logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සයිටීස්‌ සම්මුතිය යනු කුමක්‌ ද?

වඳ වී යැමේ තර්ජනයට ලක්‌ ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (Convention on International Trade in Endangered Species of Wild Fauna & Flora CITES) යනුවෙන් මෙය හඳුන්වා දිය හැකි ය.

මීළඟ සාමාජික මහා සමුළුව (CITES CoP 18) 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත නිසා මේ පිළිබඳ ව දැනුවත් වීම ශ්‍රී ලංකික කා හටත් වැදගත් වනු ඇත.

අන්තර්ජාතික මට්‌ටමේ සම්මුතියක්‌ වන මෙය 1973 දී වොෂින්ටන් නුවර දී පවත්වන ලද සමාරම්භක සැසියේ දී අත්සන් තබා 1975 දී බලාත්මක කෙරුණු අතර අද වන විට මෙහි සාමාජික සංඛ්‍යාව රටවල් 183කි. ශ්‍රී ලංකාව විසින් මේ සම්මුතියට අත්සන් කරන ලද්දේ 1979 වර්ෂයේ දී ය.

සයිටීස්‌ ලේකම් කාර්යාලය පිහිටුවා ඇත්තේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර ය. සයිටීස්‌ මහලේකම්වරයා මෙහි ප්‍රධාන තනතුර හොබවයි. මේ සම්මුතිය සඳහා උපදෙස්‌ දෙන කමිටු 03ක්‌ වන අතර ඒවා පැළෑටි, සතුන් සහ නාමකරණය සඳහා වෙන් ව ඇත. සාමාජික රටවල් විසින් වසර 03කට වරක්‌ සාමාජික මහා සමුළුවේ දී මුණගැසී අදාළ තීරණ ගැනීම සිදු කරනු ලබයි. ඒ ඒ රටවල පිහිටි සයිටීස්‌ කළමනාකරණ අධිකාරිය මගින් ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු මෙන්ම රට තුළ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. ලෝක රේගු සංවිධානය (WCO) සහ ඉන්ටර්පෝල් (Interpol) මෙහි නීති ක්‍රියාත්මක කරන්නා වූ අනෙකුත් ආයතන වේ. මෙයට අමතර ව එක්‌සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP-WCMC), ලෝක සංරක්‍ෂණ සංගමය (IUCN), අන්තර්ජාතික ජීවීන් අධීක්‍ෂණය කිරීමේ ආයතනය (TRAFFIC International) වැනි ආයතන මගින් විශේෂඥ සහාය සපයනු ලබයි. එසේ ම සයිටීස්‌ සම්මුතිය, ජෛවවිවිධත්ව සම්මුතිය (CBD), අන්තරායකාරී විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය සහ බැහැර කිරීම පිළිබඳ සම්මුතිය (BASAL Convention), අන්තර්ජාතික තෙත්බිම් පිළිබඳ සම්මුතිය (RAMSAR Convention), පර්යටන විශේෂ පිළිබඳ සම්මුතිය (Convention on Migratory Species) වැනි අන්තර්ජාතික සම්මුතීsන් සමග ද එක්‌ ව කටයුතු කරයි.

සයිටීස්‌ සම්මුතියෙහි මූලික සංකල්පය වන්නේ අන්තර්ජාතික වෙළෙඳාම නිසා තර්ජනයට ලක්‌ වී ඇති වන සතුන් සහ පැළෑටිවලට අදාළ වෙළෙඳාම පාලනය කිරීම මගින් එම ජීවීන් සංරක්‌ෂණය සිදු කිරීමයි.

සයිටීස්‌ සම්මුතියෙහි ක්‍රියාකාරී සැලැස්‌ම

සයිටීස්‌ සම්මුතිය ක්‍රියා කරනු ලබන ආකාරය -

සාමාජික රටවල් 183හි එකඟතාවෙන් ඇති කරගන්නා ලද සැකැස්‌ම සහ නීති රෙගුලාසි මාලාව මගින් අන්තර්ජාතික වෙළෙඳාම පාලනය කරනු ලබයි. මේ ආකාරයට දැනට යෝජනාවලි 95ක්‌ පමණ සම්මත කරගෙන තිබේ.

අන්තර්ජාතික මට්‌ටමින් සම්මුතියට අදාළ නීති ක්‍රියාත්මක වුව ද එක්‌ එක්‌ රටවල දේශීය නීති රාමුව සහ යාන්ත්‍රණය ඒ ඒ රටවලට අනුකූල ව සකස්‌ කරගත යුතු ව ඇත.

