logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කෘෂිකර්මය නඟාලීමට තිරසර ප්‍රවේශයන්

තෙවැනි ලිපිය

වී නිෂ්පාදනය හා අස්‌වැන්න පිළිබඳ ව ඉදිරිපත් වන තොරතුරුවලින් පැහැදිලි වන්නේ බිම් ඒකකයකට ලබන සාමාන්‍ය අස්‌වැන්න බුසල් 80ක්‌ පමණ වන අතර එය හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ බුසල් 105ක්‌ වන බවයි. උඩවලව හා මහවැලි එච් (H) කලාපයේ එය පිළිවෙළින් බුසල් 115ක්‌ හා 120ක්‌ පමණ වේ (සංඛ්‍යා සටහන - 02). එසේ නම් තවදුරටත් අස්‌වැන්න වැඩි කිරීමේ විභවතාවක්‌ පවතින බව ඉතා පැහැදිලි ය. හම්බන්තොටට හා තවත් කිහිප ප්‍රදේශයකට හැකි නම්, අවශේෂ ප්‍රදේශවලට නොහැකි ඇයි ද යන්න පවතින සාධනීය තර්කයයි.

මේ අනුව බිම් ඒකකයකට ලබන අස්‌වැන්න වැඩි කරගැනීම පවත්නා විකල්ප අතර යහපත් ම ක්‍රියා මාර්ගය බැවින් ඒ සම්බන්ධයෙන් යුහුසුලු ව අවධානය යොමු විය යුතු ය. තිරසර කෘෂිකර්මය පිළිබඳ ව පදනම වන්නේ ද එයයි. පවතින වන පියස සුරැකිය යුතු ය. එනම් හැකි තාක්‌ සියලු වනාන්තර හෙළි කරමින් ඉවක්‌ බවක්‌ නොමැති ව කුඹුරු අස්‌වද්දනු වෙනුවට පවතින බිම්වලින් උපරිම ඵලදාවක්‌ ලබාගැනීම සඳහා කටයුතු කිරීම ය.

වී වගාව සම්බන්ධයෙන් ගත් විට මේ පවතින බිම් ප්‍රමාණය සාර්ථක ව වගා කරන්නේ නම් වාර්ෂික ව ආහාර සඳහා අවශ්‍ය ප්‍රමාණය ද ඉක්‌මවා අතිරික්‌ත ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කළ හැකි වෙතත් කන්න දෙක ම වගා කිරීමේ දී අති විශාල අතිරික්‌තයක්‌ නිෂ්පාදනය කර නිර්යාත කිරීමට පවා හැකි වේ. අවම වශයෙන් මාස්‌ කන්නයේ අක්‌කර ලක්‌ෂ 20ක්‌ පමණ වගා කිරීමට සැලසුම් කරන්නේ නම් අක්‌කර 01කින් සාමාන්‍ය අස්‌වැන්න බුසල් 100ක්‌ ලබාගැනීමට උත්සාහ ගත හොත් එම කන්නයේ අස්‌වැන්න වී බුසල් 2,000,000 x 100 = 200,000,000 වේ. වී බුසල් 01කට ලැබිය හැකි සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 15ක්‌ නම් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය කි. ග්‍රෑම් 3,000,000,000 පමණ වේ. මේ තත්ත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණනයන් අනුව අනෙකුත් ආහාර වර්ග ද භාවිත කරන බැවින් වසරකට එක්‌ පුද්ගලයකු සඳහා අවශ්‍ය වන සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 100ක්‌ පමණ වේ යෑයි ගණනය කර ඇති බැවින් ඒ අනුව ගණනය කිරීමේ දී වත්මන් ජනගහනය කෝටි 2.25ක්‌ වන්නේ නම් අවශ්‍ය සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් කෝටි 225කි. ඒ අනුව ඉහත දැක්‌වූ පරිදි අක්‌කර එකකට බුසල් 100ක සාමාන්‍ය අස්‌වැන්න මත මාස්‌ කන්නයේ, වී මඟින් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් කෝටි 300 වන විට එහි ම අතිරික්‌තය 300 - 225 = කි. ග්‍රෑ. කෝටි 75කි.

