logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරය ගිලගැනීමට පෙර

ලෝකයේ තාක්‌ෂණික දියුණුවත් සමඟ නවීන විද්යුත් උපකරණ හා සේවාවන් ජනතාවගේ එදිනෙදා භාවිතයට බහුල ව පැමිණ ඇත. ඒ අතරින් ජංගම දුරකථන, ස්‌ථාවර දුරකථන, පරිගණක, රූපවාහිනි යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, කැමරා හා අන්තර්ජාල සේවා ඔවුන් අතර ඉතා ජනප්‍රිය වී ඇත. මේ නවීන තාක්‌ෂණික උපකරණ නිෂ්පාදනයේ දී විශාල වශයෙන් අමුද්‍රව්‍ය ලෙස මිල අධික හා දුර්ලභ මූලද්‍රව්‍ය යොදාගැනෙයි. දිනපතා සිදු වන තාක්‌ෂණික දියුණුවත් සමඟ දිනෙන් දින අලුත් වන මේ නවීන විද්යුත් උපකරණ සඳහා මහජනයා තුළ විශාල ඉල්ලුමක්‌ ද පවතී. මේ නිසා දිනපතා භාවිතයෙන් බැහැර කරනු ලබන විද්යුත් උපකරණ ප්‍රමාණය අති විශාල ය. මෙසේ බැහැර කරනු ලබන විද්යුත් උපකරණ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබයි.

මේ ඉලෙක්‌ට්‍රොනික උපකරණ ඒවා භාවිතයට ගනු ලැබූ ක්‌ෂේත්‍ර අනුව ගෘහ උපකරණ, තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ උපකරණ, කාර්මික උපකරණ හා පාරිභෝගික විදුලි භාණ්‌ඩ ලෙස වර්ග කළ හැකි ය. මේවා අතරින් රූපවාහිනි යන්ත්‍ර, පරිගණක හා ජංගම දුරකථන ඉතා බහුල ලෙස රට පුරා පැතිරී පවතී. මේ උපකරණ හා අමතර කොටස්‌ කල් ඉකුත් වූ විට බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයන් අනුගමනය නො කිරීම නිසා දරුණු ගණයේ පරිසර ගැටලු ඇති කිරීමට හේතු වී ඇත. විශේෂයෙන් ම රූපවාහිනි යන්ත්‍ර, පරිගණක හා ජංගම දුරකථන මෙසේ අනාරක්‌ෂිත ලෙස පරිසරයට බැහැර කිරීම තුළින් කෘෂි රසායනික හා අඩු ප්‍රමිති පොහොර භාවිතයෙන් පරිසරයට හා මිනිසාට සිදු වන හානියට වඩා වැඩි හානියක්‌ එහි අඩංගු ආසනික්‌, ඊයම්, නිකල්, සින්ක්‌, කැඩ්මියම් හා බෙරිලියම් යනාදි විෂ රසායනික නිසා සිදු වේ.

රූපවාහිනි යන්ත්‍ර සහ පරිගණක මොනිටර් නිෂ්පාදනයේ දී භාවිත කරනු ලබන අමුද්‍රව්‍යවල උග්‍ර විෂ සහිත රසායනිකයන් වන ඊයම් සහ ආසනික්‌ ඇතුළු මූලද්‍රව්‍ය 16ක්‌ පමණ අඩංගු වේ. එමෙන් ම ජංගම දුරකථන හා ලිතියම් අයන (LiI) හා නිකල්මෙටල් හයිඩ්රයිඩ් (NiMH) බැටරි නිෂ්පාදනයේ දී ඉහත කී මූලද්‍රව්‍යවලට අමතර ව බැර ලෝහයන් වන කොබෝල්ට්‌, සින්ක්‌ හා තඹ භාවිත කරනු ලබයි. වර්තමානයේ දී ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය සුලබ ව බැහැර කරනු ලබන ක්‍රමවේදය වන්නේ ගිනි තැබීම, රූපවාහිනි වැනි දෑ කඩා පොඩි කිරීම හා පරිසරයට අනාරක්‌ෂිත ව බැහැර කිරීමයි. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ගිනි තැබීමේ දී හා හිස්‌ ඉඩම් ගොඩකිරීම සඳහා යොදාගැනීමේ දී ඉහත කී රසායනික ද්‍රව්‍ය වාතයට හා භූගත ජල ප්‍රවාහයන්ට එකතු වේ. ජංගම දුරකථන බැටරියක්‌ ජෛව පරිසරයට මුදාහැරීම මඟින් ජලය ලීටර් 30,000ක්‌ දූෂණය කරනු ලබන අතර එමඟින් මනුෂ්‍ය සෞඛ්‍යයට හා ජෛව පරිසරයට විශාල තර්ජනයක්‌ ඇති කරයි.

