logo3.gif (702 bytes)

HOME


කංසා මානව සංහතියේ සෞඛ්‍ය හා චිකිත්සීය ප්‍රතිලාභ වෙනුවෙන් යොදාගත හැකි ඖෂධයක්‌

ශ්‍රී ලංකාවේ කංසා වගාව ගැන 16 වැනි සියවසේ පෘතුගීසි ලේඛකයකු වූ Fernao de Queyroz (1563) ලියා ඇති සටහන අනුව ඒ වන විට කංසා සුළු වශයෙන් වගා කළ බව පෙනේ. 17 වැනි සියවසේ ශ්‍රී ලංකාව තුළ සිරකරුවකු මෙන් ජීවත් වූ රොබට්‌ නොක්‌ස්‌ 1680 දී සිය රට බලා ගොස්‌ 1689 ඔක්‌තෝබර් 26 වැනි දින දී සිය මිතුරු විද්‍යාඥයකු වූ රොබට්‌ හුක්‌ හට ලංකාවෙන් ගෙන ගිය කංසා හදුන්වා දෙන අතර දෙසැම්බර් 18 වැනි දින රාජකීය සංගමය ඉදිරියේ නොක්‌ස්‌ කංසා ගැන දෙසුමකට අවස්‌ථාව ලබයි. එහි දී නොක්‌ස්‌ විසින් හෙළි කරන ලද කරුණු අනුව කංසාවල රෝග සුව කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ලංකාවේ භාවිත වූ දැනුම එංගලන්තය හරහා යුරෝපයට යන්නට ඇතැයි සමහරු විශ්වාස කරති. 1764 දී The New England Dispensatory සංග්‍රහයේ කංසාවල වෛද්‍යමය වැදගත්කම ලියෑවෙන අතර 1794 දී Edinburgh New Dispensaryහි වෛද්‍යමය මරිජුවානා ගැන සඳහන් වෙයි. පසු කාලයක දී බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ ද කංසා නිස්‌සාරණ ඇතුළත් කළ අතර 1932 දී පමණ එය ඉවත් කරනු ලැබිණ. William B. O'Shaughnessy නම් අයිරිෂ් වෛද්‍යවරයා 1839 දී පළ කළ 'zOn the Preparations of the Indian Hemp or Gunjah, Cannabis indica' නමැති කුඩා ග්‍රන්ථය තුළින් කංසාවල වෛද්‍යමය භාවිතයන් මැනැවින් විස්‌තර කර තිබූ අතර යුරෝපයේ බොහෝ රටවල් සිය ඖෂධ සංග්‍රහයන්හි කංසා ඇතුළත් කර තිබිණි. 1867 දී බ්‍රිතාන්‍ය යටත් විජිත රජය අබිං හා භංගා ආඥා පනත හදුන්වා දී එමගින් බලපත්‍ර දීමේ ක්‍රමය නීතිගත කරන අතර 1897 දී කංසා ආනයනය තහනම් කරනු ලබයි. 1895 දී පළ වූ Indian Hemp Drugs Commission හි වාර්තාව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයන් ද සැලකිල්ලට ගෙන මේ නීති හදුන්වා දෙන්නට ඇතැයි පෙනේ. එම වාර්තාව තුළ අඩංගු බොහෝ වැදගත් කරුණු නො සලකා හරිමින් ඉන්දියානු උමතු රෝහල් ගංජා දුම් උරන්නන් ගෙන් පිරී ඇතැයි යන අනුමානය හුවා දක්‌වමින් කංසා තහනමට පමණක්‌ ඉවහල් කරගෙන තිබේ. අනතුරු ව 1905 දී බ්‍රිතාන්‍ය රජය කංසා ආඥා පනත හදුන්වා දී කංසා නිපදවීම, ආනයනය, හා බෙදාහැරීම නීති විරෝධී ක්‍රියාවන් ලෙස තහනම් කොට රුපියල් 100ක දඩයකට හෝ මාස හයක සිර දඬුවමකට හෝ යටත් කරයි. ස්‌වන්සියා සරසවිය මගින් 2014 දී නිකුත් කළ The rise and decline of Cannabis prohibition වාර්තාව අනුව කංසා නියාමනය එක්‌සත් ජාතීන් ගේ සම්මුතියක්‌ යටතට ගැනෙන්නේ 1925 දී ය. එහෙත් මෙකී පාලනයට වසර සියයක්‌ ගත වීමට පෙර එය කණපිට පෙරළෙන ලකුණු මේ සහශ්‍රකය ආරම්භයේ පටන් පහළ වෙමින් තිබේ.

