logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


2018 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය

ත්‍යාගයෙන් එක්‌ අර්ධයක්‌ "ප්‍රකාශ අඬු (optical tweezers) නිපදවීම හා ජෛව විද්‍යාත්මක පද්ධතිවල එහි යෙදීම්" වෙනුවෙන්,

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හෝම්ඩෙලිහි බෙල් පර්යේෂණාගාරයේ Arthur Ashkin ට සහ

අනෙක්‌ අර්ධය "අධි සංඛ්‍යාත, අතිශය කෙටි ප්‍රකාශ ස්‌පන්ද (optical pulses) ජනනය කිරීමේ ක්‍රමවේදයක්‌" නිර්මාණය කිරීම වෙනුවෙන්,

ඇමෙරිකාවේ මිචිගන් සරසවියේ හා ප්‍රංශයේ École Polytechnique පර්යේෂණ ආයතනයේ Gérard Mourou ට සහ කැනඩාවේ වෝටර්ලු සරසවියේ Donna Strickland ට එක්‌ව පිරිනැමුණු වගයි...

මෙවර භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් එක්‌ අඩක්‌ හිමි වූයේ Arthur Ashkin ට ය. ඒ ඔහු විසින් නිපදවනු ලැබූ ප්‍රකාශ අඬු හෙවත් optical tweezers මගින් විද්‍යා ක්‌ෂේත්‍රයේ විවර කරන ලද නව අවකාශය ඇගයීමක්‌ වශයෙන්. මේ ප්‍රකාශ අඬු හරහා ඉතා කුඩා අංශු, පරමාණු, වයිරස හා අනෙකුත් සජීවී සෛල වැනි අතිශය කුඩා දේ ග්‍රහණය කරගෙන එය අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාව විද්‍යා ප්‍රජාවට හිමි වී තිබෙනවා. මෙමගින් සමස්‌ත විද්‍යා ක්‌ෂේත්‍රයට ම එල්ල වී ඇති සහ එල්ල විය හැකි බලපෑම ඉතා විශාලයි. මෙමගින් ඔහු විසින් සැබෑ කරනු ලැබුවේ කලක්‌ විද්‍යා ප්‍රබන්ධමය සංකල්පයක්‌ පමණක්‌ ව පැවැති අදහසක්‌. එනම් විකිරණ මගින් ඇති කරනු ලබන පීඩනය හරහා භෞතික වස්‌තූන් චලනය කරවීමයි. ඇෂ්කින්ගේ මේ ප්‍රකාශ අඬුව මගින් සිදු වන්නේ ඇගිලි තුඩු දෙකක්‌ බදු ලේසර් ධාරා දෙකක්‌ මධ්‍යයට ඉතා කුඩා අංශුවක්‌ තල්ලු කර එය ඒ අතර ස්‌ථාවර ව රඳවාගැනීමයි.

ඇෂ්කින් මේ පෙරැළිය සිදු කළේ 1987 වසරේ දීයි. එහි දී ඔහු මුලින් ම සජීවී බැක්‌ටීරියාවක්‌ එයට හානියක්‌ සිදු කිරීමකින් තොර ව ග්‍රහණය කර ගැනීමට ප්‍රකාශ අඬුව භාවිත කළ අතර ඉන්පසු මේ නව හැකියාව හරහා ජෛව ලෝකය අධ්‍යයනය කිරීම භාවිතයට ගැනීම අරඹා තිබෙනවා. අද වන විට මේ උපාංගය ජීවයේ යාන්ත්‍රණය ගවේෂණය කරන විද්‍යාඥයන් විසින් බහුලව භාවිත කෙරෙන මෙවලමක්‌ වී හමාරයි. දැනට 96 හැවිරිදි වියේ පසු වන ඇෂ්කින් නොබෙල් සම්මානයකින් පිදුම් ලද වයස්‌ගත ම පුද්ගලයා වීමේ වාර්තාව ද මේ සමග ඉසිලීම විශේෂත්වයක්‌.

