logo3.gif (702 bytes)

HOME


ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය ඉතිහාසයට එකතු කළ හැක්‌කේ කෙසේ ද? 3 ලිපිය

ශ්‍රී ලංකාවේ ජලභීතිකා තත්ත්වය කෙසේ ද?

පසුගිය සතියෙන්

ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සහ සුනඛ ගහනය හෝ එහි පරිසර විද්‍යාත්මක කරුණු පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීම ඉතා අවම මට්‌ටමක පවතින බව පෙනී යයි. එමෙන් ම ජලභීතිකා මර්දනය පිළිබඳ ව ප්‍රමාණවත් අධ්‍යයනයන් සිදු නො වී ඇති බවක්‌ ද පෙනී යයි. මෙයට හේතු පාදක වී ඇති කරුණු අප වෙන ම සොයා බැලිය යුතු ය. කෙසේ වුවත් දැනට අප සතු ව ඇති දත්ත සහ ප්‍රකාශයට පත් ව ඇති සීමිත පර්යේෂණ පත්‍රිකාවල ඇති වැදගත් තොරතුරු සමාලෝචනයට භජන කර ජලභීතිකා මර්දනය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම ඉතා උචිත බව අපගේ හැඟීමයි. පර්යේෂණ පත්‍රිකාවල අඩංගු තොරතුරු සහ දත්ත සමාලෝචනයේ දී, ශ්‍රී ලංකාවේ ජලභීතිකා තත්ත්වය සහ සුනඛ ගහන පාලනය පිළිබඳ කරණු කිහිපයක්‌ අනාවරණය කරගත හැකි වෙයි. එනම්,

(01) ජලභීතිකා රෝගය නිසා සිදු වන මානව මරණ සංඛ්‍යාව පසුගිය දශක 04 තුළ සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

(02) මානව මරණ සංඛ්‍යාව අඩු වීම සඳහා මානව ජලභීතිකා මර්දන කටයුතු ප්‍රවර්ධනය ඝෘජු දායකත්වයක්‌ දක්‌වා ඇත.

(03) මානව මරණ සංඛ්‍යාවේ අඩු වීම සඳහා සුනඛ ජලභීතිකා එන්නත්කරණයේ සහ සුනඛ ගහන පාලනයේ ඝෘජු දායකත්වයක්‌ දැකීම අපහසු ය.

(04) සුනඛයන් තුළ ජලභීතිකා රෝග තත්ත්වයේ කිසිදු අඩු වීමක්‌ පසුගිය දශකය තුළ සිදු වී නොමැත.

(05) සුනඛ ගහනය තුළ ජලභීතිකාව මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය අවම ප්‍රතිශක්‌තිකරණ ප්‍රතිශතය (සමූහ ප්‍රතිශක්‌තිය) ළඟා වී නොමැත.

(06) ජලභීතිකා රෝග නිශ්චය අවශ්‍ය ප්‍රමාණයට විමධ්‍යගත වී නො තිබීම සහ එම හේතුවෙන් රට තුළ සැබෑ ජලභීතිකා තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ නොමැත.

(07) සුනඛ ගහන පාලනය සඳහා වන්ධ්‍යාකරණය මත පමණක්‌ යෑපීම.

(08) ජලභීතිකා මර්දනය සඳහා සම්බන්ධ විය යුතු සියලු පාර්ශ්වයන් ගේ ඒකාබද්ධතාවකින් තොර ව කටයුතු සිදු වීම.

මෙයට අමතර ව මේ කරුණු සමාලෝචනයේ දී අප හඳුනාගත් කරුණු මත පදනම් ව තවත් වැදගත් කරුණක්‌ අවබෝධ කරගත යුතු ව ඇත. එනම් පසුගිය කාල වකවානුව තුළ දී ජලභීතිකාවෙන් මිය ගිය මනුෂ්‍යයන් සංඛ්‍යාත්මක ව පහළ ගිය ද එය වඩාත් ම සිදු වී ඇත්තේ රෝහල් මඟින් සිදු කරන මානව ප්‍රතිකාර විධිමත් වීම සහ දියුණු වීම මඟින් බැවින් රට තුළ ජලභීතිකා තත්ත්වය මැන බැලීම සඳහා මානව මරණ සංඛ්‍යාව, දර්ශකයක්‌ ලෙස භාවිත කිරීම සුදුසු නො වන බව ය.

මේ තත්ත්වය පාදක කරගනිමින් රට තුළින් ජලභීතිකාව මුලිනුපුටා දැමීම සඳහා කවර අකාරයකින් ක්‍රියාත්මක විය යුතු දැයි සොයා බලමු.

සංචය ධාරකයන් තුළින් ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමිය හැක්‌කේ කෙසේ ද?