ලංකාවේ කංසා භාවිතය තහනම් කළ බ්‍රිතාන්‍යය මේ වසරේ මුල දී වෛද්‍යමය භාවිතයන් සඳහා කංසාවල නීතිමය තහංචි ලිහිල් කිරීමේ පනතක්‌ ගෙන ආවේ ය. (allow the production, supply, possession and use of cannabis and cannabis resin for medicinal purposes; and for connected purposes). නවසීලන්තය ද මේ වසරේ දී වෛද්‍යමය කංසා භාවිතයට නීති ලිහිල් කිරීමේ පනත් සංශෝධනය කරයි. නවසීලන්ත කංසා පිළිබඳ නීති ප්‍රතිශෝධන ගෙන ඒමේ මූලධර්ම හතරක්‌ හදුන්වා දී තිබේ. ඒ අනුව රෝගී කේන්ද්‍රය, ක්‍ෂණික සුවය, දේශීය නිෂ්පාදන, ස්‌වයං සම්පාදනය යන කරුණු හතර පදනම් කරගනිමින් කංසා භාවිතය සම්බන්ධයෙන් වූ නීති සංශෝධන සිදු කෙරේ. ඕස්‌ටේ්‍රලියානු රජයේ ඖෂධ පාලක අධිකාරියේ නිල වෙබ් අඩවිය මේ වසරේ මාර්තු 21 වැනි දින වෛද්‍යමය කංසා භාවිතයට අදාළ නිල ලේඛන කිහිපයක්‌ ප්‍රසිද්ධ කොට තිබේ. එහි අපස්‌මාරයට අදාළ පර්යේෂණ 22ක්‌, multiple sclerosis සම්බන්ධයෙන් පර්යේෂණ 32ක්‌, වමනය හා අරුචිය සම්බන්ධයෙන් 50ක්‌, වේදනාව සම්බන්ධයෙන් පර්යේෂණ 99ක්‌, සාමාන්‍ය සහනය සම්බන්ධයෙන් පර්යේෂණ 13ක්‌ සාක්‌ෂි ලෙස ඇතුළත් කර තිබේ. කැනඩා රජය කංසා පර්යේෂණ ව්‍යාපෘති 14ක්‌ සඳහා ඩොලර් මිලියන 1.4ක්‌ වෙන් කර තිබෙන අතර ඒවා කැනේඩියානු සෞඛ්‍ය පර්යේෂණ ආයතනය හරහා ක්‍රියාත්මක වේ. කැනඩාවේ කංසා කර්මාන්තයට අදාළ ව සංගමයක්‌ මෙන් ම වෛද්‍යමය කංසා කවුන්සිලයක්‌ ද පිහිටුවා තිබෙන අතර මේ සංවිධාන දෙක ම එකතු කොට කැනඩා කංසා කවුන්සිලය මේ අප්‍රේල් 23 වැනි දා සිට පිහිටුවා තිබේ. කැනඩාවේ විශ්වවිද්‍යාතන කිහිපයක්‌ කංසාවල වෛද්‍යමය භාවිතයන්ට අදාළ පර්යේෂණ සිදු කරන අතර බ්‍රිතාන්‍ය කොලොම්බියා සරසවියේ මනෝවිද්‍යා හා නීතිය පිළිබඳ අභිවර්ධන මධ්‍යස්‌ථානය මේ අතරින් ප්‍රමුඛස්‌ථානය ගනියි. විද්‍යාත්මක හා කාර්මික ඉන්දියානු කවුන්සිලය හා එක්‌ ව කංසාවල වෛද්‍යමය භාවිතය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට ටාටා සමාගම ඉන්දියානු රුපියල් කෝටි 6.25ක ආයෝජනයක්‌ කළ බව The Economic Times සගරාව හෙළි කොට තිබේ. ඒ අනුව මේ වසරේ දී ඉන්දියාව කංසා පිළිබඳ නීතිය දැඩි සීමාකාරී ස්‌ථාවරයෙන් ලිහිල් ප්‍රතිපත්ති මත ප්‍රතිශෝධනය කරනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

යුරෝපීය ආයෝජන බැංකුව අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළග දශකයේ දී 1000%කින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140ක්‌ බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57ක්‌ නීත්‍යනුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමෙරිකාව හා යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් ය. උතුරු ඇමෙරිකාවේ 2017 දී ඩොලර් බිලියන 9.2ක්‌ වූ නීත්‍යානුකූල කංසා වෙළෙඳාම 2021 දී බිලියන 20.1ක්‌ ද 2027 දී බිලියන 47.3ක්‌ ද වනු ඇත. 2018 දී දකුණු ඇමෙරිකාවේ වෛද්‍යමය කංසා භාවිතය ඩොලර් මිලියන 125ක්‌ වනු ඇති බවත් එය 2027 දී මිලියන 776ක්‌ බවත් ගණන් බලා තිබේ. ඕස්‌ටේ්‍රලියාවේ 2018 දී අපේක්‌ෂිත නීත්‍යනුකූල කංසා වගාව ඩොලර් මිලියන 52ක්‌ ලෙසත් එය 2027 දී බිලියන 1.2ක්‌ වන බවත් පෙන්වා දී තිබේ. ඕස්‌ටේ්‍රලියාව සැලසුම් කරන්නේ සිඩ්නි