logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මෙරට පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තා ක්‍රියාවලියේ ඌනතා

ශ්‍රී ලාංකිකයකු වන අරෝෂ් බුද්ධික හපුආරච්චි විසින් සිය ආචාර්ය උපාධිය සදහා ලින්කන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද නිබන්ධයට පාදක වී ඇත්තේ පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තා (EIA) මගින් සංවර්ධන ක්‍රියාවලියට ලැබෙන දායකත්වයයි. Effectiveness Of Enviromental Impact Assesment මැයෙන් වූ මේ අධ්‍යයනයේ දී ඔහු රටවල් දෙකක්‌ තෝරාගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාව හා නවසීලන්තයයි. ශ්‍රී ලංකාවට අදාළ පර්යේෂණයේ දී පර්යේෂකයා පෙන්වා දෙන්නේ මේ තක්‌සේරු වාර්තා ඉදිරිපත් කිරීමේ අරමුණ ඉතා යහපත් වුව ද ඒවා ක්‍රියාත්මක වන අකාරයේ දොaෂ හේතු කොටගෙන එම අපේක්‌ෂිත අරමුණ ඉටු ව නැති බවයි. එහෙත් එයින් ඇගවෙන්නේ මේ වාර්තා ක්‍රමය අසාර්ථක බව නො ව මේ ක්‍රමය වඩාත් ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරවීමට පියවර ගත යුතු බවයි.

කෙසේ වුව ද එවැනි තත්ත්වයක්‌ යටතේ පවා මේ තක්‌සේරු වාර්තා ක්‍රියාදාමය මගින් යම් ආකාරයක මෙහෙවරක්‌ වන බව හපුආරච්චි පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව හා සසදමින් පර්යේෂකයා පෙන්වා දෙන්නේ නවසීලන්තය තුළ පාරිසරික අගැයුම් වාර්තා හරහා සංවර්ධන ක්‍රියාදාමයක්‌ තුළ පාරිසරය සුරැකී අවශ්‍ය සංවර්ධනය ද ඉතා කාර්යක්‌ෂම ලෙස තහවුරු වන බවයි. එයට හේතුව ඒ රටේ මේ හා අදාළ කටයුතු ක්‍රියාත්මක වීමේ දී පවත්නා පාරදෘෂ්‍යභාවය, ජනතාවගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ කැප වීම යනාදිය බවයි.

පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තාව ලබාගැනීමේ පියවර

ශ්‍රී ලංකාව තුළ පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තාව ලබාගැනීමට අදාළ නීතිමය රාමුව වර්ධනය වී ඇත්තේ 1988 ජාතික පාරිසරික පණත මගිනි. මේ වාර්තාව ලබාගත යුතු වන්නේ මහා පරිමාණ ව්‍යාපෘති සදහා හෝ පාරිසරික ලෙස වඩා සංවේදී ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘති සදහා හෝ වේ. මෙකී වාර්තාව ලබාගත යුතු ව්‍යාපෘති ප්‍රභේද පිළිබඳ ලයිස්‌තුවක්‌ 1993.06.24 772/22 ගැසට්‌ පත්‍රයේ පළ වී ඇත.

EIA ක්‍රියාදාමය ප්‍රධාන පියවර හයකින් සමන්විත ය. ඒවා නම්

(i) පූර්ව පරීක්‌ෂාව - ව්‍යාපෘතියට මේ වාර්තාව අවශ්‍ය ද යන්න විමසා බලන පියවර පූර්ව පරීක්‌ෂාව.

(ii) විෂය පථ විමර්ශනය - අදාළ විෂය පථය තීරණය කොට කොන්දේසි හා පසුබිම් තොරතුරු රැස්‌ කිරීම හා ගොඩනැගීම.

(iii) වාර්තාව සැකසීම

(iv) සමාලෝචනය - මෙය දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ. එකක්‌ නම් මහජනතාව විසින් සිදු කෙරෙන සමාලෝචනයයි. අනෙක රාජ්‍ය අංශවල දායකත්වයෙන් කෙරෙන තාක්‌ෂණික සමාලෝචනයයි.

(v) අනුමැතිය ලබා දීම හෝ ප්‍රතික්‌ෂේප කිරීම - පස්‌වැනි පියවර වන්නේ අනුමැතිය ලබා දීම හෝ ප්‍රතික්‌ෂේප කිරීමයි. සමහර අවස්‌ථාවල දී විශේෂ කොන්දේසි සමග අනුමැතිය ලබා දේ.

(vi) පශ්චාත් විමර්ශනය - අවසාන පියවර වන්නේ පසු විමසුමක්‌ සිදු කිරීමයි.

පළමු පියවර දින 6කින් ද, දෙවැන්න දින 14කින් ද සිදු කළ යුතු ය. තුන්වැනි පියවර සදහා නිශ්චිත කාලයක්‌ නැත. හතරවැනි පියවර සදහා කාලය දින 51කි. ඒ මහජන සමාලෝචන සදහා දින 21ක්‌ ද, රාජ්‍ය තාක්‌ෂණික සමාලෝචන සදහා දින 21ක්‌ ද වශයෙනි.