Gérard Mourou හා Donna Strickland විසින් ලේසර් තාක්‌ෂණය ආශ්‍රිත ව කරනු ලැබ ඇති නව හදුන්වා දීම ද විද්‍යාවේ උන්නතිය උදෙසා ලබා දී ඇත්තේ විශාල දායකත්වයක්‌. 1985 දී පළ කරන ලද පත්‍රිකාවක්‌ හරහා ඔවුන් විසින් මුල් වරට ඉදිරිපත් කරන ලද අදහසක්‌ ප්‍රායෝගික තලයට ගෙන එමින් ඔවුන් දෙදෙනා මේ අධිසංඛ්‍යාතයකින් යුතු ලේසර් ස්‌පන්ද නිපදවීමට සමත් වී තිබෙනවා. එයට පෙර ද විද්‍යාඥයන් විසින් අධිසංඛ්‍යාත ලේසර් ස්‌පන්ද නිපදවනු ලැබ තිබුණත් ඒවා ප්‍රායෝගික ව භාවිතයට ගැනීම කළ හැක්‌කක්‌ නො වූයේ ඒ සඳහා භාවිත කරන වර්ධක ද්‍රව්‍යය (amplifying material) එම අධිසංඛ්‍යාත ස්‌පන්දය නිසා ම විනාශ වී යැම නිසයි. එහෙත් Mourou හා Donna මේ ගැටලුව මගහැර යැම සඳහා භාවිත කර ඇත්තේ ඉතා නිර්මාණශීලී ප්‍රවේශයක්‌. මෙහි දී ඔවුන් මුලින් ම ලේසර් ස්‌පන්දයේ උච්ච බලය අවම වන සේ එම ස්‌පන්දය ඇදීමකට ලක්‌ කර ඇති අතර පසුව එම විනාශකාරී නො වන ඇදුණු ස්‌පන්දය වර්ධනය කර තිබෙනවා. මෙලෙස කිරීම නිසා එම වර්ධක ද්‍රව්‍යය විනාශ වන්නේ නැහැ. ඉන්පසු නැවතත් එම වර්ධනය වූ ස්‌පන්දය සංකෝචනයට ලක්‌ කිරීම මඟින් අධිසංඛ්‍යාත ලේසර් ස්‌පන්දයක්‌ ලබාගැනීමට ඔවුන් සමත් ව තිබෙනවා.

Chirped Pulse Amplification ලෙස හැඳින්වෙන මේ තාක්‌ෂණය අද වන විට අධි සංඛ්‍යාත ලේසර් කිරණ නිපදවීමේ සම්මතය බවට පත් ව තිබෙනවා. අද ලොව පුරා වසරකට මිලියන ගණනින් සිදු වන ඇස්‌වල දෝෂ ඉවත් කිරීමේ සැත්කම් සඳහා භාවිත වන්නේ ඔවුන් ඉදිරිපත් කළ මේ තාක්‌ෂණය යොදාගනිමින් නිෂ්පාදනය කළ උපාංග. මේ සම්මානය හිමි වීමත් සමග Donna Strickland භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයක්‌ හිමි කරගත් තුන්වැනි කාන්තාව බවට පත් වනවා. ඒ ද වසර 55කට පසුවයි.

ලේසර් තාක්‌ෂණය වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය හිමි කරගත් සියලු දෙනා කර ඇති සේවය අද වන විට ඔවුන් ඉදිරිපත් කර ඇති තාක්‌ෂණයන් මගින් ගනු ලබන සේවයට පමණක්‌ ලඝූ කළ හැක්‌කේ නැහැ. අනාගතය තුළ නිපදවෙන අප තවමත් සිතා වත් නොමැති නව්‍ය යෙදුම්වලට මේ දැනුම යෙදෙන ආකාරය අනාගතයේ දී අපට දැකිය හැකි වනු ඇති.

දමිත නිපුණජිත්