රිත මෙන් ම වාණිජ මට්‌ටමේ වගාවක්‌ ලෙස පලතුරු වැවීම බොහෝ අතීතයේ සිට ම පවතින්නකි. ප්‍රධාන භෝග අතර අඹ, අන්නාසි, පේර, ජම්බු, පැපොල්, කෙසෙල්, රඹුටන්, අනෝදා, පැෂන්, දොඩම්, නාරන් මෙන් ම සුළු වශයෙන් ඇපල් හා පෙයාර්ස්‌, මිදි වැනි බෝග ද ලාභදායී කෘෂි නිෂ්පාදන ලෙස පවතිනුයේ දේශගුණික අවශ්‍යතා අනුව වසරේ විවිධ කාලයන්හි ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත ව ඇත. දේශීය පරිභෝජනයට මෙන් ම විදේශ වෙළෙඳපොළට ද සැපයෙන හෙයින් යහපත් ආදායම් මාර්ගයක්‌ බවට මේ පලතුරු වගාව සඳහා පෙලඹීමක්‌ දක්‌නට ඇත. පලතුරු වගාවේ පවතින තත්ත්වය සලකා බලන විට කෙසෙල් වගාව ඉතා බහුල ම වගාව ලෙස හෙක්‌ටයාර 49,000ක පමණ ලංකාව පුරා ම ව්‍යාප්ත ව පවතියි. මොණරාගල හා රත්නපුර දිස්‌ත්‍රික්‌කයන්හි වැඩි වශයෙන් ම එනම් හෙක්‌ටයාර 7,000 බැගින් වූ ව්‍යාප්තියක්‌ ඇත. අවම තත්ත්වයන් ඇත්තේ එනම් හෙක්‌ටයාර 200කට අඩුවෙන් වාර්තා වන්නේ මන්නාරම හා කිලිනොච්චිය දිස්‌ත්‍රිsක්‌වලිනි. අනතුරු ව පවතින වැඩි ම පලතුරු වගාව ලෙස අඹ වාර්තා වන්නේ හෙක්‌ටයාර 28,275කි. වැඩි ම වගා ව්‍යාප්තිය වන හෙක්‌ටයාර 3,225 අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වෙයි. අවමය හෙක්‌ටයාර 77 ක්‌ මන්නාරම වන අතර මහනුවර, කුරුණෑගල, මොණරාගල ප්‍රදේශවල හෙක්‌ටයාර 2,000කට වැඩි වගා ව්‍යාප්තියක්‌ දක්‌නට ඇත.

අනෙකුත් පලතුරු වගාවන් අතර පැපොල්, හෙක්‌ටයාර 6,975, දොඩම් හෙක්‌ටයාර 6,890, රඹුටන් හෙක්‌ටයාර 5,899, අන්නාසි හෙක්‌ටයාර 4,783, අලිපේර හෙක්‌ටයාර 2,923 වශයෙන් විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇත. මිදි, ස්‌ට්‍රොaබෙරි, පෙයාර්ස්‌, ඩ්‍රැගන් ෆෘට්‌ වාර්තා වන්නේ හෙක්‌ටයාර 50කට අඩු සුළුතර වගාවන් වශයෙනි (සංඛ්‍යා සටහන - 04). මේ භෝග වැඩි වශයෙන් ව්‍යාප්ත ව ඇත්තේ ඒවායේ දේශගුණ අවශ්‍යතා හා උන්නතාංශ තත්ත්වයන් අනුව බව පෙනී යයි.