ඇගයුම් වාර්තාවෙන් පරිසරය හා පරිසරයේ ජීවීන්ගේ ආරක්‌ෂාව තහවුරු වනවා

1993 දී කරන ලද සංශෝධනයක්‌ මගින් වනජීවී ප්‍රදේශවලට අදාළ ව කෙරෙන සංවර්ධන කටයුතු සදහා ද මේ වාර්තාව ලබාගැනීම අනිවාර්ය කෙරිණි. එනම් වන රක්‌ෂිතයට සැතපුමක්‌ ආසන්නයේ ඉදි කරන්නට යන මහා පරිමාණ ගොඩනැගිල්ලක්‌ හෝ වෙනයම් ව්‍යාපෘතියක්‌ හෝ සදහා මේ වාර්තාව ලබාගත යුතු ය.

මෙය පෞද්ගලික අංශයට පමණක්‌ නො ව රජයට ද අදාළ නීතියකි. රාජ්‍ය ආයනයක්‌ හෝ එවැනි ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් මේ වාර්තාව ලබාගත යුතු වේ.

ව්‍යාපෘති ආයතනය Project Proponent (PP) ලෙස හැදින්වේ. මේ ව්‍යාපෘති යෝජකයා සංවර්ධන ව්‍යාපාරයට අදාළ වාර්තාව පිළියෙල කළ යුතු වේ. වාර්තාව පිළියෙල කිරීමේ දී අවශ්‍ය නම් මධ්‍යම පරිසර අධිකාරියේ ඝෘජු උපදෙස්‌ ලද හැකි ය. නැත හොත් තමන්ට අවශ්‍ය විශේෂඥ සහාය ලද හැකි ය.

වාර්තාව ඉතා වටිනා ක්‍රියාදාමයක්‌ වුවත් අඩුලුහුඩුකම් ද පවතිනවා

The EIA Process in Sri Lanka මැයෙන් නිබන්ධයක්‌ ඉදිරිපත් කරන සීමාසහිත පාරිසරික පදනමේ දේශිකා චාමිණි කොඩිතුවක්‌කු පෙන්වා දෙන්නේ, පරිසරය අරක්‌ෂා කරගැනීම සදහා ඉතා මහගු කාර්යයක්‌ මේ වාර්තාව ඉටු කරන නමුත් එහි අඩුපාඩු පවතින බවයි.

"සමහර සංවර්ධන ව්‍යාපෘති යෝජකයන් වාර්තාව මඟගහැර යනවා. පළමුව සීමා තුළ රැදී පසුව වංචා කරනවා. නිදසුනක්‌ සේ දැක්‌වුව හොත් තෙත් බිම් ප්‍රදේශවල අදාළ සීමා යටතේ, එනම් හෙක්‌ටයාර 4ට අඩු සීමාවේ මුලින් ඉන්නවා. පසුව රහසෙන් ඒ සීමා ඉක්‌මවනවා." ඇය පවසයි.

සමහර අවස්‌ථාවන්හි දී සංවර්ධන යෝජකයා හා PAA එක ම ආයනය බවට පත් වන බව ද එහි දී සුවිශාල අසාධාරණයක්‌ වන බව ද ඇය පෙන්වා දෙයි. එනම් යම් අමාත්‍යංශයක්‌ යටතේ පවතින ආයතනයක්‌ මගින් සංවර්ධන යෝජනාවක්‌ ඉදිරිපත් කොට එම අමාත්‍යංශය ම ඒ සදහා PAA ලෙස කටයුතු කළ විට මේ තත්ත්වය උදා වෙයි. අධිවේගී මාර්ග සෑදීමේ දී සමහර අවස්‌ථාවල මේ තත්ත්වය උද්ගත වූ බව ඇය අවධාරණය කරයි. මෙවැනි අවස්‌ථාවක ව්‍යාපෘති යෝජකයාගේ අදහස්‌වලට ව්‍යාපෘති නිරීක්‌ෂක අංශයෙන් කිසිදු විරෝධයක්‌ එල්ල නො වේ. මන්ද යත් තම අමාත්‍යංශය යටතේ ම දියත් වන වැඩසටහනකට එරෙහි වීම නුසුදුසු දෙයක්‌ වන බැවිනි. මේ ගැටලුව විසදීමට නම් ව්‍යාපෘති යෝජකයා ඇතුළත් වන අමාත්‍යංශයේ කිසිදු දෙපාර්තමේන්තුවකට මේ ව්‍යාපෘතියේ PAA ලෙස කටයුතු කරන්නට ඉඩ නො දිය යුතු ය. එසේ ම රාජ්‍ය නො වන ආයතන යෝජකයක්‌ ලෙස ඉදිරිපත් වන විට ඔවුන් හා සමීප ව නිරන්තරයෙන් කටයුතු කළ රාජ්‍ය ආයතන PAA ලෙස ඉදිරිපත් කිරීම ද වැළැක්‌වීය යුතු ය.

