logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කටුපොල් වගාවෙන් වැනසෙන කෘෂිකර්මය, ජන දිවිය හා ජෛව ප්‍රජාව

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්‌වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාව ගේ සියලු අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වන විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක්‌ ශීඝ්‍රයෙන් ඉවත් කරමින් ස්‌ථාපිත කරමින් පවතී. ජාත්‍යන්තර ග්‍රීන් පීස්‌ සංවිධානය (Green Peace International) කුරිරු බවේ සංකේතය නමින් හදුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක්‌ බව හදුනාගෙන තිබිය දී ඒ පිළිබද ව අවධානයකින් තොර ව මෙරට වාණිජ වගාවක්‌ ලෙස ව්‍යාප්ත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ප්‍රධාන ගැටලුවකි.

පසුගිය රජය පැවැති සමයේ දී ඉන්දුනීසියාවේ කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ එවකට පැවැති රජයේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ගිවිසුම්ගත වී ඇත්තේ මෙරට තෙත් කලාපයේ සරුසාර වගා බිම් කටුපොල් වගාවන් බවට පරිවර්තනය කිරීමට ය. ඉන්දුනීසියාවේ වනාන්තර ඇතුළු ස්‌වාභාවික සම්පත් හා ජෛව ප්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින් ම වනසා දමා තිබිය දී අප රටේ තෙත් කලාපය එහි ගොදුරක්‌ බවට පත් කිරීමට දරන උත්සාහය අවබෝධ නො කරගත් මෙරට පාලකයන් කුරිරු බවේ සංකේතය ලෙස හදුන්වන ඉතා ම හානිකර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා මෙලෙස ගිවිසුම්ගත වීම කණගාටුවට කරුණකි.

මේ ගිවිසුමට අනුව අද වන විට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වගාබිම් එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක්‌ වුව ද එම ශාකය වාණිජ වගාවක්‌ ලෙස ස්‌ථාපිත කිරීමේ දී ගැටලු බොහොමයක්‌ පැනනඟී. ප්‍රධාන වශයෙන් ම භූගත ජලය අහිමි කිරීම, පාංශු ඛාදනය උග්‍ර කිරීම, ජල උල්පත් සිදී යැම වැනි තත්ත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව ප්‍රධාන දායකත්වයක්‌ සපයයි.

බොහෝ කටුපොල් වගාබිම්වල පස යටි වගාවකින් තොර ව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩි වීම හේතුවෙන් නිරිතදිග මෝසම් සුළං මඟින් හා අන්තර් මෝසම් සුළං මඟින් වැඩි වර්ෂාපතනයක්‌ හිමි වන තෙත් කලාපයේ මේ වගා බිම්වලින් වැඩි පාංශු ඛාදන තත්ත්වයක්‌ ඇති කරයි. මේ වගාබිම්වලට ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප්‍රමාණයක්‌ මතුපිට පස්‌ තට්‌ටු සෝදා යවමින් පස මතුපිටින් ගලා යැම පමණක්‌ සිදු වේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජලය භූගත වීමත්, භූගත ජල සංචිත ගොඩනැංවීමත්, දිය උල්පත් සක්‍රීය කිරීමත් සිදු නො කෙරෙයි. මෙසේ වැසි කාලයේ දී සිදු වන පාංශු ඛාදනය හේතුවෙන් කුඩා ජල මාර්ග රොන් මඩින් පිරී යැමේ තත්ත්වයන් ඇති කෙරේ. ඉන් පසුව වැසි රහිත කාලගුණයක්‌ පවතින කාලවල දී මේ වගා බිම්වලට ලැබෙන සූර්ය තාපය ඝෘජු ව ම පස මතුපිටට පතිත වීම හේතුවෙන් පසේ රැදී ඇති සුළු ජල ප්‍රමාණය ද වාෂ්පීකරණයට ලක්‌ වේ. ඊට අමතර ව ශාකවලින් උත්ස්‌වේදනය වන ජල ප්‍රමාණය හේතුවෙන් පස ශීඝ්‍රයෙන් වියළි තත්ත්වයට පත් වේ. මේ නිසා දිය උල්පත් සීදී යැම ශීඝ්‍රයෙන් සිදු වේ. එම නිසා කටුපොල් වගා බිම් ආශ්‍රිත ව පිහිටි ජල මාර්ග සම්පූර්ණයෙන් ම කෙටිකාලීන ව සිදී යැමට ලක්‌ වේ. මෙය ඝෘජු ව කටුපොල් වගා බිම් අවට ජීවත් වන ජනතාවට ජල අර්බුද ඇති කරනවාක්‌ මෙන් ම එම ජල මාර්ගවල ජලජ ජීවීන්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරයි.