කෘෂිකාර්මික රටක්‌ වශයෙන් ගෙවතු ආශ්‍රිතව ද පලතුරු වගා කෙරෙන අතර එක ම බෝගය වගා කෙරෙන තනි වගාවන් (මොනෝක්‍රොප්) ලෙස ද පලතුරු වගාව ව්‍යාප්ත ව පවතියි. වාණිජ හා ගෘහස්‌ථ වගාවන් ලෙස දක්‌නට හැකි ය. මෑතක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කිසියම් එක්‌ භෝගයක්‌ විශේෂීකරණය කරමින් (Mono Crop cultivation) විවිධ පලතුරු වගා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම නිසා කිසියම් සංවර්ධනයක්‌ ඇති විණි. කෙසේ වෙතත් මේ තත්ත්වය මත වුව ද වගා කෙරෙන භෝගයන්හි නිෂ්පාදනය වැඩි වශයෙන් ඝෘජු ව ම ආහාර සඳහා ගැනේ. යම් ප්‍රමාණයක්‌ දේශීය ජෑම්, බීම වැනි ආහාර කර්මාන්තවලට යොමු වන අතර පලතුරු ඒ අයුරින් ම අපනයනය සඳහා ද යොදාගැනෙයි.

පලතුරු වගාවේ ප්‍රමාණය කෙතරම් ස්‌වයංපෝෂිත තත්ත්වයක පවතිනවා ද යන්න ඒ ඒ පලතුරු වර්ග මත රඳා පවතින අතර විදේශීය රටවලින් ද වාර්ෂිකව ම පාහේ ආනයනය කරන බව ද පැහැදිලි ව දක්‌නට හැකි ය.



දේශීය පරිභෝජනය පිළිබඳ ව සැලකීමේ දී ඒක පුද්ගල පරිභෝජනය දිනකට ග්‍රෑම් 25කට (25ට) පමණ සීමා වී ඇත. එය ඉතා පහළ මට්‌ටමක්‌ වන බවත් එයට හේතු වී ඇත්තේ අධික මිල බවත් කිව හැකි ය. ඒ අනුව තවත් දෙගුණයකින් පමණ වගා කිරීම වර්ධනය කිරීමේ සම්භාවිතාවක්‌ පවතින බව දක්‌නට හැකි ය. ඒ සඳහා ඉලක්‌කගත වැඩසටහනක්‌ මඟින් නිෂ්පාදන අවශ්‍යතාව මත වගා වපසරිය වර්ධනය කිරීම කළ හැකි ව ඇත. එසේ ම අධික ලෙස පලතුරු ආනයනය කිරීම මත දේශීය ගොවියා අපහසුතාවට පත් ව ඇති බවත් පැහැදිලි කරුණකි. දොඩම්, මිදි වැනි පලතුරු ඉතා හොඳින් වගා කළ හැකි ව තිබිය දී ඒ සඳහා විදේශ විනිමය වැය කිරීම හාස්‍යයට කරුණකි.

පලතුරු වගාවේ දී ද නිසි අයුරින් වැඩිදියුණු කළ පැළ, සහන මිලට ලබා දී ඒ ඒ පලතුරු වගාවන් දේශගුණ හා භූ රූප කලාප තෝරාගෙන ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළ ගෙවතු ආශ්‍රිතව ද සූක්‌ෂම වගාවක්‌ ලෙස ද දියුණු කළ හැකි ය. බොහෝ අවස්‌ථාවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සපයන පලතුරු පැළ ආදියේ ප්‍රමිතිය පිළිබඳ ව පෞද්ගලික ව මේ ලේඛකයා ද බොහෝ අවස්‌ථාවල අපහසුතාවට පත් ව ඇත. මීට වසර 10කට පමණ පෙර මවිසින් වාරියපොළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළ තවානෙන් ලබාගන්නා ලද විලාඩ් වර්ගයේ බඩ් අඹ පැළයක්‌ මේ වන විට අඩි 20ක්‌ පමණ උසට වැඩුණ ද පසුගිය වසරේ ඉතා සුළු වශයෙන් ගෙඩි කීපයක්‌ සෑදුණ ද ඒවා කහ පැහැයෙන් යුත් හොඳ ප්‍රමිතියක රසයක නො වුණු අතර මේ වසරේ ගෙඩි හටගැනීමක්‌ ද නො විණි. වසර 1980 දී පමණ මාගේ පියාගේ ඉඩමට ද සහනාධාර පදනමින් අඹ පැළ 150ක්‌ පමණ ආනමඩුව ප්‍රදේශයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ කරතකොළොම්බු නම් වූ වර්ගය වුව ද ඒ සියල්ල ඇඹුල් අඔ බවට ගස්‌ පීදී ඵල හටගත් අවස්‌ථාවේ දක්‌නට ලැබිණි. අන් සියලු ගොවීන්ට ද එම අත්දැකීමට මුහුණ දීමට සිදු විය. මේ තත්ත්වයන් කෙසේ වත් වර්තමානයේ නැවත සිදු නො වීමට ක්‍රියා කළ යුතු වෙයි.