දත්ත හිගකම හා ව්‍යාජ දත්ත නිර්මාණය

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති යෝජකයන් විසින් සිදු කරනු ලබන තවත් වරදක්‌ පර්යේෂිකාව හෙළි කරයි. එය නම් සමහර පරිසර දත්ත විකෘති කිරීම හෝ සම්පූර්ණයෙන් ප්‍රබන්ධ කිරීමයි. සමහර විට ව්‍යාපෘති යෝජකයෝ නො දැනුවත්කම නිසා මෙලෙස ව්‍යාජ දත්ත දෙති. සමහර විට හිතාමතාම කරති. ඇතැම් අවස්‌ථාවල යම් යම් දේ සම්බන්ධ පාරිසරික දත්ත සොයාගැනීම ඉතා අසීරු ය. සමහර දත්ත රාජ්‍ය ආයතන සතු ව එවැනි දත්ත නැත. එවැනි දත්ත ලබාගැනීමේ දී විශාල අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. සමහර අණපනත්වල ඡායාරූප පිටපත් ලබාගැනීම සදහා නිල වශයෙන් මෙන්ම නො නිල වශයෙන් ද විශාල ලෙස ගෙවීම් කරන්නට සිදු වේ. මෙලෙස දත්ත හිගකම ද ව්‍යාපෘති යෝජකයන් බොරු දත්ත ඉදිරිපත් කිරීමට එක්‌ හේතුවකි.

එසේ ම ව්‍යාපෘති යෝජකයා කිසි දිනක තමා ම ගොස්‌ මේ දත්ත එකතු කරන්නේ නැත. ඔහු මේ සදහා වැටුප් ලබන පිරිසක්‌ යොදවයි. ඒ සේවකයන් අවංක ව ම මේ දත්ත එක්‌රැස්‌ කිරීමට මෙන්ම එසේ නො කරන්නට ද ඉඩ තිබේ. එනිසා ද යම් අවස්‌ථාවල දී ව්‍යාජ පරිසර දත්ත ඉදිරිපත් වීමට ඉඩ ඇත. සමහර ව්‍යාපෘති යෝජකයෝ තමන්ගේ ව්‍යාපෘතිය ඇගයුම් වාර්තා අවශ්‍ය වන සීමාවෙන් මුදවාගන්නට මුල දී ම බොරු දත්ත ඉදිරිපත් කරති. එහි දී මධ්‍යම පරිසර අධිකාරියේ වගකීම වන්නේ මේවා ගැන පුළුල් විමර්ශනයක්‌ සිදු කිරීමයි. මධ්‍යම පරිසර අධිකාරිය සතු ව පරිසරය සම්බන්ධ පුළුල් පරාසයක පැතිරී යන දත්ත පද්ධති පැවතිය යුතු අතර එම දත්ත හැම මාස දෙකකට වරක්‌ වත් යාවත්කාලීන විය යුතු ය.

විශේෂඥ ඌනතා

විශේෂඥයන් යනු යම් ක්‍ෂේත්‍රයක යම් විෂයක උපරිම තලයෙහි දැනුමක්‌ ඇත්තවුන් ය. ඇගයුම් වාර්තා නිරීක්‌ෂණය සදහා එවැනි විශේෂඥයන් ගෙන් උපදෙස්‌ ගන්නේ ඒ ඥන සම්භාරය වාර්තාවේ අඩුලුහුඩුකම් දකින්නට ප්‍රමාණවත් යෑයි හගිමිනි. එහෙත් යම් යම් අවස්‌ථාවල දී අදාළ ක්‍ෂේත්‍රවලට නිසි විශේෂඥයන් හමු නො වේ. පර්යේෂිකාව සදහන් කරන්නේ රාජ්‍ය අංශ ව්‍යාපෘති යෝජකයන් ලෙස කටයුතු කරන විට විශේෂඥ සේවාවවල අඩුලුහුඩුකම් බහුල ව ඇති වන බවයි. නිදසුනක්‌ ලෙස රජය මෙලෙස විශේෂඥ සේවා ලබාගන්නේ ටෙන්ඩර් කැදවීමෙනි. ටෙන්ඩර්වල දී තෝරනු ලබන්නේ අඩු ම මිලයි. එවිට නිසි ලෙස සුදුසුකම් නොමැති අය මේ උපදේශන සේවා තුළට ඇතුළු වීමට ඉඩ තිබේ. පර්යේෂිකාව මේ චෝදනාව කරන්නේ රාජ්‍ය අංශවලට අදාළ ව පමණක්‌ වුව ද මෙය පෞද්ගලික අංශයට අදාළ ව්‍යාපෘතියක ද සිදු විය හැකි බව අපගේ හැගීම ය. පෞද්ගලික ආයතනවලට මුදල් යහමින් ඇති මුත් ඔවුන් මෙවැනි විශේෂඥ සේවා සදහා අත දිගහැර වියදම් කරන්නේ නැත. ඔවුන් වියදම් කරන්නේ මේ ව්‍යාපෘති තහවුරු කරගැනීම සදහා වන අත යට ගනුදෙනු සදහා ය. විශේෂයෙන් ම රජයේ පාර්ශ්වයන්ට හෝ දේශපාලනඥයන්ට හෝ අල්ලස්‌ දීම සදහා නම් ඔවුහු නොමසුරු ව වියදම් කරති.

සුදුසුකම් සහිත ම පුද්ගලයන් විශේෂඥ උපදේශකයන් ලෙස සපයා ගත් අවස්‌ථාවල දී පවා ගැටලු මතු වූ අවස්‌ථා ඇති බව පර්යේෂිකාව පෙන්වා දෙයි. මන්ද යත් උපදේශකයන් මේ ව්‍යාපෘති සදහා සේවා සැපයීමට එකතු වන්නේ කෙටි කාලයකට ය. කෙටිකාලීන ව සම්බන්ධ වන එවැනි අයට අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තිබුණ ද සමහර විට ඔවුනට මේ ක්‍ෂේත්‍රය සම්බන්ධ සුවිශාල බැදීමක්‌ නොමැත. ඒ නිසා මේ අය මේ සම්බන්ධ ව දක්‌වන දායකත්වය සම්බන්ධ ගැටලු මතු විය හැකි ය. එසේ ම මේ උපදේශකයන් ලෙස බදවාගන්නා අය අදාළ ව්‍යාපෘති යෝජකයන් සමග සබදතා පවත්වන අය දැයි සොයාගැනීම ද ඉතා අසීරු ය.

