logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජොබ්ස්‌ලාගේ ගේට්‌ස්‌ලාගේ දරුවන්ට ඕනෑ නො වූ අපේ දරුවන්ට නැති ව ම බැරි 'තිර' තාක්‌ෂණය

තාක්‌ෂණය පෙර නො සිතූ විරූ නිර්මාණ සමාජය හමුවේ තබනවා හා සමාන වේගයකින් ම ඒවායේ බලපෑමෙන් සමාජය ද පෙර නො සිතූ විරූ අන්දමට වෙනස්‌ වනවා. දුර තියා කල්පනා කර බලා පරෙස්‌සම් නො වුණ හොත් එමගින් ඇති විය හැකි අයහපත් බලපෑම්වල ප්‍රතිඵල නිවැරැදි කරන්නට අපට අවස්‌ථාවක්‌ නො ලැබිය හැකියි.

ස්‌මාර්ට්‌ දුරකථන, ටැබ් ආදියෙන් නිර්මාණය කළ සමාජ ජාලා අවකාශය වයස්‌ භේදයකින් තොර ව බාල මහලු සියලු දෙනා ඉතා කැමැත්තෙන් වැළදගෙන එය තමාගේ ජීවිතයේ තීරණාත්මක කොටසක්‌ බවට පත් කරගෙන තිබෙනවා දැකිය හැකියි. වැඩිහිටියන්ට මෙයින් ඇති වන බලපෑම යම් මට්‌ටමකින් අවම විය හැකි වුවත් ජීවිතය හදුනාගනිමින් සිටින, සමාජයේ ජීවත් වීමට කුසලතා ගොඩනංවමින් සිටින ළමා පරපුරට මෙමගින් ඇති විය හැකි බලපෑම තීරණාත්මකයි.

ජංගම දුරකථන හා සමාජජාලා මඟින් ළමා පරපුර කෙරෙහි ඇති කරනු ලැබ ඇති බලපෑම ගැන ලෝකය පුරා පර්යේෂණ පැවැත්වී තිබෙනවා. එමගින් හෙළිදරව් වී ඇති කරුණු නම් එතරම් සුබදායී නැහැ.

සමාජජාල භාවිතයට ඇබ්බැහිය සමග බොහෝ දරුවන් මිතුරන් කණ්‌ඩායමක්‌ සමග එක්‌ ව සක්‍රිය ව ක්‍රියාකාරකම්වල නිරත වනවා වෙනුවට විශාල මිතුරන් ප්‍රමාණයක්‌ සමග දුරස්‌ථ ව සබදතා පවත්වනවා. මේ හරහා සැබෑ බැදියාවක්‌ ඇති නො වන බව MIT සරසවියේ මනෝවිද්‍යාඥ Sherry Turkle පවසනවා. ඇය විසින් මෑතක දී අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ ක්‍රීඩා හා වෙනත් සමාජ ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නන්ට වඩා සමාජ ජාල භාවිතයට ඇබ්බැහි වූවන් අවපීඩන තත්ත්වයට ලක්‌ වීමට සියයට 27කින් වැඩි අවස්‌ථාවක්‌ ඇති බවයි. එමෙන් ම දිනකට පැය තුනකට වඩා වැඩි කාලයක්‌ ස්‌මාර්ට්‌ දුරකථන වැනි තාක්‌ෂණික උපාංග භාවිතයට ඇබ්බැහි වී ඇති යෘවනයන් සියදිවි නසාගැනීමට වැඩි ප්‍රවණතාවක්‌ දක්‌වන බව ඇමෙරිකාවේ සැන්දියගෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙහි මනෝ විද්‍යාඥයකු වන Zean Twenge පවසනවා.

විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට ස්‌මාර්ට්‌ දුරකථන හා සමාජ ජාල භාවිතය නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අයහපත් බලපෑම් එල්ල කිරීමට ප්‍රධාන ම සාධකය හුදෙකලා බව පිළිබද හැගීමයි.