සරසවියේ වාර්තා අනුව ඕස්‌ටේ්‍රලියාවේ නීත්‍යනුකූල කංසා කර්මාන්තය ඩොලර් මිලියන 78ක්‌ වන අතර කැනඩාවේ එය බිලියන 3.19කි. ඔවුන් ගේ සැලසුම් වන්නේ ලෝකයේ නීත්‍යනුකූල කංසා වෙළෙඳාමේ සිව් වන ස්‌ථානය ලබා ගැනීමට හා ගෝලීය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු කොටසක්‌ අත්පත් කරගැනීමට ය. තවත් වාර්තාවක්‌ (Ameri Research Inc.) අනුව 2016 දී නීත්‍යනුකූල කංසා වෙළෙඳාම ඩොලර් බිලියන 14.3ක්‌ වූ අතර 2017 සහ 2014 අතර වෙළෙඳපොළ වර්ධන වේගය 21.1%ක්‌ වන අතර 2024 දී ඩොලර් බිලියන 63.5ක්‌ බවට පත් වේ. මොරොක්‌කෝවේ 2015 දී කංසා වගා භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් 47,000ක්‌ වූ අතර වාර්ෂික කංසා නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් 38,000ක්‌ ලෙස ගණන් බලා තිබේ. බොහෝ රටවල් කංසා වගාව කර්මාන්තයක්‌ ලෙස දියුණු කරන්නේ එහි ආර්ථික අගය ඉහළ නිසා ය. ලැට්‌වියාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 0.64%ක්‌ වන කංසා කර්මාන්තය ඕස්‌ටේ්‍රලියාවේ දී 0.47%කි. චෙක්‌ ජනරජයේ 0.45%ක්‌ වන අතර ස්‌ලෝවේනියාවේ 0.36%ක්‌ හා නවසීලන්තයේ 0.35%ක්‌ ද වේ.

2016 දී ඇමෙරිකාවේ ප්‍රාන්ත 28ක්‌ තුළ වෛද්‍යමය භාවිතය සඳහා මරිජුවානා නීතිගත කළ අතර Medical The Medicinal and Adult Use Cannabis Regulation and Safety Act නමැති පනත මේ වසරේ සිට ක්‍රියාත්මක වේ. කංසා නීතිය ලිහිල් කළ යුතු බවට ඇමෙරිකානු ජනතාව 64%ක්‌ කැමැත්ත පළ කොට තිබේ. මේ අනුව කංසා වගාකරුවන්, සිල්ලර වෙළෙන්දන්, හට බලපත්‍ර නිකුත් කිරීම ද මේ යටතේ සිදු වේ. දැනට ඩොලර් බිලියන 7.7ක්‌ වන කංසා ඉල්ලුම 2021 දී බිලියන 31.4ක්‌ විය හැකි බවත් බොහෝ රටවල් කංසා නීති ලිහිල් කිරීමත් සමග එහි වාර්ෂික වෙළෙඳපොළ වර්ධන වේගය 60%ක්‌ විය හැකි බවට අනාවැකි පළ කෙරේ. දැනට කංසා වෙළෙඳපොළෙන් 90%ක්‌ පාලනය කරන ඇමෙරිකාවේ කොටස 2021 දී 57% දක්‌වා පහළ බසිනු ඇත. එහෙත් ඇමෙරිකාවේ වෙළෙඳපොළ ආධිපත්‍යය තවදුරටත් පවතිනු ඇති බවත් ලොව සියලු ම වෙළෙඳපොළ ප්‍රමාණය ගත් විට ඇමෙරිකාව ඉදිරියෙන් සිටින බව පිළිගැනේ. 2003 දී ඇමෙරිකානු රජය කංසාවල ප්‍රතිඔක්‌සිකාරක හා නාඩිබලකාරක ක්‍රියාවට අදාළ අංක 6630507 පේටන්ට්‌ බලපත්‍රය ලබා ගැනීම ආන්දෝලනාත්මක සිද්ධියක්‌ විය. වොෂින්ටන් ප්‍රාන්තයේ 2016 වර්ෂය තුළ අලෙවි කළ ඩොලර් බිලියනයක්‌ වූ කංසාවලින් රජයට අය වූ බදු ප්‍රමාණය ඩොලර් මිලියන 400ක්‌ විය. කොලරාඩෝ ප්‍රාන්තයේ කංසාවලින් ඉපැයූ බදු ප්‍රමාණය ඩොලර් මිලියන 135 කි. කැලිෆොaර්නියා කංසා වෙළෙඳපොළ 2020 දී ඩොලර් බිලියන 7.6ක්‌ වන අතර ඉන් 3.3ක්‌ වෛද්‍යමය භාවිතයන් වේ. එහෙත් ජර්මනිය වැනි රටවල් කංසා නීති ලිහිල් කිරීමත් සමග යුරෝපය ලෝකයේ විශාලතම කංසා වෙළෙඳපොළ බවට පත් වීමේ පෙරනිමිති ද පහළ වෙමින් තිබේ. ජර්මනියේ වෛද්‍යමය භාවිතය සඳහා වන වෙළෙඳපොළ ඩොලර් බිලියන් 11.9ක්‌ වන අතර යම් හෙයකින් නීති තව දුරටත් ලිහිල් කළ හොත් එය බිලියන 17.14ක්‌ වනු ඇතැයි ගණන් බලා තිබේ. යුරෝපයේ ජනගහනයෙන් 12%ක්‌ යම් ආකාරයකින් කංසා භාවිත කරන බවත් යුරෝපයේ සැම රටක්‌ ම කංසා නීති ලිහිල් කළ හොත් එහි වෙළෙඳපොළ ඩොලර් බිලියන 66.8ක්‌ විය හැකි බවටත් අනාවැකි පළ වී තිබේ.