අප රට ඉතා කුඩා එකකි. යම් විශේෂිත ක්‍ෂේත්‍ර සම්බන්ධ විශේෂඥයන්ගේ ප්‍රමාණය ඉතා සීමිත නිසා ද අසීරුතා මතු වේ. මන්ද යත් පෞද්ගලික අංශයට උපදෙස්‌ දෙන එක ම පුද්ගලයා රජයට ද සමහර විට උපදෙස්‌ දෙයි. ඒ කාගේ වත් වරදක්‌ නිසා නො ව අදාළ විෂය සම්බන්ධ ව සිටින එක ම ප්‍රමාණිකයා ඔහු / ඇය වන බැවිනි. ඇමෙරිකාවේ හෝ යුරෝපීය රටවල තත්ත්වය මීට වෙනස්‌ ය. ඒවායේ නව්‍ය විෂය සම්බන්ධ විශේෂඥයෝa බහුල වෙති.

අපේ රටේ ජනතාවගේ ආකල්ප ද මේ යෝජනා අසාර්ථක වීමට තවත් හේතුවකි. මන්ද යත්, තම රට දියුණු විය යුතු යෑයි මේ රටේ බොහෝ දෙනෙක්‌ නො සිතති. රටට කුමක්‌ වුවත් තමාට කමක්‌ නැතැයි බොහෝ දෙනෙක්‌ සිතති. එනිසා අපේ ජනතාව මේ ඇගයුම් වාර්තාවලට සමාලෝචකයන් ලෙස දායකත්වයක්‌ දක්‌වන්නේ නැති තරම් ය. සමහර ඇගයුම් වාර්තා සදහා සමාලෝචන සහභාගීත්වය (පොදු මහජන) ඉතා අඩු ප්‍රතිශතයක පවතින බව අධ්‍යයන පෙන්වා දෙයි.

වාර්තාවල පරස්‌පරතා

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතාට අනුව ශ්‍රී ලංකාව තුළ ඇතැම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අරබයා ඉදිරිපත් කරන ලද පරිසර වාර්තා ඉතා ගැටලුසහගත ඒවා ය. ඔහු පවසන ආකාරයට සමහර වාර්තාවලට ඉදිරිපත් කරන පරිපූරක වාර්තා පවා ඉතා අවිධිමත් තත්ත්වයේ පවතී. එසේ ම ඇතැම් තක්‌සේරු වාර්තා සදහා මහජන අදහස්‌ විමසීමේ විධිමත් ක්‍රමවේදයන් නොමැත. ඔහුට අනුව ඉදිරිපත් කෙරෙන ඇතැම් තක්‌සේරු වාර්තාවල නීත්‍යනුකූල බව ද ප්‍රශ්න සහගත ය. එවැනි නීත්‍යනුකූල පදනමක්‌ නොමැති තක්‌සේරු වාර්තාවක්‌ මහජන අදහස්‌ විමසීම සදහා ඉදිරිපත් කළ නොහැකි ය.

වරාය නගරය ව්‍යාපෘතිය ආරම්භයේ දී සිට ම එයට එල්ල වූ එක්‌ චෝදනාවක්‌ වූයේ එහි පරිසර ඇගයුම් වාර්තාව අවධිමත් බවයි. පසුව මේ සඳහා රජය විවිධ පිළියම් යෙදී ය. එසේ වුවත් ඇතැම් පරිසර ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ තවමත් මේ සම්බන්ධ ගැටලු නිශ්චිත ව විසඳී නැති බවයි.

විශේෂයෙන් ම අලුතෙන් නිකුත් වූ වාර්තාව පරිපූර්ණ වාර්තාවක්‌ නො ව හුදු ඌන පූරණයක්‌ බවට ඔවුහු චෝදනා කරති. එවැනි ඌන පූරණ නිකුත් කිරීම මූලික සිද්ධාන්ත උල්ලංඝනය කිරීමක්‌ බව තවත් චෝදනාවකි. එසේ ම දැනට නිකුත් වී ඇති වාර්තාවේ පවා විකල්ප අධ්‍යයනයන් ඇතුළත් ව නැති බව ද චෝදනා නැඟෙයි.

පරිසරවේදීන් කරන මේ චෝදනා සම්බන්ධයෙන් අපි වරාය නගරය ව්‍යාපෘතියේ පරිසර උපදේශක ඩබ්. ඒ. ඩී. විඡේසූරිය මහතා ගෙන් විමසීමු. මෙහි දැක්‌වෙන්නේ ඔහු දුන් පිළිතුරයි.