මෑතක දී අප විසින් සිදු කරන ලද සමීක්‌ෂණයක දී සොයාගත් කරුණු අනුව ලංකාවේ රූපවාහිනි යන්ත්‍ර අලෙවිකරණයේ යෙදී සිටින ප්‍රධාන වෙළෙඳ සමාගම් නැවැත මිල දී ගැනීම් යටතේ පැරැණි රූපවාහිනි යන්ත්‍ර 15,000ක්‌ පමණ එක්‌ මාසයක්‌ තුළ දී එකතු කරයි. එමෙන් ම අනෙකුත් විදුලි උපකරණ ද මේ ආකාරයට ම පාරිභෝගිකයන් ගෙන් එකතු කරනු ලැබේ. තව ද දුරකථන සේවා සමාගම් විසින් ද විශාල පරිමාණයෙන් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරනු ලැබේ. මෙසේ එකතු කරනු ලබන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ඔවුන් විසින් ටෙන්ඩර් කැඳවා ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආයතන වෙත නැවත විකුණා මුදල් උපයනු ලැබේ.

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණය (උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ) සඳහා වන බලපත්‍ර නිකුත් කරනු ලබයි. මේ බලපත්‍රලාභී ආයතන විසින් අපද්‍රව්‍ය උත්පාදනය, එක්‌රැස්‌ කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම, නිස්‌සාරණය කිරීම හා බැහැර කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල ව සිදු කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඔවුන් විසින් පවත්වාගනු ලැබිය යුතු ය. මීට අමතර ව දේශීය ව ආරක්‌ෂාකාරී ලෙස බැහැර කළ නොහැකි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට, ඒ සඳහා පහසුකම් සහිත විදේශීය ආයතන වෙත යවනු ලැබේ. ඒ සඳහා එක්‌සත් ජාතීන්ගේ බාසල් ප්‍රඥප්ති යටතේ වෙන ම බලපත්‍රයක්‌ ලබාගත යුතු ය. මේ යටතේ මුද්‍රිත පරිපථ පුවරු (Printed Circuit Board - PCB), කැතෝඩ කිරණ නළ (Cathode Ray Tubes) හෙවත් මොනිටරයේ හා රූපවාහිනියේ වීදුරුවලින් සකසා ඇති බඳ කොටස) යවනු ලබන අතර ඒවා අධි තාක්‌ෂණ කර්මාන්තශාලාවල දී ඒහි අඩංගු රත්රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම්, තඹ, ඊයම් වැනි වටිනා ලෝහ හා අනෙකුත් දුර්ලභ ලෝහ පරිසරයට හානි නො වන පරිදි නිස්‌සාරණය කරනු ලැබේ.

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන න්‍යායාත්මක තත්ත්වය එසේ වුව ද අද ප්‍රායෝගික ව බොහෝ තැන්වල සිදු වන්නේ ඊට හාත්පසින් වෙනත් සූදුවකි. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා බලපත්‍ර ලත් සමහර ආයතන, අපද්‍රව්‍ය ටෙන්ඩර් මඟින් හෝ ආයතන වෙතින් හෝ තොග වශයෙන් මිල දී ගෙන එහි වටිනා කොටස්‌ ගලවා ඉතිරි කොටස්‌ ගිනි තබා විනාශ කරයි. නැත හොත් හිස්‌ ඉඩම්වලට බැහැර කරයි. එසේ ලබාගන්නා තඹ නීති විරෝධී ලෙස විදේශ රටවලට අපනයනය කෙරේ.

