logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මුහුද ගොඩ ගැලීම යළිත් ?

අප්‍රේල් මස 20 වැනි දා සිට 23 වැනි දා පමණ වන කාලයේ ශ්‍රී ලංකාවේ දකුණු සහ බස්‌නාහිර මුහුදු තීර තරමක්‌ රළු ස්‌වභාවයක්‌ ඉසිලුවා පමණක්‌ නො ව, මුහුදු තරංගවල උස (විස්‌තාරය, Amplitude) ඉහළ යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස ස්‌ථාන කිහිපයක ම මුහුද ගොඩ ගැලූ බවට ජනමාධ්‍ය වාර්තා කළේ ය. ඒ පිළිබදව ඇති අවදානම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ ආයතනය විසින් ජනතාව දැනුවත් කරන ලද අතර එය සුනාමි තත්ත්වයක්‌ නො වන බවට තහවුරු කර සිටියේ මුහුදුබඩ පෙදෙස්‌වල වසන සමහර අය බියට පත් වී සිටි නිසා වන්නට ඇත.

අප දිවයින අවට මුහුදු තීරයේ රළ පහරවල උද්දීපනයට ප්‍රධාන හේතුවක්‌ වූයේ සමකයට ආසන්න ව දක්‍ෂිණ අර්ධ ගෝලයේ වර්ධනය වු කැළැඹීමක්‌ බව කාලගුණ අංශ පැහැදිලි කර තිබිණි. එවැනි පරිසරයක සිදු විය හැකි ආපදා අවම කිරීමට නම්, රළු මුහුදු තත්ත්ව වර්ධනය වීමට බලපාන සාධක පිළිබදව අප සියලු දෙනා ම දැනවත් විය යුතු ය.

ප්‍රමාණයෙන් තරමක්‌ විශාල වු පොකුණු සහ වැව් ඇතුළු ජලාශ මතුපිට චංචලභාවය අප දකින්නේ මතුපිට වර්ධනය වන කුඩා තරංග ලෙස ය. මේ තරංග වර්ධනය වීමට බලපාන සාධකවලින් ප්‍රධාන වන්නේ, ජලාශය මතුපිට අසලින් හමා යන සුළං ධාරා මගින් ඇති වන බලයයි. එහෙත් ජලාශය සීමාසහිත නිසා තරංගවල උස වර්ධනය වීම සීමා වේ.

මුහුදු රළ වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධකය ද සමුදුරු මතුපිට අසලින් හමන සුළං ධාරා වන අතර මුහුදු තරංගයක (Wave) උස (එනම් විස්‌තාරය) ප්‍රමාණය හමන සුළං ධාරාවල වේගයේ සමීකරණයක්‌ වන අතර එම අනුලෝම සම්බන්ධය නිසා සුළං වේගය වැඩි වීමත් සමග ම තරංගවල උස වැඩි වේ. මේ සම්බන්ධතාව සමුදුරෙහි රළුභාවය පිළිබදව අනාවැකි පිළියෙල කිරීමේ දී උපකාර වන්නේ ය.

සමුදුරු ප්‍රදේශවල අඩුපීඩන ප්‍රදේශ (Low Pressure Area), පීඩන අවපාත (Depresson) හෝ සුළි සුළං (Cyclone) වර්ධනය වන ඕනෑ ම වාතාවරණයක එහි මධ්‍යස්‌ථානයේ සිට කිලෝමීටර් 500ත් 1000ත් අතර සීමාවක්‌ තුළ දැඩි හෝ ප්‍රචණ්‌ඩ සුළං ධාරා හමා යන නිසා අනිවාර්යයෙන් ම මුහුදු රළහි උස වැඩි වීම ඉතා ආපදාකාරී වන්නේ ය. මුහුදු යාත්‍රාවල සංතුලනයට එය බාධාවක්‌ වන අතර වෙරළබඩ ප්‍රදේශවල සිදු වන මුහුද ගොඩ ගැලීම ද (Storm Surge) ආපදාවලට හේතු වේ. මේ නිසා ම එවන් කැළැඹුම් පද්ධති සමුදුරේ වර්ධනය වන අවස්‌ථාවල මුහුද රළු විය හැකි මුහුදු සීමා පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කාලගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශ පියවර ගනියි.

මුහුද රළු බවින් ඉහළ යැමට බලපාන තවත් ප්‍රධාන සාධකයක්‌ පිළිබදව ද අප දැනුවත් විය යුතුය. ටෝර්නේඩෝ (Tornado) සහ දියගොබ වලා (Water Spout) පිළිබදව විදුසර පාඨකයන් මේ වන විට දැනුවත් බව දනිමි. එහෙත් විශේෂ වාතාවරණ යටතේ වර්ධනය වන බහු ටෝනේඩෝ (Multi Tornado) සහ බහු දියගොබ වලා (Multi Water Spout) පද්ධතිවල භයානක ප්‍රතිඵල පිළිබදව ද මනා අවබෝධයක්‌ අප සතු විය යුතු ය.