"2014 දී නිකුත් වූ මුල් පාරිසරික ඇගයුම් වාර්තාවක්‌ සම්බන්ධ ව විවිධ චෝදනා එල්ල වුණා. හැබැයි 2015 දී අපි ඒ සඳහා Supplementory Impact Assesment to Port-City මැයෙන් පරිපූර්ණ වාර්තාවක්‌ ඉදිරිපත් කළා. මෙහි පරිපූරක/ඌන පූරක යන වචනය යෙදී තිබුණාට මෙය ඉතා ම පරිපූර්ණ වාර්තාවක්‌. එම වාර්තාව තුළ සියලු ම කරුණු ඇතුළත් වුණා. නමුත් 2015 වාර්තාව කෙරෙහි එවැනි චෝදනා එල්ල වූයේ නැහැ.

එහි කිසිදු අඩුපාඩුවක්‌ නැහැ. පුරාවිද්‍යාත්මක ගැටලු ගැන පමණක්‌ නො වෙයි ගල් කඩද්දී, වැලි ඉවත් කරද්දී ඇති වන ගැටලු වැනි දේ ඇතුළු සැම ප්‍රශ්නයක්‌ ගැන ම සියුම් ව සාකච්ඡා කළා. ගල් කඩද්දී කොහෙන් ද ගත යුතු වැනි සියුම් කරුණු ගැන පවා අවධානය යොමු කළා. ඒ විතරක්‌ නො වෙයි මේ හැදූ වාර්තාව 2015 දෙසැම්බර් මාසයේ දී ජනතාවට විවෘත කළා. අදහස්‌ 280ක්‌ ලැබුණා. ඒ 280ට ම අප ප්‍රතිචාර දැක්‌වූවා. වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ ව්‍යාපෘතිය අනුමත කරන ආයතනය. එය කොන්දේසි 72ක්‌ පනවා තිබෙනවා. ඒ 72 ම සපුරා කිසි ම අවුලක්‌ නැති ව ඒ කොන්දේසි ක්‍රියාත්මක වනවා. අපට හිමි විශේෂඥ මණ්‌ඩලය ගැන සඳහන් කළොත් ඒ අය බොහෝ ම විශාල පරාසයක පැතිරුණු දැනුම සහිත අය. විශාල කණ්‌ඩායමක්‌ හිටියා. වෙරළ සංරක්‌ෂණ ඉංජිනේරුවන් රැසක්‌ හිටියා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ, කැලණි විශ්වවිද්‍යාලයයේ, මොරටුව විශ්වවිද්‍යාලයයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා වෙනත් ආයතනවල උගතුන් රැසක්‌ සහාභාගී වුණා."

අපේ රටේ විශේෂඥ සම්පත් නැතැයි යන්න මිථ්‍යාවක්‌ - නිහාල් ප්‍රනාන්දු පෝට්‌සිටි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ

"කවුරුන් හෝ කියනවා නම් ව්‍යාපෘති නිරීක්‌ෂණය කරන්න හෝ ඇගයුම් වාර්තා නිරික්‌ෂණය කරන්න සුදුසු විශේෂඥයන් අපේ රටේ නැහැයි කියලා. ඒ මතය මා ඝෘජු ව ම ප්‍රතික්‌ෂේප කරනවා. ඒ වගේ ම තමයි ව්‍යාපෘතිවල ගැටලු මතු වන්න හේතුව විශේෂඥයන්ගේ දුබලතා කියලා කවුරුන් හෝ චෝදනා කරනවා නම් ඒ මතයත් මා ප්‍රතික්‌ෂේප කරනවා. කවුරුන් හෝ කියනවා නම් අපේ රට විශේෂඥ සම්පත් රහිතයි කියා ඒ අයගේ මොළය පරීක්‌ෂා කරගත යුතුයි. මොකද අපේ රටේ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක්‌ තියෙනවා. ඉහළ ම පෙළේ විශ්වවිද්‍යාල පද්ධතියක්‌ පවතිනවා. අපේ විශ්වවිද්‍යාලවලින් බිහි වූ අය පිටරට විශ්වවිද්‍යාලවල උගන්නනවා. ඒ වගේ ම පිටරට අති දැවැන්ත ආයතනවල සේවය කරනවා. ඉතිං එහෙම තත්ත්වයක්‌ තියෙද්දී අපේ රටේ සුදුසු විශේෂඥයන් නො සිටිනවා ය යන මතය පිළිගත නොහැකියි. හැබැයි අපේ අය අතර හීනමානයක්‌ තියෙනවා. පිටරට විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න ලාංකිකයකු ගැන හිතන්න. ඒ ලාංකිකයා ඉගෙන ගන්න තැන ම ඒ විෂය ම ඉගෙනගෙන ඒ හා සමාන ම උපාධියක්‌ ලබන සුදු හම ඇති කෙනකු ගැනත් හිතන්න. මේ දෙදෙනා ම ලංකාවට ආවොත් අපේ අය වැඩියෙන් සලකන්නේ කන් දෙන්නේ අර සුදු හම ඇති කෙනාට. හැබැයි ඉතා කලාතුරකින් සමහර විෂය ක්‍ෂේත්‍ර තියෙනවා අප අලුතෙන් ම පටන්ගන්න. එවැනි අවස්‌ථාවක දී ඒ නව්‍ය තාක්‌ෂණයත් සමග ම විශේෂඥයනුත් අපි පිටරටින් ලබාගන්නවා."