අද වන විට මුළු ඇමෙරිකා එක්‌සත් ජනපදයත් යුරෝපයේ බහුතරයත් එක්‌සත් ජාතීන් ගේ ප්‍රඥප්ති ඉක්‌මවා යමින් හෝ ඒවා ප්‍රතිශෝධනයට අවශ්‍ය බව පෙන්වමින් සිටින බව පෙනේ. ලෝකයේ වෛද්‍යමය කංසා භාවිතය පිළිබඳ පර්යේෂණ කරනු ලබන ප්‍රධාන රටවල් අතර ඇමෙරිකා එක්‌සත් ජනපදය, කැනඩාව, ඊශ්‍රායලය, එක්‌සත් රාජධානිය, නෙදර්ලන්තය, චෙක්‌ ජනරජය යන රටවල් ඉහළින් සිටියි. 1998 දී බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ විද්‍යා හා තාක්‌ෂණ තේරීම් කමිටුවේ වාර්තාව කංසා ගැන තබා ඇති දිරි ගන්වනසුලු නිගමනය වන්නේ නීති සංශෝධනය සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්‌ෂි ඇති බවයි. කැනඩාව 2018 ජුලි මාසය වන විට කංසා පිළිබඳ නීති පුර්ණ ලෙස ම ලිහිල් කරන බව සඳහන් ය. යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදී මානසිකත්වය නිසා කංසා මත්ද්‍රව්‍යයක්‌ ලෙස පමණක්‌ හංවඩු ගසා නීති ප්‍රතිශෝධන යෝජනා හමස්‌ පෙට්‌ටියට යවන අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් දැන් බ්‍රිතාන්‍යය දෙස බලා පාඩම් උගත යුතු කාලය එළඹ තිබේ. කංසාවල චිකිත්සීය අගය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ අවධානය බෙහෙවින් යොමු වී ඇත්තේ එහි මාදක සංඝටකය වන THC කෙරෙහි නො ව කැනබිඩොල් වර්ග වලින් ලැබෙන සාඵල්‍යතාව කෙරෙහි ය. මේ වන විට කංසාවල චිකිත්සීය භාවිතයන් ගැන කරනු ලබන පර්යේෂණ ඉතා පුළුල් ලෙස විද්වතුන් ගේ අවධානයට මෙන් ම සමාලෝචනයට ලක්‌ වෙමින් තිබේ. ඒ අනුව පර්යේෂණ දත්ත ඇසුරෙන් හෙළිවෙමින් පවතින්නේ අබිං ඇබ්බැහිය පාලනය කිරීමේ හොඳ ම ප්‍රතිකාරයක්‌ ලෙස කංසා භාවිත කළ හැකි බවයි. එසේ ම කංසාවල ඇති ඇබ්බැහි විය හැකි මාදක සංඝටක ප්‍රතිශතය අවම කිරීමෙන් නව ප්‍රභේද නිපදවා ගැනීමේ ජෛව තාක්‌ෂණික ක්‍රමවේද සම්බන්ධ පර්යේෂණ ද මේ වන විට දියත් වෙමින් තිබේ. මේ රටවල මෙන් ම ඊශ්‍රායලය, රුමේනියාව, මැසඩෝනියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්‌සත් ජනපදය වැනි බොහෝ රටවල කංසාවලින් නිපදවෙන Dronabinol, Nabilone, Nabiximols වැනි ඖෂධ නොයෙකුත් රෝගාබාධවල දී වෛද්‍යමය භාවිතයට අවසර දී තිබේ. 2001 දී කැනඩාව වෛද්‍යමය මරිජුවානා සඳහා නීතිමය අවසරය ලබා දුන් අතර ඩෙන්මාර්ක්‌ රජය 2011 දී මේ සඳහා තිබූ සියලු ම නීතිමය සීමා ඉවත් කළේ ය.