සයිටීස්‌ සම්මුතිය තම රටවල ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම පිණිස එක්‌ එක්‌ රටවල නීතිමය රාමුව තුළ සයිටීස්‌ කළමනාකරණ අධිකාරියක්‌ සහ විද්‍යාත්මක උපදේශන අධිකාරියක්‌ ද එකිනෙකට නිදහස්‌ ව ස්‌ථාපිත වී තිබිය යුතු ය. නීති ක්‍රියාත්මක කිරීම වෙන ම සිදු විය යුතු ය. එසේ ම සම්මුතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම, දඩ නියම කිරීම වැනි දඬුවම් පැමිණවීමට ද, රාජසන්තක කරන ලද භාණ්‌ඩ අපැහරණයට ද නීතිමය හැකියාව තිබිය යුතු ය.

සයිටීස්‌ බලපත්‍ර නිකුත් කිරීම, අර්ධ වාර්ෂික සහ වාර්ෂික වාර්තා පිළියෙළ කිරීම, සම්බන්ධීකරණ කටයුතු ආදිය කළමනාකරණ අධිකාරිය වෙත පැවරෙන ප්‍රධාන රාජකාරි අතර වෙයි.

වනජීවීන්ගේ පැවැත්මට හානි නො වන ආකාරයේ විද්‍යාත්මක උපදෙස්‌ (Non detrimental findings) කළමනාකරණ අධිකාරිය වෙත ලබා දීම විද්‍යාත්මක උපදේශන අධිකාරියේ කාර්යභාරය වන්නේ ය.

සයිටීස්‌ සම්මුතියට අනුගත ව වන සතුන් සහ පැළෑටි පිළිබඳ උපලේඛන 03ක්‌ තිබේ. මේ උපලේඛනවලට වනජීවීන් ඇතුළත් කිරීම සාමාජික මහා සමුළුවේ දී ඒ ඒ රටවල අනුමැතිය මත සිදු කරනු ලබයි.

පළමු වැනි උප ලේඛනයට (Appendix I) ඇතුළත් සතුන් සහ පැළෑටි වාණිජමය කටයුතු සඳහා භාවිතය තහනම් වන අතර විද්‍යාත්මක පර්යේෂණ හෝ අධ්‍යාපන වැනි කටයුතු සඳහා සීමිත හුවමාරුවක්‌ පමණක්‌ අනුමත කර ඇත. දෙවැනි උපලේඛනයට (Appendix II) ඇතුළත් සතුන් සහ පැළෑටි අදාළ බලපත්‍රමය පාලනයක්‌ යටතේ වෙළෙඳාම සිදු කළ හැකි ය. තුන්වැනි උපලේඛනය (Appendix III) යටතෙහි ජීවීන් ඇතුළත් කරනු ලබන්නේ ඒ ඒ රටවල ඉල්ලීම මත ය. මේ උපලේඛනවල ඇතුළත් ජීවීන්, අන්තර්ජාතික වෙළෙඳාම සිදු කරන්නේ නම් එය ඔවුන්ගේ පැවැත්මට හානිකර නො විය යුතු ය.

රූපය 01: සයිටීස්‌ සැකැස්‌ම



සයිටීස්‌ සම්මුතියෙහි ක්‍රියාකාරී පාර්ශ්වකරුවකු වීමේ වාසි

ශ්‍රී ලංකාවේ දුර්ලභ ජීවීන් මෙරට දේශසීමාවෙන් ඔබ්බෙහි අන්තර්ජාතික වෙළෙඳාමට භාජන වීමේ දී එය පාලනය කිරීමට ඇති එක ම විසඳුම සයිටීස්‌ සම්මුතියයි. මේ සඳහා දිය හැකි කදිම නිදර්ශනය වන්නේ ජර්මනිය ප්‍රමුඛ යුරෝපා රටවල මේ දිනවල විශාල වශයෙන් සිදු වන මෙරටට ඒකදේශික දුර්ලභ උරගයන් වෙළෙඳාමයි. හොර රහසේ මෙරටින් පිටරටට

රැගෙන යන මේ සතුන් යුරෝපයේ දී බලධාරීන්ට ප්‍රකාශ කරන්නේ සයිටීස්‌ සම්මුතියට ඇතුළත් නො වන සතුන් (Non CITES Species) බවයි. මෙමගින් කිසිදු අවහිරයකින් තොර ව මේ සතුන් රට තුළට ගෙන යැම පමණක්‌ නො ව නිදහසේ විකිණීමට අවසර තිබෙන බව විදේශ වාර්තා ගණනාවක්‌ මඟින් පෙන්වා දී තිබේ.