පාරිසරික ඇගැයීම් වාර්තා ක්‍රියාවලිය ගැන ඇතැමුන් අප්‍රසාදය පළ කළත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ එය පරිසර සංරක්‌ෂණයට අත්‍යවශ්‍ය දෙයක්‌ බවයි. අමරතුංග මහාචාර්යවරයා ලංකාවේ ක්‍රියාත්මක වූ මුල් පෙළේ ව්‍යාපෘතින්හි උපදේශක මණ්‌ඩල සාමාජිකයකු ලෙස කටයුතු කොට ඇති විද්වතෙකි.

"පාරිසරික ඇගයුම් වාර්තා ක්‍රියාවලිය ඉතා වැදගත් දෙයක්‌. එමගින් සුවිශාල ප්‍රතිලාභ ලැබෙනවා. එනිසා එය අවතක්‌සේරු කළ නොහැකියි. හැබැයි මෙහි දී තවත් දෙයක්‌ කිව යුතුයි. එය නම් පාරිසරික බලපෑම් තියෙනවා කියා අපට ඉතා වැදගත් වන සංවර්ධන ව්‍යාපෘති අහක දාන්නත් බැහැ. සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය දෙයක්‌. සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක්‌ සංවර්ධන ව්‍යාපෘති. ඒත් මා එයින් අදහස්‌ කරන්නේ නැහැ පරිසරය නො තකා කළ යුතුයි කියා. පරිසරයත් රැකගෙන සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යා යුතුයි. අපි හිතමු යම් ව්‍යාපෘති යෝජනාවකින් පරිසරයට හානි වෙනවා කියා. එවිට කළ යුත්තේ ව්‍යාපෘතිය නැවැත්වීම නො වෙයි. මේ ගැටලු සමනය සදහා ඊට සමගාමී නව ව්‍යාපෘති යෝජනාවක්‌ ගෙන ඒමයි. මේ නිවැරැදි කිරීම් කටයුතුවල දී පරිසර ඇගයුම් වාර්තා වැදගත් වනවා. එබැයි ඒවා නිවැරැදි ව ඉදිරිපත් විය යුතුයි."

සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික ඇගයුම්වාර්තාවල දුබලතා

Environmental Impact Assesment in Developing Countries මැයෙන් නිබන්ධයක්‌ පළ කරන මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ සැලසුම් අධ්‍යයන අංශයේ ක්‍රිස්‌ටෝපර් වූඩ් පෙන්වා දෙන්නේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පාරිසරික ඇගයුම් ක්‍රියාවලීන්හි පුළුල් වෙනස්‌කම් පවතින බවයි. එනම් සංවර්ධිත රටවල් හා සසදන කල සංවර්ධනය වෙමින් පවතින රටවල මේ ක්‍රියාදාම සාපේක්‌ෂව අකාර්යක්‌ෂම බවයි. මෙයට එක්‌ හේතුවක්‌ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ ක්‍රියාදාමය හා එක්‌ වන්නේ සාපේක්‍ෂ ව පසු කාලයක දී වීමයි. එසේ ම බොහෝ සංවර්ධනය වෙමින් පවත්නා රටවල මේ ක්‍රියාදාමයන් සිදු කරන්නේ රට කෙරෙහි පරිසරය කෙරෙහි ලැදි බවකින් නො ව හුදෙක්‌ ම ආධාර සපයන ඒජන්සිවල බලපෑම මත බව ද එම අධ්‍යයනය පන්වා දෙයි.

ක්‍රිස්‌ටෝපර් වුඩ් තම අධ්‍යයනයේ දී පෙන්වා දෙන තවත් වැදගත් කරුණක්‌ වන්නේ මහජන සහභාගිත්වය ඉතා පහළ මට්‌ටමක පවතින (සංවර්ධනය වෙමින් පවතින රටවල) බවයි. එසේ ම සංවර්ධිත රටවල් හා සසදන කල මේ වාර්තා ක්‍රියාදාමයේ නීතිමය පදනම් සැකසීම මේ සංවර්ධනය වෙමින් පවතින රටවල ඉතා දුර්වල බව ඔහු පෙන්වා දෙයි. ඔහුට අනුව සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල මේ වාර්තාව අත්‍යවශ්‍ය බවට නීති පනවා නැත. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල මේ වාර්තාව අනිවාර්ය කෙරෙන්නේ නැත.

වාර්තාව අනිවාර්ය නො වීම වරදක්‌

Lasson (1999) අධ්‍යයනය විසින් පෙන්වා දෙනු ලබන වැදගත් කරුණක්‌ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසරික ඇගයුම් වාර්තා ක්‍රියාදාමය නිරීක්‌ෂණය කරන්නට පත් කොට ඇති ආයතන එතරම් ප්‍රබල ඒවා නො වන බවයි. ඒවාට ඇති බලතල සීමිත බව ද බොහෝ විට ඒවා ළාබාල වයසේ (නව්‍ය) ආයතන බව ද J.Glasson හා N. Salvador යන විසින් කරන ලද Enviromental Impact Review ජර්නලයේ පළ වූ අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. මේ ආයතතන සතු ව බලතල පමණක්‌ නො ව දැනුම ද නොමැති ය. එහෙයින් ඔවුහු මේ අරබයා පැනනැෙගන ගැටලුවලට විසදුම් සෙවීමෙහි ලා අපොහොසත් වෙති. මේ අධ්‍යයනය මෙහෙයවූවන්ට අනුව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසර අමාත්‍යංශය යනු එතරම් වැදගම්මකට ඇති අමාත්‍යංශයක්‌ නො වේ. කෙසේ වෙතත් අපේ රටට අදාළ ව එය සත්‍යයක්‌ නො වේ. අපේ පරිසර අමාත්‍යංශය අයත් වන්නේ රටේ ජනාධිපතිවරයාට ය. අපේ රටේ පරිසර ඇගයුම් වාර්තා ක්‍රියාදාමය මෙහෙයවන මුඛ්‍ය ආයතනය වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. එය සතු ව සුවිශාල බලයක්‌ පවතී.