කංසාවල ඖෂධීය අගය සම්බන්ධයෙන් ඇමෙරිකානු FDA ආයතනයේ අවධානය යොමු වෙමින් පවතින බව පෙනෙන්නේ මේ වන විට එබදු නිෂ්පාදන කිහිපයක්‌ සඳහා ඔවුන් අනුමැතිය ලබා දී ඇති නිසා ය. Marinol සහ Syndros යනු dronabinol නමැති සක්‍රිය සංඝටකය මත නිපදවූ ඖෂධ දෙකක්‌ වන අතර Marinol වෙළෙඳපොළ ඩොලර් මිලියන 150ක්‌ ද Syndros ආදායම මිලියන 400ක්‌ ද බව වාර්තා වේ. Cesamet යනු nabilone නමැති සංඝටකයෙන් නිපදවූ ඔසුවකි. 2015 දී කංසා පිළිබඳ වෛද්‍යමය අගය සොයා බැලීමේ පර්යේෂණ සඳහා ඇමෙරිකාව වැය කළ මුදල ඩොලර් මිලියන 21ක්‌ වන අතර එය 2016 දී 30%කින් ඉහළ ගියේ ය. මේ අයුරින් ම කංසා අඩංගු ඉතා ප්‍රබල ඖෂධ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇතුළත් වන අතර ඒවා සම්බන්ධයෙන් නිසි පර්යේෂණ සිදු වී නොමැත. ශ්‍රී ලංකාවට ඉතා විශාල විදේශ විනිමයක්‌ ගෙන ආ හැකි ඖෂධීය බෝගයක්‌ ලෙස කංසා වගාව ආරම්භ කළ යුතු බව අවබෝධ කර ගැනීමට ලෝකයේ අනෙකුත් රටවල සංඛ්‍යා ලේඛන සලකා බැලීම ප්‍රමාණවත් වේ. එබැවින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය මෙන් ම ආයුර්වේද ක්‌ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ද කංසා සම්බන්ධයෙන් පවතින නීතිය සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවක්‌ මේ වන විට පැන නැඟී ඇත. කංසා සම්බන්ධයෙන් පේටන්ට්‌ ලබා ගැනීමේ ඉතිහාසය 1942 දක්‌වා ඈත අතීතයක්‌ කරා දිව යන අතර පසුගිය වසර 25ක්‌ තුළ කංසා වෙනුවෙන් ඉදිරිපත් වූ පේටන්ට්‌ අයෑදුම් සංඛ්‍යාව 1,500කට අධික ය. 1976 සිට නිකුත් කළ කංසා සම්බන්ධ පේටන්ට්‌ බලපත් වලින් 25%ක්‌ ම ඖෂධ නිෂ්පාදන වලට අදාළ වන අතර මේ වන විට කංසා පේටන්ට්‌ 500ක්‌ පමණ ක්‍රියාකාරීව තිබේ. කැනබිනොයිඩ් පෙනහළු අවහිරතා සුවකිරීමේ හැකියාව වෙනුවෙන් නිකුත් කළ 2009රැ0197941 පේටන්ට්‌ බලපත්‍රය, වමනය හා අරුචිය ප්‍රතිකාරයක්‌ ලෙස 2003රැ0225156 පේටන්ට්‌ බලපත්‍රය, පර්යන්ත ස්‌නායුගත වේදනා ප්‍රතිකාරයක්‌ ලෙස ලබාගත් 2010රැ0035978 පේටන්ට්‌ බලපත්‍රය, ප්‍රතිදාහ ප්‍රතිකර්මයක්‌ ලෙස නිකුත් කළ 6,410,588 පේටන්ට්‌ බලපත්‍රය, මධුමේහය වැළැක්‌වීමේ ප්‍රතිකාරයක්‌ ලෙස ලබා ගත් 2007/0099987 පේටන්ට්‌ බලපත්‍රය, කැස්‌සට ප්‍රතිකාරයක්‌ ලෙස ලබා ගත් 6974568 පේටන්ට්‌ බලපත්‍රය, multiple sclerosis තත්ත්වයේ ලක්‌ෂණ පාලනය සඳහා ලබා ගත් 2006/0167084 පේටන්ට්‌ බලපත්‍රය, පුරස්‌ථි ග්‍රන්ථි රෝග සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස ලබා ගත් 7597910 පේටන්ට්‌ බලපත්‍රය ද රුධිර නාළ සංකෝචනය සඳහා ගත් 7109245 පේටන්ට්‌ බලපත්‍රය ද මේ අතර ප්‍රකට ය.