අප දැනටමත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ජලභීතිකා සංචය ධාරකයා සුනඛයා ය. ජලභීතිකා රෝගය රට තුළින් මුලිනුපුටා දැමීමට නම් එම රෝගය සංචය ධාරකයා තුළින් පළමුවෙන් ම මුලිනුපුටා දැමිය යුතු ය. අපි මෙහි දී සුනඛයා තුළින් ජලභීතිකාව මුලිනුපුටා දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ එම රෝගයෙන් ආරක්‌ෂා වන්නේ කෙසේ ද යන්නත් පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයට අනුව ජලභීතිකාව මර්දනය සහ මුලිනුපුටා දැමීම සඳහා වන එක ම සහ වඩාත් ම ප්‍රතිඵලදායක ම ක්‍රමය නම් සංචය දායකයන් මහා පරිමාණයෙන් එන්නත්කරණයට භජන කිරීමයි (http://www.oie.int/en/animal-health-in-the-world/rabies-portal/prevention-and-control/)'

එම ක්‍රමවේදයෙන් පමණක්‌ ජලභීතිකා ආසාදන චක්‍රය බිඳ දැමිය හැකි අතර විද්‍යාත්මක පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ එම තත්ත්වය ඇති කිරීම සඳහා ඉලක්‌කගත සුනඛ ගහනයෙන් අවම වශයෙන් 70%ක්‌ වත් මාස තුනක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ දී එන්නත්කරණයට ලක්‌ විය යුතු බවයි. ජලභීතිකාව සඳහා වූ එන්නත ලෝකයේ මුලින් ම නිපදවූ එන්නත් අතරට එක්‌ වන අතර එය මුල්වරට 1885 ජුලි 06 වන දින ජලභීතිකාවට ලක්‌ වූ සුනඛයකුගේ ප්‍රහාරයට බඳුන් වූ නව (09) හැවිරිදි ළමයකුට ලුවී පාස්‌චර් විසින් භාවිත කරන ලදී. එමඟින් එම නව හැවිරිදි දරුවා ජලභීතිකාවෙන් ආරක්‌ෂාව ලද අතර එම එන්නත මිනිසුන්ට මෙන් ම සතුන්ට ද භාවිත කළ හැකි බව පෙන්වා දෙන ලදි. මෙයට අමතර ව මහජනතාව දැනුවත් කිරීම, මහජනතාවට පහසුවෙන් ජලභීතිකා එන්නත් සහ මස්‌තු ප්‍රථිකාර ලබාගැනීමට හැකියාවක්‌ ඇති කිරීම, අයාලේ යන සුනඛ ගහනය පාලනය කිරීම සහ වගකිව යුතු සුනඛ හිමිකාරිත්වයක්‌ ඇති කිරීම වැනි කරුණු ද මහා පරිමාණ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් හා බද්ධ ව කළ යුතු බව ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය මඟින් සඳහන් කර ඇත.

එන්නත්කරණය

ජලභීතිකා මර්දනය සඳහා ඇති වඩාත් ම ප්‍රතිඵලදායක ක්‍රමවේදය ලෙස මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක්‌ යොමු කොට ක්‍රියාත්මක කළ යුතු ය. මේ සඳහා ඉතා හොඳ තත්ත්වයේ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු එන්නත් ශීත ජාලයක්‌ පවත්වා ගනිමින් භාවිත කළ යුතු ය. නිශ්චිත ස්‌ථානයක අඛණ්‌ඩ ව එන්නත් ලබා දීම, තාවකාලික පිහිටුවාගත් එන්නත් මධ්‍යස්‌ථානවල දී එන්නත් ලබා දීම, අයාලේ යන සුනඛයන් අල්ලා එම සතුන්ට එන්නත් ලබා දීම මඟින් 70%කට වැඩි ගහන එන්නත් ප්‍රතිශතයක්‌ මාස තුනක්‌ වැනි කෙටි කාල සීමාවක දී ළඟා කරගැනීමට හැකි වනවා ඇත. අඛණ්‌ඩ ව එන්නත් නොමිලේ ලබා දීම දැනටමත් රට පුරා විසිරී ඇති සැම රජයේ පශු වෛද්‍ය කාර්යාලයක්‌ ම මඟින් සිදු කරනු ලබයි. එන්නත් කිරීමේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා මහජනතාවගෙන්, ප්‍රජා සංවිධානවලින් සහ රාජ්‍ය නො වන සංවිධානවලින් ඉහළ මෙහෙයක්‌ සිදු කළ හැකි ය. එබැවින් සැම විට ම රජයේ පශු වෛද්‍ය කාර්යාල සමඟ සම්බන්ධ වීම මඟින් ප්‍රදේශය තුළ ඉතා ප්‍රතිඵලදායී එන්නත් වැඩසටහනක්‌ සිදු කිරීමට ජනතාවට ද දායක විය හැකි ය.

ඔබ ගේ සුනඛයාට, වගුවේ දැක්‌වෙන පරිදි එන්නත් කිරීම සිදු කරගත හැකි ය.



පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ

සත්ත්ව සෞඛ්‍ය අංශයේ

පශු වෛද්‍ය නිලධාරී

වෛද්‍ය ටිකිරි විජයතිලක

BVSc, M-TAP, MVM, MSc, FSLCVS

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ ආසියා සහ ශාන්තිකර කලාපීය හිටපු ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී

(ජලභීතිකා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග මර්දන)

විද්යුත් තැපෑල (tikiripw@gmail.com)