තිර (පූර්ව) පරික්‌ෂාවල සිට ම ක්‍රියාදාමය දුර්වලයි

සංවර්ධනය වෙමින් පවතින රටවල මේ ඇගයුම් වාර්තා සැකසීමේ දී මුල් පියවරේ සිට ම උග්‍ර දෝෂ හටගන්නා බව ක්‍රිස්‌ටෝපර් වූඩ් පෙන්වා දෙයි. තිර පරීක්‌ෂාවේ සිට මෙසේ දොaෂ බහුල වීමට එක්‌ හේතුවක්‌ නම් මේවා මෙහෙයවන ආයතන සතු ව කුඩා බලයක්‌ පමණක්‌ පැවතීමයි. මෙවැනි අවස්‌ථාවක දී විදේශීය ආයතන (විශේෂයෙන් ම බටහිර හෝ ඇමෙරිකා) පාර්ශ්වකරුවන් සේ යම් විදිහකට මැදිහත් වන්නේ නම් මේ ගැටලුව විසෙදන්නට ඉඩ තිබේ. මන්ද යත් රාජ්‍ය ආයතන මන්දොaත්සාහී ව කටයුතු කළත් විදේශීය ආයතන ඊට අනුකූලතාව දක්‌වන්නේ නැත. උදාහරණයක්‌ දක්‌වත හොත් ලෝක බැංකුව මේ වාර්තා ගැන දැඩි ලෙස උනන්දුව දක්‌වන අතර එම වාර්තාවල නිර්නායක ගැන ද දැඩි විමසිල්ලෙන් සිටී.

සංවර්ධනය වෙමින් පවතින රටවල පරිසර ඇගයුම් වාර්තා රහසිගත ලේඛන බදුයි

ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ පාරිසරික ඇගයුම් වාර්තා රහස්‍ය ලේඛන ලෙස සලකන බට ද ක්‍රිස්‌ට්‍රොaපර් වූඩ් චෝදනා කරයි. සමහර විට ඒවා රහස්‍ය ලේඛන බවට ලිත ව ප්‍රකාශ නො වෙතත් ඒවායේ ක්‍රියාත්මක ස්‌වරූපය එබදු ය. මන්ද යත් එම ලේඛන පිටපත් ගන්නට ගිය විට බොහෝ විට ලැබෙන්නේ ඒවා ලබා දිය නො හැකි බව යන පිළිතුරයි. එක්‌කෝ ලබා දෙන්නේ ඉතා විශාල ලෙස රස්‌තියාදු කරවමිනි. සමහර අප්‍රිකානු රටවල මේ වාර්තා ලබාගැනීමට විශාල ලෙස මුදල්ද වියදම් කළ යුතු වේ. බටහිර රටවල මේ තත්ත්වය ඉතා වෙනස්‌ ය. බොහෝ විට අන්තර්ජාලය හරහා මේ ඇගයුම් වාර්තා ලද හැකි ය. ශ්‍රී ලංකාවේ ද දැන් මේ ක්‍රමයට ඇගයුම් වාර්තා ලබාගැනීමේ තත්ත්වය දියුණු වෙමින් පවතියි. එනම් අනෙක්‌ ආසියානු හෝ අප්‍රිකා රටවල් හා සසදන කල ලංකාවේ මේ වාර්තා ලබාගැනීමේ පහසුකම බටහිර රටවලට ආසන්න තත්ත්වයක පවතියි. ඉන්දියාව වැනි රටවල මේ තත්ත්වය ඉතා නරක බව ක්‍රිස්‌ටෝපර් වූඩ් චෝදනා කරයි. ඉන්දියාවේ මේ වාර්තා සාමාන්‍ය ජනතාවට තබා පුස්‌තකාලයකට හෝ ලබාගැනීම දුෂ්කර කාර්යයක්‌ බව ඔහු කියයි.

පරිසර ඇගයුම් වාර්තා හා භාෂා ගැටලු

ක්‍රිස්‌ටෝපර් වූඩ්ට අනුව බොහෝ නොදියුණු රටවල මේ වාර්තා ලියනු ලබන්නේ හා මුද්‍රණය කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. ස්‌වදේශීය භාෂාවකට එය නැෙගන්නේ ඉතා කලාතුරකිනි. ඒ හේතුව නිසා ඉංග්‍රිසි උගත්කමක්‌ නැති සාමාන්‍ය ජනයාට අදාළ දැනුමට ප්‍රවිෂ්ඨ වන්නට ඉඩකඩ ඇහිරී යන බව ඔහු චෝදනා කරයි. රජයේ ආයතන සතු පරිවර්තකයන්ගේ හිගකම, මූල්‍ය ගැටලු, ව්‍යාපෘති යෝජකයන් පවා හුදෙක්‌ ඉංග්‍රිසි බසට තැන දීම වැනි කරුණු මීට බලපාන බව ඔහු පෙන්වා දෙයි. එසේ ම සාමාන්‍ය මිනිසුන්ගේ ඇස ගැටීම වැළැක්‌වීම සදහා ව්‍යාපෘති යෝජනයක්‌ හිතාමතා ම මේ යෝජනාවලිය හෝ පසුකාලීන වාර්තා ඉංග්‍රීසි බසෙන් පමණක්‌ ඉදිරිපත් කරන බවට ද චෝදනා ඇත. පරිසර ගැටලු (ව්‍යාපෘති නිsසා මතු වන)වලට වැඩිපුර මුහුණ දෙන්නේ ගොවීන් හා කම්කරුවන් වැනි අය ය. මේ අය බහුතරයකට ඉංග්‍රිසි බැරි ය.