මේ වන විට ලෝකයේ අවධානය යොමු ව ඇත්තේ කංසාවල වෛද්‍යමය අගය සෞඛ්‍ය ප්‍රතිලාභ උදෙසා ආයෝජනය කිරීමේ විද්‍යාත්මක මෙහෙයුමක්‌ වෙත ය. එනිසා ඉන්දියාව වැනි රටවල් වෛද්‍යමය කංසා (medicinal cannabis) යන නම නිල වශයෙන් කරළියට හදුන්වා තිබේ. ඉන්දියාවේ ගුජරාට්‌, බිහාර්, ඔඩිස්‌සා, බටහිර බෙංගාලය, හා නිරිතදිග ප්‍රදේශවල කංසා වගාව නීත්‍යානුකූල ව සිදු කරනු ලබයි. එංගලන්තයේ, ඩෙන්මාර්කයේ, ඕස්‌ටේ්‍රලියාවේ හා ජර්මනියේ ඖෂධීය අවශ්‍යතාවන් සඳහා කංසා වගාව රාජ්‍ය අනුමැතියෙන් සිදු කරන අතර ලෙසතෝ රාජ්‍යය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්‌ෂණය යටතේ කංසා වගාව සිදු කරයි. 2017 මාර්තු මාසයේ දී ජර්මානු පාර්ලිමේන්තුව කංසාවල වෛද්‍යමය භාවිතය නීතිගත කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ ය. පෘතුගාල පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් පසු ගිය වසර වන විට පෘතුගාල රජයට අයත් කංසා වගාවන් තිබූ බවත් වාර්තා වේ. මේ වසරේ ජනවාරි මාසයේ දී ඩෙන්මාර්ක්‌ රජය සිව් අවුරුදු වෛද්‍යමය කංසා නියමු වැඩසටහනක්‌ අරඹා ඇති අතර කංසා ආශ්‍රිත ඖෂධ නිපදවීම දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඉතාලිය තුළ කංසා වගාව 2015 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය මත සිදු කරන අතර එම ගොවීන් ගේ කංසා අස්‌වැන්න රජය විසින් මිල දී ගනු ලබයි. යුරෝපයේ විශාලතම වාණිජමය කංසා වගාකරුවන් අතර නෙදර්ලන්තය සිටින අතර ආනයනය කරනු ලබන කංසා සහ දේශීය නිෂ්පාදිත කංසා හදුනාගැනීමේ යාන්ත්‍රණයක්‌ සහිත එක ම යුරෝපීය රට නෙදර්ලන්තය වේ. Cannabis production and markets in Europe (2012) වාර්තාව අනුව නෙදර්ලන්තයේ වගා කරනු ලබන කංසා වලින් 24%ක්‌ වෛද්‍යමය සැපයුම් සඳහා වන අතර ෆින්ලන්තයේ එය 59%ක්‌ වේ. මීට අමතර ව බල්ගේරියාව, ප්‍රංශය, හංගේරියාව, ස්‌වීඩන්, ස්‌ලෝවැකියා, නොර්වේ, එක්‌සත් රාජධානිය වැනි රටවල ද වාණිජමය කංසා වගාකරුවෝ සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානය 1981 දී කැනඩාවේ ටොරෙන්ටෝ නුවර දී පැවත්වූ කංසාවල අහිතකර සෞඛ්‍ය ප්‍රතිවිපාක පිළිබඳ සාකච්ඡාවෙන් පසු 1997 දී පළ කළ Cannabis: a health perspective and research agenda නමැති වාර්තාව තුළ යම් ඉඩක්‌ එහි චිකිත්සාමය ව්‍යවහාරයන් කෙරෙහි ද යොමු කර තිබීම වැදගත් විය. ඊට සමගාමී ව ඇමෙරිකානු ධවල මන්දිරයේ ඉල්ලීම අනුව සිදු කළ විද්‍යාත්මක සමාලෝචන වාර්තාව Marijuana and Medicine; Assessing the Science Base ඉතා වැදගත් කරුණු මරිජුවානාහි වෛද්‍යමය භාවිතයට අදාළ ව ඉදිරිපත් කර තිබේ. 2015 දී පළ වූ Update of
cannabis and its medical use නම් වාර්තාව ද මධ්‍යස්‌ථ ලෙස කංසාවල වෛද්‍යමය භාවිතයන් ගැන තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බව පිළිගෙන තිබේ. නිව් කාසල් සරසවියේ මහාචාර්ය මයිකල් පී. බාන්ස්‌ විසින් 2016 දී ඉදිරිපත් කරන ලද Cannabis: The Evidence for Medical Use නම් දීර්ඝ හා සාක්‌ෂH-පාදක වාර්තාව තුළ සඳහන් කරුණු අවිවාදිත වන අතර කංසාවල වෛද්‍යමය අගය අභියෝග කළ නො හැකි ලෙස ඉතා තර්කානුකූල ව පෙන්වා දී ඇත. අතිරේක ව වඩාත් විද්‍යාත්මක තහවුරු කිරීම් සහිත තොරතුරු ඇතුළත් 2017 දී