වායුගෝලය තුළ මීටර් 500ක පමණ උසක සිට කිලෝ මීටර් 14ක්‌ පමණ උස මට්‌ටම් දක්‌වා වැඩෙන කැටි වැහි වලාකුළු (Cumulonimbus) අකුණු පහරවල් උත්පාදනය කරනවා මෙන්ම, ටෝනේඩෝ සහ දියගොබ වලාවන් මේ වලාකුළුවල ම නිර්මාණයන් ය. දියගොබ වලා හුදෙකලා ව ක්‍රියාකාරී වන අවස්‌ථා වුව ද ආපදාකාරී වන බව අප රටෙන් ම අසා දැක ඇති ආපදාවලින් ප්‍රත්‍යක්‍ෂ වී ඇත.

කැටි වැහි වලාවන් කණ්‌ඩායම් ලෙස හෝ පොකුරු ලෙස එක්‌ ව ක්‍රියා කරන අවස්‌ථාවල දී ටෝනේඩෝ හෝ දියගොබ වලා රැසක්‌ එක වර වර්ධනය කිරීමේ හැකියාව ඇත. මෙවන් පද්ධති බහු ටෝනේඩෝ හෝ බහු දියගොබ වලා ලෙස හදුන්වනු ලැබේ.

දියගොබ වලාවන් තුළ, මධ්‍යය වටා ප්‍රචණ්‌ඩ සුළං ධාරා චක්‍රීය ව හමා යන අතර, හරය ඔස්‌සේ වර්ධනය රික්‌තය පුරවාලීමට ඇදී යන සමුදුරු ජලය මීටර් 30ක්‌ 40ක්‌ හෝ සමහර විට ඊටත් වඩා ඉහළ මට්‌ටම් දක්‌වා ජල කදක්‌ ඔසවා ගන්නා බව ඔබ මේ වන විට දැනුවත් යෑයි සිතමි. දියගොබ වලාවන් රැසක්‌ ක්‍රියාශීලී වන වාතාවරණවල විශාල ජල ප්‍රමාණයක්‌ ඉහළට එසවීම බොහෝ විට සුනාමි තත්ත්වයකට සමාන ක්‍රියාවක්‌ වන්නේ ය. එහෙත් සුනාමියකට පාදක වන භූමිකම්පාවක්‌ සතු විශාල වපසරියක්‌ මෙහි දී බල නො පාන නිසා සුනාමි තරම් මහා ජල තරංග බිහි නො වුණ ද, තරමක උස්‌ වූ මුහුදු රළ තරංග උත්පාදනය කිරීමට තරම් දියගොබ වලා බලවත් වන අවස්‌ථා ඇත. එවන් තරංග ආරම්භක ස්‌ථානයේ සිට සමුදුර පෘෂ්ඨය ඔස්‌සේ ඈතට ප්‍රචාරණය වීම සාමාන්‍ය තත්ත්වයකි. පසුගිය දිනවල අපට මුහුණපෑමට සිදු වූයේ එවන් තත්ත්වයක බලපෑමට ය.

ශ්‍රී ලංකාවට බලපාන ප්‍රථම අන්තර් මෝසම් ඝෘතුව (Inter Monsoon Season) අවසන් වෙමින් තිබෙන අතර මේ දිනවල ද අප දිවයිනට වර්ෂාව ලබා දෙන කැටි වැහි වලාවන්වල වැඩෙන දියගොබ වලාවන් සමුදුර රළු කිරීමට සමත් වනු ඇත.

මැයි මස තුන්වැනි සතිය පමණ වන විට ආරම්භ වන ලබන නිරිතදිග මෝසම් ඝෘතුවේ (South West Monsoon Season) ශ්‍රී ලංකාව අවට සමුදුරේ වර්ධනය වන අඩුපීඩන ප්‍රදේශ සහ පීඩන අවපාත වැනි පද්ධතිවල වැඩෙන දියගොබ වලාවන් පොකුරු මගින් මුහුද රළු වීම මෙන්ම සමහර වෙරළ ප්‍රදේශවල මුහුද ගොඩගැලීම පවා සිදු විය හැකි ය යන අවබෝධය අප සතු විය යුතු ය. එවන් ආපදාකාරී පරිසර පිළිබදව ප්‍රකාශ වන අනතුරු ඇගවීම් පිළිබදව දැනුවත් වීම අප සැමගේ වගකීමක්‌ වන්නේ ය.

කේ. ආර්. අභයසිංහ