යටත් විජිත යුගයේ තෙත් කලාපයේ කදුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙරට තෙත් වනාන්තරවාසී සත්ත්ව විශේෂ බොහොමයක්‌ සම්පූර්ණයෙන් ම වඳ වීම සිදු වී ඇත. ඉදිරියේ දී මේ තත්ත්වය වර්ධනය කිරීමට කටුපොල් වගාව ප්‍රධාන වශයෙන් දායක වනු ඇත. තෙත් කලාපයේ ජල මූලාශ්‍ර සිඳී යැමට කටුපොල් වගාව හේතු වන අතර එම ජල මූලාශ්‍රවල ජීවත් වන ලංකාවට ආවේණික ජලජ ශාක වන අති උඩයන්, කෙටල හා කෙකටිය ශාක විශේෂ මෙන් ම ජලජ ජීවීන් වන මිරිදිය මත්ස්‍ය විශේෂ, මිරිදිය ඉස්‌සන්, මිරිදිය කකුළුවන් හා මිරිදිය බෙල්ලන් විශේෂ බොහොමයක්‌ වඳ වීම සිදු වනු ඇත.

මීට අමතර ව එම ජල මූලාශ්‍ර ආශ්‍රිත ව ජීවත් වන ජනතාව ජල අර්බුදවලට ගොදුරු වීම පමණක්‌ නො ව මේ ප්‍රදේශයේ සිදු කෙරෙන සුළු පරිමාණ තේ වගාවට ද මේ තත්ත්වය ඉතා ම හානිකර ලෙස බලපානු ලැබේ.

මේ ආකාරයෙන් කටුපොල් වගාවෙන් හානිකර තත්ත්වයන් ගණනාවක්‌ ඇති වන බව හදුනාගෙන තිබිය දී ලංකාවේ තෙත් කලාපයේ පමණක්‌ නො ව වියළි කලාපයේ, මහවැලි ගඟ ආශ්‍රිත පිටාර තැනි වන කන්දකාඩුව ප්‍රදේශයේ ද කටුපොල් වගා කිරීමට එක්‌තරා පෞද්ගලික සමාගමකට අවස්‌ථාව ලබා දීමට පසුගිය කාලයේ දී පිඹුරුපත් සැකසිණි.

අප රටේ යටත් විජිත යුගයේ සිට වාණිජ වගාවන් ව්‍යාප්ත කළ ස්‌වභාවය හා ලෝකයේ කටුපොල් වගාවෙන් ලබාගන්නා තෙල්වලට පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඉදිරියේ දී තේ වගාව ඇතුළු ව මෙරට ව්‍යාප්ත කර ඇති අනෙක්‌ වාණිජ වගාවන්වල ස්‌වරූපය අනුව පෙනී යන්නේ ඉදිරියේ දී ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ සුවිශේෂී ප්‍රදේශ වේගයෙන් කටුපොල් වගාවේ ද ආක්‍රමණයට ලක්‌ විය හැකි බව ය.

ලංකාවේ කටුපොල් වගාවේ ඉතිහාසය

මෙරට පළමු වරට කටුපොල් වගාව ආරම්භ කරන ලද්දේ යුරෝපීය වැවිලිකරුවකු වන Jerry Wales විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්‌ටයාර 0.5ක භූමියක කටුපොල් ගස්‌ 68ක්‌ සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදි. අද වන විට ලංකාවේ විශාලතම කටුපොල් වගා බිම්වල හිමිකාරිත්වය ඇත්තේ ද වටවල වැවිලි සමාගමට ය. එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 3 157කි. මීට අමතර ව නමුණුකුල වැවිලි සමාගමට හෙක්‌ටයාර 2 041ක්‌, ඇල්පිටිය වැවිලි සමාගමට හෙක්‌ටයාර 1 571ක්‌, අගලවත්ත වැවිලි සමාගමට හෙක්‌ටයාර 1 311ක්‌, කෑගල්ල වැවිලි සමාගමට හෙක්‌ටයාර

