logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


පරිසර නීතිය පළාතකින් පළාතකට වෙනස්‌ වෙන්න බැහැ

රටේ නීතිය පළාතකින් පළාතකට වෙනස්‌ විය නොහැකි බවත්, පොලිතින් තහනම ජාතික වශයෙන් ක්‍රියාත්මක විය යුත්තක්‌ බවත් ජාතික පාරිසරික සභාවේ සාමාජික නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පරිසර විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද ගැසට්‌ පත්‍රිකා තම පළාත තුළ වලංගු නො වන බව කිසියම් කෙනකු පවසන්නේ නම් එය ඉතා බරපතළ තත්ත්වයක්‌ බවත් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ අදහස්‌ පළ කර සිටියේ ඉකුත් දා පරිසර මාධ්‍යවේදීන් උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ය. බියගම පීටී ගාඩ්න්ස්‌ හෝටලයේ දී මේ සම්මන්ත්‍රණය පැවැත්විණි. වයඹ පළාත් සභාව, මධ්‍යම පරිසර අධිකාරියෙන් ස්‌වාධීන පරිසර ප්‍රඥප්තියකට අනුව කටයුතු කිරීමෙන් උද්ගත ව ඇති ගැටලූසහගත තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජගත් ගුණවර්ධන මහතා,

2014 වසරේ මම ජාතික පාරිසරික සභාවේ සභාපති විදියට කටයුතු කරද්දි උතුරු පළාත් සභාවෙන් ඉල්ලීමක්‌ ආව ඒ පළාත තුළ පරිසර විෂය කොහොම ද ක්‍රියාත්මක වෙන්නෙ කියන එක සම්බන්ධයෙන්. අපි ඔවුන්ට කිව්වෙ උතුරු පළාතට ප්‍රඥප්තියක්‌ අවශ්‍ය නැහැ. ඕන නම් ආයතනයක්‌ පිහිටුවගෙන ජාතික පාරිසරික පනතෙන් කරන්න පුළුවන් වැඩ කොටස කරන්න කියල.

පළාත් සභා විෂයය යටතේ තියෙනව රජය විසින් අවසර ලබා දෙන ප්‍රමාණයට පළාත් සභා විසින් කළ යුතුයි කියන එක. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අර්ථ නිරුපණය කරනකොට පැහැදිලි ව ම කියන කාරණාවක්‌ තියෙනව වගන්ති සමස්‌තය වශයෙන් අරගෙන ඒකෙ තියෙන සම්ප්‍රයුක්‌තය තමයි නිර්වචනය කළ යුත්තෙ කියල. ඒ විදියට පළාත් සභා විෂයය සහ සමගාමී විෂයය කියන දෙක ම ඒකාබද්ධව අරගෙන විස්‌තර කරනකොට අපිට පේනව රජය විසින් අවසර ලබා දෙන ප්‍රමාණයට තමයි පළාත් සභාවක්‌ කටයුතු කළ යුත්තෙ කියල.

මේ කාරණය පිළිගෙන උතුරු පළාත් සභාව බොහොම නිහතමානි විදියට සහ බොහොම නම්‍යශීලී විදියට කටයුතු කළා. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු පළාත් භාර නිලධාරීන් සමග එකතු වෙලා පරිසර අධිකාරියත් එක්‌ක සමගාමී ව කටයුතු කරන්න ඒ අය සහයෝගය දෙනව.

ඔය ආකෘතිය ම 2009 ඉඳල බස්‌නාහිර පළාත තුළ අදටත් ක්‍රියාත්මක වෙනව. මේක උතුරට කරන්න පුළුවන් නම් මේ රටේ වැඩියෙන් ම පරිසර ප්‍රශ්න තියෙන බස්‌නාහිර පළාතට කරන්න පුළුවන් නම් අනික්‌ පළාත්වලටත් ඒක පරමාදර්ශයක්‌ වෙනව. විශේෂයෙන් ම අපි පළාත් සභා ක්‍රමය ගෙනාවෙ උතුරට නෙ. උතුරට මේ ක්‍රමය කරන්න පුළුවන් නම් වෙන පළාත්වලට බැරි වෙන්න පුළුවන්කමක්‌ නෑ කියන එකයි අපි කියන්නෙ.

ඒත් 1990 දි වයඹ පළාත් සභාව ප්‍රඥප්තියක්‌ සම්මත කරගෙන තියෙනව. ඒ සම්මත කරගැනීම පිළිබඳව අපට ගැටලූ තියෙනව ඒක නිසියාකාර ව සම්මත වෙලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ ද කියන එක ගැන. අපි දන්න තරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිල නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිල නැත්නම් ඒ ප්‍රඥප්තියේ නිතානුකූලභාවය පිළිබඳ ගැටලූවක්‌ තියෙනව.

අවාසනාවකට වයඹ පළාත තුළ මේක තත්වානුරූප සත්‍යයක්‌ වෙලා තියෙනව. තත්වානුරූප සත්‍යයක්‌ කියන්නෙ නීතිමය තත්ත්වය කෙසේ වෙතත් සිද්ධි මාලාව ගත්තහම වයඹ පළාත තුළ අනික්‌ පළාත්වල තහනම් පොලිතින් විකුණනව. මම ඒක දැක්‌ක මාස 3කට විතර ඉස්‌සෙල්ල. පුත්තලම නගරය තුළ තුනී පොලිතින් ඉවක්‌ බවක්‌ නැති ව විකුණනව.

අපි දකින්න කැමැති විදිය රට පුරා ඒකාකාර ව ක්‍රියාත්මක වන නීතියක්‌. නමුත් වයඹ පළාත තුළ මධ්‍යම පරිසර අධිකාරියට බලයක්‌ නැත ප්‍රඥප්තියෙන් පළාත් පරිසර අධිකාරියට පමණයි බලය තියෙන්නේ කියන නීතිය යම්කිසි කෙනෙක්‌ පිළිගත්තොත් ඒ පුද්ගලයා තුළ ගොඩනැෙගන ඊළග තර්කය වන්නේ වයඹ පළාත තුළ පොලිතින් තහනමක්‌ නැත කියන එක.

මෙවැනි සාහසික ප්‍රලාපවලින් සිදු වන්නේ හොඳින් කටයුතු කරන පළාත් සභාවලට ද නරක ආදර්ශයක්‌ ලබා දීම බව ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

(මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ පිරිසගේ සමූහ ඡායාරූපයක්‌ අද පත්‍රයේ 19 වැනි පිටුවේ පළ වේ)