රූපය 02: යුරෝපා වෙළෝදපළෙහි/සමාජ ජාලාවල විකිණීමට ඇති ශ්‍රී ලංකාවට ආවේණික උරගයන්



ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට යොමු වී ඇති ඇත් දළ සහ රෝස්‌වුඩ් දැව වැනි අති දැවැන්ත ජාවාරම් ශ්‍රී ලංකාව හරහා සංක්‍රමණය වන භාණ්‌ඩ ලෙස ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අදාළ මහා පරිමාණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ දී නීතිමය පිටිවහල සයිටීස්‌ සම්මුතිය මගින් ලබාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ දැනට සජීවී මත්ස්‍යයන් ප්‍රමුඛ වනජීවීන් සහ ජෛව සම්පත් අපනයනය සිදු වන්නේ ඉතා අක්‍රමවත් ආකාරයකට ය. දේශීය මිරිදිය මසුන් සහ කොරල්පරවාසී මසුන් සහ අනෙකුත් ජීවීන් අපනයනයෙන් සිදු වන විශාල පාරිසරික හානිය වළක්‌වා එම සතුන් සංරක්‍ෂණයේ දී මෙය හොඳ උපාය මාර්ගයකි.

රට හමුවෙහි ඇති අභියෝග

මීළඟ සාමාජික රටවල මහා සමුළුව 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නිසා මෙරට සියලු ම පුරවැසියන් මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක්‌ ලබා තිබිය යුතු ය. ඒ මෙරට ඉතිහාසයෙහි එතෙක්‌ මෙතෙක්‌ පැවැත්වීමට නියමිත විශාලතම අන්තර්ජාතික සමුළුව මෙය වන බැවිනි. මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිසා එහි නිසි ප්‍රතිලාභ ලබාගැනීමට ගරු ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ මොහොතේ මේ පිළිබද අවධානය යොමු කර තිබෙනවා. එලෙස ම මුළු රජය ම මේ සමුළුව ගැන ප්‍රමුඛතාවක්‌ ලබා දී තිබෙනවා. මෙයට පෙර මේ සමුළුව පැවැත්වූ රටවල විෂයභාර ඇමැතිවරයා පමණක්‌ නො ව එරට පරිසර, සංචාරක, සංස්‌කෘතික, වෙළෙඳ, විදේශ, රාජ්‍ය පරිපාලන, ආරක්‍ෂක, ප්‍රවාහන වැනි විවිධ රාජ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් සිය දායකත්වය ලබා දී එම රටට ලැබිය යුතු ප්‍රචාරය, ගෞරවය, ආදායම, සංචාරක ප්‍රවර්ධනය වැනි විවිධ අංශ ඔස්‌සේ කෙළින් ම හෝ අනියම් ආකාරයෙන් හෝ ප්‍රතිලාභ රටට ලබාගැනීමට කටයුතු කර ඇති අතර ඒ ආකාරයෙන් ම ශ්‍රී ලංකාව ද ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

සාමාජික රටවල් 183ක නියෝජිත පිරිසට අමතර ව අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නො වන සංවිධාන, විවිධාකාර පරිසර සංවිධාන, ලොව පුරා මාධ්‍යවේදීන් දහස්‌ ගණනක්‌ ද මේ දැවැන්ත සමුළුවට සහභාගි වීම සඳහා පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකා රේගුව මගින් 'ලේවැකුණු' ඇත්දළ තොගය අත්අඩංගුවට ගැනීම (2012) සහ විනාශ කිරීම (2016) මෙන් ම මහා පරිමාණ රෝස්‌වුඩ් දැව ජාවාරම මුල් වරට නිරාවරණය කරගැනීම (2014) වැනි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් දැවැන්ත මෙහෙයුම් නිසා සයිටීස්‌ පාර්ශ්වකරුවන් තුළ යම් තරමක යහපත් ප්‍රවණතාවක්‌ මෙරට පිළිබඳව ඇති වී තිබේ.

මීළඟ සාමාජික මහා සමුළුව 2019 දී ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2016 ඔක්‌තෝබර් මස 05 වැනි දින පසුගිය මහා සමුළුවේ (CITES Cop17) සමාප්ති උත්සවයේ දී ය.

ඒ අනුව මේ දැවැන්ත සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන බව මෙරට ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබයි.

සමුළුව නිසි ලෙස පැවැත්වීම සංවිධානය කිරීමට අමතර ව රටට කීර්තියක්‌ අත් කරගැනී ම, සංචාරක ප්‍රවර්ධනය, අප සංස්‌කෘතිය සහ ජාතික උරුමයන් ලොවට හුවාදැක්‌වීම, යටිතල පහසුකම් වර්ධනය, ආදායමක්‌ ලබාගැනීම වැනි කරුණු මීළඟට වැදගත් වෙයි. මේ සඳහා නිසි සැලැස්‌මක්‌ සහ මගපෙන්වීමක්‌ යටතේ මෙරට සියලු පුරවැසියන් එක්‌ ව කටයුතු කළ හොත් මේ මහා සමුළුව සාර්ථක ව පැවැත්වීම අපහසු කරුණක්‌ නො වනු ඇත. ඒ සදහා ජනතාව ගේ පූර්ණ දායකත්වය සයිටීස්‌ ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අපේක්‌ෂා කර සිටියි.