මෙය සාමාන්‍ය ගණිතමය ගණන් බැලීමක්‌ වන අතර නිවැරැදි තත්ත්වය තුළ වගා හානි ආදිය අඩු කරගත් විට එයින් ලබන අස්‌වැන්න 2රැ3ක්‌ වුව ද දෝෂ ඉවත් කළ විට මෙයින් නිෂ්පාදනය 90%ක්‌ ලද ද අතිරික්‌තයක්‌ නිෂ්පාදනය වන බව පැහැදිලි ය. එසේ ම 2015/2016 මහ කන්නය වී වගා කිරීම අක්‌කර ලක්‌ෂ 18.6කින් වී නිෂ්පාදනය කර ඇත්තේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව බුසල් කෝටි 13.91කි. එයින් ලැබිය හැකි අස්‌වැන්න සහල් කිලෝ ග්‍රෑම් කෝටි 208.65ක්‌ වෙයි. එම වසරේ යල වගා කළ බිම් ප්‍රමාණය අක්‌කර ලක්‌ෂ 9.5ක්‌ හා නිෂ්පාදනය වී බුසල් ලක්‌ෂ 72.72ක්‌ වන බැවින් පවතින අස්‌වැන්න යටතේ වුව ද අක්‌කර ලක්‌ෂ 18ක්‌ වන විට ද ජාතික අවශ්‍යතාවට අතිරික්‌ත ව සහල් නිෂ්පාදනය කළ හැකි බැවින් පවතින බිම් ප්‍රමාණය තවදුරටත් සැලකිල්ලට ගත යුත්තේ අනෙකුත් බෝග වගාවන් ප්‍රසාරණය කිරීමේ අවශ්‍යතාවක්‌ දැඩි ව අවශ්‍ය ව ඇති බැවිනි. එහි දී අදාළ අනෙකුත් බෝග පිළිබඳ තත්ත්වයන් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වන අතර තවදුරටත් වී වගාව සඳහා කුඹුරු අස්‌වැද්දීම පිළිබඳව විද්‍යාත්මක ව අධ්‍යයනය කර නිවැරැදි නිගමනයකට එළැඹිය යුතු වෙයි.



ඉහත සාකච්ඡා කළ කරුණු අනුව පෙනී යන වැදගත් කරුණු කීපයක්‌ අතර ඉතා වැදගත් ගැටලුකාරී තත්ත්වය වන්නේ ජාතික වශයෙන් ප්‍රධාන ලෙස ගත් විට රටේ මහජනතාවට සිය පරිභෝජන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නා වූ නිෂ්පාදනයක්‌ මේ ආහාර භෝග වගාව යටතේ ලබා ගත නොහැකි ව පැවතීමයි. සහල්, පොල් එහි දී ප්‍රධාන වන අතර ධාන්‍ය වර්ග හා එළවළු හා පලතුරු මෙන් ම සමහර කුළුබඩු ද වාර්ෂිකව ම ආනයනය කරන බැවින් එය දේශීය ගොවියාට දැඩි බලපෑමක්‌ කළ අවස්‌ථා ද එමට ය.

2.2 වෙනත් භෝග :

වී හැරුණු විට අනෙකුත් ප්‍රධාන භෝග වගා ව්‍යාප්තිය නොකඩවා ක්‌ෂය වීමේ ප්‍රවණතාව පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ ඒ අතර ප්‍රධාන ආහාර භෝග මෙන් ම රටට විදේශ විනිමය ලබා දෙමින් රටේ ප්‍රගමනයට දායක වන විදේශ වෙළෙඳපොළක්‌ පවත්නා මෙන් ම දේශීය සේවා නියුක්‌තියට හා කාර්මික දියුණුවට එම නිෂ්පාදන පාදක වී ඇති බැවිනි. ශ්‍රී ලංකාව නිදහස ලබන අවධියේ තිබූ කෘෂි ඉඩම් පරිහරණය හා මෑත තත්ත්වය දෙස බලන විට තේ, පොල්, රබර් ඇතුළු වාණිජ මෙන් ම දේශීය ආහාර සඳහා ගැනෙන නිෂ්පාදන ලබා දෙන භෝග වගා බිම් ප්‍රමාණය උච්චාවචනය වීමක්‌ දක්‌නට ඇත (සංඛ්‍යා සටහන - 02). වගා කරන බිම් වපසරිය අඩු වනවාත් සමඟ ඒවායේ නිෂ්පාදනය පහත වැටීමෙන් දේශීය පරිභෝජනයට ද සමහර භෝග ආනයනය කිරීමට සිදු වීම දැඩි ව සැලකිල්ලට ගත යුතු කරුණක්‌ බවට පත් ව ඇත. ඒ විශේෂයෙන් දෙයාකාරයකින් විදේශ විනිමය නො ලැබී යාමක්‌ සිදු වන බැවිනි.