නොදියුණු රටවල පරිසර ඇගයුම් වාර්තා අසාර්ථක වන්නට තව හේතුවක්‌ ලෙස ක්‍රිස්‌ටෝපර් වූඩ් දක්‌වන්නේ විශේෂඥයන්ගේ ගැටලු ය. විශේෂඥයන් ලෙස දැනුම නොමැති අය පත් වීමට අමතර ව විදේශීය විශේෂඥයන් බහුල ලෙස පත් වීම ද වරදක්‌ ලෙස ඔහු දකියි. විදේශීය විශේෂඥයන්ට අදාළ රට සම්බන්ධ දැනුම නැති වීම උග්‍ර ගැටලු මතු විය හැකි ය.

දේශපාලන බලපෑම්

සංවර්ධනය වෙමින් පවතින රටවල පාරිසරික ඇගයුම් වාර්තා ක්‍රියාදාමය අසාර්ථක වන්නට දේශපාලන බලපෑම් ද අහිතකර ලෙස බලපාන බව ක්‍රිස්‌ටෝපර් පෙන්වා දෙයි. එය දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ. පළමුවැන්න දේශපාලන බලාධිකාරිය ජනතාව හෝ නිලධාරීන් මේ අවශ්‍යතාව (වාර්තා) කෙරෙහි යොමු නො කිරීමයිs. දෙවැන්න නිලධාරීන් නිසි ලෙස මේ ක්‍රියාදාමයේ යෙදෙන විට ඔවුන්ට බාධා පැමිණවීමයි. මේ කටයුතු අපේ රටේ ද බහුල ව දැකගත හැකි වේ. නිසි ලෙද වාර්තා නොමැති ජාවාරම්කරුවන්ට නීතියේ රැහැනට කොටු කරන නිලධාරීන්ට බාධා කරන දේශපාලකයෝ අප රටේ ද බහුල වෙති.

පාරිසරික ඇගයුම් වාර්තා ඉතිහාසය

ප්‍රථම වරට නූතන පා. ඇ. වා. බිහි වූයේ ඇමෙරිකාවේ වුව ද මෙවැනි වාර්තාවල මූලයන් 15 සියවසේ එංගලන්තයේ ගල් අගුරු කර්මාන්තයේ ආරම්භක සමය දක්‌වා ම දිව යයි. වර්තමාන පාරිසරික ඇගයීම් වාර්තා බිහි වූයේ 1969 දී ඇමෙරිකාවේ ය. ඒ ඇමෙරිකාවේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත පාදක කරගෙන ය. එහෙත් ඊට බොහෝ කලකට පෙර 15 සියවසේ දී එංගලන්තයේ ගල් අගුරු කර්මාන්තය නිසා වන හානි ගැන ප්‍රාදේශික වංශාධිපතියන් විසින් ලියන ලද පෙත්සම්වල පාරිසරික අගැයුම් වාර්තාවල මූලබීජ ඇතුළත් වූ බව කියෑවේ.

ලංකාව තළ පාරිසරික ඇගයීම් වාර්තා ප්‍රථම වරට හදුන්වා දෙන ලද්දේ 1981 දී ය. ඒ 1980 දී බිහි වූ ජාතික පාරිසරික පනත පාදක කරගෙන ය. එසේ ම 1981 වෙරළ සංරක්‍ෂණ (සංශෝධන) පනත් අංක 57 ද මීට අදාළ විය. එහි දී ක්‍රියාත්මක වූයේ වෙරළ කලාපයේ සංරක්‍ෂණයට අදාළ ක්‍රියාවලට බලපාන ව්‍යාපෘති සදහා වාර්තා ඉල්ලීම පමණි. ජාතික පාරිසරික පනතට මේ වාර්තාවේ අවශ්‍යතාව හදුන්වා දෙන ලද්දේ 1988 අංක 56 දරන පාරිසරික පනතෙනි. දැනට රජයේ ආයතන 23ක්‌ ව්‍යාපෘති අනුමත කරන නියෝජිතායතන (Project Approving Agency (PAA) ලෙස හදුනාගෙන ඇත.

EIA Systems In Sri Lanka නිබන්ධයේ දී N.T.S. විඡේසේකර (Proceedings of South Asian E.A. Confrence ජර්නලයට සැපයූ) සදහන් කරන්නේ පාරිසරික ඇගයීම් වාර්තා සදහා සමාලෝචන සැපයීමට ශ්‍රී ලංකාව තූළ වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ මහජනතාව නො ව රාජ්‍ය නො වන සංවිධාන බවයි.

මනෝජ් ප්‍රසන්න රත්නායක
BSc. MA. MPhil