එක්‌සත් රාජධානියේ පළ වූ Cannabis for Medical Use; A Scientific Review නමැති වාර්තාව ද අපේ බලධාරින් විසින් කියවිය යුතු ය. 2017 දී පළ වූ Health Effects of Cannabis and Cannabinoids: The Current State of Evidence and Recommendations for Research නම් වාර්තාව ඉදිරිපත් කළේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පිළිගත් විද්වතුන් රැසක ගෙන් සමන්විත වූ කමිටුවක්‌ මඟිනි. මේ වාර්තාව මඟින් අවධාරණය කරන කරුණු අපේ රටේ සෞඛ්‍ය බලධාරින් හා නීති සම්පාදකයන් ගේ අවධානයට යොමු විය යුතු කාලය එළඹ තිබේ. මීට අමතර ව ලෝකයේ පිළිගත් විද්‍යාත්මක සගරාවල පළ වන පර්යේෂණ ලිපි මඟින් කංසා හා එහි රසායනික සංඝටකවල චිකිත්සීය අගයට අදාළ ඉතා වැදගත් තොරතුරු අනාවරණය කරනු ලබයි. මේ අතරින් කංසා ඇටවලින් නිපදවන CBD හෙවත් hemp oil නමින් ප්‍රකට නිෂ්පාදන සාමාන්‍ය ජනතාව ගේ සෞඛ්‍ය ගැටලු නිවාරණය සඳහා භාවිතයට වෙළෙඳපොළට පිවිසි තිබේ.

උරුගුවේ හා කාම්බෝජය තුළ කංසා නිදහසේ මිල දී ගත හැකි වන අතර චිලී රාජ්‍යය තුළ ඖෂධීය භාවිතය සඳහා පෞද්ගලික ව කංසා වගා කළ හැකි ය. උරුගුවේ නීතිය බොහෝ සෙයින් කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්ත නීතියට සමාන බවයි සඳහන්. උරුගුවේ හා ජැමෙයිකා වැනි රටවල කංසා නීති ලිහිල් කිරීමේ දී එය ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට අනතුරුදායක බව එක්‌සත් ජාතීන් ගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ විවේචනයට බඳුන් විය. 2017 දී උරුගුවේ රජය නීත්‍යානුකූල කංසා වගාකරුවන් 6,057 දෙනෙකු හා කංසා සමාජ 33ක්‌ ලියාපදිංචි කර තිබිණ. ජැමෙයිකාවේ කංසා ග්‍රෑම් 57ක්‌ ළග තබා ගැනීමේ නීතිමය අවසරය 2015 සිට ක්‍රියාත්මක වේ. ඉක්‌වදෝරයේ ග්‍රෑම් 10 දක්‌වා ළග තබා ගත හැකි අතර මෝල්ටා රාජ්‍යය තුළ එය ග්‍රෑම් 3.5 කි. ආර්ජන්ටිනාවේ එය ග්‍රෑම් 5 කි. බෙල්ජියමේ අවුරුදු 18ට වැඩි පුරවැසියකු හට කංසා ග්‍රෑම් 3ක්‌ ළග තබා ගැනීමට හා කංසා එක ශාකයක්‌ වවා ගැනීමේ නීතිමය අවසරය තිබෙන අතර එම රට තුළ ස්‌පාඤ්ඤයේ මෙන් කංසා සමාජ (cannabis clubs) පැවැත්වීමේ අවසරය තිබේ. කොලොම්බියාවේ කංසා ශාක 20ක්‌ හා ග්‍රෑම් 22ක්‌ තමන් ගේ පෞද්ගලික පරිහරණය සඳහා සන්තකයේ තබා ගැනීමට හැකි පරිදි නීතිය ලිහිල් කොට තිබේ. පැරගුවේ පුරවැසියෙකු සන්තකයේ කංසා ග්‍රෑම් 10 දක්‌වා තබා ගැනීමට නීතියේ අවසරය තිබෙන අතර එස්‌ටෝනියාවේ එය ග්‍රෑම් 7.5 කි. චෙක්‌ ජනරජය තුළ කංසා ග්‍රෑම් 15ක්‌ හා ශාක 15ක්‌ සන්තකයේ තබා ගත හැකි පරිදි නීති සංශෝධනය කර ඇති අතර නෙදර්ලන්තයේ කෝපි අවන්හල් තුළ කංසා විකිණීමටත් ග්‍රෑම් 6ක්‌ හා ශාක 5ක්‌ සන්තකයේ තබා ගැනීමටත් අවසර තිබේ. රුසියාව තුළ කංසා ග්‍රෑම් 6ක්‌ හා ශාක 20ක්‌ සන්තකයේ තබා ගැනීමේ අවසරය ඇති අතර ස්‌විස්‌ රජය කංසා ග්‍රෑම් 10ට නොවැඩි ප්‍රමාණයක්‌ සඳහා ද ජැමෙයිකාවේ ශාක 5ක්‌ සඳහා ද අවසරය දී තිබේ. මෙක්‌සිකෝවේ පෞද්ගලික පරිහරණය සඳහා කංසා සන්තකයේ තබා ගැනීම හා වෛද්‍යමය භාවිතය සඳහා වගා කිරීම වරදක්‌ නො වන බව 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. යුක්‌රේනය තුළ කංසා ග්‍රෑම් 5ක්‌ දක්‌වා සහ ශාක 10ක්‌ දක්‌වා සන්තකයේ තබා ගැනීමේ නීතිමය අවසරය තිබේ.