"අද තරුණ වයසේ ළමයින් පාටියකට හෝ විනෝද චාරිකාවකට හෝ ගිය විට එහි ගත කරන්නේ අඩු විනෝදකාමී කාලයක්‌ වුවත් ඉතා විනෝදකාමී අන්දමින් එය ගත කළ බව පෙන්වන ඡායාරූප කෙළවරක්‌ නැති ව සමාජජාල යෙදුම් තුළ පළ කරනවා. මෙය මෙවැනි අවස්‌ථාවලට ආරාධනාවක්‌ නො ලැබූ අය තුළ බොහෝ හිත් වේදනාවක්‌ ඇති කරනවා. සමාජජාල පැමිණීමට පෙර දී පවා මෙලෙස ආරාධනා නො ලැබූ දරුවකු තුළ හිත් වේදනා ඇති විය හැකි වුවත් දිනකට දෙකකට පසු සියලු දෙනා ඒ ගැන කතා කර අවසන් වන නිසා එය ඉක්‌මනින් අමතක වී යනවා. එහෙත් සමාජජාල තුළ නැවත නැවත අලුත් වන ඡායාරූප හා අදහස්‌ දැක්‌වීම් නිසා එම සිදුවීම දිගින් දිගට ම මතක්‌ වී එවැනි දරුවන් තුළ තමා කොන් කරනු ලැබුවේ ය යන හැගීම පැළපදියම් වී වර්ධනය වනවා. සමහර දරුවන්ට මෙවැනි මානසික පීඩාකාරී හැගීම් හිතවතකු හා කතා කිරීම හෝ වෙනත් අවස්‌ථාවලට සම්බන්ධ වීම වැනි ක්‍රම මගින් පිට කිරීමට අවකාශයක්‌ ඇත්තේ නැහැ. ඔවුන් එම වේදනාවන් පෞද්ගලික ව විද දරාගන්නවා. එම තත්ත්වය කෙමෙන් දරාගත නොහැකි මට්‌ටමකට වර්ධනය විය හැකියි."

එසේ පවසන Twenge මාපියන්ට උපදෙස්‌ දෙන්නේ දරුවන්ගේ ස්‌මාර්ට්‌ දුරකථන භාවිතයට සීමාවක්‌ පැනවිය යුතු බවයි. එමගින් ඔවුන් හානිකර රටාවන්ට ඇබ්බැහි වීමෙන් වළක්‌වාගත හැකි බව ඇය පවසනවා. හාස්‍යයට කාරණය වන්නේ මීට බොහෝ කලකට පෙර මේ තාක්‌ෂණික උපාංග වෙළෝද පොළට පිවිසෙන විට ඒවායේ නිර්මාණකරුවන් අතර සිටි ප්‍රධානතම චරිත දෙකක්‌ වන ස්‌ටීව් ජොබ්ස්‌ මෙන්ම බිල් ගේට්‌ස්‌ ද තම දරුවන්ට මේ තාක්‌ෂණික උපාංග භාවිතය සීමා කිරීමයි. අප බොහෝ ප්‍රමාද වී මේ පාඩම් උගෙන ගැනීමට උත්සාහ කරන අතරතුර ඔවුන් තමන්ගේ ම නිර්මාණවලින් දරුවන්ට ඇති විය හැකි අයහපත් බලපෑම ගැන හොද අවබෝධයකින් කටයුතු කර තිබෙනවා.

2007 වසරේ දී මයික්‍රොසොෆ්ට්‌ සමාගමේ නිර්මාතෘ බිල් ගේට්‌ස්‌ තම දියණිය වීඩියෝ ක්‍රීඩාවලට අහිතකර ලෙස ඇබ්බැහි වීම වළක්‌වාගැනීමට ඇය ඒ සදහා ගත කරන කාලයට සීමා පනවා තිබෙන බව වාර්තා වුණා. එමෙන් ම ඔහු සිය දරුවන්ට වයස අවුරුදු දහ හතර වන තුරු ජංගම දුරකථනයක්‌ භාවිත කිරීමට ඉඩ දී නැහැ. (අද ළමයින් ජංගම දුරකථන පරිහරණය අරඹන සාමාන්‍ය වයස වන්නේ වසර 10යි).