එනම් අතිරික්‌ත නිෂ්පාදනයක්‌ පවත්නා විට එම නිෂ්පාදනය අපනයනය කළ හැකි වන බැවින් එමඟින් විදේශ විනිමය ලැබිය හැකි මුත් අතිරික්‌තයක්‌ නො වන විට අපනයනය වළකී. එසේ ම විදෙස්‌ රටවලින් ආනයනය කිරීමට සිදු වන නිසා ඊට වැය කළ යුතු බැවින් විදේශ විනිමය වැයවීමක්‌ සිදු වේ. ලංකාවේ පවත්නා පාරිසරික සුගුමතාව මත ඉතා හොඳ කෘෂිකාර්මික ඵලදාවක්‌ සැම භෝගයක්‌ ම අනුසාරයෙන් ලද හැකි මුත් යම් යම් විචල්‍යතා ඇති වුව ද කළමනාකරණ දුර්වලතා මත එවැනි පසුබෑමක්‌ සිදු වන්නේ නම් එය පාලනය කළ හැකි වීම කළ නොහැක්‌කක්‌ නො වේ.

2. 2. 1 පොල් වගාව

මේ වන විට රටේ මහජන පරිභෝජනයේ ඉතා වැදගත් තැනක පවතින පොල් නිෂ්පාදනය ගත් විට පසුගිය 2016 වසරේ පමණ පොල් ගෙඩියක සිල්ලර මිල රු. 35/=ක්‌ හෝ 45/=ක්‌ වශයෙන් පැවතිය ද 2017 වසර වන විට එය මිල දෙගුණයකටත් අධික වීමෙන් හා ආනයනය කිරීමට පවා සිදු ව පවත්නා තත්ත්වයක්‌ තුළ එම භෝගය ප්‍රවර්ධනය කිරීමේ මහඟු අවශ්‍යතාවක්‌ ඇතැයි පැහැදිලි වේ. ඒ පොල් පරිභෝජනය ද ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරයක්‌ බවට පත් ව ඇති බැවිනි. පොල් පරිභෝජනයේ ප්‍රමාණය සැලකිල්ලට ගත හොත් 05 දෙනකු පමණ සාමාජිකයන් සිටින පවුලකට දිනකට ගෙඩි 1.5ක පමණ අවශ්‍ය වන්නේ නම් ලංකාවේ දළ වශයෙන් පවුල් 7,500,000ක්‌ සිටින විට එක්‌ පවුලකට මසකට ගෙඩි 45 ලෙස වසරකට 45 x 12 = 540කි. එවිට පවුල් 7,500,000 සඳහා පොල් ගෙඩි 7,500,000 x 540 = 4,050,000,000 ක්‌ (දශ ලක්‌ෂ 4,050) පමණ අවශ්‍ය වේ. මේ අවශ්‍යතාව පිරිමසා ලීමට දැන් පවත්නා නිෂ්පාදනය වසර 2016 දී පොල් ගෙඩි දශ ලක්‌ෂ 2,445කින් හැකි නො වන බැවින් පොල් ගෙඩි දශ ලක්‌ෂ 4,050ක්‌ ලබාගැනීමට වගා බිම් ප්‍රමාණය දෙගුණයකින් එනම් අක්‌කර 1,615,000ක්‌ දක්‌වා මේ පවතින ඵලදාව යටතේ අවශ්‍ය වේ. එසේ නොමැති නම් පවතින බිම් ප්‍රමාණයෙන් දෙගුණයක අස්‌වැන්නක්‌ ලබාගත යුතු වේ. කෙසේ වෙතත් එය අපහසු කරුණක්‌ වන අතර 50%කින් වත් ඵලදාව වැඩි කර වගාබිම් ප්‍රමාණය ද 50%කින් වත් වර්ධනය කිරීමට ක්‍රියා කළ යුතු ව ඇත.

මතු සම්බන්ධයි

එස්‌. ආර්. ඒ. සමරකෝන්

(B.A. Hons, M.A -upto- PhD-Geog, Pera)
Ex. Mgt. Consultant-NIBM,/SLAS- Class.
01, Special Grade,
samarakoonaloy@gmail.com