1 125ක්‌ හා බගවන්තලාව වැවිලි සමාගමට හෙක්‌ටයාර 700ක්‌ හිමි ව ඇත. අද වන විට ලංකාවේ කටුපොල් වගාබිම්වල ව්‍යාප්තිය හෙක්‌ටයාර 10 000ක්‌ පමණ වේ. රජයේ අරමුණ එම අගය හෙක්‌ටයාර 20 000 දක්‌වා වර්ධනය කිරීමට ය. එහෙත් කටුපොල් වගාවෙන් ජන දිවියට, ජලයට හා ජෛව ප්‍රජාවට සිදු කරන බලපෑම් පිළිබද ව මේ වගා බිම් ව්‍යාප්ත කිරීම සදහා යොමු වීමට ප්‍රථම කිසිදු අවධානයක්‌ රජය සිදු කර නො මැත.

මාතර, ගාල්ල, කළුතර දිස්‌ත්‍රික්‌කවල ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වන විට රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්‌ත්‍රික්‌කවල ස්‌ථාපිත කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ලලාන් රබර් සමාගම විසින් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබේ.

කටුපොල් ශාකයේ ස්‌වාභාවික ව්‍යාප්තිය

සිංහලෙන් කටුපොල් ලෙස හදුන්වන මේ ශාකය ඉංග්‍රීසියෙන් Palm oil, African oil palm හා Macaw Fathk වැනි විවිධ නම්වලින් හදුන්වනු ලැබේ. මේ ශාකය විද්‍යාත්මක ව Elaeis guineensis ලෙස හදුන්වන අතර එහි ස්‌වාභාවික නිජබිම බටහිර හා නිරිතදිග අප්‍රිකානු රටවල් ය. එය ඇංගෝලාවේ සිට ගැම්බියාව දක්‌වා පැතිර පවතින කලාපයයි. 1763 දී Nicholaas Jacquin නම් විද්‍යාඥයා විසින් ගිනියාවෙන් සොයාගන්නා ලද ශාක නිදර්ශකයක්‌ චිත්‍රයට නඟමින් මේ ශාකය විද්‍යා ලොවට හදුන්වා දෙමින් නාමකරණය කර ඇති අතර ගිනියාවෙන් මේ ශාකය සොයාගත් බැවින් gunineensis යන විද්‍යාත්මක නාමය මේ ශාකයට ලබා දී තිබේ.

කටුපොල් වගාවේ වෙනත් රටවල අත්දැකීම්

වාණිජ වශයෙන් වැදගත් වන ශාකයක්‌ ලෙස කටුපොල් ශාකය පළමු ව හදුන්වා දෙනු ලැබ ඇත්තේ ලන්දේසීන් විසින් 1848 දී ජාවා දූපත්වලට ය. 1910 දී Scotsman William හා Henry Darby මැලේසියාවට මේ ශාකය හදුන්වා දී තිබේ. ලෝකයේ විශාලතම කටුපොල් වගා බිම් හිමිකරුවා වන්නේ Federal Land Development Authority නම් ආයතනයයි. මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ හෙක්‌ටයාර 900 000ක්‌ මේ ආයතනයට හිමි ය. මේ අධිකාරිය පිහිටුවා ඇත්තේ 1956 ජුලි 01 වැනි දින මැලේසියාවේ ඉඩම් සංවර්ධන පනතට අනුව දරිද්‍රතාව පිටුදැකීම සඳහා ය. කටුපොල් වගාව මේ රටවල ස්‌ථාපිත කිරීම සඳහා වසර 20ක දී ගෙවීම සඳහා වන, ණය ලබා දෙමින් සහන සලසමින් මේ වගා බිම් ස්‌ථාපිත කිරීමට අවශ්‍ය පෙලඹවීම සිදු කර තිබේ.

