logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු දැවැන්ත අන්තර්ජාතික සමුළුව සයිටීස්‌ (CITES)

සයිටීස්‌, (CITES) තවමත් ලාංකික අප බොහෝ දෙනෙක්‌ගේ මුවගට නුපුරුදු නමක්‌ විය හැකියි. එහෙත් ජාත්‍යන්තරයේ නම් එම වචනය පිළිබඳ ඇති පිළිගැනීම හා දැනුවත්කම ඉතා ඉහළයි. කෙසේ නමුත් දැන් අපේ ඒ නොදැනුවත්කම නිවැරැදි කරගැනීමට සුදුසු ම කාලය එළඹ තිබෙනවා. ඒ සයිටීස්‌ ලබන වසරේ මේ කුඩා දිවයිනේ නම, අන්තර්ජාතික තලයට ගෙන යන්නට පෙරමඟ තනමින් සිටින නිසා.

ශ්‍රී ලංකාවේ මේ වන විට විශාල උත්සව හා සමුළු පැවැත්වී තිබෙනවා. 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය නායක සමුළුව එවැන්නක්‌. එහෙත් ලබන වසරේ මැයි මාසයේ 23 වැනි දා සිට ජූනි මාසයේ 03 වැනි දා දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව ඇති සයිටීස්‌ සමුළුව එතෙක්‌ මෙතෙක්‌ ලංකාවේ පැවත්වෙන අති දැවැන්ත ම සමුළුව වීමට නියමිතයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමුළුවක සත්කාරක රට වීමේ අවස්‌ථාව තවත් දශක ගණනාවකට පසුව වත් අප වැනි රටකට නැවත හිමි වනු ඇත් ද යන්න අවිනිශ්චිතයි. එබැවින් ජාතියක්‌ වශයෙන් එහි ඇති වටිනාකම හා එය හා සබැඳී ඇති අවස්‌ථාවල ඇති විභවය වටහාගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජන නෙළාගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සියලු දෙනා ම එකාවන් ව පෙළගැසිය යුතුයි.

සයිටීස්‌ (CITES) යනුවෙන් හඳුන්වන්නේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ ව ඇති වන සතුන් හා පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර් ජාතික සම්මුතියයි. (Convention on International Trade in Endangered Species of Wild Founa and Flora) 1975 දී බලාත්මක කරන ලද අන්තර්ජාතික සම්මුතියක්‌ වන මෙමඟින් ගෝලීය වශයෙන් සිදු වන නීති විරෝධී සත්ත්ව හා ශාක කොටස්‌ වෙළෙම වළක්‌වා තිරසාරත්වය ආරක්‌ෂා වන පරිදි එවැනි වෙළෙඳාම් නියාමනයට ලක්‌ කිරීම සිදු කෙරෙනවා.

රටවල් 183ක්‌ මේ වන විට සාමාජිකත්වය දරන මේ සම්මුතිය මඟින් ආරක්‌ෂා කරනු ලබන හා නියාමනය කරනු ලබන සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ සාකච්ඡා කොට එකඟතාවට පැමිණීම සඳහා සැම වසර තුනකට ම වරක්‌ මුළු මහත් ලෝකයේ ම සයිටීස්‌ නියෝජිතයන් හා පාර්ශ්වකරුවන් එක්‌රැස්‌ වනවා. 2016 වසරේ ඔක්‌තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්‌බර්ග් නගරයේ මෙහි 17 වැනි මහා සමුළුව (Conference of Parties - CoP17) පැවැත්වුණු අතර 2019 වසරේ මැයි මාසයේ දී එහි 18 වැනි සමුළුව පැවැත්වීමේ ගෞරවය දිනාගන්නට ශ්‍රී ලංකාව සමත් ව සිටිනවා.