2012 දී මිය ගිය ඇපල් සමාගමේ නිර්මාතෘ ස්‌ටීව් ජොබ්ස්‌ 2011 වසරේ දී නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ ඒ වන විට අලුතෙන් ම නිකුත් කළ අයිපෑඩ් පරිගණක තම දරුවන්ට භාවිතය තහනම් කර ඇති බවයි. "අපි අපේ දරුවන් ගෙදර දී කොච්චර තාක්‌ෂණයට නිරාවරණය වනවා ද කියන එක සීමා කරලයි තියෙන්නේ" එහි දී ඔහු පවසා තිබුණා. අයිපෑඩ් පරිගණකයේ සම නිර්මාතෘ Tony Madell වරක්‌ පවසා තිබුණේ ස්‌ටීව් ජොබ්ස්‌ මේ වන විටත් ජීවත් ව සිටියා නම් අද දරුවන් තුළ ඇති තාක්‌ෂණ ඇබ්බැහිය පාලනය කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

පාසල්වල ඉගෙනුම් උපාංගයක්‌ ලෙස ජංගම පරිගණක භාවිතය ළමයින් මොට කිරීමට දායක වන්නේ කෙසේ ද යන්න පිළිබදව මෑතක ලියෑවී ඇති Screen Schooled නම් පොතෙහි කතුවරුන් වන Zoe Colement හා Matt Miles පෙන්වා දෙන්නේ සාමාන්‍ය මාපියන්ට වඩා සිලිකන් නිම්නයේ ධනවත් මාපියන් ඔවුන් නිර්මාණය කිරීමට දායක වී ආදායම් ලබන තාක්‌ෂණික ස්‌මාර්ට්‌ දුරකථන, ටැබ්ලට්‌, පරිගණක ආදියෙහි ඇති ඇබ්බැහිකාරක ගතිය පිළිබදව හොදින් දන්නා බවයි. ඔවුන් පවසන අන්දමට ඇමෙරිකාවේ සාමාන්‍ය පාසල්වල දරුවන්ට ටැබ්ලට්‌ ආදිය ලබා දී ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතර Waldorfschool වැනි සිලිකන් නිම්නයේ මුල් පෙළේ පාසල් ගණනාවක්‌ අධි තාක්‌ෂණය භාවිත කරනවා වෙනුවට චෝක්‌ කෑලි, පැන්සල් වැනි දේ ඉගැන්වීම් කටයුතු සදහා යොදාගන්නවා. වෙනත් පාසල්වල ළමයින්ට කුඩා කල සිට කේතනය කිරීමට උගන්වද්දී මෙම සිලිකන් නිම්නයේ පාසල් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ පරිසරය සමග ගනුදෙනු කිරීම, එකිනෙකාට ගරු කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීම වැනි මෘදු කුසලතා වර්ධනය කිරීමටයි.

තාක්‌ෂණය නිර්මාණය කළ එයින් ආදායම් උපදවන පුද්ගලයන් තම දරුවන් තාක්‌ෂණික උපාංගවලට ඇබ්බැහි වීම වළක්‌වාගන්නට දරන උත්සාහය තුළ අපට උගත හැකි වැදගත් පාඩමක්‌ තිබෙනවා. ඒ අපේ දරුවන් කුඩා කල සිට අසීමිත ලෙස තාක්‌ෂණික ව බල ගන්වන්නට හෝ බලගැන්වෙන්නට ඉඩ හැරීම තුළ අවසානයේ සමාජයීය වශයෙන් අංග විකල දරුවකු බිහි වීමට ඇති අවදානම හුදු සංකල්පනාවක්‌ පමණක්‌ නො වන බවයි.

දමිත නිපුණජිත්