1957 දී මැලේසියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස්‌ වූ පසුව 1960 සහ 1970 අතර කාලයේ දී ඇති වූ රබර් මිල ගණන් පහත වැටීම නිසා එරට රජය කටුපොල් වගාව දිරිමත් කළේ ය. ඒ අනුව 1961 දී මැලේසියාවේ රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගාවන් ස්‌ථාපිත කිරීම ඇරඹිණි. ඒ අනුව මැලේසියාවේ 1961 දී වර්ග කිලෝ මීටර 3.75ක්‌ වූ කටුපොල් වගා බිම් 2000 වසර වන විට වර්ග කිලෝ මීටර් 6855.2ක්‌ දක්‌වා වර්ධනය විය. පසුව 2008 වසර වන විට එරට පවුල් 112,635ක්‌ වෙනත් ප්‍රදේශවල පදිංචි කර කෘෂිකාර්මික බිම්, වර්ග කිලෝ මීටර 8533.13ක්‌ අලුතින් කටුපොල් වගාව සඳහා යොදා ගැනිණ.

මැලේසියාවේ ගොවීන් වගා කළ කුඩා කෘෂිකාර්මික වගා බිම්වල කටුපොල් වගාව ස්‌ථාපිත කිරීමට යොමු කරගැනීම සඳහා 1966 දී Federal Land Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවා ඇත. මීට අමතර ව 1976 දී SarawakLand Consolidation and Rehabilitation Authority නම් ආයතනය පිහිටුවන ලදි. මේ ප්‍රතිපත්තිමය හා ආයතනික ගොඩනැඟීම මඟින් මැලේසියානු රජය බලාපොරොත්තු වී ඇත්තේ විවිධ බෝග වගාවන් සිදු කළ සුළු පරිමාණ ගොවීන් කටුපොල් වගාව සඳහා යොමු කරගෙන ජනතාවගේ දරිද්‍රතාව අඩු කිරීම ය.

මේ ප්‍රතිපත්තිමය යොමු වීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට මැලේසියාවේ වගා බිම්, ප්‍රාථමික වනාන්තර, ද්විතීයික වනාන්තර හා වගුරු බිම් ඉවත් කර කටුපොල් වගාව ස්‌ථාපිත කර තිබේ. මෙලෙස කටුපොල් වගාවට භාවිත කර ඇත්තේ මැලේසියාවේ ආදිවාසී ජනතාව ජීවත් වූ ඔවුන්ගේ නිජබිම් ය. ඔවුන්ට භූමියට ඇති අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි කරමින් ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් කර තිබේ.

මැලේසියාවේ පමණක්‌ නො ව ඉන්දුනීසියාවේ ද 1967 සිට අද දක්‌වා වර්ග කිලෝමීටර 15 000ක්‌ පමණ වූ බිම් ප්‍රමාණයක්‌ කටුපොල් වගාවට යොදාගෙන ඇත. ඉන් බහුතරයක්‌ වගා බිම් සකස්‌ කර ඇත්තේ ප්‍රාථාමික, නොඉඳුල් තෙත් වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කරමිනි.

බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනි තබා විනාශ කර කටුපොල් වගාව ව්‍යාප්ත කර තිබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට බෝර්නියෝ රට ගංවතුරින් නිරන්තර පීඩාවට පත් වන රටක්‌ බවට පරිවර්තනය වී ඇත.

සුමාත්‍රා දූපත්වල කටුපොල් වගාව සඳහා එළිපෙහෙළි කළ විශාල වනාන්තර ප්‍රමාණයේ ප්‍රතිඵලයක්‌ ලෙස එරට ජීවත් වූ සුමාත්‍රා ව්‍යාඝ්‍රයන් (Sumatran Tiger), සුමාත්‍රා රයිනෝ (Sulatran Rhinos), ආසියානු අලින් (Asian Elephant) හා ඔරංඋටන් (Orangutan) ඇතුළු විශාල ක්‌ෂීරපායී සත්තු බොහොමයක්‌ වඳ වෙමින් සිටිති.

පැපුවා නිව්ගිනියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ආදිවාසී ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වන්දි ලබා දීමකින් තොර ව කටුපොල් වගා කිරීම්, සමාගම් විසින් ඇති කරනු ලැබ තිබේ. බොහෝ දූපත්වල ආදිවාසී ජනතාව ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මේ වගා බිම් ස්‌ථාපිත කර ඇත.