මා ඉහතින් සඳහන් කළ සමීක්‌ෂණයක දී සොයාගත් කරුණු අනුව කැතෝඩ කිරණ නළයක සාමාන්‍ය බර කි. ග්‍රෑම් 21ක්‌ වන අතර එහි ඊයම් කි. ග්‍රෑම් 1.652ක්‌ හා ආසනික්‌ ග්‍රෑම් 23.6ක්‌ අඩංගු වේ. අප විසින් CRT සම්බන්ධ ව ශ්‍රී ලංකාවේ සිදු කරන ලද එක ම සමීක්‌ෂණයේ දී අනාවරණය වූ කරුණු අනුව මෙරට තුළ රූපවාහිනි යන්ත්‍ර මිලියන 4.653ක්‌ ද, පරිගණක මොනිටර් මිලියන 3.0ක්‌ ද ඇත. එය බර අනුව එය මෙටි්‍රක්‌ ටොන් 154,820කි. ඒ අනුව ගණනය කිරීමේ දී ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති පැරැණි රූපවාහිනි යන්ත්‍ර හා පරිගණක මොනිටර් ඉදිරි වසර 5 තුළ මෙසේ අනාරක්‌ෂිත ලෙස පරිසරයට මුදා හළ හොත් ඊයම් මෙටි්‍රක්‌ ටොන් 8,840.76ක්‌ සහ ආසනික්‌ මෙටි්‍රක්‌ ටොන් 110.81ක්‌ මේ පොළොවට එකතු වනු ඇත. ලංකාවේ රූපවාහිනි අලෙවි කරන ප්‍රධාන ආයතන දිවයින පුරා එකතු කරන පැරැණි රූපවාහිනි යන්ත්‍ර කොළඹ දී ටෙන්ඩර් කර තොග වශයෙන් බැහැර කරන බැවින් එහි අපද්‍රව්‍ය වැඩි ම ප්‍රමාණයක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ දී පරිසරයට එකතු වනු ඇත. අනෙක්‌ කොටස දිවයින පුරා සිටින අබලි ද්‍රව්‍ය එකතු කරන්නන් මඟින් පරිසරයට එකතු වේ. මේ සා විශාල ආසනික්‌ හා ඊයම් තොගයක්‌ පසට හා ජලයට එකතු වීමෙන් සිදු වන පාරිසරක හා ජෛව හානිය තක්‌සේරු කිරීම ඔබට භාර කරමි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුව ද කැතෝඩ කිරණ නළ ආරක්‌ෂා සහිත ව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පහසුකම් සහිත විශේෂ බලපත්‍ර ලත් කර්මාන්තශාලා කීපයක්‌ විදේශයන්හි ඇත. ඒවාහි දී ඊයම් සහ ආසනික්‌ ඇතුළු අනෙකුත් මූලද්‍රව්‍යයන් නිස්‌සාරණය කර වීදුරු කුඩු කොන්ක්‍රීට්‌ සඳහා ආදේශකයක්‌ ලෙස යොදාගැනෙයි. මේ ක්‍රියාවලිය සඳහා යම් ගෙවීමක්‌ කළ යුතු වේ. පරිසරයට ඉතා හානිදායක වූ මේ කැතෝඩ කිරණ නළ ආරක්‌ෂා සහිත ව විදේශයන්හි දී බැහැර කිරීම සඳහා බලය ලත් එක්‌ ආයතනයක්‌ ලංකාවේ තිබුණ ද බලගතු මහා පරිමාණ වෙළෙඳ ආයතන විසින් මූල්‍යමය ප්‍රතිලාභ අපේක්‌ෂාවෙන් එවැනි පහසුකම් නොමැති උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන වෙත විකුණා දමනු ලබයි.

මේ තත්ත්වයන් ගෙන් පරිසරය ආරක්‌ෂා කරගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට යම් සීමාවන්ට යටත් ව කටයුතු කිරීමට සිදු වන බව සොයා බැලීමේ දී අනාවරණය විය. ඒ සඳහා ප්‍රධාන ව බලපා ඇත්තේ පරිසර සංරක්‌ෂණයට අණ-පනත් සම්මත වී තිබුණ ද ඊට අදාළ නීති රෙගුලාසි තව ම සම්පූර්ණ කර නොමැති වීම ය. රටේ තිරසාර සංවර්ධනයක්‌ සඳහා පරිසරය සුරක්‌ෂිත ව පවත්වාගැනීම ප්‍රමුඛ කොට සලකන බැවින් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා බලපත්‍රලාභී උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන ද පරිසර සංරක්‌ෂණය වෙනුවෙන් පෙනී සිටින ස්‌වෙච්ඡා සංවිධාන ද ඇතුළු සියලු මහජනතාව ද මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව අවධාරණය කරමි.

ජාතික විද්‍යා පදනමේ

පුස්‌තකාල හා සම්පත් මධ්‍යස්‌ථාන අංශාධිපති

මනුජ කරුණාරත්න

BSc, MSc. (Computer Science)