ලෝකයේ වඳ වීගෙන යන වන සතුන්ගේ හා ශාක ප්‍රජාව ආරක්‌ෂා කිරීම සඳහා වැඩපිළිවෙළ ගණනාවක්‌ ක්‍රියාත්මක වන අතර සයිටීස්‌ මෙහි ලා සුවිශේෂී කාර්යභාරයක්‌ කරනවා. සයිටීස්‌ සමුළුව මඟින් උපලේඛන තුනකට ගොනු කර සම්මත කරගනු ලබන ජීවීන් වෙළෙඳාම් කිරීම නියාමනය කිරීමට හෝ සම්පූර්ණයෙන් ම ඊට එරෙහි ව වැට බැඳීමට එහි සාමාජික රටවල් බැඳී සිටිනවා. මීළඟ වසර තුනට ම අදාළ ව මෙලෙස ජාත්‍යන්තර ආරක්‌ෂාව හිමි වන්නේ කුමන සතුන්ට ද කුමන ශාක ගහණවලට ද යන්න මේ සමුළුවේ දී තීරණය වන බැවින් මේ සමුළුව ඉතා ම තීරණාත්මක වැදගත්කමක්‌ උසුලන්නක්‌. උදාහරණයක්‌ ලෙස දැනට ශ්‍රී ලංකාවෙන් දුර්ලභ කටුසු විශේෂයක්‌ වන ගැටහොඹු කටුස්‌සා ඇතුළු කටුසු විශේෂ ගණනාවක්‌ රහසිගත ක්‍රමවලින් රටෙන් පිටමං කොට ජර්මනියේ වෙළෙඳපොළට විකුණනු ලබනවා. එහෙත් සයිටීස්‌ ලයිස්‌තුවෙහි මේ සතුන් ලයිස්‌තුගත ව නැති හෙයින් එම වෙළෙඳාම්වලට ජර්මනියෙන් බාධාවක්‌ එල්ල වන්නේ නැහැ. එසේ නමුත් මෙවර සමුළුවේ දී මේ කටුසු විශේෂය ඇතුළුව තවත් සත්ත්ව විශේෂ හතරක්‌ ශ්‍රී ලංකාවේ යෝජනාව පරිදි එයට ඇතුළු වීමට නියමිතයි. එය සම්මත වූ සැණින් ජර්මනිය ඇතුළු අනෙකුත් විදේශ රටවල වගකිව යුතු අධිකාරී මඟින් එම සතුන් යොදාගනිමින් සිදු කෙරෙන වෙළෙඳ ගනුදෙනු සම්පූර්ණයෙන් ම අත්හිටුවනු ඇති. එමඟින් අලෙවි අවකාශය අහිමි වීම නිසා එම සතුන් නීති විරෝධී ව අල්ලා විකිණීම අඩාළ වනු ඇති.

වඳ වී යන ශාක හා සත්ත්ව විශේෂවල ආරක්‌ෂාව සඳහා සයිටීස්‌ සමුළුවේ වැදගත්කම පිළිබඳ විවාදයක්‌ නොමැති මුත් රටක්‌ ලෙස අපට මේ සමුළුව වැදගත් වන්නේ ඒ නිසා ම පමණක්‌ නො වේ. මේ සමුළුව වෙත යොමු වන ජාත්‍යන්තර අවධානය අපේ රටේ කීර්ති නාමය ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමට හා රටේ සංචාරක ෙක්‌ෂaත්‍රය ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපාර අවස්‌ථා ඇති කරගැනීම ඇතුළු අරමුණු ගණනාවක්‌ ඉටු කරගැනීමට අවස්‌ථාව නිර්මාණය කරන්නක්‌.

ලෝකයේ වන ජීවීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශාලතම සමුළුව වන සයිටීස්‌ සමුළුව වෙනුවෙන් රටවල් 183ක්‌ නියෝජනය කරමින් 5,000කට අධික පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතයි. සමුළුවට සහභාගි වන සයිටීස්‌හි නියෝජිතයන්ට අමතර ව ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන බොහොමයක නියෝජිතයන්, ලෝකයේ ප්‍රධාන පරිසර සංවිධාන, රාජ්‍ය නො වන සංවිධාන, පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ආදි විශාල පිරිසක්‌ මේ සමුළුවට සහභාගි වනවා. දින 12ක්‌ පුරා කොළඹ බණ්‌ඩාරනායක සමුළු පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙහි ප්‍රධාන ඉසව්වට සමගාමී ව තවත් උප ඉසව් ගණනාවක්‌ ක්‍රියාත්මක වනවා. මේ සමුළුවෙන් උපරිම ප්‍රතිලාභයක්‌ අත්පත් කරගැනීම සඳහා සයිටීස්‌ ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, රේගුව, සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්‌ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ආදි ආයතන ගණනාවක්‌ සම්බන්ධීකරණය කරගනිමින් දැවැන්ත වැඩපිළිවෙළක්‌ දියත් කෙරෙමින් පවතිනවා.