2006 වසර වන විට කටුපොල් වගා කර ඇති සමස්‌ත භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 11 000 000ක්‌ නැත හොත් වර්ග සැතපුම් 42,000කි. මේ අනුව 2007 දී එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සියයට 98ක්‌ (98%) 2022 වන විට කටුපොල් වගාව ඇතුළු හානිකර ක්‍රියාවලීන්වල ප්‍රතිඵලයක්‌ ලෙස සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇති බව ය. ඊට හේතුව 2021 වන විට ලෝකයේ කටුපොල් වෙළෙඳපොළ ඩොලර් බිලියන 65.7 සිට ඩොලර් බිලියන 92.8 දක්‌වා වර්ධනය වන බව හදුනාගෙන තිබීම ය. එම වෙළෙඳපොළ අත්පත් කරගැනීම සඳහා කටුපොල් වගා කරන රටවල ක්‍රියාත්මක වන සමාගම් ශීඝ්‍රයෙන් තම වගා බිම් පුළුල් කරමින් සිටී.

අප රටේ ක්‍රියාත්මක වැවිලි සමාගම් ද මේ වගාවෙන් කුමන හානිකර තත්ත්වයන් ඇති වුව ද වේගයෙන් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන්නේ මේ වෙළෝදපොළ අත්පත් කරගැනීම සදහා ය. ලාභය වෙනුවෙන් පමණක්‌ ක්‍රියාත්මක වන මේ සමාගම්වලට රුචි පරිදි මේ ක්‍රියාවලිය සිදු කිරීමට අවස්‌ථාව ලබා දීමෙන් සිදු වන්නේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන සුළු පරිමාණ ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක්‌ වීම ය. රජය මැදිහත් විය යුතු වන්නේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක්‌ හා කෘෂිකර්ම ප්‍රතිපත්තියක්‌ රට තුළ ස්‌ථාපිත කර මේ හානිකර තත්ත්ව ඇති වීම පාලනය කිරීම සදහා ය. මෙවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නො වන රටක නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා සමාගම්වලට අවශ්‍ය පරිදි මේ ක්‍රියාවලිය මෙහෙයවීමට ඉඩකඩ ලබා දීමෙන් සිදු වන බලපෑම ඉදිරියේ දී මෙරට සුළු පරිමාණ ගොවියාට, සුළු පරිමාණ තේ නිෂ්පාදකයන්ට පමණක්‌ නො ව සියලු රට වැසියාට දරුණු ලෙස අත්විදින්නට සිදු වනු ඇත.

ලංකාවේ වාණිජ වගාවන්හි ආරම්භය හා විකාශනය මඟින් කටුපොල් වගාවේ අනාගත හානිකර ව්‍යාප්ති ප්‍රවණතා හදුනාගැනීම

අප රටේ දේශීය නො වන වාණිජ වගාවන් ස්‌ථාපිත කිරීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමුව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. එහෙත් කෝපි පළමුව වගා කරන්නේ බ්‍රිතාන්‍යයන් නො ව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලනු ලැබ ඇති අතර 1833 දී බ්‍රිතාන්‍යයන් විසින් කෝල්බෲක්‌-කැමරන් ප්‍රතිසංස්‌කරණ කොමිසම ගෙන ඒමෙන් පසුව මහා පරිමාණ වාණිජ වගාවක්‌ ලෙස මේ වගාව ස්‌ථාපිත කෙරිණ. ඒ සඳහා කදුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි - ඇතුන් ජීවත් වූ තෙත් කදුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර, කෝපි වගාව ස්‌ථාපිත කර තිබේ. 1860 වන විට ලංකාව කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක්‌ වූ අතර 1870 වන විට මෙරට කෝපි වගාව අක්‌කර 275 000ක්‌ දක්‌වා පැතිර තිබේ. ඒ අතරතුර කෝපි වගාවට දිලීර රෝගයක්‌ පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මේ වගා බිම් විනාශ වීම ආරම්භ විය.

මේ අතරතුර 1867 දී ඡේම්ස්‌ ටේලර් විසින් නුවර, ලුල්කදුර ප්‍රදේශයේ හෙක්‌ටයාර 8ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරිණි. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්ත ශාලාව ස්‌ථාපිත කළ ඡේම්ස්‌ ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කදුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්‌ටයාර 221 969ක්‌ පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්‌ටයාර 8කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක්‌ දක්‌වා ව්‍යාප්ත කිරීමට නොඉඳුල් කදුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කදුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්‌ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්‌ෂීත වනාන්තර පවා නීති විරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරිණ. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපණය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්‌ටයාර 133 668ක්‌ පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොළේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතාවන් සඳහා යොදාගැනීම තීන්දු වේ.