විශේෂයෙන් දැනුවත් කිරීම, නිසි තාක්‌ෂණය ගොවියා වෙත සම්ප්‍රේෂණය කිරීම යහපත් වෙළෙඳපොළ තත්ත්වයක්‌ නිර්මාණය කර දීම, පලතුරු කල්තබා ගැනීම සඳහා වූ තාක්‌ෂණය හා සුදුසු මෙවලම් හඳුන්වා දීම මෙන් ම නිසි ප්‍රවාහන මාධ්‍යයන් ද ප්‍රචලිත කළ යුතු ව ඇත. මෙහි දී විශේෂයෙන් රටේ අනෙකුත් ආර්ථික පරිසරයට ද සහාය වන පරිදි පලතුරු කර්මාන්ත වැනි දැ සඳහා ව්‍යාප්ත කිරීමේ සහන ලබා දීම මඟින්

රැකියා ප්‍රශ්නය මෙන් ම හැකි නම් විදේශ වෙළෙඳපොළ සොයාදීම මඟින් විදේශ විනිමය ඉපැයීමට ද හැකි වනු ඇත.

දේශගුණ විචල්‍යතා මත මේ භෝගයන්ට ද බාධා පැමිණීම වළක්‌වා ලනු නොහැකි ය. එහෙත් දිගුකාලීන නිසි ජල කළමණාකරණ ප්‍රවේශයන් පිළිබඳ ව ගොවීන් දැනුවත් කර හැකි පමණ භූගත ජලය ලබාගැනීම මඟින් නියඟ අවස්‌ථාවන්ට මුහුණ දීමත්, ජල ගැලීම් අවස්‌ථා පාලනය සඳහා නිසි ජලාපවහන ක්‍රමවේද භාවිතයත් පිළිබඳ ව ගොවිජනතාව දැනුවත් කර පෙලඹවීම් කිරීමත් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් වියළි හා ශුෂ්ක කලාපයෙහි ද වාරි ජලාශ සංවර්ධනය හා ඉදිකිරීම් මඟින් තෙත් කලාපයේ ද ඉහළ උන්නතාංශ ප්‍රදේශවල පවා සුදුසු සැම ස්‌ථානයක ම මෙන් වාරි ජලාශ මඟින් ගංවතුර මෙන් ම නියඟ තත්ත්වය ද පාලනය කළ හැකි බව විද්වත් මතයයි. වර්තමානයේ ඒ සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක්‌ යොමු කර තිබීම ඇගයිය යුතු ප්‍රවේශයකි. වාරිජලාශ හා වාරිමාර්ග මඟින් ඇති වන පාරිසරික සංරක්‌ෂණය ඕනෑ ම ප්‍රදේශයක ආර්ථික වටිනාකම වැඩිදියුණු වීම අතිශයින් ඉහළ තත්ත්වයක පවතී.

මතු සම්බන්ධයි

එස්‌. ආර්. ඒ. සමරකෝන්

(B.A. Hons, M.A -upto- PhD-Geog, Pera)
Ex. Mgt. Consultant-NIBM,/SLAS- Class.
01, Special Grade,
samarakoonaloy@gmail.com