සයිටීස්‌ ලේකම් කාර්යාලයේ ජෛව විවිධත්ව හා සංස්‌කෘතික අධ්‍යක්‌ෂ හා සමන්ත ගුණසේකර මහතා මේ වැඩපිළිවෙළ පැහැදිලි කරමින් විදුසර හා අදහස්‌ පළ කළේ මේ අයුරින්.

"අපේ රටට සයිටීස්‌ සමුළුවක්‌ ලබාගැනීමට හැකි වීම ඉතා ම විශාල ජයග්‍රහණයක්‌. මේ සඳහා මැදිහත් වූයේ එවකට තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍යවරයා ව සිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා. 2016 වසරේ දී අපි සයිටීස්‌ සම්මුතියට අනුකූල ව කටයුතු කරමින්, නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමේ දී අත්අඩංගුවට ගත් ඇත්දළ තොගයක්‌ විනාශ කළා. මෙයින් ජාත්‍යන්තර ව විශාල ප්‍රසාදයක්‌ අප වෙත ලැබුණා. අපේ රටේ ආර්ථිකයට බලපාන ජී. එස්‌. පී ප්ලස්‌ (GSP+) සහනය ලැබෙන්නටත් අප මෙලෙස සයිටීස්‌ නියමයන්ට අනුකූල ව ක්‍රියා කිරීම ප්‍රධාන හේතුවක්‌ වී තිබුණා. රටේ කීර්ති නාමය ඔසවා තැබීමට අවස්‌ථාව ලැබීමෙන් මෙමඟින් අපට ලැබෙන වාසිය සුළුපටු නැහැ.

මේ සමුළුව පැවැත්වීම හරහා සෘජු හා වක්‍ර වශයෙන් විශාල ආර්ථික වාසියක්‌ ලබන්නටත් අපට අවස්‌ථාව තිබෙනවා. මේ සමුළුව සමඟ පැමිණෙන පන් දහසක්‌ තරම් විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම් ආදිය සැපයීම මඟින් අපට සෘජු ව ම විශාල ආදායමක්‌ ලබාගැනීමට හැකියි. ඒ වගේ ම අපේ රටේ ඇති සංස්‌කෘතික වටිනාකම්, කලාත්මක නිර්මාණ, දේශීය නිෂ්පාදන ආදිය ප්‍රවර්ධනය කිරීමටත් මෙය අවස්‌ථාවක්‌ කරගැනීමට අපි කටයුතු සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන සමුළුව පැවැත්වෙන අතරතුර අපි නිදහස්‌ චතුරස්‍රය සහ ආකේඩ් ගොඩනැඟිල්ල ආවරණය කරගනිමින් සංස්‌කෘතික අංග ප්‍රවර්ධනය කරන ප්‍රදර්ශන හා වෙළෙඳ කලාපයක්‌ නිර්මාණය කරන්න කටයුතු යොදලා තියෙනවා. දහවල් කාලය තුළ අපේ රටේ ජනතාවට එය නැරඹිය හැකි අතර රාත්‍රී හතේ සිට දහය දක්‌වා එය සමුළුවට පැමිණෙන විදේශිකයන්ට පමණක්‌ විවෘත කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. මේ කලාපය තුළ අපි අත්කම් භාණ්‌ඩ, රෙදිපිළි, දේශීය කෑම වර්ග, සිහිවටන ආදිය ප්‍රදර්ශනයට හා මිල දී ගැනීමට අවස්‌ථාව ලබා දෙන අතර ම නාට්‍ය, නර්තනයන් ආදි ඉසව් ද පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා.

මීට අමතර ව මේ අවස්‌ථාව ලංකාවේ පරිසරය හා වන සතුන් ගේ ආරක්‌ෂාව ගැන ලාංකික ජනතාව දැනුවත් කරන්න මේක අවස්‌ථාවක්‌ කරගන්න අපි අපේක්‌ෂා කරනවා. ඒ අදහසින් ලබන වසරේ මැයි මාසයේ දී පැවැත්වෙන මේ සමුළුව ඉලක්‌ක කරගෙන රට පුරා පාසල් සිසුන් සහභාගි කරගනිමින් නාට්‍ය තරග, චිත්‍ර තරග, නැටුම් තරග, ඡායාරූප තරග ආදි තරග ගණනාවක්‌ පැවැත්වීමට අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ තරගවලින් ජයග්‍රහණ ලබන කණ්‌ඩායම්වලට සමුළුවේ දී තම දක්‌ෂතා විදහා දක්‌වන්න අවස්‌ථාවක්‌ ලැබෙන අතර ම ඔවුන්ට හිමි ත්‍යාග හා සහතික පත් ප්‍රදානයත් අපි ඊට සමගාමී ව සිදු කරන්නයි අදහස්‌ කරන්නේ. මීට අමතර ව සියලු විශ්වවිද්‍යාල සම්බන්ධ කරගනිමින් මේ මාතෘකාවන් පිළිබඳ විද්වත් සාකච්ඡා පෙළක්‌ පැවැත්වීමටත් අපි කටයුතු යොදමින් ඉනනවා. මීට අමතර ව වන ජීවීන් හා ශාක විශේෂ ආරක්‌ෂණයේ වැදගත්කම පිළිබඳ ව පණිවිඩය රැගත් ප්‍රචාරණ බස්‌ රථයක්‌ හරහා වීදි නාට්‍ය කණ්‌ඩායමක්‌ ද සමඟ ජනතාව දැනුවත් කරමින් රට පුරා යන්නටත් අපේ අදහසක්‌ තිබෙනවා.

මේ සමුළුව අපේ රටේ පැවැත්වෙන අති දැවැන්ත ම ඉසව්වයි. මීට පෙර මෙබඳු වැදගත්කමකින් යුත් ඉසව්වක්‌ මෙහි පැවැත්වී නැහැ. එනිසා මේ සමුළුව, ඉදිරියේ දී මෙවැනි සමුළුවක්‌ පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සියලු දෙනාට ම ආදර්ශයක්‌ වන පරිදි සැම අතින් ම ඉහළ මට්‌ටමින් සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මේ සමුළුවේ දී ලංකාවේ සිසුන් පිරිසකට මේ සමුළුව පැවැත්වෙන ආකාරය තම දෑසින් ම දැකිය හැකි අන්දමින් එය පැවැත්වෙන අතරවාරයේ ඒ තුළට යැමට අවස්‌ථාව සලසා ගැනීමට අපි සාකච්ඡා කරලා කටයුතු යොදාගෙන තියෙනවා. එක්‌සත් ජාතීන්ගේ සමුළුවකට යෙදෙන ඉතා දැඩි ආරක්‌ෂක තත්ත්ව යටතේ මෙවැනි අවස්‌ථාවක්‌ ලැබීම ඉතා ම සුවිශේෂී දෙයක්‌.



ඒ වගේ ම අපි මෙවර සයිටීස්‌ සමුළුව මෙයට පෙර කිසි ම සයිටීස්‌ සමුළුවක සිදු නො කළ අන්දමේ ආදර්ශයෙන් ම පරිසර හිතකාමී වැඩමුළුවක්‌ බවට පත් කරන්න කටයුතු යොදලා තියෙනවා. අපි මේ සමුළුව පුරාවට ම ප්ලාස්‌ටික්‌ බෝතල් භාවිත කරන්නේ නෑ. ඒ වගේ ම මුද්‍රිත පිටපත් භාවිතය හැකි තාක්‌ අවම කරලා තියෙනවා. ඒ වෙනුවට අපි ඇප් එකක්‌ හරහා සියලු ම විස්‌තර පත්‍රිකා ආදිය ඊ පත්‍රිකා ලෙස ලබාගන්නට පුළුවන් ආකාරයට අවකාශය සලසලා තියෙනවා. සමුළුවෙන් පස්‌සේ පාවිච්චි කළ සියලු ම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට හා නැවත භාවිතයට ගැනීමට අපි දැනට ම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේ ම සමුළුව පැවැත්වීම නිසා ප්‍රවාහන පහසුකම් ආදිය සැලසීමේ දී පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණය සම්පූර්ණයෙන් ම ඉවත් කළ හැකි අන්දමේ වනාන්තරයක්‌ කොළඹ ආසන්න හිස්‌ බිමක අලුතෙන් වගා කරන්නට අපි කටයුතු කරනවා. මෙවැන්නක්‌ සිදු වන්නේ ලෝකයෙන් ම ප්‍රථම වරටයි."

ලබන වසරේ පැවැත්වීමට නියමිත මේ දැවැන්ත සමුළුව ජාතියක්‌ වශයෙන් අප සියලු දෙනාට ඉතා වැදගත් වන හෙයින් ඒ පිළිබඳ දැනුවත් ව ඒ සඳහා පෙළ ගැසීමට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා ම කටයුතු කළ යුතු ව තිබෙනවා.

දමිත නිපුණජිත්