යටත්විජිත යුගයේ දී බ්‍රිතාන්‍යයන්, ලංකාවේ ස්‌ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක්‌ වගාව පිළිබඳව ද ඔවුන්ගේ අවධානයට ලක්‌ ව තිබේ. උක්‌ වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ය. එහෙත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක්‌ ලෙස උක්‌ වගාව ව්‍යාප්ත කර නො තිබිණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක්‌ වගාව ව්‍යාප්ත කිරීම ඇරඹිණි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක්‌ වශයෙන් උක්‌ වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක්‌ වගාව මහා පරිමාණයෙන් ව්‍යාප්ත කෙරිණ. මේ වන විට පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන දිස්‌ත්‍රික්‌කවල හෙක්‌ටයාර 30 530ක භූමි ප්‍රමාණයක උක්‌ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මීට අමතර ව මේ වන විට වරින් වර බිබිල ප්‍රදේශයේ අක්‌කර 62 500ක උක්‌ වගා බිම් අලුතින් ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් සකස්‌ කෙරෙමින් පවතී. වෙළෙඳපොළ ඉල්ලුමත් සමඟ ම හා මේ වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක්‌ තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාව බිද වැටෙන අවස්‌ථාවල දී සමාගම් උත්සාහ දරන්නේ අලුතින් වගා බිම් ස්‌ථාපිත කර ඵලදායීතාව වැඩි කරගැනීමට ය.

අද වන විට වාණිජ වගාවක්‌ ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක්‍රමණය කරමින් තිබේ. මිශ්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්‌ටයාර 12 957 ක්‌ ව පැවැති බඩඉරිඟු වගා බිම් ප්‍රමාණය අද වන විට හෙක්‌ටයාර

72 390ක්‌ දක්‌වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපදවූ හේaන් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරයක්‌ ලෙස ඒක බෝග වගාවක්‌ ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලුම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීහු ප්‍රවිෂ්ඨ වෙමින් සිටිති.

මේ වන විට වාණිජ වගාවක්‌ ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිෂ් කෙසෙල් ප්‍රභේදය වියළි කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදි ප්‍රදේශ ගණනාවක අක්‌කර 5 000ක්‌ පමණ මේ වන විට කැවැන්ඩිෂ් කෙසෙල් වගාව සඳහා යොදාගෙන ඇත. 2011 වසරේ දී පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්‌කර 11 650ක්‌ අපනයනය සදහා කැවැන්ඩිෂ් කෙසෙල් වගා කිරීමට ඩෝල් සමාගමට ලබා දෙන ලදි. එහෙත් එය පරිසර සංවිධානවල මැදිහත් වීම මත වළක්‌වාගත හැකි විය. එසේ වුවත් අද වන විට මේ වගාව, ප්‍රමුඛ වාණිජ වගාවක්‌ ලෙස ස්‌ථාපිත කිරීම සඳහා උත්සාහ දැරෙමින් පවතියි. මේ අනුව පෙනී යන්නේ ඒක බෝග වාණිජ වගාවන් මෙරට ස්‌ථාපිත කිරීමෙන් පසුව ශීඝ්‍රයෙන් අප රටේ ඉඩම් හා වනාන්තර ආක්‍රමණය කරමින් විවිධ සමාගම්වල මැදිහත් වීම මත එම වගාවන් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කෙරෙන බව ය. මේවා ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙරට සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වේ. ජල ප්‍රශ්නය, අලි - මිනිස්‌ ගැටුම, වගා බිම් අහිමි වීම, වගා බිම්වල ඵලදායීතාව බිඳවැටීම වැනි ගැටලු බොහොමයක්‌ ඒ හේතුවෙන් උද්ගත වේ.

මේ තත්වයන් මේ ආකාරයෙන් පවතිද්දී තවදුරටත් වාණිජ වගාවන් ස්‌ථාපිත කිරීමට යොමු වීම මඟින් අප රටේ ස්‌වාභාවික සම්පත් සියල්ල මෙන් ම සුළු ගොවීන් ද බලපෑමට ලක්‌ වන අතර අවසන් ප්‍රතිඵලය රටේ ආහාර ස්‌වෛරීභාවය බිඳ වැටීම ය. මේ යථාර්ථය අවබෝධ නො කර තවදුරටත් කටුපොල් වැනි වාණිජ වගාවන් අප රට තුළ ස්‌ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය යොමු වීම් ලබා දීම ගැටලු රැසක්‌ මතු කිරීමට හේතු වේ.

මේ තත්ත්වය අවබෝධ නො කරගන්නා රජයන් නීති විරෝධී ව විවිධ සමාගම් විසින් මෙරට ව්‍යාප්ත කෙරෙන කටුපොල් වගාවට එරෙහි ව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නො ගැනීම හා ඒ සදහා ප්‍රතිපත්තිමය තීරණයක්‌ නො ගැනීම නිසා ඇති වන ගැටලු තවදුරටත් වර්ධනය වෙමින් තිබේ.

කටු පොල් වගාව නීති විරෝධී වන්නේ කෙසේ ද?

වෙළෝදපොළ ඉල්ලුමත් සමඟ ම රබර් හා සමහර තේ වගා බිම් ඉවත් කර විවිධ සමාගම් විසින් කටුපොල් වගාව තම හිතුමතය පරිදි ව්‍යාප්ත කෙරෙමින් පැවතිය ද ජාතික පාරිසරික පනතට අනුව එලෙස මහ පරිමාණ වගා බිම් ඉවත් කරමින් කටුපොල් වගාව ව්‍යාප්ත කළ නොහැකි ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23n වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772රැ22 දරන ගැසට්‌ නිවේදනයට අනුව අක්‌කර 125කට වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. එහෙත් එකවර ඉතා විශාල භූමි ප්‍රදේශවල රබර් හා අතහැර දැමූ තේ වගා බිම් එළිපෙහෙළි කර කටුපොල් වගා කරනු ලබන්නේ මේ නීති උල්ලංඝනය කරමිනි.

එපමණක්‌ නො ව එම ගැසට්‌ නිවේදනයේ සදහන් වන පරිදි 1951 අංක 25 දරන පස සංරක්‌ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක්‌ එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. පස සංරක්‌ෂණ පනතේ 3 වැනි වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550රැ9 දරන ගැසට්‌ නිවේදනයට අනුව තෙත් කලාපයේ කඳුකර ප්‍රදේශ සියල්ල ම පාංශු සංරක්‌ෂණ ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප්‍රකාශයට පත් කළ පාංශු සංරක්‌ෂණ ප්‍රදේශවල රබර් වගා බිම් හා වෙනත් වගා බිම් ඉවත් කර, පස සම්පූර්ණයෙන් ම නිරාවරණය කර අලුතින් කටුපොල් වගා කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලැබුණ හොත් පමණක්‌ එම වගා බිම් ව්‍යාප්ත කළ හැකි ය.

එහෙත් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් සමාගම්වලට රිසි සේ ඉතා ම හානිකර වාණිජ වගාවක්‌ ලෙස ලෝකයේ හදුනාගෙන ඇති කටුපොල් වගාව මේ වන විට තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කිරීම වහා ම නතර කිරීමට රජය කටයුතු කළ යුතු ය. එපමණක්‌ නො ව ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම සදහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කළ යුතු අතර ඌන උපයෝජිත රබර් වගා බිම් හා තේ වගා බිම් ආහාර භෝග වගා කිරීම සදහා සුළු පරිමාණ ගොවීන්ට ලබා දිය යුතු අතර හදුනාගත් සංවේදී ප්‍රදේශ පාංශු සංරක්‌ෂණ හා ජල සංරක්‌ෂණ ප්‍රදේශ ලෙස සංරක්‌ෂණය කිරීම හා වනාන්තර ජාලගත කිරීම සදහා නැවත වන වගාවන් සදහා භාවිත කළ යුතු ය. ඒ තුළින් මෙරට ජනතාවගේ ජල සුරක්‌ෂsතතාව, සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික අයිතීන් හා පොදු භාවිත සම්පත්වල අයිතිය තහවුරු කළ යුතු ය. ඒ සදහා ප්‍රතිපත්ති හා නීති සම්පාදනයට රජයට බලපෑම් කිරීම අපගේ වගකීමකි.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිsසංස්‌කරණ ව්‍යාපාරයේ

සජීව චාමිකර