මේ වන විට බොහෝ රටවල් මේ කංසා පිළිබඳ නීතිය යළි සලකා බලමින් සිටින්නේ ඉතා වටිනා ඖෂධයක්‌ මඟින් මානව වර්ගයාට ඉටු කළ හැකි මහගු මෙහෙවර විද්‍යාත්මක ව තහවුරු වී ඇති බැවිනි. එහෙත් එක්‌සත් ජාතීන් ගේ සම්මුතිය හරහා කිසි විටෙකත් වෛද්‍යමය නො වන කංසා භාවිතය සඳහා අවසරයක්‌ නො දෙන අතර එය 1961 සම්මුතියේ 4(c) සහ 36 වන වගන්ති මෙන් ම 1988 සම්මුතියේ 3 වන වගන්තියේ 1(a) ඡේදයට පටහැනි බවත් කිව යුතු ය. ඒ අනුව වෛද්‍යමය නො වන කංසා භාවිතය සඳහා නීති ලිහිල් කිරීමට යොමුවන රටවලට එක්‌සත් ජාතීන් ගේ කාර්යාලය අනතුරු හැගවීමක්‌ කළ නමුත් එම රටවල් කියා සිටින්නේ කංසා භාවිතය යම් පමණකට සමාජගත කිරීමේ ලා ජාත්‍යන්තර සම්මුතීන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක්‌ පැනනැඟී ඇති බව ය. 1929 අංක 17 දරන අබිං, වස විස හා අන්තරායකර ඖෂධ ආඥා පනතේ 27 වැනි වගන්තිය අනුව කංසා වගා කිරීමට අවසරය දීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශවරයා හට ය. වෛද්‍යමය නො වන කංසා භාවිතයෙන් සිදු වන හානිය අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා සාපේක්‍ෂ ව අඩු බව හෙළි වී තිබිය දී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා එහි විකල්ප අගය හා වටිනාකම ගැන අධ්‍යයනය නො කිරීම සැකයට බදුන් වන බව කිව යුතු ය. එක්‌සත් ජාතීන් ගේ ප්‍රඥප්තිය තුළින් කංසා පිළිබඳ විද්‍යාත්මක හා වෛද්‍යමය භාවිතයන් තහනම් කර නොමැති බව නො දන්නවා සේ සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ යෝජනාව වරදවා වටහා ගෙන ඇතැයි සිතේ. ශ්‍රී ලංකාවේ කංසා ශාකය හොඳින් වැවෙන හෙයින් එහි වෛද්‍යමය භාවිතය පිළිබඳ හා ආර්ථික භෝගයක්‌ ලෙස වගා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් විද්වතුන් මීට වඩා උනන්දුවෙන් පර්යේෂණ කළ යුතු ව තිබේ. එසේ ම දේශීය වෛද්‍යවරුන්ට හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය වන කංසා සැපයීම හා ඊට බලපාන නීතිමය බාධක ලිහිල් කිරීම ගැන ද වඩා පුළුල් සංවාදයක්‌ අවශ්‍ය බව අවධාරණය කළ යුතු ය. කංසා තහංචියට මුල පිරූ සුද්දන් දැන් කංසාවල අගය පිළිගන්නා විට අපේ කළු සුද්දෝ තවමත් 19 වැනි සියවසේ අග භාගයේ යටත් විජිත නීති රාමුවේ සිර වී වෙදමහතුන් උසාවි ගෙන යති. මේ ප්‍රශ්නය විසඳීමට දේශපාලන නායකත්වයක්‌ මෙන් ම ජාතික මට්‌ටමේ විද්වත් කතිකාවතක්‌ ද අවශ්‍ය වන අතර මාධ්‍ය හරහා සමාජ මතවාදය නිසි මඟට මෙහෙයවීම ද කළ යුතු ම ය.

වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා